2025 දෙවන කාර්තුවේ මෙරට ආර්ථිකයේ වෙනසක්

2025 දෙවන කාර්තුවේ මෙරට ආර්ථිකයේ වෙනසක්

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෙම වසරේ දෙවන කාර්තුවට අදාළව නිකුත්කළ නවතම දත්ත වාර්තාව අනුව මෙරට ධීවර අංශය, එළවළු බෝග වගාව සහ රබර් වගාකිරීම අස්ථාවර මාවතක ගමන් කරන බව අනාවරණය කර ඇත.

කෙසේ නමුත් 2025 වසරේ දෙවන කාර්තුව වන අප්‍රේල් 01 සිට ජුනි 30 දක්වා වූ කාලසීමාවට අදාළව සිදුකර ඇති මෙම කාර්තුවේ කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා ආර්ථික කටයුතුවල ධන අගයක් වාර්තා කර තිබේ.

අදාළ ජාතික ගිණුම් ඇස්තමේන්තු දත්ත අනුව එළවළු වගාව, රබර් වගාව සහ මෙරට ධීවර නිෂ්පාදනය සෘණ අගයන් වාර්තා කර ඇත.

එළවළු වගාව 3.6%ක සෘණ අගයක්ද, කරදිය මත්ස්‍ය නිෂ්පාදනය 5.2%ක සෘණ වර්ධනයක් ද, මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය 34.8%ක දැවැන්ත සෘණ අගයක් ද වාර්තා කර තිබේ.

අපනයන සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන මෙරට රබර් වගා කිරීම 10.8%ක සෘණ අගයකින් පසුබැස ඇති බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දේ.

රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුව දෙවන කාර්තුවේ නිෂ්පාදන පහත වැටීමට හේතු වී ඇත්තේ මාර්තු - අප්‍රේල් කාලය රබර් වගාවේ දළු දමන කාලය වීම සහ මැයි - ජූනි කාලයේ ඇදහැලුණු අධික වර්ෂාවය.

මෙම ගණනය කිරීම අනුව මෙම කාර්තුවේ කෘෂිකාර්මික ආර්ථික කටයුතු 2%කින්, කර්මාන්ත ආර්ථික කටයුතු 5.8%කින්, සේවා ආර්ථික කටයුතු 3.9%කින් ලෙස ධන අගයන් වාර්තා කර තිබේ.

නිෂ්පාදන ප්‍රවේශය යටතේ එළිදක්වා ඇති දත්ත අනුව වී, ධාන්‍ය, උක්, පළතුරු, කුළුබඩු වගාකිරීම ආදී ක්ෂේත්‍ර සැලකිය යුතු අයුරින් ධන වර්ධනයක් පෙන්නුම් කර ඇත.

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබාදෙන ප්‍රධානම මූලාශ්‍රයක් වන තේ වගා කිරීම ද දෙවන කාර්තුවේදී 6%ක වර්ධනයක් වාර්තා කර තිබේ.

මස් පිණිස සතුන් ඇති කිරීම, 'කිරි නිෂ්පාදනය සහ බිත්තර නිෂ්පාදනය' යන උප කාණ්ඩ කිහිපයකින් සමන්විත සත්ව නිෂ්පාදනය මෙම වසරේ දී දෙවන කාර්තුවේදී කැපීපෙපන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද අදාළ වාර්තාවේ සඳහන්.

එය 2024 දෙවන කාර්තුවට සාපේක්ෂව 13.9%ක සැලකිය යුතු වර්ධනයක්ය.

ඒ අනුව මස් පිණිස කුකුළන් ඇති කිරීම 10.9%කින්, බිත්තර නිෂ්පාදනය 35.3%කින්, කිරි නිෂ්පාදනය 2.5%කින් වර්ධනය වී ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ වනවිට බිත්තරයක නිෂ්පාදන මිල සැළකිය යුතු ලෙස අඩුවී ඇති බවය.

Ada derana.lk

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න