පුවත්

ලිප්ගල් තුනට කාන්තාව කොටුකරන්න යන ආණ්ඩුවට එරෙහි වෙමු !
වර්තමාන ආණ්ඩුව යටතේ අනුගමණය කරමින් තිබෙන ක්‍රියාමාර්ග නිසා කාන්තාව යළිත් වරක් ලිප්ගල් තුනට කොටු කිරිමේ උත්සාහයක් තිබෙන බැවින් ඊට එරෙහිව නැගී සිටින ලෙස අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියි.
එම සංවිධානය අද (14) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් දැක්වීම සිදුවිය.
අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ, සභාපති සරෝජා සාවිත්‍රී පෝල්රාජ් සහ විධායක සභික ප්‍රභාශිනී වික්‍රමසිංහ යන අය මෙම මාධ්‍ය හමුවට සහභාගී වූවෝය.
අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ එහිදී මෙසේ පැවසීය.
ජනාධිපතිගේ නම දන්නේ නැහැ හාල් මුදලාලිගේ නම් දන්නවා…!
“මේ වනවිට බඩු මිල වැඩිවීමෙන් අපේ රටේ කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මේ රටේ පාලකයන්ට පෙන්වා දෙන්න සිදු වී තිබෙනවා. වර්තමාන ආණ්ඩුව බලයට පත්වී අවුරුදු දෙකක්වත් ගත වෙන්න පෙර මැතිවරණවලදී විශේෂයෙන්ම කාන්තාවන්ට දුන් පොරොන්දු සියල්ල කඩකර තිබෙනවා. නමුත් අගමැතිකම, ජනාධිපතිකම, 2/3 බලය සහ 20 වෙනි සංශෝධනය යටතේ ජනතාධිපතිතුමාට වැඩි බලතල ලබාදීම සහ හදිසි නීතිය යටතේ තවත් බලතල රාශියක් ලබා ගත්තා. කාන්තාවන් මුහුණ දෙන ආර්ථික සමාජීය ප්‍රශ්න විසඳන්න ඔවුන් බලය ඉල්ලුවා. කාන්තාවන් ප්‍රමුඛව ජනතාව බලය දීලා කෙටි කාලයකදීම මේ කණ්ඩායමට රටක් හදනවා තියා ගමේ පුංචි ප්‍රශ්නයක්වත් විදන්න බැහැ කියලා දැන් පැහැදිලි වෙනවා. අපේ රටේ ජනාධිපති, අගමැතිට වඩා හාල් මුදලාලිලාගේ නම් දන්නවා. සීනි මුදලාලිලාගේ නම් දන්නවා. පීඩාවට පත්වී උහුලගන්න බැරිව ඉන්න ජනතාවට දැන් විඳවන්න සිදුවී තිබෙනවා.
පහුගිය කාලයේ එන්නත් පෝලිම් තිබුණා. ඒ වගේම සමෘද්ධිය වගේ සහනාධාර ගන්නත් පෝලිම්වල හිටියා. මේ පෝලිම් සියල්ලටම වැඩිය අලුත් පෝලිම් ගමක් ගානේ ඇති වුණා. රොකට් වේගයෙන් රට සංවර්ධනය කරන බව කීවාට නැවතත් පෝලිම් යුගයට ගෙන ගියා. සීනි කිලෝ දෙකක් ගන්න, කිරිපිටි පැකට් එකක් ගන්න, අඩු මිලට හාල් ගන්න, ගෑස් ගන්න, මහපාරේ පොලිම්වල ඉන්න කාන්තාවන්ට සිදුවුණා. නමුත් අපේ රටේ නායකයෝ ගුවන්ගත වුණා. බහුතර කාන්තාවෝ පෝලිම්ගත වුණා. මේක තමයි ඇති කළ ආර්ථික සෞභාග්‍යය. ආණ්ඩුව ගෑස්, හාල්, සීනි මුලලාලිලාට මුවාවුණා. මේ නිසා ලංකා ඉතිහාසයේ 84%කින් ගෑස් මිල වැඩි කිරීමට ඒ කොම්පැනිකාරයෝ ක්‍රියාකළා. ගෑස් මිල වැඩි කිරීමෙන් ප්ලේන්ටියේ ඉඳලා මිල වැඩි වෙනවා. ප්‍රවාහන ගාස්තු අමතර ගාස්තු යනාදී වශයෙන් කොපමණ ගාස්තු එකතු කරනවාද?

