පුවත්

රාජ්‍ය සේවක වගකීම අගමැති පහදයි !
දේශපාලන මතභේද වාදයට පමණක් සීමා කළ යුතු බවත් දේශපාලන නායකත්වයට රාජ්‍ය සේවකයින්ගේ සහයෝගය ලබා දිය යුතු බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය, ‟අලුත් ගමක් – අලුත් රටක්″ ජාතික ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන, පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි .
එය පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය .
අපි දැවැන්ත විශ්වාසයකින් රට ගොඩගත්තා. කවුරු මොනවා කිව්වත් ඔබ ඒ විශ්වාසය තැබූවා. අපි වැටුණු බරපතළ පසුබෑමෙන් අද රට හිස ඔසවා තිබෙනවා. ලෝකයේ රටවල් අපිත් එක්ක ගණුදෙනු නැවැත්වූවා. බැංකු පද්ධතිය ගණුදෙනු නැවැත්වුවා. අමාරු අවස්ථාවල යළි විශ්වාසය දිනාගෙන ඒ අවස්ථා සමඟ ගණුදෙනු කරමින් රට පුළුල් තත්ත්වයකට, යහපත් තත්ත්වයකට ගෙනාවා. පුංචි පුංචි ගැටළු තිබුණාට අපි ප්‍රධාන වැටීමෙන් රට ගොඩ ගත්තා.
රජයේ සේවකයන්ගේ විශ්වාසය මතක් කරන්න ඕනේ. ඔබ උගත් බුද්ධිමත් තොරතුරු දන්න පිරිසක්. ග්‍රීසියට මොකද වුණේ. ආර්ථික පසුබෑමට ලක්වුණා. රජයේ සේවකයින් අඩු කළා. අපි එහෙම කළේ නැහැ. අපි විශ්‍රාම වැටුප් ගෙවීම් කළා. කිසිම දවසක වැටුප නැවැත්වූවේ නැහැ.
රටේ නිෂ්පාදනය වැඩි කරලා අතිරික්තයක් උපයන්න තරම් ගොවීන් අපට විශාල ශක්තියක් වුණා. මේ රට, ඒ වගේම ලෝකය අපිව විශ්වාස කළා. ඒ විශ්වාසය මත රටට ගොඩ යන්න පුළුවන් කියලා අද අපි දන්නවා. අපි ඒ දුෂ්කර කාලය පසු කරල ඔබේ ජනතාවට දරුවන්ට අනාගතය සකස් කළා. දේශපාලන මතභේද වාදයට පමණක් සීමා කළ යුතුයි. අපි ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන් ඉලක්ක ගත වැඩපිළිවෙළ ඉටු කිරීමට රාජ්‍ය නිලධාරියාට වගකීමක් යුතුකමක් තිබෙනවා.
ඒ නිසා රාජ්‍ය සේවකයින් විදියට විශාල හැකියාවක් වගකීමක්, යුතුකමක් තිබෙනවා. රාජ්‍ය සේවය දැනට කරගෙන යන සංවර්ධන ක්‍රියාවලියට සහ ඉදිරියේදී ඉලක්කගත සංවර්ධනයන් වලට දායක වෙන්න. මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වයට රාජ්‍ය සේවකයින්ගේ සහයෝගය ලබා දෙන්න කියලා.

‘නිදහස්’ පැරෂුට් අනතුරෙන් හමුදාවේ 4ක් රෝහල් ගත කරයි
නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී තුවාල ලබා රෝහල් ගතකළ බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පවසයි.
හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රසික කුමාර පැවසුවේ, එහිදී හමුදා සාමාජිකයින් දෙදෙනෙකු අසළ ගොඩනැගිල්ලකට හදිසි ගොඩබෑමක් කර ඇති අතර තවත් සාමාජිකයෙක් ගාලුමුවදොර පිටිය ආසන්නට හදිසි ගොඩබෑම සිදුකර ඇති බවයි.
සිද්ධියෙන් පසු හමුදා සාමාජිකයින් තුන්දෙනෙකු රෝහල් ගතකර ඇති අතර එක් අයෙකු යුද හමුදා රෝහලට ඇතුළත් කර ඇති බව හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් රසික කුමාර පැවසීය.

ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවමක්
රාජ්‍ය රහස් හෙළි කළ බවට චෝදනා එල්ල වූ පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවමක් නියම කර තිබේ.
2022 වසරේදී සිය විරුද්ධවාදීන් විසින් අගමැති ධූරයෙන් නෙරපා හරින ලද ඉම්රාන් ඛාන් දූෂණ චෝදනාවන්ට වරදකරු කර මේ වින විටත් වසර තුනක සිර දඬුවමක් විඳිමින් සිටියි.
මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, ඒවා දේශපාලන අරමුණු මුල් කරගෙන එල්ල වී ඇති බව ය.
ඉම්රාන් ඛාන්ගේ පකිස්තාන් ටෙරීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ උපසභාපති හිටපු විදේශ අමාත්‍ය ෂා මහමුද් කුරේෂිට ද වසර 10ක සිර දඬුවම් නියම කිරීමට ඔවුන් දෙදෙනා ම රඳවා සිටින රාවල්පින්ඩිහි අඩියාලා බන්ධනාගාරය තුළ පිහිටුවා ඇති විශේෂ අධිකරණය විසින් නියෝග කරනු ලැබ ඇත.

එජනිස මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වෙන්න : මහින්දට සහ තිලංගට මෛත්‍රී දන්වයි !
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර ට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ට, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (29) දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග මාර්ග පවසයි .
එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති හමුවකදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මේ දැනුම්දීම සිදුකර ඇත්තේ නව සන්ධානයක් ගොඩනැගීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම භාවිතා කිරිමට එහි ලේකම් ධූරය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් බලපාන බව පෙන්වා දෙමිනි.
මහින්ද අමරවීර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් දූරයේ කටයුතු කරමින් සිටියදී පක්ෂයේ මතයට පටහැනිව යමින් අමාත්‍ය ධූරයක් ලබා ආණ්ඩුවට එක්වූ බව පවසමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුව එම ධූරයෙන් ඉවත් කළ අතර ඒ වෙනුවට තිලංග සුමතිපාල පත්කිරීමට කටයුතු කළේය.
එහිදී ඊට එරෙහිව මහින්ද අමරවීර අමාත්‍යවරයා අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබූ අතර මහලේකම්වරු දෙදෙනාම පිළිනොගන්නා බවට මැතිවරණ කොමිසම දැනුම් දී ඇති බවද වාර්තාවේ.
අමාත්‍ය මහින්ද අමරවීර සහ තිලංග සුමතිපාල යන දෙදෙනාම ඉල්ලා අස්වීමේ යෝජනාවට එකඟව ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

ගෝඨාගේ ගෝලයකු වූ දයා සජිත්‍ට සමගි වෙයි !
හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක අද (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේගය හා එක්විය.
මෙරට 20 වන යුද හමුදාපති වූ ජනරාල් දයා රත්නායකගේ මේ දේශපාලන පිල්මාරුව සමග ඔහුට සමගි ජන බලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කළේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ පළමුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස පත්වීම් ලැබූ ජනරාල් දයා රත්නායක පසුව කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ලෙසද පත්වීම් ලැබීය.

චන්ද්‍රිකාගේ නායකත්වයෙන් අලුත් සන්ධානයක් !
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ නායකත්වයෙන් නව සංවිධානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අද (29) සාකච්ඡා කෙරුණු බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මෙම සාකච්ඡාව සිදුකෙරුණු බවද පැවසීය.
එසේම එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවට මෙම නව සන්ධානය පිහිටුවීමට නියමිත බවත් නව සන්ධානයේ ලකුණ ලෙස බුලත් කොළය වෙනුවට පුටුව යොදාගැනීමට අදහස් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

විශ්වවිද්‍යාල ඇදුරන් පිරිසකගෙන් කෝටි 132ක පොල්ලක් !
අධ්‍යන කටයුතු සඳහා විදේශගත වූ විශ්වවිද්‍යාල විසි එකක අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 514 දෙනකු බැඳුම්කර කඩකර රජයට රුපියල් කෝටි 132කට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මේ නිලධාරීන් උසස් අධ්‍යාපනය සඳහා වූ ආයතන සංග්‍රහයේ පස්වෙනි පරිච්ඡේදයෙහි 7වැනි වගන්තිය සහ 2018 දෙසැම්බර් 14 දිනැති අංක 2/2018 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛය අනුව වරදක් කර ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ 2022 වාර්ෂයේ වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
- lankadeepa

