පුවත්

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා : ජී7 කණ්ඩායමේ සහය !
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සාකච්ඡා සඳහා සහය ලබාදීමට ජී7 කණ්ඩායම් රටවල් තීරණය කර ඇති බව වාර්තා වෙයි .
ජී7 කණ්ඩායම් සභාපතිත්වය දරන ජර්මනියේ මෙරට පිහිටි තානාපති කාර්‍යාලයේදී ඊයේ (28) පැවති සාකච්ඡාවකදී මේ තීන්දුව ගෙන ඇති බවත් වාර්තා වෙයි .
මෙම සාකච්ඡාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙරට නියෝජිතයන්ද සහබාගී වී තිබේ.
ඒ අනුව ජී7 කණ්ඩායමේ මෙරට සිටින සාමාජිකයන් එහිදී එකඟතාවකට පැමිණ ඇත්තේ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා ඉන්දියාව, චීනය ඇතුළු ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීමට ය.
මෙම සාකච්ඡාව සාර්ථකව පැවති බව මෙරට ජර්මානු තානාපති පවසයි.
ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට කාලෝචිත විසඳුමක් සඳහා ජර්මනිය කැපවී සිටින බවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන ණයහිමියන් සහ පැරිස් සමාජය සමග එක්ව මෙම සාකච්ඡාව ඉක්මනින්ම කරගෙන යාමට බලාපොරොත්තු වන බවත් ඔවුන් අවධාරණය කරයි.
ජී7 කණ්ඩායම (G7) යනු කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදයෙන් සමන්විත අන්තර්-රාජ්‍ය දේශපාලන සංසදයකි.
මීට අමතරව, යුරෝපා සංගමය එහි ගණනය නොකළ සාමාජිකයෙකු වේ.
ජී7 සාමාජිකයන් වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සිටින ලොව විශාලතම, දියුණු ආර්ථිකයන් සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ය.

21 දිනුවාට අය වැය පරාදයි ?
එළඹෙන 2023 වසර සඳහා අය වැය යෝජනාව පරාජයට පත් කිරීමේ හැකියාවක් ඇති බව 'නිදහස් ජනතා සභාව' නියෝජනය කරන පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන පවසයි.
ඒ අනුව අය වැය යෝජනාව පරාජයට පත් කිරීම තුළින් ආණ්ඩුව විසුරුවා හැර මහා මැතිවරණයකට යෑමේ හැකියාවද ලැබෙනු ඇත.
කෙසේ නමුත් මහාචාර්ය මන්ත්‍රීවරයා පවසා සිටින්නේ ජනතාවට අසාධාරණයක් වන අයවැයක් ඉදිරිපත් නොකළහොත් එයට විරුද්ධ වන බවකි.
මෙවර අය වැය මෙරට ඉතිහාසයේ තීරණාත්මක අයවැයක් වෙනු ඇති බව ආර්ථික ක්ෂේත්‍රයේ මතය වී ඇත.
මන්ද රට වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම වෙනුවෙන් වන ජනප්‍රිය නොවන දුෂ්කර තීන්දු තීරණ රැසක් මේ තුළ අඩංගුවිය හැකි බැවිනි. ඒ කවර තීන්දුවක් අඩංගු වුවත් එය රටේ අනාගතය වෙනුවෙන් ගන්නා පියවරක් වීම අනිවාර්ය තත්වයක් වෙනු ඇති බවත් එම පිරිස් පෙන්වා දෙයි.
මේ අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග චැතම් ස්ට්‍රීට් ජර්නල් පුවත් පත සමඟ පවසා ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට මුහුණ දී ඇති අර්බුදකාරි අවස්ථාවේ සාර්ථක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරමින් යන බවත් තමන් ඇතුලු පොදුජන පෙරමුණේ බහුතරයක් දෙනා ඊට සහය දීමට තීරණය කර ඇති බවය.
මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රී රාහුෆ් හකීම් ද පසුගියදා පවසා සිටියේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු හතලිස් දෙනෙකු පමණ ජනාධිපතිවරයාට සෘජුවම සහය වීම සිදු වෙනු ඇති බවය.
එසේම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ගනනාවක්ම ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙල එකඟව සිටින බවත් තීරණාත්මක මොහොතකදී ඔවුන්ගේ සහය ලැබෙනු ඇති බවත් එම පක්ෂයට සමීප ආරංචි මාර්ග පෙන්වා දෙයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධුරයට පත් කරගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 134 දෙනෙකුගේ සහය හිමිවූ අතර 21 වන සංශෝධය වෙනුවෙන් මන්ත්‍රීවරු 179 දෙනකුගේ සහය හිමිව තිබිණි. එළැඹෙන නොවැම්බර් 14 වන දින 2023 වසර සඳහා වන අය වැය යොජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.

