V2025

පුවත්

අද මධ්‍යම රාත්‍රියේ සිට බවුසර් හිමියන් සේවාවෙන් ඉවතට

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට එරෙහිව අද(30) මධ්‍යම රාත්‍රියේ සිට ධාවන කටයුතුවලින් ඉවත් වීමට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි සම ලේකම් ශාන්ත සිල්වා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා සමග ඊයේ පැවැති සාකච්ඡාව ද විසඳුමකින් තොරව අවසන් වූ බවය.

ලොව බලන්නට දෑස් දුන් පියාගේ දෑස් අන්ධ කිරීම !

තරුණයින්ගේ අරගලය ගැන චන්ද්‍රිකා කිව්වේ මේ අරගලයට මට කොච්චර යන්න ඕන වුණත් මට එතැනට යන්න බෑ මටත් හූ කියයි. ඇය ඉතාම සාධනීය දේවල් ගැන වගේම තරුණයින්ගේ අරගලය සහ ඔවුන් ඉල්ලා සිටින දේ ගැන කතා කරනවා. ඒ වෙනස්කම් සිදුකීරීමට තිබෙන සීමා වගේම ව්‍යවස්ථාවෙන් ඉඩක් තිබේද කියන එකත් අවධාරණය කරනවා සිරසේ වසන්තත් එක්ක කරපු සාකච්ජාවේදී.

මේ තියෙන්නේ අරගලකරුවන් බණ්ඩාරනායක ආක්‍රමණය කිරීම. ඒ වගේම ඔහුගේ මතවාදය ආක්‍රමණය කිරීමයි. සිංහල භාෂා පනත හදුන්වාදුන් බණ්ඩාරනායකට ඊළඟට ඇති වූ දේශපාලපන ප්‍රශ්න රාශියක් වටේ බණ්ඩාරනායක දෘෂ්ටිවාදය සෙවැනැල්ල සේ සිටීම. අපිට සිංහල ඉගැන්වූ බණ්ඩාරනායක ඔහුගේ ඉංග්‍රිසි ප්‍රංශ කතා කරන දුව චන්ද්‍රිකා මේ දේශපාලන ක්‍රියාදාමය තුළ ඉන්නේ ඊට වඩා වෙනස් ස්ථාවරයක. ඇය සෑම විටම සංහිඳියාව වෙනු වෙන් පෙනී සිටියා. තාත්තාගේන් මුළු රටටම දැමු අඳුර පලවා හරින්නට හැකි පමණ උත්සාහ කලා.

අරගලකරුවන් ආක්‍රමණය කරන බණ්ඩාරනායකින් මතුවන්නේත් එදා රාජ්‍ය භාෂා පනතට විරුද්ධ වූ තරුණ වාමාංශිකයින් විසින් ප්‍රතිකේෂ කිරීමට සමාන ප්‍රතිචාරයක්. විවිධත්වය පිළිබඳ නොසලකා ජාතික රාජ්‍ය නැමැති බාල දරුවා ඉපද්දවීම. ඒ අඳුර කවදාවත් මේ රටින් මැකෙන්නේ නෑ. මේකට ප්‍රතිචාර දක්වා තිබුණු බොහෝ අයගේ මතය දිහා බැලුවාම පේන්නේ ඒකයි. දේශපාලනික තරුණ අරගලකරුවන්ගේ මේ රට වසාගෙන තිබෙන අඳුර පලවා හැරීමේ දී නැවත නැවත අපි උගත් පාඩම් දිහා බැලිය යුතුයි. මට හිතෙන්නේ එහෙමයි. මුන්ව විවේචනය කරද්දි හෙට වෙනකොට තවත් නිර්මාණයක් මුන් එළියට දානවා. අපි හිතිය යුත්තේ අපිට ඇස් පනාපිටම පේන විවිධ දක්ෂතා තිබෙන තරුණයින්ගෙන් වැඩක් ගැනීම නොවේද? ඔවුන්ගේ අදහස් කුඩූ කරන්නේ නැතුව. මේ අරගලයේ තිබෙන සුවිශේෂිත්වයම තමයි අපි බදාගෙන ඉන්න මනෝරාජ්‍ය සංකල්පය බිඳ දැමීම. නැත්නම් චන්ද්‍රිකාලාට ඉංග්‍රිසි උගන්වලා අපිට සිංහල උගන්වන්නේ නෑ. බණ්ඩාත් ප්‍රභූ දේශපාලනයම මේන්ටෙන් කරපු එක කලේ. දැනටමත් ඉතුරු වෙලා ඉන්න පවුල් දේශපාලනය තුළ විමුක්ති කුමාරතුංගගේ ආගමනයත් එපා කියන සංඥාව තමයි මේකෙන් දෙන්නේ.

