V2025

පුවත්

විමල්ලාගේ පැලැස්තර අර්බුදයට විසඳුමක් නොවේ - මනූෂ

විමල් වීරවංශලා ගෙන එන පැලැස්තර විසදුම්වලින් රාජපක්ෂ විරෝධය යටපත් කළ නොහැකි බවත්, ජනතාවගෙන් හොරා කන ලද මුදල් නැවත රටට ලබාදී රාජපක්ෂ පවුලම ඉල්ලා අස්වී ගෙදර යා යුතු බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

රාජපක්ෂලා රටෙන් හොරකම් කරන ලද මුදල් නැවත රටට ලබාදෙන තුරු ජන අරගලය අවසන් නොවන බවද අද උදෑසන මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා කීවේය

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද කීවේය.

රට ඇතුලේම ජනතාව එක මතයකට ගොනු වෙලා තියෙන වෙලාවක, ගෝඨා ගෝ හෝම් කියලා කියන්නේ රාජපක්ෂ රෙජීමයම ගෙදර යා යුතු නිසා. මේ රටේ සමපත් හූරා කාපු, මේ රට මේ තත්වයට ඇදලා දාපු ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සියලු නඩයම ගෙදර යා යුතු නිසා තමයි ගෝඨ ගෝ හෝම් කියලා කියන්නේ.

ඒකට විසදුමක් විදියට, නූල් සූත්තර දාලා, වෙන පාරකින් රාජපක්ෂලා රකින්න, රාජපක්ෂලාගේ ජීවිත ආරක්ෂා කරන්න, රාජපක්ෂලාගේ දේපල ආරක්ෂා කරන්න දැන් විමල් වීරවංශලා පෙරට ඇවිත් තියෙනවා. අන්තර් කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න යෝජනා කරනවා. මේ වන විට ඉල්ලා අස්විමේ ලිපි භාරදී තිබෙන ක‍්‍රමයත් නීත්‍යානුකූල නෑ. ජනාධිපතිවරයාට නීත්‍යානුකූලව ඉල්ලා අස්වීම් ලබාදී නැහැ.

ඇමැතිවරු පිරිසක් ඉල්ලා අස්වෙලා, නැවත වරක් මේ ඇමැතිවරුන්ම පත් කරන පැලැස්තර විසදුමක් අපිට අවශ්‍ය නෑ. විමල් වීරවංශ මහත්තයාලා, ලී ක්වාන් යුලා, මහතීර් මොහොමඩ්ලා කියලා තමයි බලයට ආවේ. මේ ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනාවා විතරක් නෙමෙයි, වද කොත්තු, වද පෙති හරහා හරහා මේ රට නරක තැනකට අරගෙන ආවේ විමල් වීරවංශලා. නැවත වරක් වෙනත් පාරකින් ඇවිත් රාජපක්ෂවාදය ආරක්ෂා කිරීමට තමයි මේ උපක‍්‍රමය භාවිතා කරන්නේ.

මේ නිසා වැරදිලාවත්, අතරමැදි විසදුම්වලට අපි අහුවෙන්නේ නෑ. මේක ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අවෙන තුරු විසදෙන්නේ නෑ. ගෝඨාභය රාජපක්ෂ සිය පවුල සමග, රාජපක්ෂ පරම්පරාව සමග ආණ්ඩුකරණයෙන් අයින් වෙන්න ඔ්න. ඒ විතරක් නෙමෙයි හොරා කාපු සල්ලි ටිකත් නැවත වරක් රටට දෙන්න ඔ්න. එතකම් මේ ජන අරගලය නිමාවිය යුතු නෑ. ජන අරගලය යටපත් කරන්න, ජන අරගලය රවට්ටන්න, ජන අරගලය මන්දෝත්සාහී කිරීමට, ජනතාවගේ විරෝධය යටපත් කරන්න තමයි සීනි බෝල විසදුම් අරගෙන ඒනනේ. ඒ සීනි බෝල විසදුම්වලට මේ රටේ ජනතාව අහුවෙන්නේ නෑ.

හැමදාම උද්ඝෝෂණ කරමින් ඉන්න බෑ. ආණ්ඩුවේ අවශ්‍යතාවය අනුව ජනතා විරෝධයන් ඇතුලේදී කහලකාරී තත්වයන් ඇතිකරවල රටට ඇදිරිනීතිය දාන තත්වයන් ඇතිවෙන්න දෙන්න බෑ. මේ රටට ආපු සංචාරකයෝ යනවා. එන්න ඉන්න සංචාරකයෝ එන්නේ නෑ. මේ විදියට රට ඉදිරියට ගෙන යන්න බෑ. මේ නිසා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවටම ඉල්ලා අස්වෙන්න ඔ්න

මේ රට වැඩ කරන්න පුලුවන්, රටට ආදරේ කරන පිරිසක් මේ රටත්, ජනාධිපතිධූරයත් භාරගන්න ඔ්න. කෙටි කාලයකට හරි, මැතිවරණයක් පවත්වන තුරු හරි, මේ රටේ තියෙන ආර්ථික අර්බුදය විසදන්න, සියලු දෙනාටම එකට එකතුවෙලා වැඩ කරන්න පුලුවන්. පාට පක්ෂ කුල මල ආගම් භේධ පැත්තකට දාලා සියලු දෙනාටම එකට එකතු කරන්න පුලුවන්.

ඒක ඇතුලේ රාජපක්ෂලා ආරක්ෂා කරන, රාජපක්ෂලා රකින ඩීල් තියෙන්න බෑ. රාජපක්ෂලා රකින උදවිය මේ ආණඩුව ඇතුලේ ඉන්න බෑ. පිරිසිදු කණ්ඩායමක්, වෘත්තිකයින් ඉදිරියට ඇවිත්, සියලු දෙනාම සාමූහිකව ජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් ඇතිවෙලා තියෙන ප‍්‍රශ්ණයට හැමෝම එකතුවෙලා වැඩ කරන්න පුලුවන්.

මේ වෙලාවේ වහාම මැතිවරණයකට යමු කියලා අදහසක් මතුවෙනවා. ඒකට අති විශාල මුදල් ප‍්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මැතිවරණයක් පවත්වන තුරු ආර්ථික ප‍්‍රශ්ණය විසදීමට හැමෝම එකට එකතුවෙලා වැඩ කරන්න ඔ්න. මැතිවරණයක් ඉක්මන් දිනයක පවත්වන තුරු පැලැස්තර විසදුමක් දීලා රාජපක්ෂවරු තවදුරටත් තබාගන්න අවශ්‍ය නෑ. ඒ නිසා රාජපක්ෂලා පලවාහරින කෙටි කාලීන විසදුමකට යන්න ඔ්න.

