V2025

පුවත්

ජනපති නියමයෙන් නව අමාත්‍යාංශ ලේකම්වරුන් 10ක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අමාත්‍යංශ 10ක් සඳහා නව අමාත්‍යංශ ලේකම්වරුන් දස දෙනෙකු සහ පළාත් 2ක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මෙම පත්වීම් 2024 ජනවාරි මස 1 වන දින සිට ක්‍රියාත්මක කෙරෙන බව ය.

ඒ අනුව, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් ධූරයට ඒ. සී. මොහොමඩ් නෆීල් ද, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පලන අමාත්‍යංශ ලේකම් ධූරයට ඩබ්. පී. පී. යසරත්න ද, වාරිමාර්ග අමාත්‍යංශ ලේකම් ධූරයට සමන් දර්ශන පාඬිකෝරාල ද පත් කර ඇත.

තව ද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධූරයට වසන්තා පෙරේරා ද, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් ධූරයට එන්. එම්. රණසිංහ ද, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ධූරයට ගුණදාස සමරසිංහ ද පත් කර තිබේ.

ඊට අමතරව, පරිසර අමාත්‍යංශයේ ලේකම් ධූරයට බී. කේ. පී. චන්ද්‍රකීර්ති ද, විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ධූරයට ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන ද, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ධූරයට ඉංජි. රංජිත් රූබසිංහ ද, තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ධූරයට ධර්මශ්‍රී කුමාරතුංග ද පත් කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ලෙස ආර්. එම්. ඩබ්. එස්. සමරදිවාකර ද, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස එස්. එල්. ඩී. කේ. විජයසිංහ ද පත් කරනු ලැබ ඇති බව ය.

යළි මුව ආවරණ පළඳින්නැයි ඉල්ලීමක්

ඉන්දියාවේ මේ දිනවල පැතිරෙමින් පවතින නව කොවිඩ් ප්‍රභේදය සහිත රෝගීන් ශ්‍රී ලංකාව තුළ ද සිටීමට ඉඩ ඇති බවට තමා විශ්වාස කරන බැවින් හැකිතාක් මුව ආවරණ යළි භාවිතා කරන ලෙසට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර  පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ඉන්දියාවේ සිදු කළ පරීක්ෂණයක දී 30%ක් ආසාදිතයන් ලෙස පැය 24ක් තුළ හඳුනාගෙන ඇති අතර එය Omicron හි JN.1 උප ප්‍රභේදය නිසා සිදු වූවක් බව ඔප්පු වී ඇති බවයි.

කොවිඩ් විශේෂ, සෙම්ප්‍රතිශ්‍යාව තරම් සරල නොවන බවත්, මිනිසුන් දැඩි ලෙස රෝගාතුර විය හැකි බවත්, හෘදයාබාධ, ආඝාත සහ මානසික සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ වැඩි අවදානම ඇතුළු දිගුකාලීන බලපෑම් ද ඇති කළ හැකි බවත් සඳහන් කළ මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියේ හැකිතාක් ආරක්ෂාකාරී වීම වැදගත් බවයි.

ශ්‍රී ලංකාව තුළ පරීක්ෂණ සිදු කිරීම අවම මට්ටමක පැවතීම නිසා රෝගීන් සමාජය තුළ සිටින්නේ ද නැද්ද යන්න පවා හඳුනාගැනීම අපහසු වී තිබේ.

එම නිසා ජනාකීර්ණ පරිසරයක සිටී නම්, මුව ආවරණය පැළඳීම වඩා ආරක්ෂිත බව මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් පණිවිඩයේ සදහන් කර ඇත.

මෙම නව Omicron හි JN.1 හි රෝග ලක්ෂණ වන්නේ උණ, කැස්ස, සුවඳ නැතිවීම සහ රසය නැති වීමයි.

දීර්ඝ කාලීනව පවතින අධික උණ, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, ආහාර ගැනීමට නොහැකි වීම සහ වමනය ඇති වීම ද මෙහි රෝග ලක්ෂණවලට අයත්වේ.

එවැනි ලක්ෂණ අනතුරු ඇඟවීමේ සංඥා විය හැකි බැවින් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ද ඔහු වැඩිදුරටත් දන්වා සිටී.

කුඩ්ඩන්, සූදු අන්තුවන් සංවිධායකයන් කරන්න තරම් සජිත් අපරිණතයි !

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සමගි ජන බලවේග ආසන සංවිධායකයකු අමිත බණ්ඩාර නැමැත්තා රඹුක්කන ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට තිබේ.

ඒ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝවකට ආසන්න ප්‍රමාණයක් සමඟයි.

ශ්‍රී ලංකා පොලිසිය විසින් මේ දිනවල දියත් කරන යුක්තිය විශේෂ මෙහෙයුම අතරතුරදී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

කෑගල්ල හා කුරුණෑගල දිස්ත්‍රික්කවල මත්ද්‍රව්‍ය ජාලයක් මොහු විසින් ක්‍රියාත්මක කර ඇති බවත් එහිදී අනාවරණය වී තිබේ.

මේ බව සැලවී ඊට අදාළ සමාජ මාධ්‍ය ප්‍රතිචාර හමුවේ බලවත් අපහසුතාවට පත්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ සමගි ජනබලවේගය පක්ෂය සැකකරු ධූරයෙන් නෙරපා ඇත.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ සමගි ජනබලවේගය පක්ෂයේ නායක ක්‍රිකට් දූෂණ ගැන කතා කරන විට විපක්ෂ නායකට ඥාතී වූ ප්‍රසිද්ධ ක්‍රිකට් තරග ඔට්ටු කරුවෙකු පිළිබඳ අනාවරණය වූ බවත් ඔහුද සජබ සංවිධායක ධූරයක් දරන්නෙකු බවය.

