V2025

පුවත්

ඉන්දීය විදේශ ලේකම් ලංකාවේ : ත්‍රිකුණාමලය තෙල් ටැංකි කතාවත් ඇදෙයි !

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා අද (02) මෙරටට පැමිණ ඇත.

ඒ මෙරට විදේශ අමාත්‍යංශයේ ලේකම් ජනනාත් කොළඹගේ ගේ ආරාධනයකට අනුව බවත් වාර්තා වෙයි.

එසේම ඉන්දීය විදේශ ලේකම්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අගමැති මහින්ද රාජපක්ෂ සහ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවත් වාර්තා වෙයි.

එසේම ඔහු ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතව ඇති බවත් දැනගන්නට ඇත.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි යළිත් ඉන්දියාවට ?

කෙසේ වුවත් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අද (02) මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය දීර්ඝකාලීනව ඉන්දියාවට පවරාදීමට රජය සැරසෙන නමුත් තමන් එම ප්‍රයත්නය පරාජය කරන බවය.

එසේම ඉන්දියානු විදේශ ලේකම්වරයා අද මෙරටට පැමිණෙන්නේ ද ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට බවත් එහිදී පැවසිණ.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරාදීමට එරෙහිව සංවිධාන කළ මාධ්‍ය හමුවට ඛනිජ තෙල් සංස්ථාවේ සියලු වෘත්තිය සමිති අද එක්ව සිටිමත් විශේෂය.

කොරෝනා මරණ 13000 ඉක්මවයි !

තවත් කොරෝනා මරණ 55ක් ඊයේ (01) දිනට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර ඇති අතර ඊට අදාළ මාධ්‍ය නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (02) නිකුත්කර ඇත.

ඊට අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13019 ක් දක්වා ඉහළ ගොස් ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 38 ක් පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 17 , කාන්තාවන් ය.

මියගිය පිරිස අතර වයස අවුරුදු 30ට අඩු කාන්තා ආසාදිතයින් දෙදෙනෙකුද වෙයි

ඊට අමතරව අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍ 15 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 38 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

සුදුලූණු චෝදනාව බන්දුලට එරෙහි කුමන්ත්‍රණයක්ලු ? තීන්දුවක් ගන්න සූදානමක් !

කුප්‍රකට සුදුලූණු වංචාවට තම නම ද ඈඳා ගමන ගනිමින් දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන චෝදනා කරයි.

ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් සාධාරණයක් ඉටු නොවූවොත් තමන් දේශපාලනයෙන් සමුගන්නා බව ද අමාත්‍යවරයා පවසා ඇත.

වාර්තා වන ආකාරයට තම කීර්ති නාමයට හා දේශපාලන ජීවිතයට හානි සිදු කළේ යැයි පවසමින් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලමින් ධුරයෙන් ඉල්ලා අස් වූ හිටපු පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික තුෂාන් ගුණවර්ධනට ලිපියක්ද යවා තිබේ.

අමාත්‍යවරයා එමගින් සඳහන් කර ඇත්තේ සුදු ලූනු ආනයනය හා බෙදාහැරීමේදී වංචාවක් සිදුවී ඇතැයි ඔහු විසින් පැවසීම හේතුවෙන් තම කීර්ති නාමයට හා දේශපාලන ජීවිතයට හානියක් සිදු වී ඇති බවයි.

එම මුදල ගෙවීමට අපොහොසත් වන්නේ නම් එය අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ලිපියේ සඳහන් වෙයි.

එසේම අදාළ වංචාවට තමන් හෝ තම පවුලේ කිසිවකු සම්බන්ධව ඔප්පු කළහොත් තමන් පාර්ලිමේන්තුවෙන් ද අමාත්‍ය ධුරයෙන් ද ඉවත් වනවා පමණක් නොව සදහටම ලාංකීය දේශපාලනයෙන් සමු ගන්නා බවද අමාත්‍යවරයා සදහන් කර ඇත.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනයට ආණ්ඩුව එකඟ වෙලා !

