#News tube

  • රටේ ඉන්ධන සැපයුම ගැන තෙල් සංස්ථාවෙන් සහතිකයක්

    රට තුළ ඉන්ධන සැපයුම සම්පූර්ණයෙන් සහතික කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස් ද එස්. රාජකරුණා පවසයි.

  • රත්නපුර රෝහලේ වෛද්‍යවරු අද සංකේත වැඩවර්ජනයක

    අද  (02) උඅසන 08.00 සිට රත්නපුර ශික්ෂණ රෝහලේ පැය 24ක සංකේත වැඩ වර්ජනයක් පැවැත් වෙන බව සඳහන් වේ.

     රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් කෙරේ.

     එම මාධ්‍ය නිවේදනයට අනුව රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාගේ පීඩාකාරී සහ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය දැඩි පීඩාවකට පත්ව සිටින අතර එය රෝහලේ රෝගී සත්කාර සේවාවන්ට ද බලපා ඇත.

     අදාළ අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් පවත්වා රෝහල් කාර්ය මණ්ඩලය මුහුණ දී ඇති ගැටළු විසඳමින්, ආරක්ෂිත වෘත්තීය පරිසරයක් රෝහල තුළ ඇතිකිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවට සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වීම හේතුවෙන් මීට පෙර ප්‍රකාශයට පත්කර තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කල්දැමුව ද, මෙතෙක් එම එකඟතාවයන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් අපොහොසත් වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

     මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු සඳහන් කරන එම නිවේදනයේ මෙලෙස සටහන් කර ඇත.

     කාර්ය මණ්ඩලයට විවිධ තර්ජන

    සෞඛ්‍ය අමාත්‍යංශ විමර්ශනය ආරම්භ වුව ද, අදාළ ප්‍රශ්නගත රෝහල් අධ්‍යක්ෂවරයා තනතුරේ සහ රෝහල තුළ සිටියදීම විමර්ශනය පැවැත්වීම පිළිගත නොහැකි තත්ත්වයකි. එය අදාළ විමර්ශනයේ අපක්ෂපාති සහ පාරදෘශ්‍ය බවට දැඩි බාධාවක් වී ඇති අතර, අධ්‍යක්ෂවරයාට ඇති චෝදනාවල සාක්ෂිකරුවන්ට ද බලපෑම් එල්ල වෙමින් පවතී. විමර්ශනයට අදාළ ලිපි ලේඛන වෙනස් කිරීම සහ අස්ථානගත වීමේ අවදානමක් පිළිබඳව ද තොරතුරු වාර්තා වී ඇත.

     එමෙන්ම බාහිර පුද්ගල කණ්ඩායම් විටින් විට රෝහල තුළට පැමිණෙමින් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට විවිධ තර්ජන සිදුකිරීම හේතුවෙන්, රෝහල් පරිශ්‍රය තුළ දැඩි අනාරක්ෂිත තත්ත්වයක් ද නිර්මාණය වී ඇත.

     හදිසි සහ ජීවිතාරක්ෂක ප්‍රතිකාර සේවා එලෙස ම

     මෙම ප්‍රවණතා සමාලෝචනය කරමින්, රෝහල් අධ්‍යක්ෂවරයාගේ ක්‍රියා කලාපයට සාධාරණ පාරදෘශ්‍ය විමර්ශනයක් පැවැත්වීමට බල කරමින්, එතෙක් ඔහු රෝහල් අධ්‍යක්ෂ තනතුරෙන් තාවකාලිකව ඉවත් කිරීමට ඉල්ලා සිටිමින් සහ රෝහල් පරිශ්‍රය තුළ ආරක්ෂාව තහවුරු කිරීමට ඉල්ලා සිටිමින්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රත්නපුර ශික්ෂණ රෝහල් ශාඛාව අද (02) උදෑසන 08.00 සිට ආරම්භ වන පරිදි පැය 24ක සංකේත වැඩ වර්ජනයක් රත්නපුර ශික්‍ෂණ රෝහල තුළ ආරම්භ කරනු ඇත. මෙම වැඩ වර්ජන කාලසීමාව තුළ දී හදිසි සහ ජීවිතාරක්ෂක ප්‍රතිකාර සේවා එලෙසම පවත්වාගෙන යනු ලබන අතර, දෛනික ප්‍රතිකාර සේවාවන් සියල්ල අඩාල වනු ඇත.

