V2025

පුවත්

මෙරට පැතිරෙන ඩෙල්ටා ප්‍රභේදය AY.28 ලෙස නම් කෙරේ

මෙරට තුළ පැතිර යන ඩෙල්ටා අනුප්‍රභේදය නිල වශයෙන් නම් කර තිබේ.

ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනෙයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර  ටිව්ටර් පණිඩියක් නිකුත් කරමින් ඒ පිළිබද කියා සිටී.

මේ අනුව එම අනු ප්‍රභේදය හඳුන්වා ඇති නිල නාමය AY28 බවද හෙතෙම සඳහන් කළේය.

ඩෙල්ටා සැර කොරෝනා වයිරසයේ මෙම අණු ප්‍රභේදය මුලින්ම හඳුනා ගනු ලැබූවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය විසිනි.

එසේම මෙම ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ ජාන විකෘතිය හැඳින්වෙන්නේ 701එස් ලෙස යැයිද වෛද්‍ය ජීවන්දර  ප්‍රකාශ කළේය.

මෙම අනු ප්‍රභේදය සහිත සාම්පල 382ක් ලෝකයේ විවිධ රටවලින් හමුවී ඇතත් ඉන් 228ක්ම ශ්‍රී ලංකාවෙන් හමුවීම විශේෂත්වයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය කළ පරීක්ෂණවලට අනුව මේ රටේ පැතිර යන වයිරසවලින් 95 වැඩි ප්‍රමාණයක් ඩෙල්ටාය.

යුරෝපා කොමිසමේ නියෝජිතයන් 27 එයි : GSP + සඳහා විශේෂයි !

GSP + බදු සහනය ලබා දීමට අදාල ජාත්‍යන්තර සම්මුතීන්ට යටත්ව ශ‍්‍රී ලංකාව කටයුතු කරමින් සිටින්නේ ද යන්න විමර්ෂණය කිරීම සදහා යුරෝපා සංගමයේ විශේෂ නියෝජිත පිරිසක් හෙට (27) මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

ජී.එස්.පී බදු සහන ලබන රටවල් නිරීක්ෂණය කිරීම සදහා සෑම දෙවසරකටම වරක් සිදුවන්නක් වන අතර එය සාමාන්‍යයෙන් සිදුකරන කටයුත්තකි.

නමුත් මෙවර යුරෝපා සංගම් නියෝජිතයන් මෙරට සංචරය කරන්නේ යුරෝපා පාර්ලිමේන්තුව විසින්, මෙරටට එරෙහිව යෝජනාවක් සම්මත කර ගැනීමෙන් පසුව පළමු වතාවටය.

2021 මාර්තුමාසයේ දී ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, ජාතික ආරක්ෂාව වෙනුවෙන් යැයි පවසමින් සංවිධාන 11 ක් තහනම් කිරීම සහ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන තිබෙන පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් නොකර දීර්ඝ කාලයක් රදවා තබා ගැනීම යුරෝපා සංගමයේ අවධානයට ලක්ව තිබුණි.

බැසිල් සමග ශ්‍රීලනිප මන්ත්‍රී සාකච්ඡාව අවලංගුයිලු !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පැවැත්වීමට සැලසුම් කර තිබුණු සාකච්ඡාවක් අවලංගු කර ඇති බව වාර්තා වෙයි.

විමල් වීරවංශ අමාත්‍යවරයාට හිතවත් ජාතික සංවිධාන එකමුතුව ඇතුළු පාර්ශ්ව වෙත සහය දක්වන ලීඩ් නිව්ස් වෙබ් අඩවිය මේ බව වාර්තා කර ඇත.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

මෙම රැස්වීම් සාකච්ඡාව පැත්වීමට සූදානම් කර තිබුණේ පැජට් පාරේ පිහිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී ඊයේ (25) පස්වරුවේ ය.

නමුත් එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම නොපැමිණීම හේතුවෙන් එය අවලංගු කිරීමට කටයුතු කර තිබේ.

යුගදනවි බලාගාර ඇමරිකාවට ලබා දීමට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත්තේ අග්‍රාමාත්‍යවරයා සමග කළ සාකච්චාවෙන් පසු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා ගැනීමයි.

යුගදනවු බලාගාර ගිවිසුමට පක්‍ෂයක් ලෙස විරෝධය පල කරන බව එම පක්‍ෂය විසින් මෑතකදී දන්වනු ලැබීය.

රාජ්‍ය ඇමතිගේ යට ඇඳුම් හැර අනෙක් සියල්ල ජනතා මුදලින් !

පශු සම්පත් රාජ්‍ය ඇමති ඩී.බී හේරත් මහජන මුදලින් පෞද්ගලික පරිහරණය සඳහා ලක්ෂ ගණනක ගෘහ භාණ්ඩ සහ උපකරන රැසක් ලබාගෙන ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න හෙළිකරයි.

මෙම කරුණු හෙළිකරනු ලැබූවේ අද (26) පෙරවරුවේ ලිඛිත සාක්ෂි සහිතව මාධ්‍ය හමුවක් පවත්වමිනි.

එහිදී මිලදී ගෙන නොමැත්තේ ඇමැතිගේ යට ඇදුම පමණක් බවද ඔහු පැවසීය.

මෙම තත්ත්වය අනාවරණය වීමත් සමග අදාළ ගනුදෙනුව නීත්‍යානුකූල කර ගැනීම සදහා කටයුතු සිදුවෙමින් පවතින බවද නාමල් කරුණාරත්න කීය.

පශු සම්පත් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෙත ඩී.බී හේරත් ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම් ධම්මික රත්නායක විසින් ගෘහ උපකරණ සහ භාණ්ඩ 48ක ලේඛනයක් ඉදිරිපත් කර ඇත.

එයින් කොටසක් මේ වනවිට රාජ්‍ය අමාත්‍යවරයාගේ නිල නිවසට ලබාගෙන ඇත. කොළඹ 07 පිහිටි එම නිල නිවස අලුත්වැඩියා කිරීමට රුපියල් ලක්ෂ 50ක් වැය කර ඇති බවද එම මාධ්‍ය හමුවේදී හෙළි කරනු ලැබීය.

මෙම මාධ්‍ය හමුව සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික කමිටු සාමාජික සන්ජීව කරුණාසාගර, වාරියපොල ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුජීව දිසානායක යන අයද එක්වී සිටියහ.

D.B Herath 20219.09.26 1

D.B Herath 20219.09.26 2

රාත්‍රී ඇඳිරි නීතිය දිගටම !

ඔක්තොම්බර් 01 වනදා සිට දැනට ක්‍රියාත්මක සීමාවන් ඉවත් කිරීමත් කළ ද රාත්‍රී කාලයේ නිරෝධාන ඇඳිරි නීතිය පැනවීමට රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වෙයි.

ආණ්ඩු හිතවාදී සමාජ මාධ්‍ය වෙබ් අඩවි පවසන්නේ රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා එම ඇඳිරි නීතිය පැනවීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග පැවසූ බවය.

එමෙන්ම එදින සිට බලපැවැත්වෙන පරිදි නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට නියමිතව ඇති බවත් සමූහ වශයෙන් ජනතාව එක්රැස් වීම දැඩි සීමා සීමා කරමින් මෙම මාර්ගඋපදේශ මාලාව නිකුත් කරනු ඇති බවත් අදාළ පුවතේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මන්ත්‍රී චන්දිමටත් කොරෝනා

තමාට කොවිඩ් -19 වයිරසය ආසාදනයවී ඇති බව  පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසයි.

රෝග ලක්ෂණ කිහිපයක් මතුවීමත් සමගම ඊයේ(25) රාත්‍රී 9.30ට පමණ කරාපිටිය ශික්ෂණ රෝහලෙන් සිදු කළ ඇන්ජන් පරීක්ෂාවකින් මේ බව තහවුරුවූ බවද ඔහු පැවසීය.

දැන් තමා හික්කඩුවේ පෞද්ගලික හෝටලයක නීරෝධායනය වෙමින් සිටින බවද මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පැවසීය.

ඖෂධ නියාමන අධිකාරියේ ගැටළුව දේශපාලන පක්ෂ ගැටුමකට යට කරන්න දෙන්න බෑ !

ඖෂධ නියාමන අධිකාරියේ ගැටළුව දේශපාලන පක්ෂ ගැටලුවක් හෝ ගැටුමක් නොවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම හොරකමක ඇතර මැද අවස්ථාවක් බවත් එය පක්ෂ දේශපාලන ප්‍රශ්නයකට මැදි කර යට ගැසීමට ඉඩ නොදිය යුතු බවත් ඔහු පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මේ බව සඳහන් කළ අතර තමන්ට ඇත්තේ වැඩියෙන් හොරකම් කලේ කොයි ඇමතිද කියන ප්‍රශ්නය නොවන බවත් හොරකම් නවත්වන්න හදපු නියාමන අධිකාරිය හොරකම් වලට චෝදනා ලැබීම බවත් පැවසීය.

ඔහු එය උපමා කර සිටියේ පොලිසිය හොරකම් කරන තත්ත්වයකටය.

"ඒක හරියට පොලිසිය රෑට රෑට ගෙවල් වලට පනිනවා වගේ එකක්. පොලිසිය පාරේ යන අයගේ මාල කාඩාගෙන දුවනවා වගේ වැඩක්

එන්නතෙහි අවශ්‍යතාවයට මුවා වෙලා අධික මුදලකට මිලදී ගැනීමේ මාෆියාවක් තිබෙනවා." යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පැවසීය.

