V2025

පුවත්

ජපන් සැහැල්ලු දුම්රිය නැවැත්වීම ගැන : විශේෂ විගණන පරීක්ෂණයක් !

ජපානයේ සහාය මත ක්‍රියාත්මක වෙමින් පැවැති සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය විසින් ඒකපාර්ශ්වීය අවසන් කිරීම පිළිබඳ විගණකාධිපතිවරවයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි .

විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න සඳහන් කර සිටියේ කඩිනමින් එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

ජපන් තාක්ෂණය භාවිත කරමින් කිලෝමීටර් 15.7ක දුම්රිය ස්ථාන 16ක් ඇතුළත් කර ඉදිකිරීමට නිමිතව තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, අගනුවර තදබදයට ලාභදායී විසඳුමක්, නොවන බව පවසමින් අහෝසි කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කරනු ලැබුවේය.

අධි ආරක්ෂක කළාප ගැසට් නිවේදනය : අවලංගුයි !

කොළඹ ප්‍රදේශයේ මර්මස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අද (01) සිට අවලංගු කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කරමින් මෙම අවලංගු කිරීම කර තිබේ.

අදාළ ගැසට් නිවේදනය පහත දැක්වෙයි .

rahas gasset

මවුපියන්ගෙන් අනවශ්‍ය ලෙස මුදල් එකතු කිරීමට වැටක් !

අධ්‍යාපන අමාත්‍යාංශය අනුමත කරන පාසල් ගාස්තු හැර ළමා, ගුරු ඇතුළු විවිධ දින මූලික කරගත් උත්සව සඳහා මවුපියන්ගෙන් මුදල් එකතු කිරීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ පාසල් බලධාරීන්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර ඇත .

පාසල්වල අවිධිමත් ලෙස මුදල් අය කිරීම තහනම් කරමින් 2015/5 චක්‍රලේඛය නිකුත් කර ඇති බව පැවසූ අධ්‍යාපන ලේකම්වරයා මවුපියන් දැඩි ආර්ථික අපහසුතා මැද සිටින අවස්ථාවක ඔවුන් මත අනවශ්‍ය බර පටවමින් කටයුතු නොකිරීමට විශේෂයෙන් විදුහල්පතිවරුන් වග බලා ගත යුතු බවද ප්‍රකාශ කර තිබේ.

පාසල් දරුවන්ගෙන් සහ මවුපියන්ගෙන් විවිධ ආකාරයේ මුදල් ඇයි කිරීමේ සිද්ධීන් ගණනාවක් පිළිබඳව පසුගිය දිනවල තොරතුරු අනාවරණය කෙරිණ.

අසූචි පොහොර එවූ චීන සමාගම අසාධූ ලේඛනයට : කෝටි 138 පාඩුවට නඩු !

ආන්දෝලනාත්මක චීන පොහොර ගනුදෙනුවේ දී රජයට රුපියල් එකසිය තිස්අට කෝටි විසි ලක්ෂයක් පාඩුවී ඇති බව හෙළිකරන විගණකාධිපතිවරයා අදාළ ගනුදෙනුවට සම්බන්ධ සියලු දෙනාට නඩු පවරා එම පාඩුව පියවාගෙන චීන කින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම ලංකාව තුළ අසාධූ ලේඛනගත කරන්නැයි නිර්දේශ කර තිබේ.

පසුගිය මහ කන්නයේ මෙරටට කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000ක් චීනයේ කින්ඩාඕ සමාගමෙන් ආනයනය කිරීමේ ගනුදෙනුව පිළිබඳ සිදුකළ විශේෂ විගණනයේ වාර්තාව ප්‍රකාශයට පත් කරමින් විගණකාධිපතිවරයා මෙම නිර්දේශය සිදුකර ඇත.

රසායනික පොහොර රට තුළ තහනම් කිරීමෙන් අනතුරුව කාබනික පොහොර නිෂ්පාදනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් පසුගිය රජය චීනයේ කින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගමෙන් මෙම කාබනික පොහොර තොගය ආනයනය කිරීමට පියවර ගෙන තිබිණි.