2024ට සහල් ඇටයක් ආනයනය කරන්නේ නෑ : අමරවීරගෙන් සහතිකයක් !
රට සහලින් ස්වයංපෝෂිත බැවින් 2024 වසර තුළ සහල් ආනයනය කිරීමට බලාපොරොත්තු නොවන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
එසේම 2024 වර්ෂයේදී වී, බඩ ඉරිඟු, අර්තාපල් සහ මිරිස් යන බෝග ජාතික අවශ්‍යතාවයේ ඉලක්කයට ළඟා වීම සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කිරීමට තීරණය කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මෙසේ ද පැවසීය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වශයෙන් මෙම වර්ෂය තුළ කෘෂි සහ වැවිලි කර්මාන්තයේ සංවර්ධනය උදෙසා ඉලක්කගත වැඩපිළිවෙළක් අප ආරම්භ කර තිබෙනවා.
2023 වසරේ මෙරට යල සහ මහ කන්නවල පොහොර මිලදී ගැනීම සඳහා මූල්‍ය සහනාධාර වෙනුවෙන් රුපියල් බිලියන 22ක ප්‍රමාණයක් අප වැය කළා. ඒ වගේම වී මිලදී ගැනීම සඳහා ද රජය විසින් රුපියල් බිලියන 13ක මුදලක් වැය කළා.
ඒ අනුව 2022 වර්ෂයේදී මෙරටට සහල් මෙට්‍රික් ටොන් 8ක් ආනයනය කළත්, 2023 වර්ෂයේදී සහල් ඇටයක්වත් ආනයනය කළේ නැහැ. සමස්ථ වර්ෂය පුරාම මෙරට ජනතාව පරිභෝජනය කළේ, අප රටේ ගොවි ජනතාව විසින් නිෂ්පාදනය කරන ලද සහල් බව කිව යුතුයි. අර්බුද මැද වුවත් මෙම වසර ද සහලින් ස්වයංපෝෂිත බැවින් මෙම වසර තුළ සහල් ආනයනය කිරීමට අප බලාපොරොත්තු වන්නේ නැහැ.
පසුගිය වර්ෂයේ නියඟයෙන් මෙන්ම, ගංවතුරෙන්ද වී වගාවට හානි සිදු වුණා. නියඟයෙන් අක්කර 65,000ක් සහ අධික වර්ෂාව නිසා අක්කර ලක්ෂයක් පමණ වී වගාවට හානි වී තිබෙනවා. නියඟය නිසා සිදු වූ වගා හානිවලට වන්දි ලබා දීමට රජය විසින් රුපියල් මිලියන 1,000ක මුදලක් වෙන් කළා. ඉන් දැනටමත් රුපියල් මිලියන 700ක් පමණ ගෙවා අවසන්.
ඒ වගේම එළවළු මිල ඉහළ යාමට හේතු වූයේ අධික වර්ෂාව නිසා මහා පරිමාණ එළවළු වගාවන් විනාශයි. ඇතැම් ගොවීන් කිහිප වතාවක්ම එකම ගොවිබිමේ එළවළු බීජ රෝපණය කළත් ඒවා වර්ෂාව නිසා විනාශ වී ගියා. නමුත් යම් තරමකට හෝ එළවළු වෙළඳපොලට පැමිණියේ අප විසින් ගොවීන්ට ලබා දුන් “නෙට් හවුස්වල” වගා කිරීමට කටයුතු කළ නිසයි. ඒ වගේම ඉදිරි මාස දෙක තුළ එළවළු මිල සාමාන්‍ය තත්ත්වයට පත්වන බව ද කිව යුතුයි.
2024 වර්ෂයේදී වී, බඩඉරිඟු, අර්තාපල් සහ මිරිස් යන බෝග වර්ග 4 නිෂ්පාදනය අපේ ජාතික අවශ්‍යතාවයේ ඉලක්කයට ළඟා වීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට තීරණය කර තිබෙනවා. නමුත් අනෙකුත් වගාවන් කිසිසේත්ම අධෛර්යමත් කරන්නේ නැහැ. ඒවා තවදුරටත් වගා කරන අතර මෙම බෝග වර්ග 4 අප ප්‍රධාන ඉලක්ක බවට කර ගෙන තිබෙනවා.
බී ළූණු වගා කිරීමත් සමඟ රතු ළූණු වගාව අඩාල වුණා. එම නිසා නැවත වතාවක් රතුළූණු ජනප්‍රිය කරවීමට අපි මෙම වසරේ කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව මොණරාගල තෙලුල්ල, යාපනය හා කුරුණෑගල මොරගොල්ලාගම, නියඳගම වැනි ප්‍රදේශවල රතු ළූණු වගාව ප්‍රචලිත කිරීමට අපි මේ වන විට තීරණය කර තිබෙනවා.