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යළි සළකා බැලීමට සහ ජාත්‍යන්තර නීති අනුව එය සකස් කිරීමට ශ්‍රී ලංකාව එකඟ බව ආණ්ඩුව විසින් යුරෝපා කොමිසමට දැනුම් දී තිබේ.

2022 වසරේ මුල් කාර්තුවේ පැවැත්වීමට නියමිත යුරෝපා කොමිසම සහ ශ්‍රී ලංකා ආණ්ඩුව අතර ඒකාබද්ධ හමුවේදී මෙම වෙනස්කම් සිදුකරන බව විදේශ අමාත්‍යාංශය කියා සිටී. සැප්තැම්බර් 29 දා කොළඹදී පැවති ‘ආණ්ඩුකරණය, නීතියේ අධිපත්‍ය සහ මානව හිමිකම්’ පිළිබඳ පස්වන ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීමේදී ආණ්ඩුව විසින් මෙම සහතිකය ලබාදී ඇත.

මෙහිදී යහපාලනය ක්‍රියාත්මක කිරීම, මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ නීතියේ ආධිපත්‍යය අනුව කටයුතු කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව යුරෝපා කොමිෂන් නියෝජිතයන් හමුවේ පොරොන්දු වී ඇත. එසේම කොවිඩ් වසංගතයට මුහුණදීමේදී රටවල් අතර අත්දැකීම් හුවමාරුවක්ද සිදුකරගෙන තිබේ. ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් සහ වෛරී ප්‍රකාශ පිළිබඳව ප්‍රශ්නය යුරෝපා නියෝජ්තයන් මතු කර ඇති අතර ආණ්ඩුව ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව බහු ජාතික රටක් බවත් සියලුම ජාතීන්ගේ සමාන අයිතිවාසිකම් ව්‍යවස්ථාවෙන් ආරක්ෂා වී ඇති බවත්ය.

මෙම ඒකාබද්ධ සාකච්ඡාවේ මුලසුන විදේශ අමාත්‍යාංශයේ යුයෝපය පිළිබඳ අධ්‍යක්ෂ මනීෂා ගුණසේකර සහ යුරෝපා විදේශ ක්‍රියාකාරී සේවයේ දකුණු ආසියානු ප්‍රධානී ඉයොනිස් ජියෝකරාකීස් ඇගිරෝපවුලෝස් විසින් දරනු ලැබීය.

(Lanka truth )

ඩලසුත් ශ්‍රීලනිප, විමල් ලයින් එකට !

කිසිදු විදේශීය රටකට මෙරටට එල් එන් ජී සැපයීමේ ඒකාධිකාරිය ලබාදිය යුතු නැති බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසා ඇත.

තමන්ගේ ස්ථාවරය පැහැදිලිවම කැබිනට් මණ්ඩලයේ දී දැනුම් දුන් බවත් , රටක ස්වාභාවිකව ද්‍රවකෘත වායු සැපයීමේ ඒකාධිකාරය වෙනත් රටකට පැවරිය යුතු නැති බව තම ස්ථාවරය වන බවත් සඳහන් කරන මේ පුවත වාර්තා කර ඇත්තේ ආණ්ඩු හිතවාදී වෙබ් අඩවියක් වන ලීඩ් නිව්ස් ය.

එම පුවත වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉදිරි පාර්ලිමේන්තු සතියේ දී මේ සම්බන්ධව මුදල් අමාත්‍යාංශයටත් විදුලිබල අමාත්‍යාංශයටත් කරුණු ඉදිරිපත් කර දැනුවත් කිරීම සිදුකරන බවත් අමාත්‍යවරයා පවසා සිටි බවත්ය.

ජනාධිපතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ සහෝදර පක්ෂ කිහිපයක් බලාපොරොත්තුවෙන් සිටින බව අමාත්‍යවරයා පවසා සිටි බවත් එම පුවතෙහි සඳහන් වෙයි.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , ජාතික නිදහස් පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ රැසක් මේ ස්ථාවරය දරයි.

30 ට වැඩි සියලු දෙනා එන්නත් කර අවසන් !