මෙම පොහොරවල අහිතකර බැක්ටීරියා අඩංගු බැවින් ශ්‍රී ලංකාවට නොගැළපෙන පොහොර බව රසායනාගාර පරීක්ෂණවලදී තහවුරු වී තිබියදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත්කළ විශේෂ කමිටුවක් හරහා ලබාදුන් නිර්දේශ මත අදාළ කාබනික පොහොර තොගය ආනයන කිරීමට ණයවර ලිපි විවෘත කිරීමට රජයේ පොහොර සමාගම් දෙක කටයුතු කර ඇති අයුරු විගණනය වාර්තාව පෙන්වා දෙයි.

අනතුරුව ටොන් 20,550කින් යුත් චීන කාබනික පොහොර කොළඹ වරායට ගොඩබෑමට උත්සාහ කළද එය ශාක නිරෝධායන නීතියට පටහැනි බැවින් මතභේදාත්මක තත්ත්වයක් ඇති වූ අතර, ඒ ගනුදෙනුව මුල්කරගෙන කොළඹ වාණිජ මහාධිකරණයේ ගෙන ගිය නඩුකරය සමථයකට පත්වී ඇත්තේ සමස්ත නැවේ පිරිවැයෙන් 75%ක් හෙවත් අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක් ගෙවීමට රජය කටයුතු කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව, මෙම ගනුදෙනුව හරහා රජයට රුපියල් මිලියන 1,382ක පාඩුවක් සිදුකර ඇති බව විගණකාධිපතිවරයා පෙන්වා දෙයි.

අත්තිකාරම් ගෙවීම සිදුකර ඇත්තේ කිසිදු සුරක්ෂිතයකින් තොරව බවද එම වාර්තාවේ සඳහන් වේ.

මෙම ගනුදෙනුවට සම්බන්ධ වගකිවයුත්තන්ට එරෙහිව නඩු පවරා ඔවුන්ගෙන් මුදල් අයකරගන්නා ලෙස නිර්දේශ කරන විගණකාධිපතිවරයා යෝජනා කර සිටින්නේ සැපයුම්කාර සමාගම ශ්‍රී ලංකාවේ නීතිරීතිවලට අනුව සහ ගිවිසුමට අනුව ක්‍රියා නොකිරීම නිසා සැපයුම්කාර සමාගම ශ්‍රී ලංකාව තුළ අසාදු ලේඛනගත කරන ලෙසයි.

lankasara

සජිත් අගමැති ධූරය ප්‍රතිකේෂ්ප කළ හේතුව සංශෝධනය වෙයි !

අරගලය අවස්ථාවේ අග්‍රාමාත්‍ය ධූරය ලබාගන්නට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත සිදුකළ ආරාධනය ප්‍රතිකේෂ්ප කළ හේතුව සංශෝධනය වී ඇත.

ඒ සමගි ජන බලවේගය විසින් පැවැත්වූ ජන හමුවක් අමතමින් ඔහු මෙසේ සංශෝධනය කළ හේතුව දක්වා තිබේ.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා ඇත්තේ , "තමන්ට අගමැති ධූරය බාරගන්න ආරාධනා කොට එම කණ්ඩායම බලාපොරොත්තු වුනේ දින කිහිපයකින් පසු විශ්වාසභංගයක් ගෙන විත් තම දේශපාලන ජීවිතය අවසන් කර දැමීම" බවය.

තමන් මේ බව තේරුම් නොගැනීමට තරම් දේශපාලනය අපරිණත අයෙකු නොවන බවත් එවන් ලොසිංජර වලට තමන් නොරැවටෙන බවත් විපක්ෂ නායකවරයා පවසයි .

ආණ්ඩුවට වැඩක් කරන්නට නොහැකි බව ප්‍රත්‍යක්ෂ කොට ඇති බවත් එවන් ආණ්ඩුවෙන් තමා ඉල්ලා සිටින්නේ මැතිවරණයක් පවත්වන ලෙසට බවත් ඔහු පවසයි .

