#newstube

  • චීනයට ගිය ජවිපෙ ජාතික සංවිධායකවරයා චීන කොමියුනිස්ට් පක්ෂයේ Guanxi කමිටුවේ ලේකම් හමුවේ

    චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් අනුව පසුගිය 11වනදා සිට චීනයේ සංචාරයක නිරත ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, ප්‍රවාහන හා මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායක ප්‍රමුඛ නියෝජිත පිරිසක් පසුගිය 12 වනදා චීන කොමියුනිස්ට් පක්ෂයේ Guanxi කමිටුවේ ලේකම් චෙන් ගන්ග් සහ එම ප්‍රාන්තයේ තවත් නිලධාරීන් කිහිපදෙනෙක් සමග නිල සාකච්ඡාවක් පවත්වා ඇත.

    ගුවන්ෂි ප්‍රාන්තය වර්ග කිලෝමීටර 237,000කට ආසන්න වපසරියක් සහිත භූමි ප්‍රමාණයක් සහිත මිලියන 57කට ආසන්න ජනගහණයක් සහිත ප්‍රාන්තයකි.

    එහිදි චීන කොමියුනිස්ට් පක්ෂයේ Guanxi කමිටුවේ ලේකම් චෙන් ගන්ග්, ගුවන්ෂි ප්‍රාන්තයේ ඇති විශේෂත්වයන් පිළිබඳවත්, කලාපය තුළ ජනතාවගේ ආර්ථික තත්වය නගා සිටුවීමට ගෙන ඇති පියවර පිළිබඳවත්, ප්‍රධාන ජාතිකත්වයට අමතරව ජීවත් වන ජාතිකත්වයන්ගේ ජීවන තත්වයන් නගාසිටුවීම 2020 ව⁣සරේ සිට රජයේ ප්‍රමුඛතාවයක් කරගෙන ඇති බව මෙහිදී ප්‍රකාශ කර තිබේ.

    තවද කෘතිම බුද්ධිය ආශ්‍රිත සේවා සැපයීමේ කර්මාන්තය හා සේවා සැපයිම සහ අග්නිදිග ආසියානු කලාපයේ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකාව හා ගුවන්ෂි ප්‍රාන්තය අතර සබඳතා ඇතිකරගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර ඇත.

    පාලන බලය ලබා වසරක කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනතාව ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තාවේ.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. එම් අස්ලාම් හා සෙල්වතම්බි තිලකනාදන් යන අයද ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිත පිරිසක්ද සහභාගිවී සිටියහ.

     

    biml

     

  • චීනයේ පිහිටි මිය යන කාමර

    1990 දශකයේ මැද භාගයේ දී, විදේශීය චිත්‍රපට නිෂ්පාදකයන් කණ්ඩායමක් ස්වේච්ඡා සේවකයන් ලෙස වෙස්වළාගෙන චීනයට ඇතුළු විය. රාජ්‍ය ළමා නිවාසවල ස්වේච්ඡාවෙන් සේවය කරන බව මවාපාමින්, ඔවුන් ළදරු කිරි ටින් තුළ සඟවා ගෙන කැමරා පවා රැගෙන ගියේ ය. ඔවුන් අනාවරණය කළ දේ ඉතා ඉක්මනින් ලෝකය ම කම්පනයට පත් කළේ ය.


    නිශ්ශබ්දතාවයෙන් පිරුණු කාමර

    බ්‍රිතාන්‍ය චිත්‍රපට නිෂ්පාදකයන් වන කේට් බ්ලෙවිට් (Kate Blewett) සහ බ්‍රයන් වුඩ්ස් (Brian Woods) විසින් මෙහෙයවන ලද මෙම කණ්ඩායම චීනය පුරා ළමා නිවාස කිහිපයක සංචාරය කළේ ය. ඒ වන විට, චීනයේ “එක් දරු ප්‍රතිපත්තිය” දැඩිව ක්‍රියාත්මක වූ අතර, විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ පවුල් බිලිඳු ගැහැණු දරුවන් හෝ ආබාධිත ළදරුවන් අතහැර දැමූහ. සම්ප්‍රදායිකව පුතුන්ට වැඩි සැලකිල්ලක් දැක්වූ අතර, දැඩි ජනගහන නීති මගින් එක් දරුවෙකුට වඩා සිටින පවුල්වලට දඬුවම් කරන ලදි.

     

    onechild

    එහි ප්‍රතිඵලය හද කම්පා කරවනසුලු විය: සෑම වසරකම දහස් ගණනක් අනවශ්‍ය ළදරුවන් රාජ්‍ය ළමා නිවාසවල ගේට්ටු අසල අතහැර දැමිණ. බ්ලෙවිට් සහ ඇගේ කණ්ඩායම එම ළමා නිවාසවලට ඇතුළු වූ විට, රජය විස්තර කළ පහසුකම් සහිත සත්කාරක මධ්‍යස්ථාන ඔවුන්ට හමු නොවී ය. ඒ වෙනුවට, ඔවුන්ට හමුවූයේ නිශ්ශබ්දතාවයෙන් පිරුණු කාමර ය. ළදරුවන් ලෝහ තොටිලි පේළිවල චලනය නොවී වැතිර සිටියහ. ඔවුන්ගේ මුහුණු සුදුමැලි වී තිබූ අතර, ඇස් අවධානයක් (eye contact )නොමැතිව විය. බොහෝ දෙනෙක් අඬන්නට පවා ශක්තියක් නොමැති තරමට දුර්වල වී සිටියහ. බොහෝ විට වැඩ අධික සහ සීමිත කාර්ය මණ්ඩලයකින් යුත් සේවිකාවන් යන්තම් කතා කළහ. සමහර ළදරුවන් නිසලව තබා ගැනීම සඳහා රෙදි කඩකින් ඔවුන්ගේ ඇඳන්වලට බැඳ තිබූ අතර, තවත් සමහර ළදරුවන් තමන්ගේම අපද්‍රව්‍ය මත වැතිර සිටීමට ඉඩ දී තිබුණි.


    මරණය එනතුරු බලා සිටීම

    චිත්‍රපට නිෂ්පාදකයන් මෙම ස්ථාන හැඳින්වූයේ “මියයන කාමර” (The Dying Rooms) ලෙසිනි. ඊට හේතුව කිසිවකු එම දරුවන් ක්ෂණිකව මරා දැමීම නොව, නොසලකා හැරීම තුළින් ඔවුන්ට සෙමින්, නිශ්ශබ්දව මිය යාමට ඉඩ හැර තිබීමයි. ආහාර නැත, උණුසුමක් නැත, ස්පර්ශයක් නැත. වාර්තා චිත්‍රපටයේ වඩාත් භයානකම අවස්ථාවක් වූයේ “නමක් නැත” යන අර්ථය දෙන මී මින් (Mei Ming) නම් කුඩා දැරියක් හමුවීමයි. අඳුරු කාමරයක තනි කර තිබූ ඇගේ කුඩා ශරීරය චලනය කිරීමට පවා දුර්වල විය. කාර්ය මණ්ඩලය පිළිගත්තේ ඇයව කිසිවෙකු හදා නොගන්නා බවයි. ඔවුන්ට අනුව, ඇය සිටියේ අවසානය එනතුරු බලා සිටිමින්ය.

    1995 දී බ්‍රිතාන්‍ය රූපවාහිනියේ 'The Dying Rooms' වාර්තා චිත්‍රපටය විකාශය වූ විට, ලෝකයම භීතියට පත් විය. ප්‍රේක්ෂකයෝ හඬා වැටුණහ. රජයන් පිළිතුරු ඉල්ලා සිටියහ. කෙසේ වෙතත්, චීන බලධාරීන් සියල්ල ප්‍රතික්ෂේප කළහ. චීනයේ ප්‍රතිරූපයට හානි කිරීම සඳහා චිත්‍රපටය ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද්දක් බව ඔවුන් පැවසීය. නමුත් ස්වාධීන මානව හිමිකම් කණ්ඩායම් මේ පිළිබඳව විමර්ශනය කිරීමට පටන් ගත්හ.

     


    the dying rooms

    නිහඬ මරණ ස්ථාන

    1996 දී හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) විසින් “Death by Default: The Policy of Fatal Neglect in China’s State Orphanages” නමින් සවිස්තරාත්මක වාර්තාවක් ප්‍රකාශයට පත් කරන ලදි. එය චිත්‍රපට නිෂ්පාදකයන් දුටු දේ සනාථ කළේ ය. විමර්ශකයන් සොයා ගත් ඇතැම් ළමා නිවාසවල මරණ අනුපාතය 50% ඉක්මවා තිබිණි. විශේෂයෙන් ආබාධිත හෝ ගැහැනු ළදරුවන් අතර මෙම තත්ත්වය බහුල විය. දරුවන් ඇඳන්වලට බැඳ දමා, උත්තේජනයකින් හෝ වෛද්‍ය ප්‍රතිකාරයකින් තොරව තබා ඇති අතර, බොහෝ දෙනෙක් පැමිණ මාස කිහිපයක් ඇතුළත මිය ගියහ. සමහර පහසුකම් හොඳ වුව ද, අනෙක්වා නිහඬ මරණ ස්ථාන බවත්, ඒවා නිලධාරීන් විසින් නොසලකා හැර ලෝකයෙන් සඟවා තිබූ බවත් වාර්තාවෙන් හෙළි විය.



