ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය සම්බන්ධයෙන් අද මතුව තිබෙන ප්‍රධානතම අභියෝගයක් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ සාධාරණ අයිතිවාසිකම් ආරක්ෂා කරන අතරම රටේ ආර්ථිකයට දරාගත හැකි මට්ටමින් එම අයිතිවාසිකම් ලබාදීම සහ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීමයි. එය හුදෙක් වැටුප් වැඩි කිරීමකින් පමණක් විසඳිය හැකි ගැටලුවක් නොවේ. රටේ ආර්ථිකය, රාජ්‍ය ආදායම, රාජ්‍ය වියදම්, සංවර්ධන අවශ්‍යතා සහ ජනතාවට ලබාදිය යුතු සේවාවන් යන සියල්ල සමබරව පවත්වාගෙන යා යුතු ජාතික වගකීමකි.
2027 අයවැය දෙස බැලීමේදී මෙම අභියෝගය පිළිබඳව වත්මන් ආණ්ඩුව විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව පැහැදිලිය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙවර අයවැය මගින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, දීමනා, විශ්‍රාම වැටුප්, රාජ්‍ය ආයතනවල පහසුකම් සහ රාජ්‍ය සේවයේ නවීකරණය යන සියලු අංශ කෙරෙහි අවධානය යොමු කර තිබේ.
එහෙත් මෙහිදී අවධානයට ගත යුතු වැදගත්ම කරුණ වන්නේ රාජ්‍ය සේවය වෙනුවෙන් සිදුකරන වියදම් සහ රටේ අනාගත සංවර්ධනය වෙනුවෙන් සිදුකළ යුතු ආයෝජන අතර පවතින සමබරතාවයි.
වැටුප් හා සංවර්ධන ආයෝජන අතර අභියෝගය
2027 අයවැය ඇස්තමේන්තු අනුව සමස්ත රාජ්‍ය ප්‍රාග්ධන ආයෝජනය රුපියල් බිලියන 2,000කි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.12කි. ඒ අතරම, රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ අනෙකුත් දීමනා වෙනුවෙන් සිදුකරන වියදම් ද රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දැවැන්ත වගකීමක් බවට පත්ව තිබේ.
දත්තවලට අනුව රාජ්‍ය සේවයේ වැටුප්, විශ්‍රාම වැටුප් හා අනෙකුත් දීමනාවල එකතුව රුපියල් බිලියන 2185ක් බව වාර්තා වේ. එම නිසා රාජ්‍ය සේවය පවත්වාගෙන යාම සඳහා වැයවන මුදලේ විශාලත්වය පිළිබඳව අපට පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිය.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් වෙනුවෙන් වෙන්කරන මුදල් පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඒවා හුදෙක් වියදම් ලෙස පමණක් සැලකිය නොහැකිය. එය රාජ්‍ය සේවකයන්ගේ ජීවන තත්ත්වය, සේවා සුරක්ෂිතභාවය සහ සමාජ ආරක්ෂාව වෙනුවෙන් රජයක් ඉටු කළ යුතු වගකීමකි. එහෙත් එම වගකීම ඉටුකරන අතරතුර රටේ මාර්ග, ජලය, විදුලිය, අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත සංවර්ධනය සඳහා ද ප්‍රමාණවත් ආයෝජනයක් සිදුකළ යුතුය.
එබැවින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් ගන්නා සෑම තීරණයක්ම රටේ ආර්ථිකයට දරාගත හැකි පරිදි ගැනීම අත්‍යවශ්‍ය වේ.
2025 සිට අදියර තුනකින් ක්‍රියාත්මක කළ දැවැන්ත වැටුප් සංශෝධනය
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සහ වැටුප් අඩුපාඩු පිළිබඳව අවධානය යොමු කළේය. ඒ අනුව 2025 අයවැය මගින් රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප ඉහළ නැංවීමටත්, වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම සියයට 80කින් වැඩි කිරීමටත් පියවර ගනු ලැබීය.