තවත් කොරෝනා මරණ 79 ක් !

තවත් කොරෝනා මරණ 79ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ඊයේ (24) දිනට අදාළව තහවුරු කර ඇති අතර ඊට අදාළ නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (25) නිකුත්කර ඇත.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 12609 දක්වා ඉහල ගොස් ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 41 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 38 දෙනා කාන්තාවන් ය.

මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍ 22 දෙනෙකු සිටින අතර ඉතිරි 57 ම, වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

530b81d4 index 725x1024

රට එකවර විවෘත කිරීම අනතුරුදායකයි - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ හා කොරෝනා මරණ සංඛ්‍යාව අඩු වැඩි වුවද තවමත් මෙරට කොරෝනා ආසාදනය පැතිරීමේ අවදානම අඩු වී නැති නිසා ජනතාව තවදුරටත් කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් ඒ ආකාරයෙන්ම අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවත් රට එකවර විවෘත කිරීම බෙහෙවින් අනතුරුදායක බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

රට නැවත විවෘත කළ යුත්තේ පියවරෙන් පියවර ක්‍රමානුකූලව බවත් ඒ ආකාරයට රට විවෘත කිරීමෙන් ප්‍රශ්නය කළමනාකරණය කර ගත හැකි වනු ඇති බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත වන්නන්ද සෞඛ්‍ය පිළිවෙත් නිසි ලෙස පිළිපැදිය යුතු බවත් නිකුත් කර ඇති සෞඛ්‍ය මර්ගොපදේශ මාලාවන්ට අනුකූලව සිය කටයුතු පවත්වාගෙන යා යුතු බවත් ඔහු සඳහන් කරයි.

සෑම විටම පොදු ස්ථානවලට යෑමේදී නාසය හා මුඛය ආවරණය වන සේ මුහුණු ආවරණය නිසි පරිදි පැළඳීම, එකිනෙකා අතර මීටර් 2ක දුරස්ථභාවයක් පවත්වාගැනීම මෙන්ම සබන් හෝ විෂබීජනාශක දියරයක් (සැනිටයිසර්) යොදාගෙන හොඳින් දැත් සෝදා ගැනීම යන පිළිවෙත් නිරතුරුව අනුගමනය කිරීමට ජනතාව මෙහිදී කටයුතු කළ යුතු බවද වෛද්‍ය හේරත් පවසයි.

සුබෝධනී වාර්තාවට අනුව වැටුප් වැඩි කරන්න බෑ - අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්

සුබෝධනී කමිටු වාර්තාවේ සදහන් පරිදි ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට වැටුප් වැඩි කිරීම සිදු කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.

ඉදිරි අය වැය ලේඛනයෙන් ගුරු විදුහල්පති වැටුප් සම්බන්ධ තීරණ නිකුත් කරන තුරු ලැබී ඇති රු. 5000.00 දීමනාව ලබාගෙන යළි සේවයට වාර්තා කරන ලෙස ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් පැවසීය.

 

පාසල් විවෘත කිරීමට පෙර වැටුප් ගැටලුවට විසඳුම් දෙන්න - වෘත්තීය සමිති සන්ධානය

සෞන්දර්යය විෂයන්ගේ ප්‍රතිඵල නිකුත් කිරීමකින් තොරව ඊයේ දිනයේ දී සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කර තිබෙන අතර සෞන්දර්ය විෂයන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ පාසල් ආරම්භ කිරීමෙන් පසු පවත්වන බවට අධ්‍යාපන අමාත්‍යංශය මේ වන විට ප්‍රකාශ කර තිබෙන හෙයින් ඊට ප්‍රථම ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නයට විසඳුම දිය යුතුව ඇති බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින්  පැවසුවේය.

ඒ, අද (24) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

එම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ගුරුවරු සහභාගී වීම අනිවාර්ය කාරණයක් වන හෙයින් එම පරීක්ෂණවලට පෙර මෙම වැටුප් ගැටලුව විසඳිය යුතු බවයි ස්ටාලින්  අවධාරණය කළේය.

මෙම ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ජාවක් ඉල්ලා තිබුණද ආණ්ඩුව තවදුරටත් එය මඟහරිමින් තිබෙන බවයි ඔහු පැවසුවේය.

ආණ්ඩුවේ හැසිරීම මෙලෙස නම් ඊට සෙසු වෘත්තීය සමිති සමඟද එක්ව පොදු විරෝධයක් හරහා පිළිතුරු දීමට සූදානම් බවද ඔහු සඳහන් කළේය.=

එමෙන්ම යළි පාසැල් විවෘත කිරීමට ප්‍රථමව ද මෙම වැටුප් ගැටලුව විසඳිය යුතු වන අතර එසේ නොවුණහොත් ගුරු විදුහල්පතිවරු පාසල් වෙත වාර්තා නොකිරීමට කටයුතු කරන අතර ඒ ගැන සාකච්ජා කර තීරණයක් ගන්නා බව ද  ඔහු පැවසුවේය.

මෙම සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට ප්‍රමාද වූයේ ගුරු විදුහල්පති වැඩවර්ජනය නිසා බවට පසුගිය දිනවල රජයේ පාර්ශවයෙන් පැවසුවද මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර තිබෙන නිවේදනයේ දැක්වෙන්නේ කොවිඩ් 19 තත්ත්වය මත ප්‍රතිඵල නිකුත් කිරීමට ප්‍රමාද වූ බවට වන අතර, මෙතෙක් කල් ගුරුවරුන්ට එල්ල කළ චෝදනාව පසෙක තබා ඇත්ත පිළිගැනීම ගැන සතුටු වන බවද ස්ටාලින් මෙහිදී කියා සිටියේය.

අදියර 04ක් යටතේ පාසල් විවෘත කිරීමට පියවර

පාසල් යළි ආරම්භ කිරීම අදියර 04ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයා උපදෙස් දී ඇති බවත් එහි පළමු අදියර ඔස්සේ ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල්වල 1 – 5 ශ්‍රේණි ඉතා ඉක්මනින් ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

“සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරල්තුමා අපිට අදියර 4කින් පාසල් ආරම්භ කරන්නට උපදෙස් දීලා තිබෙනවා. ඊයේ දිනයේ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා සියලුම ආණ්ඩුකාරතුමන්ලා කැඳවලා ඒ අනුව කටයුතු කරමින් ලංකාවේ තිබෙන සම්පූර්ණ සමස්ත පාසලක සිටින ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල් තිබෙනවා 3,884ක්. 200ට අඩු ඉන්නවා 5,131ක්. එතකොට ලංකාවේ තියෙන පාසල් 10,155න් 1 – 5 ශ්‍රේණි පමණක් තිබෙන පාසල් තිබෙනවා 3,884ක්. එතකොට මේ පාසල් සියල්ලම අපිට ආරමභ කරන්න පුළුවන් කියන විශ්වාසය සියලුම පළාත් ආණ්ඩුකාරවරුන් ලබා දුන්නා ඇමතිතුමාට.”

එවැනි පාසල් තුළ ළමුන්ට ආරක්ෂිතව අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාම සඳහා අවශ්‍ය පරිසරය පවතිනවා ද? යන්න සම්බන්ධයෙන් මේ වනවිටත් අදාළ පළාත්, කලාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් අද දින සිට නිරීක්ෂණය කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

“ඒ අනුව කටයුතු කරමින් ඔවුන් අද දිනයේ සිට පළාත් අධ්‍යක්ෂකවරුන් 09 දෙනා, කලාප අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස අධ්‍යක්ෂවරුන් සමග එකතු වී භෞතිකව නිරීක්ෂණයක යෙදෙනවා දරුවා ආරක්ෂිතව පාසල තුළ රඳවා තබාගැනීම සඳහා සුදුසු ද? කියන එක ඔවුන්ගේ ඇසෙන් ම දැකගන්න. ඊට අමතරව ලබන සතිය ඇතුළත අමාත්‍යතුමා දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන්, ප්‍රාදේශිය සංවර්ධන කමිටු සභාපතිවරුන් කැඳවලා ඔවුන්ගෙත් සහය ලබාගන්නවා.”

S 01

S 02

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උපදේශක තනතුර මහේලට

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු සහ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයා ලෙස පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මෙම පත්වීමත් සමඟ ජයවර්ධන එළඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ කටයුතු කිරීමට නියමිතය.

මහේල ජයවර්ධන  මේ වන විට ක්‍රීඩා සහභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.

කොරෝනා මරණ සංඛ්‍යාව 12,530 ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 82 ක් තහවුරු කරනු ලැබීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 12,530 ක් දක්වා ඉහළ ගියේ ය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 51 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 31 දෙනා කාන්තාවන් ය.

මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍ 21දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 61 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (24) වාර්තා කරන ලද මෙම මරණ 82 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

8a305339 index

ආණ්ඩුව විරුද්ධවාදීන් දඩයමේ : CID යන ගමන් චම්පික කියයි !

පාස්කු කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදුන් පුද්ගලයකු ලෙස එම සාක්ෂි එලියට පැමිණීමේදී ආණ්ඩුවට කට උත්තර නැති වී දේශපාලන දඩයම් කිරීමට අරඹා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ මෙසේ සඳහන් කර සිටියේ අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබු කැඳවීමකට අනුව එහි පැමිණි අවස්ථාවේ ය.

