පුවත්

එයරොෆ්ලොට් ඔක්තෝබර් සිට යළිත් දිවයිනට
ආන්දෝලනයට තුඩු දුන් රුසියානු එයරොෆ්ලොට් ගුවන් සේවාව නැවත ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමත්‍යංශය සඳහන් කළේ, එයරොෆ්ලොට් ගුවන් සේවාව ශ්‍රී ලංකාව තුළ සිය ගුවන් මෙහෙයුම් එළඹෙන ඔක්තෝබර් 9 වන දින සිට ආරම්භ කිරීමට නියමිත බව ය.
ඒ අනුව කොළඹට ගමන්කරන ගුවන්ගමන් 09වැනිදා සිට මූලික වශයෙන් සතියකට දෙවරක් ක්‍රියාත්මක වන බවද එම නිවේදනයේ දැක්වේ.
රුසියානු ඵරෝෆ්ලොට් ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත සිදු කෙරෙණ වාණිජ ගුවන් ගමන් අත්හිටුවනු ලැබුවේ ඵම ගුවන් සේවයට අයත් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය ඉකුත් ජූනි මස 02වනදා නිකුත් කළ වාරණ නියෝගය හේතුවෙනි.

රනිල් ගෙන යන වියරු මර්දනය නතර කළ යුතුයි - අනුර කුමාර
පාර්ලිමේන්තුවෙන් අටවා ගත් ජනාධිපතිකම ඔළුවට ගහලා රනිල් ගෙන යන වියරු මර්දනය නතර කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරදිසානායක පවසයි.
ඔහු එබැව කියා සිටියේ, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ අද (25) පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.
''ආණ්ඩුව තමන්ගේ බංකොලොත්භාවය නිසා ජනතාවගේ ප්‍රශ්න විසඳීමට අසමත්වීමෙන් ඇති වී තිබෙන විරෝධතාවයන්ට ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කිරීම දක්වා ගොස් තිබෙනවා. අපේ පක්ෂයට අනුබද්ධ සමාජවාදී තරුණ සංගමය 24 වැනිදා විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වූවා. ඒ උද්ඝෝෂණය ඉතාමත් සාමකාමියි, නීත්‍යානුකූලයි. කිසිදු පොදු දේපළකට හානියක් නොවන ලෙස උද්ඝෝෂණය පැවැත්වූවා.
නමුත් පොලීසිය මංපහරන්නන්ගේ ස්වභාවයෙන් මඟ හරස්කොට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කර, 84දෙනෙක් අත්අඩංගුවට ගත්තා. හත්දෙනෙක් රෝහල්ගත කර තිබෙනවා. ජනතාවගේ සාධාරණ ප්‍රශ්නවලට විසඳුම් ලබාගන්න සිදුකරන විරෝධයන්, උද්ඝෝෂණයන් පැවැත්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන නිදහස මුළුමනින්ම උල්ලංඝනය කරමින් මෘග ඒකාධිපතියෙක් හැටියට රනිල් වික්‍රමසිංහ කටයුතු කරනවා.
ජනතාවගේ මේ නැගී සිටීම්, පහරදී, අත්අඩංගුවට ගෙන මර්දනය කරන්න ජනාධිපති කල්පනා කරනවා නම්, එය ඔහුගේ වියරු සිහිනයක් විතරයි. මේ තරුණ තරුණියන්, ගොවි ජනතාව, කම්කරු ව්‍යාපාරය, තමන්ගේ ඇඟේ අමාරුවට පාරට බහිනවා නොවෙයි. ඔවුන්ගේ ජීවිත පිළිබඳ සියලු අපේක්ෂාවන් මේ පාලක කණ්ඩායම් විසින් බිඳවට්ටවා ඉවරයි.
ඉදිකිරීම් කර්මාන්තය මුළුමනින්ම කඩා වැටිලා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කඩා වැටී බොහෝ පිරිසකට රැකියා අහිමි වෙලා. තරුණ පරපුරට රට තුළ රැකියාවක් සොයාගත නොහැකි තරමට දරුණු අර්බුදයක් තිබෙන්නේ. රෝහල්වල බෙහෙත් නැහැ. දරුවන්ට හරිහමන් ආහාර වේලක් දෙන්න නොහැකි වීමෙන් පාසල්වලදී ක්ලාන්තවී ඇද වැටෙනවා. ගැබිණි මව්වරුන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් නොමැතිවී තිබෙනවා. මේ කිසිවක් ස්වභාවික ව්‍යසනයන් නොවේ.
මුළු මහත් සමාජයම ඛේදවාචකයකට ලක්කර තිබෙනවා. වැරදි ආර්ථික ප්‍රතිපත්ති හා විනාශකාරී දේශපාලන සංස්කෘතිය විසින් මේ රට පත්කර තිබෙන විනාශයේ ප්‍රතිවිපාක විශේෂයෙන්ම අපේ දුවා දරුවන් සහ තරුණ පරම්පරාව භුක්ති විඳිනවා.
ඊට එරෙහිව උද්ඝෝෂණය කරන්න අයිතියක් නැද්ද?
ජනතාව නිවටව, නියාලුව ඕනෑම ජනතා විරෝධී ක්‍රියාමාර්ගයක් හමුවේ නිහඬව සිටියි කියලා රනිල් වික්‍රමසිංහ කල්පනා කරනවාද? ඒ රනිල් වික්‍රමසිංහලාගේ පැරණි පරම්පරාවයි.
ජනවරමක්වත් නැති නායකයෙක් හැටියට ඔහු අද ඉන්නේ, අගමැතිවරයා හැටියට ඡන්දය ඉල්ලීමෙන් පසු කොළඹ ජනතාව ඔහුව ගෙදර යැවූ පසුබිමකයි. මේ රට ප්‍රපාතෙට හෙළු ප්‍රධාන චූදිතයෙක් හැටියට සිටින ඔහු පාර්ලිමේන්තුවෙන් අටවා ගත් ජනාධිපති ධුරය ඔළුවට ගහලා ජනතාව මත මර්දනය එල්ල කරනවා.
රනිල් වික්‍රමසිංහ පොලිස් බැරැක්ක, හමුදා බැරැක්ක දාගෙන රට පාලනය කරන්න අධිආරක්ෂිත කලාප නම්කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති නිල නිවස, අගමැති කාර්යාලය, ඇතුළු තැන් අධිඅරක්ෂිත කලාප හැටියට නම් කර තිබෙනවා. මේ රටේ අධිආරක්ෂිත කලාප තිබුණේ යුද්ධය පැවති කාලයේ.
