නීති විද්‍යාලයේ පහසුකම් නැංවීමට ජනපතිගෙන් ඉඩමක් !

නීති විද්‍යාලයේ පහසුකම් නැංවීමට ජනපතිගෙන් ඉඩමක් !

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් රජය සතු ඉඩමක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

අද (06) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා විසින් මෙම එකඟතාවට එළැඹිණි.

2024 වර්ෂයට වසර 150ක් සපිරෙන ශ්‍රී ලංකා නීති විද්‍යාලය මඟින් ජනාධිපතිවරු තිදෙනෙකු බිහි වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී සිහිපත් කළේය.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ලබාදීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙහිදී පැවසීය.

නීති විද්‍යාලයේ පහසුකම් වැඩිදියුණු කිරීමට අදාළ සැලසුම් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් අතර මුල් අදියර සඳහා පර්චස් 40ක බිම් කොටසක් වෙන් කිරීමටත්, අදාළ සැලැස්මට අනුව අවශ්‍ය ඉතිරි ඉඩම් ප්‍රමාණය අධිකරණ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ලබා දීමටත් උපදෙස් දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය අතුල පතිනායක සඳහන් කළේ වසර 150ක ඉතිහාසය තුළ නීති විද්‍යාලයේ සිසුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් එක් බිම් අඟලක්වත් ලැබී නොමැති බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර කටයුතු කිරීම පිළිබඳ ස්තූතිවන්ත වන බවත්ය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් යන මහත්වරුන් ද නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ නීති විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.IMG 20231206 WA0006

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න