Language Switcher

V2025

ඇමති ටිරාන් සිංගප්පූරු සංචාරයක !

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු අමාත්‍ය සහ සිංගප්පූරුවේ නීතිය පිළිබඳ අමාත්‍ය  කේ. ෂන්මුගම් මැතිතුමාගේ ඇරයුමකට අනුව, 2022 ඔක්තෝබර් 25-29 යන දිනවල සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත විය.
 
මේ සම්බන්ධයෙන් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්‍යාලය විසින් නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි මෙසේ සඳහන් වෙයි.
 
ශ්‍රී ලංකා දූත  පිරිස, සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය සහ මධ්‍යම මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය (CNB) මහජන සාමය පවත්වාගැනීම සහ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සඳහා  සිංගප්පූරුව අනුගමනය කරන නීතිමය රාමුව පිළිබඳව සංවිධානය කළ දැනුම්වත් කිරීමේ සැසියකට සහභාගී විය. 
 
මෙම හමුවට එක් වූ අමාත්‍ය ෂන්මුගම් , මෙම ක්ෂේත්‍ර දෙකට අදාළව මෑත වසරවල හඳුන්වා දුන් නීතිමය රාමු සහ සංශෝධන පිළිබඳ දළ විශ්ලේෂණයක් ඉදිරිපත් කළේ ය.
 
 අදාළ නීති සම්පාදනයේ සහ සංශෝධනවල මෙහෙයුම්  අංශ සම්බන්ධයෙන් උගත් පාඩම් පිළිබඳව දෙපාර්ශ්වය අතර ඵලදායී අදහස් හුවමාරුවක් ද සිදු විය.
 
 වෙනම සැසියක් ලෙස පැවැත්වූ මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුන් ෂුඒලින්ග් සහ සිංගප්පූරුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.
 
අමාත්‍යවරයාගේ සිංගප්පූරු සංචාරයට ආගමන කටයුතු හා මුරපොළ අධිකාරියේ (ICA) නිලධාරීන් සමඟ අන්තර්ක්‍රියා පැවැත්වීම ද ඇතුළත් විය.
 
 ICA හි ප්‍රලේඛන කටයුතු පරිවර්තනයකට සහ ඩිජිටල්කරණයට ලක් කිරීමේ සැලසුම් පිළිබඳව කෙටි විස්තරයක් මෙහිදී සපයන ලද අතර, අනන්‍යතා සත්‍යාපනය සහ ලේඛන විශ්ලේෂණ (IADA) විද්‍යාගාරය තුළ සංචාරයක් ද ඊට ඇතුළත් විය.
 
 සිංගප්පූරුවේ ආගමන මුරපොළවල්වල දැනට අනුගමනය කරන ක්‍රියාමාර්ග සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉස්මතු වන අභියෝගවලට මුහුණ දීමේ අරමුණින්, සිංගප්පූරු ආගමන හා ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ (SIR) සහ රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ(CED) මුරපොළ මෙහෙයුම් ඒකාබද්ධ කිරීම සඳහා 2003 වසරේ දී ICA ආයතනය පිහිටුවීමේ දී සිදු කරන ලද ක්‍රියාවලිය පිළිබඳව දෙපාර්ශ්වය මෙහිදී සිය අදහස් හුවමාරු කර ගත්හ.
 
සිංගප්පූරු පොලිස් සේවයේ නිලධාරීන් විසින් අපරාධ විමර්ශනය, බුද්ධි තොරතුරු සහ විශේෂ මෙහෙයුම් විධානය ඇතුළුව ඔවුන්ගේ මෙහෙයුම් අංශ පිළිබඳ සවිස්තරාත්මක දළ විශ්ලේෂණයක් සපයන ලදී.
 
 ඔවුහු චැන්ගි ගුවන් තොටුපොළ තුළ සංචාරයක ද නිරත වූහ. එහිදී සිංගප්පූරුවේ නවතම දේශසීමා ආරක්ෂක විධිවිධාන පිළිබඳ දැනුම්වත් කිරීමක් සිදු කරන ලදී.
 
මෙම සංචාරය නිම කිරීමේ අවස්ථාවේ දී අමාත්‍ය ෂන්මුගම් විසින් අමාත්‍ය අලස් ඇතුළු දූත පිරිසට දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී. එහිදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු සාකච්ඡා කෙරිණි.
 
අමාත්‍යවරයා සමඟ මෙම සංචාරයට සහභාගී වූ දූත පිරිසට ආගමන විගමන පාලක ජනරාල්වරයා, ශ්‍රී ලංකා පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා සහ මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළත් විය.
 
සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ  සහ ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ සහයෝගය ඇතිව මෙම සංචාරයේ කටයුතු සම්බන්ධීකරණය කළේ ය.
 IMG 20221108 WA0012
IMG 20221108 WA0013