ජනතාව සාමකාමී උද්ඝෝෂණ කරන විට රනිල් වික්‍රමසිංහට තමන්ටම වූ කුඩා අධිආරක්ෂිත කලාපයක් ඇතුලේ ජීවත්වෙන්න සිදුවී තිබෙනවා. ඔය අධි ආරක්ෂිත කලාප තව තවත් කුඩා කරගනිමින් ඒ තුළට රිංගන්න සිද්ධ වෙන බව මතක් කරන්න ඕනෑ. ජනතාවගේ කලාප ඊට වඩා ලොකුයි. ජනතාවගේ අරගල නතර කරන්න රනිල් වික්‍රමසිංහලාට කිසිසේත් නොහැකි බව අවධාරණය කරනවා.
ජනතාව උද්ඝෝෂණය කරන්නේ පොදු සමාජය මුහුණ දී සිටින මහා අනතුරුදායක තත්වයෙන් මිදීම සඳහායි. ඒ අය මර්දනය කිරීමට දරන ප්‍රයත්නය වහාම නතර කළ යුතුයි. රනිල් වික්‍රමසිංහට සහ ඔහුගේ ගෝල බාලයන්ට අපි අවසාන වශයෙන් කියන්නේ මර්දන ක්‍රියාමාර්ග උත්සන්න කිරීම වහාම නතර කළ යුතුයි කියලා.
මර්දනය කිරීමෙන් රට පාලනය කිරීම දශක ගණනකට පෙර තත්වයක්. වර්තමානයට එය කිසිසේත්ම වලංගු නැති බව මතක තබා ගත යුතුයි. රනිල් බලයට පැමිණි තැන සිට කටයුතු කරමින් සිටින්නේ පාර්ලිමේන්තුවේදී ඡන්දය දුන් කණ්ඩායම ආරක්ෂා කරන්නයි.
ඒ අය සතුටු කිරීම වෙනුවෙන් ගෝල්ෆේස් පිටිටනියේ සාමකාමී උද්ඝෝෂණයට පහර දී එලවා දැම්මා. ඊට පස්සේ උද්ඝෝෂණ ගණනාවකට පහර දුන්නා. අපේ තරුණ සංගමයේ උද්ඝෝෂණයට පහර දුන්නා. එක පැත්තකින් සමාජය බියවද්දා රට පාලනය කරන්නත්, අනික් පැත්තෙන් රාජපක්ෂලාගේ සුරතලෙක්, රාජපක්ෂලාගේ උකුලේ නැලවෙන බලු පැටියෙක් වගේ රනිල් වික්‍රමසිංහ හැසිරෙමින් සිටිනවා.
මේ සමාජයේ ලක්ෂ ගණන් ජනතාව පාරට බැහැලා කීවේ මහජන දේපළ සොරකම් කළ වංචනිකයන්ට, අපරාධකරුවන්ට දඬුවම් දෙන්න කියලයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනා කර තිබෙන්නේ අපේ රටේ ආර්ථික අපරාධකරුවන්ට දඬුවම් දෙන්න කියලා. අජිත් නිවාඩ් කබ්රාල්ලා, බැසිල් රාජපක්ෂලා, යහතින් වැජඹෙද්දී සාමාන්‍ය ජනතාවට එළව එළවා පහර දෙන පාලනයක් රනිල් වික්‍රමසිංහ ගෙන යනවා.
කුඩා කුඩා ප්‍රහාරයන්ගෙන්, කුඩා කුඩා බියගැන්වීම්වලින් නතර කළ නොහැකි පුළුල්තම මහජන ව්‍යාපරයක් ගොඩනැඟෙමින් තිබෙනවා. මේ කුඩා ව්‍යාපාරවලට පහරදීම නතර කළ හැකි වුවත් ලක්ෂ ගණන් මහජනතාව කොළඹ නගරය වැටලීම වැඩි ඈතක නොවන බව රනිල් වික්‍රමසිංහ තේරුම් ගත යුතුයි.
දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි මේ මර්දනයටත් ජනතාවගේ පීඩනයටත් එරෙහිව මේ රටේ සියලු ජනතාව සංවිධානය කරනවා. ජනවරමක් නැති, ප්‍රජාතනත්ත්‍ර විරෝධී පාලනය පළවා හැරීමට ජනතාව ඉදිරියට ආ යුතුයි. මේ ව්‍යසනයෙන් ගොඩඒම සඳහා නව පාලනයක් ගොඩනඟා ගත යුතුයි. ඒ වෙනුවෙන් ජනතාව පෙළගැස්වීමත්, ජනතාව එකතු කිරීමත් ජනතාව සංවිධානය කිරීමත් අපේ නායකත්වයෙන් සිදුකරනවා.
සෑම විරෝධතාකරුවන්ගෙන්ම, සෑම උද්ඝෝෂකයන්ගෙන්ම සහ මේ පිළිබඳව කම්පාවෙන් සහ කෝපයෙන් කතා කරන අයගෙන් අපි ඉල්ලා සිටින්නේ අපේ රටේ ජනතාව පොදු වේදිකාවකට පැමිණිය යුතු බවයි. සෑම දෙනාගෙන්ම අපි ඉල්ලා සිටින්නේ මේ විනාශකාරී පාලනයටත්, මර්දනකාරී පාලනයටත් මේ විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තියටත් එරෙහිව මේ රටේ පුළුල්ම ව්‍යාපාරයට එකතු වෙන ලෙසයි.
රනිල් වික්‍රමසිංහට තවදුරටත් බැරැක්ක ඇතුලේ හැංගෙන්න වෙයි. අපි මහජනතාවත් එක්ක මේ ව්‍යාපාරය ගෙනයනවා. රනිල් වික්‍රමසිංහට කිසි ජනවරමක් නැහැ. ලක්ෂ 69න් ආව ගෝඨාභයට රටින් පැනලා යන්නත් එක්වරම හැකි වුණේ නැහැ. ජනතාවගේ ඡන්දයෙන් ආව මහින්ද රාජපක්ෂට අරලියගහ මන්දිරයෙන් පැනලා ගිහිල්ලා නාවුක හමුදා බැරැක්කයක සැලකිය යුතු කාලයක් ඉන්න සිදුවුණා.
මේ සියලු බලයන්ට උඩින් ජනතා බලය තිබෙන බව මේ කරුණුවලින් පෙන්නුම් කර තිබෙනවා. ජනවරමක් නැති, මතයක් නැති පුස් මිනිහෙකුට, හිස් මිනිහෙකුට ජනතාවගේ අරගලය නතර කරන්න බැහැ. ජනතාවගේ නැගී සිටීම් නතර කරන්න බැහැ.
මේ විනාශකාරී, මර්දනකාරී පිළිවෙත නතර කරන ලෙස රනිල් වික්‍රමසිංහට නැවත නැවතත් අපි අවධාරණය කරනවා. එය නතර කිරීම වෙනුවෙන් නීත්‍යානුකූලවත්, ජනතාව පෙළගැස්වීම හරහාත්, ව්‍යවස්ථානුකූලවත් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව අවධාරණය කරනවා.