මීට සාපේක්ෂව වැවිලි ක්ෂේත්‍රයේ ද අපි වැදගත් තීරණ රැසක් මේ වසර තුළ ක්‍රියාත්මක කරනවා. ඉන් පළමුවැන්න අපි පසුගිය ජනවාරි පළමුවැනිදා සිට ආරම්භ කළා. ඒ අනුව තේ දළුවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා B60 ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළා.
ඒ වගේම තේ, රබර් සහ පොල් වගාවන් සඳහා රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් සහන මිලට පොහොර ලබා දීමේ වැඩපිළිවෙළක් ද අප ආරම්භ කරනවා. ඒ යටතේ තේ සඳහා සකස් කරන ලද විශේෂ පොහොර සහන මිලක් යටතේ ලබා දීම ද අද ආරම්භ කළා.
තේ වගාවේ අස්වැන්න ඉහළ නැංවීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වශයෙන් රජයට අයත් පොහොර සමාගම් දෙක වන කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම මගින් සියලුම තේ පොහොර නිෂ්පාදනය කිරීමට නිෂ්පාදනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
තත්ත්වයෙන් උසස් ගුණාත්මක භාවයෙන් ඉහළම තේ පොහොර රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් නිෂ්පාදනය කර තේ වගාකරුවන්ට ලබා දෙනවා. ඒ අනුව මෙම පොහොර වැට් සමග අලෙවි කෙරෙන මුදලට වඩා රුපියල් 2000ක් අඩුවෙන් අවම මිලක් යටතේ අපි තේ වගාකරුවන්ට ලබා දෙනවා. වෙළෙඳපළේ මිල හා සසඳන විට මෙම මිල අඩු කිරීම සියයට 50ක පමණ අඩු වීමක් බව කිව හැකියි.
ඒ අනුව T- 200 හා T- 750 තේ පොහොර මිටියක මිල රුපියල් 5500ක්, U- 709 හා U – 834 තේ පොහොර මිටියක මිල රුපියල් 7735ක් දක්වාත් අඩූ කරනවා. ඒ වගේම නිසි පරිදි පොහොර යෙදීම මෙන්ම නව වගා තාක්ෂණය අප තේ වගාවට ද හඳුන්වා දෙනවා.
තවද අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ මේ වනවිට ව්‍යාපෘති 59ක් ක්‍රියාත්මක කර තිබෙනවා. එම ව්‍යාපෘති 55ක් ඉතාම සාර්ථකයි. ඔවුන් අක්කරයකින් තේ දළු කිලෝග්‍රෑම් 1350ක් පමණ මාසයක නෙළා ගන්නවා. මේ වසරේදී අපි මිලියන 1000ක් මෙම ව්‍යාපෘතිය සඳහා යොදවනවා.
තේ පොහොර සහන මිලට සැපයීම සඳහා අද දිනයේ අත්සන් තැබුණු ත්‍රෛයිපාර්ශ්වීය ගිවිසුමකට අත්සන් තැබුවා. ඒ අනුව රජයට අයත් පොහොර සමාගම් දෙක සමඟ ශ්‍රී ලංකා තේ මණ්ඩලය හා කුඩා තේවතු සංවර්ධන අධිකාරිය ගිවිසුම් ගත වුණා. ශ්‍රී ලංකාවේ තේ වගාවේ අස්වැන්න ඉහළ නැංවීම සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙළට මෙම සහන මිලට පොහොර ලබා දීම මහත් රුකුළක් වන බව මම විශ්වාස කරනවා.
ඒ වගේම මෙවැනි පියවරක් ගැනීමට හැකි වුයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දූරදර්ශි දේශපාලන දැක්ම නිසා බවත් කිව යුතුයි. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශයට එක් නොකළා නම් කිසිසේත්ම මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්න ලැබෙන්නේ නැහැ.

