කොළඹ ලස්සන කරන වැඩේට සාගල මැදිහත් වෙයි !

කොළඹ ලස්සන කරන වැඩේට සාගල මැදිහත් වෙයි !

බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සකස් කළ වාර්තා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා මෙම දෙසැම්බර් 15 දිනට පෙර ලබා දෙන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සින් අදාළ ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

එසේම කොළඹ නගර අලංකරණ සැලැස්ම හා එහි වර්තමාන ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා කඩිනමින් ලබා දෙන ලෙස සාගල රත්නායක  අදාළ ආයතන ප්‍රධානීන්ට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

සාගල රත්නායක  මෙම උපදෙස් ලබා දුන්නේ කොළඹ නගර අලංකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම හා බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචනය වෙනුවෙන් ඊයේ (04) ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදීය.

බේරේ වැව ආශ්‍රිත මහජන ක්‍රියාකාරකම් සඳහා සංවර්ධනය කර භාවිතා කළ හැකි හඳුනාගත් ඉඩම් කොටස් පෞද්ගලික අංශයේද සහභාගීත්වයෙන් සංවර්ධනය කිරීම මෙන්ම බේරේ වැවට හරවන ලද මළ අපද්‍රව්‍ය නළ මාර්ග වළක්වාලීම සහ වැවේ බැක්ටීරියා හා ඇල්ගී ප්‍රතිශතය අවම කිරීමේ ව්‍යාපෘතියේ වර්තමාන ප්‍රගතිය ද මෙහිදී විමසා බැලීම සිදුවිය.

මේ වන විට ස්ථාන 03ක පිහිටි මධ්‍යම බස් නැවතුම්පොළ, කොටුව දුම්රිය ස්ථානයට යාබදව ස්ථානගත කර දැනට බස් නැවතුම්පොළ පිහිටි ඉඩම් වාණිජමය කටයුතු සඳහා පෞද්ගලික අංශය සමඟ එක්ව සංවර්ධනය කිරීම, කොළඹ නගරයේ පිහිටි අනාරක්ෂිත ගස් ඉවත් කර ඒ වෙනුවට සුදුසු ගස් වර්ග නැවත සිටුවීම, කොළඹ නගරයේ අත්හැර දමන ලද වල් බිහිවී ඇති ගොඩනැගිලි හඳුනාගෙන ඒවා නඩත්තු කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සැකසීම, කොළඹ නගරයේ රථ වාහන ධාවනය, මගීන් නංවාගැනීම හා නතර කිරීම සම්බන්ධව නියාමන සැලැස්මක් සැකසීම, වැසි ජලය බැසයාම ක්‍රමවත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

එමෙන්ම එළැඹෙන නත්තල් සමයේ කොළඹ නගරයේ තදබදය අවම කර ගැනීම සහ කළමනාකරණය සඳහා ශ්‍රී ලංකා පොලීසිය, කොළඹ මහ නගර සභාව හා වෙළෙඳ සංගම් ඒකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.

කොළඹ මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව සහ ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න