තමන් මහානගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුකළ ප්‍රවර්ධන වැඩසටහනක්, මූල්‍ය අවභාවිතාවක් බව කියා ඒ සම්බන්ධව සිදුකෙරෙන පරීක්ෂණයක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව අමාත්‍යවරයා පවසයි.

හිටපු නීතිපතිවරයා පාස්කු දින ප්‍රහාරයේ කුමන්ත්‍රණයක් ඇති බව පැවසීම හේතුවෙන් ආණ්ඩුව පත්ව ඇති අසරණකම පෙනෙන්නට ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසීය.

කාබනික පොහොර ආනයනයට ශ්‍රීලනිපයත් විරුද්ධයි !

චීනයෙන් ගෙන්වීමට යන කාබනික පොහොරවලින් මෙරට පසට සිද්ධ වෙන විනාශයට වගකියන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රශ්න කර සිටියි.

මාධ්‍ය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අද ගෙනෙන කාබනික පොහොරවලද යම් යම් ප්‍රශ්න ඇති බවත්, මේ හරහා යම් බැක්ටීරියාවක් හෝ කෘමියකු අපේ පසට ඇතුලු වුවහොත් ඊට වගකියන්නේ කව්රුන්ද යන්නත්ය.

එවැන්නක් සිදුවුවහොත් තවත් වසර දෙක තුනකින් මහා විනාශයක් සිදුවනු ඇති බවද හෙතෙම සදහන් කර සිටියේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාබනික පොහොර ආනයනය කිරීමට එකඟතාවක නොමැති බව දැනගන්නට ඇත.

ගොවියන් අවතැන් : අවුරා සමාගමට අක්කර ලක්ෂයක් !

ගොවි ජනතාව අවතැන් කරමින්අවුරා ලංකා සමාගමට අනුරාධපුරයෙන් ඉඩම් අක්කර ලක්ෂයක් ලබාදී ඇති බවටයි ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර සිදුකරන අනාවරණය පහත දැක්වෙයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 6 ක් අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගමට ලබා දීමට 2021 අගෝස්තු මස 30 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ කැබිනට් සන්දේශයකට අනුව මෙම සමාගමට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඉඩම් අක්කර 104066 ක් (හෙක්ටයාර 42115 ක්) වසර 30 ක දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

මෙම අනුමැතිය ලබා දීමට වසර තුනකට පමණ පෙර රාජාංගනය යාය 18 ගම්මානයේ ජනතාවගේ හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ඉඩම් නීති විරෝධීව අත්පත් කර ගෙන කිසිදු රාජ්‍ය ආයතනයක අනුමැතියකින් තොර ව මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම කටයුතු ආරම්භ කෙරින.

අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසුව අද වන විට යාය 18 ගම්මානයේ ජනතාව දරුණු ලෙස පීඩනයට ලක් කරමින් අඛණ්ඩ ව ඉදිකිරීම් හා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු මෙරට ක්‍රියාත්මක අණ පනත් ගණනාවක් උල්ලංඝනය කරමින් දේශපාලන බලය භාවිතා කරමින් මෙම සමාගම විසින් අඛණ්ඩ ව සිදු කරමින් පවතී.

මේ ව්‍යාපෘතිය යටතේ අපනයනය සඳහා ඒක භෝග වාණිජ වගාවක් ලෙස කෝමාරිකා වගාව සිදු කිරීමට නියමිත ය. ඒ සඳහා රාජාංගනය හා නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකෙහි පිහිටි ඉඩම් අක්කර 2000 ක් කෝමාරිකා පැල තවාන පවත්වාගෙන යාමටත්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අක්කර 102000 ක් කෝමාරිකා වගා බිම් පවත්වාගෙන යාමටත්, ව්‍යාපෘතියේ කර්මාන්ත ශාලාව, මෙහෙයුම් කාර්යාලය හා ගබඩාංගනය ඉදි කිරීමට අක්කර 66 ක භූමියක් ලබා ගැනීමටත් නියමිත ව ඇත.

රජයේ ඉඩම් ආඥාපනතේ විධිවිධානවලට අනුව වසර 30 ක දීර්ඝ කාලීන බදු පදනම මත මෙම ඉඩම් ලබා දීමට නියමිත ය. අක්කර 102000 ක් වන වගා බිම් සඳහා ලබා ගැනීමට යෝජිත ව ඇත්තේ දීමනාපත්‍ර හා බලපත්‍ර මත ඉඩම් හිමි පවුල් සහ වගා කටයුතු සඳහා රජයේ ඉඩම් භුක්ති විදින පවුල්වලට අයත් ඉඩම් ය. මෙම සමස්ත ව්‍යාපෘතියේ ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 783 කි. මූලික ආයෝජනය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 300 ක් යෙදවීමට ආයෝජකයා සැලැසුම් කර ඇති බව අමාත්‍ය මණ්ඩල අනුමැතියේ සඳහන් වේ.

දේශීය පාරිභෝජනය සඳහා සිදු කෙරෙන කුඹුරු ගොවිතැනට පසුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඒක භෝග අපනයන වාණිජ වගාවක් ලෙස විශාල ඉඩම් ප්‍රමාණයක් භාවිත කිරීමට නියමිත ව්‍යාපෘතියක් ලෙස මෙය හැදින්විය හැකි ය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර 717900 ක් වන අතර මෙම ව්‍යාපෘතිය සඳහා හෙක්ටයාර 42115 ක් යොදා ගැනීමට නියමිත ව ඇත. එය ප්‍රතිශතයක් ලෙස ගත් විට දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් 6% ක් පමණ වේ.

අනුරාධපුර ගොවි ජනතාවට වගා බිම් අහිමි කිරීම

1 5මෙතරම් විශාල ඉඩම් ප්‍රමාණයක් කෝමාරිකා වගාව සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ලබා දීමට ඇති හැකියාව සොයා බැලීමට එම දිස්ත්‍රික්කයේ ඉඩම් භාවිත රටාව පිළිබඳ ව සලකා බැලිය යුතු ය. ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලැසුම් දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවලට අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගෙවතු හෙක්ටයාර 88859 ක් පමණ පවතී. එය මුළු භූමි ප්‍රමාණයෙන් 12% කි. ස්ථිර භෝග, කෙසෙල් හා පොල් වගාබිම් ප්‍රමාණය හෙක්ටයාර 6494 කි. එය මුළු භූමි ප්‍රමාණයෙන් 1% ක ප්‍රතිශතයකි. කුඹුරු ඉඩම් හෙක්ටයාර 161752 ක් පුරා පැතිර ඇති අතර එය මුළු භූමි ප්‍රමාණයෙන් 23% ක් පමණ වේ. වාර්ෂික භෝග හා හේන් වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර 87510 ක් වේ. එය අනුරාධපුර දිස්ත්‍රික්කයේ 12% ක භූමි ප්‍රමාණයක පැතිර තිබේ.

මේ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර 344615 ක් වේ. එම වගා බිම් වලින් මෙම කෝමාරිකා වගා ව්‍යාපෘතියට 12% ක් ලබා දීමට සිදු වන බව මෙම අමාත්‍ය මණ්ඩල අනුමැතිය විශ්ලේෂණය කර බැලීමේ දී පෙනී යයි. ඒ හේතුවෙන් රටේ ජනතාවට අහිමි වන ආහාර භෝග අස්වැන්නේ ප්‍රමාණය පිළිබඳ ව අධ්‍යයනය කළ යුතු ව ඇත.

කෝමාරිකා ශාක අපනයනය කිරීමෙන් ලැබෙන ලාබය හා ආහාර බෝග අස්වැන්න අහිමි වීම හේතුවෙන් ඇති වන පාඩුව පිළිබඳ නිවැරදි අධ්‍යයනයකින් තොර ව මෙම ඉඩම් ලබා දීමෙන් මෙරට ආහාර ස්වෛරීභාවය බිඳ වැටීමට මෙම ව්‍යාපෘතිය අනාගතයේ දී ප්‍රධාන හේතුවක් බවට පත් වනු ඇත.

1 2අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැනට සිදු කෙරෙන වගා බිම්වල සුරක්ෂිතතාවයට ප්‍රධාන සාධකය වන්නේ එහි පවතින ජල මූලාශ්‍රයන් ය. වැව්, ජලාශ, ගංඟා, ඇළ, දොළ හා වගුරු බිම් හෙක්ටයාර 67630 ක භූමි ප්‍රමාණයක් පුරා පැතිර තිබේ. එය අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 10% කි. මෙම සියලු ජල මූලාශ්‍රවල පැවැත්ම රැදී ඇත්තේ ඒවායේ ජල පෝෂක ප්‍රදේශ වන වනාන්තර පරිසර පද්ධති මත ය. මෙම දිස්ත්‍රික්කයේ ඝන වනාන්තර හෙක්ටයාර 175627 ක් පමණ ඇති අතර එය මුළු භූමි ප්‍රමාණයෙන් 25% ක් පමණ වේ. ලදු කැලෑ ඇතුළු ව විවෘත වනාන්තර හෙක්ටයාර 116889 ක් පමණ පිහිටා තිබේ. එය දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් 16% කි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් ඉතිරි හෙක්ටයාර 13139 ට අයත් වන්නේ භෞතික සංවර්ධනයන් සහිත ප්‍රදේශ සහ ගල්පර හා වැලි කඳු ප්‍රදේශයන් ය.

