යුක්තිය සාධරණත්වය අපේක්ෂා කරන ප්‍රගතිශීලී මිනිස්සුන්ට මේ අධිරාජ්‍යවාදී ම්ලේච්ඡ යුද්ධය දෙස නිහඬව බලා සිටිය නොහැක යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන ලද, කොළඹ සිංහ සමාජ ශාලාවේ දී අද (25) පැවැති 'යුද්ධය උන්ගේ විනාශය අපේ! අධිරාජ්‍යවාදී යුද්ධය එපා!' යන තේමාව යටතේ සංවාද කතිකාවේ දී ය.
එම කතිකාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව...
යුද්ධයේ අනිටු විපාක විඳින්නෙ ලෝකයේ ජීවත්වෙන සාමාන්‍ය ජනතාව
''ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී රටවල් මේ වෙද්දි මැදපෙරදිග කලාපය තුළ අධිරාජ්‍යවාදී යුද්ධයක් දියත් කරමින් යනවා. මේ යුද්ධය නිර්මාණය කළේ ඇමරිකාව ඇතුළු අධිරාජ්‍යවාදී රටවල් වුනාට යුද්ධයේ අනිටු විපාක භුක්ති විඳින්න වෙලා තියෙන්නේ ලෝකයේ ජීවත්වෙන සාමාන්‍ය ජනතාවට. වැඩකරන පන්තියේ ජනතාවගේ ජීවිත මේ යුද්ධය නිසා දවසින් දවස අවිනිශ්චිත තත්වයක් කරා ගමන් කරමින් තියනවා. එක පැත්තකින් ජීවත් වීමේ අයිතිය නැති වෙමින් යනවා. තව පැත්‍තකින් දැවැන්ත ආර්ථික කම්පනයකට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. ඉතින් එවැනි මොහොතක අපි හිතුවා මෙ යුද්ධය ඉදිරියේ රටක් විදිහට අපි ගතයුතු ක්‍රියාමාරග සම්බන්ධයෙන් සමාජ කථිකාවක් නිර්මාණය කළ යුතුයි කියලා.
පාලකයින් ගේ අරමුණ වීරයො මරා දැමීම
ඇමරිකාව සහ ඊශ්‍රායලය එකතුවෙලා ඉරානයට විරුද්ධව මේ යුද්ධය ආරම්භ කරපු මොහොතේ ඉඳල ම ඇතැම් පාර්ශව රට ඇතුළෙ ප්‍රචාරක ව්‍යාපෘතියක් ගෙනියමින් ඉන්නවා යුද්ධය ඉදිරියේ බියගුල්ලන් වගේ නිඬව බලාගෙන ඉන්න එක තමයි බුද්ධිමත්කම කියල. ට්‍රම්ප් කියන්නේ පිස්සෙක් ඒ නිසා අපි යුද්ධයට එරෙහි වුණොත් අපේ ඔළුවටත් බෝම්බ වැටෙයි කියලා තමයි ඔවුන් කියන්නේ. නමුත් යුක්තිය සාධරණත්වය අපේක්ෂා කරන්න ප්‍රගතිශීලී මිනිස්සුන්ට මේ අධිරාජ්‍යවාදී මෙලෙච්ඡ යුද්ධය දිහා එහෙම නිහඬතාව බලාගෙන ඉන්න පුළුවන් කමක් නෑ. අර ඉරානයේ පාසල් දරුවන්ගේ ඔළුවට බෝම්බ අතහරිද්දි ගාසා තීරයේ අහිංසක සිවිල් වැසියන් සමූල ඝාතනය කරද්දි මිනිස්සු විදිහට නිහඬතාව ඉන්න අපිට පුලුවන් කමක් නෑ. අර රාජිත දිසානායක ගේ නාට්‍ය නිර්මාණයක් තිබුණා " වීරයා මැරිලා" කියලා. මේ සමාජයේ වීරයෝ ඔක්කොම මරලා දාලා බියගුල්ලෝ විතරක් ඉතුරු කරන එක තමයි පාලකයන් ගේ අරමුණ. ඔවුන්ගේ අධිරාජ්‍යවාදී ම්ලේච්ඡ න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරගන්න පුලුවන් වෙන්නේ එහෙම සමාජයක් ඇතුළේ විතරයි.