මේ මොහොතේ යුක්තිය මෙහෙයුම හමුවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හසුවී ඇති බවත් ඔහුද සජබ සංවිධායකයකු බැවින් එම පක්ෂ කේඩරය මුළුමනින්ම දූෂිත බව තහවුරු වන බව දේශපාලන විචාරක මතය වී ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දේශපාලන පක්ෂ නායකයකු ලෙස කොතරම් අපරිණත ලෙස හැසිරී ඇතිද යන්න මේ හරහා ඔප්පු වන බවත් දේශපාලන විචාරකයන් පවසයි .

ඩලස්ට බූට් එක තියන නඩේට සජිත්ගෙන් ෆුල් පැකේජ් එකක් : ඒත් සජබ පළුවක් ආණ්ඩුවට !

ඩලස් අලහප්පෙරුම ගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවේ මන්ත්‍රී කණ්ඩායමේ බෙදීමක් ඇතිවෙලා කියන එක දැන් ප්‍රසිද්ධ කතාවක්..

ආරංචිවල හැටියට මේ වෙනකොට ඩලස්ගේ මන්ත්‍රීවරුන් හය (06) දෙනක් , සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය සමඟ, ළඟදීම එක්වීමට නියමිතයි ලු..

ඒ අනුව නිදහස ජනතා සභාවේ මහාචාර්ය ජී එල් පීරිස්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා , මහාචාර්ය චන්න ජයසුමන , වසන්තයපා බණ්ඩාර සහ K.P.S. කුමාරසිරි මන්ත්‍රීවරුන් 06 දෙනා, සජිත් ප්‍රේමදාස ගේ කණ්ඩායම සමඟ එකතුවෙන්න සියලු කටයුතු සුදානම් කියලයි ආරංචි.

එහෙම එන මන්ත්‍රීලට සමගි ජන බල වේගයේ ආසන සංවිධායක ධූර ලබා දෙන්නත් සජිත් පොරොන්දු වෙලා.

ඒ අනුව, ඒ ඒ මන්ත්‍රීවරුන්ට තම තමන් දැනට නියෝජනය කරන දිස්ත්‍රීක්කයේ, සුදුසු ආසන සංවිධායක ධුර දෙන්න පොරොන්දු වෙලා. හැබැයි මෙතනදී නාලක ගොඩහේවා ඉල්ලලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රීක්කයේ රත්මලාන ආසන සංවිධායක කමලු. ආරංචි හැටියට සජිත් ඒකටත් එකඟවෙලා.

ඒ විතරක් නෙමෙයි, පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් ට සජබේ ඉහලම තනතුරක් දෙන්නත් පොරොන්දු වෙලා. ඒ කියන්නේ ෆුල් පැකේජ් එකක්.

ඩලස් ගේ කණ්ඩායමේ කට්ටියට ඔය විදියට විවිධාකාරයේ තනතුරු වරප්‍රසාද දීලා, පක්ෂයේ ඇතුලට ගන්න සීන් එකට , සජබ සමහරු ලොකු අවුලක ඉන්න කතාව අපි පහුගිය දවසකත් කිව්වා.

ඔන්න දැන් අනුරාධපුරේ චන්න ජයසුමන ගන්න හදන එක ආරංචිවෙලා, මනෝ ගනේෂන් බාල්දියක් පෙරලලා. '' පහුගිය කාලේ අපට හිරිහැර කරපු චන්නල වගේ ජාතිවාදියෝ සජබෙට ගන්නවා නම් තවදුරටත් මෙතන ඉන්නවද ? එලියට බහිනව ද කියලා තීන්දුවක් ගන්න වෙනවා..මෙහෙම ගියොත් දිනන්න කියලා , රතන සාදුලා , ගම්මන්පිලව - විමල්ව වුනත් ගන්න ඉඩ තියනවා. '' කියලා මනෝ, ගේම ඉල්ලලා තියෙන්නේ රන්ජිත් මද්ධුම බණ්ඩාර ගෙන් ලු.

ලැබෙන දේශපාලන ආරංචි වලට අනුව රිෂාඩ් පවා මේ ජාතිවාදී අය ගන්න එකට විරෝධය දක්වලා. ගොඩක් වෙලාවට මේ විරෝධය දක්වන පිරිස කවදාවත් ජාතිවාදී ආගම්වාදී නොවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහය දෙන්න සූදානමක් ඇති බවටත් රාවයක් යනවා.

ඒ කියන්නේ සජිත් ඩලස්ගේ නිදහසට වැඩේ දෙන්න ගියාට සජිත්ට නිදහස නැති වෙන්න යන්නේ. බලාගෙන ඉන්න තියෙන්නේ .

දේශපාලන වාර්තාකරු

රනිල් එනවා ස්ථිරයි : රවී K කියයි !

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිති රනිල් වික්‍රමසිංහ , නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එළැඹෙන ජනාධිපතිවරණය සඳහා බහුතරයක් දේශපාලන පක්ෂ එක්ව ඉදිරිපත් කිරීම, කාලීන අවශ්‍යතාවයක් බවත් ඔහු සඳහන් කරයි.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙසේ පවසා තිබුණේ කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කර සිටියේය .

‘රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික දේශපාලන ජනාධිපතිවරයෙක් වශයෙන් කටයුතු කිරීම අනිවාර්යෙන්ම වෙනවා. සියලු පක්ෂවල එකතුවක් වශයෙන් තමයි මේක කරන්නේ. නොයෙක් අය තරග කරන්න කැමතියි. නමුත් අමාරු අවස්ථාවක, රටක අරාජිකත්වයට පත්ව තිබු මොහොතක එයින් ගොඩ එන්න නායකත්වය දෙන එවැනි ස්වරූප තියෙන පුද්ගලයින් බොහෝම සීමිතයි.''

ජනපති සහ උතුරු නැගෙනහිර ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ උතුරු නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (21) පස්වරුවේ පැවැත්විණි.

උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදීම, නැවත පදිංචි කිරීම් කටයුතු හා සංහිඳියාවට අදාළ නීති ක්‍රියාත්මක කිරීම, ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ගැටළු මෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික් සංවර්ධනයට අදාළ කරුණු රැසක් පිළිබඳ මෙහිදී අවධානය යොමු විය.

උතුරු හා නැගෙනහිර පළාත් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්බන්ධන්, එස්. රාසමාණික්‍යම්, ජී. කරුණාකරන්, ටී. කලෙයි අරසන්, කුලසිංහම් දිලීපන් යන මහත්වරුන් මීට එක්ව සිටී අතර අධිකරණ හා බන්ධනාගර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්,ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්ත පෙරේරා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම් .සී එම්. හේරත්, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් එච්. එම්.පී.බී හේරත් යන මහත්ම මහත්මීහු ද සංහිඳියා ක්‍රියාවලියට අදාළ ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ලොකු ලූණු පසුම්බිය රත් කරයි !

ඉන්දියාවෙන් ආනයනය කරන ලොකු ලූනු කිලෝවක මිල අද (21) දින වන විට රුපියල් 650 ත 700 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළඳ පොළ ආරංචි මාර්ග පවසයි.

එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පිටකොටුවේ ලොකු ලුණු සිල්ලර මිල රුපියල් 500 ත් 600 ත් අතර ගණනකට ඉහළ ගොස් තිබේ.

පිටකොටුව තොග වෙළඳපොලේ ලොකු ලූණු කිලෝවක මිල අද පෙරවරුවේ රුපියල් 450 ත් 500 ත් අතර මිලකට අලෙවි වූ අතර ඉදිරි දින කීපයේදී තොග මිල තවත් ඉහළ යනු ඇතැයි පිටකොටුව තොග වෙළෙන්දන් පවසන බවත් එම ආරංචි මාර්ග පවසයි .

මේ අතර ලොකු ලූණු මිල ඉහළ දැමීමට ඉන්දීය අපනයනකරුවන් දැනුම්දී ඇති බව මෙරට ලොකු ලූණු ආනයනකරුවන් පවසන බවත් අප ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

තරුණ පරම්පරාවට තීරණාත්මක කාර්යභාරයක් පැවරී තිබෙනවා - සාගල

පාරිසරික අභියෝගවලට මුහුණ දීමේදී තරුණ පරම්පරාවට තීරණාත්මක කාර්යභාරයක් පැවරී ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැවසීය.

ගෝලීය දේශගුණ විපර්යාස අවම කිරීමේ ප්‍රයත්නයන්හිදී ශ්‍රී ලංකාව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමේ වැදගත්කම අවධාරණය කළ ඒ මහතා මේ වන විටත් පරිසරය වෙනුවෙන් තරුණ ප්‍රජාව දක්වන කැපවීම අගය කරන බවද සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මේ බව සඳහන් කළේ ඊයේ (20) ජනාධිපති කාර්යාලයේදී පැවති තරුණ නායකයින්ගේ සේවය ඇගයීමේ අවස්ථාවට එක්වෙමිනි.

විවිධ ක්ෂේත්‍රවල කුසලතා දැක්වූ මෙරට තරුණ නායක නායිකාවන් 23දෙනෙකු ඇගයීමට ලක් කිරීම වෙනුවෙන් ලියෝ සමාජය විසින් මෙම ඇගයීම් උළෙල සංවිධානය කර තිබුණි.

ඒ අනුව තෝරාගත් පාසල්වල ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකාවන් සහ උප ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකාවන්ද, ජාත්‍යන්තර ලියෝ සමාජ සභාපතිවරුන් සහ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ද ඔවුන්ගේ විශිෂ්ට නායකත්ව කුසලතා වෙනුවෙන් මෙහිදී ඇගයීමට ලක්විය.

මෙහි ප්‍රධාන දේශනය පැවැත්වූ සාගල රත්නායක, සමාජ කටයුතුවලදී තරුණ පරපුර විසින් ලබා දුන් දායකත්වය අතීතයේ සිට වර්තමානය දක්වා විකාශනය වී ඇති ආකාරය පැහැදිලි කළේය.

පාරිසරික අභියෝගවලට මුහුණ දීමේදී තරුණ පරම්පරාවට පැවරෙන තීරණාත්මක කාර්යභාරය අවධාරණය කළ ඒ මහතා, වර්තමානයේදී පරිසරය පිළිබඳ තරුණයින් විසින් දක්වන අවධානය ඇගයීමට ලක් කළේය. පාරිසරික ගැටළු සඳහා තරුණ තරුණියන්ගේ කැපවීම අගය කළ සාගල රත්නායක  ගෝලීය දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීමේ ප්‍රයත්නයන්හිදී ශ්‍රී ලංකාව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව සතුව පවතින අවස්ථාවන් පිළිබඳව ගෙනහැර දක්වමින් හරිත හා නවීන ආර්ථිකයක් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ දැක්ම පිළිබඳව ඒ මහතා මෙහිදී පැහැදිලි කළේය.

අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමේදී මුහුණ දීමට සිදුවූ මූලික අභියෝග මෙන්ම තිරසර සංවර්ධනයක් ඇති කිරීම සඳහා නිවැරදි වැඩපිළිවෙලක් ස්ථාපිත කිරීම වෙනුවෙන් රජය කැපවී සිටින බවද සාගල රත්නායක අවධාරණය කළේය.

රටේ ආර්ථික ප්‍රකෘතිය සඳහා තරුණ තරුණියන්ට සිදුකළ හැකි කාර්යභාරය පිළිබඳ සිහිපත් කරමින්, ඒ සඳහා ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළ සාගල රත්නායක  ශ්‍රී ලංකාවට සමෘද්ධිමත් අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් රජය සමඟ අඛණ්ඩ සහයෝගයෙන් කටයුතු කරන ලෙසද ඉල්ලා සිටියේය.