ඒ අනුව මෙම කෝමාරිකා වගා ව්‍යාපෘතිය සඳහා වනාන්තර පරිසර පද්ධති ලබා දීම සිදු කළ හොත් දිස්ත්‍රික්කයේ සමස්ත වනාන්තර ප්‍රමාණයෙන් 14% ක් අහිමි වේ. මෙසේ අහිමි වීමට නියමිත වනාන්තර විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ නැගෙනහිර, ගිනිකොන සහ දකුණු මායිම් හා සම්බන්ධ ව පවතී. එම ජල පෝෂක වනාන්තර අහිමි වීම හේතුවෙන් දිස්ත්‍රික්කයේ වගා බිම්වලට ජලය සීමා වීම නිසා යල හා මහ දෙකන්නය වගා කිරීමට නොහැකිව දරුණු බිඳ වැටීමකට ගොවි ජනතාව පත් වනු ඇත.

වනාන්තර ඉඩම් මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීම සිදු නොකළ ද දැනට වගා කරන වගා බිම් කෝමාරිකා වගා ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීම හේතුවෙන් දෛනික පරිභෝජනය සඳහා භාවිතා කරන වාර්ෂික බෝග වගා කිරීමට ඇති භූමි ප්‍රමාණය සීමා වීම නිසා වනාන්තර ඉඩම් වරින්වර එළි කරමින් වාර්ෂික බෝග වගා කිරීමට ගොවි ජනතාවට සිදු වනු ඇත.

ඒ සඳහා මෙම ව්‍යාපෘතිය යටතේ පෙළැඹවීම් කිරීමෙන් සිදු වන්නේ ජල පෝෂක වනාන්තර අහිමි වීමෙන් දරුණු ජල අර්බුධයකට මුහුණ දීමට ගොවි ජනතාවට සිදු වීම ය.

ව්‍යාපෘතියට අදාළ කැබිනට් පත්‍රිකාවට අනුව කෝමාරිකා වගාව සඳහා දීමනාපත්‍ර හා බලපත්‍ර යටතේ වගා කරන ඉඩම් යොදා ගැනීමට නියමිත ව ඇත. වාර්ෂික බලපත්‍ර යටතේ වගා1 3 කෙරෙන බොහෝ ඉඩම්වල මහ කන්නයට හේන් වගා ව සිදු කෙරෙන අතර යල කන්නයට එම හේන් වගා බිම් අතහර දමනු ලැබේ. අතහැර දමන හේන් වගා බිම් ජුනි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ව්‍යාප්ත ව පවතින නියං සමයේ දී අලි - ඇතුන් ඇතුළු බොහෝ වන සතුන්ගේ ආහාර බිම් බවට පත් වේ.

එම භූමි ප්‍රදේශ කෝමාරිකා වගාව සඳහා යොදා ගැනීමෙන් සිදු වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලි - මිනිස් ගැටුම උග්‍ර මට්ටමකට පත් කර ඉතිරි වගා බිම් ද අනතුරට ලක් කිරීමයි. එපමණක් නොව අනුරාධපුර දිස්ත්‍රික්කය හා සම්බන්ධ ව ඇති පුත්තලම, කුරුණෑගල, පොළොන්නරුව හා මන්නාරම දිස්ත්‍රික්කවලට ද මේ තත්ත්වය හේතුවෙන් අලි - මිනිස් ගැටුම උග්‍ර මට්ටමකට පරිවර්තනය වනු ඇත. මේ තත්ත්වය තව දුරටත් වර්ධනය වන්නේ දැනට බලපත්‍ර යටතේ පවතින හේන් වගා බිම් කෝමාරිකා වගාවට යොදා ගැනීම නිසා පරිභෝජනය සඳහා වාර්ෂික බෝග වගා කිරීමට වනාන්තර එළි කර ගොවි ජනතාව විසින් ලබා ගැනීම හේතුවෙනි.

මේ නිසා අලි - මිනිස් ගැටුම මෙම ව්‍යාපෘතිය හේතුවෙන් වර්ධනීය මට්ටමකට පරිවර්ථනය වනු ඇත. මෙම කිසිදු තත්ත්වයක් පිළිබඳ ව අධ්‍යයනයකින් තොර ව අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර ලක්ෂයකට වැඩි භූමි ප්‍රමාණයක් කෝමාරිකා වගා කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දීම යනු අමාත්‍ය මණ්ඩලයේ ඉතා ම අඥාන තීරණයකි. මෙම තීරණය ගැනීමට මුදල් අමාත්‍යවරයා හා ඉඩම් අමාත්‍යවරයා දැඩි බලපෑමක් අමාත්‍ය මණ්ඩලයට සිදු කර ඇති බව මෙම ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දීමට භාවිත කළ ලේඛන අධ්‍යයනයෙන් පෙනී යයි.

ශක්‍යතා අධ්‍යයනයකින් තොර ව කැබිනට් අනුමැතිය ලබා දිය හැකි ද?

මුදල් අමාත්‍යවරයා හා ඉඩම් අමාත්‍යවරයා විසින් මෙම ව්‍යාපෘතියට අදාළ ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සන්දේශය සකස් කිරීම සඳහා පිළිගත්, අනුමත තාක්ෂණික වාර්තාවක් භාවිත කර නොමැත. මෙවන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ප්‍රථමයෙන් මූලික ශක්‍යතා ඇගයීම් වාර්තාවක් සකස් කළ යුතු ය.

1 2ඒ මගින් මෙම ව්‍යාපෘතිය සඳහා අදාළ ප්‍රදේශයේ ඉඩම් භාවිත කළ හැකි ආකාරය හා ඉන් සිදු වන බලපෑම් හා ආර්ථීක තිරසර භාවය මෙන් ම ව්‍යාපෘතියේ ඵලදායීතාවය පිළිබඳ ව මූලික අවබෝධයක් ලබා ගත යුතු ය.

ඒ මත පදනම් ව මෙරට ක්‍රියාත්මක අණ පනත්වලට අනුව අදාළ ආයතන වලින් අනුමැතිය ලබා ගත යුතු අතර ඒ සඳහා පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යොමු විය යුතු ය. ඒ සඳහා සකස් කරන වාර්තාව මහජන අදහස් සඳහා විවෘත ව තැබිය යුතු අතර එම අදහස් මත ව්‍යාපෘතිය අනුමත කිරීමේ ආයතනය අනුමැතිය ලබා දීම තීරණය කරනු ලැබේ.

නමුත් මූලික ශක්‍යතා ඇගයීම් වාර්තාවක් හෝ මූලික ව්‍යාපෘති යෝජනාවලියක් හෝ මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තාවක් හෝ පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් හෝ සකස් කර නොමැති ව්‍යාපෘතියක් සඳහා ඉඩම් නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත්තේ කුමන පදනමක් මත ද යන්න ප්‍රධාන ගැටළුවකි.

මෙම ව්‍යාපෘතිය සඳහා මේ වන විට සකස් කර ඇත්තේ මූලික සංකල්ප වාර්තාවක් පමණි. එම වාර්තාව “වියළි කලාපීය ග්‍රාමීය ආර්ථික සංවර්ධන කෝමාරිකා ව්‍යාපෘතිය” නමින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ව්‍යාපෘතියේ සමස්ත ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 370 ක් බව සඳහන් වේ.

එම මුදල ආයෝජනය කිරීමට සැලැසුම් කර ඇත්තේ, ව්‍යාපෘතියට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඩොලර් මිලියන 15 ක්, ගෘහස්ථ ක්‍රිඩාංගනයක් ඉදි කිරීමට ඩොලර් මිලියන 28 ක්, නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 10 ක්, පර්යේෂණායතනයක් ඉදි කිරීමට ඩොලර් මිලියන 35 ක්, පරිසර සංරක්ෂණ ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 2 ක් හා කොම්පෝස්ට් නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 3 ක් ආදී වශයෙනි.

ඒ අනුව කෝමාරිකා වගා ව්‍යාපෘතියට අමතර ව විශාල මුදල් ප්‍රමාණයක් වෙනත් කාර්යයන් සඳහා ආයෝජනය කිරීමට මෙම ව්‍යාපෘතිය යටතේ සැලැසුම් කර තිබේ. නමුත් අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව සමස්ත ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 783 ක් ලෙස සඳහන් කර තිබේ. එය මූලික ව්‍යාපෘති සංකල්ප වාර්තාවේ සඳහන් ආයෝජන මුදලට වඩා දෙගුණයකට වැඩි ආයෝජනය කි. එසේ නම් එම මූලික ව්‍යාපෘති සංකල්ප වාර්තාවට අනුව ද මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කළ නොහැකි ය.

මේ සියල්ල මේ ආකාරයෙන් සිදු වූයේ කෙසේ ද යන්න පිළිබඳ ව පුළුල් පරීක්ෂණයක් සිදු කළ යුතු ව ඇත. වසර තුනකට පසුව ආයෝජන මුදල පළමු සැලසුමේ සඳහන් මුදල මෙන් දෙගුණයකට වඩා වැඩි වී ඇත්නම් එම ආයෝජනය ඵලදායී ආයෝජනයක් ද නැද්ද යන්න පිළිබඳ ව ඉඩම් ලබා දීමට ප්‍රථම සොයා බැලිය යුතු ය.