එජාපයෙත් සැලුන් දොර විවෘතයි !
සමගි ජනබලවේගය , පොදුජන පෙරමුණ ප්‍රධාන සියලු පක්ෂ නියෝජනය කරන දේශපාලන ක්‍රියාකාරීන්ගේ කැමැත්ත මත ඔවුන් සියලු දෙනා එක්සත් ජාතික පක්ෂයට එකතු කර ගන්නා නව වැඩපිළිවෙළක් සකසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂ ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.
දිනෙන් දින වෙනස් වන මෙරට දේශපාලන වාතාවරණය දෙස අවධානය යොමු කර ප්‍රධාන ධාරාවේ නියෝජිතයන් මෙන්ම ගම් මට්ටමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය ඇතුළු සෑම පක්ෂයක්ම නියෝජනය කළ දේශපාලන ක්‍රියාකාරීන් පක්ෂයට එකතු කර ගැනීමේ වැඩ කටයුතු ඒ අනුව කඩිනමින් ආරම්භ කරනා ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇත.
හැකි ඉක්මණින් මෙම වැඩපිළිවෙල සකස් කරන ලෙසත්, ඒ අනුව පක්ෂයේ ඉදිරි කටයුතු ආරම්භ කරනා ලෙසත් එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇත්තේ, එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, උපනායක අකිල විරාජ් කාරියවසම් ගේ සහභාගීත්වයෙන් පැවති එක්සත් ජාතික පක්ෂයේ ඉහළ පෙළේ දේශපාලන රැස්වීමක දී ය.
කොළඹින් බැහැරව ගොස් සිටි බැවින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙම රැස්වීමට සභාභාගී වී නැතත් පක්ෂ නායකත්වය විසින් ඔහුට ද ඒ සම්බන්ධ විශේෂ වගකීමක් පවරා ඇති බවත් වාර්තා වෙයි .

වනෝද්‍යාන සම්බන්ධයෙන් : ජනාධිපතිගෙන් දැඩි රෙගුලාසි !
යාල, විල්පත්තු, හෝර්ටන්තැන්න ආදී ජාතික වනෝද්‍යයාන වෙත ලියාපදිංචි සෆාරි වාහන හැරුණු කොට වෙනත් කිසිදු වාහනයකට ඇතුළු වීම තහනම් කිරීම ආදී පරිසර ආරක්ෂණ නීති ඇතුළත් නව පනතක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ අංශ වෙත නියම කර ඇත .
එතෙක් මෙම ජාතික වනෝද්‍යයානවලට ලියාපදිංචි සෆාරි වාහන හැරෙන්නට වෙනත් කිසිදු වාහනයක් ඇතුල් නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග නිකුත් කර තිබේ.
ඊට අමතරව ශ්‍රී පාද අඩවි වනාන්තරය, සිංහරාජය ඇතුළු පාරිසරිකව වැදගත් වන ස්ථාන ආරක්ෂා කිරීමේ වෙනමම නීති කඩිනමින් ඊට ඇතුළත් කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම උපදෙස් දෙනු ලැබූවේ පරිසර අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පවත්වනු ලැබූ විශේෂ සාකච්ඡාවකදී ය.
හෝර්ටන් තැන්නට පිවිසෙන පට්ටිපොල සිට සහ ඔහියේ සිට ගමන් පහසුව සැලසීම සඳහා පරිසර හිතකාමී ඉලෙක්ට්‍රික් වාහන යොදා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් වල සඳහන් වේ.
මීට අමතරව කැබලිත්ත පුජාභුමිය ද සුරැකීමට අවශ්‍ය නීති ද සකසන ලෙස ද මෙහිදි දන්වා තිබේ.
මෙරට වන වැස්ම 35% ක් වැනි අඩු අගයක පැවතීම නිසා ඉදිරියේදි කරනා සියලු සංවර්ධන ව්‍යාපෘතිවල දී මේ ගැන සැලකිලිමත් වන ලෙසත් වන වැස්මට හානි වන කිසිදු ව්‍යාපෘතියකට අවසර නොදෙන ලෙසත් රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට එහිදි උපදෙස් දුන්නේය.
යාල විල්පත්තු සහ හෝටන්තැන්න ආදී පරිසර පද්ධති නැරඹීමට යන සංචාරකයින් සඳහා ද විදුලියෙන් ධාවනය වන රථ යෙදවීම කඩිනමින් කළ යුතු යැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් උපදෙස් දුන්නේය. එසේම සොබාව සෞන්දර්ය රැක ගැනීමට අදාළ නව නීතීන්ද මෙම පනතට ඇතුළත් කරනා ලෙසද ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.
යාල විල්පත්තු සහ හෝර්ටන් තැන්න ආදී වනෝද්‍යානවල පරිසරය ආරක්ෂා කිරීම සඳහා වන ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව වහාම වැඩි කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ දුන් උපදෙස් වල තවදුරටත් සඳහන් වේ.