     මෙම වැඩවර්ජනයේ සම්පූර්ණ වගකීම රෝහල් අධ්‍යක්ෂවරයා  සහ එම ගැටලුව විසඳීමට ඕනෑ තරම් කල් ලබා දී තිබියදීත්, එකඟ වූ කරුණු ක්‍රියාත්මක කිරීමට අසමත් වූ සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරින් භාරගත යුතු ය.

     

    ස්තූතියි

     මාධ්‍ය ප්‍රකාශක

     රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

     

    The leader.lk

  • රනිල් - සජිත් එක වේදිකාවක ! - එජාප සම්මේලනය සම්බන්ධයෙන් ගත් තීරණ මෙන්න

    එක්සත් ජාතික පක්ෂ සම්මේලනය සඳහා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

    සැප්තැම්බර් මස 06 වනදා පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනය සඳහා වන සාකාච්ඡාවක් ඊයේ (31) පෙරවරුවේ පැවැත්විණි.

    එහිදී මේ සම්බන්ධයෙන් යෝජනා වී ඇති අතර අදාළ යෝජනාව එළැඹෙන 03 වැනිදා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට යොමු කිරීමට නියමිතව ඇත.

    ඒ අනුව, දැනට පක්ෂය හැර ගියා සේ සලකා පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති සාමාජිකයින්ගේ තහනම ද ඉවත් කිරීමට තීරණය කර තිබේ. එමෙන්ම මෙම යෝජනාවද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට යෝජනා කෙරෙණු ඇත.

    ඉදිරි දින කිහිපය තුළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ට පෞද්ගලිකවම කතා කර පක්ෂ සම්මේලනයට සහභාගී වන ලෙස ආරාධනා කිරීමට නියමිතව තිබේ.

    එමෙන්ම විපක්ෂයේ නියෝජිතයින්ට සහභාගී විය හැකි පරිදි පක්ෂ සම්මේලනය 'සිරිකොත' පක්ෂ මූලස්ථානයේ නොපවත්වා වෙනත් මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

    උපුටා ගැනීම _ The leader.lk

  • රනිල් අද (01) මාධ්‍යයට නිකුත් කළ විශේෂ ප්‍රකාශය (වීඩියෝ)

    අත්අඩංගුවට ගත් අවස්ථාවේදී දී තමා වෙනුවෙන් ඔන්ලයින් හරහා පෙනී සිටි සියලුදෙනාටම ස්තූතිය පළ කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදාහැර ඇත.

    පසුව අවස්ථාවක ඔබ සැම මුණගැසීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියි.

    සැප්තැම්බර් මස 06 වනදා පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ සම්මේලනයෙදී රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

     

     

    The leader.lk

  • රනිල් කොලම - රනිල් සුවසේ නැවත දිවයිනට

    සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ සැත්කමට භාජනය වී මුහුණ දිය යුතු වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර කටයුතු සියල්ලක් ම සම්පූර්ණ කළ රනිල් බ්‍රහස්පතින්දා පෙරවරුවේ මව්බිමට පැමිණියේ ය.

  • රනිල් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති අතර හමුවක්

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong (චී චෙන් හොං) අතර විශේෂ හමුවක් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී සිදු ඊයේ (11) කෙරිණි.

    චීන තානාපතිවරයා කරන ලද ඉල්ලීමකට අනුව මෙම හමුව සිදුවූ බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය පවසයි.

    ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර මට්ටමේ දේශපාලන තත්ත්වය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා සහ චීන තානාපතිවරයා අතර සාකච්ඡාවේදී අවධානය යොමු ව ඇත.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කොළඹ නිවසින් පිටත්ව යාමට ප්‍රථම ද චීන තානාපතිවරයා සමග මේ ආකාරයේ සාකච්ඡාවක් ඊයේ උදැසන පැවැත්වීය.

    තවත් ඉහළ මට්ටමේ හිටපු ප්‍රබල දේශපාලනඥයකු සමඟද චීන තානාපතිවරයා ඉදිරියේදී හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

     

     

    RW CH EMB visit 20250912

     

    The leader.lk

  • රමිත් රඹුක්වැල්ලට අධිචෝදනා

    නීතිවිරෝධී ලෙස රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ගේ  පුත් රමිත් රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

    කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන්ද කටයුතු කර ඇති මෙම විත්තිකරුට එරෙහිව දූෂණ විරෝධී පනත යටතේ මෙම නඩුව ඉදිරිපත් කර ඇත.