ලෝරෙන්සෝ පුතා මුදවා ගනියි !
අරාබි මුහුදේදී අතුරුදන් වූ “ලොරෙන්සෝ පුතා 4” යාත්‍රාව ෂිසෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් බේරාගත් බව ශ්‍රි ලංකා රජය වෙත දැනුම් දී තිබේ.
මේ බව සීෂෙල්ස් නාවික හමුදාව විසින් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙත අද (29) නිල වශයෙන් දැනුම් දෙනු ලැබීය.
“ලොරෙන්සෝ පුතා 4” බහුදින ධීවර යාත්‍රාව පසුගිය ජනවාරි 12 වනදා ධීවරයන් 06 දෙනෙකු සමගින් දික්ඕවිට ධීවර වරායෙන් සිය මංගල මුහුදු ගමන අරඹා තිබිණ. එම යාත්‍රාව ගොඩබිමේ සිට නාවික සැතපුම් 1,160ක් දුරින් වු අරාබි මුහුදු ප්‍රදේශයේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බව ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.
ඒ අනුව අතුරුදන් යාත්‍රාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බහරේනයේ පිහිටි රටවල් 40කින් සමන්විත ඒකාබද්ධ සමුද්‍රීය බලකායට දැනුම් දෙනු ලැබීය.
ෂීසෙල්ස් වෙරළාරක්ෂක බලකාය “ලොරෙන්සෝ පුතා 4” බහුදින ධීවර යාත්‍රාව සොයා විශේෂ මෙහෙයුමක් දියත් කළ අතර එහිදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව තිබූ ධීවර යාත්‍රාව සොයා ගැනීමට ඔවුහු සමත් වූහ.
ඒ සමඟ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් 03 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව ෂිසෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් දැනුම් දී ඇති අතර “ලෝරෙන්සෝ පුතා 4” බහුදින ධීවර යාත්‍රවේ සිටි ධීවරයන් 06 දෙනා නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වූ බව ද දැනුම් දී ඇත.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගේ මගපෙන්වීමෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ අධීක්ෂණය යටතේ ධීවර යාත්‍රාව මෙරටට ගෙන ඒමේ මෙහෙයුම් දියත් කර ඇති අතර, මේ වන විට එය ෂීසෙල්ස්හි, වික්ටෝරියා වරාය වෙත ගෙන යමින් තිබෙන බව සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය වැඩිදුරටත් දැනුම් දී තිබේ.