පැනපු සෙබළුන්ට : නීත්‍යානුකූලව ඉවත් වෙන්න පොදු සමා කාලයක් !
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සමාජිකයන්ට හමුදා සේවයෙන් නීත්‍යානුකූල ලෙස ඉවත් වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මාස 1 1/2 ක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.
නොවැම්බර් මස 15 දින සිට දෙසැම්බර් 31 දින දක්වා කාලය තුළ මෙම පොදු සමාකාලය ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මෙම පොදු සමා කාලය 2022.10.25 දින හෝ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකල අයවළුන් සඳහා පමණක් වලංගු වන අතර ඔවුන් වෙතින් අයවිය යුතු යම් මුදලක් වේ නම් නීත්‍යානුකුලව ඉවත් වීමට පෙර එම මුදල් ගෙවීමට කටයුතු කල යුතු බවද ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

යූරියා 50 kg උරය : වී ගොවීන්ට රුපියල් 10,000ට !
වී ගොවීන්ට යූරියා කිලෝ ග්‍රෑම් 50ක මල්ලක් රුපියල් 10,000 කට ලබා දීමට රජය තීරණය කර තිබෙි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීමෙන් කළ සාකච්ඡා කිහිපයක දී කෙරුණු ඉල්ලීම් පදනම් කර ගනිමින් ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාව, ගොවිතැන සහ ග්‍රාමීය ආදායම් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය වැනි අනෙකුත් සංවර්ධන හවුල්කරුවන්ගේ ආධාරවලට අමතර සහායක් වශයෙන් මෙම ලෝක බැංකු ණය ප්‍රතිපාදන හිමිව තිබේ.
ශ්‍රී ලංකාවට දළ වශයෙන් මහ කන්නයේ අස්වනු නෙළන සමයේ වී වගාව සඳහා යූරියා පොහොර ටොන් 150,000ක් පමණ අවශ්‍ය වේ.එම ප්‍රමාණය සම්පූර්ණයෙන්ම සැපයීමට හැකියාව පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ තහවුරු කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.
ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා කුඹුරු හිමියන්ට මෙම පොහොර සෘජුවම බෙදා හරිනු ලබන බවත් අවම හෙක්ටයාර 2ක් දක්වා වී වගා කරන කුඹුරු හිමියන්ට තමන් වී සඳහා සකස් කර ඇති ප්‍රදේශය අනුව ස්ථාවර මලු ප්‍රමාණයක් මිලදී ගැනීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
සෑම ගොවියකුටම මිලදී ගත හැකි උපරිම පොහොර ප්‍රමාණය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත කෘෂි පාරිසරික කලාපය අනුව වෙනස්කම් සහිතව තීරණය වේ. මීට අමතරව බඩඉරිඟු ගොවීන්ගේ වගා බිම් හෙක්ටයාර් 60,000ක් සඳහා අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 12,000ක් ලබාදීමට නියමිත අතර, එහි කිලෝ ග්‍රෑම් 50ක මිල රුපියල් 15,000කි.
මේ වන විට යුක්ක්‍රේනයේ පවතින යුදමය වාතාවරණය සහ ලෝක භූ දේශපාලන තත්ත්වයන් නිසා ඉතාමත් අභියෝගාත්මක වෙළඳපොළ තත්ත්වයක් පොහොර නිෂ්පාදනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් පවති.
විකුණුම් වෙළඳපොළ මිල ඉහළ යමින් පවතින වාතාවරණයක කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් යූරියා මෙට්‍රික් ටොන් 12,500ක්, මෙට්‍රික් ටොන් 50,000ක් සහ මෙට්‍රික් ටොන් 45,000ක් සැපයීමේ ගිවිසුම් තුනකට අදියර තුනකදී අත්සන් තබා තිබෙන අතර තවත් යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් ලබා ගැනීම සඳහා වූ ගිවිසුමට ඉදිරියේ දී අත්සන් තැබීමට නියමිත බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