කාබනික පොහොරට කසළ තේ කළවම් කරන්න ගිහින් !
පොහොර නිෂ්පාදනයේදී කලවම් කිරීමට ගෙන ආ බවට කියන කසල තේ තොගවල ඇසුරුම් එප්පාවල, ඇඳගල ප්‍රදේශයේදී ගිනි තැබීම හේතුවෙන් ප්‍රදේශවාසීන් හා එම ස්ථානයට පැමිණ සිටි පිරිස අතර ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වෙයි. රේගු අත්අඩංගුවට පත්වීමෙන් පසු විනාශ කිරීමට නියමිතව තිබූ මෙම කසල තේ තොග එප්පාවල රජයේ වී ගබඩාව වෙත රැගෙන විත් තිබුණේ, කාබනික පොහොරවලට කලවම් කිරීම සඳහායි.
අදාළ කසල තේ තොගය කන්ටේනර් දෙකකින් එම ප්‍රදේශයට ගෙන ගෙනවිත් තිබූ අතර අදාළ නිලධාරීන් ඒවා අසුරා තිබූ කාඩ්බෝඩ් ඇසුරුම් හා පොලිතීන් කවර එම පරිශ්‍රයේ ම ස්ථාන දෙකකදී ගිනි තැබීමට පියවර ගෙන තිබිණ.
එම ගිනිතැබීම් සමග තම නිවෙස්වලට දුමාරය පැමිණෙන බව පවසමින් ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණ ඊට විරෝධය දක්වා දක්වා ඇති අතර පසුව එප්පාවල පොලීසියේ නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ තිබුණේ, ප්‍රදේශවාසීන්ගේ දැනුවත් කිරීම මතයි.
මෙම ස්ථානයේ කසල තේ ගබඩා කිරීමට අවසරයක් දී තිබේදැයි, මෙහිදී පොලිස් නිලධාරීන් එහි සිටි නිලධාරීන්ගෙන් විමසා ඇති අතර එවැනි අවසර පත්‍රයක් ඉදිරිපත් කිරීමට ඔවුන් සමත්ව නොමැත.
කෙසේවෙතත් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා මෙම කසල තේ තොගය රැගෙන ආ බවට අදාළ නිලධාරීන් පොලීසිය හමුවේ පවසා තිබේ.
කෙසේ වෙතත් එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් ගිනි තැබීමට සිය විරෝධය පළ කිරීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් උද්ගත ව ඇති අතර එය සමථයකට පත් කර ඇත්තේ, පොලීසියේ මැදිහත්වීමෙනි.
මේ අවස්ථාවේ අදාළ ස්ථානයේ සිටි පිරිස වෙතින් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගේ නම සඳහන් වෙනු මාධ්‍ය වෙත මුදාහැර ඇති වීඩියෝවල දැක්වෙයි.

හඬ පට සමග රන්ජන් පැන්ඩෝරා වේදිකාවේ !
පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය වූ නිරූපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන අය සම්බන්ධයෙන් තමන් දන්නා තොරතුරු අල්ලස් කොමිසමට ලබාදීමට හැකි යැයි රන්ජන් රාමනායක ගේ නීතිඥයා අල්ලස් කොමිසමේ සභාපතිනිය වන ඊවා වනසුන්දර වෙත ලිඛිතව දැනුම්දීමක් කර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එම පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයට අදාලව රන්ජන් රාමනායක සාක්ෂි ලබාදීමට කැමැත්තෙන් පසුවන බව එහිදී සඳහන් කර ඇත.
අදාළ ලිපිය පහත දැක්වෙයි.

මින්නේරි ගොවීහු පොහොර නැතිව මහ පාරේ......
වී ඇතුළු තම වගාවන් සඳහා අවශ්‍ය පොහොර නොමැති වීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගොවි ජනතාව මේ වනවිට මින්නේරිය නගරයේ දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
ඒ සඳහා ගොවීන් 2000කට අධික පිරිසක් සහභාගී වී සිටින අතර මින්නේරිය නගරයෙන් මඩකලපුව කොළඹ මාර්ගය අවහිර වී තිබේ. රථවාහන ගමනා ගමනයද නතර කර ඇත.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය, කවුඩුලුවැව ගොවි සංවිධානය සහ මින්නේරිය ඒකාබද්ධ රජයේ ගොවි සංවිධාන ඒකාබද්ධව මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.