වයස අවුරුදු 30 ට වැඩි සියලු පුද්ගලයන් මේ වන විට පූර්ණ එන්නත්කරණයට ලක්කර අවසන් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

සෞඛ්‍ය ඇමතිවරයා මාධ්‍ය අමතමින් ඒ බව සදහන් කළේ, කොවැක්ස් පහසුකම් යටතේ මෙරටට ලද ෆයිසර් එන්නත් ලක්ෂ 04 ක් භාර ගැනීමට ඊයේ (01) කටුනායක ගුවන්තොටුපොළ පරීශ්‍රයට පැමිණි අවස්ථාවේදීය.

එම අවස්ථාවට අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිස්ට් ද සහභාගිව සිටියාය.

වයස අවුරුදු 12ත් 19 අතර පසුවන විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ටද මේ වන විට දිවයින්පුරාම එන්නත්කරණය සිදුවන බව ද සෞඛ්‍ය ඇමතිවරයා එහිදී පැවසූ අතර දරුවන්ට ලබාදෙන්නේ ෆයිසර් එන්නත බවද පැවසීය.

රටම අනතුරේ දැමුණු තීන්දුවක් ගැන වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙයි !

විශාල වියදමක් දරා ඉදිකළ රසායනාගාරය ප්‍රයෝජනයට නොගැනීම හා අනිවාර්ය PCR පරීක්ෂණය ඉවත් කිරීම කිසිම විද්‍යාත්මක පදනමක් මත ගෙන ඇති තීරණයක් බව තමන්ට නොහැඟෙන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරයි.

තවද මෙම තත්වය නිසා නව වෛරස ප්‍රභේද රටට ඇතුළු වීමට ඇති හැකියාව වැඩි වීම මගින් සියල්ලන්ම පාහේ විසින් කළ විශාල කැපකිරීම් මගින් රෝග පාලනයේ ලබා ඇති ප්‍රගතිය මුළුමනින්ම පාහේ යළි ගිලිහී යාමට ඇති අවදානම අවතක්සේරු කළ නොහැකි බවත් පෙන්වා දෙයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මේ කරුණු පෙන්වාදී ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිපියක් යොමුකරමිනි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත යොමු කරන ලද ලිපිය පහත දැක්වෙයි.

වෛද්‍ය අසේල ගුණවර්ධන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සෞඛ්‍ය අමාත්‍යාංශය කොළඹ 10

අධ්‍යක්ෂ ජනරාල්තුමනි,

විදෙස් සංචාරකයන් සඳහා හදිසියේ වෙනස් වු මාර්ගෝපදේශ මාලාව- අනිවාර්ය PCR පරීක්ෂණය ඉවත් කිරීම !

විදෙස් සංචාරකයන් ආකර්ෂණය සදහා ඉක්මන් PCR පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සහිත රසායනාගාරයක් රජය විසින් පසුගිය දා ඉතා විශාල වියදමක් දරා ලහි ලහියේ කටුනායක ගුවන් තොටුපොළ තුල පිහිටුවන ලදී.

සංචාරකයන්ට ඉතා පහසුවෙන් රටට ඇතුළු වීමට හැකි වීම මගින් වැඩි සංචාරකයන් පැමිණීමක් අපේක්ෂා කරන අතරම රටට නව කොරෝනා ප්‍රභේද ඇතුළු වීම අවම කිරීම මගින් රටේ කොරෝනා වසංගතය පාලනය විධිමත් කිරීම මෙහිදී බලාපොරොත්තු වූ ප්‍රධාන කාරණා දෙකය.