බත්තරමුල්ල සිට වැල්ලවත්තට බෝට්ටු සේවාවක් අරඹේ
බත්තරමුල්ල, දියත උයන සහ අග්ගොන, හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා සූර්ය ශක්තියෙන් ක්‍රියාත්මක වන බෝට්ටු සේවාවක් ආරම්භ කර තිබේ.
කොළඹ නගරයේ දෛනිකව ඇති වන මාර්ග තදබදයට විසඳුමක් ලෙස මෙම සේවාව සැප්. 23 වන දා සිට ක්‍රියාත්මක කළ බවනාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සඳහන් කළේය.
විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් මත ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාව සහ ජෙන්සෝ පවර් ටෙක්නොලජි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ඒකාබද්ධව මෙම මගී බෝට්ටු සේවාව ආරම්භ කර ඇත.
මෙම මගී බෝට්ටු සේවාව සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන මෙරට පළමු බෝට්ටු සේවාව බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කරයි.
ඉදිරියේදී කොළඹ නගරයේ අභ්‍යන්තර ජල මාර්ගවල මෙවැනි බෝට්ටු සේවා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ත් මෙය දෙස් විදෙස් සංචාරක ආකර්ශනයයට හේතුවක් වන බව ත් ඔහු ප්‍රකාශ කර ඇත.
සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කිරීමෙන් වර්තමානයේ රට මුහුණ දෙන ඉන්ධන ගැටලුවලට මෙන් ම විදුලි අර්බුදයටත් විසදුමක් ලැබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කර තිබේ.
බත්තරමුල්ල දියත උයන සහ හීනටිකුඹුර සිට වැල්ලවත්තට මෙම බෝට්ටු මගින් විනාඩි 30ක් ඇතුළත ළඟා වීමට හැකියාව ඇත.
එමෙන් ම, බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා එක් පුද්ගලයකුගෙන් රුපියල් 200ක මුදලක් අය කෙරෙන අතර අග්ගොන, හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා එක් පුද්ගලයකුගෙන් රුපියල් 300ක මුදලක් අය කෙරේ.
දිනපතා කාර්යාල වේලාවන්හිදී මෙම බෝට්ටු සේවය ක්‍රියාත්මක වන අතර එක බෝට්ටුවක පුද්ගලයන් 08 දෙනෙකුට ප්‍රවාහන පහසුකම් සැපයේ.
තව ද බත්තරමුල්ල හා ඒ අවට රජයේ හා පුද්ගලික කාර්යාල, ගේට්වේ ජාත්‍යන්තර පාසල, නාවල විවෘත විශ්වවිද්‍යාලය, 176, බස් මාර්ගය, 138 සහ 122 බස් මාර්ග, වැල්ලවත්ත දුම්රිය ස්ථානයට මෙම බෝට්ටු සේවය මගින් පහසුවෙන් ළඟා වීමට හැකියාව ඇත.

