අත්තනෝමතික ස්ථාන මාරුකිරීම් ක්‍රමවේදයට විරෝධය පළ කරමින් හෙට (31) දිනයේ දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම ස්ථාන මාරුවීම් ක්‍රමවේදය අද (30) දිනයේ ක්‍රියාත්මක වුවහොත් දිවයින පුරා රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල සිදුවිය හැකි සේවා බිඳවැටීම පිළිබඳ වගකීම බලධාරීන් විසින් භාරගත යුතු බවය.
අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඊයේ (29) පැවති මාධ්‍ය හමුවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මේ බව දැනුම්දුන්නේය.
නිදහස් සෞඛ්‍ය සේවාව සහ එහි සේවය කරන වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය සේවකයින් සිය උපරිම ධාරිතාවයටත් ඔබ්බට යමින් කටයුතු කරමින් සිටින මොහොතක, සෞඛ්‍ය සේවාවේ උද්ගත වී ඇති දැවෙන ගැටලු සඳහා නිසි පරිදි විසඳුම් ලැබීමක් ද පෙනෙන්නට නොතිබීම හේතුවෙන් මේ වන විට ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව දැඩි අර්බුදකාරී වාතාවරණයකට මුහුණ දෙමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය (GMOA) සඳහන් කරයි.
රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කරන පරිදි මේ වන විට වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය සේවකයින් ගේ ගැටලු, රෝගීන් මුහුණදෙන ගැටලු, ඖෂධ සහ උපකරණවල ගැටලු, රෝගී සත්කාර සේවාව සැපයීමට ඇති පහසුකම්වල ගැටලු යනාදි ගැටලු රාශියක් රටපුරා ඇති රෝහල් ජාලයට ම බලපාන අන්දමින් ඔඩු දුවමින් පවතී.
මෙබඳු බොහෝ කරුණු පදනම් කරගනිමින් අද සිට එනම්, 2025.10.31වන දින සිට නැවත දැනුම් දීමකින් තොරව දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය (GMOA) සඳහන් කරයි.
මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය (GMOA) නිකුත් කර ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.
2025.10.29
මාධ්‍ය නිවේදනය
සෞඛ්‍ය අමාත්‍යංශයේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා රෝගී සත්කාර සේවා බිඳ වැටීමේ සහ නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් අඩපණ වීමේ අවදානමක.
නිදහස් සෞඛ්‍ය සේවාව සහ එහි සේවය කරන වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය සේවකයින් සිය උපරිම ධාරිතාවයටත් ඔබ්බට යමින් කටයුතු කරමින් සිටින මොහොතක, සෞඛ්‍ය සේවාවේ උද්ගත වී ඇති දැවෙන ගැටලු සඳහා නිසි පරිදි විසඳුම් ලැබීමක් ද පෙනෙන්නට නොතිබීම නිසා මේ වන විට ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව දැඩි අර්බුදකාරී වාතාවරණයකට මුහුණ දෙමින් ඇත.
මේ හේතුව නිසා වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය සේවකයින් ගේ ගැටලු, රෝගීන් මුහුණදෙන ගැටලු, ඖෂධ සහ උපකරණ වල ගැටලු, රෝගී සත්කාර සේවාව සැපයීමට ඇති පහසුකම් වල ගැටලු යනාදී ගැටලු රාශියක් මේ වන විට රටපුරා ඇති රෝහල් ජාලයටම බලපාන අන්දමින් ඔඩු දුවමින් ඇත.
වෛද්‍යවරුන් ගේ DAT දීමනාව ප්‍රධාන වැටුප් යාවත්කාලීන කිරීම සහ සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් යාවත්කාලීන වීමේ ගැටලු, අත්‍යවශ්‍යය ඖෂධ හිඟවීම සහ ඖෂධ වල අඛණ්ඩ සැපයුම සහ අදාල වන ගැටලු, ප්‍රවාහනය සම්බන්ධ ගැටලු, නේවාසික පහසුකම් සම්බන්ධ ගැටලු, සේවා අවශ්‍යතාව සඳහා සිදුවන ස්ථානමාරු නිසා වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල් වලට ඇතුලත් කරගැනීම සඳහා ඇති ගැටලු සහ ආරක්ශාව සම්බන්ධ ගැටලු, නේවාසික රෝගීන් හට සහ රෝගී සත්කාර සේවාවන් හා බැදී ඇති මූලික පහසුකම් පවා හිඟ වීම, පදනම් විරහිත පරීක්ෂණ යන ගැටලු ප්‍රධාන තවත් ගැටලු රාශියක් උදාහරණ ලෙස ගෙන හැර දැක්විය හැක.