ව්‍යාජ ආයෝජකයා විරාජ් තාබුගල !

මෙම ව්‍යාපෘතියට අදාළ ව මීට වසර තුනක සිට රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 456 තුලාන ග්‍රාම නිලධාරී වසමේ යාය 18 ගම්මානයේ නීති විරෝධී ව1 7 සංවර්ධන ක්‍රියාවලීන් බොහොමයක් සිදු කරමින් පවතී. ව්‍යාපෘතිය සඳහා මෙම ගම්මානයේ වගා බිම්, වැව්, ඇළ මාර්ග, මහා මාර්ග හා ජනාවාස විනාශයට ලක් කිරීම හේතුවෙන් ජන දිවිය දරුණු බිඳ වැටීමකට ලක් වෙමින් තිබේ.

දැනට වසර තුනකට ආසන්න කාලයක සිට ගොවි පවුල් 84 කට අයත් වගා බිම් වසර 10 ක බදු පදනම මත මෙම ව්‍යාපෘතියට පවරා ගෙන ඇති අතර වගා බිම් අහිමි එම ගොවි ජනතාව මෙම සමාගමේ කම්කරුවන් ලෙස මේ වන විට කටයුතු කරමින් සිටී. මාලබේ, තලංගම උතුර, උඩවත්ත පාර, අංක 949/13 දරන ස්ථානයේ ප්‍රධාන කාර්යාලය පිහිටි මෙම සමාගමේ උප කාර්යාලය කලා ඔය, රාජාංගනය හන්දියේ ස්ථාපිත කර තිබේ. මෙම සමාගම 2007 අංක 7 දරන සමාගම් පනතට අනුව 2018 ජූලි මස 26 වන දින අංක ඡඪ 00202472 යටතේ ලියාපදිංචි කර තිබේ.

මෙම සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂකවරයා ලෙස චන්දික විරාජ් තාබුගල මහතා කටයුතු කරන අතර ඔහු හෙළ වෛද්‍ය විද්‍යාව පිළිබඳ හසල දැනුමක් සහිත, ජාත්‍යන්තර කීර්තිනාමයක් දිනාගත් පුද්ගලයකු ලෙස පෙනී සිටී. නමුත් ඔහු මීට ප්‍රථම රාජාංගනය ප්‍රදේශයේ රූපවාහිනී හා ගුවන් විදුලි යන්ත්‍ර අලුත්වැඩියා කරන්නෙකු ලෙස කටයුතු කර ඇති අතර පසුව නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වීම හේතුවෙන් මීගමුව හා අනුරාධපුර බන්ධනාගාරවල බන්ධනාගාර ගත ව සිට ඇති බව වාර්තා වේ.

සැබෑ ආයෝජකයා ලේඛා වික්‍රමසේකරන් !

විරාජ් තාබුගල මහතා මෙම ව්‍යාපෘතියේ ආයෝජකයා ලෙස ව්‍යාජ ව පෙනී සිටිමින් ජනතාව හා රාජ්‍ය නිලධාරීන් මුලා කිරීම සිදු කළ ද මෙම ව්‍යාපෘතියේ සැබෑ ආයෝජකයා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි ඕම් ජීවා සමාගමේ ලේඛා වික්‍රමසේකරන් මහත්මියයි. අවුරා ලංකා පුද්ගලික සමාගම නමින් ඕම් ජීවා සමාගමට පසුගිය වසර තුනක කාලයේ අවස්ථා දෙකක දී ඖෂධ වර්ග අපනයනය කිරීම සිදු කර ඇති බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රේගු වාර්තාවලට අනුව සනාථ වී තිබේ.

අවුරා ලංකා පුද්ගලික සමාගමේ වෙබ් අඩවියේ ද ඕම් ජීවා සමාගම පිළිබඳ සඳහන් කර ඇත. එසේ තිබිය දී එස්. එම්. චන්ද්‍රසේන ඇමතිවරයා නීති විරෝධීව කටයුතු කරන මෙම සමාගම වෙනුවෙන් පෙනී සිටීමට මාධ්‍ය සාකච්ඡා පවත්වමින් තාබුගල මහතා මෙම ව්‍යාපෘතියේ ආයෝජකයා බවත් ඔහු මහ පරිමාණ ව්‍යාපාරිකයකු බවත් සඳහන් කරමින් ජනතාව මුලා කිරීමේ නිරත ව සිටී.

නීති විරෝධී ව්‍යාපෘතියට රාජ්‍ය නිලධාරීන්ගේ සහය !

අද වන විට මෙම ව්‍යාපෘතිය නීති විරෝධීව ක්‍රියාත්මක කර ගෙන යාම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, සිරිපාල අමරසිංහ මහතා සහ නීති විරෝධීව ඉඩම් අත්පත් කර ගැනීම සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල්, කීර්ති ගමගේ මහතා විසින් සහයෝගය ලබා දෙමින් තිබේ. පසුගිය දිනවල මෙම නිලධාරීන් ගුවන් මගින් රාජාංගනය, යාය 18 ගම්මානයට ක්ෂේත්‍ර පරීක්ෂණ සඳහා පැමිණ තිබේ.

ඊට අමතර ව ව්‍යාපෘතියේ මුල් අදියරේ සිට ම අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන, හිටපු උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය රංජිත් චන්ද්‍රසේන, රාජාංගන ප්‍රාදේශීය සභාවේ උප සභාපති සමන් නිල්මිනී, රාජාංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී එල්. පී. නිරෝෂා සමන්ති යන මහත්ම මහත්මීන්ගේ සහයෝගය යටතේ සහ රාජාංගනය ප්‍රාදේශීය ලේකම් පී. ජී. සුනිල් අබේකෝන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ලිපිකරු කේ. ඒ. සුනිල් ශාන්ත යන මහත්වරුන්ගේ මෙන්ම රාජාංගනය යාය 11 පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තුමන්ගේ සෘජු මැදිහත්වීම මත මෙම ව්‍යාපෘතිය නීති විරෝධීව සිදු කරමින් පවතී.

රුවන්වැලිසෑය මහ විහාරයේ විහාරාධිපති ආචාර්ය පල්ලේගම හේමරතන ස්වාමීන්වහන්සේ විසින් මෙම ව්‍යාපෘතිය සිදු කිරීම සඳහා තාබුගල මහතා වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධීකරණය කිරීමේ කටයුතු සිදු කරන බව ද වාර්තා වේ. මෙම ව්‍යාපෘතියට යාය 18 ගම්මානයේ ජනතාවගේ ඉඩම් ලබා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධීකරණය කරන්නේ මාලිගාතැන්න රජමහා විහාරයේ විහාරාධිපති, ළමා අපචාර ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින උඩුදුම්බර වජිර හිමියන් ය.

සමාගමෙන් යාය 18 ගම්මානයට සිදු කරන විනාශය !

ඇමෙරිකානු ඩොලර් මිලියන 370 ක් නැතහොත් රුපියල් මිලියන 74000 ක ආයෝජන ව්‍යාපෘතියක් බව සඳහන් කරමින් මීට වසර තුනකට ප්‍රථම පළමු අදියරේ දී ගොවි ජනතාවගේ ඉඩම් අත්පත් කර ගෙන මෙම ව්‍යාපෘතිය සඳහා බිම් සැකසීම සිදු කෙරින. විශේෂයෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ගිණිකොන මායිම් ආශ්‍රිත ව කලා ඔය හරස් කර අලුතින් ඇළ මාර්ගයක් ඉදි කර මෙම ව්‍යාපෘතිය සඳහා ජලය ලබා ගැනීම සිදු කරන ලදී.

ඇළ මාර්ග සැකසීම සඳහා විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මායිමේ වනාන්තර ඉවත් කර පස් කපා ඇති අතර ඒ සඳහා කිසිදු අනුමැතියක් ලබා ගෙන නොතිබුණි. එම නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් මේ වන විට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් සකස් කරන ලද යාය 18 ගම්මානයේ පිහිටි කහඹිලියාපිටිය වැව මේ ව්‍යාපෘතිය යටතේ සම්පූර්ණයෙන් ම විනාශ කර තිබේ. කිසිදු අනුමැතියකින් තොරව වැව හාරා ඒ වටා ප්‍රදේශය සම්පූර්ණයෙන් ම කොන්ක්‍රිට් හා ගල් අතුරා සකස් කර ඇත. මේ නිසා ගොවි බිම්වලට ජලය ලබා ගත නොහැකි තත්ත්වයක් ඇති ව තිබේ.

මෙම වැව යටතේ ගොවි පවුල් 87 ක් අක්කර 130 ක කුඹුරු ඉඩම් අස්වද්දනු ලැබූ අතර ගොවීන් 118 ක් පමණ කුඹුරු ගොවිතැන හා ගොඩ ගොවිතැන සඳහා මෙම වැවෙන් ජලය ලබා ගැනීම සිදු කෙරින. එවන් වැවක් සම්පූර්ණයෙන් ම විනාශ කර දමද්දී කිසිදු රාජ්‍ය ආයතනයක් මේ පිළිබඳ ව සොයා බැලීමක් සිදු කර නොමැත. ගැඹුරු කර සකස් කරන ලද වැවට ජලය ලබා ගැනීම සඳහා කලා ඔයේ අතු ගංගාවක් වන පනන්කානි ඇළ හරස් කර අමුණක් ඉදි කිරීමට ද සැලැසුම් කර තිබේ. එසේ අමුණක් ඉදි කළ හොත් ගම්මාන ගණනාවක් දැඩි ගංවතුර උවදුරකට ගොදුරු වීමට නියමිත ව ඇත.