මෙම උත්සවය සංවිධානය කිරීම වෙනුවෙන් විශේෂයෙන් බිනුජ අමරනායක  ඇතුළු ලියෝ සමාජයට සාගල රත්නායක  සිය ස්තුතිය පළ කර සිටි අතර ඉදිරියේදී තරුණ තරුණියන් සමඟ සම්බන්ධ වීමට තවත් මෙවැනි අවස්ථා උදාවනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කළේය.

රටේ අභිවෘද්ධිය වෙනුවෙන් තරුණ තරුණියන් සක්‍රීයව දායක කර ගන්නා ලියෝ සමාජය වැනි වැඩසටහන් පෝෂණය කිරීම සඳහා විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රය ලබාදෙන දායකත්වයද මෙහිදී සාගල රත්නායකගේ පැසසුමට ලක්විය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය අමාත්‍ය කංචන විජේසේකර, තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න, ජාත්‍යන්තර ලියෝ සමාජ වැඩසටහන් උපදේශක ලසන්ත ගුණවර්ධන, උපකුලපතිවරුන්, විදුහල්පතිවරුන්,මාණ්ඩලික උපදේශකවරුන්, ලියෝ සමාජයේ උපදේශකවරුන් , පාසැල්වල ප්‍රධාන ශිෂ්‍ය නායකයින් සහ ශිෂ්‍ය නායකයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

IMG 20231221 WA0010

හෙට සිට විශේෂ දුම්රිය කාලසටහනක්

දීර්ඝ සතිඅන්ත සහ පාසල් නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනය හෙට (22) සිට ආරම්භ වේ.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත්, මහනුවර සිට බදුල්ල දක්වාත් විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය ගමනාගමන අධිකාරි එන්. ජේ. ඉඳිපොලගේ  සඳහන් කළේය.

කන්කසන්තුරය හා අනුරාධපුරය දක්වා ගමන් කරන මගීන් සඳහාත් විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක කරන බව දුම්රිය ගමනා ගමන අධිකාරි එන්. ජේ. ඉඳිපොලගේ ප්‍රකාශ කළේ ය.

train 1

දිස්ත්‍රික් ලේකම්වරුන්ට ජනපතිගෙන් දැනුම්දීමක්

වසර 03කට පසුව මෙවර අයවැයෙන් රුපියල් මිලියන 11,250ක් දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය ලෙස වෙන් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පවසයි.

එම මුදල් එළැඹෙන ජනවාරි මස පළමු සතිය වන විට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින බවත් අද (21) ජනාධිපති කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සඳහන් කළේය

මොන බලපෑම් පැමිණියත් ‘යුක්තිය’ මෙහෙයුම ක්‍රියාත්මක කරනවා - ආරක්ෂක ඇමති

මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් මෙරටින් මර්දනය කිරීමේ මෙහෙයුම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පූර්ණ ආශිර්වාදය ලැබී තිබෙන බවත් එබැවින් කුමන බලපෑමක් පැමිණියත් එම මෙහෙයුම් කිසිසේත්ම නතර නොකරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.

තිස් වසරක යුද්ධය නිමා කිරීමට ජනතාව ලබා දුන් සහාය මේ මොහොතේදි රටටම පිළිලයක්ව පවතින මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා ද අවශ්‍ය බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්  මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

‘යුක්තිය’ නමින් දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙන විශේෂ මෙහෙයුම සම්බන්ධව මේ වන විට සමස්ත රටේම කතාබහට ලක්ව තිබෙනවා. මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මේ රටේ දිගින් දිගටම පැවතුණා. එම නිසා මෙම ක්‍රියාකාරකම් කවුරුන් හෝ නතර කළ යුතුයි. ඒ නිසා මෙරටින් මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් නතර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මම තීරණය කළා. ඒ අරමුණින් තමයි ‘යුක්තිය’ මෙහෙයුම ආරම්භ කළේ. මෙම කටයුත්තේදී ප්‍රජා පොලිස් කමිටුවලට ද විශේෂ වගකීමක් පැවරී තිබෙනවා.

ඒ වගේම මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහාය වගේම විශේෂයෙන්ම මාධ්‍යයේ සහාය ද අවශ්‍යයි. එදා යුද සමයේ ඔබ සියලු දෙනා එක්ව ආරක්ෂක අංශවලට සහයෝගය ලබා දුන්නා. තිස් අවුරුදු යුද්ධය තිබුණේ උතුර නැගෙනහිර පමණයි. නමුත් මේ යුද්ධය රට පුරාම ව්‍යාප්තව තිබෙනවා.

මහජනතාවගේ සහාය හිමිවීම පොලිසියට විශාල ශක්තියක්. ඒ නිසා මෙම මෙහෙයුමට අවශ්‍ය සහාය සහ නිවැරදි තොරතුරු ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. එසේ වුවහොත් ලබන වසරේ ජුනි මස වන විට මෙරටින් මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් තුරන් කිරීමට හැකිවෙනු ඇතැයි මා විශ්වාස කරනවා.

ඒ වගේම මෙරටට මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීමට නාවික හමුදාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. පළමුව මේ මෙහෙයුම යටතේ බෙදාහැරීම් ජාලය නතර කළ යුතුව තිබෙනවා. දෙවනුවට මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පාතාල ක්‍රියාකාරකම් නතර කළ යුතුයි. තෙවනුව මත්ද්‍රව්‍ය භාවිත කරන අය සම්බන්ධවත් විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. මත්ලෝලීන් වෙනුවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන විශේෂ අවධානයක් යොමු කරන ලෙස මම පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නා.

