ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSME) ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමත කර තිබේ.
මෙතෙක් බැංකු ණයක් ලබා ගැනීමට අපහසුතාවලට මුහුණ පෑ මෙරට ලක්ෂ සංඛ්‍යාත කුඩා ව්‍යාපාරිකයන්ට පහසුවෙන් මූල්‍යකරණයට ප්‍රවේශ වීමට මෙමගින් අවස්ථාව හිමි වේ.
දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 52කට වැඩි ප්‍රමාණයකට සහ සමස්ත රැකියා ප්‍රමාණයෙන් සියයට 45කට දායක වන සුළු හා මධ්‍ය පරිමාණ (MSME) අංශය ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳු නාරටිය බඳු වේ.
ණය පැකේජයේ ව්‍යුහය හා හරිත ණය
මෙම මූල්‍ය පැකේජය කොටස් දෙකකින් සමන්විත වන අතර, MSME අංශයේ මූල්‍ය පරිසර පද්ධතිය වැඩිදියුණු කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රතිපත්ති පාදක ණයක් හා ආයෝජන ණය සඳහා ප්‍රවේශය පුළුල් කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය අතරමැදි ණයක් ලෙස ලබාදීමට කටයුතු කර ඇත.
මීට අමතරව, පරිසර හිතකාමී ව්‍යාපාර වෙනුවෙන් හරිත ණය ලබා දීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 40ක් වෙන් කර ඇත.
“ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ශක්තිමත් හා ඇතුළත් මූල්‍ය පරිසර පද්ධතියක් ගොඩනැගීම” නමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් ඩිජිටල්කරණය, තොරතුරු සාධාරණව ලබා දීම, ආයතනික ක්‍රියාවලීන් විධිමත් කිරීම සහ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සිදු කිරීමට නියමිතය.
නීතිමය ප්‍රතිසංස්කරණ හා ව්‍යවසායක ආරක්ෂණය
ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පිහිටුවීමේ නීතිමය ප්‍රතිසංස්කරණවලට ද මෙමගින් සහාය ලැබේ. එමගින් අධීක්ෂණය වැඩිදියුණු කිරීම, කොල්ලකෑම් ණය දීම අඩු කිරීම, ණය තොරතුරු පද්ධති ශක්තිමත් කිරීම සහ ඩිජිටල් මූල්‍ය යටිතල පහසුකම් දියුණු කිරීම මගින් කුඩා ව්‍යවසායකයන් අධික පොලීවලට හසුවීමෙන් ආරක්ෂා කිරීමට අපේක්ෂිතය.
කාන්තා ව්‍යවසායකයන් හා තිරසාර සංක්‍රමණය
මෙම වැඩසටහන මගින් ශක්තිමත් මූල්‍ය පරිසර පද්ධතියක් ගොඩනැගීමට රජයට උපකාර වන අතර, MSME වලට වර්ධනය වීමට, නවෝත්පාදනය කිරීමට මෙන්ම දේශගුණික ආර්ථික කම්පනවලට ඔරොත්තු දීමට හැකියාව ලැබෙන බව ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ෂැනන් කවුලින් සඳහන් කළාය.
විශේෂයෙන්ම කාන්තා ව්‍යවසායකයන් සඳහා මූල්‍ය ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ හරිත මූල්‍යකරණය පුළුල් කිරීම හරහා තිරසාර මූල්‍ය පරිසරයකට සංක්‍රමණය වීමට සහාය වන බවද ඇය පැවසුවාය.
මෙම වැඩසටහන යටතේ අවම වශයෙන් සියයට 20ක් කාන්තාවන් සතු හෝ ඔවුන් මෙහෙයවන MSME, දේශගුණික කම්පන අවම කිරීමේ හා අනුවර්තන පියවර සඳහා ආයෝජනය කරනු ඇත. එමෙන්ම වර්ධන අවධියේ පවතින SME සඳහා කොටස් මූල්‍යකරණයට ප්‍රවේශ වීමට නව්‍ය මූල්‍ය යාන්ත්‍රණවලට ද සහාය හිමි වේ.
සීමිත මූල්‍ය ප්‍රවේශය, අඩු ඩිජිටල්කරණය සහ දේශගුණික අවදානම් හමුවේ අභියෝගවලට මුහුණ දී සිටින ලංකාවේ කුඩා ව්‍යවසායකයන්ට මෙම නව වැඩසටහන මගින් බාධක බිඳ දමා නව බලාපොරොත්තුවක් ලබා දෙනු ඇතැයි විශ්වාස කෙරේ.
-ජේ. මුණසිංහ-
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