    අරමුදල් නොලැබෙන ප්‍රදේශවල නොසලකා හැරීම්

    ගෝලීය පීඩනය යටතේ, චීනය අවසානයේ සීමිත ප්‍රතිසංස්කරණවලට ඉඩ දුන්නේය. විදේශයන්ගෙන් ලැබෙන පරිත්‍යාග වැඩි විය. සමහර ළමා නිවාස ඔවුන්ගේ තත්ත්වය වැඩි දියුණු කළ අතර, වැඩි සේවිකාවන් බඳවා ගත් අතර, හදා වඩා ගැනීමේ වැඩසටහන් ආරම්භ කළේ ය. එහෙත්, වසර ගණනාවකට පසුව පවා, විශේෂයෙන් අරමුදල් නොලැබෙන ප්‍රදේශවල නොසලකා හැරීම් පිළිබඳ කථා තවමත් මතු විය.


    එම නිහඬ කාමරවල මිය ගිය දරුවන් කී දෙනෙක් දැයි කිසිවෙකු දන්නේ නැත. ඔවුන්ගේ නම් කලාතුරකින් වාර්තා වූ අතර, ඔවුන්ගේ සොහොන් කලාතුරකින් සලකුණු විය. එහෙත් ඔවුන්ගේ පැවැත්ම සහ ඔවුන්ගේ දුක් වේදනා 1990 දශකයේ වඩාත්ම වැදගත් මානව හිමිකම් පිබිදීමක් ඇති කළේ ය.

     

    අද, "මියයන කාමර" යන වාක්‍ය ඛණ්ඩය, සමාජයක් කරුණාවට වඩා නීති රීති, ප්‍රතිරූපය හෝ සම්ප්‍රදාය අගය කරන විට කුමක් සිදුවිය හැකිද යන්න පිළිබඳව සීතල මතක් කිරීමක් ලෙස පවතී. මී මින් බඳු සෑම දරුවකුගේ ම කතාව පවසන්නේ, සෑම ජීවිතයක් ම, කොතරම් කුඩා හෝ අපහසු වුවත්, රැකවරණය, ආහාර සහ ආදරය ලැබිය යුතු බව ලෝකයට මතක් කර දීමට ය.


    chn
    (උපුටා ගත්තේ Malith Achintha Kodikara ගේ Face book පිටුවෙනි).

  • චීනයේ සමාජ මාධ්‍ය නියාමනයට නව නිතී | TMG Chandrasekara

    වෛද්‍ය විද්‍යාව, නීතිය, අධ්‍යාපනය හෝ මූල්‍ය බඳු “සංවේදී” විෂයයන් මාර්ගගතව සාකච්ඡා කිරීමට පෙර සමාජ මාධ්‍ය බලපෑම් කරන්නන් ඒ ඒ විෂයන් පිළිබඳ නිල සුදුසුකම් ලබා දියයුතු බවට චීනය පුළුල් නව රෙගුලාසියක් හඳුන්වා දී ඇත.

  • චීනෙට ගිය පොලිස්පති

    පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඊයේ(15) රාත්‍රිය් දී චීනය බලා පිටත්ව ගොස් ඇත.

    ඒ චීනයේ පැවැත්වෙන පොලිස් සමුළුවකට සහභාගිවීමටයි.

    පොලිස්පතිධූරයේ වැඩබැලීම සඳහා මධ්‍යම පළාත් සහ පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත්කර ඇත.

    ප්‍රියන්ත වීරසූරිය මහතා චීනයේ පැවැත්වෙන සමුළුවේදී දේශනයක් පැවැත්වීමට නියමිතව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළ අතර පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ලබන 20 වෙනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත.


  • චේතිය රාජ්‍යයට වසරයි; කළ දේවල් මෙන්න - සූගීෂ්වර බණ්ඩාර

    චේතිය රාජ්‍යයට වසරක් පිරුණ ද මේ වසර පුරා ම කර තිබෙන්නේ: වෛරය, පළිගැනීම හා හාස්‍යය සමාජ ගත කිරීම පමණක් යැයි නව ජනතා පෙරමුණ පක්ෂ නායක සූගීෂ්වර බණ්ඩාර පැවසී ය.

    ඔහු මෙම අදහස් පළ කළේ අද (23) එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී ය.

    එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ සූගීෂ්වර බණ්ඩාර...


    රුපියල් හතරයි ශත පනහක ප්‍රතිලාබයක්

    ''මීට වසරකට පමණ පෙර අද වගේ දිනයක තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා සිය තනතුරේ වැඩ බාර ගන්නේ. අද චේතිය රාජ්‍යයට වසරක් පිරෙනවා ඒ කියන්නේ පච පතිට වසරයි. මේ අවුරුද්ද පුරාවට වෛරය පළාගැනීම හා හාස්‍යය තමා සමාජ ගත කරලා තියෙන්නේ. ඉන් එහා කිසි දෙයක් සිදු වී නැහැ. මේ වසර දෙවන චේතිය රජුගේ ධුරකාලය යි. මේ වසර පුරාවට දුන් පොරොන්දු 1329න් එකක් පමණක් ඉෂ්ට කර තිබෙනවා.

    76 වසරකට පසුව ජනතාව වැඩියෙන්ම රවට්ටපු වසර මෙයයි. විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත සංශෝධනය කරලා ඔවුන්ගේ හිමිකම් අහෝසි කරා . එය සිදු කළෙත් මහින්ද රාජපක්ෂ ජනපතිතුමන්ට රිදවීමේ චේතනාවෙන්. ඒ තුළින් මේ රටේ ආර්ථිකයට වෙච්ච හොදක් නම් නෑ . රු. 4.50කින් තමයි ප්‍රතිලාභය හිමිවන්නේ.


    බෙදුම්වාදයට අස්වැසිල්ලක් ලැබුණ අවුරුද්දක්

    මේ වසර පුරාවට බෙදුම්වාදය උපරිමයෙන්ම ශක්තිමත් වුණා. විශේෂයෙන්ම අධි ආරක්ෂිත කලාප වල තිබුණ හමුදා බාධක ඉවත් කළා, වවුනියාව ගුවන් හමුදා කදවුර භූමිය නිදහස් කරන්න කටයුතු සුදානම් කළා. එමෙන්ම උතුරේ අධි ආරක්ෂිත කලාපවල තිබුණ හමුදා කඳවුර ඉවත් කරලා එම ඉඩම් නැවත බෙදා දෙන්න සුදානම් කළා. ඒ අනුව බෙදුම්වාදයට අස්වැසිල්ලක් ලැබුන අවුරුද්දක්.

    ඉතිහාසයේ දැවැන්තම හොරකම ලෙස කන්ටේනර් 323 ක් කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කලා. ඒ සම්බන්ධව විශාල ගැටළුවක් ඇතිවෙලා තියෙනවා. ඒ පිළිබඳව කිසිදු වගකීමක් බිමල් රත්නායක ඇමතිවරයා බාර ගන්නේ නෑ. රේගු අධ්‍යක්ෂවරයා බාරගන්නේ නෑ. අද වෙනකම් මේ පිළිබඳව පැහැදිලි විමර්ශන්යක් තවම සිදු වෙලා නෑ.


    කතානායකවරයාගේ ගරුත්වය හෑල්ලු කරා

    චේතිය රාජ්‍ය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උත්තරීතර තනතුර වුණ කතානායක තනතුර හෑල්ලුවට ලක් කළා. හොර උපාධි සහතිකයක් තියෙන අශෝක රන්වල  පත් කළා. උපාධි සහතිකය පෙන්නන්න කියපුවාම ඔහු තනතුරෙන් ඉවත් කළා. ඉන්පසු වෛද්‍ය ජගත් වික්‍රමරත්න  පත්කලා කතානායක තනතුරට. වෛද්‍ය ජගත් වික්‍රමරත්න විශාල චෝදනා ප්‍රමාණයක් මේ වනවිට එල්ල වෙලා තියෙනවා. එතුමා විසින් රාජ්‍ය දේපළ අවභාවිතාව හා රාජ්‍ය මුදල් අපහරණය සම්බන්ධව. ඒ පිළිබඳ පැමිණිලි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට යොමු කරලා තියෙනවා. නමුත් ඒ වෙනුවෙන් කිසිදු වග විභාගයක් නෑ. ඒ වගේම කතානායකතුමන්ටද ඒ සම්බන්ධව සදාචාර සම්පන්නබාවයක් ද නෑ. මේ චේතිය රාජ්‍ය තුල කතානායකවරයාගේ ගරුත්වය හෑල්ලු කරලා තියෙන්නේ.


    විදුලි බල ඇමතිට වෙනස් නීතියක් ද...?

    පසුගිය අගෝස්තු 17 වනිදා මේ රටේ ප්‍රධාන මාධ්‍ය ආයතනයකින් විදුලි බල අමාත්‍ය කුමාර ජයකොඩි  2015 වර්ෂයේ පොහොර සංස්ථාවේ සේවකයකු ලෙස කටයුතු කරන අවස්ථාවේ දී රජයට රුපියල් මිලියන 8 ක මුදලක් ටෙන්ඩර් වංචාවක් හරහා පාඩු කිරීම සම්බන්ධව ඔහුට නඩු පවරන්න නියමිත බවට රටට කරුණු හෙළි කළා. ඒ සම්බන්ධව රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වැරැද්දක් සිදු කර ඇති නම් ඔහු කවුරු වුනත් තරාතිරම නොබලා දඩුවම් කරන බව ය. නමුත් මේ වනවිට මාසයක් ගතවෙලා තියෙනවා.