ඒ නිසා මේ වෙලාවේ පැලැස්තර විසදුම්වලට යන්න ඔ්න නෑ. රැුවටිලිකාරී, ප්‍රෝඩාකාරී විසදුම්වලට යන්න ඔ්න නෑ. ඇදුම් මාරු කරන්න, මූණු මාරු කරන්නේ නැතිව ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන්න. රාජපක්ෂ ආණ්ඩුවම ගෙදර යන්න. ඊට පස්සේ අලුත් වැඩපිළිවෙලකට එකතුවෙන්න. එහෙම නැතිව ජනතා විරෝධය නතර කරන්න බෑ.

හෙට අනිද්දා වන විට මේ ජනතා විරෝධය තවදුරටත් වැඩිවේවි. ගුටි කනවාට බයේ, අල්ලා උස්සාගෙන යාම වලක්වාගැනීම සදහා ඇමැතිධූර වලින් ඉල්ලා ස්වෙලා මේ සෙල්ලම් කරලා හරියන්නේ නෑ.

ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙන්න. රට පාලනය කරන්න පුලවුන් වෘත්තිකයෙක් පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයා බවට පත් කරන්න. එහෙම නැතිනම් කවුරුහරි ජාතික ලයිස්තුවෙන් හරි අරගෙන ඇවිත් ජනාධිපතිවරයා බවට පත් කරන්න. කැබිනට් මණ්ඩලටයත් වෘත්තිකයින් පිරිසක් පත් කරන්න. දේශපාලන දැනුම ඇති අය එකතු කරගෙන කෙටි කාලීනව මෙම වැඩපිළිවෙල ඉදිරියට අරගෙන යන්න. ඉන් පසුව ජනාධිපතිවරණයත්, පාර්ලිමේන්තු මැතිවරණයත් එකම දවසක තියලා, ජනතා මුදල් ඉතිරි කරලා ජනතාවට කැමැති තීන්දුවක් ගන්න ඉඩ හරිමු. එහෙම නැතිව රටේ මිනිස්සු මැරෙනතුරු, සිය දිවි නසාගන්නකම්, මිනිස්සු මේ රට පාරට බැහැලා සිරියාවක්, ලිබියාවක් වෙන්න ඉඩ නොදී, හමුදාවේ උණ්ඩවලින් අපේ මිනිසුන්ට මැරෙන්න නොදී, වහාම මේ සදහා තීන්දුවක් ගැනීමට සියලු දෙනාම එකට එකතුවිය යුතුයි

සමහර චීවරධාරීන් මිරිහානට ගිහින් මේ මුස්ලිම් අන්තවාදීන්ගේ වැඩක් කියලා කියනවා. නැවත වරක් මේ රට පටු තැනකට ඇදලා දාන්න එපා. ගංගාවලින් නයි මතුවන කතා උඩට අරගෙන එන්න එපා. සිවුරට මුවා වෙලා රාජපක්ෂලා රකින්න හදන්න එපා. සිවුරට මුවා වෙලා මේ ඇවිත් ඉන්නේ රාජපක්ෂලා රකින කණ්ඩායම බව අමතක කරන්න එපා.

ලී කුවාන්, මහතීර් මොහොමඩ් වගේ අය ගේනවා කියලා විමල් වීවරංශලා මේ ආණ්ඩුව හදලා, ජනතා විරෝධය එන වෙලාවේ පැසැල්තර විසදුම් ගේන්න හදනවා. ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මේ ආණ්ඩුවම ඉල්ලා අස්වෙනවා මිස පැලැස්තර විසදුම් දාලා හරියන්නේ නෑ.

දැන් ආණ්ඩුව එක පැත්තකින් පැලැස්තර විසදුම් දාන ගමන්, මේ අය හමුදා ඛණ්ඩ කොළඹට කැදවලා තියෙනවා. 53 වැනි සේනාංකය කොළඹට ගේන්නේ ඇයි? යුද ටැංකි කොළඹට අරගෙන ඒන්නේ ඇයි? නොපෙනෙන තැන්වල හමුදා ඛන්ඩ ස්ථාන ගත කරන්නේ මේ රට ලේ විලක් කරන්නද? මේ රට ලේ විලක් කරන්නද අවශ්‍ය වෙලා තියෙන්නේ? මේ ඉන්නේ අන්තවාදීන්ද? මේ ඉන්නේ ත‍්‍රස්තවාදීන්ද? මේ මිනිසුන්ගේ ජීවිත බිල්ලට දීලා තමන්ගේ බලය රැුකගන්න උත්සාහ ගන්න එපා.

මිනිසුන්ගෙන් ගත්ත සල්ලි දීලා, මේ රටෙන් හොරගත්ත සල්ලි ටික ආපසු දීලා වහාම යන්න පුලුවන් තැනකට යන්න. මේ රට මිනිසුන්ගේ රට. මේ රටේ මිනිස්සුන්ට පැනලා යන්න තැනක් නෑ. ඔය අයට පැනලා යන්න පුලුවන්. ඒත් මේ රටේ මිනිස්සුන්ට පැනලා යන්න තැනක් නෑ. හමුදාව හරහා බිය වද්දලා, ජනතා විරෝධය යටපත් කරන්න එපා.

වැල ඕපන් : සුදර්ශනී ඉල්ලා අස්වෙයි : තවත් පිරිසක් ස්වාධීන වෙයි !

යෝජනා වී ඇති නව ආණ්ඩුවේ කිසිදු තනතුරක් බාර නොගැනීමට සුසිල් ප්‍රේම ජයන්ත, චන්දිම වීරක්කොඩි, අනුර ප්‍රියදර්ශන යාපා යන මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.

ඔවුන් සඳහන් කර ඇත්තේ හෙට (05) දිනයේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන හදිසි අවස්ථා රෙගුලාසි සම්මත කිරීම සඳහා වන ඡන්ද විමසීමේ දී ද ආණ්ඩු විරුද්ධව ඡන්දය දෙන බවය.

ඉදිරියේදීද පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කර ඔවුන් සඳහන් කර ඇත.

මේ අතර රාජ්‍ය අමාත්‍යවරියක වන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ද සිය ඉල්ලා අස්වීම යොමුකර ඇත.

නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා ද පවසන්නේ අර්බුදය විසඳීමට හැකියාවක් නැත්නම් හැකි පාර්ශ්වයක් වෙත බලය පැවරීමක් සිදුවිය යුතු බවයි.

