පුවත්

ගාසා තීරයෙන් ඉවත් වන්නැයි මිලියන 1.1ක ජනතාවට ඊශ්‍රායලය අනතුරු අඟවයි
ගාසා තීරයේ උතුරු කොටසේ සිටින සියලු ම ජනතාවට ඉදිරි පැය 24ක් තුළ ගාසා තීරයේ දකුණු දෙසට ගමන් කරන ලෙස ඊශ්‍රායල බලධාරීන් දැනුම් දී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ගාසා තීරයේ උතුරු කොටසේ මිලියන 1.1ක ජනතාවක් ජීවත් වන බව ත් එය ගාසා තීරයේ ජනගහනයෙන් හරි අඩක් බව ත් ය.
ඊශ්‍රායල හමුදාව ඍජුව ම ගාසා නගරයේ වැසියන් අමතා ඔවුන්ට පවසා ඇත්තේ, ඔවුන්ගේ “ආරක්ෂාව” සඳහා ඉන් පිටත්ව යන ලෙස ය.
උතුරු ගාසා තීරයේ ජනතාව මෙම දේශසීමා පසු කිරීමේදී ඔවුන්ට දැඩි විනාශකාරී හානියක් සිදුවනු ඇති බවට බලාපොරොත්තු විය හැකි බැවින් මෙම නියෝගය අවලංගු කරන ලෙස ඊශ්‍රායලයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීමක් ද සිදු කර තිබේ.
හමාස් සටන්කාමී කණ්ඩායම මුලිනුපුටා දැමීම සඳහා ඊශ්‍රායලය ගාසා තීරයට ගොඩබිම ඔස්සේ ප්‍රහාරයක් එල්ල කිරීමට අපේක්ෂා කරන අතරතුර මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
හමාස් සටන්කාමී කණ්ඩායම ඊශ්‍රායලයේ අවම වශයෙන් පුද්ගලයන් 150 දෙනෙක් පැහැරගෙන ගාසා තීරයට ගෙන ගොස් ඇති අතර ඊශ්‍රායල වැසියන් 1,300ක් පමණ ඔවුන් එල්ල කළ ප්‍රහාරයවලින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊශ්‍රායලය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයන් 1400කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව පලස්තීන සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති.

පරිසර අමාත්‍ය ධුරය ජනපති යටතට
නසීර් අහමඩ් දැරූ පරිසර අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතට පවරා ගෙන තිබේ.
ඒ, අතිවිශේෂ ගැසට් නිවේදනක් නිකුත් කරමිනි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සමාජිකයෙකු වූ නසීර් අහමඩ් පක්ෂයේ ස්ථාවරයෙන් බැහැරව අමාත්‍ය ධුරයක් ලබා ගැනීම හේතුවෙන් එම පක්ෂය නිතිමය ක්‍රියාමාර්ග ගනු ලැබීය.
එහිදී ඔහුට අධිකරණය දුන් නියෝගයක් හේතුවෙන් පාර්ලිමේන්තු අසුන ද අහිමි විය.

'ඔන්ලයින් පනතේ කරුණු බොහෝමයක් අධිකරණයේදී ප්‍රතික්ෂේප වෙනවා' - ඉරාන්
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ තිබෙන කරුණු බොහෝමයක් අධිකරණයේදී ප්‍රතික්ෂේප වන බවත් මේ පනත ව්‍යවස්ථාවට පටහැනි බව අධිකරණය ප්‍රකාශ කරන බවත් රටේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ජීවන රටාවට මේ පනත පටහැනි බවත් එනිසා මේ පනත වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස රජයට බලකර සිටින බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පැවැසීය.
අදහස් ප්‍රකාශ කිරීමට සිවිල් සමාජයට අයිතියක් තිබෙන බවත් ඒ අයිතිය අඩු කිරීමේ වැඩපිළිවෙලක් මේ පනත හරහා සිදුකරගෙන යන බවත් මෙම පනත හරහා පුරවැසි අරගල පාලනය කරන්න ආණ්ඩුව උත්සහ කරන බවත් ඔහු සඳහන් කළේය.
සමාජ මාධ්‍ය හරහා සිදුකරන අකටයුතු ක්‍රියාවලට දඩුවම් ලබාදීමට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අවශ්‍ය නොවන බවත් එවැනි ක්‍රියාවලට දඩුවම් ලබාදෙන්න ඕනෑතරම් නීති රීති රටේ තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (11) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉරාන් වික්‍රමරත්න මෙසේ ද පැවැසීය.
‘‘ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත රජය ඉදිරිපත් කරලා තියෙන්නේ රටේ කාන්තාවන් රටේ දරුවන් ආරක්ෂා කරන්න නෙවෙයි. මේ පනත රජය ඉදිරිපත් කරලා තියෙන්නේ වෙනත් අරමුණකින්. සමාජ මාධ්‍ය පමණක් නෙවෙයි සමස්ථ මාධ්‍ය පාලනය කිරීම සඳහා යොදා ගන්නා පනතක්.''
සාමාන්‍යයෙන් පනතක් ඉදිරිපත්කරන විට රටේ ලොකු සාකච්ඡාවක් තිබෙනවා. ජන සමාජ එක්ක සිවිල් සමාජ ආයතන සමඟ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරනවා කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරනවා නීතිපති දෙපාර්තමේන්තුවට ඒ පනත යොමු කරනවා නැවත පාර්ලිමේන්තුවට යොමුකරනවා පාර්ලිමේන්තු කමිටු වලට යොමුකරනවා අවසානයේ තමයි ගැසට් කරන්නේ. සති දෙකක් තුළ අධිකරණයට යොමුකරලා ව්‍යවස්ථාවට පටහැනිද නැද්ද කියලා සොයාබලා නැවත පාර්ලිමේන්තුවට යොමුකරලා තමයි ඡන්දයක් තියන්නේ.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හරහා කොමිසමක් පිහිටුවන්න අවශ්‍ය බව ප්‍රකාශ කරනවා. කොමිසම කියන වචනය භාවිතා කරපු ගමන් සියලුදෙනා හිතන්නේ මේක ස්වාධීන දෙයක් කියලා. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හරහා පත් කරන කොමිසමේ සමාජිකයන් පත් කරන්නේ ජනාධිපතිවරයා. මේ කොමිසම ව්‍යවස්ථාදායක සභාවට එන්නේ නෑ. මේක ඒකාධිකාර වැඩපිළිවෙලක්.
මේ වැඩපිළිවෙලන් විධායක ව්‍යවස්ථාදායක අධිකරණ බලතල සියල්ල එක තැනකට ගන්නවා. ජනාධිපතිවරයාට ඕන අය තමයි මේ කොමිසමට දාන්නේ. කාටවත් මේ ගැන ප්‍රශ්න කරන්න බෑ. ඒ පත්කරන කොමිසන් සභාව තමයි නීති රීති හදන්නේ.
මේ පනතට අධිකරණයට අරගෙන ගියාම අධිකරණය බලන්නේ ව්‍යවස්ථාවට පටහැනිද නැද්ද කියලා. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ කරුණු බොහෝමයක් අධිකරණයේදී ප්‍රතික්ෂේප වෙනවා. අධිකරණය ප්‍රකාශ කරයි මේ පනත ව්‍යවස්ථාවට පටහැනියි ඒ නිසා මේ පනතේ වෙනස්කම් කළ යුතුයි කියලා. රටේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ජීවන රටාවට මේ පනත පටහැනියි. අපි කියන්නේ රජයට මේ පනත වහාම ඉල්ලා අස්කර ගන්න කියලා.
අදහස් ප්‍රකාශ කරන්න සිවිල් සමාජයට අයිතියක් තියෙනවා. ඒ අයිතිය අඩු කිරීමේ වැඩපිළිවෙලක් මේ පනත හරහා සිදුකරගෙන යනවා.කතා කිරීමේ අදහස් ප්‍රකාශ කිරීමේ අවකාශය අඩු කිරීමේ වැඩපිළිවෙලක් මේ පනත හරහා සිදුකරනවා. ප්‍රජාතන්ත්‍රවාදී ජීවන රටාවක් තුළ විරුද්ධවීම අයිතිවාසිකමක්.මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හරහා කරන්න හදන්නේ පුරවැසි අරගල පාලනය කරන්න හදන එක.
දරුවන්ට කාන්තාවන්ට සමාජ මාධ්‍ය හරහා හිංසනයන් සිදුවෙනවා. අපි ඒ ක්‍රියා අනුමත කරන්නේ නෑ. නමුත් එවැනි ක්‍රියාවලට දඩුවම් දෙන්න මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අවශ්‍ය වෙන්නේ නෑ. ඒවගේ දේවල් වලට දඩුවම් දෙන්න ඇතිවෙනකන් නීති රීති රටේ තිබෙනවා. අසභ්‍ය ප්‍රකාශන පනත යටතේ එවැනි ක්‍රියා වලට දඩුවම් දෙන්න පුලුවන්.
අයවැයෙන් අදායම වෙනුවට වැඩි කරලා තිබෙන්නේ වියදම. ආරක්ෂ අමාත්‍යාංශයේ මුදල් අමාත්‍යාංශයේ වියදම් අයවැයෙන් වැඩි කරලා තියෙනවා. අධ්‍යාපනයට සහ සෞඛ්‍යට සුලු වැඩිවීමක් කරලා තියෙනවා. අනිත් අමාත්‍යාංශවල වියදම් වැඩි කරලා අධ්‍යාපනයට සහ සෞඛ්‍යට යන වියදම වැඩි කරලා වැඩක් නෑ. අනිත් අමාත්‍යාංශවල වියදම් කපලා අධ්‍යාපනයට සහ සෞඛ්‍යට යන වියදම වැඩි කරන්න ඕන.
ආසියාවේ රටවලින් වැඩිම ආරක්ෂක වියදමක් තියෙන්නේ ලංකාවේ. ලංකාව ආරක්ෂක වියදම් සඳහා සියයට 10 ක් වෙන් කරනවා. ඉන්දියාවේ වෙන් කරන්නෙත් සියයට 9 යි. මේක පාලනය කළ යුතුයි. ඒ වියදම් පාලනය කරලා අධ්‍යාපනයට සහ සෞඛ්‍යට යන වියදම වැඩි කළ යුතුයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා ලංකාවේ දූෂිත පාලනය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එලෙස ප්‍රකාශයක් කළ ආසියාවේ පළමු රට වෙන්නේ ලංකාව.
විශේෂ වෙළඳ බද්ද යොදාගන්නේ පාර්ලිමේන්තුවේ අනුමැතියක් නැතිව බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ කරුණු වල සඳහන් වෙනවා. බදු ගන්නවානම් පාර්ලිමේන්තු අනුමැතියක් තියෙන්න ඕන. බදු අඩු වැඩි කරනවානම් පාර්ලිමේන්තු අනුමැතියක් තිබිය යුතුයි යනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ වාර්තාවේ සදහන් වෙනවා.
ශ්‍රී ලංකා ගුවන් සේවයේ ආහාර සැපයීමේ ආයතනය සහ බඩු භාණ්ඩ පාලනය කිරීමේ ආයතනය ලාභ ලබනවා නමුත් ශ්‍රී ලංකා ගුවන් සේවාව බිලියන 400 කට වැඩි මුදලක් අලාභ ලබලා තියෙනවා. නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා සිවිල් ගුවන් සේවා සංශෝධන පනන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කියනවා මේ ආයතන සියල්ල රජයට අයිති වෙන්න අවශ්‍ය නෑ. මේවා පුද්ගලික අංශයට ලබාදෙන්න පුලුවන් කියලා. තව කියනවා තරගකාරීත්වයක් ඇති කරන්න පුද්ගලික අංශයට ආහාර සැපයීමේ ආයතනයක් සහ බඩු භාණ්ඩ පාලනය කිරීමේ ආයතනයක් ආරම්භ කරන්න පුලුවන් කියලත් ඇමැතිවරයා කියනවා.
සිවිල් ගුවන් සේවා සංශෝධන පනන හරහා ආහාර සැපයීමේ ආයතනය සහ බඩු භාණ්ඩ පාලනය කිරීමේ ආයතනය විකුණලා ශ්‍රී ලංකා ගුවන් සේවයේ ප්‍රශ්නය විසදුවේ නැත්නම් දුෂණ ඇතිවෙන්න පුලුවන්. තරගකාරීත්වයට අපි එකඟයි. හොරකමට වංචාවට අපි එකඟ නෑ. ‘‘

