විදුලි පරිභෝජනයේ අරපිරිමැස්ම ගැන කියා දෙන්න කලින් බාල ගල් අඟරු ගෙන්වීම නතර කරන්න - විපක්ෂ නායක

විදුලි පරිභෝජනයේ අරපිරිමැස්ම ගැන කියා දෙන්න කලින් බාල ගල් අඟරු ගෙන්වීම නතර කරන්න - විපක්ෂ නායක

සවස 6 සිට රාත්‍රී 10 වන තුරු අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන ලෙස බලශක්ති අමාත්‍යවරයා සහ ආණ්ඩුවේ ඇමතිවරු පෝලිමේ පැමිණ රටේ ජනතාවට ටියුෂන් දීම අරඹා ඇති බවත්, ලක්විජය ගල් අඟුරු බලාගාරයෙන් නියමිත පරිදි විදුලිය උත්පාදනය නොකරන්නේ ඇයි ද කියා විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේ ය.

ඔහු මෙලෙස ප්‍රශ්න කළේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එම ප්‍රකාශයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

ආණ්ඩුව, ඉන්ධන බලාගාර මාෆියාවට ශක්තිය ලබා දෙනවා

''දිනපතා වොෂින් මැෂින් භාවිත නොකර දින තුනක හතරක ඇඳුම් එකතු කර සෝදන ලෙසට ආණ්ඩුව විකාර යෝජනා රටට ඉදිරිපත් කරනවා. හැබැයි බාල ගල් අඟුරු ගැන කතා කරන්නෙ නැහැ. මාර්තු 24 වැනිදා පවා විදුලිය උත්පාදනය කරල තියෙන්නෙ මෙගාවොට් 144ක් පමණක් අඩුවෙන්. 23 වැනිදා විදුලිය නිෂ්පාදනය කරල තියෙන්නෙ මෙගාවොට් 162ක් අඩුවෙන්. මෙයට හේතුව බාල ගල් අඟුරු භාවිත කිරීම යි. රටේ ජනතාවට අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්න කියන වත්මන් රජය ම බාල ගල් අඟුරු යොදමින් නියමිත විදුලිය උත්පාදනය නොකර ඉන්ධන බලාගාර මාෆියාවට ශක්තිය ලබා දෙනවා. මේ නිසා පාරිභෝගිකායට ඉහළ මිලකට විදුලිය ලබා ගැනීමට සිදුවෙනවා. එබැවින් දැන්වත් රජය අනුන්ට උපදෙස් ලබා දෙන්නට පෙර තමන් හරි දේ කළ යුතු යි. ජනතාවට විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට උපදෙස් දෙන්නට පෙර බාල ගල් අගුරු භාවිතය නතර කළ යුතු යි. මේ බාල ගල් අගුරු නිසා ජනතාව ගේ සෞඛ්‍ය තත්ත්වයට මෙන්ම පරිසරයට ද දැඩි හානි සිදු වෙනවා. මේ වන විට අළු කඳු පවා නිර්මාණය වී ඇති මොහොතක අරිපිරිමැස්ම ගැන රටේ ජනතාවට උපදෙස් දෙන්න රජයට සදාචාරාත්මක අයිතියක් නැහැ. දැන්වත් මේ දෙබිඩි රංගනයෙන් ඉවත්ව බාල ගල් අඟුරු ගෙන්වීම වහාම අත්හිටුවා ගුණාත්මකභාවයෙන් ඉහළ ගල් අඟුරු ගෙන්වා උපරිම ධාරිතාවයෙන් විදුලිය නිපදවිය යුතු යි.

ඉන්ධන මත පටවා ඇති බදු ඉවත් කරන්න

දිනෙන් දින ඉහළ යන තෙල් මිල නිසා රටේ ආර්ථිකය වේගයෙන් කඩා වැටෙමින් පවතිනවා. කෘෂි, ධීවර, කර්මාන්ත, ව්‍යවසාය, ස්වයං රැකියා, සංචාරක ඇතුළු භාණ්ඩ හා සේවා සපයන සියලු දෙනා මෙන්ම සමස්ත ජන සමාජයම ඉන්ධන මිල වැඩි වීමේ අතුරු ඵලයක් ලෙස ආහාර පාන, බඩු මිල හා ප්‍රවාහන වියදම් වැඩි වීම නිසා දැඩි පීඩනයකට අසහනයකට හා කම්පනයකට නතුව තිබෙනවා. මැතිවරණ සමයේ රජය පොරොන්දු වූ ආකාරයට දැන්වත් වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා දෙන්න නොහැකි ඇයි...? මෙවැනි බරපතළ පීඩනයකට කම්පනයකට සහ අසහනයකට ජනතාව පත්ව ඇති මොහොතක ඉන්ධන මත පනවා ඇති සියලු බදු ඉවත් කර යම් තරමකට හෝ තෙල් මිල අඩු කිරීමට රජය කටයුතු නොකරන්නේ ඇයිද කියා ගැටලුවක් පවතිනා. වරායේ ගොඩබාන මිලට, බදු ඉවත් කර, කොමිස් මුදල් කපා හැර, භාණ්ඩාගාරයට ගෙවන මුදල් ඉවත් කර, ඉන්ධන මිල අඩු කරනවා කිව්වට තවමත් එය සිදු කර නැහැ.