2025 අයවැයෙන් කළ සංශෝධනය මගින් අවම මාසික මූලික වැටුප රුපියල් 15,750කින් ඉහළ නැංවීමට කටයුතු කර තිබේ. ඊට සමගාමීව සියළුම රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප 65-75% අතර ප්‍රමාණයකින් වැඩි කිරීමට පියවරගෙන තිබෙනවා. එම මූලික වැටුප අනුව රාජ්‍ය සේවකයින්ගේ අනෙකුත් අතිකාල දීමනා ආදිය සියල්ල වැඩි වීමට නියමිතයි. මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව රාජ්‍ය සේවයේ වැඩි කළ වැටුප් හා දීමනා සඳහා පමණක් සමස්තයක් ලෙස අයවැයට එකතුවන වැය ප්‍රමාණය රුපියල් බිලියන 330ක මුදලක් බව ජනාධිපතිවරයා අයවැය කතාවේදී පැහැදිලි කළේය.
මෙම වැටුප් සංශෝධනය එකවර ක්‍රියාත්මක නොකර අදියර තුනකින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබීම ද විශේෂත්වයකි. එහි අවසන් අදියර 2027 වසරේදී ක්‍රියාත්මක කිරීමට රුපියල් බිලියන 110ක් මෙවර අයවැයෙන් වෙන්කර ඇත.
එනම් ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ නැංවීමේදී රටේ මූල්‍ය හැකියාව පිළිබඳව සැලකිලිමත් වෙමින් වසර තුනක කාලයක් තුළ එය ක්‍රමානුකූලව ක්‍රියාත්මක කර තිබේ. එය හුදෙක් දේශපාලන පොරොන්දුවක් නොව අයවැය ප්‍රතිපාදන සහිතව ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙළකි.
දීමනා වැඩි කිරීමත් ප්‍රමුඛතාව අනුව
2027 අයවැයෙන් රාජ්‍ය සේවයේ විවිධ ක්ෂේත්රවල දීමනා සංශෝධනය කිරීමට ද යෝජනා කර තිබේ. මෙහිදී සේවයේ ස්වභාවය, වගකීම්, රාජකාරි සඳහා දැරීමට සිදුවන වියදම් සහ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන තිබීම කැපී පෙනේ.
උදාහරණයක් ලෙස වෛද්‍ය නිලධාරීන්ගේ DAT දීමනාව රුපියල් 70,000 සිට රුපියල් 95,000 දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබේ. හෙද නිලධාරීන්ගේ සහ පරිපූරක වෛද්‍ය සේවාවන්හි නිලධාරීන්ගේ විශේෂ රාජකාරි දීමනාව රුපියල් 6,000 සිට රුපියල් 12,000 දක්වා ඉහළ නැංවීමට ද යෝජනා කර ඇත.
බන්ධනාගාර නිලධාරීන්ගේ අවදානම් දීමනාව රුපියල් 8,000 සිට රුපියල් 16,000 දක්වා දෙගුණ කිරීමට යෝජනා කර තිබේ. ග්‍රාම නිලධාරීන්ගේ මාසික ගමන් දීමනාව රුපියල් 1,600 සිට රුපියල් 4,000 දක්වා වැඩි කිරීමටත්, සංවර්ධන නිලධාරීන්ගේ ගමන් දීමනාව රුපියල් 300 සිට රුපියල් 1,000 දක්වා ඉහළ නැංවීමටත් යෝජනා කර ඇත. බොහෝ දීමනා 100%කින් ඉහළ දමා තිබීම විශේෂත්වයකි.
එසේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව රුපියල් 25,000කින් වැඩි කිරීමටත්, බාහිර කථිකාචාර්යවරුන්ගේ පැයක ගෙවීම රුපියල් 1,500 සිට රුපියල් 4,500 දක්වා තුන් ගුණයකින් වැඩි කිරීමටත් යෝජනා කර තිබේ.