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ පාතාලයට සම්බන්ධ 4665ක පිරිසක් සිටින බවට අපට බුද්ධි වාර්තා ලැබී තිබෙනවා. මේ සියලුම දෙනාවම අත්අඩංගුවට ගන්නා ලෙසට මා උපදෙස් දී තිබෙනවා. පසුගිය දින 4 තුළ පමණක් එම බුද්ධි වාර්තාවේ සිටින 731ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුමේදී බුද්ධි අංශ වාර්තාවල සඳහන් නොවූ සැකකරුවන් ද අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා. මීට අමතරව තවත් 8451ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතරින් 346ක් සඳහා රැඳවුම් නියෝගය ද, වත්කම් විමර්ශන කටයුතු වෙනුවෙන් 61ක් ද, 697ක් පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබෙනවා.

ඒ වගේම පසුගිය දින 4තුළ සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 431ක වටිනාකමකින් යුත් ගංජා, හෂීස්, හෙරොයින්, අයිස්, ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. සැකකරුවන්ට අයත් වාහන, නිවාස, දේපළ ඇතුළු වත්කම් බැරකම් වශයෙන් සැලකූ විට ඒවායෙහි වටිනාකම රුපියල් මිලියන 162ක් පමණ වෙනවා. එම නිසා මේ මෙහෙයුම කොතෙක් දුරට සාර්ථක ද කියා ඔබ සැමට පෙනෙන්නට තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් සෑම භාණ්ඩයක්ම අධිකරණ ක්‍රියාමාර්ග හරහා රාජසන්තක කිරීමට කටයුතු කරනවා.

මෙම මෙහෙයුම ආරම්භ කිරීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මා සාකච්ඡා කළා. මෙරටින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම පාතාල ක්‍රියාකාරකම් තුරන් කළ යුතු බව එතුමාගේ ද ස්ථාවරය වී තිබෙනවා. එම නිසා ජනාධිපතිතුමාගේ ආශිර්වාදය මත සිදුකරන මේ මෙහෙයුම කුමන බලපෑමක් පැමිණියත් නතර කරන්නේ නැහැ. මේ මෙහෙයුම සතියකින් නතර කරන්නේ නැහැ. එය අප අඛණ්ඩවම ක්‍රියාත්මක කරනවා. මෙරට මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් නතර කර ඉදිරි අනාගත පරපුරට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් අපි නිර්මාණය කරනවා.

ඒ වගේම ළමා හා කාන්තා අපයෝජන සම්බන්ධව ද පැමිණිලි ලැබෙමින් තිබෙනවා. මේ අපචාර නතර කිරීමටත් පොලිස් හදිසි ඇමතුම් අංකය වැනි විශේෂ අංකයක් ලබන ජනවාරි මස පළමු සතියේ සිට හඳුන්වා දීමට කටයුතු කරන ලෙසත් මා උපදෙස් දී තිබෙනවා. මේ විශේෂ දුරකථන අංකය යටතේ කටයුතු කරන්නේ කාන්තා පොලිස් නිලධාරිනියන්. බොහෝ විට කාන්තාවන් සිය ප්‍රශ්න පොලිස් නිලධාරීන්ට පැවසීමට මැලිකමක් දක්වනවා. එම නිසා පැය 24 පුරා ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම් මැදිරියෙහි පොලිස් කාන්තාවන් පමණක් යෙදවීමට පියවර ගෙන තිබෙනවා. මීට අමතරව දමිළ භාෂාවෙන් පමණක් පැමිණිලි ඉදිරිපත් කළ හැකි නව අංකයක් හඳුන්වාදීමට ද සැලසුම් කර තිබෙනවා.

සාගරගේ ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවේ ෂෙහාන්ගේ අපේක්ෂකයා නැද්ද ?

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් සිවු දෙනකු සලකා බලමින් සිටින බව පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි .

එම සිවු දෙනා අතර ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ධම්මික පෙරේරා ද සිටින බවත් ඔහු සඳහන් කර සිටියි .

පොදුජන පෙරමුණේ ලේකම්වරයා මේ බව සඳහන් කර සිටියේ අද (20) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

කෙසේ වුවත් මීට පෙර පොදුජන පෙරමුණ සඳහන් කර සිටියේ එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ධම්මික පෙරේරා වෙත ලබාදීමට තීන්දුවක් ගෙන නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ පොදුජන පෙරමුණ පක්ෂයේ රාජපක්ෂ පාර්ශ්වය සිටින දේශපාලන අස්ථාවරත්වය මේ හරහා පෙන්නුම් කරන බවයි.

මේ වන විට එම පක්ෂයේ තරුණ සහ ජනතා පදනමක් සහිත මැති ඇමතිවරුන් රැසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග ඉදිරි දේශපාලන ගමනක් යාමට සූදානම්ව සිටීම රාජපක්ෂ පාර්ශ්වය මුහුණදී ඇති ප්‍රධාන අභියෝගය බවත් විචාරක අදහස වී තිබේ.

එම තත්ත්වය කළමනාකරණය කර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග දේශපාලන කේවල් කිරීමක් වෙනුවෙන් විවිධ උපක්‍රම යොදමින් සිටින බවත් ජනාධිපති අපේක්ෂකයන් පිළිබඳව විවිධ කතා කරළියට එන්නේ ඒ අනුව බවත් විචාරකයන් පවසයි .

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසන්නේ ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ තමන් අනිවාර්යෙන්මත්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්ව කටයුතු කරන බව ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත වතාවක් මෙරට ජනාධිපති බවට පත්විය යුතු බවත් එසේ නොවුනහොත් මෙම අසීරු වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට නොහැකි වන බවත් ඔහු පෙන්වා දෙයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ රූපවාහිනී නාලිකාවක් සමග පැවති වැඩසටහනකදී අදහස් දක්වමින් ය.