ඊශ්‍රායලයේ වෙසෙන ලාංකිකයන්ට සහන සැලසීමට විශේෂ වැඩපිළිවෙළක් !
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිවී තිබෙන දරුණු ගැටුම්කාරී තත්ත්වය හමුවේ ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතාරක්ෂාව ඇතුළු හදිසි අවශ්‍යතා සම්බන්ධව විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් නිකුත්කර ඇත.
ඒ අනුව මේ වන විටත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මෙරට රජයේ වගකිවයුතු අංශ එක්ව ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවගේ අවශ්‍යතා සම්බන්ධව ගත හැකි උපරිම මැදිහත්වීම සිදුකිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබේ.
එහිදී ඊශ්‍රායලයේ රැකියාවල නියුතු හෝ වෙනත් කරුණක් වෙනුවෙන් රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් හට තම ජීවිත පිළිබඳ අවධානමක් මතුව ඇත්නම් ඒ සම්බන්ධව හෝ වෙනත් දුෂ්කරතා කිසිවක් ඇත්නම් ඒ පිළිබඳ සෘජුව මෙරට බලධාරීන් දැනුවත් කිරීම සඳහා පහසුකම් සළසා තිබේ.
ඒ අනුව (+94) 117966396 යන දුරකථන අංකය, (+94) 767463391 යන WhatsApp අංකය හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන Email ලිපිනය හරහා සිය අවශ්‍යතා ඉදිරිපත් කිරීමේ හෝ අවශ්‍ය තොරතුරු දැනගැනීමේ හැකියාව පවතී.
පිළිගත් ආගමන විගමන පටිපාටිය ඔස්සේ මෙන්ම වෙනත් කවර හෝ ක්‍රමයක් ඔස්සේ ඊශ්‍රායලයේ රැඳී සිටින ඕනෑම ශ්‍රී ලාංකිකයකු හට මෙම සේවාව ලබා ගැනීමට හැකියාව තිබෙන බව රජය අවධාරණය කර සිටියි.

මේ දිනවල පැතිර යන ඇස් රෝගයෙන් දරුවන් ආරක්ෂා කරගන්න - වෛද්‍ය දීපාල් පෙරේරා
මේ දිනයන්හි දරුවන් අතර පැතිරෙන ඇස් රතු වීමේ රෝගය කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හදන වෛරසය නිසා බෝවන්නක් විය හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසීය.
තවද මෙය වෛරසයක් ද විය හැකි බවත්, අපිරිසුදු දෑතින් දෑස් ඇල්ලීමෙන් වැළකී සිටීමෙන් වෛරසය පැතිරීම වළක්වාගත හැකි බව ද ඔහු පැවසීය.
කාලයෙන් කාලයට ඇස් රෝග පැතිරෙන බවත් වෛරස් උණ සමඟ පැතිරෙන ඇස් රෝග පවතින බවත් ඔහු පැවසුවේය.
ඇස් රතු වීම, කබ ගැලීම, ඇසේ වේදනාව ලෙස රෝග ලක්ෂණ මතු විය හැකි බව ද හෙතෙම පැවසීය.
මෙම ඇස් රෝගය වෛරසයක් නිසා ප්‍රතිජීවක ඖෂධ අවශ්‍ය නොවන අතර දින පහකට වඩා මේ රෝගය පැවතුණහොත් ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.
අත් දෙක සබන් දමා සේදිය යුතු අතර අපිරිසුදු අතින් ඇස් ඇල්ලීම සිදු නොකළ යුතු බවත් ඉතා පහසුවෙන් මේ වයිරසය බෝ විය හැකි බවත්, දරුවකුට ඇස් රෝගය පවතින්නේ නම් එය සුවපත් වන තෙක් නිවෙසෙහි තබාගත යුතු අතර පාසල් නොයවා සිටීමට මවුපියන් සැලකිලිමත් විය යුතු බව ද වෛද්‍ය දීපාල් පෙරේරා පැවසීය.

වැසි තත්ත්වයේ වැඩිවීමක් ගැන කාලගුණයෙන් පවසයි
ඉදිරි පැය 36ක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉන් එම දෙපාර්තමේන්තු පෙන්වා දෙන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (12) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මී.මී 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම බස්නාහිර සහ දකුණ පළාත්වල උදෑසන කාලයේ දී ද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වෙයි.
තවද, අකුරැස්ස, මාලිම්බඩ, තිහගොඩ,කඹුරුපිටිය සහ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවතින ගංවතුර යළි ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව එම ප්‍රදේශවල ජනතාවට දැනුම් දෙන්නේ, අවධානයෙන් කටයුතු කරන ලෙසයි.
තව ද බෝපේ පොද්දල, නාගොඩ සහ බද්දේගම ආශ්‍රිත ගංවතුර තත්ත්වය සුළු වශයෙන් වර්ධනය විය හැකි බැවින් විමසිලිමත්වන ලෙස ද එම ප්‍රදේශවල ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