අපිට රටක් විදිහට ලෝකය දකින්න දෑස් දුන්න පියා බණ්ඩාරනායක තමයි. ඒ නිසා තමයි අපි ඉගෙන ගන්නේ සිංහල භාෂාවෙන්. ඒ නිසා තමයි 1971 සහ 88/89 වගේම අවුරුදු 30ක් යුධ ගිණි ඇවිලුනේ. හැබැයි ඒ දෑස් දුන්නේ විවෘතව පුළුල්ව ලෝකයක් දකින්න බැරි සංවෘත හිතන්නෝ ටිකක් එක්ක. දේශපාලන වහලුන් බිහි කරීම. ඒ නිසා තමයි රාජපක්ෂලා මෙච්චර හොකම් කරද්දි ඇස් කන් පියාගෙන හිටියේ ඒ නිසා තමයි.

බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ක්‍රියාත්මක කරන්න බැරි වෙන්නෙත් මම දකින්නේ එයාම හදපු මතය විසින්ම එයාම ගිල ගැනීමක් විදිහට මට හිතෙන්නේ.

අපිට ලොවක් දකින්න දෑස් දුන්න පියාගේ දෑස් අන්ධ කිරීමේ ආක්‍රමණත්වය මම දකින්නේ මේ විදිහේ ප්‍රතිවිරෝධ එක්ක. අපේ හිතේ තියන විශාලා පිළිම කැඩිලා යන්නේ නිකම්ම නෙමෙයි කියන එක තමා මේකෙන් මතුවෙන්නේ. ඒවාට විවිධ හේතු තියනවා.

බණ්ඩාරනායකගේ මතවාදයයි නිදහස් අධ්‍යාපනයේ අන්තර්කරණ සංකල්පයයි එකිනෙකට ගැටෙන්නේ මේ නිසායි. ඒ නිසා තමයි අපි තවමත් වඳ කොත්තු වඳ බ්‍රේසියර් ඇහෙන්නේ. රටක පසුගාමීත්වය ඇඳ දැමීමේ පාපයෙන් බණ්ඩාරනායකට ගැළවීමක් නෑ. එදා තරුණ වාමාංශිකයෝ විරුද්ධ වුණා වගේම අලුත් පරපුර අලුතින් හිතනවා. අලුත් ජීවිතයක් ඉල්ලා සිටිනවා. ඒ ඉල්ලා සිටීම ඇතුලේ නැවුම් ඉල්ලීම තියනවා. එක එක නම් දාගෙන ආවා සංහිඳියා ව්‍යාපෘති වෙනුවට මොවුන් ප්‍රායෝගික පිළිගත හැකි වැඩපිළිවෙලක් ඉල්ලා සිටිනවා. ඒ යුක්තිය වෙනුවෙන් පෙනී සිටීමේ වරද කිම. ලොව දකින්නට දෑස් දුන් පියාගේ ඇස් අන්ධ වෙන්නේ මේකත් එක්ක කියලා මට හිතෙන්නේ.

රටක තිරසාර හෙටක් සඳහා මේ සංකේතාර්ථය ගැඹුරින් වටහා ගැනීම අප කාගේත් වගකීමක්.

අරගලයට ජය

චන්දිමා ජයසේන ගේ ෆේස්බුක් ගිනුමෙනි

FB IMG 1651296363630

සර්ව පාක්ෂික ආණ්ඩුව සූදානම් : ජනාධිපති නිල නිවේදනයක් : කවුද අගමැති ?

රජයේ ක්‍රියාදාමය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ජාතික එකඟතා ආණ්ඩුවක් සැකසීමේ අවශ්‍යතාව හා එහි මූලික පියවර ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් ජාතික සභාවක් පත්කරගැනීම කෙරෙහි අවධානය යොමු කෙරිණ.

පක්ෂවල නියෝජිතයන් ඉදිරිපත් කළ පොදු යෝජනාවලියේ වූ කරුණු සඳහා සියලු දේශපාලන පක්ෂ සහාය දක්වන්නේ නම් තමා ඊට එකඟතාව පළ කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සැකසීම සඳහා වූ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට සාකච්ඡාව සඳහා සහභාගී වු නියෝජිතයන්ගෙන් පස්දෙනෙකු නම් කිරීමට ද තීරණය කරනු ලැබීය.

පොදුජන පෙරමුණ ඇතුළුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු දේශපාලන පක්ෂ අදහස් ලබාගැනීමෙන් පසු ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසා ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා, විජේදාස රාජපක්ෂ, තිස්ස විතාරණ, ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න, දයාසිරි ජයසේකර, පූජ්‍ය අතුරලියේ රතන හිමි, ලසන්ත අලගියවන්න, නිමල් ලංසා, ජයන්ත සමරවීර, ජයරත්න හේරත්, ටිරාන් අලස්, ජගත් පුෂ්පකුමාර, නලීන් ප්‍රනාන්දු, එම්.එම්. අතාවුල්ලා, ගෙවිඳු කුමාරතුංග, වීරසුමන වීරසිංහ සහ අසංක නවරත්න යන මහත්වරු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

අලුත් අගමැති නෑ !