    අපිට ලැබී තියෙන තොරතුරු අනුව නම් විදුලි බල ඇමතිතුමා 2015 වර්ෂයේ සිදු කළ ටෙන්ඩර් වංචාවට අදාළව සියලු පරීක්ෂණ කටයුතු සිදු කර අවසන්. ඒ ලිපි ගොනුව අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිෂන් සභාවේ නිලධාරින් තිදෙනා ම අත්සන් කරලා තියෙනවා. අල්ලස් හා දුෂණ විමර්ශණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් වරයාත් අත්සන් කරලා තියෙනවා. නමුත් මේ වෙනකන් ඔහුට නඩු පවරලා නෑ.


    අසරණ වුණ රංග දිසානායක

    රංග දිසානායක කීර්තිමත් මහාධිකරණ විනිසුරුවරයෙක්. ඔහු අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විදිහට කීර්තිමත්ව කාර්යක්ෂමව කටයුතු කළා . ඔහු රාජ්‍ය සේවකයින්ට ආදර්ශමත් ලෙස දේශණ පැවැත්වුවා. නමුත් කුමාර ජයකොඩිට නඩු පවරණ මේ අවස්ථාවේ දී රංග දිසානායක අධ්‍යක්ෂජනරාල්වරයා අසරණ වෙලා තියෙනවා. ඒ නිසා අපි රංග දිසානායකගෙන් අහන්න කැමති අමාත්‍ය කුමාර ජයකොඩිට මේ සම්බන්ධව නඩු පවරනවාද නැද්ද යන්න රටට හෙළි කරන්න.

    අපට ලැබී තියෙන තොරතුරු අනුව නම් කුමාර ජයකොඩිට එරෙහිව නඩු පැවරීම වැලැක්වීම සම්බන්ධව රංග දිසානායකව කිසියම් අදෘශමාන හස්තයකින් හසුරුවන බවය. කුමාර ජයකොඩි  සම්බන්ධ ලිපි ගොනුව බහා තබන්න නඩු පවරන එක වළක්වන්න කියලා. ඒ නිසා රංග දිසානායක මැතිතුමනි, දැන් මාසයක් ගතවෙලත් ඔබතුමන්ගේ මේසය මත එම ලිපි ගොනුව දුවිලි වදිමින් තියාගන්න අවශ්‍ය නෑ. කරුණාකාරලා නඩු පවරලා ඔබතුමාගේ අපක්ෂපාත්තවය, සුජාතභාවය රටට ඔප්පු කරන්න කියලා අපි ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.''

    මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා: දෙහිවල ආසන සම සංවිධායක අජන්ත ද සිල්වා, මධ්‍යම කාරක සභික හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විකුම් කිත්සිරි සහ කොළඹ දිසා නායක නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන් යන අය සහභාගි වූහ.

     

    nawajanatha 20250923

  • ජන ජීවිත සහ ශ්‍රම බලකාය ශක්තිමත් කරන්නේ නිදහස් සෞඛ්‍ය සේවාව යි - GMOA

    මෙරට ජන ජීවිත සහ ශ්‍රම බලකාය ශක්තිමත් කරමින් සුවපත් රටක් සහ අනාගතයක් බිහි කිරීම වෙනුවෙන් ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කරනු ලබන්නේ නිදහස් සෞඛ්‍ය සේවාව යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.

    එම සංගමය මෙලෙස සඳහන් කරන්නේ බිඳ වැටෙන රෝහල් පද්ධතිය රැක ගනිමින් නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම උදෙසා තිරසාර වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවක් පවතින බවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

     

    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ගේ අත්සනින් යුත් එම නිවේදනයට අනුව රෝහල් පද්ධතියේ තුළ පවතින ගැටලු නිවැරදිව හඳුනා ගනිමින් එම ගැටලු සඳහා ඒකාකාරී විසඳුම් ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් මෙරට රෝහල් පද්ධතිය සහ රෝගී සත්කාර සේවාවන් බිඳ වැටීමේ අවධානමකට ලක් වී ඇත.

     

     එමෙන් ම නිදහසින් දශක 08 කට ආසන්න කාලයක් ගත වී තිබුණ ද නිදහස් සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා අරගලයක නිතර වීමට තවමත් ජනතාවට සිදු වී ඇතැයි එම නිවේදනයේ සදහන්ව ඇත.

    මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.

     

    goma 453px

  • ජනතා සහන සහ වර්ධනය ඉලක්ක කළ නව්‍ය අයවැයක් නව මුහුණුවරකින්

    2026 අයවැය නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට රජය සූදානම් වන විට, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආර්ථික දැක්මේ තීරණාත්මක අවස්ථාවක් ලෙස ආර්ථික විද්‍යාඥයින් සහ ව්‍යාපාරික ප්‍රජාව තුළ ඉහළ අපේක්ෂාවක් ගොඩනැගෙමින් පවතී.

    වත්මන් ආණ්ඩුව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්තිම අනුගමනය කරන බවට සමගි ජන බලවේගයෙන් (SJB) විවේචන එල්ල වන පසුබිමක් තුළ, අතීතයෙන් බැහැර වූ නව දිශානතියක් පොරොන්දු වන අයවැයක් කෙරෙහි සියලු දෙනාගේම අවධානය මුදල් අමාත්‍යාංශය වෙත යොමු වී ඇත.

    ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමගේ නායකත්වය යටතේ කෙටුම්පත් කෙරෙන පළමු අයවැය

    මෙය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති දිසානායක මහතාගේ දෙවන අයවැය වුවද, නව මුදල් අමාත්‍යාංශ ලේකම්, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නායකත්වය යටතේ සම්පූර්ණයෙන්ම සකස් කෙරෙන පළමු අයවැය මෙයයි.

     

     

    ජාතික ජන බලවේගයේ (NPP) ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රධාන පෙළේ නිර්මාණකරුවෙකු වන සූරියප්පෙරුම මහතා, දේශපාලන පරිණතභාවය සහ දශක ගණනාවක ජ්‍යෙෂ්ඨ පෞද්ගලික අංශයේ අත්දැකීම්වල අද්විතීය සම්මිශ්‍රණයක් මෙම තනතුරට ගෙන එයි. ඔහුගේ පූර්වගාමියා වූ මහින්ද සිරිවර්ධන මහතාගේ සාම්ප්‍රදායික අයවැයවලට වඩා, සූරියප්පෙරුම මහතාගේ ප්‍රවේශය, ජනතාවාදී සහ ප්‍රායෝගික ප්‍රතිඵල ඉලක්ක කරගත් "නව්‍ය චින්තනයක්" පොරොන්දු වන බව භාණ්ඩාගාරයට සමීප ආරංචි මාර්ග පෙන්වා දෙයි.

     

     

    ඉදිරි අයවැය, මහජනතාවගේ ප්‍රධානතම ගැටලුවක් වන ඉහළ ජීවන වියදම කෙරෙහි සෘජුවම අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    "ජනතාව මත නව බදු පැනවීමක් සිදු නොකරන බවට" ජනාධිපති දිසානායක මහතා ජපානයේදී මෑතකදී කළ ප්‍රකාශය මගින්ද තහවුරු වන්නේ, රජය සැලකිය යුතු සහන රැසක් ලබා දීමට සූදානම් වන බවයි. පැහැදිලි ඉලක්ක වනුයේ: ජනතාවට සහනයක් ලබා දීම, තරුණයින් ඉලක්ක කරගත් නව රැකියා උත්පාදනය සහ යටිතල පහසුකම් හා ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීම තුළින් ආර්ථික වර්ධනය උත්තේජනය කිරීමයි.

    මෙම දැවැන්ත වැඩපිළිවෙළ පිටුපස ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ සිදුවන බරපතල අභ්‍යන්තර ප්‍රතිසංවිධානයකි. සූරියප්පෙරුම මහතා අමාත්‍යාංශයේ මෙහෙයුම් ආකෘතිය ප්‍රතිව්‍යුහගත කරමින්, දක්ෂ නිලධාරීන් නව වගකීම් සමග බලගන්වමින් සිටින බව වාර්තා වේ. ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම නව ප්‍රතිසංස්කරණ වේගයට එරෙහිව ප්‍රමාද කිරීමේ උපක්‍රම යොදන බවට වාර්තා වුවද, සිය අධිෂ්ඨානශීලී නායකත්වය සඳහා ප්‍රසිද්ධ ලේකම්වරයා, නාස්තිය හා දූෂණය අවම කරමින් මහජන ප්‍රතිලාභ උපරිම කරන අයවැයක් ඉදිරිපත් කිරීමට කැපවී සිටී.

     

     

     

    2026 අයවැය හුදෙක් මූල්‍ය ප්‍රකාශනයකට වඩා වැඩි දෙයක් ලෙස සැලකේ. එය, ආචාර්ය සූරියප්පෙරුම මහතාගේ ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළේ පළමු ප්‍රධාන පරීක්ෂණය වන අතර, වර්ධනය සහ මානුෂීය බව තුලනය කරන නව ආර්ථික මාවතක් නිර්මාණය කිරීමට දිසානායක පරිපාලනයේ ඇති කැපවීම පිළිබඳ තීරණාත්මක සංඥාව වනු ඇත.