සියලුම දුරකථන ග්‍රාහකයින්ට Number Portability සඳහා අනුමැතිය
සියලුම දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ (Number Portability) සේවාව සඳහා නීතිමය අනුමැතිය හිමිව ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක පවසයි.
මෙම නීති සම්පාදනයත් සමඟ ඕනෑම දුරකථන ග්‍රාහකයකුට අවශ්‍යතාව අනුව අංකයේ වෙනසකින් තොරව දුරකථන ජාලය වෙනස් කිරීමේ අවස්ථාව ලැබෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියයි.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.

රිෂාඩ්ට ඇප ලැබෙයි !
මාස 06 කට වැඩි කාලයක් බන්ධනාගාර ගතකර තබාගෙන සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝගකර ඇත.
කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද මෙම ඇප නියෝගය නිකුත්කර සිටියේ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ සෑම සති දෙකකට ම වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටීමේ කොන්දේසි මතය.
මීට අමතරව රිෂාඩ් බදියුදීන්ගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගන්නා ලෙස නියෝග කර ඇති අතර විදෙස් ගමන් තහනමක් ද පනවා ඇත.
පාස්කු බෝම්බ ප්‍රහාරය සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍යවරයාව අත්‌අඩංගුවට ගනු ලැබිණ.

ගෑස් මිල යළිත් වැඩිකරන සූදානමක් !
ගෑස් මිල නැවත වතාවක් කෙටි කාලයකින් ඉහළ දැමීමට සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කර ඇති බව වාර්තා වෙයි.
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පෙන්වා දෙන්නේ එසේ මිල ඉහළ නොදැම්මොත් ගෝලීය වෙළෙඳපොළ තුළ ස්ථාවර පැවතීමට අසීරු බවයි.
ඉදිරියේදී ගෑස් මිල අඩු කරන්නේ යයි ජනතාවට බොරු පොරොන්දු දීමට අවශ්‍ය නැති බවද පවසන ඔහු ගෑස්මිල ස්ථිර මිලක් යටතට ගෙන ඒමට තමන් අවශ්‍ය කටයුතු කරන බවද පැවසීය.
ඉදිරියේදී ගෑස් මිල පිළිබඳව ස්ථිරසාර වැඩපිළිවෙළක් සැලසුම් කරන බවත් මිල නිශ්චිත කාලයක් පවත්වා ගැනීමටත් මිල පහත දැමීමට හැකි වන විධිමත් කළමණාකරණයට යොමුවීමටත් අදාළ කරුණු ගැන අවධානය යොමු කරන බවත් ඔහු පැවසීය.
මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් පවතින තත්ත්වයන් ජනතාවට සැඟව යුත්තක් නොවන බවත් එසේ සැඟවීම නිසා ලංකාවේ උද්ගතවන ආර්ථික ප්‍රශ්න දේශපාලනීකරණයට හසුකරගැනීම බැලීමෙන් ජනතාව මුලා වන බවත් ඔහු පෙන්වා දෙයි.
එනිසා උගත් බුද්ධිමත් ජනතාවක් මෙරට ආර්ථිකය පිළිබඳ සවිඥානකව තේරුම් ගැනීම ඉතා වටිනා බව ද ඔහු කියා සිටියේය.
මේ අතර ලාෆ් ගෑස් සමාගමේ සභාපතිවරයා සඳහන් කරන්නේ ගෑස් සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීම උචිත බවයි.
ආසන්න කාල සීමාවේදී ලෝක වෙලදපලේ ගැස් මිල විශාල වශයෙන් ඉහල ගොස් ඇති බවත් ඉදිරි ශීත කාලය හා ගෝලීය වසංගත තත්වය මත තව දුරටත් මිල ඉහල යාමක් අපේක්‍ෂා කල හැකි බවත් ඔහු පැවසීය.
සමාගම් දෙකේම සභාපතිවරුන් පවසන්නේ මෑතකදී සිදු කරන ලද මිල වැඩි කිරීම නිසා අලාභය පියවුනා පමණක් මිස සමාගම් ලාබයක් නොලබන බවයි.