කෙසේ වුවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ නව අගමැතිවරයකු පත්කිරීම සඳහා එකඟව නැති බවය.

දින 04ක දීර්ඝ නිවාඩුවක් !

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ​විසින් එළැඹෙන 02 වැනි සඳුදා රජයේ නිවාඩු දිනයක් බව නිවේදනය ඇත.

ඊට හේතුව වී ඇත්තේ ජාත්‍යන්තර කම්කරු දිනය වන මැයි මස පලමුවැනිදා ඉරිදා නිවාඩුවක් වීමය.

අගහරුවාදා රාමසාන් දිනය යෙදී තීබීම මත දින හතරක දීර්ඝ නිවාඩුවක් ලැබී ඇත.

සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයි !

අර්බුදකාරී පරිසරය නිසා පැවැත්වීමට නොහැකි වූ 2021 වර්ෂයට අදාළ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය එළැඹෙන මැයි මස 23 සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සහ ඉදිරි විභාග කටයුතු මැයෙන් ඊයේ (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මේ බව පැවසුවේ ය.

උසස් අධ්‍යාපන ක්‍රියාවලිය අර්බුදකාරී වාතාවරණය මධ්‍යයේ වුවද පවත්වාගෙන යන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා කීය. විශ්ව විද්‍යාල ස්වාධීන කිරීම, උපාධිධාරීන්ගේ විෂය පථය ගැඹුරු කිරීම, උපාධිධාරීන්ගේ විෂය පථය ශ්‍රී ලංකා සමාජයට හා සෙසු ලෝකයට යෝග්‍ය පරිදි වෙනස් කිරීම යන නව යෝජනා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වාදීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.

ඉදිරි කාලය තුළ පාසැල් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය සැළසුම්කර ඇත. වාර 3ම ආවරණය වන පරිදි අධ්‍යයන කටයුතු කිරීමට නියමිත ය. මෙම වසරේ ඔක්තෝබර් 16 පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමටත් ඔත්තෝබර් 17 සිට නොවැම්බර් 12 දක්වා අ.පො. ස උසස් පෙළ විභාගය පැවැත්වීමටත් නියමිතය.

නිරායුද ජනඅරගලයේ මරණයට සාධාරණ ඉටුකරනු : එජාපය රඹුක්කන සත්‍යග්‍රහයක !

රඹුක්කන නගරයේ දි පැවති සාමකාමි විරෝධතාවට එල්ලවූ පොලීස් වෙඩි ප්‍රහාරයේදී පසුගියදා ජිවිතක්ෂයට පත් චමින්ද ලක්ෂාන් ට වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ඊයේ (28) රඹුක්කන නගරයේ දි සත්‍යග්‍රහයක් සිදු කෙරිණ .

පක්ෂයේ නියොජ්‍ය නායක රුවන් විජෙවර්ධන ,මහා ලෙක්ම් පාලිත රංගේ බංඩාර ,ජාතික සංවිධායක සාගල රත්නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංන්දිත සමරසිංහ ඇතුළු
විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

නිරායුද ජනඅරගලයේ මරණයට සාධාරණ ඉටුකරනු එහි තේමාව විය.

IMG 20220429 WA0000

IMG 20220429 WA0002

IMG 20220429 WA0001

 

 

බැඳුම්කර නඩුවේ අලුත්ම තත්ත්වය මෙන්න !

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10කට එරෙහි නඩුව ඉදිරියට පවත්වා ගෙන යානොහැකි බවට ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා විශේෂ ත්‍රීපුද්ගල මහාධිකරණය වෙත දැනුම්දි ඇත.

විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (29) නියම කළේ, අදාළ විරෝධතා ලබන 26 වැනිදා ලිඛිතව අධිකරණය හමුවේ ගොනු කරන ලෙසයි.

නඩුව විභාගයට ගත්තේ චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේයි.

නඩුවේ විභාගය ආරම්භ කිරීමට පෙර, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයක් පැවැත්වීමට දිනයක් ලබාදෙන්නැයි නඩුව අද කැඳ වූ අවස්ථාවේ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන ඉල්ලීමක් කළේ ය.

( මූලාශ්‍රය news 1st )

ජාතික එකඟතා ආණ්ඩුවට ජනාධිපති එකඟයි : ජයන්ත කියයි !

ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමට ඉදිරිපත් කළ යෝජනා වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සාර්ථක ප්‍රතිචාරයක් දැක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පවසයි.

ජනාධිපති සමග අද (29) පැවති සාකච්ඡාව අවස්ථාවේ මේ එකඟතා ඇතිව තිබේ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පවසා ඇත්තේ ජාතික එකඟතා ආණ්ඩුවට එක්වන පක්ෂ නායකයින්ගෙන් සමන්විත ජාතික සභාවක් පිහිටුවා, අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය නම් කිරීම එම ජාතික සභාව තුළින් සිදු කිරීමට යෝජනා වූ බවයි.

ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂවල නායකයින් සහ ජනාධිපතිවරයා අතර අද පැවති සාකච්ඡාවේදි අවධානය ලක් වු කරුණු පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරමින් ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා පවසා ඇත්තේ , ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික එකඟතා ආණ්ඩුවට සම්බන්ධ වන සියලු පක්ෂ නායකයින්ගෙන් සමන්විත ජාතික සභාවක් නිර්මාණය කිරීමට තීරණය වූ බවත් ජාතික එකඟතා ආණ්ඩුවේ ආග්‍රාමාත්‍යවරයා කවුරුන් ද යන්න එම ජාතික සභාව තීරණය කරන බවයි.

නි. කතානායක ඉල්ලා අස්වෙයි : පෙරළියක් සඳහා මැයි 4 අවස්ථාවක් !

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය එම තනතුරෙන් හෙට (30) ඉවත්වීමට තීරණය කර ඇත.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමේ තීන්දුව අනුවය .

මේ අනුව පාර්ලිමේන්තුව රැස්වෙන මුල් දිනයේදී ( මැයි 4 ) එහි පළමු කටයුත්ත ලෙස නව නියෝජ්‍ය කතානායකවරයකු තෝරා පත් කර ගැනීමට නියමිතය.

නව නියෝජ්‍ය කතානායකවරයා වශයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ පාර්ලිමේන්තුවේ මෑතකදී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් රංජිත් සියඹලාපිටියගේ නමද ආණ්ඩු පක්ෂය විසින් මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගේ නමද යෝජනා කරනු ලැබ ඇතැයි වාර්තා වේ.

නියෝජ්‍ය කතානායක ධුරය සඳහානම් දෙකක් ඉදිරිපත් වුවහොත් ඒ සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවනු ඇත.

මෙහිදී රහස් ජන්දයක් පැවැත්වීම සඳහා අවස්ථාව හිමිවේ. විපක්ෂය සහ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් මේ අවස්ථාව නිසි ලෙස යොදාගතහොත් ආණ්ඩුවේ නියෝජිතයා පරාජය කර ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ සරල බහුතරයක් නොමැති බව තහවුරු කිරීමට හැකියාව ඇති බව දේශපාලන විචාරකයන් පවසයි.

ඩොලර් මිලියන 1.6 ක ඖෂධ : ඉන්දුනීසියාවෙන් ලැබෙයි !

ඉන්දුනීසියානු රජය විසින් පරිත්‍යා්’ග කරන ලද රුපියල් මිලියන 550 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ක් ) වටිනා ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් කටුනායක ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි ඩේවි ටොබින් (Dewi Tobing) විසින් ඊයේ (28) සෞඛ්‍ය අමාත්‍ය ගරු මහාචාර්ය චන්න ජයසුමන වෙත භාර දෙන ලදී.

එම ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගය කිලෝ ග්‍රෑම් 3100 ක පමණ බරින් යුක්ත බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග පවසයි.

මෙම ඖෂධ තොගය අතර පිළිකා රෝග සඳහා යොදා ගන්නා ඖෂධ ප්‍රමුඛ වේ.

ඖෂධ ලබාගැනීමේ දුෂ්කරතාවක් මතුව ඇති මේ අවස්ථාවේදී ඉන්දුනීසියාව විසින් ලබාදුන් මෙම ඉක්මන් උපකාරය 70 වසරක ශ්‍රී ලංකා ඉන්දුනීසියානු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවත් ශක්තිමත් කරන බව මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය විසින් මෙම පරිත්‍යාගය සම්බන්ධීකරණය කරන ලදී.

පවුලේ තරගයක් : විපක්ෂ නායක ධූරය නාමල්ටද? බැසිල්ටද ?

අග්‍රාමාත්‍ය ධුරයෙන් මහින්ද රාජපක්ෂ  ඉවත් කරන්නේ නම් පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සමඟ තමන් විපක්ෂයට යන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පවසා ඇතැයි වාර්තා වෙයි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී බවත් දැනගන්නට ඇත.

එහිදී තම පියා වන මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමේ කිසිදු සූදානමක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පවසා ඇති බවත් සඳහන් ය.

යම් විදිහකට අගමැති ධූරය අහිමි වුවහොත් අගමැති මහින්ද රාජපක්ෂ ගේ අපේක්ෂාව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ව විපක්ෂ නායක කිරීම බවටත් තොරතුරු වාර්තා වෙයි.

බැසිල්ගේ නමුත් විපක්ෂ නායක ධූරයට !

අග්‍රාමාත්‍ය ධුරයෙන් මහින්ද රාජපක්ෂ ඉවත් කර වෙනත් අගමැතිවරයෙක් පත් කළහොත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කිරීමට බැසිල් රාජපක්ෂ සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කර ඇත.

ඒ අනුව මේ වන විට විපක්ෂ නායක ධූරයත් රාජපක්ෂ පවුල අතටම පත්වීමේ තත්ත්වය ප්‍රතිකේෂ්ප කළ නොහැකි බව දේශපාලන විචාරකයන් පවසයි.

