#News tube

  •   ජපානයේ අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයින් ලක්ෂයකට ආසන්න වෙයි

    ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවු පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න වී තිබේ.

    මේ වසරේ සැප්තැම්බර් 01 වනදා වන විට අවුරුදු 100 ඉක්මවු පුද්ගලයින් සංඛ්‍යාව 99, 763දෙනෙකු ලෙස වාර්තා වී ඇති අතර ඉන් 90% ක්ම කාන්තාවන් බව ජපාන සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ දත්ත වාර්තාවක දැක්වේ.

    වැඩිහිටි ජනගහනය ඉහළ යාම හේතුවෙන් ලොව සිව්වන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ජපානය මේ වන විට වෛද්‍ය හා සුබ සාධන පිරිවැය ඉහළ යාමේ ගැටලුවකට මෙන්ම දැඩි ශ්‍රම බලකා හිඟයකට ද මුහුණ දී සිටී.

    මේ වන විට ජපානයේ වයස්ගතම පුද්ගලයා බවට පත්ව ඇත්තේ 114 වන වියේ පසුවන ෂිගෙකෝ කගාවායි.

    116 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් මේ වන විට ලොව වයස්ගතම පුද්ගලයා බවට පත්ව සිටී.

     

    Ada derana.lk

     

  • පොලිස් සංවත්සරය අද..

    ශ්‍රී ලංකා පොලීසියේ 159 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී ඇත.


    1866 සැප්තැම්බර් 3 වන දින පළමු පොලිස් කාර්යාලය පිහිටවු අතර,ජී. ඩබ්ලිව්. ආර්. කැම්බල් පළමු පොලිස්පතිවරයා විය.


    මෙම දිනය ශ්‍රී ලංකා පොලිසියේ ආරම්භක දිනය ලෙස සැලකෙන අතර,159 වන පොලිස් දිනය සැමරීම සඳහා විශේෂ අනුස්මරණ උත්සවයක් අද (03) පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී පැවැත්වේ.


    පොලිස් මූලස්ථානය පැවසූවේ උත්සවයට සූදානම් වීමක් ලෙස කොළඹ රථවාහන කොට්ඨාසය විශේෂ රථවාහන සැලැස්මක් ප්‍රකාශයට පත් කර ඇති බවත් එය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවත් ය .


    ‍එම රථවාහන සැලැස්මට අනුව පොලීසිය නිවේදනය කලේ බම්බලපිටිය පොලිස් වසමේ තුම්මුල්ල හන්දියේ සිට තිඹිරිගස්යාය හන්දිය දක්වා හැව්ලොක් මාර්ගයේ රථවාහන ගමනාගමනය පහත පරිදි සිදුකිරීමට කටයුතු යොදා ඇති බවයි.


    • පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය ඉදිරිපිට ඇති කොළඹින් පිටවීමේ මාර්ගයේ ස්ථාපිත කර තිබෙන බස් නැවතුම 2025.09.03 වන දින පස්වරු 02.30 සිට පස්වරු 07.00 දක්වා තාවකාලිකව හැව්ලොක් පාර ෆොන්සේකා පාර හන්දියේ ඇති බස්නැවතුම වෙත රැගෙන යාම.


    • 2025.09.03 වන දින පස්වරු 02.00 සිට පස්වරු 07.00 දක්වා බම්බලපිටිය පොලිස් වසමේ තුම්මුල්ල හන්දියේ සිට තිඹිරිගස්යාය හන්දිය දක්වා හැව්ලොක් මාර්ගයේ බර වාහන (කන්ටේනර් රථ හා ටිපර් රථ) ගමනා ගමනය සීමා කිරීම.

  • රාජ්‍ය රහස්! : ලංකාවට කවුරුත් නොදන්න ලොකු වාසියකුත් වෙන්නයි යන්නේ!

    *රනිල් පොරොන්දු වුණු දේපොළ බද්ද දාන්න කිව්වාම අනුරට තදවෙයි!
    *IMF එකත් එක්ක පළමුවරට අනුර වාදකරයි!

    *ආදායම වැඩිකරගන්න විදිහ පෙන්වද්දී IMF එකත් හොල්මන් වෙයි!

    පසුගිය සතියේ ''රාජ්‍ය රහස්'' තීරය ඔස්සේ අතිවිශේෂ අනාවරණයක් කරමින් මාලිමා ආණ්ඩුව පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට තීරණය කොට ඇති බව අනාවරණ කළෙමු. එම හෙළිදරව්වෙන් පසු දේශපාලන පක්ෂ ඇතුළේත්, ආණ්ඩුව ඇතුළේත් ඡන්ද උණුසුම කෙමෙන් කෙමෙන් වර්ධනය වෙමින් පැවැති ආකාරයක් පසුගිය සතිය වනවිට දැකගන්නට ලැබිණි.


    JAFFNA, SRI LANKA - SEPTEMBER 21:  A sign directing voters to the polling station during the northern provincial council election on September 21, 2013 in Jaffna, Sri Lanka. Ethnic Tamil voters in Sri Lanka's war-ravaged north have gone to the polls on Saturday to form their first functioning provincial government since 1988 following 26-year long civil war that ended in the country in 2009..  (Photo by Buddhika Weerasinghe/Getty Images)
    එම අනාවරණයේදී අප ආණ්ඩුව හදිසියේම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තීරණය කළ හේතූන්ද එකින් එක සඳහන් කළෙමු. පිටින් සිට බලන බොහෝ දෙනා ආණ්ඩුව මේ වනවිට ජනප්‍රියත්වයෙන් පහළ වැටී ඇති නිසා හෝ ඉන්දියාවේ බලපෑම නිසා හෝ පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට කටයුතු කරන බව සඳහන් කළත් ඇත්ත කතාව එසේ නොවේ.

    ආණ්ඩුව හදිසියේම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ගත් තීරණය පසුපස ඇති කතාව සොයාගැනීමට රාජ්‍ය රහස් තීරය පසුගිය සතියේ ආණ්ඩුවේ අභ්‍යන්තරයටම ගොස් කරුණු සොයාබැලීමක නිරත විය. එහිදී අපට අනාවරණ වූයේ කිසිවකුට ඇති බයක් නිසා හෝ ජනප්‍රියත්වයෙන් පහළ වැටී ඇති නිසා හෝ නොව ආණ්ඩුව කිසියම් සැලැස්මකට අනුව මෙම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තීරණය කොට ඇති බවකි. ඒ අනුව ආණ්ඩුව පළාත් සභා ඡන්දය පැවැත්වීමට සූදානම් වන්නේ ඉතා ශක්තිමත් තුරුම්පු කිහිපයක් අතේ තබාගෙන බව අප කළ සොයාබැලීමේදී අනාවරණය විය.



    අප අවස්ථා කීපයකදීම රාජ්‍ය රහස් තීරය ඔස්සේ අනාවරණ කළ පරිදි 2026 වසර සඳහා ආණ්ඩුව ලබන නොවැම්බරයේ ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත්තේ ඉතා ජනප්‍රිය අයවැයකි. නැතහොත් ඡන්ද අයවැයකි. එහිදී අප අනාවරණ කර සිටියේ මෙම අයවැය හරහා ආණ්ඩුව ඉතා ශක්තිමත් බව රටට පෙන්වීම සඳහා ජනතාවාදී තීන්දු තීරණ රැසක් ගැනීමට සැලසුම් කර ඇති බවකි.




    බදු සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ මෙවර අයවැයෙන් අලුතින් කිසිදු බදු පැනවීමක් සිදු නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවකි. අප එම අනාවරණය කරද්දී ආණ්ඩුව පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සිතාවත් තිබුණේ නැත. නමුත් මේ වනවිට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති නිසා තවත් පියවර කිහිපයක් ඉදිරියට තබමින් ජනාධිපතිවරයා අයවැයෙන් අලුතින් බදු නොපැනවීම පමණක් නොව, පළමු වතාවට ජනතාව මත පටවා ඇති බදු අඩුකිරීමේ සැලසුමක සිටින බව ආරංචිය.

     

    tax large

    ලංකාවේ මාධ්‍ය අතරින් මෙම තොරතුර වාර්තා කරන පළමු මාධ්‍යය වන්නේ ‘මව්රට’ පුවත්පත සහ ‘රාජ්‍ය රහස්’ තීරයය. ඒ අනුව ජනාධිපතිවරයා මෙවර අයවැයෙන් ජනතාව විශාල වශයෙන් බලාපොරොත්තු තබා ඇති සුවිශේෂ ක්ෂේත්‍ර කිහිපයක බදු අඩුකිරීමක් සිදුකිරීමට මේ වනවිටත් තීරණය කොට අවසානය. එම බදු අඩුකිරීම ජනතාවගේ ජීවන තත්ත්වයට විශාල වශයෙන් බලපෑමක් කරන විශාල සහනයක් ලැබෙන එකක් බව පමණක් අපට මේ අවස්ථාවේ සඳහන් කිරීමට පුළුවන.

    මීට අමතරව අයවැයෙන් තවත් සහන කීපයක්ම ජනතාවට ලබාදීමට ජනාධිපතිවරයා මේ වනවිටත් තීරණය කොට අවසානය. ආණ්ඩුවට එසේ කිරීමට අවශ්‍ය පසුබිම සැකසී ඇත්තේ අනවශ්‍ය වියදම් කපාහරිමින්, දැවැන්ත ආයෝජන සිදු නොකරමින් අතිවිශාල මුදල් කන්දරාවක් මහා භාණ්ඩාගාරයට එකතු කරගැනීමට හැකිවීම නිසාය. ජනාධිපතිවරයාම වරෙක ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මේ වනවිට ට්‍රිලියන ගණනක මුදලක් භාණ්ඩාගාරය සතුව ඇතැයි කියාය. අපද පසුගිය සතියක විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ ප්‍රාග්ධන වියදම් විශාල වශයෙන් සිදු නොකිරීම හරහා සහ වෙනත් කරුණු මත ආණ්ඩුව දැවැන්ත මුදල් කන්දරාවක් ඉතිරිකොට ගෙන ඇති බවත්, ඉදිරි මැතිවරණයක් ඉලක්ක කොටගෙන එම මුදල් වියදම් කිරීමේ සැලසුමකින් සිටින බවත්ය.


    1679572139 SL IMF 6
    මේ අතර, පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අප තවත් අතිවිශේෂ අනාවරණයක් කරමින් 6 වැනි සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාව ඉතා උණුසුම් වාදවිවාද සහිත එකක් වූ බව අනාවරණ කර සිටියෙමු. ජනාධිපතිවරයා සහ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වෙනදාට වඩා දැඩි බවකින් යුතුව ආණ්ඩුවේ මතය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ට දැනුම්දීමට කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය.



    එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ඉදිරිපත් කළ ඇතැම් යෝජනාවන්ට සහ කොන්දේසිවලට පළමු වතාවට ජනාධිපතිවරයා සිය විරෝධය ප්‍රකාශ කරමින් කරුණු පැහැදිලි කිරීම හේතුවෙන් අවස්ථා කීපයකදීම සාකච්ඡාව උණුසුම් වූ ආකාරයක් දැකගත හැකි විය. එහිදී ජනාධිපතිවරයා එක් අවස්ථාවකදී ඍජුවම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ඉදිරිපත් කළ කොන්දේසියක් ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තේය.




    දේපොළ බද්ද අනුරට තද වෙයි


    උදාහරණයක් ලෙස සාකච්ඡාවේ එක් අවස්ථාවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ඉතා දැඩිව කියා සිටියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉකුත් මාර්තු මාසය වනවිට දේපළ බද්ද ක්‍රියාත්මක කරන බවට ප්‍රතිඥා දී තිබුණත් මෙතෙක් එය ඉටුකොට නොමැති බවය. එහිදී දේපළ බද්ද වශයෙන් මූල්‍ය අරමුදල දැනුම්දී තිබුණේ කිසියම් අයකු ඉඩමක් හෝ නිවසක් හෝ වාහනයක් මිලදී ගතහොත් ඊට ප්‍රතිශතයක් වශයෙන් අලුත් බද්දක් අයකිරීමත්, දැනටමත් ඉඩමක්, නිවසක් හෝ වාහනයක් හිමි අයගෙන් තවත් බද්දක් අයකිරීමත්ය.

    එම බද්ද ඉකුත් මාර්තු මාසයේ සිට අයකිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රතිඥා දී තිබූ බවක් ඒ වනතුරුත් කිසිවකු දැන සිටියේ නැත. නමුත් මාර්තු වනවිට ඔහු බලයේ නොමැති වුවද අනුර විසින් එම පොරොන්දුව ක්‍රියාත්මක කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථාවරය වී තිබිණි.




    මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ගෙන ආ මෙම යෝජනාවට එරෙහිව ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක සිටිමින් අදහස් දැක්වීමය. ජනාධිපතිවරයා පැහැදිලිවම කියා සිටියේ කිසිසේත්ම එම යෝජනාව ඉටුකිරීමට නොහැකි බවකි. එමෙන්ම එය අසාධාරණ බද්දක් බවද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.





    ‘අපිට ඒ බද්ද කිසිසේත්ම මේ වෙලාවේ පනවන්න බෑ. මොකද ඒක අසාධාරණ බද්දක්. මිනිස්සු සල්ලි දීලා ඉඩමක්, ගෙයක්, වාහනයක් ගන්නකොට අපි කොහොමද ඒකට අලුත් ටැක්ස් එකක් ගහන්නේ. දැනටමත් අපේ රටේ ජනතාව ඉඩකඩම්වලට, ගෙවල්වලට ආණ්ඩුවට වරිපනම් ගෙවනවා. එහෙම තියෙද්දී අපිට ඒවටම තවත් ටැක්ස් එකක් ගහන්න බෑ…’ යනුවෙන් ජනාධිපතිවරයා දැඩිව කියද්දී මූල්‍ය අරමුදලේ නිලධාරීන්ද සිය ස්ථාවරයේ සිටිමින් ජනාධිපතිවරයා සමග තර්ක කරන ආකාරයක් දැකගත හැකි විය.

     

    1742212601 president 6

    ‘අපිට ආණ්ඩුව කරන්නේ රනිල් වික්‍රමසිංහද, අනුර කුමාර දිසානායකද කියන එකේ කිසිම ප්‍රශ්නයක් නෑ. අපි ගිවිසුම්ගත වුණේ ලංකාවේ ආණ්ඩුවත් එක්ක. එදා හිටපු ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යාංශය තමයි මුදල් හොයාගන්න මේ දේපළ බද්ද ක්‍රියාත්මක කරනවා කියලා අපිට පොරොන්දු වුණේ. ඒක පසුගිය මාර්තු මාසයේ කරනවා කියලයි කිව්වේ. ඉතින් ඒ කොන්දේසිය අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ලබන වසර සඳහා ඉදිරිපත් කරන අයවැයේදී මේ කොන්දේසිය අනිවාර්යයෙන්ම ඇතුළත් වෙන්න ඕනේ. ඒ වගේම ක්‍රියාත්මක වෙන්න ඕනේ…….’ යනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් දැඩිව කියද්දී අනුර පළමු වතාවට දේශපාලන කරුණක් ඉස්මතු කරමින් මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ගෙනා යෝජනාව දැඩිව ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තේය.