     

     

    (සමන් වික්‍රමසිංහ )

     

    මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

    ජනාධිපති වැය ශීර්ෂයේ තුන් ගුණයක ඉහළ යාමක්: මෙවර විසර්ජන පනත් කෙටුම්පතේ මුදල් බෙදී ගොස් ඇත්තේ කෙසේ ද?

  • ජනපති අද ජපානයට

    ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජපානයේ නිල සංචාරය අද (27) ආරම්භ කිරීමට නියමිතය.


    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා පසුගියදා අමෙරිකාවේ නිව්යෝර්ක් බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා එහි සිට මෙම ජපාන සංචාරය සිදුකරනු ලැබීය.

    විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ජපන් රජය විසින් සිදුකරන ලද ආරාධනයකට අනුව අද සිට ලබන30 වන දින දක්වා ජනාධිපතිවරයා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බවයි.


    මෙම සංචාරය තුළ දී ජනාධිපති අනුර කුමාර දිසානායක, ජපන් අධිරාජ්‍යයා හමුවීමටද නියමිතය.


    ටෝකියෝවේ ප්‍රමුඛතම ජපන් ව්‍යාපාර සහ අයෝජකයින්ගේ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ව්‍යාපාරික සංසදයක් ද ජනාධිතිවරයා විසින් ඇමතීමට නියමිතව ඇති අතර ජපන් අග්‍රාමාත්‍යවරයා සමග අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබද අවධාරණය කෙරෙන සමුළු රැස්වීමක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


    ඊට අමතරව 'එක්ස්පෝ 2025 ඔසාකා' ප්‍රදර්ශනය සඳහා ද ජපන් රජයේ ආරාධිතයෙකු ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක  සහභාගි වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේය.

  • ජනපති ඇමරිකා එක්සත් ජනපදයට

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ(23) එ.ජ. වේලාවෙන් පෙ.ව 8.50ට පමණ ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා විය.

    ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය ඇතුළු පිරිස විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද සහභාගි වී සිටී.

  • ජනපති ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමුවෙයි

    ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක නරුහිතෝ අධිරාජ්‍යයා හමුවී තිබේ.

    ඒ ඊයේ (30) පස්වරුවේ ටෝකියෝහි පිහිටි අධිරාජ්‍ය මන්දිරයේදී ය.

    ජපාන අධිරාජ්‍යයාගේ නිල නිවස වන අධිරාජ්‍ය මන්දිරයේදී නරුහිතෝ අධිරාජ්‍යයා විසින් ජනාධිපතිවරයාව උණුසුම් අයුරින් පිළිගනු ලැබීමෙන් අනතුරුව සුහද පිළිසඳරකද නිරත විය.

    මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද එක්විය.

  • ජනපති ප්‍රධානත්වයෙන් ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කෙරේ

    රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට නම් සියලු ක්ෂේත්‍රවල කාර්යක්ෂමතාව සහ විනිවිඳභාවය තහවුරු කළ යුතු බවත්, වත්මන් රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව ආර්ථික මෙන්ම සමාජයීය වශයෙන් නව තලයකට ඔසවා තැබෙන වැඩපිළිවෙළක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක  පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය (2025- 2029) හඳුන්වා දීම සහ ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය (NCSOC) විවෘත කිරීමේ අවස්ථාවට අද (19) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එක් වෙමිනි.

    ඩිජිටල් ආර්ථික පරිවර්තන වැඩපිළිවෙළෙහි සුවිශේෂී අවස්ථාවක් ලෙස ආරක්ෂිත, විශ්වාසනීය සහ සියලු පුරවැසියන් ආවරණය කෙරෙන ඩිජිටල් පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT), ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව ලෝක බැංකුවේ තාක්ෂණික සහායද ඇතිව ශ්‍රි ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය 2025-2029 හඳුන්වා දී තිබේ.

    සයිබර් ආරක්ෂණය සඳහා අවශ්‍ය නීති සහ පරිපාලන රාමුව සකස් කිරීම, සයිබර් ආරක්ෂණය පිළිබඳ දැනුම සහ කුසලතාවලින් පරිපූර්ණ වූ ශ්‍රම බළකායක් නිර්මාණය කිරීම, මහජනතාවගේ සහ පාසල් දරුවන්ගේ සයිබර් ආරක්ෂණය පිළිබඳ දැනුම සහ ආකල්ප වර්ධනය, රාජ්‍ය ආයතනවල සයිබර් ආරක්ෂණ සූදානම වැඩිදියුණු කිරීම, ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ ධාරිතාව වැඩිදියුණු කිරීම, තීරණාත්මක ඩිජිටල් යටිතල පහසුකම් පවත්වාගෙන යන ආයතන ආරක්ෂා කිරීම සහ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා විවිධ පාර්ශ්ව සමඟ සහයෝගීතාව වර්ධනය කිරීම මෙම මූලෝපාය මඟින් අපේක්ෂා කෙරේ.

    අද ආරම්භ කෙරුණු ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය මඟින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු තීරණාත්මක ඩිජිටල් යටිතල පහසුකම් පවත්වා ගෙන යන ආයතන 37ක් දවසේ පැය 24 පුරා නිරීක්ෂණය කරමින්, ඒවාට එල්ල වන සයිබර් ප්‍රහාර හඳුනාගැනීමට කටයුතු කරනු ඇත.

    සයිබර් තර්ජන, අවදානම් සහ ආක්‍රමණ අඛණ්ඩව නිරීක්ෂණය කිරීමෙන් සහ සුදුසු පාර්ශ්වකරුවන්ට වහාම දැනුම් දීමෙන් රජයේ සයිබර් පද්ධති සහ පොදු ඩිජිටල් සේවා ආරක්ෂා කිරීම මෙහි වගකීමයි.

    ශ්‍රී ලංකාවේ ඩිජිටල් පද්ධතියේ ආරක්ෂාව සහ ඔරොත්තූ දීමේ හැකියාව වැඩිදියුණු කිරීම, සයිබර් සහ අවදානම් සඳහා පුර්ව අනතුරු ඇඟවීම සහ වේගවත් ප්‍රතිචාර සැපයීම, ආරක්ෂිත ඩිජිටල් මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශයට සහාය වීම සහ දැනුවත් කිරීම මෙම මධ්‍යස්ථානය මඟින් සිදුකරනු ඇත. මෙහෙයුම් අඛණ්ඩතාව, වේගවත් ප්‍රතිචාර, අඩු පිරිවැය, අනුකූලතාව සහ විශ්වාසය මෙහි ප්‍රතිලාභ වේ.

    මෙම ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය (2025- 2029) ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න  විසින් ජනාධිපති සහ ඩිජිටල් ආර්ථික අමාත්‍ය අනුර කුමාර දිසානායක  වෙත පිළිගන්වනු ලැබීය.

    මෙහිදී අදහස් දැක් වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ තාක්ෂණය සහ විද්‍යාව අත්පත් කරගන්නා ජයග්‍රහණ වේගයෙන් උකහා ගැනීමට සමත් රාජ්‍ය ඉතා ඉක්මනින් දියුණුවේ හිණි පෙත්තටම ගමන් කරන බවයි. මෙම ජාතික සයිබර් ආරක්ෂණ පද්ධතිය අපේ රටේ ජාතික ආරක්ෂාවටත්, ජාතික ආර්ථිකයටත්, පුරවැසියන්ගේ ජීවන රටාව පිළිබඳ ආරක්ෂණයේදීත් ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනු ඇතැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක  මෙසේද පැවසීය.

    "අපි අද සුවිශේෂි කාර්යයකට මුල පුරනවා. අපි මේ විවෘත කරනු ලැබුවේ හුදු ගොඩනැඟිල්ලක්, කාර්යාලයක් පමණක් නොවෙයි. ඩිජිටල්කරණය පිළිබඳව අපි ශක්තිමත් ගමනක් යනවා නම්, ඒ සඳහා ආරක්ෂිතභාවය, ශක්තිමත්භාවය සහ විශ්වාසනීයත්වය අත්‍යවශ්‍ය වෙනවා. ඒ සඳහා අවශ්‍ය වන සයිබර් ආරක්ෂණ පද්ධතිය තමයි අද අපි විවෘත කරනු ලැබුවේ. එය අපේ රටේ ඩිජිටල් ආර්ථික ගමනේදි ඉතා වැදගත් අවස්ථාවක්.

    අපි දේශපාලනිකව බැලුවත් ලෝක ආර්ථිකයේ ගමන් මඟ දෙස බැලුවත් එහි ප්‍රධාන සාධකය වන්නේ, ඒ මොහොතේ තාක්ෂණය සහ විද්‍යාව විසින් අත්පත් කරගන්නා ජයග්‍රහණය වේගයෙන් උකහා ගැනීමට සමත් රාජ්‍ය ඉතා ඉක්මනින් දියුණුවේ හිණි පෙත්තට ගමන් කරනවා. තාක්ෂණයේ සහ විද්‍යාවේ දියුණුව වේගයෙන් අත්පත් කර ගැනීමට අසමත් වූ රාජ්‍ය, ඒ හා සමාන ලෙසම පරිදියේ තවත් ඈතට තල්ලු වෙනවා. මම හිතනවා ලංකාව ලෙස අප මුහුණ දී තිබෙන අර්බුදය තිබෙන්නේ ඒ තුළයි.