ක්‍රිකට් කතා රෝහිත ප්‍රතිකේෂ්ප කරයි !
තමන් ක්‍රිකට් පරිපාලනයට පැමිණීමට සූදානමින් සිටින බව සහ එල්.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීමට සිටින බවටත් පළවූ පුවත් අසත්‍ය බව නිවේදනයක් නිකුත් කරමින් රෝහිත රාජපක්ෂ සදහන් කරයි.
රෝහිත රාජපක්ෂ නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය.
විශ්වාසදායක ප්‍රවෘත්ති ආයතන බොහොමයක් මගේ නම සඳහන් කරමින් සහ රටේ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීමට සූදානමින් සිටින බවට සඳහන් කර තිබෙනු දැකීමෙන් මම දැඩි කලකිරීමට පත්විය. එළඹෙන එල්පීඑල් හි ක්‍රීඩා කිරීමට මම බලාපොරොත්තු වන බව සමහර ප්‍රවෘත්ති වෙබ් අඩවි ද පවසා ඇත.
මට ක්‍රිකට් පරිපාලනය සමඟ සම්බන්ධ වීමට අදහසක් නැති අතර එල්පීඑල් සඳහා ක්‍රීඩා කිරීමේ අදහසක් ද නැත.
මම කිසියම් ක්‍රීඩාවක් කරනවා නම් මම මගේ 100% ක් ලබා දෙන අතර ඒ මම ක්‍රීඩාවට කැමති නිසා පමණි. මම මේ මස 30 සහ 31 දෙදින රග්බි සත් සාමාජික තරඟාවලිය සඳහා දැනට සූදානම් වන අතර දැනට මම අපේ පැරණි තෝමියන් කණ්ඩායම සමඟ ක්‍රිකට් ක්‍රීඩා කරමි.
මෙම තොරතුරු ප්‍රකාශයට පත් කළ මාධ්‍ය මා සම්බන්ධ කර නොගැනීම ගැන මම බෙහෙවින් කලකිරීමට පත්වන අතර ව්‍යාජ ප්‍රවෘත්ති ගෙන එන අයගෙන් ඒ අයගේ ගෞරවය ගැන වැඩි අවධානයක් යොමු කරන ලෙස මම අවධාරණය කරමි.
රෝහිත රාජපක්ෂ

තවත් කොරෝනා මරණ 31 ක් :සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,408 ක් දක්වා ඉහළට
තවත් කොරෝනා මරණ 31 ක් අද (13) වාර්තා කිරීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,408 ක් දක්වා ඉහළ ගියේ ය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 20 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 11 දෙනා කාන්තාවන් ය.
වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 8 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 23 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
අද (13) වාර්තා කරන ලද මෙම මරණ 31 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

ඇමතිලා 8 යි : ඌවේ ගොවිතැන් විනාශයි - හිටපු ආණ්ඩුකාර
"මහියංගන, රිදීමාලියද්දේ, ඌරණිය, අදාඋල්පත, ගිරාදුරුකෝට්ටේ ගොවියෝ වගා කරන්න සුදානමක්වත් නෑ. වල් නාශක නැතුව, පොහොර ගැන කථා කරනවා. පොහොර දුන්නත් වල් නාශක, කෘමි නාශක නැතුව පහළ ඌවේ වගා කරන්න බැරි බව මේ කෘෂිකර්මට සම්බන්ධ ඇමතිලා 8 න් එකේකෙනෙක් දන්නේ නෑ." යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
රිදීමාලියද්දේ සිට මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ආණ්ඩුකාරවරයා මේ අදහස් දක්වා ඇති අතර වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.
සීත කාමරවල ඉදන් කියන එකම කතාවක්වත් මොණරාගල, බිබිල, නාමල්ගම, බුත්තලට ඇවිත් කියන්න ඔය එක ඇමති කෙනෙකුටවත් බෑ.
ලංකා ඉතිහාසයේ කිසිම දවසක මේ වගේ කෘෂිකර්මය ගැන හැඟීමක් නැති ආණ්ඩුවක් බිහි වෙලා නෑ. හිටපු කෘෂිකර්ම ඇමති කෘෂිකර්ම උපාධිධාරියෙක්. සී.පී. ද සිල්වා ට කියන්නේ මින්නේරිය දෙයියෝ කියලා. පිලිප් ගුණවර්ධන තමයි කෘෂිකර්ම පර්යේෂණ දියුණු කළේ. පැය දෙනෙක් රහංගල ගොවිපල රජයට අරගෙන කරලා පෙන්නුවා. එම්.ඩී.බණ්ඩා දක්ෂයෙක් විතරක් නෙවෙයි කුඹුරට බැහැලා වැඩ කරපු ගොවියෙක්. ගාමිණී දිසානායක මහවැලිය හදලා රට අස්වද්දලා, කෘෂිකර්මය ව්‍යාපාරයක් විදිහට දියුණු කරපු ප්‍රඥයෙක් වෙච්ච කෘෂිකර්ම ඇමති.
මහ කන්නයට බෙහෙත් පොහොර දෙන්න බැරුව රටම සාගතයකට යවනවා. උඡාරුවට කියනවා වසංගතයකින් පස්සේ සාගතයක් එනවා ලු. සාගතයක් එනවා නෙවෙයි සාගතයක් ගෙන්නා ගන්න හදනවා. කොරෝනාවට බෙහෙත් - පොහොර තහනම සම්න්ධයක් නෑ. බෙහොත් පොහොර තහනම් කළේ හොරකං කරන්න. ගජ මිතුරන්ට බිස්නස් හදලා දෙන්න. චීන අශුචි ටික ලංකාවේ හලලා මඩිය තර කර ගන්න.