මෙම දීමනා සංශෝධන සියල්ල එකවර ලබාදීමට නොව, ඇතැම් වැඩි කිරීම් 2027 අප්‍රේල් මාසයේදීත් 2027 ජූලි මාසයේ සිට සියයට 50 බැගින් 2027 සහ 2028 වසරවලදී අදියර දෙකකින් ලබාදීමට ද සැලසුම් කර තිබේ. එසේ කිරීමට හේතුවන වන්නේ අයවැය කළමනාකරණය කර ගැනීම සඳහායි. මෙම දීමනා සඳහා පමණක් ආණ්ඩුවට තවත් බිලියන 82ක් පමණ වැය කිරීමට සිදුවන අතර 2027 අයවැයෙන් වෙන් කිරීමට හැකි වන්නේ බිලියන 49ක මුදලක් බව ජනාධිපතිවරයා විසින් අයවැය කතාවේදී අවධාරණය කරන ලදී.
ඒ අනුව ආණ්ඩුව පෙන්වා දෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් නොසලකා හැරීම නොව, පවතින මූල්‍ය අවකාශය තුළ ප්‍රමුඛතා අනුව ඒවාට විසඳුම් ලබාදීම බවයි.
විශ්‍රාමිකයන් අමතක නොකළ අයවැයක්
රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සම්බන්ධයෙන් ද මෙවර අයවැය තුළ වැදගත් යෝජනා ඉදිරිපත් කර තිබේ.
2020 වසරට පෙර විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් 2020 මූලික වැටුප් පරිමාණයට අනුව සංශෝධනය කිරීම අදියර තුනකින් ක්‍රියාත්මක කර ඇති අතර, එහි අවසන් අදියර 2027 වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එසේම 2020 සිට 2024 දක්වා කාලය තුළ විශ්‍රාම ගිය පිරිස් වෙනුවෙන් 2027 ජූලි 01 වැනිදා සිට මාසිකව රුපියල් 2,500ක අතුරු දීමනාවක් ලබාදීමට යෝජනා කර තිබේ.
2025 නව වැටුප් සංශෝධනය හේතුවෙන් ඊට පෙර සහ පසු විශ්‍රාම ගිය පුද්ගලයන් අතර ඇති වී තිබෙන විශ්‍රාම වැටුප් විෂමතා ද අදියර වශයෙන් අවම කිරීම ආණ්ඩුවේ අරමුණයි. ඒ සඳහා වන නව සංශෝධනය 2028 අයවැයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
මෙයින් පැහැදිලි වන්නේ සේවයේ නියුතු රාජ්‍ය සේවකයන් පමණක් නොව විශ්‍රාමිකයන්ගේ ගැටලු විසඳීම සඳහා ද ආණ්ඩුව වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇති බවයි.
රාජ්‍ය සේවයට පහසුකම් සහ නවීකරණය
වැටුප් සහ දීමනා ඉහළ නැංවීමෙන් පමණක් රාජ්‍ය සේවය ශක්තිමත් කළ නොහැකිය. ඒ සඳහා අවශ්‍ය මානව සම්පත්, තාක්ෂණික පහසුකම් සහ කාර්යක්ෂම පරිපාලන ව්‍යුහයක් ද අවශ්‍ය වේ.
ඒ පිළිබඳව ද 2027 අයවැය තුළ සැලකිය යුතු අවධානයක් යොමු කර ඇත. රාජ්‍ය ආයතනවල පැරණි පරිගණක වෙනුවට නව පරිගණක ලබාදීම සඳහා රුපියල් මිලියන 4,500ක් වෙන්කර ඇති අතර, ඒ සඳහා තවත් රුපියල් මිලියන 2,200ක් ලබාදීමට යෝජනා කර තිබේ.
රාජ්‍ය සේවා ඩිජිටල්කරණය සඳහා රුපියල් මිලියන 2,200ක ප්‍රතිපාදන ද වෙන්කර ඇත. රාජ්‍ය ආයතනවල සේවා ඩිජිටල්කරණය කිරීම, ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවා ජනතාවට පහසුවෙන් ලබාගත හැකි පරිදි නවීකරණය කිරීම මෙහි අරමුණයි. එමෙන්ම රාජ්‍ය සේවයේ ETF සහ EPF අරමුදල් ගෙවීමට ආණ්ඩුව මුදල් යොදවා තිබේ.