පාසල් පාවහන් තිළිණ පත්වල වලංගු කාලය දිර්ඝ කරයි
පාසල් පාවහන් තිළිණ පත්වල වලංගු කාලය දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.
පාසල් සිසුන් වෙනුවෙන් රජය ලබා දුන් පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය 2024.02.01 දින අවසන් වීමට තිබිණි.
නමුත් එම කාලය 2024.02.17 දින දක්වා දීර්ඝ කර ඇති බව පාවහන් සැපයුම්කරුවන් හා ජනතාව වෙත අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි.

ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමති ධුරයේ දිවුරුම් දෙයි
වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (29) දිවුරුම් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි.

ICC ක්‍රිකට් තහනම ඉවතට
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ ක්‍රිකට් තහනම වහා ම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ.
ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මීට පෙර අවස්ථාවකදී සඳහන් කර තිබුණේ, එම තහනම නුදුරේදී ඉවත් වනු ඇති බවට ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් සිදුවන බව පවසමින් පසුගිය වසරේ නොවැම්බර් මස 11 වන දා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගනු ලැබිණි.

ජනපති ගාලු සාහිත්‍ය උළෙලේ නිරීක්ෂණ චාරිකාවක
2024 ගාලු සාහිත්‍ය උළෙලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (27) ගාල්ල කොටුවේ දී සහභාගී විය.
ලොව පුරා කීර්තිමත් කතුවරුන්, සාහිත්‍යකරුවන්, මාධ්‍යවේදීන් සහ ප්‍රකාශකයන් එක්වන මෙරට පැවැත්වෙන ප්‍රධානම ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල වන ගාලු සාහිත්‍ය උළෙල මෙවර පැවැත්වෙන්නේ වසර කිහිපයකට පසුව වීම විශේෂත්වයකි.
ගාල්ල සහ කොග්ගල ප්‍රදේශවලට දෙස් විදෙස් සංචාරකයන් සැලකිය යුතු පිරිසක් ආකර්ශනය කර ගනිමින් ජනවාරි 25 වැනිදා ආරම්භ වූ ගාලු සාහිත්‍ය උළෙල අදින් අවසන් වේ.
https://www.newstube.lk/news?mdrv=www.newstube.lk&start=2268#sigProId517523bbe6

ලන්සලාගේ සන්ධානය ජා ඇල රැලියෙන් වැඩ අල්ලයි !
ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්’ තේමාව කරගත් නව සන්ධානයේ මංගල ජන රැළිය ජා ඇල නගරයේදී ඊයේ (27) පැවැත්විණ.
නව සන්ධානයේ මංගල ජන රැළියට නව සන්ධාන මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, නව සන්ධාන ගම්පහ දිස්ත්‍රික් නායක නලින් ප්‍රනාන්දු, ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ, මීගමුව හිටපු නගරාධිපති දයාන් ලාන්සා, සුගීෂ්වර බණ්ඩාර, අසංක ශ්‍රීනාත් ඇතුළුව පළාත් සභාල පළාත් පාලන නියෝජිතයින් රැසක්ද සහභාගීවී සිටියහ.
මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්, වෘත්තිය සමිති නායකයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, කලාකරුවන්, නීතිඥවරුන්, වෘත්තීයවේදීන් ඇතුළු ආධාරකරුවන්ද මෙම අවස්ථාවට එක්ව සිටිනු දක්නට ලැබිණ .
ජා ඇල ආසනයේ පොදුජන පෙරමුඛණ පලාත් පාලන ආයතන මන්ත්‍රිවරුන් 16 දෙනෙකු සහ නව සන්ධානයට සහාය දෙන වෘත්තීය සමිති 7ක් ද එක්ව සිටියහ.
2015 වසරේ ඇරඹි මහින්ද සුළඟ ජනරැළි වේදිකාවේ ප‍්‍රධාන නිවේදක ලෙස කටයුතු කරන ලද නිවේදකයා මෙම රැළියේද ප්‍රධාන නිවේදක ලෙස කටයුතු කිරීම විශේෂත්වයකි.