ඉක්මනින් ම ඉරානයෙන් තෙල් ගන්න

ඉරාන තානාපතිවරයා විවෘත ප්‍රකාශයක් මගින් සහන ක්‍රමවේදයක් යටතේ අප රටට ඉන්ධන ලබා දෙන්න කැමැත්ත ප්‍රකාශ කළත් රජය තවදුරටත් ඉරානයෙන් සහන ක්‍රමයට ඉන්ධන ලබා ගන්න කටයුතු නොකරන්නේ ඇයිද කියා ප්‍රශ්න කරනවා. එදා ඇමෙරිකාව රුසියාවට පැනවූ සම්බාධකවලට දින 30ක විරාමයක් ලබා දුන් තත්ත්වය තුළ රුසියාව සමග සාකච්ඡා කර තෙල් ලබාගන්නා ලෙස විපක්ෂය පැවසූ අවස්ථාවේ පවා රජය කටයුතු කළේ ප්‍රමාද වෙලා. රජය දින හතක් බල බලා ඉඳල රුසියානු තානාපතිවරයා හමුවුණත් අවශ්‍ය කටයුතු සිදු කරේ නෑ. දැන් තෙල් මාෆියා, කළුකඩ ව්‍යාපාරවලින් ඉන්ධන ලබා ගැනීමේ ක්‍රමවේද තුළින් විශාල බරක් පාරිභෝගික ජනතාව කරපිට පටවන්න සූදානම්. දැන්වත් ඉරානයෙන් ලබා දුන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ජනතාවට සහන මිලට ඉන්ධන ටික ලබා දෙන්න කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. රුසියාවෙන් තෙල් ලබා ගන්න අවස්ථාව තිබියදී රජයේ කල්මැරීම නිසා රටක් ලෙස පසුබෑමකට ලක් වුණත් ඉරානය යෝජනාවක් ගෙන විත් ඇති අවස්ථාවේ අප රටට සහන ක්‍රමවේදයකට ඉන්ධන ලබා ගැනීමට මැලි නොවන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.

රජය තෙල් මාෆියාවේ ගොදුරක් බවට පත් වෙලා

රජය තෙල් මාෆියාවට, තෙල් කාටලවලට යටත් නොවී සහන මිලට ඉන්ධන ලබා ගෙන ඒවා පාරිභෝගියන්ට ලබා දෙන්න. ජාවාරම්කාර ගණුදෙනුවලට ගොස් ජනතාව කබලෙන් ලිපට වැට්ටවීම සිදු නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. ඉරානය සිය නැව සිය අභිමතය සහ වුවමනාව පරිදි Goodwill visit එකක් සඳහා ලංකාවට පැමිණීමට ඉල්ලා සිටි බවට ජනාධිපතිවරයා පසුගිය දා පාර්ලිමේන්තුවට පැමිණ ප්‍රකාශ කළ කළත් පසුගිය දිනක ඉරාන තානාපතිවරයා කියූ ආකාරයට ඉරාන නැව් ශ්‍රී ලංකාවට ආවේ මෙරට නාවික හමුදාපතිවරයා ගේ ආරාධනාවක් අනුව යි. මේ සත්‍ය කුමක්ද කියා දැන ගැනිමට මුළු රටම අපේක්ෂාවෙන් සිටිනවා.

ඇත්තටම මෙහි දී සිදු වූයේ ඉරානයේ යෝජනාවක් හා ඉල්ලීම මත පැමිණිම ද මෙරට නාවික හමුදාපතිවරයාගේ ඉල්ලීම මත පැමිණිම ද කියා සත්‍ය අනාවරණය කළ යුතු යි. ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මේ කරුණ ගැන සත්‍යවාදී, විධිමත් පැහැදිලි කිරීමක් සිදු කළ යුතු යි. මේ ඉරාන නැව ආවේ ඉරානයේ යෝජනාවක් මත ද නැතිනම් ශ්‍රී ලංකාවේ නාවුක හමුදාපතිවරයා ගේ ආරාධනාවක් අනුවද කියා සත්‍ය ඉදිරිපත් කළ යුතු යි. මේ සත්‍ය හෙළිදරව් කිරීම ජනාධිපතිවරයා ගේ සහ රජයේ වගකීමක්.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න