සෞඛ්‍ය සේවාවේ මේ ඇතිවී තිබෙන ගැටලු වලට විසදුම් සෙවීම සඳහා අටවැදෑරුම් යෝජනා මාලාවක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ඉදිරිපත් කර ඇති අතර මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බලධාරීන් සහ දේශපාලන අධිකාරිය මැලිබවක් දැක්වීම ඉතා කනගාටුවට කරුණකි.
මෙම ගැටලු සාකච්ඡා මාර්ගයෙන් තිරසාර වැඩපිළීවෙලක් ඔස්සේ විසඳමින් ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කරගැනීම වෙනුවට වෛද්‍යවරුන් තව තවත් අධෛර්යමත් කරමින් ඔවුන්ට තාඩන පීඩන එල්ල කරමින්ද, රෝගී සත්කාර සේවාව අඩපණ වන ආකාරයෙන් ක්‍රියාකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රියාකරන්නේ කුමන අරමුණක් ඉටු කරගැනීම උදෙසාද යන බරපතල ගැටලුව අප සාමාජිකයන් තුල මේ වන විට පැන නැගී තිබේ.
අත්තනෝමතික ලෙස රෝගී සත්කාර සේවාවන්ට සිදු වීමට යන අඩාල වීම් නොසලකා හරිමින් රෝගීන් තවදුරටත් අපහසුතාවයට පත්වන ආකාරයට නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් වෛද්‍යවරුන් ස්ථානමාරු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ තිරණ ගෙන තිබිම මීට කදිම නිදසුනකි. මන්ද යත්, නිසි පුහුණුව ලත් අනුප්‍රාප්තිකයින් නොමැතිව වෛද්‍යවරුන් රෝහල් වලින් නිදහස් කිරීම අදාල රෝහල් සහ ඒකක වල රෝගී සත්කාර සේවා අඩාල විමේ අවදානම නිසා අගතියට පත් වන්නේ ප්‍රධාන වශයෙන්ම අසරණ රෝගී ජනතාවයි.
මෙම ගැටලු සියල්ල පිළිබදව අද දින පැවති මධ්‍යම කාරක සභා රැස්විමේදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලද අතර සියලු දෙනාගේ ඒකමතික කැමැත්තෙන් පහත තීන්දු තිරණ වලට මධ්‍යම කාරක සභාව එළඹෙන ලදී.
1.අත්තනෝමතික ස්ථාන මාරු ක්‍රියත්මක කිරීමේ සෞඛ්‍ය අමාත්‍යංශ තීරණය වහා අත්හිටුවා අදාල පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් නිසි ක්‍රමවේදය තුලින් සහ විශේෂයෙන්ම රෝගී සත්කාර සේවා බිඳ වැටීමකින් තොරව සිදු කල යුතු බව
2. එම අත්තනෝමතික ස්ථාන මාරු ක්‍රියාවලිය හෙට දිනයේ එනම්, 2025.10.30 දී ක්‍රියාත්මක වුවහොත් රට පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතන වල සිදු විය හැකි සේවා බිද වැටීම පිළිබඳ වගකීම සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් විසින් භාර ගත යුතු බව
3. හෙට දිනයේදි එනම්, 2025.10.30 යම් හෙයකින් ඉහත සඳහන් ආකාරයට අත්තනෝමතික ලෙස සථාන මාරු ක්‍රියාත්මක කරන්නේ නම් නැවත දැනුම් දීමකින් තොරව 2025.10.31 වැනි දින සිට දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව
සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙම අත්තනෝමතික ක්‍රියාකාරකම් හේතුවෙන් සිදු වන්නේ නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් බිඳ වැටීම වේ. ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාවේ බිඳ වැටීම අරමුණු කරගෙන එමඟින් ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ උත්සාහයක් දරන පිරිසක් මෙම ක්‍රියාවලින් දාමය පිටුපස සිටින බවට අපට බරපතල සැකයක් මතු වී ඇත.
එම කූඨ උපක්‍රමයන්ට හසු නොවෙමින් ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය ආරක්ෂ කර ගැනීම අප සැමගේ අරමුණක් විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අප තරයේ විශ්වාස කරන්නෙමු.
ස්තූතියි.
මීට විශ්වාසී,
වෛද්‍ය ප්‍රභාත් සුගතදාස,
ලේකම්.

