2024දී සමස්ත අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණයට පියවර - අධ්‍යාපන ඇමති

2024දී සමස්ත අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණයට පියවර - අධ්‍යාපන ඇමති

සියලූ ශ්‍රේණි සඳහා වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ නියමු වැඩසටහන ලබන වසරේ දී ආරම්භ කරන බවත් දේශීය හා විදේශීය අනුග්‍රාහක පාර්ශවයන්ගෙන් ද සහාය ඇතිව සමස්ත අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය සඳහා පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත  පැවසීය.

ඉදිරියේ දී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේදීත් අ.පො.ස උසස් පෙළ විභාගය 12 ශ්‍රේණියේදීත් පැවැත්වීමට සැලසුම් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

2024 අයවැයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 237ක් වෙන් කර තිබෙනවා. ඒ වගේම පළාත් මට්ටමින් අධ්‍යාපනයට වෙන් කළ රුපියල් බිලියන 280ක් සමඟ මෙවර අයවැයෙන් අධ්‍යාපනයට රුපියල් බිලියන 517ක් පමණ වෙන් කර තිබෙනවා.

එසේම විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනික දියුණුව සඳහා විවිධ වැඩසටහන් සකස් කළා. සාමාන්‍ය දරුවන් ඉගෙන ගන්නා පන්ති කාමරවලට ඔවුන් ඇතුළත් කළ හැකි පරිදි අධ්‍යාපන ක්‍රමයත් අප ඉදිරියේදී හඳුන්වා දෙනවා.

බොහෝ දියුණු රටවල ජාතික ධනයෙන් විශාල කොටසක් නියෝජනය කරන්නේ STEAM අධ්‍යාපනය තුළින් ගොඩ නැගුණු මානව සම්පතක්. මෙරට පාසල් පද්ධතිය තුළ ද ඒ වෙනස ඇති කිරීම වෙනුවෙන් විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු, කලා සහ ගණිත ක්ෂේත්‍රයන් හරහා විධිමත් ප්‍රවේශයක් සිසු දරුවන්ට ලබාදිය යුතුයි. ඒ වෙනුවෙන් ප්‍රමුඛතාව ලබාදීමට අප පියවර ගනිමින් සිටිනවා.

සමස්ත අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණයට දේශීය හා විදේශීය අනුගාහක පාර්ශවයන්ගෙන් ද සහාය ඇතිව පියවර ගන්නවා. 1-5 සහ 6-9 මෙන්ම 10-13 ශ්‍රේණි වශයෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ නියමු වැඩසටහන ද ලබන වසරේ දී ආරම්භ කරනවා.

එමෙන්ම වයස අවුරුදු 21ට පෙර සරසවියෙන් පිටවීමට හැකිවන පරිදි සිසුන්ගේ පාසල් විභාග පැවැත්වෙන ශ්‍රේණි සංශෝධනය කිරීමට ද සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේ දී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේදීත් අ.පො.ස උසස් පෙළ විභාගය 12 ශ්‍රේණියේදීත් පැවැත්වීමට සැලසුම් කරනවා.

ඒ වගේම ඉදිරි වසර තුළ වතු පාසල් සංවර්ධනය වෙනුවෙන් ගුරුවරුන් 2535ක් බඳවා ගනිමින් ඔවුන් සඳහා පුහුණු අවස්ථා ලබාදීමට ද කටයුතු කරනවා.

වයස අවුරුදු 3-5 දක්වා වන මුල් ළමා විය සංවර්ධනය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ද අධ්‍යාපන අමාත්‍යාංශය ළමා ලේකම් කාර්යාලය, ජාතික අධ්‍යාපන ආයතනය හා යුනිසෙෆ් සංවිධානය සමඟ එක්ව සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම ගුරු අධ්‍යාපනඥ සේවය, ගුරු උපදේශක සේවා, ගුරු පුරප්පාඩු ඇතුළු අධ්‍යාපන සේවයේ දැනට පවතින සියලුම පුරප්පාඩු ද ලබන වසරේ පාසල් ආරම්භ කිරීමට පෙර පිරවීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න