පුරවැසියන් විසින් දියත් කළ අරගලය හේතුවෙන් හිටපු මුදල් ඇමති, හිටපු අගමැති සහ හිටපු ජනාධිපති පිළිවෙලින් ගෙදර ගිය බවත් ඒ වෙනුවට උපක්‍රමශීලීව පොහොට්ටුවේ නායකයන් විසින් තමන්ට හිතවත් වර්තමාන ජනාධිපතිවරයා පත්කර සිටින බවද විපක්ෂනායකවරයා තව දුරටත් කියා ඇත .

හොරු එක්ක හිටගන්න බෑ !

කෙසේ වුවත් මීට පෙර විපක්ෂ නායකවරයා පවසා සිටියේ හොරු සමග හිටගන්න ඇති බලවත් අකමැත්ත නිසා අග්‍රාමාත්‍ය ධූරය ලබාගන්නට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ ආරාධනය ප්‍රතික්ෂේප කළ බවය.

පසුගියදා ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අරගල නායිකාවක් ලෙස පෙනීසිටි රංගන ශිල්පිනියක වන දමිතා අබේරත්න ද ඒ බව තහවුරු කළාය.

කෙසේ වුවත් මේ වන විට එකී ස්ථාවරය සංශෝධනය වී තිබේ.

මේ හමුවේ ඉතිරිවන ප්‍රශ්නය නම් , අග්‍රාමාත්‍ය ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම්දීමට සූදානම් වන බව දැනගෙන තමන්ද අගමැති ධූරය ලබාගන්නට සූදානම් බව දැනුම්දීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නියෝජිතයන් යවනු ලැබුවේ, විශ්වාසභංගයෙන් පරාජය කිරීමේ සූදානම ගැන නොදැනද යන්නයි.

 

ලංකා IOC සමාගමත් පෙට්‍රල් මිල පහළ දමයි !

ලංකා අයි.ඕ.සී. ඉන්ධන මිල ගණන් අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කරන බව එහි කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා පවසයි .

ඒ අනුව, ලංකා IOC සමාගම ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 410.00 ක් ලෙස සඳහන් වෙයි.

එසේම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීරටයක මිල රුපියල් 30කින් පහළ දමා තිබේ. ඒ අනුව එහි නව මිල රු. 510.00 ක් වෙයි.

සෙසු ඉන්ධන මිල ගණන් වෙනස් නොවන බවත් ලංකා IOC සමාගම පවසයි .

ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පෙට්‍රල් මිල පහත දැමූ ලෙස ලංකා IOC සමාගමත් කටයුතු කර ඇත .

පෙට්‍රල් මිල පහළට !

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 40කින් හා පහළ දමා ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 410.00 ක් වශයෙනි .

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීරටයක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 510.00 ක් වශයෙනි .

ඩීසල් හා සෙසු ඉන්ධන වර්ගවල මිල වෙනස් වීමක් සිදුව නැත.

මීට අදාළ නිවේදනය පහත දැක්වෙයි .

IMG 20221001 WA0004

කොසු මිටි ප්‍රහාරය ලංකා ගුරු සංගමය දැඩි ලෙස හෙළා දකී

විදුහල්පතිවරයකු සිය පාසලේ සිසුවියකට පහරදීම දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් දැඩි ලෙස හෙළා දැක තිබේ.

ලංකා ගුරු සංගමය පවසන්නේ චෝදනා ලබන නුවරඑළිය අධ්‍යාපන කලාපයේ විදුහල්පතිගේ ක්‍රියාව සමස්ත ගුරු හා විදුහල්පතිවරුන්ට කැළලක් ඇති කිරීමට හේතු වන බවයි.

නුවරඑළිය අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන හැටන් කොටගල, බෝගහවත්ත සිංහල මහා විද්‍යාලයේ 10 වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියකට විදුහල්පති විසින් කොසු මිටකින් පහර දිම නිසා තුවාල සිදු ලැබු සිසුවිය සැප්තැම්බර් 29 වැනි බ්‍රහස්පතින්දා කොටගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවු බව කොටගල ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනී ශාවිත්‍රි ශර්මා පවසයි.