ජනපතිගෙන් පෞද්ගලික අංශයට ආරාධනයක් !
තාක්ෂණ හා හරිත ආර්ථිකයක් කරා රට ගෙන යාමේ වැඩපිළිවෙල සමඟ සක්‍රීයව එක්වන ලෙස තමන් පෞද්ගලික අංශයට විවෘත ආරාධනයක් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජාතික තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික ක්‍රියාවලි කළමණාකරන වෘත්තීය ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද (11) පෙරවරුවේ එක් වෙමිනි.
ජාතික තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමණාකරන සතිය (National IT and BPM Week) ආරම්භ කරමින් මෙම ප්‍රදර්ශනය ඔක්තෝබර් 11,12 සහ 13 යන තෙදින කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේ දී පැවැත්වේ.
රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ වේගවත් කරමින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙන අතර තොරතුරු තාක්ෂණ ව්‍යවසායකත්වය දිරිගැන්වීම වෙනුවෙන් නව තාක්ෂණය පිළිබඳ දැනුමක් ලබාදීම, කුසලතා වර්ධනය, වෘත්තීය උපදේශනය සහ වෘත්තීය අවස්ථා ලබාදීම මෙහි අරමුණයි.
බස්නාහිර පළාතේ (සා/පෙළ සහ උ/පෙළ) හදාරන පාසල් සිසුන්, රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල සහ වෘත්තීය අධ්‍යාපන ආයතන සිසුන්, රැකියා අපේක්ෂකයන් මෙන්ම ව්‍යවසායකයින්, දැනුවත් කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.
දින 03ක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහනේ දී කර්මාන්ත සහ වෘත්තීය උපදේශන, තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලිය, සීමාවාසික පුහුණුව සහ රැකියා අවස්ථා සඳහා වේදිකාවක් සපයනු ලබන අතර තාක්ෂණික අධ්‍යාපන ආයතන මගින් තොරතුරු තාක්ෂණ සහ ව්‍යපාර ක්‍රියාවලි පිළිබඳ වැඩමුළු පැවැත්වීමට ද නියමිතය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.
මෙම ප්‍රදර්ශනයට සහභාගිවන බොහෝ දෙනෙක් බලාපොරොත්තු වන්නේ තමන්ගේ විදේශගත වීමේ අපේක්ෂාව මේ හරහා සාර්ථක කරගන්නේ කෙසේද කියලයි. එය සෑම කෙනෙක්ගේම සිහිනයක්. නමුත් මම අවධානය යොමු කළේ මෙම ප්‍රදර්ශනයෙන් අපේ රටට ප්‍රයෝජනයක් ලබා ගන්නේ කොහොමද කියලයි.
අද අප සිටින්නේ රටේ කඩා වැටුණු ආර්ථිකය නැවත ගොඩගනිමින් සිටින අවස්ථාවකයි. රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. අප ලබාගත් ණය ආපසු ගෙවිය යුතුයි. අපට අවශ්‍ය භාණ්ඩ ආනයනය කළ යුතුයි. ඒ සඳහා ද මුදල් ගෙවීමට අවශ්‍යයි. ඒ සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය අපට නැහැ. ඒ නිසා නැවත ණය ලබා ගැනීමට සිදු වෙනවා.
අපි ණය චක්‍රයේ සිටිනවද ඉන් ඉවත්වී ඉදිරියට යනවද කියන එක පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා මේ රටේ ඉතා තරගකාරි ආර්ථිකයක් සමඟ ලෝක වෙළෙඳපොළ වෙත ගමන් කර වෙළෙඳ භාණ්ඩවලින් සහ සේවාවලින් අපට ලැබෙන ආදායම වැඩි කර ගෙන අතිරික්තයක් පවත්වාගත යුතුය. ඒ ආකාරයට කටයුතු කිරීමෙන් මේ රට හැර ගිය පිරිසත් නැවත ලංකාවට එනු ඇතැයි අප විශ්වාස කරනවා.
මෙම වැඩසටහනේ ප්‍රධාන අංගයක් වන්නේ අපේ ආර්ථික නවීකරණයයි. ඉතා තරගකාරී ආර්ථිකයක්, හරිත ආර්ථිකයක් සහ ඩිජිටල් ආර්ථිකයක් එහි ප්‍රධාන කොටස් වෙනවා.ඩිජිටල් ආර්ථිකය ගැන කතා කළොත් අප ඉන් ඉදිරියට යන විට කරුණු ගණනාවක් සම්පූර්ණ කළයුතුව තිබෙනවා.
එහිදී තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුමක් හා පුහුණුවක් තිබෙන මිනිස් බලකායක් අවශ්‍ය වෙනවා. එම බලකාය ගොඩනැගීම වෙනුවෙන් අප පියවර ගණනාවක් ගෙන තිබෙනවා.
අප අලුත් විශ්වවිද්‍යාල පද්ධතියක් ආරම්භ කරනවා. එහිදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ක්‍රමවේදය අනුව රජයෙනුත් විශ්වවිද්‍යාල 03ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා ද අවස්ථාව ලබා දෙනවා. හාවඩ් සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලවල වගේ ලබන ලාභය නැවත විශ්වවිද්‍යාලයට ආයෝජනය කරන කණ්ඩායමක් සමග එම කටයුතු කරගෙන යාම අපේ බලාපොරොත්තුවයි.
කෙසේ හෝ මෙම නව තාක්ෂණ දැනුම ලබාදීම වෙනුවෙන් අලුත් විශ්වවිද්‍යාල ගණනාවක් ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා. දෙවනුව දැන් තිබෙන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 450 එක් කර වෘත්තීය විද්‍යාල ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම වෘත්තිය පුහුණුව නවීකරණය කරනවා. මේ සියල්ල කරන අතරතුර පාසල් සඳහාද මෙම නව තාක්ෂණය ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
රටේ අනාගතය තිබෙන්නේ තාක්ෂණ සහ හරිත ක්ෂේත්‍ර යන අංශ දෙක තුළයි. එසේනම් අප ඒ සඳහා ඇතුළත් විය යුතුයි.
වී වගාව අසාර්ථක වූ විට අප කුරුඳු වගාවට යොමු වුණා. කුරුදු වගාව නැති වූ විට කෝපි වගා කළා. කෝපි නැති වු විට තේ, රබර් පොල් වගා කළා. දැන් අප සංචාරක ව්‍යාපාරය සහ ඇඟළුම කර්මාන්තය සිදු කරනවා. මේ සියල්ල අයත් අතීතයටයි. නමුත් අප අනාගතයට යා යුතුයි. ඒ සඳහා අප හැකි තරම් කණ්ඩායම් පුහුණු කළයුතුයි. මෙරට අවශ්‍යතාව මෙන් දෙගුණයක පිරිසක් බිහි කළයුතුයි. ඇතැම් පිරිස් විදේශ රැකියා සඳහා යනවා. ඔවුන් අපේ රටට විදේශ විනිමය එවනවා.
ජපානය, චිනය, දකුණු කොරියාව වැනි නැගෙනහිර ආසියාවේ අද ජනග්‍රහණය සීග්‍රයෙන් අඩු වෙමින් පවතිනවා. ඉතින් අපි සියලුදෙනා එකතුවෙලා ඉදිරියට යමු. අලුතින් බිහිවන විශ්වවිද්‍යාල සඳහා ඔබට සම්බන්ධවිය හැකියි. ඒ වගේම වෘත්තීය මධ්‍යස්ථාවල මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඔබට අවස්ථාව සළසා දිය හැකියි.
ඒ වගේම මෙම දැනුම පාසල්වලට එක් කිරීම පිළිබඳවත් අපිට එක්වෙලා වැඩ කරන්න පුළුවන්. මගේ ප්‍රශ්නය වන්නේ ඒ සඳහා ඔබ සූදානම්ද, නැද්ද යන්නයි. මෙම වැඩකටයුතුවල ප්‍රධානත්වය අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා විසින් ගෙන තිබෙනවා. අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් ඒ සඳහා සම්බන්ධ වී සිටිනවා.
මෙම තාක්ෂණය සමග නව කර්මාන්තශාලා බිහි වූ විට නව වෘත්තීය අවස්ථා ඇති වෙනවා. අද විශාල පිරිසකට රැකියා අහිමි වී තිබෙනවා. ඒ තරුණ පිරිස් වෙතත් මෙම දැනුම ලබාදී ඔවුන්ට නව රැකියා අවස්ථා විවර කර දිය හැකියි. මේ සඳහා ඔබේ ප්‍රතිචාරය මට දැනුම් දෙන ලෙස මම ඉල්ලා සිටිනවා.
තාක්ෂණ අමාත්‍ය කණක හේරත්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ඒ.ඩී. ගුණවර්ධන, තාක්ෂණ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන) ජනක සම්පත් ගීකියනගේ, ජාතික අනාගත කුසලතා මුලපිරීම් ආයතනයේ (NFTI) සභාපති මධු රත්නායක, මෘදුකාංග සේවා සමාගම් සඳහා ශ්‍රී ලංකා සංගමයේ (SLASSCOM) සභාපති ජෙහාන් පෙරින්පනායගම්, DIGIECON 2023 -2030 ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රසාද් සමරවික්‍රම යන මහත්වරුන් ද පාසල් සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ධම්මිකගේ නම නාමල් අනුමත කරලා : රාජපක්ෂවරුන් දුරදිග මෙහෙයුමක !
තාත්තා රටේ ජනාධිපතිවරයකු වූ පමණින් ඔහුගේ දරුවාට බැට්න් එක ප්‍රදානය කිරීමට නොහැකි බවත් නායකත්වය කාලානුරූපීව වෙනස් වන්නක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසූ බව මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.
ඊට අනුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත්තේ පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි පාක්ෂිකයන් විසින් තීරණය කරනු ඇති බවත් ආසන බලමණ්ඩල සාකච්ඡාවලදී ඒ ගැන තීරණ ගැනීමට නියමිත බවත් මන්ත්‍රීවරයා සඳහන් කළ බවද එම මාධ්‍ය වාර්තා පවසයි.
එසේම ධම්මික පෙරේරා ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වීමට කැමැත්ත පල කිරීම තුළින් පොදුජන පෙරමුණේ ස්ථාවර භාවය පිළිබිඹු වන බවත් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දී ඇති බවත් වැඩිදුරටත් දැක්වෙයි.
ධම්මික පෙන්වා නාමල් ගොඩයවන තැතක් !
පසුගිය සති අන්ත පුවත්පතක් සඳහා ප්‍රකාශයක් කරමින් මෙරට සිටින බිලියනපති ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වීමේ තම සූදානම ප්‍රකාශ කර තිබිණ.
එහිදී ඔහු පක්ෂයක් සඳහන් කර නොතිබූ නමුත් ඊට පෙර සිට දේශපාලන ක්ෂේත්‍රයේ රාවයක් පැවතියේ ධම්මික පෙරේරාට පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදීමට රාජපක්ෂවරුන් ගේ සූදානමක් ඇති බවය.
අනතුරුව ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ධම්මික පෙරේරා වෙත ලබාදී, පොදුජන පෙරමුණේ නායකත්වයට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පත්කිරීමට සූදානමක් ඇති බවටත් දේශපාලන ක්ෂේත්‍රයේ රාවයක් ගිය අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ගේ මෙම ප්‍රකාශය ඒ බව තහවුරු කෙරෙන්නක් බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.
කෙසේ වුවත් දේශපාලන විචාරකයන් වැඩිදුරටත් සඳහන් කරන්නේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු සඳහා මීළඟ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ඉඩක් නොමැති බවයි. එබැවින් ධම්මික පෙරේරා ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා පෙන්නුම් කර පක්ෂයේ නායකත්වය පහසුවෙන්ම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙත ලබාදී ඔහුව විපක්ෂ නායක ලෙස ඊළඟ වටය සඳහා සූදානම් කිරීම රාජපක්ෂවරුන් ගේ උපක්‍රමය ලෙස තක්සේරු කළ හැකි බව විචාරක මතය වී තිබේ.

නව ගිවිසුම් 3ක් සමග : ජනපති සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක් !
ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුව අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වුණු අතර දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවෙන නව ද්විපාර්ශවික ගිවිසුම් තුනකට එළැඹීම ද සිදු කෙරිණි.
එසේම ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ මෙරට ක්‍රියාත්මක කරන ලද නිවාස ව්‍යාපෘතියේ තුන්වන අදියර මාර්ගගත ක්‍රමය ඔස්සේ විවෘත කිරීම ද මෙහිදී සිදු විය.
නිවාස දස දහසකින් යුත් මෙහි හතරවන අදියරේ එක් නිවාස ඒකකයක් සඳහා රුපියල් මිලියන 1.026ක මුදලක් වෙන් කර තිබුණද නිවාස ඒකකයක් සඳහා වන පිරිවැය ඉහළ යාම හේතුවෙන් එය රුපියල් මිලියන 2.8ක් දක්වා සංශෝධනය කිරීමට අදාළ ගිවිසුමට එළැඹීම සිදු විය.
ශ්‍රී ලංකාවේ ජන ජීවිත යළි නගා සිටුවීම වෙනුවෙන් ඉන්දීය රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කරනු ලබන විශේෂ ව්‍යාපෘති නවයක් කඩිනමින් අවසන් කිරීම සඳහා අතිරේක ප්‍රතිපාදන සැපයීමට ඉන්දීය රජය කටයුතු කර තිබෙන අතර ඊට අදාළ ගිවිසුමට ද මෙහිදී එළැඹිණි.
මේ යටතේ උතුරු පලාතේ පාසල් 27ක් නවීකරණය කිරීම, මන්නාරම සහ අනුරාධපුර නිවාස ව්‍යාපෘති, හැටන් තොණ්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සහ පුස්සැල්ලාව සරස්වතී මධ්‍ය විද්‍යලය වැඩිදියුණු කිරීම, පොළොන්නරුවේ බහු - වාර්ගික ත්‍රෛයි භාෂා පාසලක් ඉදිකිරීම, යාපනය ප්‍රදේශයේ වර්ෂා ජලය රැස් කිරීමේ ව්‍යාපෘති 2889 ක් ඉදිකිරීම, දඹුල්ල ප්‍රදේශයේ එලවලූ සහ පළතුරු කල් තබා ගැනීම සදහා මෙට්‍රේක් ටොන් 5000 ක ධාරිතාවයෙන් යුත් ශිතාගාර පහසුකම් ඉදිකිරීම, මඩකලපුව ශික්ෂණ රෝහල සඳහා නව ශල්‍ය වෛද්‍ය ඒකකයක් ඉදිකිරීම යන ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ දේශීය කිරි කර්මාන්තය නඟා සිටුවීම සඳහා ඉන්දියාවේ ගුජරාට් සමුපකාර කිරි අලෙවි සම්මේලනය (අමුල් ව්‍යාපාරය) සහ ශ්‍රී ලංකාවේ කාගිල්ස් සමූහ ව්‍යාපාරය, ඉන්දීය ජාතික කිරි සංවර්ධන මණ්ඩලය සමග එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිත ඒකාබද්ධ ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට ද මෙහිදී එළැඹිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිකරගත් මෙම ගිවිසුම මගින් මෙරට පශු සම්පත් ක්ෂේත්‍රය නවීකරණය සඳහා අරමුදල් සැපයේ. ඒ අනුව, පළමු වසර 5 තුළ කිරි නිෂ්පාදනය 53% කින් ඉහළ නංවමින් වසර 15ක් තුළ ශ්‍රි ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කිරීම මෙම නව ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණයි.
ඒ යටතේ සතුන් සඳහා අවශ්‍ය උසස් තත්ත්වයේ ඖෂධ, ආහාර සහ තාක්ෂණික සහයෝගය ඇතුලු පහසුකම් සපයමින් දේශිය කිරි ගොවීන් ලක්ෂ 2ක් සවිබල ගැන්වීම අපේක්ෂා කෙරේ.
ඊට අමතරව පශු සම්පත් ක්ෂේත්‍රය ඩිජිටල්කරණය , කිරි ආශ්‍රිත අතුරු නිෂ්පාදනවල ගුණාත්මක භාවය වැඩි කිරීම වෙනුවෙන් නව තාක්ෂණය සඳහා ආයෝජනය සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන පහසු මිලට ලබා ගැනීමට අවස්ථාව හිමිවීම ඇතුළු ප්‍රතිලාභ රැසක් උදා වේ.
එසේම ඉන්දු - ශ්‍රී ලංකා සබඳතාවලට වසර 75ක් සැපිරීම නිමිත්තෙන් විශේෂ සමරු ලාංඡනයක් එළිදැක්වීමද අද සිදු විය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන ලේකම්වරුන් වන පුනීත් අග්‍රවාල්, ජේ. පී. සිං, ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යන්ජල් පාන්ඩේ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් රඝූ පුරි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටී අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන අය ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

