Language Switcher

Ad

Ad 01

V2025

"ඉරිදට කලින් කැමැත්ත නුදුන්නොත් අපාය පෙන්වනවා" - ජනපති ට්‍රම්ප්

ගාසා තීරයට බෝම්බ හෙලීම වහා නතර කරන ලෙස ඊයේ (03) එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය , බෙන්ජමින් නෙතන්යාහු වෙත දැනුම් දුන්නේය.

ඒ, සිය භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට හමාස් සංවිධානය කැමැත්ත පළකිරීමෙන් අනතුවය.

ජනපති ට්‍රම්ප් විසින් ඉදිරපත් කරන ලද කරුණු 20කින් සමන්විත ගාසා සාම සැලැස්මද කොන්දේසි සහිතව පිළිගැනීමට හමාස් සංවිධානය එකඟත්වය ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්, අවි බිම තැබීම සම්බන්ධයෙන් එකඟත්වයක් නැතැයි, එම සංවිධානය පවසයි.

ජනපති ට්‍රම්ප්ගේ ගාසා සම සැලැස්මේ පළමු අදියරට ඉක්මනින් සූදානම් වන බව ඊශ්‍රායල රජය පවසයි. හමාස් ප්‍රතිචාරය අනුව, එම භාරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සියල්ල නිදහස් කිරීම එහි පළමු අදියරයි.

ඉරිදාට (05) ප්‍රථම සිය සාම යෝජනාවට හමාස් සංවිධානය ප්‍රසාදය පල නොකරන්නේ නම්, මිහිපිට අපාය නැරඹීමට සූදානම් වන්නැයි, එක්සත් ජනපද ජනපති ට්‍රම්ප්, හමාස් සංවිධානයට ප්‍රබල අනතුරු ඇඟවීමක් සිදු කිරීමත් සමග ඊයේ, එම සංවිධානය කොන්දේසි සහිතව සාම සැලැස්මට ප්‍රතිචාර දක්වා ප්‍රකාශයක් නිකුත් කළේය.

ගාසා පැනයට පිළියම් යෙදිය හැක්කේ තමාට පමණක් බව ජනපති ට්‍රම්ප් ගේ විශ්වාසයයි. එහෙයින්, දෙවසරක ගාසා යුද්ධය අවසන් කිරීමට ඔහු අසීමිත දේශපාලන පිරිවැයක් ආයෝජනය කරමින් සිටී. ගාසා යුද්ධය හේතුවෙන් සිය දහස් ගණනක් ජීවිත අහිමි වෙමින් පවතින අතර, ඊශ්‍රායලය සීග්‍රයෙන් ගෝලීය වශයෙන් හුදෙකලා වෙමින් පවතී.

තිරසර සාමයට හමාස් සංවිධානයේ සූදානම පෙන්වා ඇතැයි, ජනපති ට්‍රම්ප් ඊයේ පැවසීය.

"ඊශ්‍රායලය, ගාසා තීරයට බෝම්බ හෙලීම වහා නතර කළ යුතුයි. එවිට, ප්‍රාණ ඇපකරුවන් ආරක්ෂිතව සහ ඉක්මනින් ගෙන්වා ගත හැකියි. අපි සාකච්ඡාවට සූදානම්, දීර්ඝ වශයෙන්..! මේ, ගාසා ගැන ප්‍රශ්නයක්ම නොවෙයි, මෙය සමස්ත මැදපෙරදිග කලාපයම දීර්ඝ කාලයක් බලා සිටි සාම සමයේ ඇරඹුමයි," ට්‍රම්ප් ඔහුගේ ටෘත් සමාජ ජාලයේ එසේ සඳහන් කළේය.

ජනපති ට්‍රම්ප්ගේ දර්ශනය හා එක්ව, ඊශ්‍රායල මූලධර්ම ප්‍රතිපත්තීන්ට අනුව යුද්ධය අවසන් කර සාම මාවතට පිවිසීමට එක්සත් ජපදය හා පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය ද පැවසීය.

කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ දැනුම් දීමෙන් පසුවද ඊශ්‍රායල හමුදා, ගාසා නගර මධ්‍යයේ ඇති ප්‍රධාන විවෘත මාර්ගයක් වන ටලටීනි වීදියට (Talateeni Street) යුද ටැංකි යොදා ගනිමින් ප්‍රබල බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේය. හමාස් සංවිධානය සාම සැලැස්මට සිය ප්‍රතිචාර නිවේදනය කිරීමත් සමග ගාසා නගරයට ඊශ්‍රායලය ගුවනින් බෝම්බ ප්‍රහාර ද එල්ල කළේය. ඉන්, නිවාස රැසක් විනාශයට පත් විය.

හමාස් සංවිධානය සාම යෝජනාවලිය පිළිගෙන, දැන්වත්, අප්‍රමාදීව කටයුතු කළ යුතු බව ප්‍රංශ අග්‍රාමාත්‍ය එම්මානුවෙල් මැක්‍රන් (Emmanuel Macron) ද දන්වා සිටී.

දෙවසරක යුද්ධයෙන් මේ වනවිට ගාසා තීරයේ 66,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව සිටිති.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/4/2025


Trump asks Israel to stop bombing Gaza, saying Hamas is ready for peace