    අපි කවුරුත් දන්නවා බොහෝ සංකල්ප නිර්මාණය වුණේ 16 සහ 17 වන සියවස්වල. හැබැයි, මේ සංකල්පමය වශයෙන් ගොඩනැගුණු බොහෝ දේ යථාර්ථයක් බවට පත් වූයේ විසි වන සියවසේදීයි. සෞඛ්‍ය ක්ෂේත්‍රය අත්පත් කරගත් ජයග්‍රහණ, දේශපාලනය හුදු රාජ-ධුරාවලියකින් පාලනය වූ ලෝකයක ජනතාවගේ සහභාගීත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පාලකයන් තෝරා පත් කර ගැනීම, ඒ වගේම මිනිස් සබඳතාවල නව ස්වරූප මේ සියල්ල ප්‍රායෝගික තලයට ගෙන ආවේ 20 වන සියවසේදීයි. ඒ අනුව, 20 වන සියවස අගභාගයේ සිට මේ ඩිජිටල්කරණ වූ ලෝකය විශාල කාර්යභාරයක් ඉටු කිරීමට පටන් ගත්තා.

    අපිට තෝරා ගත හැකි මාවත් දෙකක් තිබෙනවා. එහි පළමුවැන්න මේ ඩිජිටල්කරණය ඉතා වේගයෙන් උකහාගෙන එය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කර ගැනීම. එවිට අපිට දියුණු රාජ්‍ය සමඟ සමාන්තරව ගමන් කළ හැකියි. එම තාක්ෂණික ජයග්‍රහණ නිසි පරිදි අත්පත් කර ගැනීමට අසමත් වීම තුළින් ලෝකයෙන් තවදුරටත් අප ඈත්වෙමින් යනවා.

    මේ නවීන තාක්ෂණය විසින් අත්පත් කර ගන්නා ලද දැනුම, නව මෙවලම්, නව පද්ධති වේගයෙන් අපේ රාජ්‍යයට කැඳවාගෙන ආ යුතුයි. ඒ නිසා තමයි අපේ රජයේ ප්‍රධාන වැඩපිළිවෙළක් ලෙස ඩිජිටල්කරණය හඳුනාගෙන තිබෙන්නේ. ඒ වෙනුවෙන් විද්වතුන්, වෘත්තීයවේදීන් විශාල කැපවීමකින් කටයුතු කරනවා.

    අපේ රාජ්‍ය සේවය සැලකිය යුතු ප්‍රමාණයකින් නටබුන් වූ ඉතිහාසයකට උරුමකම් කියනවා. 70 දශකයේ අපිට ප්‍රෞඪ රාජ්‍ය සේවයක් තිබු බවට උදම් අනන අපි ප්‍රෞඪත්වය තුළම සිර වී නටබුන් රාජ්‍යයකට උරුමකම් කියනවා. ඒ නිසා මේ ඩිජිටල්කරණය මඟින් නටබුන් වූ රාජ්‍ය යාන්ත්‍රණය වඩා කාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පරිවර්තනය කළ යුතුයි. විශේෂයෙන් රාජ්‍ය යාන්ත්‍රණය විසින් පුරවැසියාට ලබා දෙනු ලබන සේවාව කාර්යක්ෂම කළ යුතුයි. තෘප්තිමත්, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබා දීමට නම් නව පද්ධති නිර්මාණය කොට එහි කාර්යක්ෂමතාවේ ප්‍රතිලාභ ජනතාවට ලබා දිය යුතුයි.

    ඒ වගේම විනිවිඳභාවය ඉතා වැදගත් වෙනවා. අපේ රාජ්‍ය යාන්ත්‍රණය ගැඹුරුම අර්බුදයකට මුහුණ දී තිබෙනවා විනිවිඳභාවය කියන කාරණයේදී. මිලදී ගැනීම්, ප්‍රදානය කිරීම, බඳවා ගැනීම්, ප්‍රතිපත්තිමය තීන්දු තීරණවලදී එය දැඩිව බලපානවා. ඒ නිසා මේ විනිවිඳභාවය තහවුරු කිරීමේදීත් මේ ඩිජිටල්කරණය ඉතා වැදගත් වෙනවා.

    ඒ වගේම, මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමේ දී මෙන්ම නව වෙළෙඳපොළ සහ ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමේදී ඩිජිටල්කරණය ඉතා වැදගත් වෙනවා. එහිදී ව්‍යාපාරිකයින්ට ඩිජිටල්කරණය මඟින් නව වෙළෙඳපොළ අත්පත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. මෑත කාලයේ දියුණුව අත්පත් කර ගත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන දෙස බැලුවත් මේ නවෝත්පාදන මඟින් නව වෙළෙඳපොළ නිර්මාණය කර ගෙන තිබෙනවා. ඒ නිසා ව්‍යාපාරික ලෝකයටත් මෙය ඉතා වැදගත් වෙනවා.

    ආර්ථික වශයෙන් රටක් ඉදිරියට ගෙන යාමට නම් සමාජ ජීවිතය කාර්යක්ෂම කළ යුතුයි. එය සිදුවන්නේ ඩිජිටල් ආර්ථිකය හරහායි. තවදුරටත් සිර කළ ජීවිතයක් වෙනුවට, නිදහස් පරිසරයක තමන්ගේ දෛනික අවශ්‍යතා සපුරාගත හැකි මෙවලම් මේ ඩිජිටල්කරණයෙන් නිර්මාණය වෙනවා. ඒ නිසා රාජ්‍ය සේවයේදීත්, ව්‍යාපාර ලෝකයේදීත්, සාමාන්‍ය පුරවැසියන් දෙස බැලුවත් මෙය තමයි අපේ ආර්ථිකයේ ප්‍රධාන මූලෝපාය බවට පත් විය යුත්තේ.

    ඇතැමුන් කියනවා මිනිස්සු යන්ත්‍ර බවට පත් වේවි, මිනිසුන්ගේ හැගීම නැති වේවි කියලා සංවාද ගොඩනඟනවා. එහෙම වෙන්නේ නැහැ. මිනිසුන් ස්වභාවිකවම හැගුම්බරයි, සමාජ සබඳතාවලින් පිරි තිබෙනවා. ඒ නිසා මේ දිශාව තමයි මාවත, මෙහිදී සිදු විය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා වූ ප්‍රවේශය වන්නේ ශක්තිමත් ජාලයක් නිර්මාණය කර ගැනීමයි. එම තාක්ෂණය තුළින්ම එය නිර්මාණය කරගත හැකියි.මෙය තවදුරටත් දියුණු විය යුතුයි. දැන් අත්පත් කරගෙන තිබෙන දැනුම විසින්ම නව දැනුම උත්පාදන කරනු ලබනවා . වේගයෙන් එම පරිවර්තනය සිදු වෙනවා. ඒ නිසා මෙය ගතික දෙයක්. මීට පෙර කොටු පවුරක් බැඳ තර්ජනයට මුහුණ දිය හැකියි. හැබැයි, සයිබර් ආරක්ෂණ පද්ධතිය කොටු පවුරක් නොවෙයි. මෙය නිරන්තරයෙන් තර්ජනයට මුහුණ දිය හැකියි, නිරන්තරයෙන් එය වළක්වා ගැනීමට අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා මේ ජාතික සයිබර් ආරක්ෂණ පද්ධතිය අපේ රටේ ජාතික ආරක්ෂාවත්, ජාතික ආර්ථිකයත්, පුරවැසියන්ගේ ජීවන රටාව පිළිබඳ ආරක්ෂණයේදීත් ඉතා වැදගත් වෙනවා. ඒ සඳහා දායකත්වය දැක් වූ විද්වතුන්, වෘත්තීයවේදීන් සියලුදෙනාට ස්තූතිය පළ කරමින්, මේ ගනු ලැබු පියවර තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට සුභාසිංසන පළ කරනවා."

    ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය, ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ඩිජිටල් සංවර්ධන විශේෂඥ Ida S Mboob , අග්‍රාමාත්‍ය ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රි, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ සභාපති තිලක් පතිරගේ  සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, විද්වතුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    Ada derana.lk

  • ජනපති සමග අයවැය යෝජනා ගැන කතා කරන්න අපටත් අවස්ථාවක් දෙන්න - ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදය

    ලබන වසර සඳහාවූ අයවැය සකස් කිරීමේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ප්‍රජාවගේ ගැටළු හා ප්‍රශ්න වලට විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමට මුදල් ඇමැතිවරයා වන ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට ඉඩ ලබා දෙන්නැයි තම සංසදය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපතිනී ටානියා එස් අබේසුන්දර ඉල්ලීමක් කළාය.

    කොළඹ 07, විද්‍යා මාවත, විද්‍යා මැඳුරේ අද (15) පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇය මෙසේද කීවාය.

     

    අපි රජය කෙරෙහි තැබු ලෙන්ගතු කම එදා මෙන්ම අදටත් එසේමයි..