විදෙස් වෛද්‍ය උපාධි මෙරට පිළිගැනීමට කැබිනට් අනුමැතිය !
මෙරට තුළ පුද්ගලික වෛද්‍ය උපාධි පිළිගැනීම සඳහා අවශ්‍ය නීතිමය විධිවිධාන පැනවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල විසින් ඒකාබද්ධව ඉදිරිපත් කරන යෝජනාවකට මෙම අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල අංක 1000 සීමාව දක්වා වන විදෙස් විශ්වවිද්‍යාල වලින් පිරිනමනු ලබන වෛද්‍ය උපාධි මෙරට පිළිගැනීමට හැකි වන පරිදි නීති සකස් කිරීමට නියමිතව ඇත.

ඊශ්‍රායලයට මෙරට ශ්‍රමිකයන් යැවීම තාවකාලිකව අත්හිටුවයි !
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින ගැටුම් හමුවේ, ඊශ්‍රාලයට රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යැවීම තාවකාලික ව අත්හිටුවීමට රජය තීරණය කළ බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අද (11) සඳහන් කළේය.
මේ අතර, දින 05ක් තිස්සේ පැවති ගාසා තීරයේ ගැටුම්වලින් මේ වනවිට දෙපාර්ශ්වයේම පුද්ගලයන් 2,200කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
ස්වාධීන වාර්තා අනාවරණ කරන්නේ, ඊශ්‍රායල හමුදා ජාත්‍යන්තර යුද නීතිය උල්ලංඝනය කරමින් ගාසා තීරය වෙත ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි.
මේ අතර, ගාසා සීමාව ආසන්නයේ පිහිටි, පසුගියදා සෙනසුරාදා හමාස් ප්‍රහාරවලින් වැඩි හානියකට ලක්වූ අෂ්කලෝන් නගරයට නැවතත් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල වී ඇත.

නසීර් වෙනුවට අලි සහිර් පාර්ලිමේන්තුවට !
නසීර් අහමඩ් ගේ මන්ත්‍රීධූරය අහිමිවීමෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රීධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා පත්කරන බවට සඳහන් ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (11) නිකුත් කරනු ලැබීය.
අලි සහීර් මවුලානා මඩකළපු දිස්ත්‍රික් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස ලයිස්තුවේ ඊළඟට සිටින අපේක්ෂකයාය.
මේ අනුව ඔහු කතානායකවරයා ඉදිරියේ ලබන සතියේ දිවුරුම් දීමට නියමිතය.
හිටපු පරිසර අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් ගේ එම මන්ත්‍රීධුරය පුරප්පාඩුවී ඇති බව දන්වමින් පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මැතිවරණ කොමිෂන් සභාවට පසුගිය (9) වැනිදා දැනුම් දුන්නාය.
පරිසර අමාත්‍ය නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය ගත් තීන්දුව නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 6 වැනිදා තීන්දු කළේය. ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසිවී ගියේ මේ අනුවය.