රටට ඩොලර් ගේන්න ගංජා මෙහෙයුමක් !
කංසා අපනයනය තුළින් ඩොලර් උත්පාදනය මේ දිනවල ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව තිබේ.
මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුම රටට ඩොලර් උත්පාදනය කිරීම සඳහා යෝජනා කරන්නේ කංසා අපනයනයයි.
රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සහ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ දිගින් දිගටම මේ පිළිබඳ තම ස්ථාවරය ප්‍රකාශ කොට තිබේ. එහිදී ඔවුන් අවධාරණය කළේ, ජාත්‍යන්තර වශයෙන් ඖෂධීය ගංජා සඳහා විශාල ඉල්ලුමක් පවතින බවයි.
ඒ අනුව එළඹෙන ඔක්තෝබර් 05 වැනිදා වන විට ඖෂධීය කංසා අපනයනයට අවශ්‍ය නීති ප්‍රතිපාදන සකස් කර දෙන්නැයි අමාත්‍ය සිසිර ජයකොඩි අදාළ සියලු නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
අමාත්‍ය සිසිර ජයකොඩි සඳහන් කළේ දේශීය වෛද්‍ය කේෂ්ත්‍රයෙන් ඩොලර් බිලියන 3ක ආදායමක් ඉපයීමට සැලසුමක් ඇති බවයි. ඔහු කියා සිටියේ ආයුර්වේද පනත, පාරිසරික පනත, රේගු ආඥා පනත ආදී පනත් මඟින් ඒ සඳහා දැනට පවතින බාධා වහා ඉවත් කළ ගත යුතුව ඇති බවයි.
ඔහු මේ බව කියා සිටියේ සංචාරක, සෞඛ්‍ය , නීති, රේගු, පරිසර සහ ආයුර්වේද නිෂ්පාදන වගා කිරීම හා අපනයනයට සම්බන්ධ සියලූ රාජ්‍ය නිලධාරින් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති පැවති සාකච්ඡාවකදීය.
අවම ලෙස වසරක කාලයක් මෙම නීති ලිහිල් කර හෝ විදේශ විනිමය ලබා ගැනීමට ඉඩ ලබා දෙන ලෙස අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.පරිසරයට හානියක් නොවන ලෙස මේ කටයුතු සිදු වන බවට නියාමනය කටයුතු සිදු කරන බව ඔවුහු දක්වති.
ආයුර්වේද කේෂ්ත්‍රයට යොදා ගැනීම හා අපනයනය අරමුණු කර ගනිමින් පමණක් කංසා වගාව හා නිෂ්පාදනයට අවශ්‍ය නෛතික කරුණු සම්පාදනය කඩිනමින් සිදු වන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මේ පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා පැවැත්වූ බවද ඔහු සඳහන් කළේය.ඒ අනුව අවශ්‍ය වන පරිදි ආයුර්වේද පනත හා නීති සංග්‍රහය සංශෝධනය කෙරෙනු ඇත.
එළඹෙන ඔක්තෝම්බර් 5 වනදා වන විට හෝ කංසා අපනයනයට අවශ්‍ය වන නීති ප්‍රතිපාදන සකස් කර දෙන්නැයි අදාළ සියලු නිලධාරීන්ගෙන් රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී ඉල්ලා සිටි බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
අවම වශයෙන් මේ සතිය අවසන් වන විට මීට අදාළ නීති සංග්‍රහය සකස් කර දෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.
මෙම විධිවිධාන සකස් කිරීමෙන් 'රටට ඩොලර් ගෙන එන මෙහෙයුම' තමන්ට ක්‍රියාත්මක කළ හැකි බවද ඔහු පැවසීය.
මේ අතර විනෝදාස්වාදයට හෝ දුම් පානයට කංසා යොදාගැනීම ආයුර්වේදය අනුමත නොකරන බවද දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සිසිර ජයකොඩි අවධාරණය කළේය.
බීබීසී සිංහල