කරන්නාගොඩගේ අධිචෝදනා ඉවත්කර ගැනීමට එරෙහිව පෙත්සමක් !
අද්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එරෙහි චෝදනා ඉවත් කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණය බල රහිත කරන්නැයි, ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කර තිබේ. එම පෙත්සම ගොනු කරනු ලැබ ඇත්තේ, අතුරුදන් වූ දරුවන්ගේ ඥාතීන් 04 දෙනෙකු විසිනි.
2008 / 2009 වසරවලදී කොළඹ දී සුදු වෑන් භාවිත කරමින් තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු නාවික හමුදාපති අද්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්න කරන්නාගොඩ මහතාට එරෙහි අධිචෝදනා තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොයන බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ ය.
එම විත්තිකරු ඇතුළු සෙසු විත්තිකරුවන් 13 දෙනාට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා සම්බන්ධයෙන් පවතින සාක්ෂි නැවත අධ්‍යයනය කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ යූහාන් අබේවික්‍රම මහතා අධිකරණය හමුවේ පැවසී ය.
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩි. කේ. පී. දසනායක මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරනු ලැබුවේ සාක්ෂි නිසි ලෙස අධ්‍යයන කිරීමෙන් අනතුරුව නොවේදැයි කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නීතිපතිවරයාගෙන් විමසා සිටියේ ය.
නඩුව ලබන දෙසැම්බර් මස 03 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
(News 1st )

කටුනායක ගුවන් තොටුපළ PCR පරීක්ෂණාගාරය වැහුවේ ඇයි ?
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ ස්ථාපිත කළ PCR පරීක්ෂණාගාරය වසා දමා ඇත්තේ හෝටල් නිරෝධායන ගජමිතුරන්ට වාසි සැලසීමටද යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල ප්‍රශ්න කරයි.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ඇමරිකානු ඩොලර් මිලියන 6 ක් , නැත්නම් රුපියල් ලක්ෂ 7000ක් පමණ වියදම් කර ඉදිකර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විවෘත කර පැය 24ක් ඉක්මයන තැන PCR පරීක්ෂණාගාරය වසා දැමුණු බවත් මන්ත්‍රීවරයා සිහිපත් කළේය.
මෙම PCR පරීක්ෂණාගාරයේ වැදගත්කම සිහිපත් කළ මන්ත්‍රීවරයා ඒ හරහා විදේශ ගතව සිට මෙරටට පැමිණෙන්නන්ට වගේම විදෙස් සංචාරකයන් පැය කිහිපයක් තුළ පරීක්ෂා කර ගැනීම් සිදුකර ගැනීමට අවස්ථාව තිබූ බවත් පැවසීය.
නමුත් දැන් එය වසා දමා ඇති බැවින් යළිත් හෝටල් නිරෝධායන මාෆියාව ක්‍රියාත්මකවීමක් සිදුව ඇති බවත් පෙන්වා දුන්නේය.
එසේම මාධ්‍ය මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලබාදුන් පිළිතුර පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවත් ඔහු පැවසීය.