තවත් මන්ත්‍රීවරු 9 කට පාර්ලිමේන්තුව අහිමි කළ හැකි ද?
පරිසර අමාත්‍ය නසීර් අහමඩ් හට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමිවන ආකාරයට ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග පසුගිය සමයේ පැති මාරු කළ මන්ත්‍රීවරුන්ට ද ඉරණම අත්වෙයිද යන්න සම්බන්ධයෙන් දේශපාලන සහ නීති ක්ෂේත්‍රය තුළ දැඩි අවධානයක් යොමුව ඇත.
මේ ඒ සම්බන්ධයෙන් " තවත් මන්ත්‍රීවරු 9 කට පාර්ලිමේන්තුව අහිමි කළ හැකි ද? " මැයෙන් රජිත් කීර්ති තෙන්නකෝන් තැබූ සටහනකි.
තවත් මන්ත්‍රීවරු 9 කට පාර්ලිමේන්තුව අහිමි කළ හැකි ද?
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් පාර්ලිමෙන්තු මන්ත්‍රී නසීර් අහමඩ් ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව දේශපාලන පක්ෂ රැසක කැළඹිල්ලක් මතු කර තිබේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන පොදුජන එක්සත් පෙරමුණ, ශ්‍රී.ල.නි.ප., ස.ජ.බ., රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂය ඇතුළු කණ්ඩායම් රැසක මන්ත්‍රීවරු පක්ෂ මාරු කර සිටිති. ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර ද, මෙලෙසම අහෝසි විය හැකිය ද? යන්න බොහෝ දෙනා මතු කරන ප්‍රශ්නය කි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු මැතිවරණ පනත ට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉවත් කිරීමට නම් මුලික නිර්ණායක කිහිපයක් තෘප්තිමත් විය යුතුය. පළමුව, අදාළ පක්ෂයේ ව්‍යවස්ථාව මගින් පක්ෂ සාමාජිකයා සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට ශක්තිමත්, නිශ්චිත ප්‍රතිපාදනයක් පැවතිය යුතුය. දෙවැන්න, එම ප්‍රතිපාදනයකට අනුව, විධිමත් විනය ක්‍රියාමර්ග ගැනීමත්, ස්වභාවික යුක්ති නීතියට අනුව (නිදහසට කරුණු දැක්වීම් අවස්ථාව) ඔවුන්ට හිමිවී ඇති ද? යන්නය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, සිය පක්ෂ සාමාජිකයින් සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය විධිමත් ලෙස ව්‍යවස්ථාවෙන් ලේඛන ගත කර ඇති ප්‍රමුඛ පක්ෂය යි. එ.ජා.ප. ව්‍යවස්ථාව අනුව පක්ෂයට සමාජිකත්වය තහනම් කිරීම ඒක පාර්ශිකව වුව ද කළ හැකිය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපාදන මුස්ලිම් කොන්ග්‍රසය තරම් සවිමත් නැත. සජබ පිටු 32 ව්‍යවස්ථාව තුල එවැනි විධිමත් ප්‍රතිපාදනයක් ඇත්තේම නැති තරම් ය. ජවිපෙ ට සමාජිකත්වය සම්බන්ධයෙන් දැඩි තිරණ ගැනීමට ව්‍යවස්ථාව ඉඩ සලසයි. ශ්‍රීලනිප ව්‍යවස්ථාව මේ වන විට අධිකරණයේ ප්‍රශ්න කිරීමට ලක්ව ඇති බැවින් ඔවුනට සාමාජිකයින් ඉවත් කිරීම පහසු නැත.
පිටු 62 ක නසීර් අහමඩ් නඩු තීන්දුව තුලින් මතු වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය කර ඇති නම්, ඉවත් කිරීම අපහසු නොවන බවයි. මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 9 ක් හෝ ඒ ආසන්න ගණනකට විනය පරීක්ෂණ, නඩු විභාගයක් පැවැත්වෙමින් ඇත. නසීර් අහමඩ් අනුවම යමින් ඔවුන් සියළු දෙනා ද පක්ෂවලින් ඉවත් කිරීම, ඒනම් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට හැකියාව තිබේ ද?
එයට ‘ඔව්‘ සහ ‘නැත‘ යැයි උත්තර දෙකක් තිබේ. මේ ඒ පිළිබඳ විෂය මුලික විග්‍රහයකි.
ඉවත් කිරීමේ නෛතික ප්‍රතිපාදනය කුමක්ද?
1978 ව්‍යවස්ථාවේ 99 (13) වගන්තිය අනුව, ‘‘ඉල්ලා අස්වීමෙන් හෝ පහ කිරීමෙන් හෝ අන් කවර හේතුවක් නිසා හෝ නතර වූ අවස්ථාවක ....................‘‘ සිදු කළ යුතු ක්‍රියාමාර්ග දැක්වේ. මන්ත්‍රීවරයෙකු ඉවත් කිරීමේ එකම ප්‍රතිපාදනය මෙය යි.
99 (13) වගන්තියේ ව්‍යවහාරික නීතිය යුග දෙකකි. එහි පළමු වැන්න, පක්ෂ විනය කඩකල මන්ත්‍රීවරුන් ට අසුන් අහිමි කිරීමට දේශපාලන පක්ෂ සමත් වූ 1992 ට පෙර යුගය යි.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට (පළාත් සභා) විරුද්ධව ඡන්දය දීම නිසා, එජාපය චන්ද්‍රකුමාර විජේගුණවර්ධන (කඹුරුපිටිය), වත්මන් කථානායක මහින්ද යාපා අබේවර්ධන (හක්මන) පක්ෂයෙන් නෙරපනු ලැබීය. එදා, පක්ෂ නායක ජේ.ආර්.ජයවර්ධනගේ තීන්දුවට එරෙහිව පැවරූ නඩු වලින් (SC 50/87Spl සහ SC 51/87 Spl) පැරදුණු ඔවුන් ට මන්ත්‍රී ධූර අහිමි විය.
1988 මැයි 24 දින සම්මත වූ, 14 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් කේවල ඡන්ද කොට්ඨාශ ක්‍රමය වෙනුවට දිස්ත්‍රික් මනාප ඡන්ද ක්‍රමය හදුණ්වා දෙනු ලැබීය. එහි දී, අපේක්ෂකයෙකුට පමණක් නොව, මුලින් පක්ෂයකට ද ඡන්දය ලබාදීම සිදුවේ. මන්ත්‍රී ධූරය අයිති පක්ෂයට නැතිනම්, මන්ත්‍රීවරයාට ද, මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වයේ නියෝගයට අවනත විය යුතු ද? හෟර්ද සාක්ෂිය අනුව ඡන්දය දීම සඳහා මහජන නියෝජිතයින්ට අවස්ථාවක් නොමැති ද? යන සෛද්ධාන්තික තර්කය මතුවන්නේ 14 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුවය.
නීතිය, ව්‍යවහාර බුද්ධිය, නායකත්වය හා දෝෂාභියෝගය
ජනාධිපති ආර්.ප්‍රේමදාස ට විරුද්ධ දෝෂාභියෝගයට අත්සන් කළ ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක, ජී. ඇම්.ප්‍රේමචන්ද්‍ර අමාත්‍යවරුන් සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න, චන්ද්‍රා ගන්කන්ද, ප්‍රේමරත්න ගුණසේකර, සමරවීර වීරවන්නි, වින්සන්ට් පෙරේරා යන මන්ත්‍රීවරුන් 8 දෙනා, 1991.09.06 දින එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල තීරණයක් අනුව එජාපයෙන් නෙරපා හරිනු ලැබීය. නෙරපීමට එරෙහිව, දිසා අධිකරණයේ ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ ද නඩු (Dissanayake v. Kaleel SC (Special) Nos. 4 සිට 11/91 දක්වා) විභාග විය. එම නඩුව, පක්ෂ තහනම් කිරීම පිළිබඳ නෛතික තත්වය පිළිබඳ විශ්ව කෝෂයකි. විනිසුරු ප්‍රනාන්දු, වඩුගොඩපිටිය හා කුලතුංග විසින් ලබා දුන් නඩු තීන්දුව පිටු 248 කි.
‘‘පක්ෂ සාමාජිකත්වය නෙරපීම හිතු මනාපයට කළ නොහැකිය. යුක්තිය තිබිය යුතුයි. මන්ත්‍රීවරුන්ට තමන්ගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් දිය යුතුය. වරද කුමක් ද කියා චෝදනා පත්‍රයකින් දැන්විය යුතුය. උත්තර දීමට, නීතිඥ සහාය ලබා ගැනීමට, පැහැදිලි කිරීමට ඉඩ දිය යුතුය.‘‘ යන්න ගාමිණී නඩුවේ පදනමයි.
සමානුපාතික නියෝජනය තුල පක්ෂය ලැබෙන ඡන්ද සංඛ්‍යාව මත පක්ෂයට ලැබෙන ආසන සංඛ්‍යාව තීරණය වන බැවින්, පක්ෂ සාමාජිකත්වය අහිමි වූ විට මන්ත්‍රී ධූරය අහිමිවිය යුතු බව අනෙක් පස තර්ක වූවේය.
නඩුවෙන් ලලිත් - ගාමිණී කණ්ඩායම පරාජය වූවේ එජාපය ‘‘ස්වභාවික යුක්ති නීතිය අනුව කටයුතු කර තිබූ බව‘‘ තහවුරු කරන්නට එජාපය නීතිඥයින්ට හැකි වූ නිසාය.
ඇත්තම කථාව නම් එජාප නායකයින්, විනය පරීක්ෂණය සඳහා කැඳවීම් ලිපි ලියාපදිංචි තැපෑලට යොමු කළ බවට ලේඛන තිබූ නමුත්, ඒවා මන්ත්‍රීවරුන්ට ලැබී නොතිබුණි. (තැපෑලේ දී ලිපි අස්ථාන ගත කරනු ලැබීම එවකට මහ ලේකම් සිරිසේන කුරේ ගේ මෙහෙයුමකි)
ප්‍රේමදාස හමුවේ දණ ගැසු මන්ත්‍රීවරුන්ගේ ඉරණම
ආර්.ප්‍රේමදාස ට එරෙහිව දෝෂාභියෝගයක් අත්සන් කර පසුව තම අත්සන ඉවත් කර ගත්, ආරියරත්න ජයතිලක හා එස්.ඒ.මුතුබණ්ඩා ද, පක්ෂයෙන් නෙරපනු ලැබීය. නෙරපීම අභියෝගයට ලක් කර, ශ්‍රේෂ්ඨාධිිකරණයට ඉදිරිපත් වූ (මුතුබණ්ඩා එදිරි කලීල් SC 2/92 Spl) නඩුවේ පැමිණිල්ලේ නීතිඥවරු ලලිත් ඇතුළත්මුදලි ඇතුළු කණ්ඩායමකි. ජයතිලක, මුතුබණ්ඩා ගේ පෙත්සම නිශ්ප්‍රභා විය. අඛණ්ඩව අභියෝග කළෝ ද, අතරමැද දී දණ ගැසූවෝ ද එකම ඉරණම උරුම කර ගත්තෝය.
විපක්ෂයේ කැරළිකරුවන්ගේ ඉරණම
මේ කාලයේ ම (1993), ශ්‍රීලනිපයේ, ජිනදාස නියතපාල, ප්‍රදීප් හපන්ගම, තිලක් කරුණාරත්න, මර්වින් සිල්වා, හේමකුමාර නානායක්කාර ඇතුළු කණ්ඩායම මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද, පක්ෂ නායකත්වය නොතකා කටයුතු කළේය. ශ්‍රීලනිපයේ ඔටුන්න හිමි කුමාරයා, අනුර බණ්ඩාරනායක එජාපට එක් වී උසස් අධ්‍යාපන හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ධූරය දැරීය. ශ්‍රීලනිප මේ මන්ත්‍රීවරු නෙරපා දැමූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ගේ මන්ත්‍රී ධූර ආරක්ෂා කර දෙනු ලැබීය. ඔවුන් ට රැකවරණය ලැබුණේ, නෙරපා හැරීමේ ක්‍රියාවලියේ තිබූ දුබලතාවයන් ය.
1993 ශ්‍රීලනිප නඩුව, බණ්ඩාරගම ශ්‍රීලනිප සංවිධායක හා මන්ත්‍රී තිලක් කරුණාරත්න විසින් සිරිමා බණ්ඩාරනායක විරුද්ධවය. ‘ද අයිලන්ඩ්‘, 1993.01.24 දින ‘ලක්දිව‘, බීබීසී සම්මුඛ සාකච්ඡා මගින් ශ්‍රීලනිප විනය දැඩිව කඩ කළ බව චෝදනාව විය. 1993.05.31 දින තිලක් කරුණාරත්නගේ දිසා අධිකරණයෙන් තහනම් නියෝගයක් ගැනීමේ උත්සාහය සාර්ථක වූවේ නැත. නමුත්, විනය පරීක්ෂණවලට එරෙහිව අතුරු තහනම් නියෝග ගැනීමේ වත්මන් සුලබ ව්‍යවහාරයේ කේන්ද්‍රය තිලක් ගේ නඩුවයි. විනය ක්‍රියාමාර්ග ගැනීමේ දී නිසි ක්‍රමවේදය අනුගමනය නොකිරීම (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා සභාව වසර ගණනාවකින් පවත්වා තිබුණේ නැත) හේතුවෙන් තිලක් කරුණාරත්න නෙරපා හැරීම නීති විරෝධී බව අධිකරණය තීරණය කළේය.
ඒ අනුව පැහැදිලි වන්නේ, 1994 ට පෙර යුගයේ දී ද, ස්වභාවික යුක්ති නීතියේ පියවර අනුගමන කිරිම හෝ නොකිරීම, ශ්‍රේෂ්ඨාධිකරණයට ඒත්තු ගැනීමේ හැකියාව/නොහැකියාව මත මන්ත්‍රීවරුන් ඉවත් කිරීමේ හැකියාව/නොහැකියාව ස්ථාපනය වී ඇත.
ආචාර්ය විමල් වික්‍රමසිංහ සහ පුජ්‍ය ඇල්ලේ ගුණවංශ ඇතුළු කණ්ඩායමක්, සිරිසේන කුරේ එජාප හිටපු මහ ලේකම්වරයා ගේ ද මැදිහත්වීමෙන් ‘පුරවැසි පෙරමුණ‘ ලෙස වෙනම මැතිවරණයට ඉදිරිපත්වීමට 1999 දී සැලසුම් කෙරුණි. නමුත්, එම සාකච්ඡා පැවැත්වෙන අතර, එම කණ්ඩායමේ සරත් අමුණුගම, සුසිල් මුණසිංහ, නන්ද මැතිව්, විජේපාල මෙන්ඩිස්, චූල බණ්ඩාර, ස්ටැන්ලි කල්පගේ ඇතුළු 35 ක් දෙනෙකු ‘ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා‘‘ යැයි කියමින් චන්ද්‍රිකා ආණ්ඩුවට එක් විය.
‘‘පක්ෂයෙන් එලවීම සඳහා හේතු නොදැක්වීම, චෝදනා පත්‍රයක් නොමැතිවීම‘‘, හේතුවෙන් 1999 නොවැම්බර් මස එජාපය මන්ත්‍රීවරුන් පස් දෙනා පක්ෂයෙන් නෙරපීම නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය (SC SPL.(E) NO. 4/99) තීරණය කළේය. සරත් අමුණුගම සහ තවත් අයට එදිරිව කරු ජයසූරිය නඩුවෙන් පසුව කිසිදු අවස්ථාවක, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂවලින් ඉවත් කිරීම හා එමගින් ඔවුන්ගේ මන්ත්‍රී ධූර ඉවත් කිරීමට දේශපාලන පක්ෂ දැරූ උත්සාහයන් සාර්ථක වූයේ නසීර් අහමඩ් නඩු තීන්දුවෙනි.
මන්ත්‍රීවරයෙකු නෙරපා හැරීමේ ක්‍රමවේදය කුමක් ද?
දේශපාලන පක්ෂයක් සිය සමාජිකයෙකු නෙරපා හැරීමට ගනු ලබන තීරණය පක්ෂ මහ ලේකම් විසින් මැතිවරණ කොමිසමට දැනුම් දිය යුතුයි. එවිට මැතිවරණ කොමිසම ඒ බව අදාළ මන්ත්‍රීවරයාට ලිඛිතව දැනුම් දෙනු ලැබේ. මන්ද, පක්ෂ සමාජිකත්වය අහිමිවීම හේතුවෙන් අදාළ මන්ත්‍රීවරයාගේ ධූරය අහිමි වන බැවිනි. කෙසේ නමුත්, මැතිවරණ කොමිසම දින 21 යන තුරු අදාළ මන්ත්‍රීවරයා නෙරපා හරින්නේ නැත. නීති ප්‍රකාරව පක්ෂයේ තීරණයට එරෙහිව අදාල පක්ෂ මුලස්ථානය ස්ථාපිත දිසා අධිකරණයේ නියෝගයක් ලබා ගැනීමට සඳහා ඉඩ ප්‍රස්ථාව සැලසීම එහි අරමුණ යි. යම් මන්ත්‍රීවරයෙකු දින 21 ක් තුල දිසා අධිකරණයේ නඩු පවරන්නේ නැති නම්, මැතිවරණ කොමිසමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට උත්සක නොවන්නේ නම්, එම මන්ත්‍රීවරයා ඉවත් කරනු ලබයි.