මධ්‍යම සංස්කෘතික අරමුදල : නීතියට පිටින් ගිහින් හොඳටම කරලා !
මධ්‍යම සංස්කෘතික අරමුදල නීතියට පිටින් ගොස් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සේවකයන් 3000 කට ආසන්න පිරිසක් 2018 සහ 2019 වර්ෂවලදී බඳවා ගෙන ඔවුන්ගේ වැටුප් වෙනුවෙන් රුපියල් කෝටි 106ක් පමණ නිකරුණේ වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
එම ආයතනය මෙලෙස කටයුතු කර ඇත්තේ රජයේ ආයතනයකට වෙනත් ආයතනයක් වෙනුවෙන් සේවකයන් බඳවා ගැනීමට ප්‍රතිපාදන සලසා නොතිබියදී බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහා පුරාවිද්‍යා සහායකයන්( කම්කරුවන්) 2271 දෙනෙකු සහ මුරකරුවන් 1130 දෙනෙකු බඳවා ගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය 2017 වර්ෂයේ ඔක්තෝබර් 17 වැනි දින අනුමැතිය ලබාදී තිබු බව එම වාර්තාව සඳහන් කරයි.
ඒ අනුව 2018 දෙසැම්බර් 31 දින වන විට බඳවාගත් මුළු සේවක සංඛ්‍යාව 1089කි.( පුරාවිද්‍යා සහායකයන්713ක් සහ මුරකරුවන් 376ක්)
ඉන් පසු 2019 සැප්තැම්බර් 30 වනවිට සේවකයන් 1487 දෙනකු ( පුරාවිද්‍යා සහයකයන් 934ක් සහ මුරකරුවන් 553ක්) බඳවා ගෙන තිබුණු බව විගණන අංශ පෙන්වා දෙයි.
ඉන් 1415 දෙනකු 2021 පෙබරවාරි මාසය වන විටද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවයේ යොදවා තිබුණු බව සඳහන් වේ.
මේ අතර මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලන අංශය ඉදිරිපත් කළ තොරතුරු අනුව එහි තත්‍ය සේවක සංඛ්‍යාව 2780 ක් වුවත් ආයතනයේ ප්‍රධාන පරිපාලන නිලධාරී විසින් 2019 වර්ෂයේදී ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව තත්ව සේවක සංඛ්‍යාව 3,500 ක්වූ බව පවසන විගණන කාර්යාලය එම වෙනසට හේතුව පැහැදිලිව ඉදිරිපත් නොකෙරුණු බවද සඳහන් කළේය.
- lankadeepa

බ්‍රිතාන්‍යයෙන් ලංකාවට පවුම් මිලියන 03ක්
ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාවට එක්සත් රාජධානියෙන් පවුම් මිලියන 03 ක ආධාර ලබා දෙන බව එක්සත් රාජධානියේ රාජ්‍ය අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා සදහන් කරයි.
එක්සත් ජාතීන්ගේ 77 වෙනි මහා මණ්ඩල සැසියට සමගාමීව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි සමග පැවැති සාකච්ඡාවකදී එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා ශ්‍රී ලංකාවට ලබා දෙන ස්ටර්ලින් පවුම් මිලියන 3 (ශ්‍රී ලංකා රුපියල් 1,171,841,067)ක ජීවිතාරක්ෂක ආධාරක පැකේජය පිළිබඳ ප්‍රකාශ කර ඇති බව බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ජනගහණයන් තුනෙන් එකක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් ඉන්ධන, ඖෂධ සහ බලශක්ති හිඟයකින් පීඩා විඳින බවත් බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කළේය.
මෙම සහාය රතු කුරුස සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ හවුල්කරුවන් හරහා ශ්‍රී ලංකාවට ලබා දෙන බව අහමඩ් සාමිවරයා පැවසුවේය.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණදුන් වින්දිතයන් ඇතුළුව ශ්‍රී ලාංකිකයන්ගේ මානසික සෞඛ්‍ය නංවා ලීමටත් බෝග වගා කිරීමට උපකාර වන ආහාර, බීජ සහ මෙවලම් ලබා ගැනීමටත් මෙම සහාය ප්‍රයෝජනවත් වනු ඇතැයි සඳහන් වේ.