ඉන්දීය සහන ණය පදනම යටතේ මේ වන විටත් මහ කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 21,000ක් ගොවීන් වෙත බෙදාහැරීම සිදුකර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ලෝක බැංකුවේ සහාය ඇතිව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වරායේ සිට ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත සහ ගොවිජන සේවා මධ්‍යස්ථානවල සිට ගොවීන් වෙත පොහොර බෙදා හැරීම නිරීක්ෂණය කිරීම සඳහා භූ-සක්‍රීය අධීක්ෂණ පද්ධතියක් (GEMS ) යෙදවීමට පියවර ගෙන ඇතැයි ද පාරිසරික හා සමාජීය අවදානම් කළමනාකරණය, දුක්ගැනවිලි විසඳීම සහ බලපෑම නිරීක්ෂණය කිරීම සඳහා ද එම පද්ධතිය භාවිතා කරනු ලබන බවද ජනාධිපති කාර්යාලය පවසයි.
ඇමරිකා ඩොලර් මිලියන 110 ක ලෝක බැංකු සහනදායී හදිසි ණය ප්‍රතිපාදන යටතේ යූරියා ටොන් 13,000ක පළමු තොගය කෘෂිකර්ම අමාත්‍යාංශයට අද (28) ලැබී තිබිණි.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන් !
සාහිත්‍යකරණයේ නියැළි විශිෂ්ටතා දැක්වූ ශ්‍රී ලාංකේය සාහිත්‍යවේදීන් ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව 65 වන වරටත් සංවිධානය කෙරුණු මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී "රාජ්‍ය සාහිත්‍ය සම්මාන" 40ක් සහ "සාහිත්‍ය රත්න" සම්මාන 03ක් පිරිනැමිණි.
කලාකරුවෙකුට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන සාහිත්‍යරත්න සම්මානයෙන් මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු (සිංහල මධ්‍යය), ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කමනි ජයසේකර (ඉංග්‍රීසි මාධ්‍ය), ටී.ඥානසේකරන් (දෙමළ මාධ්‍ය) එහිදී ජනාධිපතිවරයා අතින් පිදුම් ලැබූහ.
හොඳම ස්වතන්ත්‍ර නවකතාව (සිංහල) ලෙස එරික් ඉලයප්ආරච්චි ගේ “නකුල මුනි" නවකතාවද, ඉංග්‍රීසි නවකතාව ලෙස ප්‍රේමිනි අමරසිංහගේ “Footprints" නවකතාව ද, දෙමළ නවකතාව ලෙස සිවලිංගම් ආරූරන් මහතා විසින් රචිත “ආදුරසාලයි" නවකතාව සම්මානයට පාත්‍ර විය.
2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ වෙනුවෙන් එළිදැක්වුණු සමරු කලාපය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්විණි.
රාජ්‍ය සාහිත්‍ය මණ්ඩලයේ සභාපති පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමි, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, එම අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේ යන මහත්ම මහත්මීහු සහ මහාචාර්ය ජේ.බී. දිසානායක. මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජපානයෙන් බිලියන 1.76 ක වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්
ජපානයේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා වන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාරයක් ලෙස රුපියල් බිලියන 1.76 ක්(ජපාන යෙන් මිලියන 800ක්) වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ඊයේ (27) මෙරටට ප්‍රදානය කෙරිණි.
ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙකි ( Mizukoshi Hideaki )මහතා විසින් ශ්‍රී ලංකා ජාතික රෝහල් නව බාහිර රෝගී ගොඩනැගිලි පරිශ්‍රයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල වෙත මෙම පරිත්‍යාගයන් ලබා දුන්නේය.
මෙම වෛද්‍ය උපකරණ අතර සීටී ස්කෑන් යන්ත්‍රයක් ,එම්. ආර් .අයි. ස්කෑන් යන්ත්‍රයක්, angiography යන්ත්‍ර දෙකක් හා බහු පරාමිති මොනිටර් 09 ක් ද ඇතුළත් වේ.