     රජය කෙරෙහි බලාපොරොත්තු තබාගෙන අපි කාලයක් නිහඩව සිටියා. ව්‍යවසායකත්වය පිළිබද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පිළිබඳව රජය මෙයට වඩා සිතන්නට ඕන.

    රටේ සියයට 75ක ආර්ථික දියුණුවට දායකත්වය සපයන්නේ අප නියෝජනය කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්. ඔවුන්ගේ නිෂ්පාදන අපනයන තත්ත්වයට ඉහළ නංවා ආර්ථිකය තව දුරටත් ශක්තිමත් කළ යුතුයි. අප අංශයෙන් අපනයනයට දායක වන්නේ සියයට 4.4යි. එය සියයට 10ක් 12ක් කර ගත යුතුයි. ඒ සඳහායි අප වැඩපිළිවෙළක් සකස් කළ යුත්තේ.

     

    ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ උප සභාපති ලක්මාල් පෙරේරා,

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කරන අයට රජයෙන් සහ බැංකු වලින් ණය ලබාදීමේදි සිදු කර තිබෙන ණය වර්ගීකරණය ගැටලු සහගතයි. එම ගැටලු විසඳා ගත යුතුයි.

    ණය ලබා දීමේ වැඩපිළිවෙලවල් දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. කර්මාන්ත අමාත්‍යංශය හරහා මිලියන 25 දක්වා ණයක් ලබා ගැනීමට පහසුකමක් සපයා තිබෙනවා.

    මුදල් අමාත්‍යංශය ණය වැඩපිළිවෙලක් හඳුන්වා දි තිබෙනවා. මේ දෙකෙහි යම් යම් ගැටලු මතුවී තිබෙනවා. එය විසඳා ගත යුතුයි.

     

    ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ විධායක සභික ප්‍රදීපා කළුතන්ත්‍රිගේ,

    ඇගළුම් කර්මාන්තවල සේවය කිරීමට විශාල සේවක හිඟයක් තිබෙනවා. රජය වහාම මැදිහත්වී රටේ මානව සම්පත දැනුමෙන් සංවර්ධනය කොට මෙම ක්ෂේත්‍රයේ රැකියා සඳහා තරුණ තරුණියන් යොමු කළ යුතුයි.

    ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ කර්මාන්ත සහ ප්‍රතිපත්ති අංශයේ විධායක සභික රිසාන් රිස්වි.

    එක්සත් ජනපද ඩොලර් බිලියන 13ක සංචිතයක් අප වසර 2028දී ගොඩනගා ගත යුතුයි. ඒ සඳහා විධිමත් නිසි වැඩපිළිවෙලක් ඔස්සේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශය දියුණු කිරීමට පියවර ගත යුතුයි.

    ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ විධායක සභික ඒ.එම්.ජේ.එම් ජව්ෆර් මෙහිදි අදහස් දැක්වූහ.

     

    WhatsApp Image 2025 10 15 at 4.59.34 PM

     

     

    (සටහන | ජේ.මුණසිංහ)

  • ජනපති හෙට අමෙරිකා එක්සත් ජනපදයට

    හෙට (22) රාත්‍රියේ ජනාධිපති අනුර කුමාර දිසානායක අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිත අතර මෙම සංචාරයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීමට නියමිතය.

    එළ‌බෙන බදාදා (24) එරට වේලාවෙන් ප.ව 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    මෙම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිප දෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වීමටද නියමිතය.

    ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකටද සහභාගී වනු ඇති අතර මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද එක් වේ.


  • ජනපතිගේ වත්කම් ප්‍රකාශයේ නැති තොරතුරු ගම්මන්පිල කියයි

    සිය වත්කම් බැරකම් ප්‍රකාශවට ජනපති අනුර කුමාර දිසානායක  ඇතුම් තොරතුරු ඉදිරිපත් කර නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල  මාධ්‍ය හමුවක් තබමින් සඳහන් කළේය.

    "2023 අංක 9 දරණ දූෂණ වීරෝධී පනත සම්මත කරලා වත්කම් ප්‍රකාශයක තොරතුරු ප්‍රසිද්ධ කිරීමට අපි ගත් තීරණයෙන් වත්මන් ආණ්ඩුව බරපතල අමාරුවක වැටිලා. මේ පනත සම්මත කරන්න කලින් වත්කම් ප්‍රකාශය කියන්නේ රහසිගත ලේඛණයක්. අපි ලේඛණය සකසලා අලවපු ලියුම් කවරයක සීල් කරලා තමයි භාර දුන්නේ. අධිකරණ නියෝගයකින් විතරයි ඒක විවෘත කරන්න පුළුවන්.

    නමුත් නව පනතින් ඒක වෙනස් වුණා. පෞද්ගලික තොරතුරු හැර අන් සියල්ලම අල්ලස් කොමිසම විසින් ප්‍රසිද්ධ කළ යුතුයි. අවාසනාවට මාලිමා නායකයින් මෙහෙම පනතක් සම්මත වෙන බව දැනගෙන ඉඳලා නෑ. ඒ නිසා මේ අය කිසිම බයක් නැතිව වැරදි තොරතුරු ඉදිරිපත් කරන්නත් වැදගත් තොරතුරු සඟවන්නත් කටයුතු කරලා තිබෙනවා.

     

    ගුවන් ටිකට්පත්වලට මුදල් ගෙව්වේ කවුද? හෝටල් වලට ගෙව්වේ කවුද?

     කතා බහට ලක් වන මේ වත්කම් ප්‍රකාශය ඉදිරිපත් කරලා තිබෙන්නේ 2024 අප්‍රේල් 1 දා සිට 2025 මාර්තු 31 දක්වා කාලයට. 2024 ජූනි 13 සිට 15 දක්වා එංගලන්තයේ සංචාරයක ජනාධිපතිතුමා නිරත වුණා. එතුමාට ඒකට ගුවන් ටිකට්පත්වලට මුදල් ගෙව්වේ කවුද? හෝටල් වලට ගෙව්වේ කවුද? මේ තොරතුරු සියල්ලම වත්කම් ප්‍රකාශනයේ දාන්න ඕනි. නමුත් ජනාධිපතිතුමා මේ තොරතුරු දාලා නෑ.

    ඒ වගේම එතුමා 2024 දී ඉන්දියාවේ සහ කැනඩාවේ සංචාර වල නිරත වුණා. මේවාට වියදම් කලේ කවුද කියන එක වත්කම් ප්‍රකාශනයේ දාන්න ඕනි.

    ඒ වගේම ජනාධිපතිතුමා අනුරාධපුරයේ ගියාම ජනපති මන්දිරයේ නතර වෙන්නේ නෑ. නතර වෙන්නේ ප්‍රමිෂ්කා නෝනාගේ හමිං බර්ඩ් හෝටලයේ කියලා මාලිමාවෙන්මයි කිව්වේ. එහෙම නම් ඒ තොරතුරු වත්කම් ප්‍රකාශනයේ “8.2 ත්‍යාග ඇතුළු සංචාර ප්‍රතිපූර්ණයන්” යටතේ දාන්න ඕනි. නමුත් ඒක දාලා නෑ.

     

    ජනාධිපතිතුමාගේ 2025-26 වත්කම් ප්‍රකාශනය මීටත් වඩා රසවත් වේවි...

     ජනාධිපතිතුමාගේ 2025-26 වත්කම් ප්‍රකාශනය මීටත් වඩා රසවත් වේවි. 2025 මැයි මාසයේ දී ජනාධිපතිතුමා පෞද්ගලික ගුවන් යානාවකින් වියට්නාමයේ සිට ලංකාවට ආවා. ඒ යානාවට වියදම් කලේ කවුද කියන එකට ආණ්ඩුව විවිධ කතා කිව්වා. මුලින්ම වියට්නාම් ආණ්ඩුව කිව්වා. ඊලඟට එක්සත් ජාතින්ගේ වෙසක් උත්සව කමිටුව කිව්වා. ඊටත් පස්සේ වියට්නාම රාජ්‍ය නොවන සංවිධානයක් කිව්වා. ඒ ගමනට අනුග්‍රහය දැක්වූයේ කවුද කියන එක වගේම එහි වටිනාකමත් අද දක්වා අබිරහසක්. මී ලඟ වත්කම් ප්‍රකාශනයෙන් මේ අබිරහස් ගමන පිළිබඳ ඇත්ත දැන ගන්න අපට පුළුවන් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

    වත්කම් ප්‍රකාශනයේ සඳහන් නොකර තොරතුරු සැඟවීම බරපතල දඬුවම් ලැබෙන වරදක්. යම් වත්කමක් සඟවා තිබුණොත් ඒ වත්කම රාජසන්තක කරන්න පුළුවන්. ඒ වගේම තොරතුරු සැඟවූවොත් රුපියල් ලක්ෂ දෙකක දඩයක් සහ වසරක සිර දඬුවමක් ලැබෙන්න පුළුවන්.

     

    හේවගේ ඉතිරි කරන විධියට එක දියණියක් වෙනුවට දියණියන් පස්දෙනෙකු සිටියා නම්...