දිසා අධිකරණයකින් අතුරු තහනම් නියෝග ලබා ගත හැකි නම්, තම ධුරය රැකගන්නට එවිට මන්ත්‍රීවරයාට හැකියාව ලැබේ.
ජනතා විමුක්ති පෙරමුණ - බුලේගොඩ නඩුව
ජවිපෙ දෙවැනි නැගිටීමෙන් පසුව, ශ්‍රී ලංකා ප්‍රගතිශිලී පෙරමුණ නමින් මැතිවරණයට ඉදිරිපත් වූ ජවිපෙ මන්ත්‍රී නිහාල් ගලප්පත්ති, පක්ෂයේ ලේකම් ආරිය බුලේගොඩ විසින් නෙරපනු ලැබුවා නොව, පන්නා දමනු ලැබූවේ ‘පක්ෂයේ සාමාජික ගාස්තු නොගෙවීම/ගෙවීම පැහැර හැරීම‘ චෝදනාව යටතේ ය. ගලප්පත්ති ගේ මන්ත්‍රී ධූරය අහිමි කිරීමට සුදානම් විට ශ්‍රේෂ්ඨාධිකරණයේ පනවනු ලැබූ ගලප්පත්ති ට එදිරි බුලේගොඩ නඩුවේ දී (1997 1 SLR 393) ද, ස්වභාවික යුක්ති මුලධර්මයට අනුව විධිමත් විමර්ශනයක් නොපැවැත්වීම, පෙත්සම්කරු ඇති චෝදනා පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොදීම මත නීති විරෝධී බව තීරණය විය.
18 ට සම්මත කිරීමට ‘දෑත් ශක්තිමත් කිරීම‘
ජනාධිපතිවරයාගේ අතට බලය ගොනු කරන 18 වන ව්‍යවස්ථා සංශෝධනය 2/3 ක බහුතරයක් ලබාදීම සඳහා එජාප මන්ත්‍රීවරු 7 දෙනෙකු මහින්ද රාජපක්ෂ රජයට ඡන්දය දුන්නේය. බදුල්ලේ ලක්ෂමන් සෙනෙවිරත්න, පොළොන්නරුව අර්ල් ගුණසකර, ගාල්ල මනූෂ නානායක්කාර, ගම්පහ උපෙක්ෂා ස්වරණමාලී, කුරුණෑගල නිමල් විජේසිංහ, මහනුවර අබ්දුල් කාදර් එම මන්ත්‍රීවරුන් ය. එජාප ය මෙම මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සමාජිකත්වය තහනම් කරනු ලැබූ නමුත්, මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට හැකි වූයේ නැත.
එක්සත් ජාතික පෙරමුණ නම් නාමික පක්ෂය (සැබෑ නම එක්සත් ජාතික පක්ෂය) යටතේ තරඟ කළ රවුෆ් හකීම් ඇතුළු ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රීවරු 8 ක් ද 18 සංශෝධනයට පක්ෂව ඡන්දය දුන්නේය. ඔවුන් කිසිවෙකුට විරුද්ධව එදා එජාපය විනය පියවර ගත්තේ නැත.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී පී.එච්. පියසේන ද 18 ට පක්ෂව ඡන්දය දුන්නේය. 2010 නොවැ. 28 දින ‘ඉලංගේ තමිල් අරසු කච්චි‘ පක්ෂය විනය විරෝධී කටයුතු හේතුවෙන් ඔහු ඉවත් කළේය.
පියසේන තමන් පක්ෂයෙන් නෙරපීමට විරුද්ධව යාපනය දිසා අධිකරණයේ (DC Jaffna case No. 38/2010 (Misc) නඩු පැවරූ නමුත් ඔහුට තහනම් නියෝගයක් ගැනීමට නොහැකි විය. තමන් පක්ෂයෙන් ඉවත් කිරීමට විරුද්ධව, පියසේන ශ්‍රේෂ්ඨාධිකරණයට SC Application Special [Expulsion] No. 03/2010) පෙත්සම ඉදිරිපත් කළ අතර, 2011 පෙබරවාරි 8 දින ද්‍රවිඩ ජාතක සන්ධානය විසින් පියසේන ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීම නිතී විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කල බැවින් මන්ත්‍රී ධූරය රැකුණේය.
හකීම් - රිෂාඩ් යුද්ධය
ස්වභාවික යුක්ති නීතිය, මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ තහනමට බලපාන ආකාර පිළිබඳ හොඳම උදාහරණය ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ අමීර් අලි, රිෂාඩ් බදුර්දීන් හා නජිම් ඒ මජීඩ් 2005 අප්‍රේල් 4 දින පක්ෂයෙන් නෙරපීම යි. ඉහත මන්ත්‍රීවරුන්, මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් විවේචනය කරමින් පක්ෂය වෙත ලිපියක් යැවීය. එම ලිපියේ විවේචණය නොඉවසූ හකීම් එයට පෙරළා උත්තර දුන්නේ ‘‘ඔබ වැරදියි. උතුරු නැගෙනහිර මුස්ලිම්වරුන්, ඔබ විසින් සිදු කළ ක්‍රියාවට සමාව දෙන්නේ නැත. පක්ෂය ඉදිරියේ දී සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇත්තේය, (“Finally I would like to remind that the Muslims of the north east will not pardon you for the treacherous act committed and the Party to o will take appropriate action against you in due course .”) යැයි කියමිනි.
පක්ෂය රිෂාඩ් ඇතුළු කණ්ඩායම නෙරපීමට විරුද්ධ ශිරානි බණ්ඩාරනායක ලියූ නඩු තීන්දුවේ දැක්වෙන්නේ විනය පරීක්ෂණයක් පැවැත්වීමටත් පෙර ‘‘ඔබ වැරදියි. මුස්ලිම් සමාජය පවා සමාව දෙන්නේ නෑ‘‘ යැයි පැවසීම තුලින් ‘‘නෙරපීමට පෙර ඔබ අදාළ මන්ත්‍රීවරුන් වැරදිකරුවන් බවට පූර්ව නිගමනයකට පැමිණ තිබූ බව යි. 02/2005, 03/2005, 04/2005 ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තුන එකට විභාග කොට අලී, රිෂාඩ්, මජීඩ් ගේ පක්ෂ තහනම නීත්‍යානුකුල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ සරත් එන් සිල්වා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල 2005 ජූලි 1 දින තීන්දු කරනු ලැබීය. මුස්ලිම් කොන්ග්‍රසයේ විනය කාර්ය පටිපාටියට අනුව, පක්ෂ සාමාජිකයෙකු ඉවත් කිරීමේ බලය ඇත්තේ පක්ෂයේ උත්තරීතර මණ්ඩලයට පමණී. එසේ තිබිය දී, පක්ෂ නායකයා වරද පිළිබද පූර්ව නිගමනයකින් කටයුතු කළ බව එම නඩුවේ ප්‍රමුඛ තර්කය වූවේය. නසීර් අහමඩ් නඩු තීන්දුවේ දී එදා තමන්ට වැරදුණු තැන, නීතියට අඩුව අඩුවක් නොවන සේ සපුරා ගන්නට මෙවර මුස්ලිම් කොන්ග්‍රසය සමත් වූවේය.
සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය බිහිවීම හා අමිර් අලී නඩුව
මුස්ලිම් කොන්ග්‍රසය හා විරසකවීමෙන් පසුව ඒ වන විටත් නීතිඥ හමිඩ් විසින් දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කර තිබූ දේශපාලනය ලෝකයේ ‘අනාගත රිෂාඩ් ගේ පක්ෂය‘ යැයි ඒ වන විටත් හදුන්වා දෙමින් තිබූ ‘‘සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සම්මේලනය සංවිධානය කෙරුණි. එහි මහ ලේකම්වරයා වූයේ වයි.එල්.එස්.හමීඩ් ය. පුත්තලමේ පැවති සම්මේලනයට රිෂාඩ් බදුර්දීන්, අමීර් අලී ඇතුළු ඒ වන විටත් මුස්ලිම් කොන්ග්‍රසයෙන් කටයුතු සඳහා සම්බන්ධකර නෙගෙන සිටි පිරිසට ආරාධනා කර තිබුණි. නමුත්, ඒ වන විට ඔවුන් පක්ෂයේ මුදල් ගෙවා සමාජිකත්වය ගත්තෝ නොවීය. පක්ෂ සම්මේලනයේ දී රිෂාඩ් බදුර්දීන් පක්ෂ නායකයා ලෙස ද, අමීර් අලී පක්ෂයේ සභාපති ලෙස ද නම් යෝජනා විය.
මුස්ලිම් කොන්ග්‍රසයේ සාමාජිකත්වය දරමින් සිටින අතරම, වෙනත් දේශපාලන පක්ෂයක් පිහිටුවීම පිළිබඳ රවුෆ් හකීම් ඒ වන විටත් පක්ෂය සමග විරසකව සිටි මේ මන්ත්‍රීවරුන්ගෙන් නිදහසට කරුණු විමසනු ලැබීය. අමීර් අලී, රිෂාඩ් උසාවිය ගියේය. පක්ෂයේ මහ ලේකම් ප්‍රකට නීතිඥ හමීඩ් එයට අපුරු උත්තරයක් දුන්නේය. එහි අර්ථය ‘‘රිෂාඩ්, අමීර් අලී ට පක්ෂයේ තනතුරු යෝජනා කෙරුණා. ඔවුන්ට පක්ෂ සාමාජික අයදුම්පත් බාරදුන්නා. ඔවුන්ට තනතුරු ලැබෙන්නේ පක්ෂ සාමාජිකත්වය ගත්තේ නම් පමණයි. නමුත්, ඔවුන් පක්ෂ සාමජිකත්වය ලබා ගැනීම ප්‍රතිකේෂප කළ බැවින් ඔවුන්ට තනතුරු ලබාදීම හෝ බාර ගැනීමක් සිදු නොවූ බව‘‘ ය. උසාවිය හමීඩ් ගේ දිවුරුම් ප්‍රකාශය පිළිගනු ලැබූවෙන්, එවර ද, හකීම් ට විරුද්ධ මුස්ලිම් සමාජයේ ප්‍රභලම අභියෝගය බවට පත් වූ රිෂාඩ් බදුර්දීන් පක්ෂයෙන් නෙරපීමට/එළවා දැමීමට/මන්ත්‍රී ධූර අහෝසි කිරීමට මුස්ලිම් කොන්ග්‍රස් නායකයාට හැකිවූවේ නැත.
මාතලේ දේශපාලන ප්‍රබලයෙකු වූ නන්දිමිත්‍ර ඒකනායක එජාපයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය. පසුව පක්ෂ මාරු කර පොදුජන පෙරමුණට එක් වී, පළාත් සභාවට බුලත් කොළය යටතේ නාම යෝජනා ලබාදුන්නේය. ඒ අතර, 2009 මැයි මස එජාප යේ මන්ත්‍රී ඇලික් අලුවිහාරේ මිය ගිය බැවින්, ලැයිස්තුවේ ඊලඟට සිටි නන්දිමිත්‍ර ට මන්ත්‍රී ධූරය හිමි විය. එජාපය නඩු ගියේය. තමන්ට නිදහසට කරුණු දැක්වීමට අවස්ථාවක් නොලැබූ බවට (ලියාපදිංචි තැපෑලෙන් කැඳවීම් ලිපියක් යොමු කර තිබූ නමුත්, එය තමන්ට නොලැබූණු බව අධිකරණයට ඒත්තු ගන්වන්නට හැකි විය.) වූ තර්කය මත ඒ් වන විට පොදුජන පෙරමුණේ සිටි නන්දිමිත්‍ර ට එජාප ලැයිස්තුවේ මන්ත්‍රී ධූරය ලැබුණි. ඔහු විපක්ෂයෙන් මන්ත්‍රී ධූරයේ දිවුරුම් දී එදිනම ආණ්ඩුවට එක් විය. එය පක්ෂ මාරු කිරීම පිළිබඳ අපූර්වතම නඩු තීන්දුවයි!
කෙහෙළිය, බෝගොල්ලාගම, මහින්ද සමරසිංහ එජාපයෙන් නෙරපීම
බෝගොල්ලාගම නඩුවේ දී, එජාප ව්‍යවස්ථාවේ 3.4 වගන්තිය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (13) අ වගන්තිය අතර ඇති පරස්පරය ගැන විනිසුරු ජයසිංහ ලියූ තීන්දුව සුවිශේෂි වේ. නිසි විනය පරීක්ෂණයකින් තොරව එජාපයෙන් නෙරපා ඇති බව තීරණය කළ නිහාල් ජයසිංහ, නිමල් දිසානායක, රාජා ප්‍රනාන්දු විනිසුරුවරුන් බොගොල්ලාගම ගේ පක්ෂ සාමජිකත්වය රැකදුන්නේය. එජාපයේ නීතිඥයින් එදා අධිකරණයට කීවේ බෝගොල්ලාගම මන්ත්‍රීවරයා ආණ්ඩුවට එක් වී ඇමතිධූර ලබා ඇති බැවින් ‘විනය පරීක්ෂණයක් නොපැවැත්විය යුතු බව‘ කියමිනි.
කෙහෙළිය නඩුව
2000, 2001, 2004 මැතිවරණවල දී මහනුවරින් වැඩිම මනාප ලැබූ කෙහෙලිය රඹුක්වැල්ල 2005 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එක් විය. කෙහෙළිය නඩුවේ දී (S.C. (EXPULSION) NO. 1/2006) තීන්දුව අගවිනිසුරු සරත් එන් සිල්වා 1978 අංක 2 දරණ අධිකරණ පනත 41 (2) වගන්තිය උපුටා දක්වමින් සිය තීන්දුව ප්‍රකාශ කර ඇත. විනය ක්‍රියාමාර්ග නිසි ලෙස සම්පූර්ණ නොවන්නේ නම්, මන්ත්‍රීවරයෙකු ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීම, පක්ෂයෙන් නෙරපීම කළ නොහැක්කක් බවට පොදු මතයක් ස්ථාපනය වූවේ කෙහෙළිය ගේ තීන්දුවත් සමඟ ය.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් 2018 ඔක්තෝබර් මස අගමැති මහින්ද රාජපක්ෂ දින 52 ආණ්ඩුවට එක්විය. ඔහු පක්ෂයෙන් ඉවත් කිරීමට ද, ද්‍රවිඩ ජාතික සන්ධානයට හැකි වූයේ නැත.
2007 පෙබරවාරි මස මංගල සමරවීර හා ශ්‍රීපති සුරිආරච්චි ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද රාජපක්ෂ ගේ නායකත්වය හා ගැටෙමින් අමාත්‍ය ධූර අහිමි කර ගනු ලැබීය. මන්ත්‍රීවරුන් විපක්ෂය සමඟ සමීප සබඳතා පවත්වමින් කටයුතු කළ නමුත් පක්ෂය ඔවුන් නෙරපා දැමීමට සැබෑ උත්සාහ කළේ නැත.
විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් 2008 දී ජනතා විමුක්ති පෙරමුණින් ඉවත් කිරීමට පක්ෂය තීරණය කල නමුත්, ඔවුන්ගේ ද මන්ත්‍රී ධූර අහිමි කිරීමට හැකි වූවේ නැත. විමල් ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම ජාතික නිදහස් පෙරමුණ ලෙස ඉන් පසුව ක්‍රියාත්මක විය.
මොහාන් ලාල් ග්‍රේරෝ ද දිසා අධිකරණය මගින් ලබාගත් තහනම් නියෝගයකින් මන්ත්‍රී ධූරය රැක ගැනීමට සමත්වූවේය.
නසීර් අහමඩ් නඩු තීන්දුවෙන් කියවෙන්නේ, පක්ෂ ව්‍යවස්ථාවට අනුව කටයුතු කරමින් මුස්ලිම් කොන්ග්‍රස් නායකත්වය පක්ෂයේ ක්‍රියාමාර්ග තීරණය කර ඇති බවත්, විධිමත් කාර්ය පටිපාටිය අනුගමනය කරමින් මන්ත්‍රීවරයා පක්ෂයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත් ය.
වර්තමානයෙන් අනාගතයට
නසීර් අහමඩ් නඩු තීන්දුවෙන් පසුව, දේශපාලන පක්ෂ කිහිපයක තවත් මන්ත්‍රීවරුන් කිහි දෙනෙකුටම අදාළ විනය පරීක්ෂණ, අධිකරණ ක්‍රියාමාර්ග ගැන පුළුල් අවධානයක් මේ වන විට යොමුව ඇත.
ශ්‍රීලනිප ව්‍යවස්ථාවේ නෛතික භාවය අධිකරණය මගින් විභාග කෙරෙමින් ඇති නිසා ද, සජබ පිටු 32 ක ව්‍යවස්ථාවේ සමාජිකයින් ඉවත් කිරීමේ ප්‍රතිපාදනයේ ඇති දුබලතාව නිසා ද, තවත් මන්ත්‍රීවරුන් පිරිසකට සිය අසුන් අහිමිවීමේ අවදානම අවමය.
ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ශක්තිමත් නොවන හා නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකරන, ස්වභාවික යුක්ති නීතියට පටහැනි ලෙස පක්ෂ ක්‍රියාකාර ඇති කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පක්ෂයෙන් නෙරපා හැරීම අධිකරණය මගින් මේ දක්වා කිසිදු අවස්ථාවක ඉඩ සලසා නැත.
රජිත් කීර්ති තෙන්නකෝන්