නමුත් සැවොම පුදුමයට පත්කරමින් යම් අදිසි හස්තයක් හරහා මෙම මාර්ගෝපදේශ මාලාව වෙනස්කර රජය විසින් නව සංශෝධිත මාර්ගෝපදේශ මාලාවක් සංචාරකයන් සඳහා පනවා ඇත. මේ අනුව ඔවුන්ට රටට ඇතුළු වීම සඳහා පැමිණෙන මොහොතේ ගුවන් තොටුපලේදී සිදු කිරීමට නිර්දේශ කර තිබු අනිවාර්ය PCR පරීක්ෂණය අවලංගු කර ඒ වෙනුවට ඔවුන් විසින් ගෙනෙනු ලබන එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත් බවට ඇති සහතිකය හා රටට ඇතුලුවීමට පැය 72 කට පෙර ලබා ගත් PCR පරීක්ෂණ ප්‍රතිඵල පමණක් ප්‍රමාණවත් බව නව නිර්දේශය යි.

විශේෂඥ වෛද්‍ය සංගමය ලෙස අප මෙය දැඩි ලෙස හෙළා දකින අතර මෙමගින් අප රටට සිදුවිය හැකි භයානක ප්‍රතිඵල ගැන අප ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු. ඊට හේතුව වශයෙන් අප දකින්නේ මින් පෙරද අසත්‍ය මෙන්ම වැරදි PCR වාර්තා සහ අසත්‍ය එන්නත්කරණ වාර්තා ද මෙරට මෙන්ම වෙනත් දියුණු විදෙස් රටවලද වාර්තාවී ඇති බව අප දන්නා නිසාය. මෙසේ හෙයින් විශාල වියදමක් දරා ඉදිකළ රසායනාගාරය ප්‍රයෝජනයට නොගැනීම හා අනිවාර්ය PCR පරීක්ෂණය ඉවත් කිරීම කිසිම විද්‍යාත්මක පදනමක් මත ගෙන ඇති තීරණයක් බව අපට නොහැඟේ.

තවද මෙම තත්වය නිසා නව වෛරස ප්‍රභේද රටට ඇතුළු වීමට ඇති හැකියාව වැඩි වීම මගින් අප සියල්ලන්ම පාහේ විසින් කළ විශාල කැපකිරීම් මගින් රෝග පාලනයේ ලබා ඇති ප්‍රගතිය මුළුමනින්ම පාහේ යළි ගිලිහී යාමට ඇති අවදානම අවතක්සේරු කළ නොහැක.

එම නිසා අපගේ ආයාචනය වන්නේ මෙම මාර්ගෝපදේශ වෙනස් කිරීමට ගත් තීරණ සම්බන්ධව රටේ වගකිව යුතු පුද්ගලයින් විසින් අදාළ විශේෂඥයන් සමග සමාලෝචනයක් කිරීම අත්‍යවශ්‍ය බවත් එමගින් ගන්නා මාර්ගෝපදේශන රටේ සුභසිද්ධිය සඳහා විය යුතු බවයි.

ස්තූතියි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

අද කොවිඩ් මරණ 58ක්.....

අද (01) නිකුත් කළ කොවිඩ් – 19 මරණ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වාර්තාව අනුව මෙරටදී ඊයේ (30) මරණ 58ක් සිදුව තිබේ.

ඒ අනුව කාන්තාවන් 31 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 27 දෙනෙකු මෙලෙස මරණයට පත්ව ඇත.

ඒ අනුව මෙරටින් නිල ලෙස නිවේදනය කර ඇති මියගිය කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ ගණන 12,964ක් දක්වා ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකාව මේ වනවිට ලෝකයේ වැඩිම ආසාදිතයින් වාර්තාවන රටවල් අතර 55 වන ස්ථානයේ පසුවේ. එමෙන්ම වැඩිම දෛනික මරණ වාර්තාවන රටවල් අතර ශ්‍රී ලංකාව මේ වනවිට පසුවන්නේ 10වන ස්ථානයේය.

Covid Report 2021.09.01 1

රාජ්‍ය සේවකයින් කැදවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

රජයේ ආයතන සඳහා කාර්යමණ්ඩල කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පැහැදිලි කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරිගේ අත්සනින් යුතුව එම චක්‍රලේඛය නිකුත් කර ඇත.