මේ අතර පොදුජන පෙරමුණ ආණ්ඩුවේ තවත් පිරිසක් තනතුරු අත්හැර මතුව ඇති ජනතා විරෝධය ට සහය දෙන්න සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කබ්‍රාල් ඉල්ලා අස්වීම : තේරුමක් නෑ !

මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

තම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කර බව ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ රට අරාජික වීම හැර මේ ඉල්ලා අස්වීමේ කිසිදු වැදගත්කමක් නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු පවසා සිටියේ , කවුරුත් කබ්රාල් ට ඉල්ලා අස්වෙන්න කිව්වේ නෑ . මේ හදන්නේ අරාජික කරලා , ජනතා විරෝධතා මත වගකීම පවරන්න. "

" දැන් තියෙන්නේ ජනතා විරෝධය හමුවේ අර්බුදය උත්සන්න කිරීම නෙවෙයි , අර්බුදය වෙනුවෙන් විසඳුම් හොයන්න. ඒ හමුවේ මේ තේරුමක් නැති වැඩක්. ඉක්මනින් ජනතා විරෝධය සමනය කරන්න යෝජනා ඉදිරිපත් කරන්න ඕන . ඒ හැර විකල්පයක් නෑ "

 

හොඳම අමාත්‍ය ධූර පොහොට්ටුවේ : ජනාධිපති ආරාධනය අපතේ !

රට තුළ මේ වනවිට උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා එක්වන්නැයි සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරාධනා කරයි.

වත්මන් අර්බුදය හටගෙන ඇත්තේ ආර්ථික හා ගෝලීය කාරණා කීපයක් හේතුවෙන් බවත් ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතර ප්‍රධාන පෙළේ රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළම ඊට විසඳුම් සෙවිය යුතුව ඇති බවත් ඔහු කියා සිටී.

සමස්ත රට වැසියන් සහ අනාගත පරපුර වෙනුවෙන් ජාතික අවශ්‍යතාවයක් ලෙස එකමුතුව ක්‍රියා කළ යුතු බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

ඒ සඳහා අමාත්‍ය ධුර භාර ගෙන ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ වලට ජනාධිපතිවරයා ආරාධනා කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

අලුත් 4 ක් කඩිනමින් !

මේ අතර පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත් කරන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනිකුත් කටයුතු නීත්‍යානුකූල සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා කැබිනට් අමාත්‍යවරුන් 4 ක් පත්කර ගෙන ඇත.

ඒ,

මුදල් ඇමති – අලි සබ්රි
අධ්‍යාපන ඇමති – දිනේෂ් ගුණවර්ධන
විදේශ ඇමති – ජී.එල්. පීරිස්
මහාමාර්ග ඇමති – ජොන්ස්ටන් ප‍්‍රනාන්දු වශයෙන් ය.

එන අයට වැඩක් නෑ !

කෙසේ වුවත් මේ නව පත්කිරීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ අයවැය ප්‍රතිපාදන තුළ වටිනා අමාත්‍යංශ පොදුජන පෙරමුණේ තබාගෙන ජනාධිපති විසින් සිදුකර ඇති ඉල්ලීම අර්ථ විරහිත බවයි.

මතුව ඇති අර්බුදය හමුවේ මුදල් අමාත්‍යංශය හැර වෙනත් අමාත්‍ය ධූර හිස්ව පැවතියේ නම් වැදගත් බවත් , ඔවුන් පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු මෙසේ අදහස් දැක්වීය.

 " තේරුමක් නැති වැඩක් මේක. ජනාධිපති වෙත වැරදි උපදෙස් ලැබිලා වගේ. 2022 අයවැය ගැන සංවේදී කිසිවෙක් මේ හමුවේ ආණ්ඩුවේ නොවන පාර්ශ්වයක් ලෙස අමාත්‍ය ධූර භාරගනු ඇතැයි හිතන්න බෑ. මේක විහිලුවක්. ඒ බව දැනටමත් ප්‍රතිචාර හරහා සමාජ මාධ්‍ය තුළ නැගෙමින් තිබෙනවා "

ඇමති නාමල් ඉල්ලා අස්වෙයි !

අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

අද (03) සන්ද්‍යාවේ ආරම්භ වූ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඔහු මෙම තීරණය ගෙන ඇති බවත් වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ විරෝධය සමනය කරගන්නට උපක්‍රමයක් ලෙස නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මේ තීරණය ගෙන ඇති බවය.

මේ වන විට නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ගේ බිරිඳ දරුවා ඇතුළු සමීපතමයන් කිහිපදෙනෙකු විදෙස් ගතව ඇති අතර , ඒ හේතුවෙන් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ධූරයට සමුදී ඔවුන් සමග එක්වන අපේක්ෂාවෙන් ඉල්ලා අස්වීම සිදුවන්නට ඇති බව තවත් විචාරකයන් ගේ අදහස වී ඇත.

ආණ්ඩුව පෙරළන්න : රට නම් පෙරළන්න එපා - ඩලස්

ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට විරුද්ධ නම් ආණ්ඩුව පෙරළන්න. ඒත් රට පෙරළන්න එපා" යැයි ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම රජයේ හා පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානින් හමුවේ ප්‍රකාශ කර ඇත.

අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ ආරක්ෂා කළ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම සියලු දෙනාගේම වගකීමක් බව ප්‍රකාශ කර ඇති අලහප්පෙරුම මහතා මිරිහානේ ජනාධිපතිවරයාගේ නිවස ආසන්නයේ පැවති උද්ඝෝෂණය අතරවාරයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා අනුමත කළ නොහැකි බව ද සඳහන් කර ඇත.

ජනතාවට ජීවත්වීමට තිබෙන ගැටලු තමාද පිළිගන්නා බව සඳහන් කර ඇති අලහප්පෙරුම මහතා ජනතාවගේ විරෝධය සාධාරණ බවද ප්‍රකාශ කර ඇත.

ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සහ රජයේ හා පෞද්ගලික ආයතන මාධ්‍ය ප්‍රධානීන් අතර හමුව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ඉකුත් සිකුරාදා (01) පවත්වා ඇත.

මේ අතර, වට්ස් අප් , වයිබර් ,ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා තහනම් කිරීම සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් ඇමති අලහප්පෙරුම එය දේශපාලන වශයෙන් ගත් අනවශ්‍ය තීන්දුවක් බව ද සදහන් කළේය .