     

    Ada derana.lk

  • රාජ්‍ය ආයතන සුද්ද කිරිමේ ‘සෙයිරි සතිය’ අද (01) ඇරඹේ

    රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නැංවීමේ අරමුණින්, සියලුම රාජ්‍ය ආයතන ඉලක්ක කරගත් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) ජාතික වැඩසටහන යටතේ, ‘සෙයිරි සතිය’ නමින් විශේෂ වැඩසටහනක් අද (01) සිට සැප්තැම්බර් 04 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

  • රාජිත අල්ලස් කොමිසම හමුවට..

    රක්ශිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අද (03) දින උදෑසන 9ට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර තිබුණි.

    අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ රාජිත සේනාරත්න පසුගිය අගෝස්තු මස 29 වන දින අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

  • රියැදුරු බලපත අලුත් කරගන්න වේරහැරට නොගොස් නුගේගොඩට යන්න

    රියැදුරු බලපත්‍ර අලුත් කරගැනීම සඳහා දැන් වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යෑම අනවශ්‍ය බවත්, නුගේගොඩ ප්‍රවාහන වෛද්‍ය පරීක්ෂණ ආයතනය මඟින්ම එය සිදු කරගත හැකි බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව නුගේගොඩ ප්‍රවාහන වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ වෛද්‍ය පරීක්‍ෂණයට මුහුණ දී එය සමත් වීමෙන් පසු විනාඩි 10කටත් අඩු සුළු කාලයකදී එම ස්ථානයේදීම මුදල් ගෙවා තම රියැදුරු බලපත්‍රය අලුත් කරගැනීමට හැකියාව ඇති බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

    (silumina | තාරක වික්‍රමසේකර)

  • රුපියල් මිලියන 1340 ක වියදමින් කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග 14 ක් කාපට් යොදා සංවර්ධනය කිරීමට පියවර

    කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය සහ ප්‍රාදේශීය මාර්ග සංවර්ධනය සඳහා ක්‍රියාත්මක ප්‍රධානතම රාජ්‍ය සංවර්ධන වැඩසටහනක් වන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන iRoad (Integrated Road Investment Program) යටතේ කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග 14ක් කාපට් යොදා සංවර්ධනය කිරීමට මේ වනවිට සැලසුම් කර ඇත.  

  • රුසියාවෙන් යුක්‍රේනයට මිසයිල සහ ඩ්‍රෝන වැස්සක්

    රාත්‍රිය පුරා ඊයේ හැළුණු රුසියානු මිසයිල සහ ඩ්‍රෝන වර්ෂාවකින් යුක්‍රේනයේ 05 දෙනකුවත් ජීවිතක්ෂයට පත් වී ඇතැයි වාර්තා වේ. රුසියානු ප්‍රහාරයෙන් නිවාස සහ විදුලි ජනන මධ්‍යස්ථාන ඇතුළු පොදු දේපළ රැසක් ද විනාශ වී තිබේ.

    මිය ගිය පස් දෙනාගෙන් සිව් දෙනෙක් එකම පවුලේ සාමාජිකයෝ වෙති.

    පෝලන්ත දේශ සීමාව ආසන්නයේ පිහිටි ලුවීව් (Lviv) හි කර්මාන්ත උද්‍යානයක් ද ප්‍රහාරයෙන් ගිනිගෙන දැවෙමින් ඇතැයි යුක්‍රේන මාධ්‍ය ප්‍රකාශ කළේය. ප්‍රදේශවාසීන්ට නිවෙස් තුළම ආරක්ෂාව සලසා ගන්නා ලෙස දැනුම් දී තිබේ.

    යුක්‍රේනයේ හමුදා කාර්මික උද්‍යාන, ගෑස් සහ බලශක්ති ජනන මධ්‍යස්ථාන ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ බව රුසියානු හමුදා ඊයේ (05) ප්‍රකාශ කළහ.
    රුසියානු ප්‍රහාරය මිසයිල 50කට සහ ඩ්‍රෝන 500කට අධික සංඛ්‍යාවකින් සමන්විත වූ බව යුක්‍රේන ජනපති වොලොද්මීර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskiy) පැවසීය.