     මේ වරද කරලා තිබෙන්නේ ජනාධිපති විතරක් නොවේ. නලින් හේවගේ මන්ත්‍රිතුමාගේ ගිණුමේ ලක්ෂ 23ක් තිබෙනවා. එතුමා කියන්නේ ඒවා දියණියගේ උත්සවයකට ලැබුණු තෑගි කියලා. එහෙම තෑගි ලැබුණා නම් රු50,000ට වැඩි තෑගි දුන්නේ කවුද කියන එක නලින් ඇමතිතුමා වත්කම් ප්‍රකාශනයේ සඳහන් කරන්න ඕනි. නමුත් එහෙම සඳහන් කරලා නෑ. රු50,000ට වැඩි තෑගි ලැබුණේ නැතිනම් උත්සවයටත් වියදම් කරලා ලක්ෂ 23ක් ඉතිරි වෙන්නත් බෑනෙ.

    මෙතුමා ඉතිරි කරන විධියට එක දියණියක් වෙනුවට දියණියන් පස්දෙනෙකු සිටියා නම් ආර්ථික අර්බූදය වෙලාවේ අයිඑම්එෆ් කොන්දේසිවලට යට වෙලා ණයක් ගත්තු වෙලාවේ හේවගේ ඇමතිතුමාගෙන් ණයක් ගන්න තිබුණා.

     

    යට ඇඳුමේ සිට හැමදේම ජයශාන්ත අයියා ගෙන් ලබා ගත් හඳුන්නෙත්ති ඇමතිතුමාගේ වත්කම්

     යට ඇඳුමේ සිට හැමදේම ජයශාන්ත අයියා වගේ මිතුරන්ගෙන් ලබා ගත් හඳුන්නෙත්ති ඇමතිතුමාගේ වත්කම් ප්‍රකාශනයත් අපි බැලුවා. ලැබූ ත්‍යාග පිළිබඳ විස්තර කියන සටහනේ ඇමතිතුමා අත්අකුරින්ම ලියා තිබෙනවා “කිසිවක් නැත” කියලා. අඩුම ගණනේ හැමදාම හැමදේම දෙන ජයශාන්ත අයියාගේ නමවත් නෑ.

    2024 කියන්නේ මේ හැමෝම මැතිවරණ වලට ඉදිරිපත් වුණු වසර. ඒ නිසා ඕනෑම අපේක්ෂකයෙකුට තෑගි ලැබෙනවා. නමුත් කිසිවෙක් තමන්ට ලැබුණු මුදල් ත්‍යාග වේවා, ද්‍රව්‍යමය ත්‍යාග වේවා කිසිවක් සඳහන් කරලා නෑ. වත්කම් වල වටිනාකම දැවැන්ත ලෙස අවප්‍රමාණය කිරීම, ලැබුණු ත්‍යාග සැඟවීම, වත්කම් ප්‍රකාශනයේ තොරතුරු සැඟවීමට ජනධිපතිතුමාටත් සියළුම මැති ඇමතිවරුන්ටත් අනාගතයේ හිරේ ලගින්න වෙන බව නම් පැහැදිලියි.

     

    මේ කිසිවෙක් ආදායම් බදු ගොනු විවෘත කරලා නෑ...

    ඒ වගේම සමහර මන්ත්‍රිවරු දැන් කියනවා. අපි මාසයකට ලක්ෂ 10 -15 හම්බ කරපු මිනිස්සු. වසන්ත ඇමතිතුමා පරම්පරාගත සල්ලිකාරයෙක් යනාදී කතා. නමුත් මේ කිසිවෙක් ආදායම් බදු ගොනු විවෘත කරලා නෑ. ඒ කියන්නේ ආදායම් බදු ගෙවලා නෑ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ද ඉදිරියේ දී නඩු වැටෙන්න පුළුවන්.

    වසන්ත ඇමතිතුමාට තමන්ගේ ගම්බාර සීයාගෙන් ලැබුණු වත්කම් තමයි මේ තිබෙන්නේ කියලා අපි පිලිගනිමුකෝ. එහෙම නම් වත්කම් ප්‍රකාශනයේ තිබෙන ක්‍රිප්ටෝ කරන්සි තොගයත් සීයාගේ බූදලයේ තිබෙන්න ඕනි. දැනට ක්‍රිප්ටෝ කරන්සිවල නිර්මාතෘ ලෙස සලකන්නේ 2009 දී බිට් කොයින් සොයා ගත් සතොෂි නකමොටො. නමුත් වහාම ඒ නම වෙනුවට වසන්ත ඇමතිතුමාගේ සීයා වන හේරත් මුදියන්සේගේ නම යොදන්න ඕනි. ලෝක ඉතිහාසය වෙනස් කරපු මෙවැනි ශ්‍රී ලාංකිකයෙකු අපට මග හැරුනේ කොහොමද කියන එක දැවෙන ප්‍රශ්නයක්.

    ලංකාවේ නීතිය අනුව ක්‍රිප්ටෝ කරන්සි ලඟ තබා ගැනීම වරදක් නොවේ. ඒ කියන්නේ යමක් විකුණලා ලැබෙන ගෙවීම ලෙස හෝ තෑග්ගක් ලෙස හෝ ක්‍රිප්ටෝ කරන්සි ලබා ගන්න පුළුවන්. නමුත් ණයවර පතක් හෝ මුදල් ගෙවීමක් කරලා ක්‍රිප්ටෝ කරන්සි මිල දී ගන්න බෑ. හේරත් මුදියන්සේගේ සීයා ක්‍රිප්ටෝ කරන්සිවල නිර්මාතෘ නොවේ නම් වසන්ත ඇමතිතුමා ක්‍රිප්ටෝ කරන්සි අත්පත් කර ගැනීමත් නීති විරෝධි වෙනවා."

  • ජපන් නිසාන් විද්‍යුත් මෝටර් රථ ගිනි අවදානමක

    එක්සත් ජනපදය වෙත අපනයනය කළ ජපානයේ නිසාන් විද්‍යුත් මෝටර් රථ 19,077ක් එම සමාගම විසින් යළි කැඳවා තිබේ. එම මෝටර් රථ ත්වරිත ආරෝපණයේදී (quick charging) අධි උෂ්ණත්වයක් පෙන්වීම හේතුවෙන් ගිනි අවදානමක් හටගත හැකි බවට වන සාධනීය සැකය මත එම තීරණය ගෙන තිබේ.

    මෙම වසරේ අපනයනය කළ නිසාන් මෝටර් රථ 880,000කට අධික සංඛ්‍යාවක එන්ජිම, ආරක්ෂක එයාර් බෑග් සහ විද්‍යුත් ආරෝපණ බැටරි පද්ධතීන් ආශ්‍රිත දෝෂ පවතින බව අනාවරණය වී ඇතැයි 'ඒඉන්වෙස්ට්' (AInvest) වෙබ් අඩවිය පවසයි.

    එම මෝටර් රථ යළි කැඳවීමට සිදු වීමෙන් වසරේ මුල් කාර්තුව තුළ නිසාන් සමාගමට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.38ක පාඩුවක් සිදුව තිබේ. සමාගමට ඩොලර් බිලියන 4.5ක වාර්ෂික මූල්‍ය හිඟයකට මුහුණ දීමට සිදුව ඇතැයි ද වාර්තා වේ. නිෂ්පාදන මෙහෙයුම් ක්‍රියාවලිය ස්ථාවරව පවත්වාගැනීම උදෙසා ඇතැම් කර්මාන්තශාලා වසා දැමීමට මෙන්ම රැකියා 20,000ක් කප්පාදු කිරීමට ද සමාගම විසින් පියවර ගෙන තිබේ.

    නිසාන් සන් නාමය යටතේ නිෂ්පාදිත රෝග් (Rogue) ඇල්ටිමා (Altima) සහ ඉන්ෆිනිටි QX50 (Infiniti QX50) වර්ගයේ මෝටර් රථ පෙළක් මෙම අර්බුදයට ලක්ව ඇත.


    (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
    10/3/2025

    Nissan to recall over 19,000 US vehicles, citing quick charging fire risk

  • ජල කප්පාදුව අවලංගු කරයි

    කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (18) දිනයේ පැය 09ක කාලයක් පුරා සිදුකිරීමට සැලසුම් කර තිබූ ජල කප්පාදුව අවලංගු කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය  දැනුම් දී තිබේ.

    අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා ප්‍රධාන තුළුමුව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත්හිටුවීමට සිදුවන බැවින් අඹතලේ ජල පවිත්‍රාගාරය මඟින් සැපයෙන ජලය අත්හිටුවීමට සිදුව ඇති බව එම මණ්ඩලය විසින් මීට පෙර දැනුම් දී තිබු අතර බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මුල්ලේරියාව, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන, මොරටුව යන ප්‍රදේශ වල ක්‍රියාත්මක වීමට තිබු ජල කප්පාදුව සිදු නොවන බව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    අවශ්‍ය නම් 1939 දුරකථන අංකයෙන් ඇමතුම් මධ්‍යස්ථානය අමතා වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

     

    water 20250917

  • ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිලිබඳ ව්‍යාජ පනත් කෙටුම්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යයි

    ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන පනත් කෙටුම්පතක් වශයෙන් 2026 වර්ෂයට අදාළ ව සකසන ලද ව්‍යාජ ලේඛනයක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවති.