රොෂාන්ගේ අතුරු කමිටු දෙකක් හරීන් විසුරුවයි !
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පත්කළ ක්‍රීඩා අතුරු කමිටු දෙකක් විසුරුවා හරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා අතුරු කමිටු දෙක මෙලෙස විසුරුවා හැර ඇත.
1973 අංක 25 දරණ ක්‍රීඩා පනත සහ වලංගු ක්‍රීඩා නියෝගවලට අනුව නීත්‍යානුකුල නිල කාලය අවසන් වී නැවත නිලවරණය පැවැත්වෙන තෙක් මීට පෙර පැවති නිලධාරී මණ්ඩලය වෙත අදාළ සංගම්වල කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑමට බලය පවරණ බවද අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ජනාධිපති අරමුදලෙන් පිරිනැමෙන ශිෂ්‍යත්ව මුදල ඉහළට !
2021 (2022) වර්ෂයේදී පවත්වන ලද අ.පො.ස (සා.පෙළ) විභාගයට පළමු වරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උසස් පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මඟින් පිරිනමන ශිෂ්‍යත්ව දීමනාව 2024 පෙබරවාරි මස සිට රුපියල් දහසකින් වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ.
ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් කරන ලද ඉල්ලීම පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දී ඇත.
ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම වෙසෙන ඉගෙනීමට දක්ෂ, නමුත් ආර්ථික දුෂ්කරතා ඇති දරු දැරියන් හඳුනාගෙන ඔවුන්ගේ ඉදිරි අනාගතය යහපත් කිරීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගේ මගපෙන්වීමෙන් ජනාධිපති අරමුදල විසින් ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
2021/2022 වසරට අදාළව ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ ජනාධිපති අරමුදල විසින් ශිෂ්‍යත්වලාභීන්ට මේ වන විට මාසිකව රුපියල් 5,000ක දීමනාවක් ගෙවනු ලබන අතර මෙතෙක් මාසික වාරික 10ක් ගෙවා ඇත.
ඒ අනුව ශිෂ්‍යත්ව මුදල ඉහළ නැංවීමත් සමඟ 2024 පෙබරවාරි මාසයේ සිට අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින තෙක් අදාළ ශිෂ්‍යත්වලාභීන් වෙත රුපියල් 6,000ක මාසික දීමනාවක් සැම මසකම පළමු සතිය තුළ ජනාධිපති අරමුදල වෙතින් පිරිනැමෙනු ඇත.
එසේම 2022/2023 වර්ෂයට අදාළව අ.පො.ස. සා/පෙළ ඉහළින් සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5000ක් තෝරාගෙන එම සිසුවා/සිසුවිය අ.පො.ස. උ/පෙළ විභාගයට පෙනී සිටින තෙක් මාසිකව රු. 6000ක මුදලක් ප්‍රදානය කිරීමට ද ජනාධිපති අරමුදල මේ වන විට කටයුතු කරමින් පවතී. ඒ අනුව ශ්‍රී ලංකාවේ සියලු පළාත් ආවරණය වන පරිදි කලාප මට්ටමින් මේ වන විට තෝරාගැනීම් සිදු කරනු ලබන අතර තෝරා ගැනීම් අවසන් වූ වහාම අදාළ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට අපේක්ෂා කෙරේ.
මීට අදාළව ඉදිරියේදී යාවත්කාලීන කරනු ලබන තොරතුරු කඩිනමින් දැන ගැනීම සඳහා ජනාධිපති අරමුදලේ නිල ෆේස් බුක් පිටුව www.facebook.com/president.fund හා නිල යූ ටියුබ් නාළිකාව www.youtube.com/@PresidentsFund like/follow හා subscribe කර තබාගන්නා මෙන්ද www.presidentsfund.gov.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ තොරතුරු ලබාගත හැකි බව ද ජනාධිපති අරමුදල වැඩිදුරටත් දැනුම් දෙයි.