එසේම රාජ්‍ය සේවයේ පුරප්පාඩු 148,940ක් සඳහා බඳවා ගැනීම් අනුමත කර ඇති අතර, 2025 වසරේ බඳවාගත් පිරිස 35,000කට ආසන්න වන අතර 2026 නොවැම්බර් වන විට සමස්ත බඳවාගැනීම් 40,000කට ආසන්න බවද වාර්තා වේ.
ඉතිරි පුරප්පාඩු සඳහා ද ඉදිරියේදී බඳවා ගැනීම් සිදුකිරීමට ප්‍රතිපාදන සලසන බව අයවැය කතාවේ සඳහන් වේ.
මේවා රාජ්‍ය සේවකයන්ට ලබාදෙන සහන පමණක් නොව රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ ජනතාවට ලබාදෙන සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම වෙනුවෙන් සිදුකරන ආයෝජනයන්ය.
අයිතිවාසිකම් සමඟ වගකීමත් ඉටු කළ යුතුය
මෙවැනි පසුබිමක් තුළ තවත් වැටුප් වැඩිවීම්, දීමනා සහ වාහන ඇතුළු විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරමින් ඇතැම් වෘත්තීය සමිති සිදුකරන අරගල පිළිබඳව සමාජය තුළ සාධාරණ ප්‍රශ්නයක් මතුවේ.
රාජ්‍ය සේවකයන්ට තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමටත්, සාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කිරීමටත් පූර්ණ අයිතියක් තිබේ. එය ප්රජාතන්ත්රවාදී සමාජයක පිළිගත් අයිතිවාසිකමකි. එහෙත් එම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේදී රටේ සමස්ත ආර්ථික තත්ත්වය, මහජන මුදල් භාවිතය සහ ජනතාවට සිදුවන බලපෑම පිළිබඳව ද වගකීමෙන් සිතා බැලිය යුතුය.
රජය වැටුප් හා දීමනා වැඩි කිරීමට මුදල් වෙන්කරන විට ඒ සඳහා අවශ්‍ය ආදායම උපයාගැනීමේ වගකීම ද රටේ ජනතාව මත පැටවේ. බදු ගෙවන්නේ රාජ්‍ය සේවකයන් පමණක් නොවේ. පෞද්ගලික අංශයේ සේවකයන්, ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන්, ගොවීන් සහ විවිධ ආර්ථික ක්‍රියාකාරකම්වල නිරත ජනතාව ද රටේ ආදායමට දායක වෙති.
එබැවින් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම යනු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ නැංවීම පමණක් නොව, ජනතාව වැය කරන සෑම රුපියලකටම සාධාරණ සේවාවක් ලබාදීමයි.
රාජ්‍ය සේවකයකුට වැටුප් වැඩිවීමක් ලැබෙන විට ඔහුගේ හෝ ඇයගේ සේවා වගකීම ද ඒ හා සමානව ඉහළ යා යුතුය. රාජකාරි වේලාවන් නිසි ලෙස පවත්වාගෙන යාම, මහජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීම, දූෂණයෙන් සහ අකාර්යක්ෂමතාවයෙන් තොරව කටයුතු කිරීම එහි අනිවාර්ය අංග වේ.
ආණ්ඩුවේ අයවැය කතාව තුළ ද අවධාරණය කරන්නේ විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් වෙනුවට කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු සහ ජනතාවට වගකියන රාජ්‍ය යාන්ත්‍රණයක් ගොඩනැඟීමේ අවශ්‍යතාවයි.
වෘත්තීය අරගලවල අවසන් ප්‍රතිඵලය ජනතාවට දැනිය යුතුය
අද ඇතැම් වෘත්තීය සමිතිවල ක්‍රියාකාරීත්වය දෙස බලන විට ඒවා සැබෑ සේවක ගැටලු විසඳීමේ අරමුණ ඉක්මවා දේශපාලන අරමුණු වෙනුවෙන් මෙහෙයවනවාද යන සැකය ද මතුවේ. එවැනි සැකයන් මතුවන්නේ සාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කිරීම සහ මහජනතාවට පීඩාකාරී වන ක්‍රියාමාර්ග ගැනීම අතර වෙනස හඳුනාගැනීමට නොහැකි වන අවස්ථාවලදීය.