වට්ස් අප් ,වයිබර් ,ෆේස්බුක් ආදි සමාජ මාධ්‍ය ජාලා තහනම් කිරීමට ගත් තීරණයට තමා විරුද්ධ බව සඳහන් කළ ඇමතිවරයා එය නූතන තාක්ෂණය සම්බන්ධයෙන් නොදැනුවත් පිරිසක් ගත් තීන්දුවක් බව ද සදහන් කළේය.

(මූලාශ්‍රය lankadeepa )

අගමැති ඉවත්වෙලා නෑ : මාධ්‍ය අංශය පවසයි !

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට පළ වන වාර්තා අසත්‍යය බව අගමැති මාධ්‍ය අංශය පවසයි.

ඊට අනුව විවිධ මාධ්‍ය ඔස්සේ අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට පළ වන වාර්තා පදනම් විරහිත වන අතර එවැනි සැලසුමක් දැනට නොමැති බව ද එම නිවේදනයේ දැක්වෙයි.

277574120 10227680432859444 947604668054187388 n

මානව හිමිකම් කොමිසම පොලිස්පතිව කැඳවයි !

මිරිහානේ පැවති විරෝධතාවය අවස්ථාවේ මාධ්‍යවේදීන් වෙත එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පති වෙතින් කරුණු විමසීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සියලු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් අද (03)පැවති විශේෂ හමුවකදී මේ ඇතුළු තීරණ කිහිපයකට එළැඹි බව එම කොමිසමේ සභාපතිනී විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ පවසයි.

ඒ අනුව මිරිහානේ දී මාධ්‍යවේදීන් වෙත එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමට අප්‍රේල් 05, අඟහරුවාදා පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවීමට නියමිතව ඇත.

එසේම අනුරාධපුර විරෝධතාවයේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු එම විරෝධතාකරුවන්ට කළ පහරදීමක් සම්බන්ධයෙන් ද මානව හිමිකම් කොමිසන් සභාවේ අවධානය යොමුව තිබේ.

කොමිසම ප්‍රකාශ කළේ, ඔහු ද ලබන අඟහරුවාදා කොමිසම හමුවට කැඳවා ඇති බවය.

 

අන්තර් කාලීන පාලකයක් වෙනුවෙන් : මහින්ද ඉල්ලා අස්වීමේ සූදානමක් !

සර්ව පාක්ෂික අන්තර් කාලීන පාලනයක් වෙනුවෙන් අවස්ථාව සලසාදී අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම සඳහා මහින්ද රාජපක්ෂ තීරණය කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසයි.

අගමැතිවරයා මෙම තීන්දුව ගත් බව ආරංචි වීමත් සමග බැසිල් රාජපක්ෂ අද (03) ජනාධිපතිවරයා හමුවී අගමැතිවරයාට ඉල්ලා අස්වීමට ඉඩනොතබන ලෙසත් අනෙකුත් සියලුම රාජපක්ෂවරු ඇමතිධුරවලින් ඉවත්වීමට සුදානම් බවත් දැනුම් දී තිබෙන බවත් වාර්තා වෙයි. නමුත් දැනගන්නට ඇති ආකාරයට ජනාධිපති හෝ අගමැති එම ඉල්ලීම පිළිගෙන නැත.

ඒ අනුව වැඩිදුරටත් වාර්තා වන ආකාරයට අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමට අදාල ලිපිය මේවනවිට සූදානම් කෙරෙමින් ඇත. එය බොහෝ දුරට අද රාත්‍රී හෝ හෙට (04) උදයේ ජනාධිපති වෙත යොමුකරනු ඇති බවත් වාර්තා වෙයි.

විමල්ලා ගේ මැදිහත්වීමක් !

අගමැතිවරයා ඉල්ලා අස්වූ වහාම කැබිනට් මණ්ඩලය ඉබේම අහෝසිවී යන අතර මේ වන විටත් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති මෙන්ම අගමැති ද එකඟතාව පළකල බවත් ප්‍රසිද්ධ කරුණකි.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසන්නේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් ඉදිරිපත් කල යෝජනාවකට ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ එකඟත්වය පලවී ඇති බවය.

ඒ අනුව යෝජනාව වී ඇත්තේ පවතින අර්බුදය විසඳීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල සහභාගිත්වයෙන් අන්තර් කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කිරිමටත් අනතුරුව කෙටි කාලයක් තුලදී මහ මැතිවරණයක් කැඳවීමටත් ය.

හිටපු අමාත්‍ය විමල් විරවංශ, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, අමාත්‍ය වාසුදේව නානායක්කාර හා පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ඊයේ ජනාධිපතිවරයා හමුවී එම ඉල්ලීම සිදුකර ඇති අතර, ඔවුන් අද අගමැති වරයා ද හමුවී එම යෝජනාව ම ඉදිරිපත්කර ඇත.

ඒ අනුව, බොහෝදුරට හෙට වනවිට අලුත් කැබිනට් මණ්ඩලයක් සහිත අලුත් ආණ්ඩුව පිහිටුවීමට ඉඩ ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසිය.

 

මිරිහානේ ප්‍රහාරය සැලසුම් සහගත වැඩක්- ජාතික මාධ්‍ය සංසදය

මිරිහානේදි ජනමාධ්‍යවේදින්ට එල්ල කරන ලද ප්‍රහාරය තරයේ හෙළා දකින බව අවධාරණය කරමින් ජාතික මාධ්‍ය සංසදය නිවේදනයක් නිකුත්කර ඇත.

මෙම සිදු වීම ‍සත්‍ය තොරතුරු සමාජ ගත විම වැළැක්වීම සඳහා ඉතා සැළැසුම් සහගත ලෙස සිදු කරන ලද ප්‍රහාරයක් ලෙස සලකන බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.

ජාතික මාධ්‍ය සංසදය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

2022.03.31 වැනි දින මිරිහාන ප්‍රදේශයේ පැවැති මහජන විරෝධතාවය සහ ඒ ආශ්‍රිතව සිදුවූ සිදුවීම් පිළිබදව අපගේ විශේෂ අවධානය යොමුව ඇත. විශේෂයෙන් එම සිදුවීම වාර්තා කරමින් සිටි මාධ්‍ය වේදීන්ට ඉතාම සැළසුම් සහගත ලෙස ආරක්ෂක අංශ සහ වෙනත් සිවිල් ඇඳුම්න් සැරසුන පුද්ගලයින් විසින් එල්ල කරන ලද ප්‍රහාරය ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර මෙම සිදු වීම ‍සත්‍ය තොරතුරු සමාජ ගත විම වැළැක්වීම සඳහා ඉතා සැළැසුම් සහගත ලෙස සිදු කරන ලද ප්‍රහාරයක් ලෙස අපි සළකමු.