නිකුත් කරන ලද සම්පුර්ණ චක්‍රලේඛය පහතින් දැක්වේ.

e65eb3b9 1 බ

51c7a29e 2 එ

fde8532a 3 ට

අද සිට මාස 06 ක් ආර්ථිකය : කබ්‍රාල්ගේ සැලැස්මට !

මෙරට ඉදිරි ආර්ථික සැලැස්ම අද (01) ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසා ඇත.

ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ට්වීටර් ගිනුමේ සටහනක් තබමින් මහා බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, ඉදිරි මාස හය ඉලක්ක කරගනිමින් නව ආර්ථික සැලැස්ම සම්පාදනය කර ඇති බවය.

රටේ සියලු ප්‍රධාන අංශ ආවරණය කරමින් සය මාසික සැලැස්ම කර ඇති බව නිවාඩ් කබ්රාල් නිකුත් කර ඇති ට්විටර් පණිවුඩයේ දැක්වේ.

එසේම මේ වන විට එකී ආර්ථික සැලැස්මේ යෝජනා, ප්‍රතිපත්ති ගැන පුවත් පළවෙමින් ඇත.

මරන්න ජනාධිපති බලය දුන්නා : පිස්තෝලය ඔලුවට තියා ලොහාන් කියලා !

රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්ත ඉකුත් සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුර බන්ධනාගාරයට පැන සිරකූඩුවලින් තමන් එළියට ගෙන දණ ගස්වා බැණ තර්ජනය කර හැසිරුණ ආකාරයෙන් තමන් දැඩි බියට පත්ව සිටින බව කියා සිටිමින් ද්‍රවිඩ සිරකරුවන් 08 දෙනෙක් ඊයේ (30) ශ්‍රේෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

තමන්ගේ ජීවිතවලටද හානියක් විය හැකි බව කියන පෙත්සම්කරු තමන් බන්ධනාගරයෙන්ම මුදා හැරීම හෝ ඇප පිට මුදා හැරීමට නියෝග කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා සිටී.

එසේ නැතිනම් උතුරු පළාතේ බන්ධනාගාරයකට හෝ තමන් කලින් සිටි යාපනය බන්ධනාගාරයට මාරු කරන ලෙස අදාළ බලධාරීන්ට නියෝග කරන්නැයි පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

පෙත්සම පිළිගෙන පවත්වාගෙන යාමට අවසර දෙන ලෙසත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) සහ 12(2) වගන්තිවලින් සහතික කර ඇති මූලික අයිතින් උල්ලංඝනය වී ඇති බවට තීන්දු කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

ලොහාන් රත්වත්ත, අනුරාධපුර බන්ධනාගාර අධිකාරී. එම්.එච්.ආර්. අජිත්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.වී.එන්. උපුල්දෙනිය අධිකරණ ඇමැති අලි සබ්රි සහ නීතිපති පෙත්සමේ වගඋත්තරකරුවෝ ලෙස නම් කර තිබේ.

පෙත්සමේ සඳහන් අන්දමට පෙත්සම්කරුවන් 08 දෙනාම ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය යටතේ බන්ධනාගාර ගතව සිටින අය වෙති. ඔවුන් බන්ධනාගාරයට නියම කර ඇත්තේ වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයෙනි.

ඉකුත් සැප්තැම්බර් 12 වැනිදා සවස 6.10ට තවත් කීප දෙනකු සමග අනුරාධපුර බන්ධනාගාරයට පැමිණ ඇමැතිවරයා තමන් සිරකූඩුවලින් එළිට ගෙන දණ ගස්වා බැණ තර්ජනය කළ බවත් ත්‍රස්තවාදී සිරකරුවන් නිදහස් කිරීමට හෝ වෙඩි තබා මරා දැමීමට ජනාධිපතිවරයා බලය දුන්නා යැයි ඔහු පැවසූ බවත් ඒ අවස්ථාවේ දී ඔහු අතේ පිස්තෝලයක් තිබුණ බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