සෞදි ජාතික දින සැමරුමට ඥානසාර හිමිටත් ඇරයුම්
සෞදි අරාබියේ 92 වන ජාතික දිනය සැමරීමේ උත්සවය කොළඹ ෂැංග්‍රිලා හෝටලේය්දී ඊයේ (23) පස්වරුවේ උත්සවාකාරයෙන් සංවිධානය කර තිබිණ.
අග්‍රාමාත්‍ය දිනේෂ ගුණවර්ධන, කතානායක මහින්ද යාපා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම ජාතික දින උත්සවයේ විශේෂ අවධානයට ලක්ව ඇත්තේ, බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි විශේෂ ආරාධිතයෙක් ලෙස මෙම අවස්ථාවට එක්ව තිබීමයි.
මුස්ලිම් අන්තවාදය පිලිබද දැඩි ලෙස ක්‍රියාකල හා අවස්ථා කිහිපයකදීම සෞදි සංවිධාන දැඩිව විවේච්නය කල උන්වහන්සේ ගේ පැමිණීම බොහො දෙනාගේ විමතියට හේතුවි ඇතිබව සමාජ මාධ්‍ය නිරීක්ෂණයේදී පැහැදිලිවේ.
වසර කිහිපයක් බොදු බල සේනා සංවිධානයේ කටයුතුවලින් දුරස්ව සිටි එහි ප්‍රධාන විධායක නිළධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ ද විශේෂ ආරාධිතයකු ලෙස ඥානසාර හිමි සමග මෙම ජාතික දින උලෙලට සහභාගී වී තිබුණි.
සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ක්‍රියාකරමින් මැදි පිලිවෙතකට අවතීරණය වීමත් සමග සෞදි තානාපති අංශ වෙනස් ආකල්පවලින් යුතුව කටයුතු කරමින් සිටින බව බොදුබල සේනා සංවිධානයේ නිගමනය වී ඇත.
ඒ අනුව, සෞදි තානාපති නිළධාරීන් හා ඥානසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනා සංවිධාන නියෝජිතයින් අතර පසුගිය කාලයේ සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබිණ.
ජාත්‍යන්තර වශයෙන් බෞද්ධ හා මුස්ලිම් ගැටලු පිළිබදව අධ්‍යයනය කොට ලෝක සාමය ඇතිකරමින් බෞද්ධ - මුස්ලිම් මිත්‍රත්වය ඇති කිරීමට නායකත්වය ගන්නා ලෙස සෞදි රාජ්‍යතාන්ත්‍රික අංශ ගනසාර හිමිගෙන් ඉල්ලා ඇතැයි ද වාර්තා වේ.

ගුරු වෘත්තීය සමිති ක්‍රියාකාරිනී රේණුකා CCD යට
ජ්‍යෙෂ්ඨ ගුරු වෘත්තීය සමිති ක්‍රියාකාරිනී රේණුකා මලියගොඩ, දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයට (CCD) කැඳවා ඇත.
අද (24) දින කොළඹට කැඳවන ලද රේණුකා මලියගොඩගෙන් මේ මොහොත වනවිට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශ කාර්යාලයට අනුයුක්ත නිලධාරීහු ප්‍රශ්න කරනු ලබමින් සිටිති.

වසර 32ක් පැරණි :සමුල ඝාතනයක අනුස්මරණයක් !
මේ වන විට වසර 32ක් ගතවන රජයේ හමුදා විසින් සිදු කරන ලද බවට චෝදනා නැගී ඇති තවත් සමුල ඝාතනයකින් මියගිය පිරිස් අනුස්මරණය චාම් අයුරින් නැගෙනහිරදී සිදු කර තිබේ.
ඝාතනයට ලක්වුවන් අනුස්මරණය කිරීම සදහා මඩකලපුව සවුකඩි ගම්මානයේ ඉදිකර තිබෙන ස්මාරකයට ගම්වාසීන් සහ ඥාතීන් සැප්තැම්බර් 20 වැනිදා මලින්, පහනින් උපහාර දැක්වු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
1990 සැප්තැම්බර් 20 වැනිදා උදෑසන සවුකඩි ගම්මානයේ දී ඝාතනය කෙරුනු දෙමළ කාන්තාවන් සහ කුඩා දරුවන් ඇතුළු තිස් එක් දෙනකු මෙලෙස අනුස්මරණය කර තිබේ.
මඩකලපුව රදගුරු මයිලම්බාවේලී විවේකානන්දපුරම්හි නිකලස් ජුඩ් පියතුමා විසින් මිය ගිය පිරිස අනුස්මරණය කරමින් ප්‍රධාන දේව මෙහෙය පවත්වා ඇත.
ගම්වැසියන් පවසන්නේ 1990 සැප්තැම්බර් 20 වැනිදා උදෑසන 8.30 ට පමණ ගම් වැදුනු හමුදා නිල ඇදුම් ඇඳගත් පිරිසක් ප්‍රහාර එල්ල කරමින් ගම් වැසියන් ඝාතනය කළ බවයි.
වෙඩි තබා සහ කපා කොටා ඝාතනය කළ ළදරුවන් හා කාන්තාවන් ඇතුළු පිරිස වලකට දමා පුළුස්සා තිබු බව දිවි ගලවා ගත් ගම්වැසියෝ පවසති. ඔවුන් තව දුරටත් කියා ඇත්තේ මුහුදේ මසුන් මරමින් සිටි හත් දෙනකුද වෙඩි තබා ඝාතනය කළ බවයි.
ප්‍රහාරයට වගකිවයුත්තන් හදුනාගෙන දඩුවම් පැමිණවීම මේ දක්වා සිදු කර නොමැති අතර වින්දිතයන්ට යුක්තිය ඉටුවී කර නොමැති බවත් ඔවුහු පෙන්වා දෙති.