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්
දේශීය ආදායම් සංශෝදන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස ඉල්ලා අද ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ගොනු කර තිබේ.
මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත්තේ, වරලත් ගණකාධිවරයෙකු වන ප්‍රසාද් දසනායක විසිනි.
කෙටුම්පතේ අඩංගු සමහර වගන්ති මගින් ව්‍යාපාර ක්ෂේත්‍රයට විශේෂයෙන්ම ආනයන අපනයන ක්ෂේත්‍රයට විශාල හානියක් , එනම් අධික බදු බරක් පැටවීම මගින් එම ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩා වැටිය හැකි බව ඔහු පෙත්සමෙන් පෙන්වාදී තිබේ.
පෙත්සම්කරු වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ එහි වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර ඡන්දයකින් හෝ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට නිගමනය කරන ලෙසයි.
පසුගිය 21 වැනිදා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මීට පෙර ද පාර්ශව තුනක් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සම් 03 ක් ගොනු කළේ ය.

හකීම් unp මොරාල් හදලා : සජිත් අවුල් වෙලා !
සජිත්ලා රනිල් පන්නන්න ගේම් ප්ලෑන් කරද්දී, ඔන්න සජීත් එක්කම ඉන්න රවුෆ් හකීම්, UNP කාරයින්ගේ මොරාල් අප් කරන කතාවක් කරලා.
''එන ඡන්දෙදි පොහොට්ටු 40ක් රනිල් එක්ක'' කියල මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මන්ත්‍රීතුමා කියලා තියෙන්නේ , පෙරේදා (25දා) මහනුවර බද්උද්දීන් මහමුද් බාලිකා විදුහලේ තිබිච්ච උත්සවේකට පස්සේ මාධ්‍යවේදීන් එක්ක.
ඉදිරි මැතිවරණයකදී, පොදුජන එක්සත් පෙරමුණේ විශාල කණ්ඩායමක්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වේ යටතේ, එකට එකතුවෙලා තරග කරන්නයි යන්නේ කියල, මුස්ලිම් කොන්ග්‍රස් නායකයා කියනවා..
'' මේ වන විට මේ රටේ පවතින දේශපාලන ක්‍රමයට අනුව පක්ෂ මාරු කිරීම, පිල් මාරු කිරීම ඉතා සරල දෙයක්. කවුරු කොහේට ගියත් පුදුම වෙන්න දෙයක් නෑ. අපිට දැනගන්න ලැබිලා තියෙනවා මේ වෙන විට ආණ්ඩු පක්ෂයේ විශාල කණ්ඩායමක් ජනපති රනිල් වික්‍රමසිංහ හා එක්ව දේශපාලන ගමනක් යන්න සාකච්ඡා කරලා තියෙනවා කියලා. අපි හිතන විදිහට 30ක් 40ක් විතර විශාල කණ්ඩායමක් මේ ආකාරයෙන් දේශපාලන පිම්මක් පැනීමට සූදානමින් ඉන්නවා කියලා තමයි අපිට තොරතුරු ලැබිලා තියෙන්නේ. මේ පිළිබඳ සියලු තොරතුරු ඉදිරියේදී අනාවරණය වේවි.
මෙතෙක් කල් රටේ ජනතාව බලාගෙන සිටි කපුටු නාඩගම දැන් ඉවරයි. දැන් අලුත් නාඩගමක් කරළියට එන්න සූදානම්. ජනාධිපතිතුමාගෙන් අපිටත් ආරාධනා තියෙනවා ඔහු සමඟ එක්ව කටයුතු කරන්න කියලා. නමුත් අපි කණ්ඩායමක් සමඟ එක්ව කටයුතු කරන අවස්ථාවේ පිල් මාරු කිරීමක් කරන්න හොඳ නැහැ කියලයි හිතන්නේ. අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ අවබෝධයෙන් යුක්තව කටයුතු කරනවා.'' රවුෆ් හකීම් මන්ත්‍රීතුමා පැහැදිලිව කියනවා..
රවුෆ් හකීම් උන්නැහේ ඒ කියපු කතාව විපක්ෂනායක තුමාට එච්චර දිරවලා නෑ .. කියල තමයි විපක්ෂනායක කාර්යාල ආරංචිමාර්ග වලින් වාර්තා වෙන්නේ..
අනේ මන්දා... තව ඉස්සරහට මොනවා වේවිද කියලා .....
- දේශපාලන වාර්තාකරු