අනතුරුව 08 දෙනාම පෙළ ගස්වා කළ වැරැදි මොනවාදැයි මුලින්ම 01 වෙනි පෙත්සම්කරුගෙන් ඇසූ විට සිංහල තේරෙන්නේ නැතැයි කී විට ඇමැතිවරයාට හොඳටම කේන්ති ගිය බවත් ඊට පසුව දෙදෙනෙක් හැර අනිත් අයව සිර කූඩුවලට ඇතුළු කළ බවත් 01 වැනි පෙත්සම්කරුගේ හිසට පිස්තෝලයක් එල්ල කර වෙඩි තබා මරා දමන බවට තර්ජනය කළ බවත් ඒ අවස්ථාවේ ඔහු සමග සිටි අනික් අය ඔහු මෙල්ලකර එතැන්න ඉවතට රැගෙන ගිය බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

ඒ අවස්ථාවේ දී තමන් දැඩි ලෙස බියට සහ තැතිගැන්මකට පත් වූ බවත් තවමත් තත්වය එසේ පවතින බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති.

ප්‍රබාලසිංම් සූර්ය පාලත්, එම්. සුල්කාෂන් ,ගනේෂන් තර්ෂාන්, කේ. කජේන්තිරසේ, ආර්. තිරුවල්, ජී.සී. තාරෂන්, එම්. සුතාහරක් , ටී. කංකානා බරන් මෙහි පෙත්සම්කරුවෝ වෙති.

– aruna

ඉස්සරහට විශ්‍රාම වැටුපට වෙන්න යන දේ : රනිල් කියයි !

වත්මන් පාලනය මෙතෙක් කටයුතු කළ ආකාරයටම කටයුතු කළහොත් ඉදිරියේදී රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ගෙවන්න තරමට මුදල් නොමැති තරමට රටේ ආර්ථිකයට කඩාවැටෙනු ඇතැයි, හිටපු අග්‍රාමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ නායක , රනිල් වික්‍රමසිංහ අනතුරු ඇඟවයි.

අන්තර්ජාලය ඔස්සේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පල කරන ලද අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කඩා වැටීම ආරම්භ වූයේ කොරෝනා වසංගතයට පෙර සිට බවත් එය ආරම්භ වූයේ 2019 නොවැම්බර් මාසයේ දී පෙර පැවති ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ වෙනස් කිරීමෙන් පසුව බවද ඔහු පැවසීය.

ලෝකයේ වෙනත් රටවලට ඇත්තේ කොරෝනා නිසා ඇතිවුණු අර්බුදය පමණක් වුවත් අපේ රටට කොරෝනා නිසා පැමිණි අර්බුදය සහ ආණ්ඩුව විසින් ඇති කරගත් අර්බුදය යන දෙකම ඇතැයිද හිටපු අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත.

කොරෝනා නිසා අනෙක් රටවල විදේශ සංචිත පහළ වැටී නැති නමුත් ශ්‍රී ලංකාවේ විදේශ සංචිත නේපාලයටත් වඩා පහළ බැස ඇතැයි ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

රට අරින නව මාර්ගෝපදේශ මාලාව

දිවයින පුරා ක්‍රියාත්මක නිරෝධානය ඇඳිරි නීතිය අද (01) අලුයම 4.00 ට ඉවත් කිරීමත් සමග රට පවත්වාගෙන යා යුතු ආකාරය ඇතුළත් නව මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ් අනුව මාර්ගෝපදේශ මාලාව මෙසේය.

de7b8659 pdf page 002

773a63fe pdf page 003

72866353 pdf page 004

afee4261 pdf page 005

1ec1e283 pdf page 006

4a0fe07e pdf page 007

කොරෝනා මරණ 13000 ආසන්නයට !

තවත් කොරෝනා මරණ 59ක් ඊයේ (29) දිනට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර ඇති අතර ඊට අදාළ මාධ්‍ය නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (30) නිකුත්කර ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 12,965ක් දක්වා ඉහළ ගියේය.

ඊයේ සිදුවූ කොවිඩ් මරණ 59න් මරණ 47 ක්ම වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර වයස අවුරුදු 30 ට අඩු එක් මරණයක්ද ඊයේ වාර්තා වී තිබේ.