2500 වන සම්බුද්ධ ජයන්තිය සැමරුවෙත් : බ්‍රිතාන්‍ය මහ රැජිනගේ මූලිකත්වයෙන් !

මහ බැංකුව විදෙස් ආයෝජකයන් දැනුවත් කරලා !
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා මෙම වසර අවසන් වන විට විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව මහ බැංකු නිලධාරීන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම පිළිබඳ වීඩියෝ තාක්ෂණය ඔස්සේ කළ දැනුවත් කිරීමේදී විදේශීය ආයෝජකයන්ට පැවසූ බව චැනල් නිව්ස් ඒෂියා පුවත් සේවය වාර්තා කළේය.
ශ්‍රී ලංකාව දශක ගණනාවකින් ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින අතර ඒ හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයකටද මුහුණ පා සිටී.
දෙසැම්බර් මැද භාගයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ණය මුදල අනුමත කළ පසු ණය හිමියන් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව එහිදී ප්‍රකාශ කර ඇතැයි චැනල් නිව්ස් ඒෂියා පුවත් සේවය සඳහන් කළේය.
මෙම වසරේ අවසාන කාර්තුව සහ 2023 වසරේ දෙවන කාර්තුව අතර සියලුම ණය හිමියන් සමඟ ලබා ගත් ණය මුදල සම්බන්ධයෙන් ගිවිසුම්වලට එළඹීම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවල අරමුණ බව දැනුවත් කිරීමට සහභාගී වූ ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
මෙම අවස්ථාවට මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මෙන්ම මූල්‍ය හා නීති උපදේශකවරුන් වන ලැසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් නියෝජිතයෝද සහභාගි වූහ.

ජාතික සභාවට එන මන්ත්‍රීවරුන් මෙන්න !
පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් ගෙන් සමන්විත ‘ජාතික සභාව’ සඳහා වන නාමලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ය.
එම නාමලේඛනයට ඇතුළත් මන්ත්‍රීවරුන් මෙසේය.
ඩග්ලස් දේවානන්ද
නසීර් අහමඩ්
ටිරාන් අලස්
සිසිර ජයකොඩි
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්
ජොන්ස්ටන් ප්‍රනාන්දු
රවුෆ් හකීම්
පවිත්‍රාදේවී වන්නිආරච්චි
වජිර අබේවර්ධන
ඒ.එල්.එම්. අතාවුල්ලා
මහාචාර්ය තිස්ස විතාරණ
රිෂාද් බදියුදීන්
විමල් වීරවංශ
වාසුදේව නානායක්කාර
පලනි දිගම්බරම්
මනෝ ගනේෂන්
උදය ගම්මන්පිල
රෝහිත අබේගුණවර්ධන
නාමල් රාජපක්ෂ
ජීවන් තොණ්ඩමන්
ජී.ජී. පොන්නම්බලම්
අතුරලියේ රතන හිමි
අසංක නවරත්න
අලි සබ්රි
සී.වී. විග්නේෂ්වරම්
වීරසුමන වීරසිංහ
සාගර කාරියවසම්

චීනය ලංකාවට ඖෂධ තොගයක් පරිත්‍යාග කරයි
රුපියල් මිලියන 650ක වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරනු ලැබ තිබේ.
මෙම ආධාර තොගය අද (සැප්. 23) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනැවිත් ඇත.
ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය හමුවේ චීනය ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරමින් ඇති බව ද ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කර තිබේ
A new consignment of medicine worth 12.5 million RMB (650 mln LKR) donated by #China to #SriLankan people under its 500 mln RMB emergency humanitarian assistance @cidcaofficial has departed Chengdu and will arrive Colombo this evening via a charter flight of Sichuan Airlines.
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) September 23, 2022
1/ pic.twitter.com/5w0fIkiKNC

සතොසේ බඩු මිල අඩුවෙයි
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකිරීමට ලංකා සතොස පියවර ගෙන තිබේ.
එම මිල අඩුකිරීම සැප්තැම්බර් 30 වනදා දක්වා ක්‍රියාත්මක බව එම ආයතනය නිවේදනය කරයි.
මිල අඩුකර ඇති පාරිභෝගික භාණ්ඩ මෙසේය.

ඇමතිවරුන්ගේ විදෙස් සංචාර සීමා කෙරේ
අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර සීමා කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව එවැනි සංචාරයන් සඳහා අත්‍යවශ්‍යම නිලධාරියා හෝ අදාළ සංචාරයේ රාජකාරි කටයුතු සඳහා අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍ය කිහිප දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම පමණක් සහභාගි කරවා ගත යුතුයි.
ජනාධිපතිවරයා මෙම යෝජනාව ඉදිරිිිි කර ඇත්තේ, රට මුහුණ පා ඇති අසීරු ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන, රාජ්‍ය වියදම් අවම කිරීමේ අරමුුණිනි.