එමෙන්ම මෙතෙක් ඉතිහාසයේ මෙරට ජනතාව මුහුණ දුන් බරපතලම ආර්ථික අර්බුදයට හා පීඩනයට මුහුණ දී සිටින මේ මොහොතේ එම පීඩනයට එරෙහිව නැගී සිටින ජනතාව මර්දනය කිරීම සඳහා ආණ්ඩුව විසින් ගිනිමින් සිටින විවිධ පියවරයන් පිළිබඳවද අපගේ විශේෂ අවධානයට යොමුව ඇත.

එමෙන්ම ආණ්ඩුවේ මෙවැනි ක්‍රියා මාර්ගවලින් පැහැදිළි වන්නේ අර්බුදයට විසදුම් ලබාදීම වෙනුවට, රටේ ප්‍රජාතන්ත්‍රවාදය, භාෂණයේ සහ අදහස් ප්‍රකාශණයේ මෙන්ම සාමකාමීව රැස්වීමේ හා විරෝධය පළ කිරීමේ ජනතාව සතු අයිතිය ආණ්ඩුව විසින් ඉතා වේගයෙන් පැහැර ගනිමින් සිටින බවයි. මෙම වර්ධනය වන තත්ත්වය පිළිබඳව ඉතාම සවිඥානිකව අවධියෙන් සිටින ලෙස අපි මේ රටේ පොදු මහජනතාවගෙන්, සිවිල් සංවිධානවළින් මෙන්ම දේශපාලන පක්ෂ සහ ව්‍යාපාර වළින්ද ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු‍.

එමෙන්ම ජනමාධ්‍යවේදීන්ට එල්ල කරන ලද මෙම මිලේච්ඡ ප්‍රහාරය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත්, වැරදිකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කරන ලෙසත් අපි ආණ්ඩුවට බල කර සිටිමු. එමෙන්ම ප්‍රජාතාන්ත්‍රික සමාජයක ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කරන, මෙන්ම භාෂණයේ හා ප්‍රකාශණයේ නිදහස සුරක්ෂිත කිරීම සහ තොරතුරු දැන ගැනීමේ මහජනයා සතු මූලික අයිතිය වෙනුවෙන් විශාලතම වැඩකොටස ඉටු කරන ජනමාධ්‍යවේදින්ගේ ආරක්ෂාව සහතික කරන ලෙස ආණ්ඩුවට බල කරමු.

එසේම ඔවුන්ගේ රාජකාරී බාධාවකින් තොරව පවත්වා ගෙන යෑමට අවශ්‍ය පරිසරය ඇති කරන ලෙස ද බල කරමු. 2005 -2015 කාල සීමාව තුළ මෙරට සිදුවු ලේවැකි මාධ්‍ය මර්දනයන් යළි සිහි ගන්වන මෙවැනි සිදුවීම් ගත් තැනම පරාජය කිරීමට භේදයකින් පෙරට එන ලෙස මෙරට සියළුම ප්‍රගතිශිළී මහජන බලවේගවළින් අපි දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.

 විධායක කමිටුව

ජාතික මාධ්‍ය සංසදය

2022.04.03

තනි තනිව නොව එක්ව විසඳුම් සොයමු - පොදු සතුරා පරදමු!

මේ වන විට රටේ පවතින දේශපාලනික සහ ආර්ථික අර්බුධය මුල් කර ගෙන ඊයේ (අප්‍රේල් 2) ජනමාධ්‍යවේදීන්, නීතිඥයන්, කලාකරුවන් සහ සමාජ ක්‍රියාකාරීන්ගෙන් සැදුම් ලත් නිදහස් මතදාරීන් සීමිත පිරිසක් කොළඹදී හමුවිය. මෙහි මූලික පරමාර්තය වූයේ වත්මන් ආර්ථික අගාධයෙන් හා අරාජිකත්වයෙන් ගොඩ ඒම වෙනුවෙන් සාමුහිකව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමය.

මේ සදහා ආරධනා ලැබූ සියලු පාර්ශවකරුවන් විවිද දේශපාලන මතවාද හා අදහස් සමග පෙරමුනට පැමින සිටි මුත් , මොවුන් සියල්ලන් ඉදිරියේ ඇත්තේ පොදු අරමුණක් සහ පොදු සතුරෙක් බව සාකච්ඡාව ආරම්භයේදීම තීරණය කෙරුනා.

මෙම හමුවේ අදහස් දැක්වූ නීතිඥ K.W. ජනරංජන මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂ හා නිශ්පාදක යූ ඒ පල්ලියගුරුගේ කියා සිටියේ මූලිකවම හදිසි නීතිය අවලංගු කිරීමට ගත හැකි සෑම උත්සාහයක්ම ඉතා ඉක්මනින් ගත යුතු බවත් මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කල යුතු බවත්ය. ජනතාව විසින් බලාපොරොත්තු වන විසඳුම අප විසින් නිවැරදිව ගොඩ නගා ගත යුතු බවත් මෙහිදී ඔවුන් පවසා සිටියා.

තවදුරටත් මෙම අර්බුධයට පැලැස්තර ඇලවීමට රාජපක්ෂවරුන්ට ඉඩ ලබා නොදිය යුතු බවත්, වැටී ඇති ආර්ථික අගාදයෙන් ගොඩ ඒමට විසදුම් ලෙස යොදාගත හැකි වූ රාජපක්ශවරුන් විසින් මෙරට කොල්ලකෑ ජාතික දනය යලි ලබාගැනීමේ නෛතික ක්‍රියා පිලිවෙලක් වෙත අවදානය යොමුකල යුතු බව මාධ්‍යවේදී නදී වාසලමුදලිආරච්චි යෝජනා කල අතර, සිනමාවේදී ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්දගේ මතය වූයේ පවතින ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ පොදු ජනතාව විදින පීඩාව වෙත මූලික අවදානය මේ මොහොතේ යොමුකල යුතු මුත්, පවතින පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති ව්‍යවස්තාපිත අඩුලුහුඩුකම් හා හිස්තැන් ප්‍රතිසංස්කරනයට ලක් කිරීම දිවිතීක හෝ තෘතීක දේශපාලන ඉලක්ක වශයෙන් සපුරා ගැනීමට ක්‍රියාකල යුතු බවයි.