විශේෂයෙන්ම සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන සහ පරිපාලන සේවා අඩාල වන ආකාරයෙන් සිදුකරන වැඩවර්ජනවල අවසන් පීඩාවට මුහුණ දෙන්නේ සාමාන්‍ය ජනතාවයි. දිනක වැටුපක් උපයාගන්නා පුද්ගලයාට රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව නිසා අහිමි වන දවසේ ආදායම නැවත ලබාගත නොහැකිය.
එබැවින් වෘත්තීය සමිති තම ඉල්ලීම් ඉදිරිපත් කරන විට ඒවායේ සාධාරණත්වය මෙන්ම ඒවා ඉටුකිරීමට රටට තිබෙන හැකියාව ද සැලකිල්ලට ගත යුතුය. සාධාරණ ඉල්ලීම් සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීමත්, දේශපාලන අරමුණු වෙනුවෙන් රාජ්‍ය සේවය අඩපණ නොකිරීමත් වෘත්තීය සමිති නායකයන්ගේ වගකීමකි.
මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව කිසිදු වෘත්තීය ඉල්ලීමකින් උද්ඝෝෂණයකින් තොරව මූලික වැටුප වැඩි කිරීමට පියවර ගත් බව අමතක නොකළ යුතු කරුණකි. ආණ්ඩුව බලයට පත්වීමේදී වැඩ කරන ජනතාවගෙන් ලැබුණ සහාය මේ ආණ්ඩුව අමතක නොකිරීම ගැන හොඳම උදාහරණය එයයි. එවැනි ආණ්ඩුවක් රැක ගැනීම වැඩ කරන ජනතාවගේ යුතුකමක් බව අමතක නොකළ යුත්තේ පසුගිය ආණ්ඩුවලින් රාජ්‍ය සේවයට සිදුකළ කෙණෙහිළිකම් හොඳින් දන්නා නිසාය. රාජ්‍ය සේවය පෞද්ගලීකකරණය කරමින් රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප කප්පාදු කරමින්, බඳවාගැනීම් මග හරිමින් ගිය ගමන අවසන් කළේ මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් බව වැඩකරන ජනතාව අමතක නොකළ යුතුය.
අවසානයේදී අවධානය යොමු කළ යුත්තේ රාජ්‍ය සේවකයාට කොපමණ වැටුපක් ලැබෙනවාද යන්න පමණක් නොවේ. එම වැටුපට සාපේක්ෂව රටේ ජනතාවට ලැබෙන සේවාව කෙතරම් ගුණාත්මකද යන්නයි.
2027 අයවැයෙන් රාජ්‍ය සේවය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති යෝජනා දෙස බැලීමේදී වැටුප් වැඩි කිරීම, දීමනා සංශෝධනය, විශ්‍රාම වැටුප් විෂමතා අවම කිරීම, නව බඳවා ගැනීම් සහ ඩිජිටල්කරණය යන සියලු අංශ කෙරෙහි ආණ්ඩුව අවධානය යොමු කර ඇති බව පෙනේ.
එහෙත් රටේ ආර්ථිකය තවමත් අභියෝගවලින් සම්පූර්ණයෙන් නිදහස් වී නැත. ආණ්ඩුවට කළ හැකි සෑම ඉල්ලීමක්ම එකවර ඉටුකළ නොහැකිය. එබැවින් අයිතිවාසිකම් ඉල්ලා සිටිනවා සේම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වගකීම ද සියලු පාර්ශ්වයන් භාරගත යුතුය.
රාජ්‍ය සේවය ශක්තිමත් විය යුතුය. රාජ්‍ය සේවකයාට සාධාරණ වැටුපක් සහ ගෞරවනීය ජීවිතයක් හිමිවිය යුතුය. එහෙත් ඒ සියල්ල සිදුවිය යුත්තේ රටේ සංවර්ධනයට බාධාවක් නොවන ආකාරයටය.
මහජන මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයාගේ සැබෑ වටිනාකම තීරණය වන්නේ ඔහුට ලැබෙන වැටුපෙන් නොව, ඔහු ජනතාව වෙනුවෙන් ඉටුකරන සේවයේ ගුණාත්මකභාවයෙනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