පාස්කු ප්‍රහාර සම්බන්ධ ජාත්‍යන්තර විමර්ශන වාර්තා කතෝලික සභාව ඉල්ලයි
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රබල රටවල රහස් පරීක්ෂක කණ්ඩායම් ලබා දී ඇති බවට විදේශීය මාධ්‍ය හමුවේ පැවසු වාර්තා තමන් වෙත ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවේ කතෝලික නායකත්වය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඔක්තෝබර් 6 වැනිදා යොමු කළ ලිපියක් මගින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව දන්වා සිටින්නේ ජර්මනියේ ‘ඩොයිෂ් වෙල’ (Deutsche Welle) මාධ්‍ය ආයතනය වෙත එම තොරතුරු හෙළි කරන තෙක් තමන් හෝ රට වැසියන් ඒ බැව් දැන නොසිටි බවයි.
"මධ්‍යම විමර්ශන කාර්යාංශය (FBI), බ්‍රිතාන්‍යය පොලීසිය, ඕස්ට්‍රේලියානු, ඉන්දියානු, චීන සහ පකිස්ථාන රහස් පරීක්ෂක කණ්ඩායම් එම ප්‍රහාරය පිළිබඳ වාර්තා ලබා දී ඇති බව ඔබතුමා එම සම්මුඛ සාකච්ඡාවේ වැඩිදුරටත් සඳහන් කරයි."
එකී ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තාවල පිටපත් ද තමන් සමඟ බෙදාගන්නේ නම් එය අගය කොට සලකන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ලෙස රදගුරු හිමිවරුන් 12 දෙනෙකු සහ සහයක රදගුරු හිමිවරුන් දෙදෙනෙකුගේ ද අත්සන් සහිතව යොමු කර ඇති ලිපිය මගින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සහා වාර්තාවේ සියලු වෙලුම් කතෝලික රදගුරු සමුළුව වෙත ලබාදීම පිළිබඳව ද ජනාධිපතිට ස්තුතිය පුද කර තිබේ.
“කතෝලික රදගුරු සංගමයේ ගරු සභාපති අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී හිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ වෙළුම් 88ක් සහ පිටු 48,909කින් යුතු සියලුම ලියකියවිලි 2023 අප්‍රේල් මස 20 වන දින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී හිමිපාණන්ට භාර දෙන ලදැ,” යි ජනාධිපති මාධ්‍ය ඒකකයද තහවුරු කර තිබුණි.
රදගුරු සමුළුව පවසන්නේ එම වෙළුම් සියල්ල අධ්‍යයනය කරමින් ඉන්නා බවයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව තමන් කාදිනල් හිමිපාණන් සමඟ ගනු දෙනු නොකරන බවත්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව සමඟ සාකච්ඡා කළ බවත් ජර්මනියේ ‘ඩොයිෂ් වෙල්’ මාධ්‍ය ආයතනය සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබුනි.
සභා නායකත්වයේ බෙදීමක් ඇතිබවක් අඟවන එම ප්‍රකාශය සම්බන්ධයෙන්ද ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව රනිල් වික්‍රමසිංහට දැනුම් දී ඇත්තේ කාදිනල් හිමිපාණන්, හුදකලා පුද්ගලයකු නොව, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව හා සමඟ පූර්ණ ලෙස බැඳුණු සහ වඩාත්ම වැදගත් සාමාජිකයකු බවයි.
"කාදිනල් හිමිපාණන්, කොළඹ අගරදගරු හිමිපාණන් ලෙස හුදකලා වු අයකු නොව, ශ්‍රී ලංකා කතෝලක රදගුරු සමුළුව හා සමඟ පූර්ණ ලෙස බැඳුණු සහ වඩාත්ම වැදගත් සාමාජිකයකු බව මෙහි ලා සඳහන් කළ යුතුය. එහෙයින්, ඔබතුමන් කාදිනල් හිමිපාණන් පිළිබඳව කරනු ලබන ඕනෑම සඳහනක් කතෝලික රදගුරු සමුළුවේ සාමුහිකත්වයට සිදුකරන හානියකි."
ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති, කුරුණෑගල රදගුරු හැරල්ඩ් ඇන්තනී පෙරේරා හිමිගේ සහ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ උප සභාපති, ත්‍රිකුණාමලය රදගුරු නොයෙල් ක්‍රිස්ටියන් එම්මානුවෙල් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියට ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ මහ ලේකම් සහ කොළඹ සහයක රදගුරු ජේ.ඩී.ඇන්තනී ජයකොඩි හිමි, කොළඹ, රදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමි, මහනුවර රදගුරු හා හලාවත අපෝස්තලික පරිපාලක රදගුරු දෙව්ශ්‍රිත වැලන්ස් මෙන්ඩිස් හිමි, අනුරාධපුර රදගුරු නෝබට් එම්. අන්ද්‍රාදි නි.ම.නි. හිමි, සා.බෙ.නි. හිමි හා රත්නපුර රදගුරු ක්ලීටස් සී. පෙරේරා හිමි, මන්නාරම් රදගුරු එම්මානුවෙල් ප්‍රනාන්දු හිමි, ගාල්ල රදගුරු රේමන්ඩ් කේ, වික්‍රමසිංහ හිමි, යාපනය රදගුරු ජස්ටින් බර්නාඩ් ඥානප්‍රගාසම් හිමි, මඩකලපුව රදගුරු ජෝශප් පොන්නයියා හිමි, බදුල්ල රදගුරු ජූඩ් නිශාන්ත සිල්වා හිමි, කොළඹ සහයක රදගුරු පී. ඇන්ටන් රංජිත් හිමි, කොළඹ සහයක රදගුරු මක්ස්වල් ජී. සිල්වා හිමියන්ද අත්සන් තබා තිබේ.