එමෙන්ම කථිකාචාර්ය විශාඛා සූරියබණ්ඩාර ද පවසා සිටියේ මෙවන් ආර්ථික දේශපාලනික තත්වයන් යලි යලිත් ඇති නොවීම උදෙසා ජනතාව ක්‍රියාකාරී ලෙස සහබාගී විය යුතු බවත් රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීමේදී පොදු ජනතාවගේ දායකත්වය ලබා ගත හැකි වැඩ පිළිවෙලක් නිර්මාණය කලයුතු බවත්ය.

තවදුරටත් අදහස් දක්වමින් විදර්ශන කන්නන්ගර කියා සිටියේ රටේ පවතින වත්මන් තත්වයට මූලික හේතුවක් වී ඇත්තේ රාජපක්ෂ ආණ්ඩුව විසින් රට තුල වැපිරූ ජාතිකවාදී අදහස් මෙන්ම එම මතවාදය මුල් කරගෙන ක්‍රියාත්මක කල ප්‍රතිපත්ති බවය. මීට අමතරව ඔහු පැවසූයේ විවිධ මතවාද සමගින් අර්බුධකාරී වටපිටාවක් තුල දිනෙන් දින ගොඩ නැගෙන ජනතාව සමග පොදු එකඟතාවයකට යාම අපහසු වුවත් යම් කිසි මූලාරම්භයක් ගැනීම උදෙසා එය ඉතා වැදගත් වන බවත්ය

ඉදිරි ක්‍රියාකාරකම් රැසක පළමු වටය ලෙස සිදු වූ මෙම සාකච්ඡාවට මාද්‍යවේදිනී ජයනි අබේසේකර, සමාජ ක්‍රියාකාරිනී සකුණි සේනාධිරිගේ, මාද්‍යවේදී රoග චන්ද්‍රරත්න , මාද්‍යවේදී තමීර මoජු, චිත්‍රශිල්පී හා කලා අද්‍යක්ශ ප්‍රගීත් රත්නායක , චිත්‍රපට අධ්‍යක්ෂ ශර්ලි සමරසිංහ හා සමාජ ක්‍රියාකාරී අතුල එම් ගමගේ ඇතුලු තවත් පිරිසක් අදහස් හා යෝජනා වලින් දායක වන ලදී.

 WhatsApp Image 2022 04 03 at 21.57.46

WhatsApp Image 2022 04 03 at 21.58.39

 

 

මහජනතාව පොදුසතුරා ලෙස සලකන්න එපා : සංගත් සටනට ආවා !

"මහජනතාව වර්තමාන පීඩාකාරී මුදවා ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග පටු දේශපාලන. ආගමික හෝ ජාති භේදයන්ගෙන් බැහැරව ගතයුතු වන අතර ඒ සඳහා පාලකයින් කැපවන බව ජනතාවට දැකගනිමට නොහැකි වීම කනගාටුදායකය" ලෝ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම මෙරට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයකු වන කුමාර සංගක්කාර පවසයි.

"මහජනතාව පොදු සතුරා සේ නොසලකා ඔවුන්ගේ වර්තමාන හා අනාගත අභිවෘදිය උදෙසා කළහැකි උපරිමය කිරීමත් ජනතාවගේ ආරක්ෂාව හා ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමත් සෑම රජයකම පළමු හා උත්තරිතම වගකීම වන බව අවධාරණය කරනු කැමැත්තෙමි." යනුවෙන් ද ඔහු සඳහන් කර ඇත.

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර සංගක්කාර මේ බව සඳහන් කර ඇත්තේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් වන අතර එය පහත දැක්වෙයි.

සංගා තැබූ සටහන !

ඉතිහාසයේ අන්කවරදාකටත් වඩා පීඩාකාරී හා අතිදුෂ්කරවූ කාල පර්ච්චේදයක් ශ්‍රී ලාංකිකයින් ලෙස අප සියළු දෙනාම පසුකරමින් බව නොරහසකි. තම පවුලේ අවශ්‍ය මුලිකාංගයන් පමණක්වත් සපයා ගැනීමට අනන්ත අප්‍රමාණ දුක්ගැහැට වලට දෙන බහුතරයක් ශ්‍රී ලාංකිකයින් පිළිබඳව මම හදවතින්ම කම්පාවට පත්වී සිටින්නෙමි.

පවතින වර්තමාන පිඩාකාරි තත්වයට විසදුමක් ඉල්ලා සිටින ශ්‍රී ලාංකීය ජනතාව රජයේ හෝ දේශයේ සතුරන් නොවන බව අවධාරණය කරන අතරම උද්ගතව පතින දැඩි අසහනකාරී තත්වයට නිසි විසදුම් ලබාදීම බලධාරීන්ගේ වගකීම වන බව විශ්වාස කරමි.

මෙවැනි පීඩාකාරී කාලවකවානුක පටු දේශපාලන වාසි ලබා ගැනීමට ජනතාව අතර සිටිමින් ජනතාව පිඩාවට හා අසහනයට පත්ව සිටින ජනතාව ප්‍රකොපගන්ව ගන්වා තත්වයන් ඇති කිරීමට උත්සහ ගන්න පුද්ගලයින් හා පිළිබඳව සැලකිලිමත්ව සිටීම අප සියළු දෙනාගේම වගකීම වන්නේය.

මහජනතාව වර්තමාන පීඩාකාරී මුදවා ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග පටු දේශපාලන. ආගමික හෝ ජාති භේදයන්ගෙන් බැහැරව ගතයුතු වන අතර ඒ සඳහා පාලකයින් කැපවන බව ජනතාවට දැකගනිමට නොහැකි වීම කනගාටුදායකය.

මහජනතාව පොදු සතුරා සේ නොසලකා ඔවුන්ගේ වර්තමාන හා අනාගත අභිවෘදිය උදෙසා කළහැකි උපරිමය කිරීමත් ජනතාවගේ ආරක්ෂාව හා ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමත් සෑම රජයකම පළමු හා උත්තරිතම වගකීම වන බව අවධාරණය කරනු කැමැත්තෙමි.

ශ්‍රී ලංකාව, සැබවින්ම ශ්‍රී ලංකාව වන්නේ එහි වෙසෙන සෑම ශ්‍රී ලාංකිකයකුම නිසා බව අප අමතක නොකලයුතුය. එබැවින් ශ්‍රී ලංකාව රැකගැනීම අප සියලුදෙනාගේම යුතුකම වන්නේය.

විරෝධයේ හා භාෂණයේ අයිතිය රකිනු : මාධ්‍ය සංවිධාන පෙරට !

 
වාර්තාකරණයේ අයිතිය විරෝධය දැක්වීමේ අයිතිය ඇතුළු භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සුරකිනු මැයෙන් ආණ්ඩුවට බලකරමින් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය නිවේදනයක් නිකුත්කර ඇත.
 