අපි යුද්ධයේ කොටස්කරුවන් වෙන විදිය
දවසේ ප්‍රවෘත්ති අරගෙන බැලුවම අපිට මේ යුද්ධයේ විවිධ උස්පහත් වීම් දකින්න පුළුවන්කම ලැබෙනවා. නමුත් අපි හිතනවා ඒ දවසේ ප්‍රවෘත්තිවලට සීමා නොවී මේ මැදපෙරදිග කලාපයේ ඇතිවෙලා තියෙන දේශපානලන අර්බුදය අපි පොදුවේ කියවගන්න ඕන. මොකද ලෝකයේ ආර්ථික ආධිපත්‍යය ලබාගන්න ඇමරිකාව සහ චීනය මේ වෙනකොට විශාල තරගයකට අවතීර්ණ වෙලා තියනවා. ඒ ආර්ථික යුද්ධයේ තීරණාත්ම පරිච්ඡේදයක් තමයි අද මැදපෙරදිග කලාපයේ දිගහැරෙමින් තියෙන්නේ. තෙල් සහ ගෑස් වෙළඳාමේ වැඩි කොටස අත්පත් කරගන්න, ලෝකයේ ඛනිජ සම්පත් මංකොල්ල කන්න ඕනෑම පහත් ක්‍රියාවක් කරන්න මේ රටවල් සූදානම්. ඒ දිහා නිහඬව බලාගෙන ඉන්නවා කියන්නෙම එක පැත්තකින් අපිත් මේ යුද්ධයේ කොටස් කරුවන් වෙනවා කියන එක.
රට අනතුරේ හෙළන යුද ගිවිසුම් වහාම අහෝසි කරන්න
අනිත් කාරණය තමයි මේ යුද්ධයත් එක්ක ලෝකයේ ආර්ථික සහ දේශපානලන කැලඹීම් ඇතිවෙන්න පුළුවන්. ඒ දේශපානලන ආර්ථික කැලඹීම් නිවැරදිව හඳුනාගෙන ඊට අදාළ ක්‍රියාමාරග නොගත්තොත් අපිට රටක් විදිහට විශාල අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා අපි හිතනවා මේ වෙලාවේ ආණ්ඩුවට යම් යෝජනා ප්‍රමාණයක් ඉදිරිපත් කළ යුතුයි කියලා. එකක් තමයි අපි මේ වෙනකොටත් විවිධ රටවල් එක්ක යුද ගිවිසුම් අත්සන් කරලා තියනවා. ගෝඨාභය රාජපක්ෂලා අත්සන් කරලා යහපාලන ආණ්ඩුව කාලේ දින නියමයක් නැතුව දීර්ඝ කරපු ඇක්සා ගිවිසුම එයින් එකක්. ඊටපස්සෙ වර්තාමන ආණ්ඩුව පසුගිය අප්‍රේල් 5 වෙනිදා ඉන්දියාව එක්ක ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළා. ඊටපස්සෙ ජපානය එක්ක තව ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළා. මේ ගිවිසුම් අත්සන් කළේ ජනතාවට හොරෙන්. මේවගේ තියෙන්නේ මොනවද කියලා තාම රටට හෙළිදරව් කරලා නැහැ. අපි ආණ්ඩුවට කියනවා රට අනතුරේ හෙළන මේ යුද ගිවිසුම් වහාම අහෝසි කරන්න කියලා.
