Language Switcher

V2025

නොවැම්බර් 02 උද්ඝෝෂණයේ බර : සජිත් බාරගෙන !

අරගල නායකයන් සමඟ එකතුව නොවැම්බර් 02 සංවිධානය කර තිබෙන උද්ඝෝෂණය සඳහා දේශපාලන නායකත්වය ලබාදීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

උදෑසනට ආණ්ඩුවට බැනවැදී රාත්‍රියට ආණ්ඩුව සමඟ හාදකම් කරන පාර්ශවයන් අතට කිසිසේත් උද්ඝෝෂණයේ හෝ අරගලයේ නායකත්වය නොයාමට ප්‍රවේසම් වියයුතු බවත් විපක්ෂනායකවරයා පවසා ඇත.

විපක්ෂනායකවරයා මේ ආකාරයට උපදෙස් ලබාදී ඇත්තේ අරගල නායකයන් ලෙස පෙනී සිටින පාර්ශව කිහිපයක් සමඟ අද (26) පැවැත්වූ සාකච්ඡාවකදීය.

මෙම සාකච්ඡාව සඳහා සමගි ජනබලවේගය පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙන්ම වෘත්තීය සමිති නායකයන් කිහිපදෙනෙකු සහ අරගලයේ නියෝජිතයන් බව කියන පිරිසක්ද සහභාගීව ඇති නමුත් ජනතා විමුක්ති පෙරමුණ හෝ ඊට අනුබද්ධ බහුජන සංවිධාන මෙම සාකච්ඡාව වර්ජනය කර ඇති බවත් වාර්තා වෙයි.

විශ්වාසකටයුතු ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මෙහිදී පිරිස අමතමින් විපක්ෂ නායකවරයා පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති රාජපක්ෂවරුන්ගේ ආරක්ෂකයා ලෙස තමන් පළමුවෙන් සිදුකළ පැහැදිළි කිරීම මේ වන විට සනාථවී ඇති බවත් තමන්ගේ පාලනයක් තුළ අරගලයේ සියලු ඉල්ලීම් ලබාදීමට දිවිහිමියෙන් කැපවෙන බවත්ය.

නොවැම්බර් 02 පැවැත්වෙන උද්ඝෝෂණය රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවන දේශපාලන බලවේගයක් කරගැනීමේ අවශ්‍යතාව ගැනද මෙහිදී අවධානය යොමුකර ඇති බවත් වාර්තා වෙයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මේ අවස්ථාවේ විපක්ෂනායකවරයා පවසා ඇත්තේ වර්තමානයේ වැදගත්ම දේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ බලයක් බිහිකිරීම බවය. ඒ සඳහා මෙන්ම නොවැම්බර් 02 උද්ඝෝෂණය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සෑම ආකාරයකම පහසුකමක් සැපයීමට තමන් සූදානම් බවත් විපක්ෂ නායකවරයා පවසා ඇත.

එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ධම්මික මුණසිංහ දෙසට හැරුණු විපක්ෂනායකවරයා " කෝ ඔයාලගේ නායකතුමා අපේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමා එක්ක විතරයිනේ ගනුදෙනු කරන්නේ, අපි එක්කත් සම්බන්ධ වෙන්න කියන්න" යනුවෙන් පවසා ඇති බවත් වාර්තා වෙයි .

IMG 20221026 WA0006