මාර්තු 31 සිදුවීමේදී මාධ්‍යවේදීන්ට පහර දීම සිදු වන්නේ ඔවුන් බොහෝ දෙනෙකු මාධ්‍යවේදීන් ලෙස ආරක්ෂක අංශ වෙත තමන් හදුන්වා දුන් පසුව බව වීඩියෝ සාක්ෂිි මගින් ඔප්පු වන බවත් පහරදීම් සිදු වන්නේ කැමරා උපකරණ ඔවුන් අතැතිව සිටියදී බවත් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ නිවේදනයේ දැක්වෙයි.
 
අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .
 
පසුගිය මාර්තු 31 දින සිට පුරවැසියන්ගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට බරපතළ බාධා කිරීමේ ක්‍රියාවන් කිහිපයක් සිදු වී ඇති බවත් මෙය අඛණ්ඩව පැවතීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙළීමක් බව අපගේ විශ්වාසයයි. මේ වන විටත් සියළු සමාජ මාධ්‍ය ජාලා අවහිර කරමින් ආණ්ඩුව විසින් ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස මුළුමනින්ම උල්ලංඝනය කර ඇත. සමාජ මාධ්‍ය ජාලා අවහිර කරමින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීම වළක්වාලන ආණ්ඩුවේ අත්තනෝමතික මෙන්ම මුග්ධ තීරණය හකුළා ගෙන ජනතාවට නිදහසේ සිය අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ දෙන ලෙස අප ආණ්ඩුවට බලකර කියා සිටිමු.
 
මාර්තු 31 දින මිරිහානේ පැවැති විරෝධයේදී ආණ්ඩුවේ ආරක්ෂක අංශවල ප්‍රහාරයට ලක් වූ මාධ්‍යවේදීන් ඇතුළු පුරවැසියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් අප රජයට බල කර සිටින්නේ මාධ්‍යවේදීන්ට හා පුරවැසියන්ට එරෙහිව දිගු කර ඇති මර්ධනයේ හස්තය වහා හකුළුවා ගන්නා ලෙසයි. මාර්තු 31 සිදුවීමේදී මාධ්‍යවේදීන්ට පහර දීම සිදු වන්නේ ඔවුන් බොහෝ දෙනෙකු මාධ්‍යවේදීන් ලෙස ආරක්ෂක අංශ වෙත තමන් හදුන්වා දුන් පසුව බව වීඩියෝ සාක්ෂිි මගින් ඔප්පු වන අතර එම පහරදීම් සිදු වන්නේ කැමරා උපකරණ ඔවුන් අතැතිව සිටියදීය. වාර්තාකරණයට මාධ්‍යවේදීන්ට ඇති අයිතිය භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සහතික කිරීම උදෙසා ඇති වැදගත් අයිතිවාසිකමක් වන අතර මාධ්‍යවේදීන්ට කවර තත්වයක් යටතේ වුවද බාධාවකින් තොරව සිය වෘත්තිය කරගෙන යාමට ඇති නිදහස සහතික කිරීම ආණ්ඩුවේ වගකීමක් බවද අපි අවධාරණය කරමු. මේ ආකාරයෙන් මාධ්‍යවේදීන්ට පහර දීම පිළිබද විධිමත් ස්වාධීන සහ කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස අප රජයට බල කර සිටිමු.
 
අප්‍රේල් 01 වන දින මාධ්‍යම රාත්‍රියේදී සමාජ මාධ්‍ය මගින් ආණ්ඩුවට එරෙහිව අදහස් පළ කල තරුණ ක්‍රියාධරයකු වන තිසර අනුරුද්ධ බණ්ඩාර මහතා අත්අඩංගුවට ගැනීම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට එල්ල වූ බරපතළ තර්ජනයක් බව අපගේ පිළිගැනීමයි. විශේෂයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු එම තරුණයා රදවා සිටින ස්ථානයක් කොතෙක් විමසීම් කලද පැය ගණනක් යන තෙක් දැනුම් දීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු නොකිරීම ලැජ්ජාසහගත හා බියගුළු ක්‍රියාවක් බවද අප පෙන්වා දෙමු. ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීමට මර්දනීය නීති හා ආරක්ෂක අංශ යොදා ගැනීම අප පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර එම ක්‍රියාවන් වහා නවත්වන ලෙස අප රජයට බල කර සිටිමු.
 
කිසිදු හේතුවක් නොමැතිව, නිරීක්ෂනය වන පරිදි ජනතාව විසින් සංවිධානය කල විරෝධතා ව්‍යාපාරය කඩාකප්පල් කිරීමේ එකම අරමුණ ඇතුව ඇදිරි නීතිය පැනවීමේ ජනාධිපතිවරයාගේ ක්‍රියාව මුළුමනින්ම ප්‍රජාතන්ත්‍රවිරෝධීය. මහජනයා බරපතළ පීඩාවන්ට ලක් වී ඇති අවස්ථාවක ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් ඉටු කිරීම සදහා මැදිහත් වනවා වෙනුවට ජනාධිපතිවරයා විසින් රට පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැර අන් ඕනෑම නීතියක් අතික්‍රමණය කල හැකි, සංශෝධනය කල හැකි, සහ අත්හිටුවිය හැකි මර්දනකාරී හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම ප්‍රජාතන්ත්‍රවාදය ආපසු හරවා මහජන විරෝධය යටපත් කිරීමේ උත්සහයක් බව බැලූ බැල්මට පෙනී යයි. මෙම හදිසි නීති රෙගුලාසි හා පොදු ජන ජීවිතයට බාධා පමුණුවන ඇදිරි නීතියද වහා ඉවත් කරන ලෙස අප රජයට බල කර සිටිමු. එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ සියළුම මහජන නියෝජිතයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරන ජනාධිපතිවරයා පැනවූ හදිසි නීති රෙගුලාසි පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට ඉඩ නොදෙන ලෙසයි.
 