පාසලේ පැවැත්විමට නියමිත ගුරු උපහාර උළෙලක් සදහා රුපියල් 300 ක මුදලක් එම පාසලේම අධ්‍යපනය ලබන තම සහෝදරයා විසින් නොගෙවීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා තම සහෝදරයාට පරුෂ වචනයෙන් බැන වදින අවස්ථාවේ තමන් ," සර් මල්ලිට බනින්න එපා. තාත්තා මේ ලග වැඩ කරන්නේ. මම තාත්තට කියලා සල්ලි ඉල්ලා දෙන්නම්," යි කී අවස්ථාවේ විදුහල්පතිවරයා තමන්ට පන්න පන්නා අමානුෂික ලෙස කොසු මිටකින් පහර දුන් බව සිසුවිය පවසා තිබේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ රටේ පවතින ආර්ථික තත්වය හමුවේ ඇතැම් ගුරුවරුන් තම නිවසින් ආහාර ගෙනවිත් පාසල් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් කටයුතු කරන මොහොතක ඉහත විදුහල්පතිගේ ක්‍රියාව සමස්ත ගුරු හා විදුහල්පතිවරුන්ට කැලලක් ඇති කිරීමට හේතු වු බවයි.

පාසල් සිසුන්ගෙන් මුදල් අය කිරීම් සිදු කළ නොහැකි බවට චක්‍රලේඛ නිකුත් කර තිබියදීත් රජය සිසුන්ගෙන් මුදල් අය කිරීමේ කටයුතු ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවට චෝදනා කරන ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායක ඉල්ලා සිටින්නේ, පාසල් සිසුන්ගෙන් මුදල් අයකරගැනීමට කටයුතු කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

පාසල් දරුවන්ට ශාරීරික හා මානසික දඩුවම් පැමිණවීම සිදු නොකළ යුතු බවට නිකුත් කර තිබෙන චක්‍රලේඛ පවා නොතකා හරිමින් සිදු කරන මෙවැනි පහරදීම් සංගමයක් වශයෙන් දැඩි ලෙස හෙළා දකින බවයි ලංකා ගුරු සංගමය වැඩි දුරටත් පවසයි.

රටේ පාසල්වල විදුහල්පතිවරුන් මීට වඩා ඉදිරිගාමීව කටයුතු කළ යුතු බව ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් වැඩි දුරටත් අවධාරණය කරයි.

දරුවන්ට සහ වැඩිහිටියන්ට සත්වෝද්‍යානවලට නොමිලේ ඇතුළු වීමට අවසර..

ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් අද (01) දිනයේ ළමුන්ට හා වැඩිහිටියන්ට සත්වෝද්‍යානවලට නොමිලේ ඇතුළු වීමට අවසර ලබා දී ඇතැයි වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, ඒ අනුව පාසල් දරුවන්ට හා අවුරුදු 60 ඉක්ම වූ වැඩිහිටියන්ට සියලුම සත්වෝද්‍යානවලට නොමිලේ ඇතුළු වී විනෝද වීමට අවස්ථාව සලසන්නැයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බවයි.

සත්වෝද්‍යානවල දී දරුවන්ට සතුන් පිළිබඳ අධ්‍යාපනික දැනුම ලබා දීම සඳහා අධ්‍යාපනික වැඩසටහන් රැසක්ද එහි සංවිධානය කර තිබේ.

 වැඩිහිටියන්ට විනෝද වීමට අවස්ථාව ලබා දෙමින් සතුන්ට ආහාර දීමට හා සතුන් සමග ඡායාරූප ගැනීමට ද අවස්ථාව සලසා දී බව අමාත්‍යයා වැඩිදුරටත් පවසා සිටී. 

 

ගෝඨාභය යළිත් ජනාධිපති කරන්න : ජවිපෙ වසන්තගෙන් තර්කයක් !

අරගලය වැරදි නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයෙන් ඉවත්ව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවතත් ජනාධිපති විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ සඳහන් කරයි.