 

අගමැති ධූරය සඳහා නම් කිහිපයක් යෝජනා වෙලා - රතන හිමි

අන්තර්වාර පාලනයක් සදහා තමන් ඇතුළු පිරිසට ආරාධනා කරන ලද ලිපියෙන්ම නව අගමැතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති බවත් දැනටමත් අගමැති ධුරය සදහා දැනට නම් කිහිපයක් යෝජනා වී ඇති බව අතුරලියේ රතන හිමි පවසති.

ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත‍්‍රී කණ්ඩායම සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව සඳහන් කර ඇත.

ජනාධිපතිවරයාගේ බලතල සීමාකර සමූහයක් විසින් වගකීම ගන්නා වැඩපිළිවෙළක් ජනාධිපතිවරයාට යෝජනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසති.

 

රඹුක්කන ඝාතනය : SSP අත්අඩංගුවේ : ඒත් ඉන්නේ රෝහලේ !

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවත් වාර්තා වෙයි.

ඒ අනුව, ඔහු පොලිස් ආරක්ෂාව යටතේ තව දුරටත් එම රෝහලේ ප්‍රතිකාර ලබන බවට තොරතුරු වාර්තා වේ.

බොහෝ විට ආණ්ඩුව හිතවාදී චූදිතයන් , විශේෂයෙන් මිනී මැරුම් චෝදනා ලැබුවන් වුවත් , අත්අඩංගුවට පත්වීමේදී පමණක් නොව බන්ධනාගාර ගතවූවාද එහි රෝහලටයොමුවන ලෙස කටයුතු සම්පාදනය , මෙරට ජාතික පුරුද්දක් බව දේශපාලන විචාරකයන් පවසයි.

මේ සමග තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.

දැල්වෙන අරගලයට : පෙරටුගාමීන්ගෙන් තෙලක් !

1953 න් පස්සේ ඇති වෙච්ච විශාලම මහජන නැගිටීම, අද සිදුවූ බවත්, ගෝල්ෆේස් පිටියේ ඇතිවූ මහජන නැගිටීම සහ , කම්කරු ව්‍යාපාරයේ සටන්කාමී සම්ප්‍රදාය මේ මොහොතේ ඒකාබද්ධ වියයුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය යෝජනා කරයි.

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව සඳහන් කර සිටියේ ය.

ඒ සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහරිමින් ය.

1971 සහ 88 -89 දී දේශපාලන පක්ෂවල මූලිකත්වයෙන් අරගල සිදුවුවත් , වර්තමානයේ දියත්ව ඇති මේ ජනතා නැගිටීම , 87 ඉන්දු ලංකා ගිවිසුම ගෙනාව අවස්ථාවේදී පවා නොදැකපු තත්ත්වයක් බවත් ඔහු අවධාරණය කරයි.

පුබුදු ගේ අදහස මෙන්න !

අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වුණේ විශේෂ හේතුවක් මතයි. අද දවසේ කම්කරු ව්‍යාපාරයක් විදිහට වැඩ වර්ජනයක් කැඳවලා තියෙනවා. ඒ වැඩ වර්ජනය ඇතුලෙම අද දවල් 11ට වෘත්තීය සමිති දහසක පමණ සහභාගීත්වයක් සහිතව දැවැන්ත පෙළපාලියක් යනවා ගාලුමුවදොර පිටිය දක්වා.

එතකොට අද ගෝල්ෆේස් අරගලයයි අනික් පැත්තෙන් කම්කරු ව්‍යාපාරයයි ඒකාබද්ද වීමක් සිද්ධ වෙනවා. පහුගිය කාලේ මේ සම්බන්ධව විවිධ මාධ්‍යවලින් සහ සමාජ මාධ්‍ය වලින් විවිධ කාරණා හුවමාරු වුණා. ඒ හුවමාරු වෙද්දී ඒ සම්බන්ධ විවිධ අදහස් සහ විවිධ විවේචන ඉදිරිපත් වෙලා තිබුණා. ඒ හැම එකකටම ලිඛිතව දේවල් කියනවාට වඩා එයට මූලික අදහසක් කියන්නම් කියලා හිතුවේ.

ඉන්දු ලංකා ගිවිසුම අවස්ථාවේ පවා නොතිබූ තත්ත්වයක් !

එකක් තමයි රටේ හැම ප්‍රදේශයක්ම ආවරණය වෙන පරිදි මේ මහජනතාවගේ නැගිටීම අපි සමරන්න ඕන. 1953 න් පස්සේ ඇති වෙච්ච විශාලම මහජන නැගිටීම තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. 1971 සහ 88 -89 පවා දේශපාලන පක්ෂවල මූලිකත්වයෙන් අරගල සිදුවුණාට මෙවැනි ජනතා නැගිටීමක්, අඩුම ගානේ 87 ඉන්දු ලංකා ගිවිසුම ගෙනාව අවස්ථාවේදී පවා නොදැකපු විදිහේ එකක් තමයි දැන් මේ දියත් වෙමින් තියෙන්නේ.