විරෝධය දැක්වීම ඇතුළු අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය මෙන්ම සමාගමයේ හා සංවිධානය වීමේ අයිතිය පුරවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි වී ඇති මූලික අයිතිවාසිකමක් බවත් මූලික අයිතිවාසිකම් මෙරට ජනතාවගේ පරමාධිපත්‍යයේ කොටසක් බවත් අප රජයට අවධාරණය කරමු. ශ්‍රී ලංකා ජනතාවගේ පරමාධිපත්‍යය සුරැකීම ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ අත්හළ නොහැකි වගකීමක් බවත් අප රජයට සිහිපත් කරමු. මෙම තත්වය තුළ ආණ්ඩුව විසින් භාෂණයේ හා ප්‍රකාශණයේ නිදහසට, සමාගමයේ හා සංවිධානය වීමේ අයිතියට, මාධ්‍යවේදීන්ට වෘත්තිය නිදහසේ කරගෙන යාමට ඇති අයිතියට හා ප්‍රජාතන්ත්‍රවාදයට සිදු කරන බාධා කිරීම් වලදී ඊට එරෙහි වීමට අප පසුබට නොවන බවත්, ඒ සදහා පුරවැසියන් ගනු ලබන ක්‍රියාමාර්ග වලදී ඔවුන් සමග එකට සිට ගැනීමට ද අප සූදානම් බවත් ප්‍රකාශ කරමු.
 
විධායක මණ්ඩලය වෙනුවෙන් අත්සන් කලේ
 
දුලාන් දසනායක       කේ.සංජීව
ලේකම්                         සභාපති

වහාම සමාජ මාධ්‍ය යථා තත්ත්වයට පත්කරන්න -PUCSL

වහාම සමාජ මාධ්‍ය යථා තත්ත්වයට පත්කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම ඉල්ලීමක් කරයි.

ඒ, විදුලි කප්පාදුව සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට දැනුම්දීමේ අපහසුවක් ඇති බව සඳහන් කරමින්ය

මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් සහ සියලුම ජංගම පහසුකම් සපයන්ගෙන් එම ඉල්ලීම කර තිබේ.

එම කොමිසම පවසන්නේ, වහාම සමාජ මාධ්‍ය යථා තත්ත්වයට පත්කරන ලෙසය.

VPN දාගෙන ආව නාමල්ට : දිලිත්ගෙන් සැර ප්‍රතිචාරයක් !

මේ වන විට සමාජ මාධ්‍ය ජාලා අවහිර කර ඇති නමුත් , ඒ මධ්‍යයේ අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය ට්වීටර් ගිනුමේ තැබූ සටහනක් සහ ඊට ජනාධිපති ගේ අතිසමීප හිතවතෙකු බවට ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර තැබූ ප්‍රතිචාරයක් සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් දිනාගෙන ඇත.

මෙහිදී ඇමති නාමල් රාජපක්ෂ පවසන්නේ ශ්‍රී ලංකාව තුළ සමාජ ජාල අවහිර කිරීම තමන් කිසිසේත් අනුමත නොකරන බව ය.

එනිසා මෙම තීරණය ගැන වඩා ප්‍රගතිශීලී ව සිතා නැවත සලකා බලන ලෙස තමා ඉල්ලා සිටින බව තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු ඒ බව පවසයි.

තමන් ද සමාජ ජාලය වෙත පිවිසුණේ විකල්ප ක්‍රම භාවිතයෙන් බවද හෙතෙම කියා ඇත.

පහත දැක්වෙන්නේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා තැබූ ට්වීටර් සටහන සහ ඊට දිලිත් ජයවීර ගේ ප්‍රතිචාරයයි.

FB IMG 1648967266100

ඇඳිරි නීතිය දැම්මේ කා වෙනුවෙන්ද ?

හදිසි අවස්ථා නීතිය හා ඇඳිරි නීතිය පනවනු ලැබූයේ සාමය, ජනජීවිතය හා මහජන සහ පෞද්ගලික දේපල ආරක්ෂා කිරීමේ එකම අරමුණ ඇතිව බව රජය පවසයි.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා නිවේදනයක් නිකුත්කරමින් ය.

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස හා සාමකාමී ලෙස විරෝධය පෑමේ අයිතිය මෙන්ම මහජන සාමය හා රාජ්‍ය, පෞද්ගලික දේපළ ආරක්ෂා කිරීමට ද රජය බැඳී සිටින බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස, සාමකාමී ලෙස රැස්වීමේ හා විරෝධය පෑමේ අයිතිය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කොට ප්‍රවර්ධනය කිරීම රජය ප්‍රතිඥා දී පිළිගෙන ඇති ප්‍රතිපත්තියක් බවත් පසු ගිය වසර දෙකට වැඩි කාලය තුළ ඒ බව ප්‍රායෝගිකව සනාථ කර ඇති බවයි.

වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු කිසිදු සාමකාමී උද්ඝෝෂණයකට හෝ විරෝධතා පෙළපාලියකට හෝ බැටන් ප්‍රහාර, කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේ නැති බවත් එම නිවේදනය සිහිපත් කර ඇත.

ඇඳිරි නීතිය කැඩුවට 664 ක් අත්අඩංගුවට : පොදු ස්ථානත් තහනම් !

රජය මගින් ප්‍රකාශයට පත් කළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 664 දෙනකු බස්නාහිර පළාත තුළින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දූව පැවසීය.

ඊයේ (02) රාත්‍රී 10 සිට අද (03) අලුයම 6 දක්වා මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර පොදු ස්ථාන ඊයේ (2) පස්වරු 6.00 සිට 4 වැනිදා පෙරවරු 6.00 දක්වා තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම කාලය තුළ පොදු මාර්ගයක, උද්‍යාන, විනෝදාස්වාදක හෝ වෙනත් ක්‍රීඩාංගණවල, දුම්රිය මාර්ගවල, මුහුදු වෙරළේ කාලය ගත කිරීම තහනම් බව එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ ගැසට් පත්‍රය පහත දැක්වෙයි .

FB IMG 1648917558876

තොරතුරු තාක්ෂණ ලොක්කා : ඉල්ලා අස්වෙයි !

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිත ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ ඕෂධ සේනානායක එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

අදාළ ඉල්ලා අස්වීම අද (03) සිදුකර ඇති බවත් වාර්තා වෙයි.

ඒ අනුව ඕෂධ සේනානායක සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර ඇත්තේ තාක්‍ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයාට ය.

මේ අතර ආරක්ෂක අමාත්‍යාංශය විසින් කළ ඉල්ලීමක් මත මෙරට සමාජ මාධ්‍ය ජාලා අවහිර කර ඇති බව තාක්ෂණ අමාත්‍යාංශය සදහන් කරයි.

එහි ලේකම්වරයා සදහන් කරන්නේ මෙම අවහිර කිරීම තාවකාලිකව සිදු කරන ලද බවය.

ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට මෙරට සිට සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීම අවහිර වී ඇත.

Page 273 of 388