වගකීම් විරහිතව ජනප්‍රිය මාතෘකා ඔස්සේ යාමට යාමට තීරණය කළහොත් නැවතත් මේ රට දරුණු ප්‍රපාතයකට වැටීම කිසිවෙකුට නැවතීමට නොහැකිනු ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

මහින්ද බදු බර ජනාධිපති කරේ තියා මාරු වෙයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වුවත් වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානියා සහ රාජ්‍ය නායකයා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන වෙනත් දේශපාල පක්‍ෂයක නායකයෙක් බවත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසයි .

සෑම ඡන්දදායකයෙක්ම ඉදිරි මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කරන විට ඡන්දය දෙන පක්‍ෂයේ බදු ප්‍රතිපත්තිය සහ අතීත ආර්ථික භාවිතයන් පිළිබඳව අවදානය යොමු කළ යුතු බවත් ඔහු සඳහන් කරයි.

හිටපු ජනාධිපති , පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කර ඇත්තේ " බදු බර අඩු කිරීම " මැයෙන් නිවේදනයක් නිකුත්කරමින් ය.

තම පාලන සමයේ බදු අඩු ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවත් එහි සඳහන් කර ඇත .

අදාළ නිවේදනය පහත දැක්වෙයි .

image 5ef4fe1039

image 1db683873e

ජනපති දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමය අමතයි !

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගික ක්‍රියාවලියක් මත කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

වර්තමාන අභියෝගයන්ට සියළු දෙනා එක්ව, ශක්තිමත්ව මුහුණ දුනහොත් ඉදිරි වසර කිහිපය තුළ මෙරට ආර්ථික සමෘද්ධිය සුරක්ෂිත කර ගැනීමටත්, ආර්ථික අභියෝග ජය ගැනීමටත් අනිවාර්යයෙන් හැකියාව ලැබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී අද (20) පැවති දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 19 වන මහා සභා රැස්වීම අමතමිනි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කලමණාකාරිත්වයෙන් 82% ක් මෙම සංගමයේ සාමාජිකත්වය උසුලන අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිපාලනය සමඟ සෘජුවම කටයුතු කරන අංශ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්ගෙන් පමණක් මෙම සංගමය සමන්විත වේ .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

මෙරට වෙළෙඳ ශේෂයේ ඇති අභියෝග මෙන්ම ඉහළ තරගකාරී ආර්ථිකයක් පෝෂණය කිරීමේ වැදගත්කම අප අවබෝධ කර ගත යුතුයි. ඒ අනුව අප රජය ඉන්දියාව, චීනය, සිංගප්පූරුව සහ තායිලන්තය වැනි රටවල් සමඟ වෙළඳ ගිවිසුම් ගතව කටයුතු කරනවා. ඒ සමඟම අපගේ ඉලක්කය වන්නේ ඉන් ඔබ්බට වන අවස්ථා ගවේෂණය කිරීම සහ යුරෝපීය සංගමය සමඟ වෙළඳ සබඳතා වැඩි දියුණු කර ගැනීමයි.

එම ඉලක්කය සපුරා ගැනීමේ දී මුහුණ දෙන තරගකාරිත්වය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට පූර්ණ ඩිජිටල්කරණයට කැපවී සිටිනවා. ඒ අනුව ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනය සහ කෘතිම බුද්ධිය (AI) පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය එක්ව කටයුතු කරමින් සිටිනවා. නිශ්චිත කාල රාමුවක් තුළ මෙරට සම්පූර්ණයෙන් ඩිජිටල්කරණය කිරීම සඳහා පුළුල් සැලැස්මක් නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණයි.

හරිත ආර්ථිකයක් බවට පත්වීමේ උත්සාහයන් සමඟ ශ්‍රී ලංකාව ගෝලීය තිරසාර ඉලක්ක සපුරා ගැනීම සඳහා පරිසර හිතකාමී පරිචයන් සහතික කරමින් ශුද්ධ ශුන්‍ය ඉලක්කය සපුරා ගැනීමට කටයුතු කරමින් සිටිනවා. මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා අප කෙටි කාලයක් තුළ අවම උත්සායකින් සාක්ෂාත් කර ගැනීමට පහසු ක්ෂේත්‍රයන් හඳුනා ගෙන වැඩි දියුණු කර ගත යුතුයි. ඒ අනුව සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය සහ තොරතුරු තාක්‍ෂණය වැනි ක්ෂේත්‍ර හඳුනා ගෙන තිබෙනවා.

ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා තාක්ෂණය උපයෝගී කරගනිමින් කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. වී වගාව වැඩිදියුණු කිරීම, භාවිතයට නොගත් ඉඩම් නිදහස් කිරීම සහ කුඩා පරිමාණ කෘෂිකර්මාන්තය නගා සිටුවීම කෙරෙහි අපගේ වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. පුනර්ජනනීය බලශක්තිය සඳහා ශ්‍රී ලංකාවේ ඇති හැකියාව තවමත් සම්පූර්ණයෙන් තක්සේරු කර නැහැ. ඉන්දියාව ඇතුළු තවත් රටවල් සඳහා අපගේ අතිරික්ත බලශක්තිය අපනයනය කළ හැකි බවට හඳුනා ගෙන ඇති සුළං සහ සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා සැලකිය යුතු ආයෝජනයක් කිරීමට ද අප අපේක්ෂා කරනවා.

තොරතුරු තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI) සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීම මෙම උපාය මාර්ගයේ ප්‍රධානතම සාධක වෙනවා. පෞද්ගලික අංශය සමඟ එක්ව තවත් පුහුණු ආයතන ආරම්භ කිරීමටත්, කෘතිම බුද්ධිය පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහාත් විශාල මුදලක් වෙන් කර තිබෙනවා. මෙසේ නගා සිටුවන තාක්ෂණයන් සහ කර්මාන්ත ප්‍රාග්ධනය ලෙස තබා ගෙන කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත්වීමට ද ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා.