දිලිත් දිගටම අනුරගේ එල්ලෙයි !
තමන් හා සංවාදයකට පැමිණ ලෙස නැවතත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ට ආරාධනා කරන බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවීර සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ මව්බිම ජනතා පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.
පුද්ගලික ජීවිතය ගැන හෝ පක්ෂයට අරමුදල් ලැබෙන ආකාරය ගැන ප්‍රශ්න නොකරන බවත් පැවසූ දිලිත් ජයවීර තමන්ගෙන් ඕනෑම පුද්ගලික ප්‍රශ්නයක් හෝ ව්‍යාපාර ගැන ප්‍රශ්නයක් ඇත්නම් විමසීමට කිසිදු බාධාවක් නැති බවද පැවසීය.
තමන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මිතුරන් වන නමුත් අනුර දිසානායක සහ ජනාධිපතිවරයා ඊටත් වඩා මිත්‍රයන් බවද ඔහු සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට දඬුවම් දෙනවා : ජුනි 30 වන විට පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරමත් මඩිනවා - ටිරාන්
පරීක්ෂණ අවසානයේ කවුරුන් වැරදි කරු වුවත් කිසිඳු තරාතිරමකින් තොරව පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබා දෙනවා.” යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.
ජුනි 30වන විට රට තුල මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්පුර්ණයෙන්ම මැඩ පැවැත්වීමේ ඉලක්කය පොලිසිය වෙත බාරදී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මේ අදහස් දක්වා සිටියේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පැවති විශේෂ වැඩමුළුවකදී ය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
“මෙම අමාත්‍යංශය භාර ගන්නා අවස්ථාවේ රට තුල පැවති අර්බුදකාරී තත්වය මැඩ පැවැත්වීමේ අභියෝගය කෙටි කාලයක් තුල ජය ගැනීමට අපට හැකි වුණා.ඉන්පසු මගේ අරමුණ වූයේ රට මත්ද්‍රව්‍ය සහ පාතාල අපරාධ වලින් නිදහස් කර ගැනීමත්, රටේ දරු පරපුර සහ කාන්තාවන් ආරක්ෂා කර ගැනීම. අප යුක්තිය මෙහෙයුම ආරම්භ කලේ එම අරමුණ වෙනුවෙන්. දීර්ඝ කාලයක් අප මේ පිලිබඳ අධ්‍යයනය කර අවශ්‍ය සැලසුම් සකස් කළා. ඒ අනුව පසුගිය දෙසැම්බර් මාසයේ දකුණු පළාතෙන් මෙම මෙහෙයුම ආරම්භ කරනු ලැබුවා.
ඉන්පසුව මේ වන විට රටේ මත්ද්‍රව්‍ය අලෙවි කළ සහ අපරාධකරුවන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට පත්ව සිටිනවා. ඇතැමෙක් සැඟවී තිබෙනවා.ඒ අතරින් සමහරක් අප අතරම සිටින අය.ජුනි 30වන විට රට තුල මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්පුර්ණයෙන්ම මැඩ පැවැත්වීමේ ඉලක්කය අප පොලිසිය වෙත ලබා දී තිබෙනවා. කවුරුන් ඊට බාධා කලත් මෙම මෙහෙයුම නතර කරන්නේ නැහැ. කිසිඳු බයකින් හෝ සැකයක් තොරව තම ප්‍රදේශවල තොරතුරු අප වෙත ලබා දෙන ලෙස මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අප කටයුතු කරනවා. ජීවිතය පරදුවට තබා හෝ මේ උවදුර තුරන් කරන්නට එක්වන ලෙස මා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
ඒ අතරම මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත පිළිබඳ අප ඉදිරිපත් කලා. සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවන්ට හා දරුවන්ට සිදුවන පීඩාවන් මැඩ පැවැත්වීම එහි මූලික අරමුණයි. සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ආකාරයේ මුදල් වංචා රැසක් වාර්තා වනවා. එය වැලක්වීමද එහි තවත් අරමුණක්. නමුත් බොහෝ දෙනා මේ පිලිබඳ වැරදි අවබෝධයකින් අප විවේචනය කිරීමදක්නට ලැබෙනවා. මේ බොහෝ දෙනෙක් වෙනුවෙන් මුදල් වියදම් කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්. එලෙස කවර අපහාස සිදු කලත් ආරම්භ කළ මෙහෙයුම අවසන් කර මිස අප නවතින්නේ නැහැ.
මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධව අප කළ ප්‍රකාශ සම්බන්ධව අගරදගුරුතුමා ද ඒ පිලිබඳ විවේචන සිදුකර තිබෙනවා. නමුත් මට අවශ්‍ය වන්නේ සියලු කතෝලිකයින්ට සාධාරණය ඉටු කිරීමයි.ඊට සහාය දෙන ලෙස අගරදගුරු හිමියන්ගෙන් සහ කතෝලික සභාවෙන් ද මා ඉල්ලීමක් සිදු කරනවා. අප සතුව නොමැති යම් තොරතුරක් ඔවුන් සතුව තිබෙනවා නම් ඒවාද අප වෙත ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා. එම පරීක්ෂණ අවසානයේ කවුරුන් වැරදි කරු වුවත් කිසිඳු තරාතිරමකින් තොරව උපරිම දඬුවම් ලබා දෙන බවට මා කිතුනු ප්‍රජාවට පොරොන්දු වෙනවා.
මේ ඉලක්කයන් ජයගෙන පවතිනවාට වඩා යහපත් රටක් බිහි කිරීමට අපට හැකි වනු ඇති බව මා විශ්වාස කරනවා.”
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක , වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ප්‍රජා පොලිස් කමිටු සාමජිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
Page 127 of 483