    ‘අපිට මෙතැනදී එකඟ වෙන්න පුළුවන් කොන්දේසි තියෙනවා. එකඟ වෙන්න බැරි කොන්දේසි තියෙනවා. කරන්න පුළුවන් කියලා හිතෙන දේවල්වලට අපිට එකඟ වෙන්න පුළුවන්. හැබැයි කරන්න බැරි දේවල්වලට අපිට එකඟ වෙන්න බෑ. මොකද, අපි මේ මහපොළොවේ දේශපාලනය කරන්න ඕනේ. මහපොළොවේ යථාර්ථය තේරුම් ගන්නත් ඕනේ. මේ වගේ බද්දක් දානවා කියන එක මහපොළොවේ යථාර්ථය නෙවෙයි. ඒක හින්දා මේක අපිට කරන්න බෑ. ඒ නිසා ඔබතුමාලා ගේන මේ යෝජනාවට මම කිසිසේත්ම එකඟ නෑ. නමුත් මට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. මේ රටේ මහපොළොවේ යථාර්ථය එක්ක අපිට දේශපාලනය කරන්න පුළුවන් වෙලාවක මේ යෝජනාව ගැන සාකච්ඡා කරන්න අපි සූදානම්. හැබැයි මේ ඒකට වෙලාව නෙවෙයි…’ යනුවෙන් ජනාධිපතිවරයා සිය ස්ථාවරය දැඩිව පැහැදිලි කරද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ද දැඩි ස්ථාවරයක සිටිමින් එසේ නම් ආණ්ඩුව මෙම බද්ද ප්‍රතික්ෂේප කිරීම හරහා අහිමි වන මුදල සොයාගන්නා ආකාරය පිළිබඳ ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය. ඊටද ජනාධිපතිවරයා අදාළ බද්ද නොපැනවීමෙන් අහිමි වන ආදායම සොයාගන්නා ක්‍රමවේදය පිළිබඳ පැහැදිලි විස්තරයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ට ඉදිරිපත් කළේය.


    මෙන්න සල්ලි හොයන හැටි


    ‘අපි ඒකට දැනටමත් ක්‍රමවේදයක් සකස් කරලයි තියෙන්නේ. ඔබතුමාලා දැනටමත් අපිට නිර්නායකයක් ලබාදීලා තියෙනවා ලබන අවුරුද්ද වෙද්දී දළ දේශීය නිෂ්පාදිතය 15%ක මට්ටමට ගේන්න ඕනේ කියලා. හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුව භාරගනිද්දී දළ දේශීය නිෂ්පාදිතය තිබ්බේ 8%ට. අපි ආණ්ඩුව භාරගනිද්දී ඒක 13% දක්වා ඉහළට ඇවිත් තිබුණා. අපි මේ වෙද්දී පැහැදිලිවම සැලසුම් හදලා ඉවරයි ලබන වසර වෙනකොට ඔබතුමාලා අපිට ලබාදුන්නු 15%ක ඉලක්කය ඉක්මවා යමින් 16% දක්වා දළ දේශීය නිෂ්පාදිතය ඉහළට අරන් එන්න. අපි ඒකට අවශ්‍ය සියලු සැලසුම් මේ වනවිට සකස් කරලයි තියෙන්නේ. ඒ ගැන කිසිම සැකයක් සහ ප්‍රශ්නයක් තියාගන්න එපා…’ යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමත් සමගම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ මුහුණුවර සම්පූර්ණයෙන්ම වෙනස් වී ගිය ආකාරයක් දැකගත හැකි විය.




    ඔවුන් මෙතෙක් සිටි දැඩි ස්ථාවරය වහාම වෙනස් කරමින් ජනාධිපතිවරයාට ඉතා සුබවාදී ප්‍රතිචාරයක් පළකළ ආකාරයක්ද දැකගත හැකි විය. මාධ්‍යයක් වශයෙන් මේ තොරතුර පළමු වතාවට රටට හෙළිකිරීමට කටයුතු කරන්නේද ‘මව්රට’ පුවත්පත සහ ‘රාජ්‍ය රහස්’ තීරයය. ඒ අනුව ජනාධිපතිවරයා කළ මෙම ප්‍රකාශයත් සමග කවුරුත් නොදැන සිටි තවත් අතිවිශේෂ කාරණාවක්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීහු ජනාධිපතිවරයාට දැනුම් දී සිටියහ.




    ‘ඒ වගේ තැනකට ඔබතුමාට මේ රට අරන් යන්න පුළුවන් නම් ඒකෙන් මේ රටට කවුරුත් නොදන්නා ලොකු සහනයක් ලැබෙනවා. මොකද එවැනි සංවර්ධනයක් ළඟ කරගත හැකි නම් ඔබතුමාලට ණය ආපසු ගෙවීමේදී ලොකු සහනයක් හිමි වෙනවා. ඔබතුමාලා දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නංවන්න නංවන්න ඩොලර් මිලියන ගණනකින් ණය කපාහැරීමක් සිදුවෙනවා. ඒ අනුව 16%ක ඉලක්කයකට ගියොත් ඩොලර් මිලියන ගණනක ණය කපා හැරේවි…’ යනුවෙන් කියමින් කිසිවකුත් දැන නොසිටි රහසක් මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීහු ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ.

    ඇත්තම කියනමා නම් අපද එම තොරතුර වාර්තා වන තෙක් එවැන්නක් සිදුවන බව දැන සිටියේ නැත. විපක්ෂයේ බොහෝ දෙනා මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින්නේ 2028 වසරේ සිට ලංකාව නැවත වතාවක් විදේශ ණය පොලිය ගෙවීමේ කටයුතු ආරම්භ කළ යුතු නිසා පවතින ආර්ථික වර්ධන වේගය හමුවේ එවැන්නක් සිදුකිරීම දැඩි අසීරු තත්ත්වයක් බවටය. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ රට නැවත වතාවක් 2028දී බංකොලොත් වීමේ අනතුරක් මතුවෙමින් පවතින බවකි. නමුත් මේ ආකාරයට දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නංවාගතහොත් විදේශ ණය ඩොලර් මිලියන ගණනින් කපාහැරීමට නියමිත බව කිසිවකුත් දැන සිටියේ නැත. ඒ අනුව එම තත්ත්වය 2028 වසරේදී ණය ගෙවීම ආරම්භ කිරීමේදී විශාල රුකුලක් වනු ඇති බව නොඅනුමානය. ඒ අනුව එයින් ද පැහැදිලි වන යම් ඉඟියක් වන්නේ ලබන වසරේ අයවැය ස්ථිරවම මැතිවරණ අයවැයක් බවට පත්වනු ඇති බවය.

     

    insolvent symbolic photo insolvency bankrupt depts money finance economic crisis business concept coins 770123 11


    අනුර භයානක ඉසව්වකට


    ආණ්ඩුව හදිසියේම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ගැසීමට සැලසුම් කර සිටින ඊළඟ ලොකුම තුරුම්පුව වන්නේ කුඩු ඇල්ලීමේ තුරුම්පුවය. කිසිවකුත් දැන නොසිටියද රටෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ මේ මෙහෙයුමට ජනාධිපතිවරයා මේ වනවිට සිටින්නේ සිය සම්පූර්ණ අවධානය යොමුකොටය. මෙහිදී දැකගන්නට ඇති විශේෂම සිදුවීම වන්නේ වෙනත් කිසිම ආණ්ඩුවක් හෝ වෙනත් කිසිම ජනාධිපතිවරයකු සිදු නොකළ ආකාරයට ජනාධිපතිවරයා මෙම කුඩු තුරන් කිරීමේ මෙහෙයුමට නායකත්වය ලබාදී තිබීමය.

     ඕනෑම කෙනකු දන්නා කාරණාවක් වන්නේ මේ රටේ සිටි ජනාධිපතිවරුන් සියලු දෙනාම පාහේ යම් යම් රාජකාරීන් ඉටුකිරීමේදී ඒවාට විශාල නායකත්වයක්, දායකත්වයක් ලබාදී ඇති ආකාරයය. උදාහරණයක් වශයෙන් රටේ ආර්ථිකය ගොඩනගන අවස්ථාවලදී කිසිදු තර්කයකින් තොරව ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ වැන්නවුන් ඒ ඒ කාලවකවානුවලදී විශාල දායකත්වයක් ලබාදුන්හ. යුද්ධය අවසන් කිරීමේදී ජනාධිපතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ දැවැන්ත දේශපාලන නායකත්වයක් ලබාදුන්නේය. 

     
    නමුත් ඒ කිසිදු ජනාධිපතිවරයකු මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ සටනේදී සිය දායකත්වය 100%කින් ලබාදුන්නාද යන්න පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මේ වනවිට සියලු දෙනාටම මතුව තිබේ. ඊට හේතුව වී ඇත්තේ මේ සියලු ජනාධිපතිවරුන්ගේ පාලන සමයන්හිදී මත්ද්‍රව්‍ය ජාවාරම සහ මත්ද්‍රව්‍ය ජාලය විශාල වශයෙන් ශක්තිමත් වී තිබීමය. යුද්ධය අවසන් කරනවාටත් වඩා ඉතා අසීරු තැනකට මේ මත්ද්‍රව්‍ය අවසන් කිරීමේ යුද්ධය පත්ව තිබීමය.
     
    07 4

    මේ වනවිටත් කුඩු ජාලය මුළු රටම ගිලගෙන ඇති අතර, ගම් නියම්ගම්වල සිටින තරුණ කොටස් පවා මේ මත් කුඩු හේතුවෙන් විනාශ වී ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන. බොහෝ දෙනා සිතා සිටියේ ගෝඨාභය රාජපක්ෂ වැනි අයකු ජනාධිපති පුටුවේ අසුන්ගත් වහාම මෙම කුඩු ජාවාරම අවසන් කරනු ඇතැයි කියාය. රටේ විනය ගොඩනගනු ඇතැයි කියාය. ගෝඨාභය පමණක් නොව හිටපු ජනාධිපතිවරුන් සියලු දෙනාම පාහේ කුඩුවලට එරෙහිව සටනක් ආරම්භ කළද එය අවසන් වූයේ ඒවා ඔවුන්ගේ දේශපාලන මෙහෙයුම් බවට පත්වීමෙන් අනතුරුවය.
     
    කුඩු අල්ලනවාට වඩා ඒවා මාධ්‍ය සංදර්ශනයන් බවට පත්කරමින් සිය දේශපාලන පැවැත්මට ඒවා භාවිත කිරීමෙන් අනතුරුවය. බොහෝ දේශපාලන චරිත සහ විවිධ පොලිස් නිලධාරීන් ඒ හරහා සිය ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමට කටයුතු කළද, සත්‍ය වශයෙන්ම කුඩු වසංගතය අවසන් වූ බවක් හෝ පාලනය වූ බවක් එහිදී දැකගන්නට ලැබුණේ නැත.



     
    නමුත් මෙවර මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ගෙන යන සටනේ පැහැදිලි වෙනසක් ජනතාවට දැකගැනීමට පුළුවන. මෙහි කැපීපෙනෙන සිදුවීම වන්නේ මාධ්‍ය ඉදිරියට පැමිණ මහ ඉහළින් වොයිස් කට් දෙන දේශපාලනඥයන් හෝ පොලිස් නිලධාරීන් දක්නට නොමැති වීමය. නමුත් මත්ද්‍රව්‍ය ජාවාරම රටෙන් තුරන් කිරීම සඳහා කිසිවකුත් නොසිතන දැවැන්ත මෙහෙයුමක් මේ වනවිටත් වත්මන් ජනාධිපතිවරයා විසින් තිරය පිටුපස දියත් කොට අවසානය.




    මේ සම්බන්ධයෙන් යම් ඉඟියක් ලබාදෙමින් මීට සති කීපයකට පෙර අප රාජ්‍ය රහස් තීරය ඔස්සේ ජනාධිපතිවරයා සහ බුද්ධි අංශ අතර පැවැති සාකච්ඡාවක තොරතුරු අනාවරණ කළෙමු. එහිදී අප කියා සිටියේ බුද්ධි අංශ සමග පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා පැහැදිලිවම ඔවුන්ට උපදෙස් ලබාදුන්නේ දේශපාලන පක්ෂ, දේශපාලන නායකයන් පසුපස පැන්නීමෙන් රටට කිසිදු පලක් නොවන බවත්, පාතාලය, කුඩු ජාවාරම සහ දූෂණයට එරෙහිව බුද්ධි අංශ සිය සම්පූර්ණ උත්සාහය යෙදිය යුතු බවත්ය.

    ඒ අනුව අප මෙවර රාජ්‍ය රහස් තීරය ඔස්සේ වාර්තා කිරීමට සූදානම් වන්නේ එහි තවත් අතිවිශේෂ දිගුවකි. නොඑසේ නම් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ගෙන ඇති අතිශය අවදානම්සහගත තීන්දු සම්බන්ධයෙන් කරන විශේෂ අනාවරණයකි.



    මෙහෙයුම ජාත්‍යන්තරයට

    ජනාධිපතිවරයා මේ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ මෙහෙයුම සම්බන්ධයෙන් සිදුකරන සෑම සාකච්ඡාවකටම සහභාගි වන අතර, එහිදී ඉතා දැඩි තීන්දු තීරණ ගැනීමද සිදුකරනු ලබයි. ඒ ගන්නා ඇතැම් තීන්දු තීරණ අපේ රටට පමණක් බලපාන ඒවා වන අතර, ඇතැම් තීන්දු තීරණ ජාත්‍යන්තරය සමග සම්බන්ධ වන ඒවාද වීම විශේෂ සිදුවීමකි.

    අප මීට පෙර අවස්ථාවකදී ආරක්ෂක අංශ විසින් මැලේසියාවේ සිට කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙන ඒමෙන් පසුව පැවැති සාකච්ඡාවකදී මතුවූ කරුණු රාජ්‍ය රහස් තීරයේ වාර්තා කිරීමට පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති එක් සාකච්ඡාවකදී කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට ගැනීමෙන් පසු ලංකාවේ මත්කුඩු ජාලයෙන් 50%ක කොටසක් අවසන් කිරීමට හැකි වූ බවට නිලධාරීන් විසින් ජනාධිපතිවරයාට වාර්තා කළ බවකි. ඒ අනුව ඉතිරි 50%ක ජාලය අවසන් කිරීමද අපහසු නොවන බව එම සාකච්ඡාවේදී නිලධාරීන් ජනාධිපතිවරයාට දැනුම් දුන් බවද අප අනාවරණ කළෙමු.