මෙහිදී මූල්‍ය විනය සහතික කිරීම වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සහ අනෙකුත් ආදායම් දෙපාර්තමේන්තුවලට ප්‍රමුඛ කාර්යභාරයක් පැවරෙනවා. අභියාචනා ප්‍රමාද වීම් සහ ආදායම් එකතු කිරීම කඩිනම් කරගත හැකි යාන්ත්‍රණයක් අපට අවශ්‍ය වෙනවා.

වර්තමාන අභියෝගයන්ට අප සියළු දෙනා එක්ව, ශක්තිමත්ව මුහුණ දුනහොත් ඉදිරි වසර පහක් හයක් වැනි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය සුරක්ෂිත කර ගැනීමටත්, ආර්ථික අභියෝග ජය ගැනීමටත් අපට අනිවාර්යයෙන් හැකියාව ලැබෙන බව විශ්වාසයි.

මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, ෂෙහාන් සේමසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් (වැ.බ) උපුල් ජයවර්ධන, දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ සභාපති දේශීය ආදායම් කොමසාරිස් එම්. ඒ ප්‍රියංක යන මහත්වරුන් සහ දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල්වරන්, ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරුන් හා කොමසාරිස්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

IMG 20231220 WA0006

අපේක්ෂිත මුදල් ඇවිත් : විදෙස් සංචිත ශක්තිමත් වෙයි !

2023 දෙසැම්බර් මාසයේදී, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය මෙන්ම ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව වෙතින් අපේක්ෂිත මුදල් ලැබුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඊට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 337 ක දෙවන වාරිකයක ද, විවිධ වැඩසටහන් සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් ද, ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 787 ක් හිමිවී ඇත.

මෙම මුදල් ප්‍රමාණය මගින් අයවැය ශක්තිමත් කිරීම සහ රටේ බාහිර සංචිත වැඩි දියුණු කිරීම අරමුණු කරන බව ද එහි සඳහන් කර ඇත .

එසේම ඩොලර් මිලියන 780 ක විදේශ විනිමය රජයට ගලා ඒමත් සමඟ එය රටේ බාහිර සංචිත ශක්තිමත් කරන බව මුදල් අමාත්‍යාංශය උපුටා දක්වමින් සඳහන් කර ඇති අතර 2023 අවසන් වන විට බලාපොරොත්තු වූවාට වඩා වැඩි අගයක් ගනිමින් දළ නිල සංචිත ඩොලර් බිලියන 4 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන බවත් සඳහන් කර තිබේ.

අලි - මිනිස් ගැටුම් අවම කර ගැනීමට නවීන තාක්ෂණය යොදා ගන්නවා !

අලි - මිනිස් ගැටුම අවම කර ගැනීම සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීමට සැලසුම් කර තිබෙන බවත්, ඊට අදාළ නියමු ව්‍යාපෘති දැනටමත් ආරම්භ කර තිබෙන බවත් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි පැවසුවාය.

අධි ආලෝක ධාරා, අධි ශබ්ද තරංග සහ ඩ්‍රෝන යානා වැනි නවීන තාක්ෂණය යොදා ගනිමින් ක්‍රියාත්මක වන මෙම නියමු ව්‍යාපෘති අනුරාධපුර, පුත්තලම, අම්පාර ඇතුළු අලි මිනිස් ගැටුම් බහුලව ඇති ප්‍රදේශවල ආරම්භ කර තිබෙන බවත් අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මෙම අදහස් පළ කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේද පැවසුවාය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දිශානතිය වෙලා තිබෙන්නේ වනය ආරක්ෂා කිරීමටයි. මම අමාත්‍ය ධූරය භාර ගැනීමෙන් අනතුරුව දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය නව වැඩපිළිවෙළක් තුළින් ඉදිරියට ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ අනුව වනය මායිමේ සිටින ජනතාවට වනය ආරක්ෂා කිරීම වෙනුවෙන් සහනයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

වනය නිසාම ඔවුන්ගේ ජීවිකාව ඉදිරියට ගෙන යෑමට හැකියාව ලැබුණොත් ඔවුන්ම වනය ආරක්ෂා කරනවා. වනය මායිමේ ජීවත් වන ජනතාවට වනයෙන් ලබාගත හැකි ද්‍රව්‍ය තිබෙනවා. ඔවුන්ට එම ද්‍රව්‍ය ලබා ගැනීමට අවසර ලබා දුන්නොත් වනය ද ආරක්ෂා කර ගන්න පුළුවන්. විශේෂයෙන් හරිත සංචාරක ව්‍යාපෘති වෙනුවෙන් ද විශාල වැඩකොටසක් කිරීමට හැකියාව තිබෙනවා. පරිසරය අලෙවි කළොත් මේ රටට ඩොලර් විශාල ප්‍රමාණයක් ගෙන එන්න පුළුවන්.

ඒ නිසා අපි හිතන විදිහ වෙනස් කරමින් කටයුතු කිරීමට පියවර ගෙන තිබෙනවා. රටේ භූමි ප්‍රමාණයෙන් 29%ක්ම වනය තිබෙනවා. මේ වනයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමටත්, හානි වූ වනය ආරක්ෂා කර ගැනීමට අලුතින් ගස් සිටුවීමටත් කටයුතු කරනවා. රටේ පවතින කැළෑව වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය පැළ ලබා දීමටත් කටයුතු කරනවා.

මාර්ග දෙපසත් ගස් වගා කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන දැනටමත් වෙන් කර තිබෙනවා. ඒ වගේම ජනතාවගේ ආර්ථිකය වැඩිදියුණු කිරීමේ පැළ ලබාදීමේ ව්‍යාපෘතියක් රජයක් විදිහට ක්‍රියාත්මක කරනවා.