යාය 18 ගම්මානය ආශ්‍රිත ව පිහිටි වනාන්තර අක්කර 15 ක් පමණ සම්පූර්ණයෙන් ම කපා ඉවත් කර සමහර ප්‍රදේශවල කොන්ක්‍රීට් අතුරා භූමිය සකස් කර තිබේ. එපමණක් නොව යාය 18 ගම්මානයේ ජනතාව භාවිතා කරන කුඹුරු ඉඩම් හා ගෙවතු ඩෝසර් යන්ත්‍ර මගින් පස් ඉවත් කර භූමිය සකස් කර තිබේ. මීට අමතර ව රාජාංගනය, යාය 18 ගම්මානය තුළ පිහිටි ප්‍රධාන මාර්ග දෙපස ශාක සියල්ල ම කපා ඉවත් කර මාර්ගය දෙපස අලුතින් ඇළ මාර්ග සකස් කර ඇති අතර ඒ සියල්ල ම කිසිදු සැලැසුමකින් තොර ව සිදු කර තිබේ. මේ සියලු සංවර්ධන ක්‍රියාවලීන් දැනට වසර තුනකට ආසන්න කාලයක සිට සිදු කළ ද කිසිදු ප්‍රදේශයක කෝමාරිකා ශාක වගා කර නොමැත.

මෙම ව්‍යාපෘතිය සඳහා බිම් සකස් කිරීමේ දී යාය 18 ගම්මානයේ උස්සාන වාරිමාර්ග ජල ව්‍යාපෘතිය සඳහා “යළි පුබුදමු” වැඩසටහන යටතේ සකස් කළ ජල ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම විනාශ කර දමා ඇත. රුපියල් එක්කෝටි හැට ලක්ෂයක වියදමින් සකස් කළ මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම සමාගමක් විසින් විනාශ කර දමද්දී කිසිදු රාජ්‍ය ආයතනයක් ඊට එරෙහි ව මෙතෙක් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මේ ආකාරයෙන් සමාගමක් විසින් නීතියේ ආධිපත්‍යය සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට අවශ්‍ය බලය ලැබී ඇත්තේ ප්‍රදේශයේ දේශපාලඥයින්ගේ හා නිලධාරීන්ගේ සහයෝගය මත ය.

කෝමාරිකා වගා ව්‍යාපෘතියෙන් ගොවිතැනට සිදු කරන අහිතකර බලපෑම !

1 11කෝමාරිකා ශාකය ඖෂධීය ශාකයක් ලෙස ඉතා විශාල වටිනාකමක් සහිත ය. නමුත් මෙය ඒක භෝග වාණිජ වගාවක් ලෙස සිදු කිරීමේ දී ගැටලු බොහොමයක් උද්ගත වේ. කෝමාරිකා වගාව සඳහා විවෘත භූමිය සකස් කළ විට වර්ෂා කාලයේ දී පාංශු ඛාදනය ඉතා ම උග්‍ර වන අතර එසේ සේදී යන පස් රොන්මඩ ලෙස වැව් හා ගංගා, ඇළ, දොළවල තැම්පත් වීමෙන් ඒවා ගොඩ වීමට ලක් වීම හා එම ජල මූලාශ්‍රවල ධාරිතාව අඩු වීමෙන් රඳවා ගන්නා ජල පරිමාව සීමා වේ. මේ නිසා අවට ප්‍රදේශයේ වගා බිම්වලට ලබා ගත හැකි ජල ප්‍රමාණය සීමා වී එම ප්‍රදේශවල ගොවි ජනතාවගේ කෘෂි කර්මාන්තය බිඳ වැටීමට ලක් වේ.

නියං සමය පවතින කාලවල දී විවෘත කෝමාරිකා වගා බිම්වලින් වාෂ්පීකරණය වන ජල ප්‍රමාණය ඉහළ මට්ටමකට පත් වන අතර ඒ හේතුවෙන් පසේ ජලය සීග්‍රයෙන් අඩු වී යයි. එහි ප්‍රතිඵලයක් ලෙස මේ ප්‍රදේශවල ජනතාවට උග්‍ර පානීය හා වාරි ජල හිඟයකට මුහුණ දීමට සිදු වනු ඇත. එපමණක් නොව වර්ෂා කාලයේ දී මතුපිට පස සේදී යාම නිසා පස සීග්‍රයෙන් නිසරු වන අතර නිරන්තරයෙන් වගා බිම්වලට පොහොර යෙදීමට සිදු වේ. මෙය ප්‍රධාන ගැටළුවක් බවට පත් වනු ඇත.

මේ නිසා කෝමාරිකා වගාව මිශ්‍ර භෝගයක් ලෙස ගෙවතුවල වගා කිරීම ඉතා ම යෝග්‍ය වන අතර මහ පරිමාණ ඒක භෝග වාණිජ වගාවක් ලෙස ව්‍යාප්ත කිරීමෙන් මේ ආකාරයෙන් ගැටළු බොහොමයක් උද්ගත වනු ඇත. මෙම ව්‍යාපෘතියේ භාවිතයට ගනිමින් තිබෙන්නේ කවුපි, මුං, උදු, තල, බඩඉරිගු, බටු, මිරිස්, දඹල, කරවිල, බණ්ඩක්කා වැනි භෝග වර්ග හා වී වගාව සිදු කළ බිමි ය. සුළු පරිමාණ ගොවීන්ගේ මේ වගා බිම් මෙම සමාගමෙන් ගොවීන්ට අහිමි කිරීමෙන් එම ප්‍රදේශයේ ගොවි ජනතාවට ආහාර අවශ්‍යතාවන් සපුරා ගැනීමට වෙළෙද පොළ මත යැපීමට සිදු ව තිබේ. එපමණක් නොව රටේ ආහාර ස්වෛරීභාවයට ද මෙය ප්‍රධාන වශයෙන් බලපානු ඇත. නමුත් මේ සියල්ල අවුරා ලංකා සමාගමෙන් ජනතාවට හා රාජ්‍ය නිලධාරීන්ට මවා පෙන්වා ඇති සුරංගනා ලෝකයෙන් වසා දමා ඇත.

අලි - මිනිස් ගැටුම වර්ධනය කිරීම !

අද වන විට වියළි කලාපය පුරා බඩඉරිගු හා උක් ශාක ඒක බෝග වාණිජ වගාවක් ලෙස මහ පරිමාණයෙන් ව්‍යාප්ත කිරීම නිසා වාසස්ථාන අහිමි වීමෙන් අලි - ඇතුන් ඇතුළු ව බොහෝ වන සතුන් හා මිනිසුන් අතර ගැටුම් වර්ධනය වී ඇත. මේ නිසා සුළු පරිමාණ ගොවීන් වගා බිම් වලින් ඉවත් වී එම වගා බිම් මහා පරිමාණ වාණිජ වගාවන් සඳහා විවිධ සමාගම් වලට ලබා දෙමින් තිබේ. 1990 වසරේ සිට 2000 වසර දක්වා කාලය තුළ දී වසරකට අලි - මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස වාර්ෂික ව අලින් 150 ක් හා මිනිසුන් 40 ක් පමණ මරණයට පත් ව තිබේ.

2010 සිට 2018 දක්වා කාලය තුළ අලි - මිනිස් ගැටුම නිසා වසරකට මිය යන මිනිසුන්ගේ ප්‍රමාණය 80 දක්වා ත් අලි ඇතුන්ගේ ප්‍රමාණය 275 දක්වා මෙතෙක් ඉතිහාසයේ වර්ධනීය ම තත්ත්වයට පත් විය. ඒ තත්ත්වය ඉතා උග්‍ර මට්ටමකට පත් කරමින් පසුගිය 2019 වර්ෂය මෙතෙක් ඉතිහාසයේ අලි - මිනිස් ගැටුමේ වර්ධනීය ම තත්ත්වයක් වාර්තා වූ වර්ෂය බවට පත් විය. එම වසරේ දී හානි කර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අලි මරණ 406 ක් හා අලින්ගේ පහරදීම නිසා මිනිසුන් 122 ක් පමණ මියගොස් ඇති බවට වාර්තා වී තිබේ. 2020 වසරේ දී අලි මරණ 317 ක් හා අලින්ගේ පහරදීම් නිසා සිදු වූ මිනිස් මරණ 112 ක් වාර්තා වී විය.

මෙම ව්‍යාපෘතිය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හා අවට දිස්ත්‍රික්කවල අලි - මිනිස් ගැටුම තවත් උග්‍ර මට්ටමකට පරිවර්ථනය වනු ඇත.