    ලංකාව ඇතුළත මත්ද්‍රව්‍ය සහ පාතලය අවසන් කිරීමේ මෙහෙයුම් සිදුවූයේ එම රාමුව මත පිහිටාය. මේ වනවිට එම මෙහෙයුම් ඉතා සාර්ථකව සිදුකරමින් පාතාලය මර්දනය සහ රට ඇතුළේ මත්ද්‍රව්‍ය ජාවාරම අඩපණ කරන අතරතුර ඊටත් වඩා ඉතා අසීරු සහ භයානක කලාපයකට ඇතුළු වීමට ආණ්ඩුව මේ වනවිට තීරණය කොට අවසානය. ඒ, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන මත් කුඩු සැපයීම අඩපණ කිරීමට තීරණය කොට තිබීමය.

    මේ වනවිට ලංකාව කුඩු පුරයක් පමණක් නොව, මත්කුඩු ලංකාවට ගෙන්වා වෙනත් රටවලට බෙදාහරින ප්‍රධාන කුඩු මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ. එසේ ලංකාවට පැමිණෙන්නේ කුඩු කිලෝ ගණන් නොව ටොන් ගණනිනි. ඒ අනුව මෙවර අප රාජ්‍ය රහස් තීරයෙන් හෙළිදරව් කිරීමට සූදානම් වන්නේ ලංකාව ඇතුළේ කුඩු ජාලය අවසන් කරනවාට අමතරව ඉතා රහසිගත ලෙස ආණ්ඩුව මෙම ලංකාව සම්බන්ධ කොට සිදුකරන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය වෙළෙඳාම, එසේත් නැත්නම් කුඩු සප්ලයි චේන් එක (සැපයුම් දාමය) කඩා බිඳදැමීමටද තීන්දු කොට ඇති ආකාරයය. ඒ අනුව දැනටමත් ලංකාවට එසේ දැවැන්ත ප්‍රමාණයෙන් කුඩු ලැබෙන මාර්ග කිහිපයක් ආණ්ඩුව හඳුනාගෙන අවසානය.
     
    Galle

    පසුගිය කාලය පුරාම ආරක්ෂක අංශ කුඩු අල්ලද්දී ජනතාව නැගූ චෝදනාවක් වූයේ ආණ්ඩුව හාල්මැස්සන් අල්ලනවා විනා කුඩු ජාලයට සම්බන්ධ තෝරුන් මෝරුන් අල්ලන්නේ නැති බවය. කුඩු ජාලය අවසන් කිරීමේ සැබෑ අරමුණක් ඇත්නම් කුඩුවලට සම්බන්ධ මෙම තෝරුන් මෝරුන්ද ඇල්ලිය යුතු බව ජනතාවගේ මතය විය. ඒ අනුව මේ වනවිට ආණ්ඩුව තීරණය කොට ඇත්තේ එම තෝරුන් මෝරුන් ඇල්ලීමේ අතිශය භයානක සහ අවදානම්සහගත මෙහෙයුමට අත තැබීමටය.




    රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ඇති ආකාරයට මෙම මෙහෙයුම ආරම්භ කිරීමේදී ජනාධිපතිවරයා ඉතා බරපතළ ප්‍රකාශයක්ද සිදුකොට තිබේ. එහිදී අදාළ වගකිව යුතු අංශවලට නියෝග විධිවිධාන නිකුත් කරමින් ජනාධිපතිවරයා දැඩි වගකීමකින් යුතුව ප්‍රකාශ කොට ඇත්තේ, ‘මට කවුරු නැති වුණත් මොන ප්‍රතිවිපාක ආවත් මම මේ තීන්දුව ගන්නවා. මම ආයේ ආපස්සට හැරෙන්නේ නෑ…’ යැයි කියාය.




    ජනාධිපතිවරයා මෙම විධානය නිකුත් කිරීමත් සමග එම සාකච්ඡාවේ සිටි ප්‍රධානීන් එහි ඇති දැඩි අවදානම්සහගත ස්වරූපය සහ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති අවදානම පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකොට ඇති බවට අපට තොරතුරු තිබේ. නමුත් ජනාධිපතිවරයා මෙම තීන්දුව ගෙන ඇත්තේ ආවාට ගියා නොව හොඳ හැටි සිතා බලා ඒ සම්බන්ධයෙන් නිවැරැදි තක්සේරුවක් කිරීමෙන් පසුව බව අපගේ විශ්වාසයය. එහිදී නිසැකවම ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් පක්ෂය සමග, පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සමග සාක්ච්ඡා කර ඇතිවාට සැක නැත. මන්ද යත් එවැනි තීන්දුවක් ගැනීමම යනු අතිශය භයානක කලාපයකට ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඇතුළු වීමය.

    අප විශේෂයෙන් මෙම තොරතුර යම් යම් ස්වයං සීමාවන් යටතේ මෙසේ වාර්තා කරන්නේ ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ගෙන යන සටන සම්බන්ධයෙන් මේ රටේ වගකිව යුතු මාධ්‍යයක කොතැනක හෝ ලිඛිත සාක්ෂියක් වශයෙන් සටහනක් තබා තිබිය යුතු නිසාය. අනාගතයේදී මෙම මෙහෙයුම සාර්ථකව අවසන් කළහොත් ජනාධිපතිවරයා එම මෙහෙයුමට විශාල ජීවිත අවදානමක් ගෙන අනුමැතිය දුන් බවට තොරතුරු වාර්තා වී තිබිය යුතු නිසාය. ඒ අනුව ජනාධිපතිවරයා මෙම මෙහෙයුම ආරම්භ කිරීමත් සමග අතිශය භයානක කලාපයකට ඇතුළු වී ඇති බව පමණක් නැවත වතාවක් සඳහන් කළ යුතුව ඇත.


    ඒ අස්සේ අර්බූදයකුත්


    මේ සියල්ල අතරතුර ආණ්ඩුව ඉතා සුමට ගමනක යෙදෙන ආකාරයක්ද දැකගන්නට නැත. අප එසේ කියන්නේ ආණ්ඩුව ඇතුළේ මේ වනවිට යම් අර්බුදයක් මතුවෙමින් පවතින ආකාරයක් දැකගන්නට ලැබීම නිසාය. එය පසුගිය සතියේ දැකගන්නට ලැබුණේ හදිසියේම ජනාධිපතිවරයා විසින් සිදුකළ මාලිමා ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩල සංශෝධනය හරහාය. මෙහිදී මෙතෙක් ආණ්ඩුවේ ප්‍රබලතම අමාත්‍යවරයා බවට පත්ව සිටි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ බිමල් රත්නායක මහතාගේ වරාය කොටස ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කොට තිබිණි. ඒ සම්බන්ධයෙන් විපක්ෂය නම් ඍජුවම කියා සිටියේ කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් අලුත් කිසිවක් ජනාධිපතිවරයා සිදු කොට නොතිබූ බවත්, සිදුකර තිබූ එකම දේ වන්නේ බිමල් රත්නායක ඉලක්ක කොට ඔහුගෙන් වරාය කොටස ඉවත් කිරීම පමණක් බවත්ය.
     


    මීට අමතරව වරාය සමග ගනුදෙනු කරන දැවැන්ත ව්‍යාපාර කරන පිරිස් හට බිමල්ගෙන් බලපෑම් එල්ල වෙමින් පැවැති බවටත්, වරාය සහ රේගුව අතර ප්‍රශ්න මතුවෙමින් පැවැති බවටත්, බිමල් සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් අතර ප්‍රශ්න මතුවෙමින් පැවැති බවටත් විවිධ පිරිස් ඊට හේතු පාඨ සපයමින් ප්‍රකාශ සිදුකර තිබූ ආකාරයක්ද දැකගත හැකි විය. නමුත් ඒ සියල්ල නිල ප්‍රකාශ නොව, නිල නොවන ප්‍රකාශයන්ය. ඒ කොයිහැටි වෙතත් කැබිනට් සංශෝධනයෙන් අනතුරුව බිමල් මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙය ආණ්ඩුව ඇතුළේ මාස කීපයක් පුරා සාකච්ඡා කොට සියලු දෙනාගේම එකඟතාව අනුව සිදුකළ කැබිනට් සංශෝධනයක් යැයි කියාය.




    කෙසේ වෙතත් මෙවැනි ආකාරයේ කැබිනට් සංශෝධනයක් සිදුකළ යුතු බව රට හමුවේ පළමු වතාවට ප්‍රකාශ කළේ වෙන කවුරුවත් නොව බිමල්මය. පළාත් පාලන මැතිවරණයෙන් පසු රාජ්‍ය මාධ්‍යයක් වන ස්වාධීන රූපවාහිනියට පැමිණි බිමල් එහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඉතා ඉක්මනින්ම අමාත්‍ය මංණ්ඩල සංශෝධනයක් සිදුවිය යුතු යැයි කියාය. එහිදී බොහෝ ඇමැතිවරුන්ගේ වගකීම් වෙනස් විය හැකි බව කී බිමල්, තමාගේ අමාත්‍යාංශයද වෙනස් විය හැකි බව සඳහන් කර සිටියේය. එහිදී විශේෂ වචනයක් භාවිත කිරීමටද බිමල් කටයුතු කළේය. බිමල් කියා සිටියේ ආණ්ඩුවේ එන්ජිමද වෙනස් කළ යුතුව ඇතැයි කියාය. ඒ හරහා නොකියා කියූ කතාව වූයේ අගමැති ධුරයේද වෙනසක් සිදුවීමේ ඉඩකඩක් පවතින බවකි.




    නමුත් බිමල්ද නොසිතූ ලෙස ඔහු කළ ප්‍රකාශයට ඊට සතියකට පමණ පසු ආණ්ඩුව ඇතුළෙන්ම ප්‍රබල ප්‍රහාරයක් එල්ල විය. ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු වන සුනිල් හඳුන්නෙත්ති පෞද්ගලික නාලිකාවකට පැමිණ ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රසිද්ධියේම කියා සිටියේ මේ මොහොතේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවකි. සියලු ඇමැතිවරුන් තමන්ගේ වගකීම නිසි අයුරින් කරමින් සිටින බවද හඳුන්නෙත්ති එහිදී කියා සිටියේය. මීට අමතරව කැබිනට් මාධ්‍ය හමුවේදී නලින්ද ජයතිස්ස ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිසිසේත්ම සිදු නොවන බවකි. මෙම ප්‍රකාශයන් දෙකම බිමල් කළ ප්‍රකාශයට ඍජුවම ප්‍රතිචාර දැක්වීමක් බව පැහැදිලිවම දැකගන්නට තිබිණි.

    කෙසේ වෙතත් එම සිදුවීම සිදුවී මාස ගණනාවකට පසු කිසිවකුත් කතා නොකරන මොහොතක ජනාධිපතිවරයා හදිසියේම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකරමින් බිමල් යටතේ තිබූ වරාය කොටස ඔහුගෙන් ගලවා ඉවත් කිරීමට පියවර ගැනීම විශේෂ සිදුවීමකි. ඒ අනුව ඊට පෙර බිමල් ආණ්ඩුවේ එන්ජිම වෙනස් විය යුතු බවටත්, තමන් ඇතුළු ඇමැතිවරුන්ගේ වගකීම් වෙනස් වන බවටත් ප්‍රකාශයක් සිදුකර තිබුණද අවසානයේදී වෙනස් වී තිබුණේ බිමල්ගේ අමාත්‍යාංශය පමණක් වීමද විශේෂ සිදුවීමකි. ඒ අනුව විවිධ පිරිස් බිමල් ඉලක්ක කරමින් විවිධ ප්‍රකාශ සිදුකර තිබූ අතර, ඊට විවිධ අර්ථකථන ලබාදීමට පියවර ගෙන තිබූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.


    බිමල් කෝ?

    කෙසේ වෙතත් රාජ්‍ය රහස් කියවන පාඨකයන්ට මේ සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු ලබාදිය යුතු නිසා අප වෙනස් ආකාරයකින් බිමල්ගේ මේ සිදුවීම පිළිබඳ තොරතුරු සොයා බැලීමට කටයුතු කළෙමු. එහිදී අපට මෙම සිදුවීම පසුපස ඇති ගැටලුසහගත තැන් රැසක්ම සොයාගත හැකි විය. උදාහරණයක් ලෙස බිමල්ගෙන් වරාය කොටස ඉවත් කොට නාගරික සංවර්ධන අධිකාරියට භාරදී තිබුණද එහි වැඩ බාර ගැනීමෙන් අනතුරුව බිමල් ප්‍රසිද්ධියේ කාටවත් දැකගන්නට ලැබුණේ නැත. දිවුරුම් දී පැය ගණනකට පසු බිමල් හදිසියේම විදෙස්ගත වීම පුදුමසහගත සහ ගුප්ත සිදුවීමක් බවට පත්ව තිබිණි. ඒ සම්බන්ධයෙන් විවිධ සොයාබැලීම් සිදුකළද බිමල් ගිය රටක් සොයාගැනීමට අපට නොහැකි විය. එමෙන්ම අමාත්‍යාංශය පැත්තෙන් සොයා බලද්දී අපට දැකගන්නට ලැබුණේ බිමල් විදේශගත වී සිටින බවත්, අමාත්‍යාංශ රාජකාරිවලට වාර්තා කර නොමැති බවත්ය.
     
    unnamed

    සාමාන්‍යයෙන් බිමල්ගේ ෆේස්බුක් ගිණුමේ නිතරම ඔහුගේ වැඩ රාජකාරි කටයුතු සම්බන්ධයෙන් යාවත්කාලීන වීමක් වන නිසා ඊට පිවිස බැලුවද අපට එහි අලුත් යාවත්කාලීන කිරීම් කිසිවක් දැකගන්නට ලැබුණේ නැත. එහි අවසන් වරට දක්නට ලැබුණේ ඉකුත් ඔක්තෝබර් 09 වැනිදා මෙට්‍රෝ බස් ආයතනය ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවයට බිමල් සහභාගි වී සිටි එකකි. ඊට පෙර 07 වැනිදා සහ 06 වැනිදාද බිමල් සහභාගි වූ උත්සව දෙකක තොරතුරු එහි සඳහන්ව තිබිණි. නමුත් ඉන් අනතුරුව එහි යාවත්කාලීන වීමක් දැකගන්නට ලැබුණේ නැත.

    ඉන් අනතුරුව අප නාගරික සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවියටද පිවිස ඒ පිළිබඳ සොයාබැලීමක් සිදුකළෙමු. එහි බිමල් නව අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීමේ කිසිදු ඡායාරූපයක් දැකගන්නට ලැබුණේ ද නැත. බිමල්ගේ නම පමණක් එහි සඳහන්ව තිබුණු නමුත් අඩුම තරමින් බිමල්ගේ ඡායාරූපය හෝ එහි පළකොට නොතිබිණි.