  • ජාතික කළමනාකරණ විශිෂ්ටතා සම්මාන (NMEA) සඳහා ඉල්ලුම් පත් කැඳවේ

    මෙරට රාජ්‍ය ආයතන, පෞද්ගලික ව්‍යවසායන්, රාජ්‍ය නොවන සංවිධාන හෝ ලාභ නොලබන සංවිධාන ආදී සියලු සංවිධානවල කළමනාකාරීත්ව විශිෂ්ටතා අගැයීමට ශ්‍රී ලංකා කළමනාකරණ ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2025 ජාතික කළමනාකරණ විශිෂ්ටතා සම්මාන (NMEA) උළෙල  සඳහා මෙම මස 30 දක්වා ඉල්ලුම් පත් කැඳවේ.

     ශ්‍රී ලංකාවේ කළමනාකරණය සඳහා පිහිටුවා ඇති ඉහළම වෘත්තීය ආයතනය වන ශ්‍රී ලංකා‍ කළමනාකරණ ආයතනය (IMSL), 2025 IMSL ජාතික කළමනා කරණ විශිෂ්ටතා සම්මාන (NMEA) උළෙල  සංවිධානය කරයි.

     කළමනා කරණ විශිෂ්ටත්වයේ ප්‍රමුඛයන් ලෙස පිළිගැනීම සඳහා තරඟ කිරීම සඳහා රට පුරා ඇති ඕනෑම නීත්‍යානුකූලව ලියාපදිංචි ආයතනයකට මෙම අවස්ථාව විවෘතව ඇත.

    කළමනාකරණ අංශයේ ආයතනික විශිෂ්ටත්වය හඳුනා ගැනීම සහ අගැයීම සඳහා NMEA උළෙල වාර්ෂිකව පවත්වනු ලැබේ. අනෙකුත් සම්මාන වැඩසටහන් මෙන් නොව, මෙහි එකම අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකාව සඳහා තිරසාර වර්ධනයක් ඇති කිරීම සඳහා ආයතනික සංවිධාන විසින් සිදු කරන ලද හොඳම කළමනාකරණ භාවිතයන්, නවෝත්පාදනයන්, නායකත්වය සහ පරිවර්තනීය දායකත්වයන් ඉස්මතු කිරීමය.

    මෙම වසරේදී, කාණ්ඩ 15 ක් යටතේ සම්මාන ප්‍රදානය කෙරෙන අතර, රන්, රිදී සහ ලෝකඩ මට්ටම්වලින් ජයග්‍රාහකයින් හඳුනා ගනු ලැබේ. සාධාරණත්වය, විශ්වසනීයත්වය සහ ඉහළම පිළිගැනීමේ ප්‍රමිතීන් සහතික කරමින්, සෑම අයදුම්පතක්ම කීර්තිමත් විනිශ්චය මණ්ඩලයක් විසින් දැඩි ලෙස ඇගයීමට ලක් කරනු ලැබේ.

     

    sarath k මහාචාර්ය සරත් කොඩිතුවක්කු

     

    NMEA 2025 හි වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින්, IMSL හි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් කොඩිතුවක්කු  මෙසේ පැවසීය.

    '' මෙම සම්මාන උළෙල හරහා  (NMEA) හරහා, ජාතික සංවර්ධනයට දායක වන කළමනාකරණ භාවිතයන්හි විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ නායකත්වය දිරිමත් කිරීම අපගේ අරමුණයි.

    තම ඉදිරි දර්ශනය තවදුරටත් දක්වමින් IMSL හි උප සභාපති සහ NMEA උළෙලෙහි සභාපති ප්‍රසාද් විජේසූරිය මහතා මෙසේ පැවසීය.

    "NMEA 2025 යනු සංවිධාන වලට තම ජයග්‍රහණ ප්‍රර්දර්ශනය කිරීමට සහ රටේ හොඳම කළමනාකරණ ආයතනයන්ට උරෙනුර ගැටී තරගකර තම ආයතනික විශිෂ්ටතා මිණුම් සලකුණු කිරීමට ඇති අද්වීතීය අවස්ථාවකි. මෙම සම්මාන පිළිගැනීම ගැන පමණක් නොව, විශිෂ්ටත්වයේ නව ප්‍රමිතීන් සැකසීම සහ එම ආදර්ශයන් අන් ආයතනද අනුගමනය කිරීමට පෙළඹ වීමට ද මහඟු පිටිවහලක් වේ.

    මෙම කීර්තිමත් අගැයුම් වැඩසටහනට අයදුම් කිරීමට සහ එහි කොටස්කරුවන් වීමට සියලු සංවිධාන වෙත ඇරයුම් කරනු ලැබේ.

    සම්මාන කාණ්ඩ, සුදුසුකම් සහ අයදුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර www.imslawards.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න යැයි සංවිධායක මණ්ඩලය පවසයි.

    වැඩිදුර විමසීම් සඳහා, විද්‍යුත් තැපෑල: This email address is being protected from spambots. You need JavaScript enabled to view it. මගින් හෝ දුරකථන අංක: +94 77 267 9200 (ප්‍රශාන්) | +94 71 407 2631 (මංජුල) ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.

    (සටහන | ජේ.මුණසිංහ)

  • ජිනීවා යෝජනාව කොහොමත් දිනන්න බැරි බව දන්න නිසා ඡන්ද හොයන්න වියදම් කලේ නෑ…- විජිත

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන ලද යෝජනාවක් ජයග්‍රහණය කරන ලද්දේ 2010 වසරේ පමණක් බව විදේශ ඇමති විජිත හේරත්  පවසයි.

    එම යෝජනාවද ශ්‍රී ලංකා රජය පැත්තෙන් ශ්‍රී ලංකා රජය විසින්ම ගෙන ආ යෝජනාවක් යයිද පැවසූ ඔහු ඉන් පසු ගෙන ආ සියලු යෝජනා ඡන්ද විමසීමට සිදුවූ යොමු කළ අවස්ථාවල පරාජයට පත්ව ඇති බවද හෙතෙම කියා සිටී.

    සාමූහික වශයෙන් යුරෝපා රටවල් එක් මතයක සිටින බැවින් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන යෝජනා පරාජයට පත් කිරීම ඉතා විරල බවද හෙතෙම කියා පැවසීය.

    එමෙන්ම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ලැබෙන ඡන්ද ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් අඩුවන බව නිරීක්ෂණය වන බවද ඔහු පැවසුවේය. ස්ථාවරයක් ප්‍රකාශයට පත් නොකරන රටවල් ගණනද ඉහළ ගොස් ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.

    නමුත් මෙහිදී විමතියට කරුණු වන්නේ පැවති රජයන් එම යෝජනාවන් පරාජයට පත්වන බව දැන දැනත් මහජන ධනය ඒ වෙනුවෙන් වියදම් කිරීම් බවත් පැවසූ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට ඡන්ද ලබාගැනීම සඳහා මෙරට මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිස් එම රටවල සංචාර කළ බවද හෙතෙම චෝදනා කළේය.

    එවන් තත්ත්වයක් යටතේ ඡන්දයක් ඉල්ලීමෙන් සිදුවන්නේ දැනටමත් ජාත්‍යන්තරීකරණය වී ඇති ප්‍රශ්නය දේශීය වශයෙන් විසඳා ගැනීමට තිබූ අවස්ථාව අහිමිවීම බවද ඔහු පෙන්වා දුන්නේය.

    මෙවර ජිනීවා මානව හිමිකම් කොමිසම් සැසි වාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කිරීම ගැන අද පාර්ලිමේන්තුවේදී  විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ අදහස් පළ කළේය.

     

     


  • ජිනීවාවලදී ඡන්දයක් නොඉල්ලීම කනගාටුදායකයි! - ආචාර්ය දයාන් ජයතිලක

    *'' කළ යුතු නිවැරදි දේ කළේ නැහැ''

    *'' මට තේරෙන්නෙ නෑ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය මොකද්ද කියලා''

    *'' ලංකාව ගැන ලෝකෙට දැන් යන්නෙ වැරදි චිත්‍රයක්''



    ශ්‍රී ලංකාවට අහිතකර යෝජනාවලියක් තර්කානුකූලව ප්‍රතික්ෂේප කිරීමට මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය සමත් වීම අගය කළ හැකි බව ආචාර්ය දයාන් ජයතිලක පවසයි.

    කෙසේ වෙතත්, ඔහු සඳහන් කළේ, තර්කානුකූලව ප්‍රතික්ෂේප කළ ද, අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් ඡන්දයක් ඉල්ලා නොසිටීම හේතුවෙන් එය ඡන්ද විමසීමකින් තොරව ම සම්මත වීම අතිශය කනගාටුදායක තත්ත්වයක් බව ය.

    "ඡන්දයක් අවශ්‍ය බව කීවා නම් ඡන්දයකදී අපට පක්ෂ රටවල් කිහිපයක් හරි යම් හඬක් නගාවි. දැන් ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා ම ලෝකයේ මිනිස්සු ශ්‍රී ලංකාව ගැන වැරදි ප්‍රතිරූපයක් ඇති කර ගන්න පුළුවන්. ඒක නරක දෙයක්. මට තේරෙන්නෙ නෑ මේ විදේශ ප්‍රතිපත්තිය මොකක් ද කියලා," ආචාර්ය දායන් ජයතිලක පැවසීය.

    මේ සම්බන්ධයෙන් අදහස් විමසීම සඳහා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සහ එහි මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද එය සාර්ථක නොවී ය.


    මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

    ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාවලිය, ශ්‍රී ලංකාවේ දැඩි ප්‍රතිචාරය සහ ඉන් ඇති වන බලපෑම


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න