     

    (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
    10/5/2025

    Five killed, energy infrastructure damaged in Russian air attack on Ukraine

  • රුසියාවේ විශාලම තෙල් සමාගම් දෙකට ඇමෙරිකාවෙන් සම්බාධක

    රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙක වන රොස්නෙෆ්ට් සහ ලුකොයිල් ඉලක්ක කර ගනිමින් එක්සත් ජනපදය නව සම්බාධක ප්‍රකාශයට පත් කර තිබේ. යුක්රේනයේ සාම ගිවිසුමක් සාකච්ඡා කිරීම සඳහා මොස්කව්ට බලපෑම් කිරීමේ උත්සාහයක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

  • ලක්ෂ 35කට වැඩි ජනතාව බරපතළ ආර්ථික අර්බුදයක... - Ideas front වීඩියෝවක්

    2019 වසර වන විට එදිනෙදා ජීවිකාව සරි කර ගැනීම සඳහා විවිධ රැකියාවල නියුක්ත පිරිස ලක්ෂ 35ක් සිටි බවත්, කොවිඩ් වසංගතය හේතුවෙන් රට වැසූ සැණින් එම පිරිස බරපතළ අර්බුදයකට මුහුණ පෑ බවත් මේ ව විට එම පිරිස යළි අර්බුදයට මුහුණ පා ඇති බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • ලෝක තෙල් මිල නැවතත් ඩොලර් 100 ඉක්මවයි

    ලෝක වෙළ‍ෙඳපොළේ යළිත් වරක් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ. 

  • ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය; 2026 – ''නිෂ්පාදනවල ආරක්ෂාව සහ පාරිභෝගික විශ්වාසය''

    ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය මාර්ත 15 (අද) දිනට යෙදී ඇත. පාරිභෝගිකයා ගේ අයිතිවාසිකම්, ආරක්ෂාව සහ වගකීම් පිළිබඳ සමාජ අවධානය යොමු කිරීම මෙම දිනයේ ප්‍රධාන අරමුණ වේ. 2026 වසරේ ලෝක පාරිභෝගික දිනයේ තේමාව වන්නේ “නිෂ්පාදනවල ආරක්ෂාව සහ පාරිභෝගික විශ්වාසය” යන්න යි.  

  • වත්මන් රජය ධීවර කර්මාන්තයේ ‘පන්න’ ක්‍රමත් තහනම් කරන්න හදනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    රට වටේ මුහුද තිබුණ ද රටේ දළ දේශීය නිෂ්පාදනයට ධීවර කර්මාන්තය ලබා දෙන දායකත්වය 1.4%ක ප්‍රමාණයක් බවත්, එයට හේතුව ධීවර සම්පත ආරක්ෂා කර, මත්ස්‍ය සුරක්ෂිතභාවය ඇති කර ගැනීමට නොහැකි වීම යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • වතු කම්කරු පඩි වැඩි නොකිරීමට හාම්පුතුන් දක්වන හේතු ආණ්ඩුව පිළිගනී

    සියවස් දෙකක් තිස්සේ මෙරට ආර්ථිකය සවිමත් කිරීමට දහඩිය වගුරන මලය රටේ වතු කම්කරු ජනයාගේ දෛනික වැටුප ඉහළ දැමීමේ ආණ්ඩුවේ පොරොන්දුව ඉටුකිරීම තව දුරටත් දික් ගැස්සෙමින් පවතී.

     

    වතු සමාගම් නියෝජනය කරන ප්‍රධාන විධායක නිළධාරින් සමග පැවැති සාකච්ඡාවකින් පසු වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍යවරයා වැටුප් වැඩි කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් හාම්පුතුන් දක්වන හේතු සාධාරණය කිරීමට වෑයම් කර තිබේ.

    "ලෝක වෙළඳපොලේ ශ්‍රී ලංකා තේ මිල පහත වැටී ඇති බවත්, තේ සඳහා නිසි මිලක් නොලැබෙන බවත්, නිෂ්පාදනය සඳහා වැඩි මුදලක් වැය වන බවත්, කම්කරුවන් සඳහා වන අනෙකුත් සුභසාධන වැඩ පිළිවෙල සඳහා වැඩි මුදලක් වැය කරන බවත් ඔවුන් කිව්වා. වැටුප් වැඩිවීමක් ලබා දිය නොහැකි බව ඔවුන් කිව්වේ නැහැ. වැටුප් වැඩිවීමක් ලබා දීමට නොහැකි වීමට හේතු ඔවුන් පැහැදිලි කරා," යි මාධ්‍ය හමුවක් කැඳවමින් නියෝජ්‍ය ඇමැති සුන්දරලිංගම් ප්‍රදීප් පවසා ඇත.

     

    වතු හාම්පුතුන්ගේ හේතු දැක්වීම නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පිළිගෙන ඇත්තේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ආණ්ඩුව අනුගමනය කරන පිළිවෙත ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට හානිකර බව ලෝක බැංකුව ප්‍රකාශ කළ දිනයේමය.

