රාජ්‍ය සේවක වගකීම අගමැති පහදයි !

රාජ්‍ය සේවක වගකීම අගමැති පහදයි !

දේශපාලන මතභේද වාදයට පමණක් සීමා කළ යුතු බවත් දේශපාලන නායකත්වයට රාජ්‍ය සේවකයින්ගේ සහයෝගය ලබා දිය යුතු බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය, ‟අලුත් ගමක් – අලුත් රටක්″ ජාතික ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන, පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි .

එය පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය .

අපි දැවැන්ත විශ්වාසයකින් රට ගොඩගත්තා. කවුරු මොනවා කිව්වත් ඔබ ඒ විශ්වාසය තැබූවා. අපි වැටුණු බරපතළ පසුබෑමෙන් අද රට හිස ඔසවා තිබෙනවා. ලෝකයේ රටවල් අපිත් එක්ක ගණුදෙනු නැවැත්වූවා. බැංකු පද්ධතිය ගණුදෙනු නැවැත්වුවා. අමාරු අවස්ථාවල යළි විශ්වාසය දිනාගෙන ඒ අවස්ථා සමඟ ගණුදෙනු කරමින් රට පුළුල් තත්ත්වයකට, යහපත් තත්ත්වයකට ගෙනාවා. පුංචි පුංචි ගැටළු තිබුණාට අපි ප්‍රධාන වැටීමෙන් රට ගොඩ ගත්තා.

රජයේ සේවකයන්ගේ විශ්වාසය මතක් කරන්න ඕනේ. ඔබ උගත් බුද්ධිමත් තොරතුරු දන්න පිරිසක්. ග්‍රීසියට මොකද වුණේ. ආර්ථික පසුබෑමට ලක්වුණා. රජයේ සේවකයින් අඩු කළා. අපි එහෙම කළේ නැහැ. අපි විශ්‍රාම වැටුප් ගෙවීම් කළා. කිසිම දවසක වැටුප නැවැත්වූවේ නැහැ.

රටේ නිෂ්පාදනය වැඩි කරලා අතිරික්තයක් උපයන්න තරම් ගොවීන් අපට විශාල ශක්තියක් වුණා. මේ රට, ඒ වගේම ලෝකය අපිව විශ්වාස කළා. ඒ විශ්වාසය මත රටට ගොඩ යන්න පුළුවන් කියලා අද අපි දන්නවා. අපි ඒ දුෂ්කර කාලය පසු කරල ඔබේ ජනතාවට දරුවන්ට අනාගතය සකස් කළා. දේශපාලන මතභේද වාදයට පමණක් සීමා කළ යුතුයි. අපි ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන් ඉලක්ක ගත වැඩපිළිවෙළ ඉටු කිරීමට රාජ්‍ය නිලධාරියාට වගකීමක් යුතුකමක් තිබෙනවා.

ඒ නිසා රාජ්‍ය සේවකයින් විදියට විශාල හැකියාවක් වගකීමක්, යුතුකමක් තිබෙනවා. රාජ්‍ය සේවය දැනට කරගෙන යන සංවර්ධන ක්‍රියාවලියට සහ ඉදිරියේදී ඉලක්කගත සංවර්ධනයන් වලට දායක වෙන්න. මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වයට රාජ්‍ය සේවකයින්ගේ සහයෝගය ලබා දෙන්න කියලා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න