වෙල්නස් විලේජ්" යටතේ බියගමට අංග සම්පූර්ණ නව රෝහලක් !
බියගම රෝහල ආශ්‍රිතව වෙල්නස් විලේජ් (Wellness Village) සංකල්පයට අනුව නව රෝහලක් ඉදි කිරීමට අදාළ ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (27) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට වෙල්නස් විලේජ් සංකල්පය ක්‍රියාවට නැංවෙන අතර “මෙඩිකල් ටුවරිසම්" ප්‍රවර්ධනය එහි ඉලක්කය වී තිබේ.
විදේශීය සංචාරකයින් ඉලක්ක කර ගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ රෝහලක් ලෙස මෙය ඉදිකිරීමට සැලසුම් කර ඇති බව මෙහිදී අනාවරණය කෙරිණි.
රෝහලේ සැලැස්ම පිළිබඳ සොයා බැලූ රුවන් විජේවර්ධන මහතා ඉඩම් අත්පත් කර ගැනීම් කඩිනම් කර රෝහලේ ඉදිකිරීම් ආරම්භ කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
බියගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ප්‍රසන්න සම්පත්, ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ ලේකම් කේ.පී දයාරත්න, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් රාජිත අබේගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චන්ද්‍රරත්න පල්ලේගම, බියගම ප්‍රාදේශීය ලේකම් චන්දිමා සූරියආරච්චි ඇතුළු නිලධාරින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

සමාජ සුබසාධක අයදුම් කිරීම : 28 අවසන් දවස !
සමෘද්ධි සහ අනෙකුත් ආධාරදීම සඳහා අයදුම්පත් බාර ගැනීම හෙට (28) දිනයෙන් අවසන්වන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.
සමෘද්ධි, වැඩිහිටි ආධාර, ආබාධිත වකුගඩු සහ මහජන ආධාර දැනට ලබාගන්නන් පොරොත්තු ලේඛනවල සිටින්නන් සහ එම ආධාර අලුතින් අපෙක්ෂාකරන්නන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බව ද එම මණ්ඩලය පවසයි .
ඉදිරියට එම ආධාර ලබාදීම සිදුවන්නේ මෙම වැඩ සටහන යටතේ ලියාපදිංචි වූවන්ට පමණක් බව ද සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියි.
මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන විශේෂ ප්‍රචාරක වැඩසටහනක් " කවුරුවත් අත්හැරෙන්න දෙන්න එපා " යනුවෙන් දියත්කර තිබිණ .

තිළිණිගේ වංචාව : දැනට අනාවරණය වූ මුදල මෙන්න !
මූල්‍ය වංචා චෝදනාවට බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තිය විවිධ පුද්ගලයන්ට වංචා කර ඇති මුදල රුපියල් කෝටි 128 කට අධික බව වාර්තා වෙයි .
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව අද (27) මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කර සිටියේ ය.
තිළිණි ප්‍රියමාලිට මුදල් ලබාදුන්නේ යැයි ලැබී ඇති පැමිණි 12 ක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ක්‍රියාත්මක වන බවත් ලැබුණු පැමිණිළි අනුව මෙම කෝටි 128 ක මුදල් ප්‍රමාණය හෙළිවී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩි දුරටත් සඳහන් කර සිටියේ ය.

