ලෝක ක්ෂය රෝග දිනය (World Tuberculosis Day) ඊයේ (24) ට යෙදී ඇති අතර, සෑම වසරක ම මාර්තු මස 24 වන දින ලෝක ක්ෂය රෝග දිනය සමරයි.
මෙම විශේෂ දිනය ක්ෂය රෝගය (TB) පිළිබඳව දැනුවත් කිරීම, එය වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීමේ වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තරව යොදා ගැනේ.
නායකත්වයෙන්, බලගැන්වූ පුරවැසියන් තුළින් " ඔව්, අපට ක්ෂය රෝගය තුරන් කළ හැක." (Yes! We Can End TB: Led by Countries, Powered by People) යන්න මෙවර ලෝක ක්ෂය රෝග දින තේමාව වන අතර, මෙම තේමාව මගින් ක්ෂය රෝගය තුරන් කිරීමේ දී රටක ශක්තිමත් නායකත්වය, තිරසාර කැපවීම සහ සාමුහික වගකීමක අවශ්‍යතාවය තහවුරු කෙරේ.
ලෝක ක්ෂය රෝග දිනයට සමගාමීව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ මෙරට ද ජාතික, දිස්ත්‍රික්, පළාත්, ප්‍රාදේශීය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල (MOH), සෞඛ්‍ය ආයතන මට්ටමින් වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ක්ෂය රෝග මර්දන ජාතික වැඩසටහන පියවර ගෙන තිබුණි.
ලෝක ක්ෂය රෝග දිනය යෙදී තිබූ ඊයේ (24) 2035 වන විට ශ්‍රී ලංකාවෙන් ක්ෂය රෝග තුරන් කිරීම සඳහා වූ ජාතික ප්‍රයත්නය ශක්තිමත් කිරීම සහ කැපවීම සංකේතාත්මකව ප්‍රදර්ශණය කරමින් විශේෂ පලඳනාවක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන අය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් වෙත පැලඳවීමට ක්ෂය රෝග මර්දන ජාතික වැඩසටහනේ (NPTCCD) අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා ඇතුළු වෛද්‍ය නිලධාරීන් ඊයේ (24) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී කටයුතු කළහ.
ලෝක ක්ෂය රෝග දිනය වෙනුවෙන් ජාතික වැඩසටහන් සහ ක්‍රියාකාරකම් දිවයින පුරා ක්‍රියාත්මක අතර, ක්ෂය රෝගය හඳුනා ගැනීම වැඩි කිරීම, ක්ෂය රෝගය මර්දන වැඩපිළිවෙළ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර සහයෝගිතාව ශක්තිමත් කිරීම, තිරසාර ප්‍රජා සහභාගිත්වය තුළින් දැනුවත්භාවය වැඩි කිරීම, ක්ෂය රෝගය හා බැඳුණු දුර්මත අඩු කිරීම සඳහා ක්‍රමවේද ස්ථාපිත කිරීම සහ සෞඛ්‍ය පද්ධතියේ සියලු මට්ටම්වල වගවීම වැඩි දියුණු කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබා දීම මෙහි දී සිදු කෙරේ. එම කටයුතු දිස්ත්‍රික් ක්ෂය රෝග මර්දන වෛද්‍ය නිලධාරීන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල (PDHS), ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල (RDHS), සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල (MOH) සහ සියලුම මට්ටම් වල සෞඛ්‍ය සේවා ආයතන හරහා ක්‍රියාත්මක වේ.
