ජනාධිපතිවරයාගේ දැක්ම ජාත්‍යන්තර නිර්නායක ඉක්මවා යන්නක් - සාගල

ජනාධිපතිවරයාගේ දැක්ම ජාත්‍යන්තර නිර්නායක ඉක්මවා යන්නක් - සාගල

රට ගොඩනැඟීම සඳහා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දැක්ම ජාත්‍යන්තර නිර්නායක ඉක්මවා යන්නක් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති රාජ්‍ය නිලධාරීන් සහ ලෝක බැංකු සාමාජිකයින් අතර ලෝක බැංකු අයවැය සහාය සහ සංවර්ධන ප්‍රතිපත්ති සූදානම් කිරීමේ මෙහෙයුම (DPO) ආරම්භ කිරීමේ හමුවට එක්වෙමිනි.

රට ආර්ථික වශයෙන් ස්ථාවර කිරීමට, ශක්තිමත් ප්‍රතිපත්ති රාමුවක් ඇති කර ගැනීමට සහ අවශ්‍ය මාර්ග සිතියමට යාමට මෙය හොඳම අවස්ථාව බව පෙන්වා දුන් රත්නායක මහතා රටක් ලෙස අපට එම හැකියාව තිබෙන බවත් එයින් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.

ඉදිරි සති දෙක අවසානයේ එම ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමට අදාළ අවසන් වාර්තාව ලබා ගැනීම, මාර්ග සිතියම සැකසීම සහ කාල රාමුවට අනුව සියලුදෙනා කැපවී කටයුතු කිරීමේ වැදගත්කම ද සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙහිදී සඳහන් කර සිටියේ, රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැපවී සිටින බවත් ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා ඉතා අසීරු තීරණ ගෙන ඇති බවත්ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රට වෙනුවෙන් වූ ක්‍රියාකාරී ප්‍රතිපත්තිය සහ දැක්ම පිළිබඳ මවිතයට පත් වන බවත් ඊට සහාය දැක්වීමට ලෝක බැංකුව කටයුතු කරන බවත් මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරීස් හඩඩ් ස්වෝස් (Faris Hadad-Zervos) මහතා සඳහන් කළේය.

ප්‍රතිපත්ති සහ ආයතනික ප්‍රතිසංවිධානය සඳහා රජයන්ට සෘජු අයවැය සහාය ලබා දෙන සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් හරහා විශේෂිත සංවර්ධන ප්‍රතිඵල සමූහයක් සාක්ෂාත් කර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණු වේ.

අපේක්ෂිත සංවර්ධන මූල්‍ය අවශ්‍යතා සමඟ කටයුතු කිරීමට ඉඩ සැලසීම සඳහා වේගවත් මූල්‍ය ආධාර සැපයීම, මූල්‍ය පාලනය පරිවර්තනය කිරීම, තරඟකාරිත්වය ඉහළ නැංවීම යන කරුණු තුනක් යටතේ මෙම මෙහෙයුම් සැලසුම් කර ඇත.

ණය කළමනාකරණය සහ විනිවිදභාවය, මූල්‍ය අධීක්‍ෂණය, බදු පරිපාලන ප්‍රතිපත්තිය වැඩිදියුණු කිරීම, රාජ්‍ය ප්‍රසම්පාදන විනිවිදභාවය මෙන්ම මුදලෙහි වටිනාකම වැඩි කිරීම, ස්වෛරී මූල්‍ය අංශයේ සම්බන්ධය බිඳ දැමීම සහ ක්‍රමානුකූල අවදානම අවම කිරීම යන ක්ෂේත්‍ර පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා මෙහිදි කරන ලදී.

රජය සතු ව්‍යවසාය පිළිබඳ අධීක්ෂණය ප්‍රතිසංස්කරණය සහ වැඩි දියුණු කිරීම, ජාතික තීරුබදු ප්‍රතිපත්තියේ අපනයන විරෝධී නැඹුරුව අඩු කිරීම, විදේශ ආයෝජන සඳහා ඇති බාධා ඉවත් කිරීම, බලශක්ති සහ ප්‍රවාහන ක්ෂේත්‍රය ආනයනික ඉන්ධන මත යැපීම අඩු කිරීම, වඩාත් දේශගුණික හිතකාමී කිරීම, සමාජ ආරක්ෂණ ආයතන, බෙදා හැරීමේ පද්ධතිය ශක්තිමත් කිරීම සහ ඉලක්ක කිරීමට ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට සමාජ සවිබල ගැන්වීම් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ලෝක බැංකුවේ දේශීය කළමනාකරු චියෝ කන්දා සහ ලෝක බැංකු කණ්ඩායමේ සාමාජිකයින් හා රේඛීය ආයතනවල නිලධාරීහු එක්ව සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න