ආගමික ස්ථානවල විදුලිබිලට සහනයක් - බන්දුල
පන්සල්, පල්ලි, කෝවිල් ඇතුළු ආගමික ස්ථානවල විදුලිබිල සම්බන්ධයෙන් ඉදිරියේදී නියත වශයෙන්ම සහනයක් ලබාදෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.
ආගමික ස්ථානවල විදුලිබිල සම්බන්ධයෙන් දිගුකාලීන සහනයක් ලැබෙන ආකාරයෙන් සූර්ය බලයෙන් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලෙසත්, වෙනත් සහන සැලසිය හැකි ක්‍රමවේද සාකච්ඡා කර අවසන් තීන්දුවක් ගන්නා ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව ද ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (23) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
ආගමික ස්ථානවල විදුලිබිල සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට කරුණු පැහැදිලි කළ බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ ඇතුළු ඇමතිවරුන් ද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බවත් කී ඇමතිවරයා එම අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බව ද කීය.
විහාරස්ථානවල බිල නොගෙව්වොත් ගන්නා ක්‍රියාමාර්ග සාකච්ඡා කළාදැයි මාධ්‍යවේදියකු මෙහිදී අමාත්‍යවරයාගෙන් විමසූ අතර, එම අවස්ථාවේ ඇමතිවරයා පැවසුවේ රටකට අනුශාසනා කරන ආගමික නායකයන් පාරේ යන සෙනඟ ලෙස සැලකෙන්නේ නැති බවත්, උන්වහන්සේලා අවබෝධයෙන් කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත්ය.

ආණ්ඩුවට ගිය ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් එළියට : ඉදිරි ගමන ජනාධිපති සමග !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ බවට මෙතෙක් දැනුවත් කර නොමැති බව එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපතිවරයෙකු වූ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වය සහ පක්ෂයේ මෙතෙක් දැරූ සියලුම තනතුරුවලින් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්පකුමාර සහ චාමර සම්පත් දසනායක ඉවත් කළ බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නිවේදනය කර ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත .
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසන්නේ මන්ත්‍රීවරුන් පක්ෂයෙන් ඉවත් කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනාගතයක් නොමැති බවය.
තමන් ඇතුලු මන්ත්‍රීවරුන් හයදෙනා ආණ්ඩුවට එක්ව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කර ඇති සර්ව පාක්ෂික ආණ්ඩුවට බවත් අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කරයි.
ආණ්ඩුවේ අමාත්‍ය ධූර භාරගත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රීලනිප නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .
ශ්‍රීලනිපය පුපුරයි !
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ බහුතරය මේ වන විට එම පක්ෂයට අහිමිව ඇති බවයි.
ඒ අනුව ජනතා ප්‍රසාදයක් ඇති බහුතර මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුව නියෝජනය කිරීම තුළ පක්ෂය තවදුරටත් දුර්වල වනු ඇති බවත් , ඉදිරි කැබිනට් මණ්ඩල සංශෝධනයක් අවස්ථාවේ තවත් මන්ත්‍රීවරයකු ද ආණ්ඩුව සමග එක්වීමට නියමිත බවට දේශපාලන ක්ශේත්‍රයේ රාවයක් ඇති බවත් විචාරකයන් සිහිපත් කරයි.
මතුව ඇති තත්ත්වය හමුවේ පක්ෂය රාජපක්ෂවරුන් ගේ ඉවත්වීමට සාපේක්ෂව තවදුරටත් දුර්වල වනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් වැඩිදුරටත් සඳහන් කරන්නේ බොහෝ දුරට මෙම ඉවත් කළ පිරිසෙන් බහුතරය ඉදිරියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය මුල්වී ගොඩනගන සන්ධානයක් හරහා දේශපාලන කටයුතුවලට නිරතවීමට වැඩි ඉඩක් ඇති බවය.

අලුත් පත්වීම් කිහිපයකට : උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය !
අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුගේ සහ තානාපතිවරයෙකුගේ පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් පවසයි.
ඒ අනුව, පසුගිය 20වෙනිදා ජපානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස රොඩ්නි මනෝරන්ජන් පෙරේරා පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.
මේ අතර, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස බී. එල්. ඒ. ජේ. ධර්මකීර්තිගේ පත්කිරීමට ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පී. එච්. සී. රත්නායකගේ පත්කිරීමටද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එස්. හෙට්ටිආරච්චි ගේ පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.
මීට අමතරව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපතිවරයා ලෙස එල්. එච්. රංජිත් සේපාල, ලංකා විදුලි පුද්ගලික සමාගමේ (LECO) සභාපතිවරයා ලෙස අතුල ප්‍රියදර්ශන ද සිල්වා, ජාතික ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස නිශාන්ත රණතුංග පත් කිරීමටද කාරක සභාවේ අනුමතිය ලැබී ඇත.
Page 265 of 453