2026 ලෝක ක්ෂය රෝග දිනයට සමගාමීව 2026 මාර්තු 16 සිට 20 දක්වා කාලය ක්ෂය රෝගය පිලිබඳ දැනුවත් කිරීමේ සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබූ අතර, එහිදි මහජනතාව ඉලක්ක කර ගනිමින් ජනමාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය හරහා ක්ෂය රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීම. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සහ අනෙකුත් අදාළ පාර්ශවකරුවන් සමග එක්ව මාධ්‍ය හමු පැවැත්වීම. සෞඛ්‍ය සේවකයින් ඇතුළු අධි අවධානම් කණ්ඩායම් ඉලක්ක කරගත් ක්ෂය රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ සහ හඳුනා ගැනීමේ පරීක්ෂණ සඳහා වැඩසටහන් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (NIMH), බෝවන රෝග පිලිබඳ ජාතික ආයතනය (NIID), ස්වසන රෝග පිලිබඳ ජාතික රෝහල (NHRD), ජාතික ක්ෂය රෝග රසායනාගාරය (NTRL), මධ්‍යම ළය චිකිත්සාගාරය - කොළඹ (CCC), දිස්ත්‍රික් ළය චිකිත්සාගාරය - ගම්පහ අතුළු තෝරාගත් සෞඛ්‍ය ආයතනවලදී පැවැත්වීමට ද කටයුතු කෙරිණි.
ගෝලීය වශයෙන් ගත් කළ ලෝක ජනගහනයෙන් 1/4 කට පමණ වාර්ෂිකව ක්ෂය රෝග කාරක බැක්ටීරියාව ආසාදනය වන අතර, එයින් මිලියන 10 ක් පමණ සක්‍රිය ක්ෂය රෝගයට ගොදුරු වේ. ලෝකයේ බැක්ටීරියාවක් මගින් ව්‍යාප්ත වන රෝගයන්ගෙන් වැඩි වශයෙන්ම මරණ සිදුවන රෝගය ක්ෂය රෝගය වේ. එහි ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව මරණ මිලියන 1.2 ක් පමණ සිදු වන බව ඇස්තමේන්තු කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව වසරකට ශ්‍රී ලංකාව තුළ ක්ෂය රෝගීන් 14,000 ක් පමණ හඳුනාගත යුතුව ඇතත්, දැනට ශ්‍රී ලංකාවේ වසරක දී හඳුනාගනු ලබන්නේ නව රෝගීන් 8,500 - 9,500 ක් අතර ප්‍රමාණයකි. මෙම දත්ත වලට අනුව දල වශයෙන් රෝගීන් 5,000 ක් පමණ හඳුනා නොගත් රෝගීන් ප්‍රමාණයක් ප්‍රජාව අතර සිටින බව පෙනී යයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිලිබඳ ජාතික වැඩසටහන පෙන්වා දෙන පරිදි 2025 වසරේ දී නව ක්ෂය රෝගීන් 8125 ක් වාර්තා වී ඇති අතර, ඒ පිරිමි රෝගීන් 5,177 ක් සහ ගැහැණු රෝගීන් 2,948 ක් වශයෙනි. ඇස්තමේන්තු වලට අනුව ළමා ක්ෂය රෝගීන් සංඛ්‍යාව මුළු ක්ෂය රෝගීන්ගෙන් 05 % - 15 % ක් අතර විය යුතු වුවත් ශ්‍රී ලංකාව තුළ 2025 වර්ෂය තුළ හඳුනාගෙන ඇත්තේ රෝගීන් 231 ක් පමණි. එනම් 3 % ක් පමණ ප්‍රතිශතයකි. එමගින් ළමුන් අතර ක්ෂය රෝගින් හඳුනා ගැනීමේ අඩුවීමක් දැක ගත හැකිය.
2015 වසරට සාපේක්ෂව ක්ෂය රෝගීන් වාර්තා වීම 90 % කින් ද, මරණ සිදුවීම 95 % කින් ද අඩු කිරීම මෙන්ම, ක්ෂය රෝගය සඳහා වන පිරිවැය දරාගත නොහැකි රෝගීන් සංඛ්‍යාව ශුන්‍ය කිරීම මගින්, ශ්‍රී ලංකාව 2035 වසර වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්ෂය රෝග නිවාරණ ඉලක්ක සපුරා ගැනීමට කැප වී සිටි.
මෙම අවස්ථාවට ක්ෂය රෝග මර්දන ජාතික වැඩසටහනේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය දිල්ෂාන් විඡේරත්න, වෛද්‍ය අනුරාධ විඡේසිංහ, ලේඛකාධිකාරි ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය අංජන හරිස්චන්ද්‍ර, ලේඛකාධිකාරි ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ජලාඩීන් යන අය ද එක්ව සිටියහ.