රාජ්‍ය අමාත්‍ය ඩයනාට අධිකරණ කැඳවීමක් !
රාජ්‍ය අමාත්‍යවරියක වන ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියකුව සිටිමින් ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සදහා ලබන 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (27) නොතීසි නිකුත් කළේය.
මෙම නොතීසිය නිකුත් වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙදාම සහ ඡාවාරම් කිරීමේ වැළැක්වීමේ කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාටය.
මෙම පැමිණීල්ල ලැබී වසර දෙකක් ගතවී ඇති නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් වහාම කරුණු විමසීම සදහා අදාළ ස්ථානාධිපතිවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙන්නැයි නිතීඥ ගුණරත්න වන්නිනායක මහතා ප්‍රමුඛ නිතීඥ මඩුල්ලක් අධීකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
සාමාන්‍ය ජනතාවට නිතිය ක්‍රියාත්මක වනවා සේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැනි මෙවැන්නන්ටත් නිතිය ක්‍රියාත්මක විය යුතුව ඇති නමුත් වසර දෙකක් ඉක්ම ගොස් ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව මෙම තැනැත්තිය අත්අඩංගුවට ගැනීමක් හෝ සිදුකර නොමැති බව ද මෝසමක් ගොනුකරමින් නිතීඥවරුන් අධිකරණයට දැනුම් දුන්හ.
මෙම සිද්ධියට අදාළව ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 175 සහ 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතේ 45(1) (අ) සහ (ඇ) වගන්ති යටතේ වැරදි නිරීක්ෂණය වන බව සදහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙදාම සහ ඡාවාරම් කිරීමේ වැළැක්වීමේ කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් අමරසිංහ මහතා මෙම සිද්ධියට අදාළව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ ඉකුත් මාර්තු මස 09 වැනිදාය.

අකිල අරගලය අලුත් කරයි !
දැන් ජනතාව පක්ෂ පාට භේදයකින් තොරව කළ යුතු අරගලය වන්නේ මිනිසුන් ජීවත් කිරීමට උත්සාහ කිරීමේ අරගලය බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අකිල විරාජ් කාරියවසම් පවසයි .
ඔහු මේ බව සඳහන් කර සිටියේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
එම අරගලය නොමැතිව රටේ ජනතාව මෙන්ම රටේ ඉදිරි ගමන අමාරුවේ දමන අරගලයක් නම් නැවත කර රටට ප්‍රයෝජනයක් නැති බවත් ඔහු පැවසීය .
මේ රටේ ජනතාව බුද්ධිමත්ව තීරණාත්මකව සිතා බලා කටයුතු කළ යුතු කාල පරිච්ඡේදයක් බවද අකිල විරාජ් කාරියවසම් පැවසීය.
ජනතාවට පාරට බැස අරගල කළේ තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, විදුලිය කප්පාදු කිරීම්, බඩු මිල ඉහළ යාම වැනි කාරණා හේතු නිසා බව කී ඔහු රනිල් වික්‍රමසිංහ ජනාධිපති ඒ සියලු දේ යථා තත්ත්වයට පත් කරමින් සාර්ථක ගමනක් ආරම්භ කර තිබෙන බවද පැවසීය.

නොවැම්බර් 02 උද්ඝෝෂණයේ බර : සජිත් බාරගෙන !
අරගල නායකයන් සමඟ එකතුව නොවැම්බර් 02 සංවිධානය කර තිබෙන උද්ඝෝෂණය සඳහා දේශපාලන නායකත්වය ලබාදීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
උදෑසනට ආණ්ඩුවට බැනවැදී රාත්‍රියට ආණ්ඩුව සමඟ හාදකම් කරන පාර්ශවයන් අතට කිසිසේත් උද්ඝෝෂණයේ හෝ අරගලයේ නායකත්වය නොයාමට ප්‍රවේසම් වියයුතු බවත් විපක්ෂනායකවරයා පවසා ඇත.
විපක්ෂනායකවරයා මේ ආකාරයට උපදෙස් ලබාදී ඇත්තේ අරගල නායකයන් ලෙස පෙනී සිටින පාර්ශව කිහිපයක් සමඟ අද (26) පැවැත්වූ සාකච්ඡාවකදීය.
මෙම සාකච්ඡාව සඳහා සමගි ජනබලවේගය පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙන්ම වෘත්තීය සමිති නායකයන් කිහිපදෙනෙකු සහ අරගලයේ නියෝජිතයන් බව කියන පිරිසක්ද සහභාගීව ඇති නමුත් ජනතා විමුක්ති පෙරමුණ හෝ ඊට අනුබද්ධ බහුජන සංවිධාන මෙම සාකච්ඡාව වර්ජනය කර ඇති බවත් වාර්තා වෙයි.
විශ්වාසකටයුතු ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මෙහිදී පිරිස අමතමින් විපක්ෂ නායකවරයා පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති රාජපක්ෂවරුන්ගේ ආරක්ෂකයා ලෙස තමන් පළමුවෙන් සිදුකළ පැහැදිළි කිරීම මේ වන විට සනාථවී ඇති බවත් තමන්ගේ පාලනයක් තුළ අරගලයේ සියලු ඉල්ලීම් ලබාදීමට දිවිහිමියෙන් කැපවෙන බවත්ය.
නොවැම්බර් 02 පැවැත්වෙන උද්ඝෝෂණය රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවන දේශපාලන බලවේගයක් කරගැනීමේ අවශ්‍යතාව ගැනද මෙහිදී අවධානය යොමුකර ඇති බවත් වාර්තා වෙයි.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මේ අවස්ථාවේ විපක්ෂනායකවරයා පවසා ඇත්තේ වර්තමානයේ වැදගත්ම දේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ බලයක් බිහිකිරීම බවය. ඒ සඳහා මෙන්ම නොවැම්බර් 02 උද්ඝෝෂණය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සෑම ආකාරයකම පහසුකමක් සැපයීමට තමන් සූදානම් බවත් විපක්ෂ නායකවරයා පවසා ඇත.
එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ධම්මික මුණසිංහ දෙසට හැරුණු විපක්ෂනායකවරයා " කෝ ඔයාලගේ නායකතුමා අපේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමා එක්ක විතරයිනේ ගනුදෙනු කරන්නේ, අපි එක්කත් සම්බන්ධ වෙන්න කියන්න" යනුවෙන් පවසා ඇති බවත් වාර්තා වෙයි .