පාඩුව දරාගෙන ඩීසල්වලට සහනයක් දෙන්න
අනිත් එක තමයි ජත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක අත්සන් කරපු ඉතාම අවාසිසහගත ණය ගිවිසුමෙන් ගැලවෙන්න මේක අවස්ථාවක් කරගන්න පුළුවන්. මොකද මේ ණය ගිවිසුම නිසා අපි රටක් විදිහට ඉදිරියේ දී විශාල ආර්ථික අර්බුදයකට ඇද වැටෙන්න නියමිතයි. ඒ නිසා මේ ගිවිසුම සමාලෝචනය කිරීම වහාම කළ යුතුයි. ඊළඟට ආහාර ද්‍රව්‍ය, අධ්‍යාපන සහ සෞඛ්‍ය උපකරණ ඇතුළු අත්‍යාවශ්‍යය ද්‍රවය මත පනවල තියෙන බදු ඉවත් කරලා සාමාන්‍ය ජනතාවට සහනයක් දෙන්න ඕන. මොකද මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය මේ වෙනකොට තියෙන්නේ ඉතාම පහත් අඩියක. දැන් ආණ්ඩුව තෙල් මිල වැඩි කරමින් යනවා. අපි දන්නවා තෙල් සංස්ථාව සතු රුපියල් බිලියන 900ක ණයක් රනිල් ගේ කාලේ මහා භාණ්ඩාගාරයට පවර ගත්තා. ඒ ණය බදු මගින් කපාහරින විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. ඒ අනුව ඉන්ධනවලින් වාර්ෂිකව රුපියල් බිලියන 15කට වැඩි බද්ධක් රජයට ලැබෙනවා. හැබැයි මේ වෙලාවේ අපි හිතනවා ඩීසල් සඳහා බදු සහනයක් ලබා දිය යුතුයි කියලා. මොකද ඩීසල් මිල ඉහළ යාම පොදුවේ අනෙක් සියලු ක්ෂේත්‍රවල මිල ඉහළ යාමට බලපානවා. පොදු ප්‍රවාහණය, භාණ්ඩ ප්‍රවාහනය, කෘෂි යන්ත්‍රෝපකරණ, ධීවර කටයුතු, මේ හැම එකකම මිල ඉහළ යාම පාලනය කරන්න පුළුවන් ඩීසල් සඳහා බදු සහනයක් දුන්නොත්. එහෙම බදු සහනයක් දීමෙන් රජයට අහිමි වෙන්නේ වාර්ෂිකව රුපියල් බිලියන 7ක් වගේ සුළු ප්‍රමාණයක් විතරයි. ඒ පාඩුව දරාගෙන ඩීසල්වලට සහනයක් නොදුන්නොත් ඉදිරි කාලය ඇතුළේ රට විශාල ආර්ථික අර්බුදයකට ගොදුරු වෙන එක නවත්වන්න පුළුවන් කමක් නෑ.
පාසල් වසා දැමීමේ සූදානමක්
අපිට ආරංචි විදිහට දැන් ආණ්ඩුව සූදානම් වෙමින් ඉන්නවා බලශක්ති හිඟයත් එක්ක පාසල් වහන්න. අපි කියනවා එහම වුනොත් ඒක දරුවන්ගේ අධ්‍යාපනය පෞරුෂත්වය කඩා වැටෙන්න හේතුවෙන ක්‍රියාවක්. ඒ නිසා ඉදිරියේදී පසල් පවත්වාගෙන යන්න බැරි තත්වයක් උද්ගත වුණොත් ළඟම පාසලට දරුවන්ව ඇතුළත් කරන්න පුලුවන් ක්‍රමවේදයක් දැන්මම සකස් කරන්න කියලා අපි මේ වෙලාවේ ආණ්ඩුවට යෝජනා කරන්න කැමතියි. ඒ සඳහා සියලු ග්‍රාමීය පසල්වල පහසුකම් වැඩි දියුණු කිරීමට වහාම ප්‍රතිපාදන වෙන් කරන්න ඕන. මේවා තමයි මේ වෙලාවේ ආණ්ඩුවක් විදිහට ගන්න ඔන රැඩිකල් ක්‍රියාමාරග. අද මෙතන මේ සාකාච්ඡා සභාවට වෘත්තීය සමිති දේශපානලන පක්ෂ සහ සමාජ ක්‍රියාකාරීන් රැසක් එකතුවෙලා ඉන්නවා. ඉදිරියේ දී ලෝක මට්ටමින් ඇතිවෙන්න නියමිත මේ දැවැන්ත ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගැන තවදුරටත් රට ඇතුළේ සංවාදයක් ඇති කරන්න අපි සියලුදෙනා එකතුවෙලා ඉදිරියටත් කටයුතු කරන්න සූදානම්. ඒ සඳහා එකතුවෙන්න කියලා අපි රටේ සියලු ප්‍රගතිශීලී ජනතාවට ආරාධනා කරනවා.''
සටහන - ජයසිරි අලවත්ත