අසාද් සාලි මහාධිකරණයට ගෙනෙන්න නියෝගයක් !
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි එළැඹෙන 25 වනදා කොළඹ මහාධිකරණය අද (13) නියෝගකර ඇත.
විනිසුරු අමල් රණරාජා විසින් මේ නියෝගය නිකුත්කර ඇත්තේ බන්ධනාගාර බලධාරීන් වෙතයි.
එසේම මෙම නියෝගය ලබා දුන්නේ පසුගිය මාර්තු 09 වැනිදා මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශයකට එරෙහිව නීතිපතිවරයා විසින් අසාද් සාලිට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබු නඩුව මෝසමක් මගින් කැඳවමින් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කළ ඉල්ලීමකට අනුවය.

මහින්ද පුත් රෝහිත ක්‍රිකට් පිටියට !
අගමැති මහින්ද රාජපක්ෂගේ බාල පුත‍්‍රයා වන රෝහිත රාජපක්ෂ මේ වන විට කි‍්‍රකට් ක‍්‍රීඩාවට අවතීර්ණ වී ඇති බව ක‍්‍රිකට්ඒජ් වෙබ් අඩවිය වාර්තා කරයි.
ඊට අනුව ඉදිරියේ පැවැත්වෙන දේශීය පන්දු වාර 50 එක්දින තරගාවලිය සදහා එක්වීම සඳහා ඔහු මේ වන විට පුහුණුවීම්වලට එක්ව ඇත.
රෝහිත රාජපක්ෂ අද (13) දිනයේ දී කළුතර ක‍්‍රිකට් සංගමය සමග පුහුණු තරගයකට සහභාගී වෙමින් සිටින බවත් වාර්තා වෙයි.
පන්දු වාර පනහේ දේශීය එක්දින තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් මාසයේ 27 වනදාය.

කන්න රැස්වීම් නැති හේතුව මන්ත්‍රීනි රෝහිණී හෙළිකරයි !
මහ කන්නය දැනටමත් ආරම්භ වී ඇති නමුත්, ලංකාවේ ගොවිබිම්වලින් භාගයකවත් තවම කන්න රැස්වීම් පවත්වා නැතයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න පවසයි.
මහාපරිමාන වාරි කර්මාන්තවල කන්න රැස්වීම ප්‍රාදේශීය ලේකම්වරුන් ගේ මුලිකත්වයෙන් පැවැත්විය යුතුයි. කුඩා රැස්වීම් පැවැත්වීමේ පිළිගත් ක්‍රමවේදයක්, සාම්ප්‍රදායක් තියෙනවා. මහ කන්නයේ කන්න රැස්වීම්වලින් භාගයක්වත් තවම පවත්තලා නෑ. ආණ්ඩුවේ තීරණ නිසා, රාජ්‍ය නිලධාරීන් ගොවීන් ලඟට යන්න බයයි. නිසා රැස්වීම් තියන්නේ නැතිව මඟහරිනවා යැයි කවිරත්න මහත්මිය පැවසූවේ රත්තොට පැවති ගොවි සංවිධාන රැස්වීමක් අමතමිනි.
බඩ ඉරිඟු වගාවට පොහොර දෙනවා කියලා රාජ්‍ය ඇමතිකෙනෙක් ඊයේ කියලා තිබුණා. ඒ ඇමති දන්නේ නෑ බඩ ඉරිඟු වගාවට පොහොරවලට කලින් වල් නාශක ඕනි කියලා.
කෘෂිකර්මයට සම්බන්ධ ඇමතිවරු 9 දෙනෙක් ඉන්නවා. ඒ කාටවත් ගොවියෝ අතරට ගිහින් රැස්වීමක් තියන්න බෑ. දැන් මේ අය වගා කරන්නේ මහ පොළොවේ නෙවෙයි, අන්තර් ජාලයේ. දේශපාලනයෝ විතරක් නෙවෙයි, රාජ්‍ය නිලධාරීන්ටවත් ගොවියෝ ලඟට යන්න බෑ. හැම කන්න රැස්වීමක්ම අවසන් වුණේ ආරවුලකින්. ආණ්ඩුවේ වැරදිවලට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ, අසරණවෙලා තියෙන්නේ රාජ්‍ය නිලධාරීන්.
දැනට වගා කරලා තියෙන බිම්වලට අවශ්‍ය කෘෂි රසායන ටික දෙන්නේ නැතිව ගමක ගොවි රැස්වීමක් තියන්න බෑ. යන යන තැන ගොවියෝ උද්ඝෝෂණ කරන නිසා රාජ්‍ය නිලධාරීන් රැස්වීම්වලට යන්නේ නෑ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් නිසි මඟ පෙන්වීමක් නැතිව අන්ත අසරණ වෙලා. අහන කිසිම ප්‍රශ්ණයකට උත්තරයක් නෑ. මාතලේ ගොවියෝ රැසක් වී ගොවිතැනින් ඉවත්වෙලා, බතල හදනවා. ඒ බෙහෙත් පොහොර ඕනි නැති නිසා.
අද ඉදලා කාබනික පොහොර බෙදනවා කියලා අණ බෙර ගහනවා. ලංකාවේ සමස්ථ පොහොර අවශ්‍යතාවයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කරලා තියෙන්නේ 2% යි. ගොවියා රවට්ටන්න ගිහින් දැන් රටම රැවටිලා තියෙන්නේ.
– media unit