    මීට අමතරව මේ දිනවල බාබඩෝස්හි පොදුරාජ්‍ය මණ්ඩල සැසිවාරය පැවැත්වීම හේතුවෙන් බිමල් ඊට සහභාගි වී ඇද්ද යන්න පිළිබඳවද අපි සොයාබැලීමක නිරත වීමු. එහිදී දැනගන්නට ලැබුණේ බිමල් ඊටද සහභාගි වී නොසිටි බවකි.





    කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු ලොකුම අර්බුදය වූයේ බිමල්ගේ පත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය ලාල්කාන්තගෙන් ප්‍රශ්න කරද්දී ලාල්කාන්ත ඊට ලබාදුන් පිළිතුරය. සාමාන්‍යයෙන් ලාල්කාන්ත සැලකෙන්නේ ජවිපෙ දේශපාලන මණ්ඩලය ඇතුළේ සිටින ප්‍රධාන නායකයන් පස්දෙනාගෙන් එක් අයකු ලෙසටය. ජවිපෙ ඇතුළේ හෝ ආණ්ඩුව ඇතුළේ යම්කිසි වෙනසක් සිදුවන්නේද, යම්කිසි විශේෂ සාකච්ඡාවක් සිදුවන්නේද ලාල්කාන්තට හොරෙන් එවැන්නක් සිදුවිය නොහැක. කෙසේ වෙතත් පක්ෂය ඇතුළේ මාස කීපයක සාකච්ඡාවකින් පසු අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකළ බව බිමල් කියා සිටියද, ලාල්කාන්ත කියා සිටියේ එවන් සාකච්ඡාවක් පිළිබඳ කිසිදු තොරතුරක් තමන් නොදන්නා බවකි. ලාල්ගේ මෙම කතාවෙන් බිමල්ගේ වරාය ඇමැතිකම ඉවත් කිරීම පක්ෂය ඇතුළේ සාකච්ඡා කොට ගත් එකක් නොවන බව පැහැදිලිය. ඒ කැබිනට් මාරුව හරහා එළියට පැන්නේ ආණ්ඩුව ඇතුළේ පවතින යම් අර්බුදයක පිළිබිඹුවක් බව බොහෝ දෙනාගේ අදහසය. එමෙන්ම කැබිනට් මාරුවෙන් පසු බිමල්ගේ අතුරුදන් වීමද ප්‍රශ්නසහගතය. කෙසේ වෙතත් ලබන සතියේ පාර්ලිමේන්තු සතිය ආරම්භ වීමට නියමිත බැවින් බොහෝ දෙනා බිමල්ගේ හැසිරීම දෙස දැඩි අවධානයෙන් යුතුව බලා සිටිනවා නොඅනුමානය.



    සජබ-එජාප එකතුව


    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මතුවූ සිදුවීම් පෙළ හරහා බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ සජබය සහ එජාපය අතර එකමුතුවක් ගොඩනැගෙනු ඇතැයි කියාය. ඒ සඳහා සජබයෙන් අවංක උත්සාහයක් දැරුණු අතර, අවසන් වරට පැවැති සජබ කළමනාකරණ රැස්වීමේදී සහ සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේ ඊට තවත් පියවරක් ඉදිරියට තබමිනි. නමුත් එහිදී ඉදිරිපත් කෙරුණු එකම කොන්දේසිය වූයේ සජබය විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වීම නිසා සජබ නායකත්වයෙන්, මූලිකත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් එම එකතුව සිදුවිය යුතු යැයි කියාය.

    එය සාධාරණ ඉල්ලීමක් බව ඕනෑම අයකුට පෙනී යන්නේ එජාපය රනිල්ගේ නායකත්වය යටතේ මේ වනවිට පත්ව ඇති තත්ත්වය දෙස බලන විටය. මෙවර පාර්ලිමේන්තුවේදී එජාපයෙන් කිසිදු නියෝජනයක් නොමැති අතර එජාපය මහමැතිවරණයට ඉදිරිපත් වූයේද සිලින්ඩරය ලකුණෙන් යුතුවය. 2020 පාර්ලිමේන්තුවේදී එජාපයට හිමිවූයේ එකම එක ජාතික ලැයිස්තුවක් පමණි. ලැබුණු ඡන්ද ප්‍රමාණය වූයේ ලක්ෂ දෙකහමාරක් පමණි. නමුත් දේශපාලනය පිළිබඳ මෙලෝ හසරක් නොදන්නා ඔළමොට්ටලයන් කිහිප දෙනකු මෝඩ තර්ක ඉදිරිපත් කරමින් කියා සිටින්නේ ඉකුත් ජනාධිපතිවරණයේදී සජිත් හා රනිල් ගත් ඡන්ද ප්‍රමාණයන් එකතු කළ විට සජබයට දිනන්නට තිබුණා යැයි කියාය.

    නමුත් මොවුන් අමතක කරන කරුණ වන්නේ රනිල්ට ජනාධිපතිවරණයේදී බහුතරයක්ම ලැබුණේ එජාප ඡන්ද නොව පොහොට්ටුවේ ඡන්ද යන කාරණාවය. සජබ ඡන්දද රනිල්ට ගියේ නැත. නාමල් ජනාධිපතිවරණයේදී ලක්ෂ දෙකහමාරට පොහොට්ටු ඡන්ද අඩු කරගත්තද එය මාස 5ක් ඇතුළත ලක්ෂ 10 දක්වා පළාත් පාලන මැතිවරණයේදී ඉහළ නංවා ගැනීමට නාමල්ට හැකියාව ලැබිණි. එහි තේරුම වන්නේ රනිල්ට ගිය පොහොට්ටු ඡන්ද නැවත පොහොට්ටුවට ලබාගැනීමට නාමල්ට හැකිවී ඇති බවකි. බොහෝ දුරට ඉදිරි පළාත් සභා මැතිවරණයේදී නාමල් මෙම ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 15-16 දක්වා ඉහළ නංවාගනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය. එහි තේරුමද රනිල්ට ගිය පොහොට්ටු ඡන්ද සියල්ලම පොහොට්ටුවට ලබාගැනීමට නාමල්ට හැකිවනු ඇති බවය.

     ඒ අනුව දැන් රනිල් සිටින්නේ 2020 මහ ඡන්දයෙන් ගත් ලක්ෂ දෙකහමාරක ඡන්ද ප්‍රමාණයට නැවතත් වැටීය. වරක් රටේ ජනාධිපති බවට පත්වූ රනිල් මේ වනවිට මුහුණදී ඇත්තේ එවැනි ඉරණමකටය.

    නමුත් සජබයේ තත්ත්වය ඊට හාත්පසින් වෙනස්ය. සජබය පසුගිය ජනාධිපතිවරණයේදී ගත් ඡන්ද සංඛ්‍යාව මහ මැතිවරණයේදීද ආරක්ෂා කරගන්නට සමත් විය. පළාත් පාලන මැතිවරණයේදීත් මෙම ඡන්ද පදනම ආරක්ෂා කරගැනීමට සජබයට හැකි විය. මේ වනවිට සජබය ගම් මට්ටමින් පවත්වන සමුපකාර ඡන්දවලින් දිගින් දිගටම ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ. ඇතැම් ස්ථානවල තනිවම මෙම ජයග්‍රහණ ලැබීමට සජබය සමත්ව ඇති අතර, ඇතැම් ස්ථානවල විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමග එක්ව ජයග්‍රහණය කිරීමට සජබය සමත්ව ඇත.

    ජනාධිපතිවරණයට පෙර මාලිමාවද මේ ආකාරයෙන් ගම් මට්ටමේ සමුපාකාර එක දිගට ජයග්‍රහණ කළ අතර, ඒ අවස්ථාවේදී අනුර ප්‍රසිද්ධියේම කියා සිටියේ ගමේ ජයග්‍රාහී සමුපකාර ඡන්ද රැල්ලෙන් රටේ ජයග්‍රාහී ඡන්ද රැල්ල හඳුනාගත හැකි යැයි කියාය. ඒ අනුව මේ වනවිට සජබයද ගමේ සමුපකාර ඡන්ද එක දිගට ජයග්‍රහණය කරමින් ජයග්‍රාහී රැල්ලක් ආරම්භ කර තිබේ. නමුත් මේ සමුපකාර ඡන්දවල ඉහළින් සජබය සහ පොහොට්ටුවේ නම කියැවුණද ඒ කිසිදු තැනක එජාපයේ නමක් සඳහන් වන්නේ නැත. ඒ තරමටම ගමේ එජාපය දියවී ගොස් හමාරය.

    අනෙක රනිල්ට දැන් වයස අවුරුදු 77කි. රනිල්ගේ නායකත්වය යටතේ හෝ සම නායකත්වය යටතේ හෝ ආණ්ඩු අල්ලන්න සන්ධාන හදන්න කවුරු හෝ කතා කරනවා නම් එය වසරේ හොඳම විහිළුව ලෙස සැලකිය හැකිය. මේ සියලු කරුණු දෙස බලන විට සජබය සහ එජාපය එකතුවේදී එහි මූලිකත්වය හිමිවිය යුතු වන්නේ සජබයටය. එජාප පාක්ෂිකයොත් මේ වනවිට සඳහන් කරන්නේ සජිත්ට අවශ්‍ය වේලාවේදී එජාප නායකත්වය ලබාදීමට රනිල් කටයුතු නොකිරීමෙන් එජාපය දෙකට කැඩුණු බවය. එජාපය දිගින් දිගටම පරාජයට පත්වී එකදු මන්ත්‍රීවරයකුවත් පාර්ලිමේන්තුවට පත්විය නොහැකි තැනට පත්වූ බවය. දැන් හෝ සජිත්ට නායකත්වය ලබාදී මේ පක්ෂ දෙක එකතු කළ යුතු බව එජාප පාක්ෂිකයන්ගේ ද ස්ථාවරයය.
     


    මේ මතය එජාප පාක්ෂිකයන් තුළ ගොනුවූයේ රනිල් අත්අඩංගුවට ගැනීමෙන් පසු සජිත් ඔහු නිදහස් කරගැනීම වෙනුවෙන් අවංකව පෙනීසිටීමෙන් පසුවය. නමුත් රනිල් රෝහලේ ඇඳෙන් නැගිට්ට මොහොතේ සිට කළේ ඇතිවීමට තිබූ සජබ-එජාප එකතුව කඩාබිඳ දැමීමට කුමන්ත්‍රණ කිරීමය. සිය පවුලේ පත්තරවලින් බොරු පුවත් පළකරමින් සජිත් හිරේ යන බවටත්, සජිත් මුදල් අවභාවිත කර ඇති බවටත්, සජිත් අත්අඩංගුවට ගන්නා බවටත් කියමින් තමන්ට සමීප නිවුස් ප්ලාන්ට් කල්ලියත්, තම පවුලට අයත් පත්තරවලත් බොරු පුවත් මැවීමය.

    ranil wickremesinghe

    රනිල්ගේ අරමුණ වී තිබුණේ මේ හරහා පක්ෂ දෙක එකතු කිරීමේ මෙහෙයුමෙන් සජිත්ව ඉවත් කිරීමය. නමුත් මේ වනවිට පරිණත නායකයකු ලෙස කටයුතු කරන සජිත් රනිල්ගේ උගුලේ නොවැටී පක්ෂ දෙක එකතු විය යුතු බවට තීන්දු කරමින් රනිල් අටවපු උගුලේ රනිල්වම හිර කිරීමට පියවර ගත්තේය. මේ හරහා රනිලුත් රනිල්ට සමීප දෙතුන්දෙනාත් මහත් කලබලයට පත්ව ඇති ආකාරයක් දැකගත හැකිය. මේ දෙතුන් දෙනා වන්නේ සාගලත්, වජිරත්ය. නමුත් ඒ දෙතුන්දෙනා හැරුණු විට නමක් තියෙන අනෙක් සියලු එජාප ප්‍රධානීන් මේ වනවිට සිටින්නේ එජාපය මේ මොහොතේ හෝ සජබය සමග එක්විය යුතු බවට වූ ස්ථාවරයේය.




    වජිරට කොන්ත්‍රාත්තුවක්

    ඒ අනුව මෙම සමගිය කඩාදැමීම සඳහා වහාම වජිර කැඳවූ රනිල්, ඔහුට දැනුම් දී සිටියේ සජබය අසීරුතාවට පත්වන ආකාරයේ නිවේදනයක් නිකුත් කරන ලෙසටය. ඒ අනුව වජිරද කළේ සජබය සමග එක්වන කතා කිසිවක් සඳහන් නොකොට එජාප මහා සම්මේලනයේදී තීන්දු කළේ විපක්ෂයේ සියලු පක්ෂ එකතු කිරීම බව කියමින් නිවේදනයක් නිකුත් කිරීමය. ඒ හරහා වජිර සජබයට දුන් පණිවුඩය වූයේ සජබය සමග එකතු වීමට එජාපය සූදානම් නැති බවය.

    කෙසේ වෙතත් වජිර මෙවැනි නිවේදනයක් නිකුත් කරන බවක් එජාපයේ අනෙක් ප්‍රධානීන් දැන සිටියේ නැත. ඒ අනුව මෙම නිවේදනය දුටු නවීන්, අකිල, තලතා ඒ සම්බන්ධයෙන් දැඩිව සිය විරෝධය පළකොට ඇති බවක් ආරංචිය. එපමණක් නොව නවීන් ප්‍රසිද්ධියේම ප්‍රකාශයක් කරමින් කියා සිටියේ පක්ෂ දෙක එකතු විය යුතු බවට සජිත් ගත් තීන්දුව ඉතා හොඳ එකක් බවත්, එසේ පක්ෂ දෙක එකතු වුවහොත් තමන්ද පළාත් සභා මැතිවරණයේදී තරග කරන බවත්ය.

    මේ අතර, එජාපයෙන් නිකුත් වූ මෙම නිවේදනය පිළිබඳ සජබය පාර්ශ්වයෙන්ද කිසියම් සොයාබැලීමක් සිදුකෙරිණි. එහිදී බොහෝ දෙනා කියා සිටියේ එජාපයේ සිටින ‘ත්‍රී ඉඩියට්ස්’ලා විසින් මෙම නිවේදනය නිකුත් කොට ඇති බවය. පක්ෂය ඇතුළේ කිසිදු සාකච්ඡාවකින් තොරව මෙම නිවේදනය නිකුත් කොට ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කරද්දී සිය විරෝධය ඊට පළකරන බවත්, සජබ-එජාප එකමුතුවට සහාය පළකරන එජාපයේ ප්‍රධානීන් සඳහන් කොට ඇති බවත් ආරංචිය.

    unp
    එමෙන්ම අඟහරුවාදා සවස මේ එජාපයේ ප්‍රබලයන් තිදෙනා විසින් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන්ට තවත් විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබූහ. ඒ, සජබ-එජාප එකතුව සම්බන්ධයෙන් කතා කරද්දී ගතයුතු ලයින් එක පිළිබඳ දැනුම් දෙමිනි. එහි සඳහන්ව තිබුණේ මෙවැන්නකි.

    එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගයත් අනෙකුත් දේශපාලන පක්ෂත් අතර පොදු එකඟතාවකින් කටයුතු කිරීම පිළිබඳ සාකච්ඡා වට කිහිපයක්ම කොළඹ මාර්කස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්විණි.

    එම සාකච්ඡා අඛණ්ඩවම තවමත් ක්‍රියාත්මක වේ. එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය වන්නේ පොදු එකඟතාවයකින් ක්‍රියා කිරීම සඳහා සමගි ජන බලවේගය මෙන්ම අනිකුත් දේශපාලන පක්ෂ ද සම්බන්ධ කරගත යුතු බවය.

    බහු පාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ ස්ථාවරයේ එක්සත් ජාතික පක්ෂය එල්බ සිටී. එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගයට අමතරව අනෙකුත් දේශපාලන පක්ෂත් ඊට එක්කර ගතයුතුය.

    බහුපාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගන්නා වැදගත් පියවරක් ලෙස නොවැම්බර් මස 11 වැනි දින නුගේගොඩ පැවැත්වෙන ‘වංචනික මාලිමා ආණ්ඩුවේ මුග්ධ පාලනයට එරෙහි මහා ජන හඬ’ රැලියට සහභාගි වන ලෙස සමගි ජන බලවේගය ඇතුළු සියලුම පක්ෂවලට ඇරයුම් කරමු. යනුවෙන් එහි සඳහන්ව තිබිණ.



    මේ නිවේදනය නිකුත් වීමත් සමග එජාපයේ මේ ත්‍රිමූර්තිය හැරුණු විට අනෙකුත් සියලු දෙනාම කැලඹී ගිය ආකාරයක් දැකගත හැකි විය. පක්ෂය ඇතුළේ කිසිදු සාකච්ඡාවක් නොකර මෙවැනි උපදෙසක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ඔවුන් සිටින්නේ ඉදිරි දිනකදී කෙළින්ම සිය විරෝධය පළකිරීමටය.



    මේ සියල්ල අතරවාරයේ පක්ෂ දෙක එකතු කිරීම සිදුකරන්නේ කෙසේද යන්න සොයාබලා වාර්තා කරන ලෙසට සජිත් විසින් කබීර්ගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවද මේ වනවිට සිය වාර්තාව සකස් කිරීමේ අවසන් අදියරට පැමිණ ඇති ආකාරයක් වාර්තා වේ. කමිටු සාමාජික මුජිබර් රහුමාන් පසුගිය සතියේ බාබඩෝස් සංචාරයක නිරත වීම නිසා සජිත් කළේ ඒ වෙනුවට ඉරාන් වික්‍රමරත්නව පත්කිරීමය. ඒ අනුව කබීරුත්, මරික්කාරුත්, ඉරානුත් එජාප ප්‍රධානීන් සමග සාකච්ඡා කරමින් එම වාර්තාව සකස් කරන බවක් රනිල්ටද වාර්තා විය.

    ඒ අනුව රනිල් වහාම එජාප නියෝජිතයන්ට නියෝගයක් නිකුත් කරමින් කියා සිටියේ කබීර් සමග හෝ මරික්කාර් සමග හෝ ඉරාන් සමග කිසිදු සාකච්ඡාකට නොයන ලෙසටය. එහිදී රනිල් වැඩිදුරටත් කියා ඇත්තේ තමන් වෙනත් චැනල් එකකින් සජබයේ ඉහළ අයත් සමග වෙනම ගනුදෙනුවක නිරත වන බවය. රනිල් මේ ගනුදෙනුව කරන කණ්ඩායම පිළිබඳවද රාජ්‍ය රහස් තීරයට තොරතුරු වාර්තා වී තිබේ. නමුත් අප වගකීමෙන් යුතුව කියා සිටින්නේ රනිල් ගනුදෙනු කරන ඒ චැනල් එකකිනුත් කිසිදු යහපත් ප්‍රතිචාරයක් රනිල්ට දී නැතැයි කියාය.


    නාමල්වත් පාව්චිච් කරලා


    ඉන් අනතුරුව රනිල් කළේ සජබය තවදුරටත් බිමට වැට්ටවීම සඳහා නාමල්ව පාවිච්චි කිරීමය. රනිල් ඒ දේ කරන්නේ ලබන 11 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත රැලියට පොහොට්ටු පාක්ෂිකයන් ගෙන්වා ගැනීමටය. ඒ හරහා රනිල්ගේ සැලැස්ම වී ඇත්තේ හීන්සීරුවේ යළිත් පොහොට්ටුවට රිංගා ගැනීමය. අප මේ බව මීට මාසයකට ඉහතදී පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සිදුවූ සිදුවීමක් වාර්තා කරමින් පළමු වරට රටට අනාවරණ කිරීමට පියවර ගත්තෙමු. 
    එහිදී රනිල් පොහොට්ටුව සමග සන්ධානයක් ගොඩනැගිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කරද්දී ඊට තලතා, රුවන් ඇතුළු කණ්ඩායමක් දැඩි විරෝධය පළකරමින් පොහොට්ටුවේ ඇත්තේ වෙනත් සංස්කෘතියක් බවත්, එය එජාප සංස්කෘතියට නොගැළපෙන බවත් කියා සිටියහ. නමුත් රනිල් එම විරෝධය තඹේකට මායිම් කර නොමැති බවක් මේ වනවිට සිදුවන සිදුවීම්වලින් පැහැදිලිව දැකගත හැකිය.



    \

    ඉකුත් ජනාධිපතිවරණයේදී තමන්ට ලැබුණු පොහොට්ටු ඡන්ද නැවත නාමල් එකතු කරගනිමින් සිටින බව වටහාගෙන සිටින රනිල්, මේ වනවිට සූදානමින් සිටින්නේ නාමල්ව තමන්ට ළං කරගෙන නැවත වතාවක් එම පොහොට්ටු ඡන්දවලට වගකීමටය. එසේත් නොමැති නම් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී පොහොට්ටුව සමග සන්ධානයක් ගොඩනගාගෙන එහි ඡන්දවලින් එජාපයේ පිරිසක් පළාත් සභාව ඇතුළට රිංගවීමටය.



    හොරුත් එක්ක බෑ


    එජාපය සමග එකතු වීමට සජබ කළමනාකරණ කමිටුව සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දු කළද තවත් වැදගත් තීන්දුවක්ද සජබය මේ වනවිට ගෙන තිබේ. ඒ, කා සමග එකතු වුවද හොරු සමග එකතු නොවීමටය. එමෙන්ම පොහොට්ටුව සමගද එකතු නොවීමටය. මේ වනවිට සජබය පිරිසිදු පක්ෂයක් ලෙස රටම හඳුනාගෙන ඇති බැවින් කිසිසේත්ම දූෂණ චෝදනාවලට ලක්වූ පිරිස් සමග සන්ධානගත නොවීමට පක්ෂය තීන්දු කර ඇති බව එස්.එම්. මරික්කාර් පසුගියදා මාධ්‍ය හමුවේ කීවේ ඒ අනුවය. අජිත් පෙරේරා කියා සිටියේ දේශපාලන කාරණාවලදී අසාධාරණයක් වන්නේ නම් ඒ වෙනුවෙන් පෙනීසිටිනවා විනා පොහොට්ටුව සමග කිසිදු අවස්ථාවක සන්ධානගත වීමක් සිදු නොවනවා යැයි කියාය.

    එමෙන්ම සජබ සන්ධානය ඇතුළේ සිටින මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් වැනි අයද මාධ්‍ය ඉදිරියේ සඳහන් කර සිටියේ හොරු එක්ක කිසිසේත්ම වාඩිවීමට හෝ හොරු එකතු කරගැනීමට හෝ සජබය කටයුතු නොකළ යුතු යැයි කියාය. ඒ හරහා මෙම දේශපාලන නායකයන් නොකියා කීවේ ලබන 11 වැනිදා නුගේගොඩදී රනිල්ගේ සහ නාමල්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත රැස්වීමට සහභාගි නොවන බවය. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ දැනටමත් සජිත් මෙම රැස්වීමට සහභාගි නොවීමට තීන්දු කොට ඇති බවය. එමෙන්ම සජබ ජ්‍යෙෂ්ඨයන්ද දැඩි තීන්දුවක් ගෙන ඇත්තේ මෙම රැස්වීමට සහභාගි නොවීමටය. මීට අමතරව රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් වැනි සජබ සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයන්ද සිටින්නේ නුගේගොඩ රැස්වීමට සහභාගි නොවීමේ ස්ථාවරයකය.

    රනිල් සහ නාමල් නුගේගොඩ රැලිය සාර්ථක කරගැනීමට කටයුතු කරන අතරවාරයේ සජිත් මේ දිනවල සිටින්නේ සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන දියත් කරමින් ආසන මට්ටමින් ගමින් ගමට යමින්ය. ඒ අතරවාරයේ ආණ්ඩුව විදුලි බිල 6.8%කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබීම නිසා සජිත් ඒ යන සෑම රැස්වීමකදීම කියා සිටියේ ආණ්ඩුව නැවත වතාවක් විදුලි බිල ඉහළ නැංවීමට කටයුතු කළහොත් ඊට එරෙහිව ජනතාව සමග පාරට බහිනවා යැයි කියාය. ඒ අනුව සජිත් ගම් මට්ටමේ සියලු සජබ පළාත් පාලන ආයතන නියෝජිතයන්ට දැනුම් දී සිටියේ යම් හෙයකින් විදුලි බිල ඉහළ නැංවීමට ආණ්ඩුව පියවර ගතහොත් ඊට පසු දිනම එක වර රට වටේම සජබ පාක්ෂිකයන් ඊට එරෙහිව පාරට බැස්සවීමට සූදානම් කර තබන ලෙසය. ඒ අනුව සජබ ආසන සංවිධායකවරුන්ද, පළාත් පාලන මන්ත්‍රීවරුද පසුගිය සති දෙක පුරාම ගම් මට්ටමෙන් ඊට සංවිධාන වෙමින් පාක්ෂිකයන් එකතු කිරීමට කටයුතු කළහ.

    565108944 1385042432981985 9088808222874011188 n
    ඒ අනුව අපට ඇති යම් යම් තොරතුරුවලින් කියැවෙන්නේ නුගේගොඩ රනිල් – නාමල්ගේ රැලිය මෙන්ම විදුලි බිලට එරෙහිව ගම් මට්ටමෙන් සජබය දියත් කරන්නට යන කැරැල්ල පිළිබඳවද සියලු තොරතුරු ආණ්ඩුවට වාර්තා වී ඇති බවය. එහිදී නාමල් බස් 100ක් රැගෙන එන බව වාර්තා වුණද, ආණ්ඩුව ඒ ගැන වැඩි තැකීමක් නොකළේය. නමුත් සජිත්ගේ විදුලි බිලට එරෙහි ගම් මට්ටමේ මෙහෙයුම පිළිබඳ ආණ්ඩුව දැඩි අවධානයක් යොමුකර තිබුණේ විශාල පිරිසක් ඒ වටා රොක් වෙමින් සිටින බවටත්, යම් හෙයකින් විදුලි බිල වැඩිකළහොත් දැනට ගමේ සජබයට ගොඩනැගෙමින් පවතින ප්‍රසාදය තවදුරටත් ඉහළ යාහැකි බවටත් තොරතුරු වාර්තා වී තිබීම නිසාය. අනෙක මේ වනවිට සජිත්ගේ ගම් මට්ටමෙන් සිදුවන සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට ජනතාවගෙන් විශාල ප්‍රතිචාර හිමිවෙමින් පවතින බවද ආණ්ඩුවට වාර්තා වී තිබිණි.

    ඒ අනුව ආණ්ඩුව පසුගිය වතාවේ මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල වැඩි නොකරන ලෙස දැනුම්දී තිබියදී ඊට එරෙහිව යමින් විදුලි බිල වැඩිකළද මෙවර මහජන උපයෝගිතා කොමිසම වැඩි නොකරන ලෙසට දුන් නියෝගය පිළිපදිමින් නිහඬව සිටි ආකාරයක් දැකගන්නට ලැබිණ. ආණ්ඩුවේ මෙම හැසිරීමත් සමග ගම් මට්ටමෙන් සජබයට එන ප්‍රසාදය ආණ්ඩුව වටහාගෙන සිටින බවක් දැකගැනීමට පුළුවන.





    කෙසේ වෙතත් රනිල් සමග එකතු වී නුගේගොඩ රැලිය සංවිධාන කිරීම සම්බන්ධයෙන් මේ වනවිට නාමල්ටද පොහොට්ටුව ඇතුළෙන් විශාල විරෝධයක් එල්ල වෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. මෙහි පළමු විරෝධය එල්ල වූයේ රනිල් ගැන හොඳටම දන්නා ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන්ය. පොහොට්ටුව රනිල්ට ජනාධිපති ධුරය ලබාදීමට තීන්දු කරද්දීම ජොනී කී ප්‍රසිද්ධ කතාවක් වූයේ රනිල් කොයි වෙලාවේ හෝ රාජපක්ෂලාටත්, පොහොට්ටුවටත් වැඩේ දෙනවා යැයි කියාය. ජොනී කී පරිදිම රනිල් පොහොට්ටුවේ පිහිටෙන් ජනාධිපති වී මාස කීපයක් අතුළත පොහොට්ටුවත් දෙකට කඩා රාජපක්ෂලාවත් නන්නත්තාර කළේය.



    එමෙන්ම පසුගිය කාලයේදී රනිල්ට ළංව සිටි පොහොට්ටු ප්‍රධානීන් වූ රෝහිත අබේගුණවර්ධන, නිමල් ලංසා වැනි පිරිස්ද මේ වනවිට සිටින්නේ රනිල්ගේ තරම තේරුම් ගෙන යළිත් පොහොට්ටුවට එක්වය. ඔවුන්ද නාමල්ට දී ඇති පණිවුඩය වී ඇත්තේ රනිල්ට නැවත වතාවක් අහුවෙන්න එපා යැයි කියාය. පොහොට්ටු ඡන්ද රනිල්ට හරවන්න එපා යැයි කියාය. රනිල්ගේ දේශපාලනය අවසන් බවත්, ඔහු තවදුරටත් දේශපාලනයේ ලකුණක් නොවන බවත් මේ පිරිස් නාමල්ට දැනුම් දී ඇති බවක්ද ආරංචිය.