එක්සත් ජාතීන්ගෙන් ජිනීවාවලට : ලංකාව ගැන බය හිතෙන රටක් !

එක්සත් ජාතීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 45 ක සිවිල් සමාජ සාමාජිකයින්, ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් 240 කට පමණ එරෙහිව පළිගැනීමේ හා බිය ගැන්වීමේ චෝදනා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් ලේඛනගත කර ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කොට ඇත.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සහකාර මහලේකම් ඉල්ස් කෙරිස් විසින් මෙම වාර්තාව ඊයේ (29) ඉදිරිපත් කොට ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්, මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය 2021 පෙබරවාරි 9 දා මානව හිමිකම් කවුන්සිලයට සිය වාර්තාවේ මේ බව සඳහන් කර ඇති බවද වාර්තාවේ සඳහන් වේ.

(මව්රට )

මනූෂ CIDයට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාව මැකීයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාළව සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රී මනුෂ නානායක්කාර  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

අද (30) පෙරවරුවේ එම දෙපාර්තමේන්තුවට පැමිණි මන්ත්‍රීවරයාගෙන් විමර්ශන නිලධාරීන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව පැවසුවේය.

මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා සමඟ සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස  ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලට පැමිණ සිටියේය.

එහිදි මාධ්‍ය වෙත අදහස් දැක්වු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,

"ඇත්ත කතා කිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන යනවා කියන එක අලුත් දෙයක් නෙමෙයි රජයට. සත්‍ය දැනගැනීමේ අයිතිය ක්‍රියාත්මක කරන මාධ්‍යවේදීන්ට, පුවත්පත් කතෘන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමේ ක්‍රියාදාමය සිදුවෙනවා නම් අනික් අයට කෙසේ සැලකිලි ද කියන එක අපට අවබෝධ කරගන්න පුළුවන්. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මොකද්ද කියන්නේ. ඖෂධ මාෆියාවක් සමඟ බද්ද වෙලා සිදුවුණු කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් හැටියට. නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් එහෙම කියනවා නම් වෙන මොන කතා ද?"

ප්‍රශ්නය - රජය විසින් කියන්නේ රජයේ පාර්ශවයෙන්ම තමයි මේ මාෆියාව සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා කියලා හෙළි කළේ කියලා.

"මම පැහැදිලිව කියනවා ඡාවාරම් නැතිකරන පැත්තේ තමයි අපි හිට ගන්නේ. ඒ ජාවාරම්කාර මහමොළත් එක්ක එකට අපි හිටගන්න කැමති නෑ."

මේ ඉල්ලං කන්න තියෙන ආසාවටම ලියන පෝස්ට් එකක් !

මේ ඉල්ලං කන්න තියෙන ආසාවටම ලියන පෝස්ට් එකක්. මේ ආසාව ආවෙ යොහානි කොතලාවල ඇකඩමියෙ උපාධිධාරිනයක් කියලා දාපු පෝස්ට් ට ප්‍රතිචාර දක්වපු උද්යෝගය නිසාමයි.

යොහානි කියන්නෙ මේ වෙලාවෙ ජාතිකවාදයට වැදුන මරු පහරක්. එහෙට මෙහෙට දඟර දදා මේක සතුටෙන් බාරගන්න එකපිරිසකුත් අඩුපාඩු කිය කියා වැඩේ පුංචි කරන්න තව පිරිසකුත් උත්සාහ කළාට මේ අන්තර්ජාතික පහර ටිකක් සැර එකක්.

යොහානි කියන්නෙ ලංකාවෙ පුද්ගලික විශ්ව විද්‍යාලයක නිර්මාණයක්. එයා විශ්ව විද්‍යාලෙ සංගීතය ඉගෙන ගත්තද කියන එකට වඩා වැදගත් වෙන්නෙ ඒ විශ්ව විද්‍යාලය හරහා එයාට ලැබිලා තියෙන ඇටිටියුඩ් එක. ලංකාවෙ දේශීය විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න ළමයෙක් තමන් තෝරගන්න සංගීතයට හෝ කැරියර් එකට මේ පොප් ගතිය, සරලබව, වර්සටිලිටි එක ගෙනෙයිද කියන එක ප්‍රශ්නයක්. ඒ අයව දේශීව විශ්ව විද්‍යාල විසින් සම්භාව්‍යකරණය කරනවා.