ඇමති චමල් ගොවියාගේ වගකීම ගොවියාට සිහිපත් කරදෙයි !
රටට අවශ්‍ය ආහාර සැපයීම ගොවියන්ගේ වගකීමක් බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ සඳහන් කරයි.
රජය ගොවි ජනතාව සහ කර්මාන්තය සඳහා විශාල මුදලක් වියදම් කර ඇති නිසා රටට ආහාර සැපයීම ගොවියාගේ වගකීමක් වී ඇති බව ද ඔහු පැවසීය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මහවැලි කේන්ද්‍රයේදී පැවැති උත්සව සභාවක් අමතමිනි.
ගොවීන්ගෙ විශ්වාසය දිනා ගැනීමට ඔවුන් දැනුවත් කළ යුතු බවද කී ඔහු අස්වැන්න අඩු වුවහොත් ඔවුන්ට සහනයක් ලබා දෙන බවට ගොවීන් තුළ විශ්වාසයක් ඇති කළ යුතු යැයිද සඳහන් කළේය.
ඇතැමුන්ගේ පෙළඹවීම් මත නොමග ගිය ගොවීන් පිරිසක් ද සිටින බවත් ඇතැමුන් වගා නොකරන බවට පවා ප්‍රකාශ සිදු කරන බවත් ඇමතිවරයා එහිදී තව දුරටත් කියා සිටියේය

ගුරු – විදුහල්පති වර්ජනය තවදුරටත්......
ගුරු වැටුප් වැඩිවීම එකවර ලබාදෙන ලෙස ඉල්ලමින් වර්ජනය ඉදිරියට ගෙනයාමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (13) තීරණය කළේ ය.
ඔන්ලයින් වර්ජනයේ නිරත ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්විණ.
සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි ගුරු, විදුහල්පති සංගම් කියා සිටියේ වැටුප් ගැටලුවට රජය ලබාදෙන විසඳුම පිළිගන්නේ ද යන්න පිළිබඳව අද තීරණය කරන බවයි.
ඒ අනුව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද තීරණය කර ඇත්තේ, වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කිරීමටයි.
ගුරු, විදුහල්පති සංගම් පැය තුනහමාරකට අධික කාලයක් අග්‍රාමාත්‍යවරයා සමග ඊයේ සාකච්ඡා කර තිබූ අතර ගුරු – විදුහල්පති වැටුප් විෂමතා විසඳීම සඳහා පත්කළ කැබිනට් අනුකාරක සභාවේ සමාජිකයෝ ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

කරන්නාගොඩට එරෙහි අධි චෝදනා ඉවත් කරගෙන !
හිටපු නාවික හමුදාපති වසන්ත කකරන්නාගොඩට එරෙහි අධි චෝදනා තවදුරටත් පවත්වාගෙන නොයන බවට නීතිපතිවරයා අද (13) අධිකරණයට දැනුම්දි ඇත.
2008 / 2009 වසරවලදී කොළඹ දී සුදු වෑන් භාවිත කරමින් තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු චෝදනා යටතේ කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබේ.
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අභියාචනාධිකරණය හමුවට ගොනු කර තිබූ පෙත්සමක් අද දින සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ආචාර්ය අවන්ති ද පෙරේරා ඒ බව අධිකරණයට දැනුම් දී ඇත.
Page 414 of 462