අනික් පැත්තෙන් අද වැඩ වර්ජනය සහ පෙළපාලිය ගත්තට පස්සේ ඒක 1980 ජූලි වැඩ වර්ජනයෙන් පස්සේ වැඩිම වෘත්තී සමිති එකඟතාවයකින් දියත් වෙන අරගලය කියලා කියන්න පුළුවන්. එතකොට මේක එක්තරා විදිහක ස්වර්ණමය යුගයක් සහ ස්වර්ණමය අවස්ථාවක් මේ ඉතිහාසයෙන් ඇවිල්ලා තියෙන්නේ. 1953 පස්සේ අවුරුදු 70 කට විතර පස්සේ දැවැන්ත මහජන නැගීටීමක් සිද්ධ වෙලා තියෙනවා. 1980 පස්සේ අවුරුදු 40 කට විතර පස්සේ කම්කරු පංතියේ දැවැන්ත ඒක මිතියක්, ඒකාග්‍රතාවයක්, එකඟතාවයක් ඇතිවෙලා තියෙනවා. එතකොට මෙන්න මේ දෙක , ඒ කියන්නේ එක පැත්තකින් ගෝල්ෆේස් පිටියේ ඇති වෙච්ච මහජන නැගිටීමයි, කම්කරු ව්‍යාපාරයේ සටන්කාමී සම්ප්‍රදායයි මේ දෙක ඒකාබද්ධ වෙන්න ඕන කියලා අපි කියන්නේ ඇයි.

මහජන අරගලයයි කම්කරු ව්‍යාපාරයේ එකතු වීමයි කියන එක සංකේතාත්මකයි.

යූටියුබ් ෆේස්බුක් ඇඩ්මින්ලාගේ අරගලය !

මේ අරගලයේ මතය නියෝජනය වෙන්න, ඒකට අදාල කෝපය හදාගන්න විරෝධය හදාගන්න සමාජ මාධ්‍ය භාවිතා වුණා. එකෙන් කියැවෙන්නේ නැහැ මේක සමාජ මාධ්‍යයේ යූටියුබර්ස්ලා නිර්මාණය කරපු අරගලයක් කියලා. ඒ ඒ යුගයන්වල තියෙන තාක්ෂණය ඒ ඒ කාලයට යොදා ගැනීමක් තමයි වුණේ.

උදහරණයක් විදිහට කිව්වොත් 1971 දී ගල් අච්චුවේ මුද්‍රණය කරලා තමයි ලීෆ්රට් ආවේ. ඒ කාලයේ තිබුණ තාක්ෂණය තමයි ගල් අච්චුව. ඒක අරගලයට පාවිච්චි වුණා.

1987- 89 වකවානුව වෙනකොට රණ හඬ ගුවන්විදුලිය තිබුණා. ගවන්විදුලි තාක්ෂණය අරගලයට පාවිච්චි වුණා. ඒ වගේ තමයි දැන් සමාජ මාධ්‍ය තියෙනවා. සමාජ මාධ්‍ය මේ සඳහා භාවිතා වෙනවා. ඒකෙන් කියන්නේ නැහැ සමාජ මාධ්‍යවල ඉන්න ඇඩ්මින්ලා තමයි මේක නිර්මාණය කළේ කියලා. මේක මේ රටේ මිනිස්සුන්ට එන්න එන්නම වැඩි වෙන පීඩාව දරා ගැනීමට බැරි වීම තුළ පුපුරා යාමක් සිදුවුණේ.

අරගලය පන්නරය ලැබූ හැටි !

මේකට විවිධ අය දායක වුණා. මම උදාහරණයකට කියන්නම් හිතන්න මේකට ගුරු අරගලය වෙච්ච දායකත්වය. ගුරුවරු මේ ඔක්කොම ෆ්‍රීස්වෙලා මේ ඔක්කොම කැටිගැහිලා තියෙන වෙලාවක කොවිඩ් අවධානම මැද දසදහස් ගණනින් වීදිවලට බැහැලා ඒ කරපු අරගලය සහ ඒකෙන් ආපු උත්තේජනය. ඊට පස්සේ මේ පොහොර ප්‍රශ්නෙත් එක්ක ගොවියෝ රට පුරා කරපු උද්ඝෝෂණය. ඊගාවට කොතළාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතත් එක්ක ආපු ප්‍රශ්නෙදි ශිෂ්‍ය ව්‍යාපාරයේ ශිෂ්‍යයෝ කරපු උද්ඝෝෂණය. අර ජෝජ් ෆ්ලොයින් ඝාතනයේ උද්ඝෝෂණයේ ඉඳලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස අපි කරපු මැදිහත් වීම.

ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂයක් මේ රාජපක්ෂ පාලනයේ තියෙන අගතීන් හොරකම් හෙළිදරව් කරමින් පාර්ලිමේන්තුව තුළ ඒගොල්ලො කරපු අරගල. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වගේ කෙනෙක් මිරිහානට ගිහිල්ලා මිරිහානට තමයි යන්න ඕන කියලා ගිය එක බලපෑව මම හිතන්නේ මිනිස්සුන්ට 31 වෙනිදා රෑ මිරිහානට ගිහින් වටලන්න. ඒ නිසා ක්‍රියාකාරීත්වයක් තිබුණා. විවිධ බලවේග, විවිධ දේශපාලන පක්ෂ මේ හැම දේම එකතුවෙලා හදපු දේශපාලන ස්ට්‍රක්චර් එකක් ඇතුළේ තමයි මේක වුනේ. එහෙම නැතුව මේක මේ යූටියුබර්ස්ලයි ෆේස්බුක් ඇඩ්මින්ල දෙතුන්දෙනෙකුයි එකතුවෙලා හැදුව එකක් නෙවෙයි.

අරගලයේ අවස්ථාවාදීන් !

ඇත්තටම ඒගොල්ලො බැලුවේ මේ අවස්ථාවෙන් මේ මහජන අරගලය පාවිච්චි කරලා ගසා කන්න පුළුවන්ද කියලා එක කොටසක් බැලුවා. තව කට්ටියක් මේ ඇවිලිලා තියෙන මහජන අසහනයට උමතු ස්වරූපයක් දෙන්න හැදුවා. හැබැයි දැන් දැන් ඒවා නැහැ. කෝ අර "මේක තරුණ අරගලයක් නාකි ගෙදර හිටපියව්" කියපු යූටියුබ් කාරයෝ ටික දැන් හොයාගන්නවත් නෑ.

එදා 31 වෙනිදා රෑ මිරිහානේ ජනාධිපතිගේ නිවස වැටලුවේ නැත්නම් මේක මේ විදිහට සිද්ධ නොවෙන්නත් ඉඩ තිබුනා.

දරවලට මාරු වෙන්න : ලිට්‍රෝ ගෑස් සභාපති දන්වයි !

ලිත්‍රො ගෑස් සමාගම ගෑස් ඉල්ලුමෙන් අඩක් පමණක් සැපයීමට තීරණය කර තිබෙන අතර දර ඇතුළු සෙසු වර්ග පාවිච්චි කළ හැකි සියලුම ජනතාව ගෑස්වලින් නැවත ඒවා වෙත යොමු වීම රට වෙනුවෙන් කළයුතු දෙයක් බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් පවසයි .

ජනතාව මෙම තත්වය තේරුම් ගනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු පවසයි .

සභාපතිවරයා පවසන්නේ රට ආර්ථික අර්බුදයෙන් මිදෙන තෙක් ගෑස් සැපයුම නගරවලට සහ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් සිදු කරන බවයි.

ඒ අනුව මෙතෙක් දෛනික සිලින්ඩර 60,000-80,000 ත් අතර සිදු කල ගෑස් සැපයුම පැවැති ගෑස් සිලින්ඩර 30,000 ක් දක්වා අඩු කරයි.

මාසික ගෑස් ඉල්ලුම සම්පූර්ණ කිරීමට ඩොලර් මිලියන 30ක් අවශ්‍ය බවත් පවතින තත්වය මත එවන් වියදමක් කළ නොහැකි බවත් හෙතෙම පැවසීය.

වෙල්ගම වෙනම ලයින් එකක !

විශ්වාසභංග හෝ අන්තර්වාර ආණ්ඩු සම්බන්ධයෙන් ගෙනෙන කිසිම යෝජනාවකට අත්සන් නොතබන බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විසින් කතානායක වෙත දැනුම්දී ඇත.

වාර්තා වන ආකාරයට අද (28) ලිපියක් යොමුකරමින් මේ දැනුම්දීම සිදුකර තිබේ.

රට සහ ජනතාව අර්බුදයෙන් බේරා ගැනීම සඳහා පාර්ලිමේන්තුව ගත යුතු ගතයුතු ක්‍රියාමාර්ග හතක්ද ඔහු සිය ලිපියෙන් දැනුම්දී ඇති බවත් දැනගන්නට ඇත.

එසේම වත්මන් ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන අවසන් තත්පරය දක්වා රජයේ කිසිදු කටයුත්තකට සහාය නොදක්වන බවද ඔහු එම ලිපියෙන් වැඩිදුරටත් දන්වා ඇති බවත් වාර්තා වෙයි.

හතක්ද කුමාර කුමාර වෙල්ගම එම ලිපියෙන් යෝජනා කර ඇත.

වෘත්තීය සමිති හයිය පෙන්වයි : රට පුරා විරෝධතා !

දශක හතරකට පමණ පසුව ලංකා ඉතිහාසයේ දියත්වූ සාර්ථකම වැඩ වර්ජනය අද (28) දියත්වූ බව වෘත්තීය සමිති නායකයන් පවසයි.

ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති කිහිපයක් හැරුණු විට අනෙක් සියලු වෘත්තීය සමිති ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් ඉවත් වන ලෙස ඉල්ලා අද ආරම්භ කළ වැඩ වර්ජනයට සහභාගි වීම ඊට හේතුවූ බවත් ඔවුන් සඳහන් කරයි.

රට පුරා විවිධ ස්ථාන කේන්ද්‍ර කරගනිමින් විරෝධතා 1000කට අධික ප්‍රමාණයක් පැවති බවත් වාර්තාකරුවන් පවසයි.

රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවක පිරිස් සම්බන්ධ වී සිටීම හේතුවෙන් අද බොහෝ රැකියා ස්ථාන පාලු ස්වාභාවයක් ගෙන තිබිණ.

මීට අමතරව ආයෝජන කලාප සේවකයන්ද, ගුරු වෘත්තීය සමිතිද, වතු කම්කරුවන්ද වර්ජනයට සහාය පා අරගලයට එක්ව සිටිති.

එමෙන්ම අද බස් සේවා සහ දුම්රිය සේවාද ක්‍රියාත්මක වූයේ ද අවම වශයෙනි.

මාතර, කුරුණෑගල, මහනුවර, අනුරාධුපර, හලාවත, කෑගල්ල සහ ගම්පහ නගරවල මෙන්ම ආයෝජන ප්‍රවර්ධන කළාප පිහිටි කටුනායක සහ කොග්ගල යන ප්‍රදේශ ඇතුළු රට පුරා ප්‍රධාන නගර සහ සෙසු නගර කේන්ද්‍රකරගනිමින් විරෝධතා පැවැත්විණ.

රටේ විවිධ ගැටලුකාරී අවස්ථාවලදී විරෝධතාවල කේන්ද්‍රස්ථාන වන මාතර, කුරුණෑගල, මහනුවර සහ අනුරාධපුර යන නගරවලට විරෝධතාවයකට රැස්වූ විශාලතම ජනකාය අද රැස්ව සිටි බවටත් මාධ්‍ය වාර්තා පළවෙයි.

පොහොට්ටු පොඩ්ඩන්ගෙන් ජනාධිපතිට තගක් !

අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් වුවහොත් හෝ ඉවත් කළහොත් පාරට බැස විරෝධතාවල නිරත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සඳහන් කර ඇති බව වාර්තා වෙයි.

ආණ්ඩුව හිතවාදී සමාජ මාධ්‍ය වෙබ් අඩවි මේ සම්බන්ධයෙන් පුළුල් ප්‍රචාරයක් ලබාදී ඇත.

ඊට අනුව අරලියගහ මන්දිරයේදී ඊයේ (27) අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති හමුවේ දී පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් මේ බව සඳහන් කර ඇත.

අගමැතිවරයා ඉවත් කිරීමට එකඟ නොවන බවත් ආණ්ඩුව පවත්වාගෙන යාමට අගමැතිවරයා සිටිය යුතු වුවත් ඔවුන් අවධාරණය කර ඇති බවත් වාර්තා වෙයි.

මොරටුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු පළාත් පාලන ආයතන ප්‍රධානීන් හය දෙනෙකු පමණ මේ බව ප්‍රකාශ කර ඇති බවත් එම මාධ්‍ය වාර්තා පවසයි.

අගමැතිවරයා ඉවත් නොකරන්නැයි ජනාධිපතිවරයාට ලිපියක් යොමු කිරීමටද කටයුතු සූදානම් කර ඇති අතර ඊට පළාත් පාලන නියෝජිතයන් තුන් සියයක් පමණ අත්සන් කර ඇති බවත් එම පුවතේ සඳහන් වෙයි.

 ජනාධිපති තීන්දුව !

 කෙසේ වෙතත් අන්තර්වාර පාලනයක් බිහි කිරීම හා, එහි ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විටත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වෙත ලිඛිතව දන්වා අවසන්ය.

ඊට අනුව ලබන 29 වැනිදා පෙරවරු 10 .30 ට ජනාධිපති මන්දිරයේදී සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇත .

 වර්තමාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් අනතුරුව පිහිටුවීමට යෝජිත මෙම සර්ව පාක්ෂික ආණ්ඩුවේ ව්‍යුහය, ක්‍රියාත්මක විය යුතු කාල සීමාව, වගකීම් ලබාදෙන පුද්ගලයින් කවුරුන්ද යන්න ඇතුළු ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් ලබන 29 වැනිදා සාකච්ඡාවේදි , සාකච්ඡාවට ලක් කිරීමට නියමිත බව ද ජනාධිපතිවරයා පක්ෂ නායකයින් වෙත වෙත යැවු ලිපියේ සඳහන් කර ඇත.

එසේම අන්තර්වාර පාලනයක් බිහි කරන බව ජනාධිපතිවරයා විසින් මහනාහිමිවරුන් වෙතද දැනුම් දී තිබේ.

Page 266 of 392