     

    වත්මන් රජය විසින් පසුගිය අයවැය මගින් රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට සමගාමීව වතු කම්කරුවන්ගේද දෛනික වැටුප රුපියල් 1700 ක් දක්වා ඉහල නැංවීමේ යෝජනාව සඳහා එකඟතාවයක් ඇති කර ගැනීම වෙනුවෙන් වතු සමාගම් නියෝජනය කරන ප්‍රධාන විධායක නිළධාරින් සමඟ සැප්තැම්බර් 9 වැනිදා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත්තේ වැවිලි අමාත්‍යාංශයේදීය.

    "ආර්ථික ස්ථාවරත්වය බොහෝ දුරට යථා තත්වයට පත් කරන ලද මූල්‍යමය පියවර විසින්ම ඇති කළ ඉහල වක්‍ර බදු හා රාජ්‍ය අංශයේ මූර්ත වැටුප් අඩුවීම පවුල්වලට අහිතකර ලෙස බලපා ඇති," බව ලෝක බැංකුව විසින් එදිනම පලකරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ අලුත්ම වාර්තාව පවසයි.

    වැටුප් ගෙවීම සඳහා නිෂ්පාදනය පදනම් කරගැනීමට ආණ්ඩුව එකඟතාවය පළ කළ බව සාකච්ඡාවෙන් අනතුරුව වතු සමාගම් පැවසුවේ යැයි ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

    "නිෂ්පාදනය පදනම් කරගත් වැටුප් වැඩිවීමකට ආණ්ඩුව එකඟතාවය පළ කළා. ඒ සඳහා සැලැස්ම ඉදිරිපත් කරන ලෙස රජය ඉල්ලා සිටියා. අපි සැලැස්ම ලබන සතියේ ආණ්ඩුවට ඉදිරිපත් කරනවා. කම්කරුවන්ට වැඩි මුදලක් උපයා ගැනීමට හැකි වන පරිදි සැලැස්මක් සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කරනවා."

     

    තවත් මාසයකින් මේ සම්බන්ධයෙන් යළිත් වරක් සාකච්ඡාවක් පැවැත්වෙන බව සදහන් කරන වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මාධ්‍ය හමුවේදී වතු කම්කරු ජනතාවට යළිත් වරක් පොරොන්දු වී ඇත්තේ ජාතික ජන බලවේගයේ රජය පසුගිය සමයේ දිගින් දිගටම පැවසු පරිදි වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බවයි.

     

     

    ගැසට්

    ශ්‍රමයට සරිලන වැටුප් වැඩිකිරීමක් ඉල්ලා වසර ගණනාවක් තිස්සේ සිදු කළ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස තේ සහ රබර් වතු සේවක කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමීමට අදාළ ගැසට් නිවේදනය කම්කරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දරන සමයේය.

    දෛනික අවම ගෙවීම රුපියල් 1,350ක් ලෙස ද එලදායිතාව මත පදනම් වූ දිරි දීමනාව ලෙස රුපියල් 350ක් ද කම්කරුවන්ගේ වැටුපට දෛනිකව එකතු වන අයුරින් 2024 වසරේ අගෝස්තු 13 වැනිදා දා එම ගැසට් නිවේදනය නිකුත් කර තිබුනි.

    ජාතික ජන බලවේග රජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 වර්ෂය සදහා වන අයවැය යෝජනාව මගින් වතු කම්කරුවන්ගේ යෝජිත රුපියල් 1,700ක දෛනික වැටුප ලබා දීමට රජය මැදිහත් වන බව ප්‍රකාශ කළේය.

     

    රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමයේ නිකුත් කළ ඉහත ගැසට් නිවේදනය හෝ අනුර ජනාධිපතිවරයාගේ පොරොන්දුව ද වතු කම්කරුවන් වෙනුවෙන් මේ තාක් ක්‍රියාවට නැංවීමට ආණ්ඩුව අසමත්ව තිබේ. වතු වෘත්තීය සමිති පෙන්වා දෙන පරිදි අවුරුදු කීපයකට ඉහතදී ප්‍රමාණවත්වූ රුපියල් 1700ක දෛනික වැටුප ද අද පවත්නා ආර්ථික තත්වය හමුවේ නොසෑහෙයි.