    මීට අමතරව පොහොට්ටුවේ මහමොළකරු ලෙස සැලකෙන බැසිල්ද ඇමෙරිකාවේ සිට පොහොට්ටුවට පණිවුඩයක් එවමින් දැනුම් දී ඇත්තේ රනිල්ට කිසිසේත්ම පොහොට්ටුවේ සහාය ලබා නොදෙන්න යැයි කියාය. රනිල්ගේ දේශපාලනය අවසන් බවත්, තවදුරටත් රනිල් සමග එක්ව ගමනක් යෑමේ ඉඩක් නොමැති බවත් එහිදී බැසිල් විසින් දැනුම් දී ඇති බවක්ද ආරංචිය. මෙය බොහෝ විට බැසිල් විසින් පක්ෂ මහලේකම් සාගර කාරියවසම්ට ලබාදී ඇති බවක් පෙනී යන්නේ වහාම සාගර මාධ්‍ය හමුවක් පවත්වා එජාපය සමග හෝ සජබය සමග සන්ධානගත වන්නේ මහින්ද ප්‍රතිපත්තිය පිළිගන්නා බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළහොත් පමණක් බව ප්‍රකාශ කිරීම නිසාය.
     
    basil rajapaksa reuters1

     බොහෝ දෙනා කියන්නේ බැසිල් විසින් මෙම විග්‍රහය පොහොට්ටුවට ලබාදී ඇති බවත්, එසේ නොමැතිව සාගර විසින් එවැනි ප්‍රකාශයක් නොකරනු ඇති බවත්ය. අපට ඇති ආරංචිවලින් කියැවෙන්නේ නාමල්ටද මෙම දැනුම්දීම ලැබී ඇති බවකි. ඒ අනුව නාමල්ද පසුගිය සතියේ ප්‍රකාශ කර ඇත්තේ පළාත් සභා මැතිවරණය පැවැත්වුණහොත් කෙසේවත් රනිල්ට එහිදී සහාය දක්වන්නේ නැතැයි කියාය.

    (සටහන | කපිල පුංචිමාන්නගේ)

    උපුටා ගැනීම - mawratanews.lk




  • වර්තමාන ආණ්ඩුව ගුරුවරුන්ට සාධාරණයක් ඉටු කළ යුතුයි - සජිත් ප්‍රේමදාස

    වර්තමාන ආණ්ඩුව හොබවන අය විපක්ෂයේ සිටින කාලයේ සිදු කළ ගුරු අරගලය සත්‍යවාදී නම් අද ඔවුන් බලයේ සිටින විට මේ ගුරුවරුන්ට සාධාරණයක් ඉටු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.


    ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (05) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී Citizen Voice වැඩසටහන යටතේ සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරි සංගමයේ නිලධාරීන් හමුවූ අවස්ථාවේ දී ය.

    එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...


    2018, 2020, 2022 බඳවා ගත් පිරිස අද අන්ත අසරණ වෙලා

    ''පුරා වසර 6ක් පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය සහ බංකොලොත්භාවය යන ඛේදවාචකයන් ගණනාවක් මැද රටේ ඇති වූ බරපතළ ගුරු හිඟයත් සමග, කොරෝනා අභියෝගය සමග මෙරට අධ්‍යාපන ක්‍රමය දැවැන්ත ලෙස බරපතල ලෙස කඩා වැටෙමින් තිබුණා. 2020 බඳවා ගත් උපාධිධාරින් 53000න් 22000ක් මේ ඛේදවාචකයෙන් අප රටේ දරු පරපුර බේරා ගන්න ගුරුවරු ලෙස බඳවා ගත්තා.

    අද මේ 22000 රජයේ වැරදි තීන්දු මත 16600ට අඩු වෙලා. මේ 16600 වසර 5ක 6ක අධ්‍යාපන ක්‍රියාවලියේ ප්‍රායෝගික පුහුණුවක් සහ අත්දැකීමක් සහිතව එම ක්‍රියාවෙහි ම නිරතව ලැබුවා. මේ අය ඇත්ත වශයෙන්ම අභ්‍යාසලාභී ගුරු සංවර්ධන උපාධිධාරින්. මේ 53000ක් බඳවා ගන්නා විට ග්‍රාමීය හා වතු පාසල්වල ඇති අධ්‍යාපන ප්‍රශ්න ද පදනමක් වී තිබෙනවා. මේ ක්‍රියාවලිය තුළ 2018, 2020, 2022 බඳවා ගත් අය අද අන්ත අසරණ වෙලා.

    එදා ගුරුවරුන්ගේ වේතනය වැඩි කිරීමක් වෙනුවෙන් මහපාරට බැස අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින විට මේ උපාධිධාරින්ට සේවයට පැමිණිම අනිවාර්ය ලෙස නිවේදන නිකුත් කර තිබුණා. වත්මන් රජයේ මන්ත්‍රීවරුන් පවා මහපාරට බැස සංවර්ධන නිලධාරින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීමේ අරගලයේ සිටියා. ඔවුන් විපක්ෂයේ සිටින කාලයේ සිදු කළ අරගලය සත්‍යවාදී නම් අද බලයේ සිටින විට මේ ගුරුවරුන්ට සාධාරණයක් සිදු කල යුතු යි.

    උපාධිධාරින් 52000කට ඇබෑර්තු තිබෙනවා

    අභ්‍යසලාභී ගුරුවරු ලෙස ප්‍රායෝගික පර්යේෂණයක් හරහා මේ අය බදවා ගෙන වසර 3ක් තුළ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබා ගෙන 2.2 ශ්‍රේණියට බදවා ගැනීම සමථකරණ තීන්දුව වුවත් මේ රජය එම තීන්දුව පවා උල්ලංඝනය කර කර තිබෙනවා. එදා සිදුවූ ගරා වැටීම, කඩා වැටීම හරහා පාසල් පද්ධතිය ගොඩගැනීමට මේ අයගෙන් උදව් ගත්තත් අද මේ අයට ගුරු වෘත්තියට සාධාරණ ක්‍රමයක් ලෙස අන්තර්ග්‍රහණය කිරීම සිදු කරන්නේ නැහැ.

    රටේ උපාධිධාරින් 52000කට පමණ ඇබෑර්තු තිබෙනවා. මේ සඳහා මොවුන් මෙන්ම රැකියා විරහිත උපාධිධාරීන්ද  බඳවා ගත හැකි යි. දැනටත් පාසල් පද්ධතිය තුළ ඉගැන්වීමේ ක්‍රියාවලියේ සිටින්නේ මේ අය යි. දැනටත් වැටුප් ගෙවන නිසා බඳවා ගැනීමේ අලුත් බරක් ඇති නොවුවත් අද මේ අයගේ ඡන්දයෙන් පර්ලිමේන්තු ගිය ජනතා විමුක්ති පෙරමුණේ අය අද මේ ගුරුවරු බලහත්කාරයෙන් ගුරු වෘත්තියෙන් ඉවත් කර වෙන වෙන ආයතනවලට යොමු කරන්න උත්සාහ කරනවා. මෙය අසාධාරණ ක්‍රියාවක්. මේ දේවල් ක්‍රියාත්මක කිරීම අමාරු නැහැ; ඒ සඳහා ඔ්නෑ තරම් පූර්වාදර්ශ තිබෙනවා.


    වසර 5ක් 6ක් හෝ ඊටත් වැඩි කාලයක් කළ සේවය අමතක කළ යුතු ද...?

    අභ්‍යාසලාභීන් ලෙස 2004ට පෙර බඳවා ගත් ගුරුවරු 2005 පළමු මස සිට විභාගයකින් තොරව බඳවා ගත්තා. මීට පෙර ද එවැනි දේ සිදු වුණ බවට සාක්ෂි තිබෙනවා. එසේ කරන විට පවා ගුරු ව්‍යවස්ථාව ඒ ආකාරයෙන්ම තිබුණා. එම නිසා මෙය බාධාවක් කියා කාටවත් කියන්න බැහැ. පූර්වාදර්ශ ඇති මොහොතක ලක්ෂ ගණනක් අප රටේ පාසල් දූදරුවන්ට සාධාරණයක් කරන්න. මොවුන් වසර 5ක් 6ක් හෝ වැඩි කාලයක් ගුරුවරු ලෙස කළ සේවය අමතක කරන්න බැහැ. මේ අයට දිය යුතු සුදුසු වටිනාකම දිය යුතු යි.

     සමගි ජන බලවේග රජයක් යටතේ මේ අයට හිමි අයිතිය ලබා දී යුතුකම් ඉටු කරනවා; මේ අය වෙනුවෙන් කළ හැකි උපරිම ප්‍රජාතන්ත්‍රවාදී බලපෑම සිදු කරනවා; ඒ අයගේ අයිතිය වෙනුවෙන් පෙනි සිටිනවා. මේ අය අයිතින් වෙනුවෙන් මහපාරට බැස්සට පස්සෙ මිලේච්ඡ ආකාරයට පහර දුන්නා. එම නිසා මේ අයට නිසි සාධාරණත්වය ඉටු කරන්න කියා අපි ඉල්ලා සිටිනවා."

     

    The leader.lk

  • ''සිංහල භාෂාවේ හෙට දවස'' දැනගන්න 03වෙනි දා ජාතික පුස්තකාලයට එන්න

    ''සිංහල භාෂාවේ හෙට දවස'' නමැති ශාස්ත්‍රිය ග්‍රන්ථය ජනගත කිරීම සහ විද්වත් කථිකාව මෙම මස තුන්වන දින පස්වරු 02.00ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී සිදු කෙරේ.

  • 'අඩි 1,000ක ප්‍රපාතයකට පෙරළී 15 දෙනෙකුට මරු කැඳවූ' ඇල්ල බස් අනතුරට හේතුව කුමක් ද?

    ඇල්ල පොලිස් වසමේ, ඇල්ල වැල්ලවාය මාර්ගයේදී විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් ගමන් කරමින් සිටි බස් රථයක් සැප්. 4 දින රාත්‍රියේ අඩි 1,000ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසයි.


    පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, රියැදුරු සමග බස් රථයේ මගීන් 30 දෙනෙකු ගමන් කර ඇති බව ය.

    ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ලට නුදුරු මවුන්ට් 7 හෝටලය අසල දී ඊයේ (සැප්. 4) රාත්‍රී 9:00ට පමණ මෙම අනතුර සිදුව ඇත.

    අනතුර සිදුව ඇත්තේ කෙසේ ද?

    බස් රථය ඉදිරියෙන් පැමිණි ජීප් රථයක සහ මාර්ගයේ ආරක්‍ෂිත යකඩ වැටෙහි ද ගැටී අඩි 1,000ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇතැයි පොලිසිය පැවසීය.

    දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අනතුරට ලක් වූ පිරිස තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණ නැවත ආපසු යමින් සිටියදී අනතුරට ලක්ව ඇති බව ය.

    පුද්ගලයින් මුදාගැනීම සඳහා පොලිසිය, යුද්ධ හමුදාව, ගුවන් හමුදාව, ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසින් එක්ව තිබේ.

    police 20250905 අනතුර සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ මාධ්‍ය නිවේදනය

     

    අනතුරට ලක්ව ඇත්තේ කවුද?

    මෙම අනතුරින් බස් රථයේ රියැදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු කාන්තාවන් 9 දෙනෙකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

    තුවාල ලැබූ පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු, කාන්තාවන් 5 දෙනෙකු, පිරිමි ළමුන් 3 දෙනෙකු සහ ගැහැනු ළමුන් 2 දෙනෙකු ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

    එමෙන් ම, බස් රථයේ පිරිස මුදා ගැනීම සඳහා සහය වූ පුද්ගලයින් දෙදෙනෙකු ද තුවාල ලබා ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පැවසීය.

    මිය ගිය පිරිස අතර ළමුන් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් බීබීසී සිංහල කළ විමසීමකදී පැවසීය.

    "ළමුන් මිය ගිහින් නැහැ, ළමුන් 5 දෙනෙක් තුවාල ලබා තියෙනවා," ඔහු සඳහන් කළේ ය.

    බස් රථයේ තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් ගමන් කරමින් සිට ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    ජීප් රථයේ රියැදුරු අත්අඩංගුවට

    අනතුරට සම්බන්ධ ජීප් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය. මිය ගිය පුද්ගලයින්ගේ මෘත ශරීර දියතලාව, බදුල්ල සහ බණ්ඩාරවෙල රෝහල්වල මෘත ශරීරාගාර තුළ තැන්පත් කර ඇත.

    අනතුර සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    බස් රථයේ අධික වේගය සහ අධික වේගය හේතුවෙන් එය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් පැවසීය.

    මාරක අනතුරට පෙර බසයේ සිටි පිරිස අවසන් වරට ගත් ඡායාරූප

    ඊයේ රාත්‍රියේ සිදු වූ ඛේදජනක බස් අනතුරට ටික වේලාවකට පෙර ඇල්ලේදී ගන්නා ලද තංගල්ල නගර සභා සේවකයන්ගේ ඡායාරූප කිහිපයක් ජනමාධ්‍ය වෙත නිකුත් කර ඇත.

    ඡායාරූපවල දැක්වෙන්නේ පුද්ගලයන් 30 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් ඇල්ලෙන් පිටත්ව යාමට පෙර එකට පෙනීසිටින ආකාරයයි.

     

    BADULLA 20250905

     

    BADULLA 20250905

     

    BADYLLA 202595

     

     

    (උපුටා ගැනීම් - The leader.lk)

     

     

  • 'විපක්ෂය එක්ක සාකච්ඡා හවුලකට නොව මර්දනයට එරෙහිවයි’- හර්ෂණ රාජකරුණා

    විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ සමගි ජන බලවේගය සාකච්ඡා පවත්වන්නේ එකතු වී ඡන්දය ඉල්ලීමට නොවේ යැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා කොළඹ සජබ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ (සැප්. 4) පැවසීය.

    සියලු ම දේශපාලන පක්ෂ එකතු කරගෙන මැතිවරණවලට මුහුණ දීමට සමගි ජන බලවේගයට බලාපොරොත්තුවක් නැති බව ද ඔහු කීවේය.

    අනෙකුත් විපක්ෂයේ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරන්නේ ප්‍රතිපත්තිමය වශයෙන් බවත් ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ගැන කතා කරන බවත් මන්ත්‍රිවරයා පැවසීය.

    මැතිවරණයක් ආසන්නයේ එම පක්ෂ හා කණ්ඩායම්වලින් පිරිසක් සමගි ජන බලවේගය සමග එකතු වනු ඇති බවත් තවත් පිරිසක් වෙන වෙනම මැතිවරණවලට මුහුණ දෙනු ඇති බවත් මන්ත්‍රිවරයා කීය.

    ප්‍රතිපත්තිමය වශයෙන් එකතු වීමට හැකි කණ්ඩායම් සමඟ සමගි ජන බලවේගය එකතු වීමට කටයුතු කරන බව ඔහු කීය.

    ඒ අනුව, මර්දනයට එරෙහිව විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් සමඟ එකතු වීමට සමගි ජන බලවේගය කටයුතු කරනු ලබන බව රාජකරුණා මන්ත්‍රිවරයා පැවසීය.