එමෙන්ම දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වී මහින්ද රාජපක්ෂ යළි අග්‍රාමාත්‍ය ධුරයට පත් කල යුතු බවද ඔහු පැවසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මේ අදහස් දක්වා සිටියේ අනුරාධපුර පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

එහිදී ඔහු වැඩිදුරටත් චෝදනා කර සිටියේ අරගලකරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා රජය වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් සත්‍ය වශයෙන්ම පුනරුත්ථාපනය කළ යුත්තේ ආණ්ඩුවේ ප්‍රධානීන් බවත්ය.

 

ඔක්තෝබර් අග දේශපාලන සුනාමියක් : හිරුණිකාගෙන් අනාවැකියක් !

මෙම ඔක්තොබර් මස අවසාන වන විට දේශපාලන සුනාමියක් නැවත පැමිණෙනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කරයි.

එම ජන සුනාමිය විසින් දූෂිත දේශපාලඥයන් මුලිනුපුටා දමනු ඇතැයි ද ඇය සඳහන් කරයි.

හිටපු මන්ත්‍රීවරිය මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අත්වූ ඉරණම ජන සුනාමිය විසින් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහටත් අත්වනු ඇතැයිද ඇය පැවසුවාය.

පැවැති අරගලයට පාරට බැස්සේ මධ්‍යම පාන්තික ජනතාව වුවත් ඊළඟ අදියරේ පෙරමුණ ගන්නේ දුප්පත් ජනතාව බවද ඇය සදහන් කලාය.

ජාතික කාලගුණික සැලැස්ම සංවර්ධනයට දායක කර ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් !

ජාතික කාලගුණික සැලැස්ම මෙරට සංවර්ධනයට දායක කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

“කාලගුණික අවදානම් සංසදයේ” උපදේශිකාවන් වන සාරා ජේන් අහම්ඩ් (Sara jane ahmed) සහ මිනියෙට් ෆැබ්බිනා (Miniyat fabbiha) ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම සාකච්ඡාවේ දී ඊට අදාළ දළ සැලැස්ම ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කෙරිණි.

පරිසර අමාත්‍යාංශය මූලික කරගනිමින්, වාරිමාර්ග හා කෘෂිකාර්මික ක්ෂේත්‍ර මෙන්ම මේ සඳහා බලපාන සියලුම ක්ෂේත්‍රවල විභවතාවයන් හඳුනා ගෙන ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා සකස් කරන සැලසුම්වලට ජාතික දේශගුණික සැලැස්ම ද දායක කර ගෙන ව්‍යාපෘතී සැලසුම් කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

ලංකාවේ ණය අර්බුදය විසඳාගැනීමට පූර්ණ සහය : ජපාන මුදල් ඇමතිගෙන් ජාත්‍යන්තරයට සහතිකයක් !

ශ්‍රී ලංකාවේ පවතින ණය අර්බුදයට ජපානය පාර්ශවයෙන් සහාය ලබා දීමට සූදානම් බව එරට මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව ජපාන මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුවේ මහ බැංකු අධිපතිවරුන්ගේ වාර්ෂික සමුළුවට සහභාගීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජපාන මුදල් අමාත්‍යවරයාගේ මේ අදහස් දැක්වීම ඊයේ (29) ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව වීමත් විශේෂත්වයකි.

විදෙස් මාධ්‍ය වාර්තා වල තවදුරටත් සඳහන්ට වන්නේ, ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක ණය පහසුකමක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාව පළකර ඇති අතර, මෙම ණය අර්බුදය විසඳීමට මිත්‍ර රාජ්‍ය සමඟ පැවැත්වූ සාකච්ඡාවටයක ප්‍රතිඵලයක් ලෙස ජපානයේ සහයෝගය ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා සමත්ව ඇති බවය,

කෙසේවෙතත්, චීනය, ඉන්දියාව ඇතුළු අනෙකුත් ණයහිමි රාජ්‍යවල සහාය ද මේ සඳහා හිමිවිය යුතු බව ජපාන මුදල් අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

එමෙන්ම, මෙම සහයෝගය ලබා ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ශ්‍රී ලංකාව විසින් ලබා දිය යුතු බවත් ජපාන මුදල් අමාත්‍යවරයා පවසා ඇති අතර, අනෙකුත් ණයහිමි රාජ්‍යවල සහයෝගය ද මේ සඳහා ලබා ගැනීම ශ්‍රී ලංකාව විසින්ම කටයුතු කළ යුතුව ඇති බව ද පෙන්වා දී තිබේ.