යොහානි සිංදු කියන්නෙ ජෙන්ඩර් ෆ්ලුයිඩ් හඬකින්. ඒ කියන්නෙ සාම්ප්‍රදායික ලිංගික ඔඩිටරි කලාපයෙන් පිට පිහිටීමක්. එයාගෙ ප්‍රසාංගික රූපය පවා කොල්ලෙක් වගේ කෙල්ලෙක්. එයා ජනප්‍රිය වෙන්නෙ ඉන්දියානු ආභාෂයක් සහ රැප් සංගීතයක් එක්ක. ඊට පස්සෙ අපේ කට්ටිය ඒකෙ සිංහල බෙර සද්ද අහුලන්න යන්නෙ වෙන වහගන්න තැනක් නැති කමට. දේශීය සංගීතයක් වෙනුවට යොහානි බටහිරට බර කලාපීය සංගීතයක් තෝරගන්නවා. එයාගෙ අයිඩෙන්ටිටිය සිංහල හෝ ශ්‍රීලාංකික එකක් නෙමෙයි.

ඔරිජිනල් වෙනුවට යොහානි ජනප්‍රිය වෙන්නෙ කොපියකින්. ඒක කොපියක් නෙමෙයි එකම සංගීත නිර්මාණකරුවාගේ තවත් වර්ෂන් එකක් කිව්වත් ඒක කවර් එකක් විදිහටයි ආවෙ. ඔරිජිනල් කියල දෙයක් නෑ කියන එක යොහානි මැද ඇඟිල්ල උස්සලා පෙන්නනවා. ඒ වගේම ගේයපදමය සහ සාහිත්‍යමය අර්ථවලින් දුර්වල සිංදුවක් තමයි ජාත්‍යන්තරයට යන්නෙ. ගීතයෙන් සාහිත්‍යහරණය කිරීමේ වටිනකම මැණිකෙ කියනවා.

මෑත කාලෙ ලංකාවෙන් ලෝකෙට කරපු එකම සහ හොඳම නිෂ්පාදනය වෙන්නෙ යොහානි. ඒ කියන්නෙ මේ කම්බිනේෂන් එක තමයි රටේ අනාගතය වෙන්නෙ.

චින්තන ධර්මදාසගේ ෆේස්බුක් ගිණුමෙනි

මාධ්‍යවේදීන් ව CIDයට කැඳවූ නිලධාරීන්ට විමර්ශනයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෘත්තීමයභාවයට කැළලක් වන අන්දමින් වගකීම් විරහිතව හා නොසැලකිළිමත් ලෙස කටයුතු කර ඇති නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ නියමයෙන් අදාළ විමර්ශනය සිදුකෙරෙන බව පොලිස් මුලස්ථානය දැනුම් දෙයි.

ඒ පසුගිය දිනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මාධ්‍ය ආයතන කිහිපයක කතෘවරුන් ඇතුළු මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු එම දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙනි.

එම තත්ත්වය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය කාර්ය පටිපාටිය නොවන අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්නශන සඳහා යම් මාධ්‍යයක සහය ඉල්ලා සිටි අවස්ථාවලදී එම මාධ්‍ය ආයතන විසින් සහය ලබාදෙන බැවින් පුවත්පත් කතෘන්වරු එම දෙපාර්තමේන්තුව වෙත කැඳවීම සාමාන්‍යයෙන් සිදුනොවන බවද පොලිස් මුලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

වාර්තා වී ඇති එම සිදුවීමේ දී අපහසුතාවයට පත් වු පුවත්පත් කතෘවරුන් ඇතුළු මාධ්‍යවේදීන් වෙත කණගාටුව පළ කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.=

Page 419 of 462