ඊශ්‍රායලයේ සිටින ශ්‍රි ලංකිකයින්ගේ තොරතුරු දැනගන්න දුරකථන අංක දෙකක්
ඊශ්‍රායලයේ සිටින ශ්‍රි ලංකිකයින් පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා දුරකථන අංක දෙකක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවරගෙන ඇත.
ඒ අනුව 0094716640560 වට්ස් ඇප් අංකය මගින් හෝ 1989 විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්ෂණික දුරකථන අංකය හරහා තොරතුරු ලබාගැනීමට හැකියාව ඇත.
මේවන විට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකිකයින් අටදහසක් පමණ සේවය කරන අතර ඉන් සියයට අනූවක් දෙනාම සාත්තු සේවා සැපයීම් වල නිරත වන බව ද වාර්තා වෙයි.

පරිසර අමාත්‍ය ධූරය හිස් වෙයි : වේකන්සි පුරවන්නේ කවුද ?
පරිසර අමාත්‍ය නසීර් අහමඩ්ගේ මන්ත්‍රී ධුරය අහෝසි වි ඇති බවත් ඒ අනුව අදාල පුරප්පාඩුව පිරවීම සඳහා කටයුතු කරන ලෙස දන්වමින් පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇති බව වාර්තා වෙයි .
වාර්තා වන ආකාරයට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ඊයේ (09) මෙම දැනුම්දීම සිදුකර ඇති අතර ඒ ඇත්තේ, නීතිපති දෙපාර්තුමේන්තුව මඟින් ලබා දුන් උපදෙස් අනුව ය.
ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකළපුව දිස්ත්‍රික් මනාප ලයිස්තුවේ මීළඟට සිටින අපේක්ෂකයා වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අලි සහීර් මවුලානා වන අතර පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට ඔහුව නම් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කරනු ඇත.
නව මන්ත්‍රීවරයා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද හෙටම නිකුත් කෙරෙණු ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි .
පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය ගත් තීන්දුව නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 6 වැනිදා තීන්දු කළේය.
මේ අතර පුරප්පාඩු වන පරිසර අමාත්‍ය ධූරය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ආණ්ඩුව පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සිටින බවත් වාර්තා වෙයි .

විදෙස් අමාත්‍යවරුන් දෙදෙනෙකු ජනාධිපති රනිල් හමුවෙයි !
ඉන්දියානු සාගර කලාපීය වටද්දර සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඈන්-මාරී ට්‍රෙවෙලියන් මහත්මිය (Anne-Marie Trevelyan) සහ දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර් (Dr. Naledi Pandor) අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡා පැවැත්වීය.
එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඈන්-මාරී ට්‍රෙවෙලියන් (Anne-Marie Trevelyan) පළමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය ඇතුළු මාතෘකා රැසක් පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක් විය.
සත්‍ය හා ප්‍රතිසන්ධානය පිළිබඳ පනත් කෙටුම්පත, මාර්ගගත ආරක්ෂණය පිළිබඳ පනත් කෙටුම්පත සහ ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඇතුළු ප්‍රධාන නීති සම්පාදන කටයුතුවලදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
ශ‍්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ සැලසුම් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී රාජ්‍ය අමාත්‍යවරිය දැනුවත් කළ අතර එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල ද මේ සඳහා එක්වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද පැවසීය.
අනතුරුව දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වූවාය.
සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමේ කටයුතු වැඩිදියුණු කිරීම සඳහා දකුණු අප්‍රිකාව ලබාදුන් සහයෝගය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී අමාත්‍යවරිය වෙත සිය කෘතඥතාව පළ කළ අතර නුදුරේදීම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, වසර අවසන් වීමට පෙර එය බලාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.
ඉන්දියානු සාගර කලාපීය වටද්දර සංගමයේ (IORA) අනාගතය පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාව සභාපතීත්වය දරනු ලබන කාලසීමාව තුළ ඉන්දියන් සාගරය පිළිබඳ තම දැක්ම වූයේ කලාපයේ අනන්‍යතාව ශක්තිමත් කිරීම බව සඳහන් කළේය.
සෑම වසර දෙකකට වරක් සාමාජික රටවල රාජ්‍ය නායක රැස්වීමක් පැවැත්වීමට තමා යෝජනා කරන බවත්, ඉන්දියන් සාගරයට තමන්ගේම දේශපාලන අනන්‍යතාවයක් පවතින බවත් ජනාධිපතිවරයා පැවසීය.
ඊශ්‍රායල - හමාස් ගැටුම සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊශ්‍රාලය සහ පලස්තීනය අතර සාමය තහවුරු කළ යුතු බවට අප්‍රිකානු සංගමය විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය සහාය පළ කරන බව ප්‍රකාශ කළේ ය.
දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව සමඟ ශ්‍රී ලංකාව සිය සහයෝගිතාව පුළුල් කර ගැනීමට අපේක්ෂාවෙන් පසුවන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කාන්තාවන් රකින වැදගත් පනත් 3ක් ළඟදීම !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙරට තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම සදහා ඉතා වැදගත් වන පනත් 03ක් ගෙන ඒමට කටයුතු සූදානම් කර තිබෙන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පැවසුවාය.
එසේම කාන්තාවගේ සමාජ සුරක්ෂිතතාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති රජය ඒ වෙනුවෙන් දිස්ත්‍රික් 10 ක් ආවරණය වන පරිදි කාන්තා රැකවරණ මධ්‍යස්ථාන ඉදි කිරීමට සැළසුම් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කළාය.
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (10) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මෙසේ ද පැවසීය,
වත්මන් රජය කාන්තාවන් සහ ළමයින්ගේ සමාජ සුරක්ෂිතතාව වෙනුවෙන් විශේෂ අවධානයකින් යුතුව කටයුතු කරනවා. ඒ සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ද ඉතා වැදගත් උපදෙස් සහ නිර්දේශ ලැබී තිබෙනවා.
මේ වනවිටත් කාන්තාවන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා පැය 24 පුරාවට ක්‍රියාත්මක 1938 දුරකතන අංකය හඳුන්වා දීමට අප කටයුතු කර තිබෙනවා. ඒ වගේම අනන්‍යතාවය හෙළි කිරීමකින් තොරව අත් හැර දමා යන දරුවන් ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් “ කවුළුව ” වැඩසටහන ද ක්‍රියාත්මක කර තිබෙනවා.
කාන්තාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඔවුන්ගේ සෞඛ්‍යය ආරක්ෂිත බව ඉහළ නැංවීම ද ඉතාම වැදගත් වනවා. ඒ සදහා ගනු ලබන පියවරක් ලෙස සනීපාරක්ෂක තුවා බදු අඩු කිරීම වෙනුවෙන් මැදිහත්වීමක් සිදුකිරීමට අප අමාත්‍යාංශය බලාපොරොත්තු වනවා.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීමේ වැඩසටහනක් ද ඉදිරියේදී ක්‍රියාවට නැගීමට නියමිතයි. ඒ යටතේ ඉතාමත් වැදගත් පනත් තුනක් ගෙන ඒමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතා පනත, කාන්තාවන් පිළීබඳ ජාතික කොමිෂන් සභා පනත සහ කාන්තාවන් සවිබලගැන්වීමේ පනත ක්‍රියාවට නැංවීමට කටයුතු කරනවා.
මෙම වැඩසටහන එක්සත් ජාතින්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වෙනවා. මෙම සමස්ත වැඩසටහන ඉදිරි පස් වසර (2024 - 2028) තුළ ක්‍රියාවට නැංවීමට නියමිතයි. ඒ යටතේ තරුණ කාන්තාවන්, වැන්දඹුවන්, බන්ධනාගාරගතවු පවුල්වල කාන්තාවන්, වතු අංශයේ කාන්තාවන්, අඩු ආදායම්ලාභී නාගරික කාන්තා ව්‍යවසායිකාවන් දිරිගැන්වීම සඳහා ස්වයං රැකියා යෝජනා ක්‍රම ද ක්‍රියාත්මක කෙරෙනවා.
ඒ වගේම දිස්ත්‍රික් 10 ක් ආවරණය වන පරිදි කාන්තා රැකවරණ මධ්‍යස්ථාන ඉදි කිරීමට අප කටයුතු කරනවා. මීට අමතරව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශය විසින් ළමුන් වෙනුවෙන් ද විශේෂ කාර්යයන් රැසක් මේ වන විට ක්‍රියාවට නගා ඇති බව කිවයුතුයි.
ගර්භනී සහ කිරිදෙන මව්වරු සඳහා මාස 10 කට රු. 45,000 පෝෂණ දීමනාවක් ලබා දීමේ වැඩසටහන මේවන විටත් ක්‍රියාත්මකයි.ඒ අනුව මාස 6 ක කාලයක් සඳහා සහ කිරිදෙන සමයේ මාස 04 ක් වශයෙන් මාස 10 ක් සඳහා අදාළ ප්‍රතිලාභය හිමි වනවා.
මීට අමතරව 2023 වර්ෂයේ දී පෙර පාසැල් ළමුන් සදහා උදෑසන ආහාර වේලක් ලබාදීම වෙනුවෙන් ද වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙන අතර, ඒ වෙනුවෙන් ඉලක්කගත දරුවන් ප්‍රමාණය 155,000 ක් වනවා .
ඒ වගේම “ගුරු අභිමානී” වැඩ පිළිවෙලට අනුව පෙර පාසල් ගුරුවරියන් සඳහා මාසිකව රු.2500/- ක දීමනාවක් ලබා දීමට ද කටයුතු කර තිබෙනවා.
ළමුන් හා කාන්තාවන්ගේ ගැටළු සඳහා මාසිකව දිස්ත්‍රික් මට්ටමින් රැස්වීම් පැවැත්වීම ද මේ වනවිටත් අප ආරම්භ කර එම කටයුතු සාර්ථකව සිදු වෙමින් පවතිනවා.
පෝෂණ ඌනතා හදුනාගනු ලැබූ මොණරාගල, ගාල්ල, මුලතිව්, අනුරාධපුර, නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්වලට අදාල පෙර පාසල් ළමුන් සඳහා අධි පෝෂණීය බිස්කට් ලබාදීමට අප කටයුතු කරනවා.
Page 147 of 464