එය මෙම ක්‍රියාවලියේ පාරදෘෂ්‍යභාවයට වැදගත් වන බවත් ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි අවධාරණය කර ඇත.

හිටපු ජනපතිගෙන් රීට් පෙත්සමක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද අභියාචානාධිකරණය හමුවේ රීට් ආඥා පෙත්සමක් ගොනු කෙරිණ.

ආරක්ෂක අමාත්‍යවරයාව සිට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එය වලක්වා නොගත්තේ යැයි කියමින් තමාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පවරා ඇති අපරාධ පැමිණිල්ල බලරහිත කරන ලෙස ඉල්ලමින් මෙලෙස රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

එමෙන්ම එම පැමිණිල්ල විභාගයට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද හිටපු ජනාධිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සහ එහි රෙජිස්ට්‍රාර්වරිය නම් කරනු ලැබ ඇත.

ආරක්ෂක අමාත්‍යවරයාව සිට පාස්කු ඉරිදා තස්ත්‍ර ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එය වලක්වා නොගත්තේ යැයි කියන සිද්ධියකට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන ඔක්තෝබර් මස 14 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්කවරයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නොතීසි නිකුත් කළේ ඉකුත් 16 වැනිදාය.

මෝදි - රනිල් හමුවක් ජපානයේදී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් ජපානයේ ටෝකියෝ නුවරදී සිදුව තිබෙි.

ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂො අබේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා දෙරටේ නායකයන් පැමිණි අවස්ථාවේ දී මෙම හමුව සිදුව ඇත.

හමුව විනාඩි දහයකට සීමාවූ බවත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම පිළිබඳව එහිදී නිල නොවන මට්ටමින් සාකච්ඡා කෙරුණු බවත් වාර්තා වේ.

එහිදී නරේන්ද්‍ර මෝදි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳව ද සුබ පැතුම් පළ කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව කරන ලද සාකච්ඡා වල වත්මන් තත්ත්වය පිළිබඳව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී විමසා තිබේ.

ආගමික ස්ථාන විදුලි බිල සහනය සෝලාවලින් විතරයි !

ආගමික ස්ථාන සඳහා සූර්ය පැනල භාවිතයෙන් විදුලිය ලබා දීම ට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පිළිබඳ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී පිරිවෙන් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් ඉන්දියානු නව ණය ක්‍රමයක් මගින් යෝජිත රජයේ ගොඩනැගිලි සූර්ය බලයෙන් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළට ආගමික කටයුතු අමාත්‍යාංශය තෝරා ගැනීම මත ආගමික සිද්ධස්ථාන ද ඇතුලත් කිරීමට තීරණය කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා ඇත .

එම යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ද තීරණය කර ඇති බවද පවසන අමාත්‍යවරයා විදුලි බිල සංශෝධනයේදී පාදක වූ කරුණු සහ එය සිදු කරන ආකාරය පිළිබඳ දැනුවත් කිරීම ද එහිදී සිදු කර තිබේ.

සජිත්ගේ මාරුව වැරදිලා : කිරිඇල්ල ජාතික සභාවට ගිහින් !

රට මුහුණදී ඇති දරුණු ආර්ථික අර්බුදය ඇතුළු සෙසු ප්‍රශ්න විසඳීම සඳහා පත් කෙරුණු ජාතික සභාව කමිටුවේ පළමු රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (29) පැවැත්වුණු අතර එම රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවල මන්ත්‍රීවරුන් සහභාගී නොවීම විශේෂත්වයකි.

ජාතික සභාව රැස්වීම වර්ජනය කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස උත්සාහ කළත් පක්ෂ අභ්‍යන්තරයේ බලපෑමක් හේතුවෙන් ඊට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහභාගි වූ බවත් වාර්තා වෙයි .