සෞභාග්‍යයේ දැක්ම උල්ලංඝනය කිරීම මෙවර ජනාධිපතිවරණයේ දී “ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අට වන පරිච්ඡේදයේ දැක්වෙන “තිරසර පරිසර ප්‍රතිපත්තියක්” කොටසෙහි සඳහන් වන්නේ “මිනිසාට මෙන් ම අනෙක් සත්ත්වයින්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කළ යුතු බව ය.” එම තවදුරටත් දක්වා ඇත්තේ “වර්තමානයේ සිදු වන බොහෝ මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා පරිසර පද්ධතියට සිදු වන විනාශය අති විශාල බව ය. එම නිසා අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් තුළ ජීවත් වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමේ වගකීම අපහට පැවරී තිබේ” යනුවෙනි. එපමණක් නොව එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ භූමි භාවිතය පිළිබඳ ව සඳහන් කර ඇත්තේ “ශ්‍රී ලංකාවේ භූමිය භාවිත කළ යුත්තේ ජනතාවගේ යහපැවැත්ම සඳහා ය. මිනිසාට මෙන්ම අනෙක් සත්වයන්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කළ යුතු බව ය. එලෙසට ම තමන් වෙනුවෙන් හඬක් නැගිය නොහැකි කොට්ඨාශ, එනම් සත්වයන් හා අනාගතයේ ඉපදීමට සිටින අනාගත පරම්පරාව සඳහා භූමිය ආරක්ෂා කරන භාරකාරයන් ලෙසට රජය ක්‍රියා කළ යුතු ය” යනුවෙන් ද සඳහන් කර ඇත.

එපමණක් නොව මෙරට ජාතික වන වැස්ම 30% ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බවත්, ස්වාභාවික පරිසර පද්ධති සංරක්ෂණය කරන අතර හානියට ලක් වූ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කරන බවත් සඳහන් විය. මෙම ව්‍යාපෘතියට ලබා දුන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හේතුවෙන් ජනතාව සමඟ සම්මුතිගත වූ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් සියල්ල සම්පූර්ණයෙන් ම උල්ලංඝනය වී ඇත.

තිරසර සංවර්ධන ඉලක්ක අභියෝගයට ලක් කිරීම !

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය විසින් 2015 සැප්තැම්බර් මස 25 වන දින සම්මත කර ගත් 2030 වසරේ සැප්තැම්බර් 30 වන දින වන විට අත්පත් කර ගැනීමට අපේක්ෂිත තිරසර සංවර්ධන ඉලක්ක 17 ට අනුව මෙම ව්‍යාපෘතිය යටතේ ඉලක්ක 5 ක් සපුරා ගැනීමට නියමිත ව ඇති බව මූලික ව්‍යාපෘති සංකල්ප වාර්තාවේ සඳහන් කර තිබේ. ඒ අනුව දිලිදුකම පිටුදැකීම, සාගින්න දුරු කර ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම, සෞඛ්‍ය සම්පන්න යහපත් ජීවන තත්ත්වයක් කිරීම, තිරසර ආර්ථික වර්ධනයක් ඇති කිරීම හා තිරසර සංවර්ධනය සඳහා ගෝලීය සහභාගීත්වය වර්ධනය කිරීමට කටයුතු කරන බව එම වාර්තාවේ සඳහන් කර ඇත.

නමුත් මෙම ව්‍යාපෘතියේ ආරම්භයේ සිට ක්‍රියාත්මක වූ පසුගිය වසර තුන තුළ ම මේ සියල්ල ම අවුරා ලංකා සමාගම විසින් උල්ලංඝනය කර ඇත. දිලිදුකම පිටුදැකීම වෙනුවට අද වන විට රාජාංගනය යාය 18 ගම්මානයේ ගොවි ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් හා ගොවි ජනතාව රවටා අත්පත් කර ගෙන ඇති බැවින් ගොවි ජනතාවට වගා කළ හැකි බිම් අහිමි වී ඇත.

කෝමාරිකා වගාව තුළින් සාගින්න දුරු කර ආහාර සුරක්ෂිතතාව ඇති කරන බවට සඳහන් කර තිබීමෙන් පෙනී යන්නේ ජනතාව මෙන් ම ජාත්‍යන්තරය ද මුලා කිරීමට මෙම සමාගම උත්සාහ දරන බව ය. ජනතාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය හා යහපත් ජීවිතයක් ඇති කිරීම වෙනුවට අද වන විට යාය 18 ගම්මානයේ ජනතාවට සෞඛ්‍ය තර්ජන බොහොමයකට ගොදුරු කිරීම මෙම සමාගම විසින් සිදු කර ඇත.

ජනතාවට පානීය ජලය ලබා ගැනීමට ඇති සියලු ප්‍රභවයන් විනාශ කර ඇති අතර ව්‍යාපෘතිය යටතේ කැලෑ එළි කිරීම, පස් කැපීම, ප්‍රවාහන කටයුතු සිදු කිරීම හා ඉදිකිරීම් කටයුතු සිදු කිරීමේ දී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස අධික ව දූවිලි පැතිරීම හේතුවෙන් අවට ජනතාවට ස්වසන ආබාධ ඇතුළු සෞඛ්‍ය තර්ජන බොහොමයකට මෙම සමාගමේ හානි කර ක්‍රියාකාරීත්වය හේතුවෙන් ජනතාව ගොදුරු වී ඇත. මෙම තිරසර සංවර්ධන ඉලක්ක පමණක් නොව අද වන විට මෙම සමාගම විසින් වනාන්තර ඇතුළු වගා බිම් අක්කර ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් අව භාවිත කිරීමට යොමු වීම හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු ව ඒ අවට ප්‍රදේශය දරුණු දේශගුණික විපර්යාසයකට ගොදුරු කිරීමට නියමිත ව ඇත.

ඒ හේතුවෙන් ජල අර්බුද ඇති වීම, ජෛව විවිධත්ව හායනය, මානව ජනාවාස වාසයට නුසුදුසු තත්ත්වයට පරිවර්තනය වීම, වගා බිම් අහිමි කිරීම හේතුවෙන් ආහාර සුරක්ෂිතතාව සම්පූර්ණයෙන් බිඳ වැටීම ඇතුළු හානි කර තත්ත්වයන් බොහොමයක් උද්ගතවීමට නියමිත ව ඇත. මෙම නීති විරෝධී සහ හානි කර ව්‍යාපෘතිය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ තිරසර සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හා උපාය මාර්ගයක් සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් සම්මත කළ 2017 අංක 19 දරන ශ්‍රී ලංකා තිරසර සංවර්ධන පනතෙන් බලාපොරොත්තු වන අභිමතාර්ථ සාර්ථක කර ගැනීමට විශාල බාධාවක් ඇති කිරීම මෙම ව්‍යාපෘතිය මගින් සිදු වනු ඇත. එපමණක් නොව රටක් ලෙස තිරසර සංවර්ධන ඉලක්ක අත්පත් කර ගැනීමට ඇති අවස්ථාවන් අහිමි වීම ද මෙම ව්‍යාපෘතිය මගින් සිදු වෙමින් තිබේ.

අණ පනත් උල්ලංඝනය කරමින් බලහත්කාරයෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම !

මෙම සමස්ත ව්‍යාපෘතිය අණ පනත් ගණනාවක් උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක වේ. විල්පත්තුව ජාතික වනෝද්‍යානය මායිමේ මෙම ව්‍යාපෘතියට අදාළ සංවර්ධන කටයුතු සිදු කරන්නේ 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරමිනි.

මෙම පනතේ 9අ(1) උප වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ ඕනෑම ආකාරයක සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට ප්‍රථම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ ලිඛිත අනුමැතිය ලබා ගත යුතු ය. 9අ(2) උප වගන්තියට අනුව එම අනුමැතිය ලබා ගැනීම සඳහා 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් මත පදනම් ව එම අනුමැතිය ලබා ගත යුතු ය. පනතේ 10(ඈ) උප වගන්තියට අනුව එවන් අනුමැතියකින් තොරව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ යම් සංවර්ධන ක්‍රියාවලියක නිරත වන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් පහළොස්දහසත් පනස් දහසත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. මේ නීතිමය තත්ත්වය උල්ලංඝනය කිරීමට එරෙහි ව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ.

අවුරා ලංකා සමාගම මගින් ගොවි ජනතාවගේ ඉඩම්, රජයට අයත් පොදු ඉඩම් හා වනාන්තර ප්‍රදේශ එළිපෙහෙලි කිරීම සිදු කරනු ලබන්නේ සංශෝධිත 1980 අංක 47 දරන පාරිසරික පනත උල්ලංඝනය කරමිනි. මෙම පනතේ 23බ උප වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වඩා වැඩි වනාන්තර ඉඩම් එළිපෙහෙලි කිරීමට ප්‍රථම හෝ හෙක්ටයාර 50 කට වැඩි භූමි ප්‍රදේශ එළිපෙහෙලි කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී එවන් කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැත.

අවුරා ලංකා සමාගම මගින් කහඹිලියාපිටිය වැව සංවර්ධනය කර ඇත්තේ ද කිසිදු අනුමැතියකින් තොරව ය. ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට ම අනුව ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 වන දින අංක 859/14 දරන ගැසට් නිවේදනයට අනුව පොදු වැවක ඉහළ පිටාර මට්ටම් සමුච්ඡයේ සිට මීටර 100 ක් වටා කලාපය හෝ එකී වැව ඇතුළත යම් සංවර්ධන ක්‍රියාවලියක් සිදු කරන්නේ නම් ඒ සඳහා පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගත යුතු ය.