චීනයෙන් තවත් සහල් පරිත්‍යාගයක් !
චීනය විසින් ශ්‍රී ලංකාව සඳහා තවත් සහල් මෙට්‍රික්ටොන් 500ක පරිත්‍යාගයක් සිදුකර ඇති බව වාර්තා වෙයි.
චීන තානාපති කාර්යාලය සඳහන් කර ඇති ආකාරයට පාසල් ළමුන් වෙත බෙදාහැරීමේ අරමුණින් ලබාදෙන එම සහල් තොගය රැගත් නෞකාව ඊයේ (25) කොළඹ වරාය වෙත ළඟාවී ඇත.
වාර්තා වන ආකාරයට ඉදිරි සතියේදී ද තවත් සහල් මෙට්‍රික්ටොන් 500 ක් රැගත් නෞකාවක් මෙරටට පැමිණිමට නියමිතය.
ඒ අනුව චීනය විසින් මෙරටට ලබාදෙන මුළු සහල් තොගය මෙට්‍රික්ටොන් 6,000 ක් දක්වා ඉහළ යන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

තිළිණිට වැඩ කරලා ? නිළියක් නිරූපිකාවක් සහ නිවේදිකාවක් CID යට !
චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නිළියක් ඇතුළු කලා ක්ෂේත්‍රයට සම්බන්ධ හය දෙනෙකුට ඉදිරි දිනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID ) කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට සූදානම් වන බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මේ හය දෙනා අතර නිරූපිකාවක, රංගන ශිල්පිනියක සහ නිවේදිකාවක ද වන බව දැනගන්නට තිබේ.
මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සඳහා ප්‍රකාශ ලබා ගැනීමට මොවුන් කැඳවන බව ද ඉහත ආරංචිමාර්ග සඳහන් කරයි.
එමෙන් ම ප්‍රියමාලිගේ ගනුදෙනුකරුවන් සමග ඇතිකරගත් අතිශය පෞද්ගලික දුරකතන සංවාද ඇතුළත් හඬපට කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මෙම රංගන ශිල්පිනියන්ගෙන් ප්‍රශ්න කරනු ඇතැයි කියති.
මේ අතර, කලා ක්ෂේත්‍රයට සම්බන්ධ තවත් කිහිප දෙනෙකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත ය. ඒ අතර තවත් ජනප්‍රිය නළු නිළියන් ද සිටින බව කියති.
තිළිණි ප්‍රියමාලි සමග මොවුන් කළ ගනුදෙනු හා දුරකතන සංවාද, ඇගේ ව්‍යාපාරවල නිරතවීම් වැනි දේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා මෙම කැඳවීම් සිදුකරනු ඇතැයි සඳහන් ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියන්කර යන මහත්වරුන්ගේ උපදෙස් සහ අධීක්ෂණය මත පොලිස් කණ්ඩායම් 11ක් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
-mawbima
Page 279 of 482