එහිදී කිරිඇල්ල මන්ත්‍රීවරයා පවසා ඇත්තේ විපක්ෂ නායකවරයා වෙනත් හදිසි කටයුත්තක නියැලී සිටි හෙයින් තමාට එම රැස්වීමට සහභාගී වන්නැයි ඔහු දැනුම් දුන් බව ය.

මෙයට අමතරව සමගි ජන බලවේගය නියෝජනය කරන සෙසු හවුල්කාර පක්ෂවල නායකයන් වන පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, මනෝ ගනේෂන් ,රිෂාඩ් බදුර්දීන් සහ පලනි දිගම්බරම් යන මන්ත්‍රීවරුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවට එක්වූ මහින්ද අමරවීර අමාත්‍යවරයාද ජාතික සභාවට සහභාගි වූහ.

මේ අතර ‘ජාතික සභාවේ’ මංගල රැස්වීමේදී ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික ස්ථායීකරණයට අදාළ අනුකමිටු දෙකක් පිහිටුවීමට තීරණය කෙරිණ.

කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීමට මෙන්ම ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාව ඇති කර ගැනීමට මෙම අනුකමිටු පිහිටවනු ලැබේ.

මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අසංක නවරත්න, ජීවන් තොන්ඩමන්, සිසිර ජයකොඩි, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සාගර කාරියවසම්, අලි සබ්‍රි රහීම්, රෝහිත අබේගුණවර්ධන, වජිර අබේවර්ධන, ටිරාන් අලස්, ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්ද පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක ද සහභාගිවූහ.

ජාතික සභාවේ පළමු රැස්වීමෙන් අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවේ ජාතික සභාවේ රැස්වීමට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද සහභාගිවූ බවයි.

මෙම සභාව ජනතාව හා පාර්ලිමේන්තුව අතර ඇති විශ්වාසය තව දුර‍ටත් තහවුරු කර ගැනීම සඳහා විවෘත කෙරුණු අලුත් දොරටුවක් බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ජාතික සභාව හමුවේ කරුණු දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ පාර්ලිමේන්තුවේ මුදල් කමිටු වල බලය විපක්ෂයට හිමිවිය යුතු බවයි.

මෙම කමිටුවල බලය විපක්ෂයට ලබා නොදුනහොත් ජාතික සභාවේ ඉදිරි රැස්වීම්වලට සහභාගී වීමේදි දෙවරක් සිතීමට සිදුවන බවද ඔහු ප්‍රකාශ කළේය

ජාතික සභාව සෑම පාර්ලිමේන්තු සතියකම බ්‍රහස්පතින්දා රැස්වීමටද මෙහිදී තීරණය කර ඇති බවත් වාර්තා වෙයි .

ප්‍රසන්න පුත්‍රයාට එරෙහිව රාජ්‍ය දේපළ අවභාවිතය ගැන පැමිණිල්ලක් !

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ පුතා ඇතුළු පිරිසක් කිරිබත්ගොඩ උපකාරක පංතියකදී පාසල් සිසුන් පිරිසකට පහරදුන්නේ යැයි කියන අවස්ථාවට රජයට අයත් වාහනයකින් පැමිණීම රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමක් බවත් ඒ පිළිබඳව අමාත්‍යවරයාට සහ පුත්‍රයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් සර්වපාක්‍ෂික අරගලකරුවෝ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක නිරාෂාන් විතානගේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර ඇත .

අදාළ පැමිණිල්ල අද (29) සිදුකර ඇත .

රාජ්‍ය දේපළක් වන අමාත්‍යංශ වාහනයක් අමාත්‍යවරයකුගේ පුත්‍රයකුට මෙවැනි දෙයකට පාවිච්චි කළ නොහැකි බවත් ඒ පිළිබඳව වහාම පරීක්‍ෂණයක් ආරම්භ කළ යුතු බවත් නිරාෂාන් විතානගේ එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

Page 275 of 465