ඒ වගේම 2022 වසරේ අමාත්‍යාංශය රුපියල් මිලියන 1670ක ආදායමක් ලබා තිබුණා. මේ වසරේ මේ දක්වා කාලය තුළ පමණක් රුපියල් මිලියන 4700ක ආදායමක් ලබා ගැනීමට අමාත්‍යාංශයට හැකි වී තිබෙනවා. එය පසුගිය වසරට සාපේක්ෂව 135%කින් ආදායම වැඩි කර ගැනීමක් බව කිව යුතුයි.

තවද අලි - මිනිස් ගැටුම රටේ ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. මේ පුංචි රටේ ජනගහණය මෙන්ම අලි ගහණයත් වැඩි වෙමින් පවතිනවා. විවිධ වාරි ව්‍යාපෘති හමුවේ අලි මංකඩ ඇහිරී ගොස් තිබෙනවා. ජනතාවගේ වගා කටයුතු නිසාත් අලි මංකඩ ඇහිරී ගොස් තිබෙනවා. ජනතාව ජීවත් වන ප්‍රදේශවලට අලින්ගේ පැමිණීම වැළැක්වීමට ලබන වසරේ අලුතින් කිලෝමීටර් දහසක් පමණ ඇලි වැට ඉදිකිරීමට ද බලාපොරොත්තු වෙනවා.

එසේම බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිටින ශ්‍රමිකයන් 4000ක් පමණ අමාත්‍යාංශයේ ස්ථීර සේවකයන් ලෙස බඳවා ගෙන ඇලිවැට ආරක්ෂා කර ගැනීමේ රාජකාරි කටයුතු සඳහා යෙදවීමට කටයුතු කරනවා. මේ කටයුත්ත සාර්ථකව ක්‍රියාත්මක කළහොත් අලි මිනිස් ගැටුමට යම් විසඳුමක් ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා.

මේ ආකාරයේ නොයෙකුත් ව්‍යාපෘති ඉදිරියටත් ක්‍රියාත්මක කරමින් අලින්ගේ ජීවන වටපිටාව ද ආරක්ෂා කිරීමට ද කටයුතු කරනවා. එසේම අලි මංකඩ ඇති ජනතාවගේ ඉඩම් වෙනුවට වෙනත් විකල්ප ඉඩම් ලබාදීමටත් කටයුතු කරනවා. අධි ආලෝක ධාරා, අධික ශබ්ද තරංග මගින් ද අලි පලවා හැරීමට පුළුවන්කම තිබෙනවාද යන්න සම්බන්ධවත් නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම නාවික හා ගුවන් හමුදාවේ සහාය ඇතිව ‍ඩ්‍රෝන යානා යොදා ගෙන ද අලි පලවා හැරීමට අත්හදා බැලීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා.

විදුලි සේවකයන්ගේ සුපිරි බෝනස් අත්හිටුවයි !

විදුලිබල මණ්ඩලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත මෙවර වාර්ෂික ප්‍රසාද දීමනා ලබා නොදීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ සමඟ මීට පෙර විදුලිබල මණ්ඩල සේවකයින්ට ගෙවන ලද දිරිගැන්වීම් සහ අනෙකුත් දීමනා ද අත්හිටුවනු ඇති බවත් වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර විසින් මණ්ඩලයේ සභාපති, සාමාන්‍යාධිකාරී ඇතුළු ඉහළ කළමනාකාරීත්වයට ලිපියක් මගින් දැනුම් දී ඇත.

එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ 2015 වසරේ සිට සෑම වසර 3කටම වරක් සිදුකෙරුණු 25%ක වැටුප් වර්ධක ගෙවීම් ද මෙවර නොගෙවීමට තීරණය කර බවය.

මණ්ඩලයේ මෙහෙයුම් හා පරිපාලන වියදම් අඩුකිරීම සඳහා ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයක් අනුව මෙම පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා යොමුකල මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මහජන අදහස් විමසයි

2023-2025 කාලසීමාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ජාතික ක්‍රියාකාරී සැලැස්ම සැකසීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මහජන අදහස් අපේක්ෂා කර තිබේ.

 “විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය” යනු රජයන්, සිවිල් සමාජය සහ පුරවැසියන් අතර හවුල්කාරිත්වය තුළින් විනිවිදභාවය, සහභාගීත්වය, වගවීම සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කරන විවෘත රාජ්‍ය ක්‍රමය ක්‍රියාත්මක කිරීම අරමුණු කරගත් බහුපාර්ශ්වික මුලපිරීමක් බව ජනාධිපති කාර්යාලය පවසයි.

මේ වන විට ලොව පුරා රටවල් 75 ක්, පළාත් පාලන ආයතන 104 ක් සහ සිවිල් සමාජ සංවිධාන දහස් ගණනක් විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන සමඟ සම්බන්ධ වී කටයුතු කරයි.

විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහනේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව, සිය 2023-2025 කාලසීමාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ‍සකස් කිරීම මේ වන විට ආරම්භ කර ඇති අතර ඉන් අනතුරුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව එය ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ලෙස රජයේ සහ සිවිල් සමාජ පාර්ශවකරුවන්ගේ ඒකාබද්ධතාවයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව මෙම විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ක්‍රියාකාරී සැලැස්මෙ හි සම-නිර්මාණකරුවෙකු ලෙස සිය වටිනා අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ට අවස්ථාව ලබා දී තිබේ.

එමඟින් ශ්‍රී ලංකාව තුළ විවෘත, සහයෝගීතාවයෙන් යුතු සහ ප්‍රතිචාරශීලී රාජ්‍ය පාලනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ජනතාව වෙත ආරාධනා කර ඇත.

Page 123 of 464