    මේ අතර, ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩු බලයත් ලැබී ඇති බැවින් මර්දනකාරී වැඩපිළිවෙළක් දියත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් නිහඬ කරමින් සිටින බවත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

     

    The leader.lk

     

  • "ඉරිදට කලින් කැමැත්ත නුදුන්නොත් අපාය පෙන්වනවා" - ජනපති ට්‍රම්ප්

    ගාසා තීරයට බෝම්බ හෙලීම වහා නතර කරන ලෙස ඊයේ (03) එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය , බෙන්ජමින් නෙතන්යාහු වෙත දැනුම් දුන්නේය.

    ඒ, සිය භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට හමාස් සංවිධානය කැමැත්ත පළකිරීමෙන් අනතුවය.

    ජනපති ට්‍රම්ප් විසින් ඉදිරපත් කරන ලද කරුණු 20කින් සමන්විත ගාසා සාම සැලැස්මද කොන්දේසි සහිතව පිළිගැනීමට හමාස් සංවිධානය එකඟත්වය ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්, අවි බිම තැබීම සම්බන්ධයෙන් එකඟත්වයක් නැතැයි, එම සංවිධානය පවසයි.

    ජනපති ට්‍රම්ප්ගේ ගාසා සම සැලැස්මේ පළමු අදියරට ඉක්මනින් සූදානම් වන බව ඊශ්‍රායල රජය පවසයි. හමාස් ප්‍රතිචාරය අනුව, එම භාරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සියල්ල නිදහස් කිරීම එහි පළමු අදියරයි.

    ඉරිදාට (05) ප්‍රථම සිය සාම යෝජනාවට හමාස් සංවිධානය ප්‍රසාදය පල නොකරන්නේ නම්, මිහිපිට අපාය නැරඹීමට සූදානම් වන්නැයි, එක්සත් ජනපද ජනපති ට්‍රම්ප්, හමාස් සංවිධානයට ප්‍රබල අනතුරු ඇඟවීමක් සිදු කිරීමත් සමග ඊයේ, එම සංවිධානය කොන්දේසි සහිතව සාම සැලැස්මට ප්‍රතිචාර දක්වා ප්‍රකාශයක් නිකුත් කළේය.

    ගාසා පැනයට පිළියම් යෙදිය හැක්කේ තමාට පමණක් බව ජනපති ට්‍රම්ප් ගේ විශ්වාසයයි. එහෙයින්, දෙවසරක ගාසා යුද්ධය අවසන් කිරීමට ඔහු අසීමිත දේශපාලන පිරිවැයක් ආයෝජනය කරමින් සිටී. ගාසා යුද්ධය හේතුවෙන් සිය දහස් ගණනක් ජීවිත අහිමි වෙමින් පවතින අතර, ඊශ්‍රායලය සීග්‍රයෙන් ගෝලීය වශයෙන් හුදෙකලා වෙමින් පවතී.

    තිරසර සාමයට හමාස් සංවිධානයේ සූදානම පෙන්වා ඇතැයි, ජනපති ට්‍රම්ප් ඊයේ පැවසීය.

    "ඊශ්‍රායලය, ගාසා තීරයට බෝම්බ හෙලීම වහා නතර කළ යුතුයි. එවිට, ප්‍රාණ ඇපකරුවන් ආරක්ෂිතව සහ ඉක්මනින් ගෙන්වා ගත හැකියි. අපි සාකච්ඡාවට සූදානම්, දීර්ඝ වශයෙන්..! මේ, ගාසා ගැන ප්‍රශ්නයක්ම නොවෙයි, මෙය සමස්ත මැදපෙරදිග කලාපයම දීර්ඝ කාලයක් බලා සිටි සාම සමයේ ඇරඹුමයි," ට්‍රම්ප් ඔහුගේ ටෘත් සමාජ ජාලයේ එසේ සඳහන් කළේය.

    ජනපති ට්‍රම්ප්ගේ දර්ශනය හා එක්ව, ඊශ්‍රායල මූලධර්ම ප්‍රතිපත්තීන්ට අනුව යුද්ධය අවසන් කර සාම මාවතට පිවිසීමට එක්සත් ජපදය හා පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය ද පැවසීය.

    කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ දැනුම් දීමෙන් පසුවද ඊශ්‍රායල හමුදා, ගාසා නගර මධ්‍යයේ ඇති ප්‍රධාන විවෘත මාර්ගයක් වන ටලටීනි වීදියට (Talateeni Street) යුද ටැංකි යොදා ගනිමින් ප්‍රබල බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේය. හමාස් සංවිධානය සාම සැලැස්මට සිය ප්‍රතිචාර නිවේදනය කිරීමත් සමග ගාසා නගරයට ඊශ්‍රායලය ගුවනින් බෝම්බ ප්‍රහාර ද එල්ල කළේය. ඉන්, නිවාස රැසක් විනාශයට පත් විය.

    හමාස් සංවිධානය සාම යෝජනාවලිය පිළිගෙන, දැන්වත්, අප්‍රමාදීව කටයුතු කළ යුතු බව ප්‍රංශ අග්‍රාමාත්‍ය එම්මානුවෙල් මැක්‍රන් (Emmanuel Macron) ද දන්වා සිටී.

    දෙවසරක යුද්ධයෙන් මේ වනවිට ගාසා තීරයේ 66,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව සිටිති.


    (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
    10/4/2025


    Trump asks Israel to stop bombing Gaza, saying Hamas is ready for peace

  • “ගෝලීය ඡායාරූප සන්නිවේදනය, ශ්‍රී ලාංකික අත්දැකීම් ඇසුරෙන්” අනුරුද්ධ ගේ පර්යේෂණාත්මක කෘතිය සැප්. 09

    ප්‍රවීණ ඡායාරූප ශිල්පි අනුරුද්ධ ලොකුහපුආරච්චි විසින් රචිත “ගෝලීය ඡායාරූප සන්නිවේදනය, ශ්‍රී ලාංකික අත්දැකීම් ඇසුරෙන්” පර්යේෂණාත්මක කෘතිය සැප්තැම්බර් 09වන දින සවස 03ට කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

     

    අනුරුද්ධ ලොකුහපුආරච්චි යනු ඡායාරූපකරණය සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 40 කට වැඩි පළපුරුද්දක් ඇති ජාත්‍යන්තරව පිළිගත් ශ්‍රී ලාංකික ඡායාරූප මාධ්‍යවේදියෙකු සහ ලේඛකයෙකි. ඔහුගේ වෘත්තීය ජීවිතය යුද්ධය, සමාජ අරගල සහ සංස්කෘතික ජීවිතය පිළිබඳ පෙරළිකාර ආවරණයක් දක්වා විහිදේ, රොයිටර් සහ අනෙකුත් ගෝලීය මාධ්‍ය ආයතන සඳහා වැඩ කිරීම ඇතුළුව, වසර 16කට වැඩි කාලයක් පිටුවහල්ව ජීවත් වූ ලොකුහපුආරච්චි, මාධ්‍ය, කලාව සහ අධ්‍යාපනය සඳහා ඔහුගේ දායකත්වය දිගටම කරගෙන යාම සඳහා ශ්‍රී ලංකාවට නැවත පැමිණියේ ය.

    ඔහු මේ වන විට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂක ලෙස සේවය කරයි.

    ඉතිහාසයේ සිට ඩිජිටල් යුගය දක්වා මානව ශිෂ්ටාචාරය පුරා ඡායාරූප සංනිවේදනයේ ගමන් මග, ශ්‍රී ලාංකික අත්දැකීම් ගෝලීය දෘෂ්ටිකෝණ සමග මිශ්‍ර කරමින්: රූප සත්‍යය, මතකය සහ මානව සම්බන්ධතාවය හැඩගස්වයි.

    දශක හතරක ශ්‍රී ලාංකික සහ ගෝලීය අත්දැකීම් මිශ්‍ර කරමින්, ඡායාරූපකරණය මානව සත්‍යය, මතකය සහ සම්බන්ධතාවය හැඩගස්වා ඇති ඓතිහාසික සහ සම්ප්‍රධායික ආකාරය පිළිබඳ සිට අද දක්වා වන ඩිජිටල් පරිවර්තනය දක්වා දුර්ලභ ගමනක් ඉදිරිපත් කරයි.

     

    sahithya 202595

     

     

    මෙම පොත ඡායාරූපකරණය ගැන පමණක් නොවේ - එය රූප සන්නිවේදනය අපගේ සාමූහික මතකය බවට පත්වන ආකාරය, ගැන බව කතුවරයා වන අනුරුද්ධ ලොකුහපුආරච්චි පවසයි. එය පිටුවහල් කිරීම, ඉතිහාසය සහ කැමරාව සහ සමාජය අතර සමීප සම්බන්ධතාවය පිළිබිඹු කිරීමකි.


    ගෝලීය ඡායාරූප සන්නිවේදනය ග්‍රන්ථය ශ්‍රී ලාංකික අත්දැකීම් හරහා පුද්ගලික ආඛ්‍යානය, ඓතිහාසික පර්යේෂණ සහ දෘශ්‍ය දර්ශනය ඒකාබද්ධ කරයි. එය ගෝලීය ප්‍රවෘත්ති ඡායාරූපකරණයේ පරිණාමය සහ මහජන මතය හැඩගැස්වීමේ දී එහි භූමිකාව විමසයි. පරාවර්තක සහ කලාත්මක ශෛලියකින් ලියා ඇති මෙම පොත ඡායාරූපකරණය, පුවත්පත් කලාව, ඉතිහාසය, ජන සන්නිවේදනය සහ දෘශ්‍ය කතන්දර කීම පිළිබඳ උද්යෝගිමත් පාඨකයින් සඳහා නිර්මාණය කර ඇත.

    මෙම කෘතිය ජනගත කරන අවස්ථාවේ දී: කොළඹ විශ්ව විද්‍යාලයේ (ශ්‍රී පාලි පීඨය) මහාචාර්ය ටියුඩර් වීරසිංහ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර, සන්ඩේ ටයිම්ස්, හිටපු කාර්යාංශ ප්‍රධානී රොයිටර් සහ උපදේශක කර්තෘ ෆයිසාල් සමත් සහ ඡායාරූප විචාරක, චිත්‍රපට අධ්‍යක්ෂ බුපති නලින් වික්‍රමගේ අදහස් දැක්වීමට නියමිත ය.

    ග්‍රන්ථයේ සිංහල සංස්කරණය එදිනට මිලදී ගත හැකි අතර ඉංග්‍රීසි භාශා සංස්කරණය සඳහා පූර්ව ඇණවුම් කළ හැකි ය. සාමාන්‍ය මිල රුපියල් 3400.00 වන මෙම ග්‍රන්ථය එදින මිලදී ගැනීම් සහ ඇණැවුම් සඳහා මිල රු: 2400.00 කි.

    මෙම අවස්තාවට සහභාගි වන ලෙස කතුවරයා ආරාධනා කර සිටී.

    sahithya 20250905

                    sahithya 202595

     

    (සටහන - ජයසිරි අලවත්ත)

     

    The leader.lk

  • 2025 වසරේ මේ දක්වා වෙඩිතැබීම් 96ක් - මරණ 50යි තුවාල 53යි

    ගෙවුණු පැය 12ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ වෙඩිතැබීම් 4කින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙක් තුවාල ලබා තිබේ.


    ඒ අනුව 2025 වසරේ මේ දක්වා කාලය තුළ සිදුවූ සමස්ත වෙඩිතැබීම් ගණන 96 දක්වා ඉහළ ගියේය.

    ඉන් පුද්ගලයන් 50ක් ඝාතනය වී ඇති අතර, 53න් දෙනෙකු තුවාල ලබා ඇත.

    ගත වූ පැය 12ක කාලයේ පළමු වෙඩිතැබීම ඊයේ (5) රාත්‍රී 11.45ට පමණ ග්‍රැන්ඩ්පාස් හිදී සිදු වූ අතර, එහිදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය.

    එලෙස ඝතනය වූයේ හේෂාන් සලින්ද පුෂ්පකුමාර නම් 27 හැවිරිදි අදාළ තරුණයෙක්ය.

    පොලීසිය සඳහන් කර සිටියේ, වෙඩි ප්‍රහාරය එල්ල වූ ස්ථානයට අදාළ පුද්ගලයා දුරකථන ඇමතුමක් ලබාදීගෙන්වා වෙඩිතැබීම සිදුකර ඇති බවය.

    ඔහු පෙරවැරදි කිසිවක් නොමැති අයෙක් බවද පොලීසිය සඳහන් කළේය.

    ඉන් අනනතුරුව අලුයම 1.40ට පමණ මරදාන, පංචිකාවත්ත ප්‍රදේශයේදී වෙඩිතැබීමක් වාර්තා විය.

    එයද යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

    ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

    එලෙස තුවාල ලැබූ පුද්ගලයා සෙන්දිල් මෝහන් නම් 44 හැවිරිදි පංචිකාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.

    ඔහු පංචිකාවත්ත නෙවිල් නම් සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙක් වන අතර, වෙඩිතැබීම කෙසෙල්වත්ත කවී නම් සංවිධානාත්මක අපරාධකරුගේ පාර්ශවය විසින් මෙහෙයවා ඇති බව පොලීසිය සැකකරයි.

    මේ අතර තවත් වෙඩිතැබීමක් මීගමුව කුට්ටිදූව ප්‍රදේශයෙන් වාර්තා විය.

    නිවසකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් අද අලුයම 1.30ට පමණ එම වෙඩිතැබීමක් සිදුකර පලාගොස් තිබුණි.

    පොලීසිය පැවසුවේ මිලිමීටර 9 වර්ගයේ ගිනිඅවියකින් එක් වෙඩි ප්‍රහාරයක් පමණක් එල්ල කර පලාගොස් ඇති බවය.

    ඉන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර පෞද්ගලික ආරවුලක් හේතුවෙන් එම වෙඩිතැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

    අද පෙරවරුවේ සිදු වූ අනෙක් වෙඩිතැබීම අලුබෝමුල්ල, සඳගලවත්ත ප්‍රදේශයේ සිදුවිය.

    වෙළෙඳසැලක් හිමි කාන්තාවක් ඉලක්ක කර අද උදෑසන 9.45ට පමණ එම වෙඩිතැබීමක් සිදුවිය.

    ඉන් ඇයට කිසිඳු හානියක් සිදුව නොමැති අතර, වෙඩිතැබීමට හේතුව ද අනාවරණ වී නොමැත.

     

    Ada derana.lk

  • 2026 අයවැය සඳහා වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවෙන් යෝජනා මාලාවක්

    2026 අයවැය පාදක කරගනිමින් සාධාරණ සහ පාරදෘශ්‍ය භාවය සහිත බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස තම කණ්ඩායම ඉදිරිපත් කරන යෝජනා මාලාව ජනාධිපතිවරයා වෙත බාර දුන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA ) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ පැවසී ය.