මෙම නීතිමය තත්ත්වය ද උල්ලංඝනය කරමින් මෙම සංවර්ධන කටයුතු සිදු කෙරෙමින් පවතී.

පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලියට යටත් ව අනුමැතියකින් තොරව නීති විරෝධීව සිදු කරන මෙම සියලු ක්‍රියා වලට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගැනී‌මේ බලය මධ්‍යම1 6 පරිසර අධිකාරියට ඇත. ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට පනතේ 31 වගන්තියට අනුව රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

පාරිසරික පනත් වලට අමතර ව 1940 අංක 9 දරන පුරාවස්තු ආඥා පනත ද උල්ලංඝනය කරමින් මෙම සංවර්ධන කටයුතු සිදු කෙරේ. පුරාවස්තු ආඥා පනතේ 43අ හා 47 වගන්ති යටතේ ප්‍රකාශිත 2000 ඔක්තෝම්බර් 4 වන දින අංක 1152/14 දරන ගැසට් නිවේදනයට අනුව වැව් ප්‍රතිසංස්කරණය කිරීම, කෘෂිකාර්මික ව්‍යාපෘති සංවර්ධනය කිරීම, හෙක්ටයාර දෙකක් ඉක්මවන භූමි ප්‍රදේශ එළි කිරීම, ඒකාබද්ධ බහුකාර්ය සංවර්ධන ක්‍රියාවලීන් සිදු කිරීම සඳහා හෙක්ටයාර එකක් ඉක්මවන භූමි ප්‍රදේශ එළි කිරීම යන සියලු ක්‍රියාවලීන් සිදු කිරීමට ප්‍රථම පුරා විද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් අවුරා ලංකා සමාගමේ ව්‍යාපෘතිය සඳහා එවන් කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැත. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත, ජාතික පාරිසරික පනත, පුරා වස්තු ආඥා පනත යන සියලු අණ පනත් උල්ලංඝනය කරමින් මෙම සමාගම යාය 18 ගම්මානය සම්පූර්ණයෙන් ම විනාශ කරද්දී සියලූ ම රාජ්‍ය ආයතන නිහඬව සිටීම ගැටළුවට කරුණකි.

ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ දැක්වෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. 12(1) ව්‍යවස්ථාවට අනුව නීතිය ක්‍රියාත්මක කිරීම සර්ව සාධාරණ විය යුතු ය. නමුත් අවුරා ලංකා සමාගම නීති විරෝධීව යාය 18 ගම්මානය වනසද්දී සමහර රාජ්‍ය නිලධාරීන් මුදලට ඇති ගිජු බවට නීතිය ක්‍රියාත්මක නොකර සිටීම හා බොහෝ රාජ්‍ය නිලධාරීන් නිද්‍රාශීලීව පසු වීමෙන් පෙනී යන්නේ අපගේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරන බව ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 14(1)(උ) හා (ඌ) ව්‍යවස්ථාවල දැක්වෙන ලෙස නීත්‍යානුකූල කර්මාන්තයක නියුක්තවීමේ නිදහස හා අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස අවුරා ලංකා සමාගම මගින් යාය 18 ගම්මානයේ ගොවි ජනතාවට අහිමි කර ඇත. නිද්‍රාශීලීව පසු වන මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු සියලූ ම රාජ්‍ය ආයතන අවදි කිරීමේ වගකීම සියලු ජනතාවට ම ඇත. එසේ නොවුනහොත් නුදුරු අනාගතයේ දීම සමස්ත ලංකාවේ ම ගොවි ජනතාවගේ වගා බිම් සමාගම් විසින් අත්පත් කර ගනු ඇත. එවන් තත්ත්වයක් ඇති වීම වැළැක්වීමේ අවස්ථාව සෑම පුරවැසියෙකුට ම ඇත.

සජීව චාමිකර

මෙහෙම ගියොත් ඊළඟ රැල්ල තවත් බරපතළ වෙයි !

දැනට පවතින තත්ත්වය හමුවේ ඉදිරියේදී මීට වඩා බරපතළ කොරෝනා රැල්ලක අවධානමක් ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය විසින් පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් ඔවුන් මේ බව සඳහන් කරන අතර අදාළ නිවේදනය පහත දැක්වෙයි.

දැනට පවතින නිරෝධායන අඳිරි නීතිය නාමිකව පමණක් ක්‍රියාත්මක වන බව බිම් මට්ටමේ තත්වය විග්‍රහ කිරීමේ දී පැහැදිලි වේ. මෙම නිරෝධායන ඇඳිරි නීතිය ප්‍රායෝගික ව රට තුල ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු බලධාරීන් උනන්දු වූයේ නැත. ලබන ඔක්තෝ බර් මස 01 වනදා තෙක් නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කලද, මේ වනවිට බිම් මට්ටමේ සැබෑ ලෙසම සංචරණ සීමා ක්‍රියාත්මක වේදැයි ප්‍රශ්නයක් පැන නගී. අප අත්විඳින තත්වය තුල පොදු ප්‍රවාහන සේවා හැර අනෙක් සියලු ප්‍රවාහන සේවා නිදහස්ව ක්‍රියාත්මක වන අතර ජනතාවගේ සංචරණය ද බොහෝ දුරට නිදහසේ සිදුවේ. එසේම මත්පැන් ඇතුළු අත්‍යශ්‍ය නොවන භාණ්ඩ හා සේවා සැපයීම ද බාධාවකින් තොරව සිදුවේ. මෙම තත්වය තුල ඉදිරියේදී රට සම්පූර්ණයෙන් විවෘත කිරීම සිදුකළ හොත් නුදුරේදීම නැවතත් මීට වඩා භයානක කොවිඩි රැල්ලක් ඇති විය හැකි බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංසදය ලෙස අප ප්‍රකාශ කළ යුතුව ඇත.

වර්තමානයේ PCR සහ RAT පරීක්ෂණ සිදුකරන සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර ඇත. එවැනි තත්වයක් තුල කොවිඩි ආසාදනය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව අඩුවීම ද බලාපොරොත්තු විය හැක. එම නිසා මීට පෙර සිදුවූ පරිදි, කොවිඩ් වෛරස ව්‍යාප්නිය බොහෝ සෙයින් අඩුවී ඇතැයි ජනතාවට වැරදි ලෙස ඒත්තු ගැන්වේ. එවිට ජනතාව නිදහසේ සංචරණය කිරීමට පෙළඹීම තුල, පසුගිය අප්‍රේල් මාසයේ සිදුවූවා සේ ඉදිරි කාලයේදී කොවිඩි ව්‍යාප්තිය සීග්‍ර ලෙස වැඩි වීමේ අවදානමක් ඇත.

මේ දිනවල සෞඛ්‍ය අමාත්‍යංශයට අප රටේ දරුවන්ගේ කොවිඩි එන්නත්කරණය පිළිබඳව විද්වත් තාක්ෂණික කමිටු නිර්දේශ ලැබී ඇත. මෙහිදී වයස අවුරුදු 12ට අඩු දරුවන් සඳහා එන්නත්කරණය පිළිබඳ තීරණ ගැනීමට පෙර ඒ ගැන ලෝකයේ අනෙක් රටවල සිදු කරන ලද සායනික පරියේෂණ වාර්ථා ලැබෙන තෙක් සිටීම වැදගත් වේ.

දරුවන්ගේ කොවීඩි එන්නත්කරණය පිළිබඳව දැනට ලෝකයේ ඇති නවීන දැනුම සහ අත්දැකීම් ගැන විවෘත මනසකින් විමසා බලා කටයුතු කිරීම ඉතා වැදගත් බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය ලෙස ප්‍රකාශ කල යුතුය.

එමෙන්ම දරුවන් එන්නන් කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාoශය විසින් විධිමත් හා පාරදෘශ්‍ය එන්නත්කරණ වැඩසටහනක් සැලසුම් කල යුතුය. එය ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන වගකීම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දැරිය යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය ලෙස අපි තරයේ විශ්වාශ කරමු.

දැනට සෞඛ්‍ය සේවයේ කොව්ඩි රෝග සත්කාර කරන රෝහල් වල වෛද්‍යවරුන්ට සහ රෝග නිවාරණ අංශයේ කොවිඩ් 19 රෝග මර්ධන කාර්යයන්හි සේවයේ නියුතු වෛද්‍යවරුන්ට ලබා දෙන විශේෂ අතිකාල දීමනාවන්ට අදාල චක්‍රලේඛණය අගෝස්තු මාසයේ දක්වා පමණක් වලංගු වේ. නමුත් අප තවමත් කොවිඩි වසංගතයට දැඩි ලෙස මුහුණ දී සිටින සිටින රටක් ලෙස තවදුරටත් වෛද්‍යවරුන් සියලු අවදානම් තත්ව මැද කොවිඩ් රෝගී සත්කාරය සිදුකරමින් සිටියි. එම නිසා වර්තමාන තත්වය සලකා අදාල විශේෂ චක්‍රලේඛණය තවදුරටත් දීර්ඝ කිරීම කාලෝචිත බව අපගේ අදහසයි. එමඟින් එම වැඩිකල අතිකාල දීමනා ඉදිරියටත් ලබා දීම කල යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය ලෙස අවධාරණයෙන් ප්‍රකාශ කළ යුතු ය.

වෛද්‍ය කමල් ඒ. පෙරේරා

ලේකම්

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය

Page 422 of 462