     

     

    The leader.lk

  • විජයදාස රාජපක්ෂ ගොනු කළ අපහාස නඩුවෙන් ලේක් හවුස් එක පරදී - කෝටි 50ක වන්දියක් ගෙවන්න වෙයි!  

    *දිසා අධිකරණ තීන්දුවට එරෙහිව ලේක් හවුස් එක ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ අභියාචනය නිශ්ප්‍රභා වෙයි…

    *කොළඹ දිසා අධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරයි!


    දීර්ඝ කාලයක් තිස්සේ පුළුල් ලෙස විමර්ශනය වෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා පැමිණි නඩුවක තීන්දුව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට (ලේක්හවුස්)  ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ වෙත රුපියල් මිලියන 500ක වන්දියක් ගෙවීමට නියම කළ කොළඹ දිසා අධිකරණ  නියෝගය අද (14) තහවුරු කළේය.

    ඒ අනුව ලේක් හවුස් ආයතනයට හිටපු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ  වෙත රුපියල් මිලියන 500ක් හෙවත් කෝටි 50ක මුදලක් වන්දි ලෙස ගෙවීමට තීන්දු වී තිබේ.




    නඩුවට අදාල නිමිත්ත වාර්තා වන්නේ 2007 වසරේ දී ය.  එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිටි විජේදාස රාජපක්ෂ  2007 වසරේ නොවැම්බර් මස ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට මාරු වුනේය. ඉන් පසු සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක් හවුස්) මගින් මුද්‍රණය කොට බෙදා හරින ලද සිළුමිණ පුවත්පතේ පිටු දෙකක් පුරාවට  ඔහු සම්බන්ධව ලිපියක්  පළ කර තිබිණි.

     




    එම ලිපිය ද්වේශසහගත සහ අපහාසාත්මක ප්‍රකාශවලින් සමන්විත සාවද්‍ය ලියැවිල්ලක් බවත්, ඉන් තමන්ට සිදුවු අලාභය වෙනුවෙන් රුපියල් මිලියන 500ක් ගෙවිය යුතු බවටත් අයැද එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමටත් එවකට සිළුමිණ පුවත්පතේ කර්තෘවරයා වූ කරුණාදාස සූරියආරච්චිටත් එරෙහිව විජේදාස රාජපක්ෂ  2009 වසරේ දී කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කළේය.

    නඩුව විභාග කළ කොළඹ දිසා අධිකරණය පැමිණිළිකරු අයැද සිටි අලාහ මුදල ගෙවන ලෙසට 2013 ජුලි මස 05 වන දින දී තීන්දු කළේය. එකී තීන්දුවට එරෙහිව සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළේය. එම අධිකරණය විසින් එම අභියාචනය 2019 මැයි මස 30 වන දින දී නිශ්ප්‍රභා කරන ලදී.

    අනතුරුව එකී තීන්දුවට එරෙහිව සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබුවේය. එම අභියාචනය පිළිබඳව දීර්ඝ විමර්ශනයකින් පසුව ඊයේ දින එනම් 2025 ඔක්තෝබර් මස 14 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද එකී අභියාචනය නිෂ්ප්‍රභා කළේය.

    ඒ අනුව කොළඹ දිසා අධිකරණය විසින් විජයදාස රාජපක්ෂට රුපියල් මිලියන 500ක මුදලක් ගෙවන ලෙසට සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට එරෙහිව ඇතුළත් කරන ලද තීන්දුව අද බලාත්මක වුනේය.

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්වන ජනක් ද සිල්වා, අචල වෙන්ගප්පුලි සහ සෝහිත රාජකරුණා ඉදිරියේදී එම අභියාචනය විභාගයට ගන්නා ලද අතර පැමිණිලිකාර විජයදාස රාජපක්ෂ  වෙනුවෙන් ජ්‍යෙෂඨ උපදේශන නීතීඥ ජී. ජී. අරුල් ප්‍රගාසම් ගේ උපදෙස් මත නීතීඥ සජාන ද සොයිසා, රන්ධිවරී අරන්ගල සමඟ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා පෙනී සිටියේය.

    එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ  ෆයිසර් මුස්තාපාය.

     
  • විමල්ට එරෙහි නඩුවක් විභාගයට දින දෙයි

    එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේදී උද්ඝෝශණයේ නිරත වෙමින් මාර්ග අවහිර කලේ යැයි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිි විමල් වීරවංශ ඇතුළු එම පක්ෂයේ සාමාජිකයන් හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 10 වැනි දින විභාග කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම අද (01) නියෝග කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න