    ඔහු මෙම අදහස් පළ කළේ වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව නියෝජනය කරමින් ජනාධිපතිවරයා වෙත මෙම යොජනා මාලාව බාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    මතු පළවන්නේ ඔහු දැක්වූ අදහස් අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.

  • 2026 ඕස්ට්‍රේලියාවේ ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ නුවන් ඉන්දික රන්පදක්කම දිනා ගනී

    2026 වසරේ Silver Level කාණ්ඩයේ මලල ක්‍රීඩා තරගාවලියක් වන ඕස්ට්‍රේලියාවේ ජාතික මලල ක්‍රීඩා තරගාවලිය (2026 Australian Athletics Championships) සිඩ්නි නුවර පාර්ක් ක්‍රීඩාංගණයේ දී අප්‍රේල් 9 සිට 12 දින දක්වා මේ දිනවල පැවත්වේ .

  • 4U දසවසරක සැමරුම් ප්‍රසංගය - 4U 10th Year Anniversary Concert

    ඔක්තෝබර් 26, 2025 | මියුසියස් විද්‍යාලීය ශ්‍රවණාගාරය | සවස 6:30 ට

     

    ඒ කතාව ඇරඹුණේ 2015 වසරේදී ය.


    සංගීතයේ, මතකයන්ගේ සහ හදවත් දහස් ගණනක් ස්පර්ශ කළ මොහොතවල් රැසක චාරිකාවක් ලෙසිනි.


    දැන්—වසර දහයකට පසු—ඒ කතාවේ ඉතිරිය ලියැවෙන්නේ මෙසේ ය…



    4U යනු හුදෙක් ප්‍රසංගයක්ම නොවේ. එය කලාවේත්, මිත්‍රත්වයේත්, සදාතනික ගීතයන්ගේත් පරිපූර්ණ එක්වීමකි. කසුන් කල්හාර, නදීක ගුරුගේ, නදීක ජයවර්ධන සහ ඉන්ද්‍රචාපා ලියනගේ—ඒ හතරදෙනාම, යළිත් වරක් එකම වේදිකාවකදී හමුවන සොඳුරු මොහොතයි.



    මෙය පුනරාවර්තනයක් නොවේ. එය "තවත් එක්" ප්‍රසංගයක් ද නොවේ.


    එහි ගීතාවලිය සම්පූර්ණයෙන්ම නවමු අර්ථකථනයකි. ඔබේ හදවතේ රැඳුණු අමතක නොවන ගීතත්, නැවුම් සංගීත සංයෝජනයනුත් එක් වූ ප්‍රබල එකතුවකි. ඔබ මින් පෙර කිසිදු ප්‍රසංගයකින් නොවිඳි අත්දැකීමක් තිළිණ කිරීමට එය සූදානම්.

     

    භාව ගීතයේ ආත්මය විඳින්න.
    සංගීතයේ ජවය අත්විඳින්න.
    අනපේක්ෂිත විස්මයන්ට සූදානම් වන්න.

    KASUN 20250912

    සියල්ලටම වඩා—පසුගිය දශකය පුරා ඔබත් සමඟ ජීවත් වූ ඒ සංගීතය, සදාකාලිකවම ඔබේ මතකයේ රැඳෙනා අයුරින් යළි විඳගන්නට සූදානම් වන්න.

    ආසන සංඛ්‍යාව සීමිතයි. මේ දශකයේ සැමරුමට ඔබේ ඉඩ වෙන් කරවා ගන්න.


    මක්නිසාද, ඇතැම් මොහොතවල් ජීවිතයට උදාවන්නේ එක් වරක් පමණි.


    ටිකට් මිලදි ගැනීම සඳහා පිවිසෙන්න

     

    The leader.lk

  • BYD වාහන 506ක් මුදා හැරීමට රේගුව අධිකරණය හමුවේ එකඟවෙයි

    ශ්‍රී ලංකා රේගුව මඟින් රඳවා ගෙන සිටින BYD විද්‍යුත් වාහන 506ක් අමතර බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද (03) අභියාචනාධිකරණය හමුවේ එකඟ විය.

    අදාළ වාහන ආනයනය කළ  සමාගම විසින් ගොනුකර තිබෙන පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ කෙරුණි.

     

    Ada Derana.lk

  • GMOA වැඩවර්ජනය අද දෙවන දිනටත්

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයිනපුරා රෝහල්වල ආරම්භකළ වැඩවර්ජනය අද (10) දෙවන දිනටත් ක්‍රියාත්මක වෙයි.

  • NBRO අනතුරු ඇඟවීමක් - ප්‍රදේශ කිහිපයකට මි.මී 200ට වැඩි වැසි

    දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 200ට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

  • PSTA පනත, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට දැඩි තර්ජනයක් - සම්පත් සමරකෝන්

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත (PSTA) සම්මත වුවහොත් තමන් භාවිත කරන: මොබයිල්, ඇපල් ඩිවයිස්, අයි ෆෝන් යනාදිය ආණ්ඩුවට බාර දී ගමට ගොස් කුඹුරු කොටන්නට සිදුවන්නේ යැයි මාධ්‍යවේදී සම්පත් සමරකෝන් පැවසී ය.

  • X-Press Pearl වන්දි නිසි පරිදි ධීවරයින්ට ලබාදී නොමැති බවට අනාවරණය වෙයි..

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය සඳහා ලැබුණු වන්දි මුදල් යෙදවූ ආකාරය පිළිබඳ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුවී තිබේ.

    පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ , ලැබී ඇති වන්දි මුදල, ඒවායින් ධීවරයන්ට වන්දි වශයෙන් ගෙවා ඇති මුදල, වෙරල ආරක්ෂණය වෙනුවෙන් වියදම් කර ඇති මුදල සහ ඉතිරි වී ඇති මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙස එහිදී කාරක සභාව විසින් නිර්දේශ කළ බවයි.

    මේ පිළිබඳ අවධානය යොමු වූයේ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

    වන්දි වශයෙන් ලැබුණ රුපියල් මිලියන 293 ක මුදලක් ධීවර අංශය සඳහා තවමත් ඉතිරිවී ඇති බවද මෙහිදී පැමිණි නිලධාරීන් විසින් කාරක සභාවට පෙන්වාදී තිබේ.

    පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ, එම ලැබුණු මුදල ධීවරයින් වෙනුවෙන් නොගෙවීම සම්බන්ධයෙන් කාරක සභාව තම අප්‍රසාදය පල කළ බවයි.

    ඇතැම් ධීවරයින් විදේශගත වීම මෙන්ම අදාළ වන්දිය ලබාගත යුතු පුද්ගලයා ඉදිරිපත් නොවීම හේතුවෙන් වන්දි මුදල් ඉතිරිවී ඇති බවත් ඒවා ඉදිරියේදී ගෙවීමට කටයුතු කරන බවත් කාරක සභාවට එක්වූ නිළධාරින් පවසා තිබේ.

     

    newsfrist.lk

  • අගමැති හරිනි හෙට (12) චීන සංචාරයක - අනතුරුව ඉන්දියාවට !

    මහජන චීන සමූහාණ්ඩුවේ රජයේ ආරාධනාවකට අනුව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2025 ඔක්තෝබර් 12 සිට 14 වැනි දින දක්වා චීනයේ සංචාරයක නිරත වීමට නියමිතය.

    සිය සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරිය, චීනය සහ එක්සත් ජාතීන්ගේ කාන්තා සමුළුව එක්ව සංවිධානය කරන, "කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ රැස්වීම" අමතමින් "පොදු අනාගතයක්: කාන්තාවන්ගේ සමස්ත සංවර්ධනය සඳහා නව සහ වේගවත් ක්‍රියාවලියක්" යන තේමාව යටතේ බීජිං හිදී කථනයක් පවත්වනු ඇත.

    අග්‍රාමාත්‍යවරිය, චීන ජනාධිපති ෂී ජින් පිං සහ අගමැති ලී ච්‍යං යන මැතිවරුන් ඇතුළු ඉහළ මට්ටමේ නිලධාරීන් සමඟ රැස්වීම් පැවැත්වීමටද නියමිතය.

     

    අග්‍රාමාත්‍යවරිය එන සතියේ ඉන්දීය නිල සංචාරයක

     

    අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය ලබන සතියේ ඉන්දියාවේ පැවැත්වෙන එන්.ඩී.ටී.වී (NDTV) ලෝක සමුළුවට සහභාගී වීමට නියමිත බව එම රූපවාහිනී සේවය පවසයි.

    අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව සිදු කෙරෙන සිය ප්‍රථම ඉන්දීය නිල සංචාරයෙදී ඇය ඊට සහභාගී වේ.

    මෙම මස 17 සහ 18 යන දෙදින, නදිල්ලියේ පැවැත්වෙන එම ජාත්‍යන්තර සමුළුවට ලෝක නායකයන් රැසක් සභාගි වීමට නියමිතය.

    ඉන්දීය නිල සංචාරය, දෙරට අතර වෙළඳ, ආයෝජන, අධ්‍යාපන සහ සංවර්ධන ආදී ක්ෂේත්‍ර රැසක සහයෝගිතා ප්‍රවර්ධනයට මනා රුකුලක් වනු ඇතැයි අග්‍රාමාත්‍යවරිය පවසයි.

    එන්.ඩී.ටී.වී (NDTV) ලෝක සමුළුවේදී, ජාත්‍යන්තර සහයෝගිතාව පිලිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය මෙන්ම ඉදිරි දර්ශනය සහ ආර්ථික ශක්‍යතා පිළිබඳවද ලෝක නායකයන් හා අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය කියා සිටී.

    ඉන්දීය එන්.ඩී.ටී.වී (NDTV ) මාධ්‍ය ජාලය විසින් මෙම ලෝක සමුළුව සංවිධානය කර තිබේ.

    Prime Minister Harini to attend Global Leaders’ Meeting on Women in China

  • අතරමං වූ මාක්ස්වාදි නායකයෝ

    සටහන | අරවින්ද ජයකොඩි



    ශ්‍රී ලංකාව අද සිටින්නේ ඉතා තීරණාත්මක සන්ධිස්ථානයකය. ඒ පිටස්තර සතුරන් නිසා හෝ සැඟවුණු කුමන්ත්‍රණ නිසා නොව, විප්ලවය ගැන පොරොන්දු වූවන්, තමන් එදා හෙළා දුටු ක්‍රමයම අද පරිපාලනය කරන නිසාය.

    වසර හැටක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණ තම සාමාජිකයන්ට කීවේ, "ඔබේ වැටුප පූජා කරන්න, ඔබේ කාලය දෙන්න, සමාජවාදී අරමුණ වෙනුවෙන් නිහතමානීව ජීවත් වන්න" කියාය.

    ඒ දුප්පත් මිනිසුන් සහ ගැහැනුන් තම කාසිපනම් සහ ජීවිත පූජා කළේ, තම නායකයන් අන් අයට වඩා වෙනස් යැයි විශ්වාස කළ නිසාය.

    නමුත් අද, වත්කම් ප්‍රකාශනවලින් කියවෙන්නේ වෙනත් කතාවකි. පරිත්‍යාග මත ජීවත් වූ බව කී ඇමතිවරු අද කෝටිපතියන් වී සිටිති.


    මෙය සමාජවාදය නොවේ. මෙය පාවාදීමකි....


    කාල් මාක්ස් ලිව්වේ රාජ්‍යය කිසිවිටෙක මධ්‍යස්ථ නොවන බවත්, එය බලවතුන්ගේ මෙවලමක් බවත්ය. ලෙනින් අපට ඉගැන්වූයේ ධනේශ්වර රාජ්‍යයක් කළමනාකරණය කිරීමෙන් සමාජවාදය ගොඩනැගිය නොහැකි බවත්, ගෝලීය බැංකුකරුවන්ගේ නියෝගවලට හිස නැමීමෙන් එය කිසිසේත්ම කළ නොහැකි බවත්ය.

    නමුත් අද අප දකින්නේ කුමක්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) එරෙහිව කෑ ගැසූ නායකයෝම අද IMF කප්පාදු ක්‍රියාත්මක කරති. කම්කරු බලය ගැන කතා කළ හඬවල්ම අද වෘත්තීය සමිතිවලට සහ වැඩවර්ජනවලට තර්ජනය කරති.


    මේක විප්ලවයක් නොවේ. මේ පරණ යන්ත්‍රයම රතු පාටින් පින්තාරු කිරීමකි...


    ඉතිහාසය මීට පෙරද මෙය දැක තිබේ. ජර්මනියේ, මාක්ස්ගේ නාමයෙන් පෙනී සිටි සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් යුද්ධයට ඡන්දය දී ඔහුව පාවා දුන්හ. සෝවියට් සංගමයේ, ලෙනින්ගේ නම කී නායකයෝ රජවරුන් මෙන් ජීවත් වෙද්දී කම්කරුවෝ දුක් වින්දහ.

    සෑම වාරයකදීම, පාවාදීමෙන් උපත ලැබුවේ සමාජවාදය නොව, ප්‍රතිගාමීත්වය, අවිශ්වාසය සහ බලාපොරොත්තු සුන්වීමයි.

    අප ඉදිරියේ ඇති අනතුරද එයයි.

    මාක්ස්වාදී පක්ෂයක් ණය කළමනාකරුවෙකු බවට පත් වූ විට, එහි නායකයන්, ඔවුන්ට ආහර සැපයූ ජනතාවට වඩා ධනවත් වූ විට, එය තම මතවාදය පමණක් පාවා දීමක් නොවේ. එය ජනතාව බලාපොරොත්තු සුන් කරවයි.

    එය ප්‍රතිගාමී බලවේගයන්ට, ජාතිකවාදී කල්ලිවලට, රට බේරාගැනීමේ නාමයෙන් පරණ බලවතුන්ට නැවත මතුවීමට පාර කපයි.

    ජවිපෙට තම ආත්මය පාවා දෙමින් ජාතියක් පාලනය කළ නොහැක. තම මතවාදය අමතක කළ පක්ෂයකට ජනතාවකට නායකත්වය දිය නොහැක. මාක්ස් අපට අනතුරු ඇඟවූයේ, සමාජවාදය සඳහා වූ අරගලය අත්හරින්නන්ට සාමය නොලැබෙන බවත්, ඔවුන්ට ලැබෙන්නේ නිමක් නැති අර්බුදයක් බවත්ය.



    ශ්‍රී ලංකාව අවංකභාවය ලැබිය යුතුය. ශ්‍රී ලංකාවට අවශ්‍ය පරස්පර විරෝධයන්හි සිර නොවූ නායකයන්ය. මෙම පාවාදීම දිගටම පැවතුනහොත්, එහි අනතුර ජවිපෙට පමණක් නොවේ. එහි අනතුර මුළු ජාතියටමය. සෑම කම්කරුවෙකුටම, සෑම පවුලකටම, යුක්තිය පිළිබඳ අප දුටු සෑම සිහිනයකටමය.

     

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න