V2025

පුවත්

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය : තොරතුරුවලට ප්‍රවේශවීමේ ජාත්‍යන්තර දිනය සමරයි !

සැප්තැම්බර් 28 දිනට යෙදී ඇති තොරතුරුවලට ප්‍රවේශවීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලැබූ මහජන සංවාදය සැප්තැම්බර් 25 සෙනසුරාදා දින පස්වරු 6.00 ට සූම් තාක්ෂණය ඔස්සේ මාර්ගගතව පවත්වන ලදී.

තොරතුරු දැනගැනීමේ පනත භාවිතා කරමින් ජය ගත් මොනරාගල මැතිවරණ නඩුව ප්‍රධාන කොට ගෙන පැවැත්වූ මෙම මහජන සංවාදයේ දේශකයින් ලෙස පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය එම්. ටී. එම් මහීස්, මහනුවර සමාජ සංවර්ධන ආයතනයේ ව්‍යාපෘති කළමනාකාරිනී යෝගොෂ්වරී ක්‍රිෂ්ණන් සහ කන්තලේ ජාතික සහයෝගිතා සංවර්ධන පදනමේ ව්‍යාපෘති කළමනාකරු සුරංග රූපසිංහ යන අය සහභාගී වූහ.

තොරතුරු පනත භාවිතා කරමින් ලබාගත් දත්ත හා තොරතුරු ඔස්සේ, මැතිවරණ අල්ලස් සම්බන්ධයෙන් පැවරූ නඩුවකින් ලබා ගත් ‌ඓතිහාසික නඩු තීන්දුව පිළිබඳ අත්දැකීම ගැන අදහස් දක්වමින් රෝහණ හෙට්ටිආරචිචි ප්‍රකාශ කළේ, 2018 වර්ෂයේ මොනරාගල මඳුරකැළේ පොදුජන පෙරමුණේ අපේක්ෂක විසින් ඡන්ද දායකයන්ට අල්ලස් ලබා දී ඇති බවට වාර්තා වීමෙන් පසු, පැෆරල් සංවිධානය, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ද සහාය ඇතිව ගොනු කරනු ලැබූ නඩුකරයෙන් ‌ ඓතිහාසික තීන්දුවක් ලැබී ඇති බවයි.

2021 සැප්තැම්බර් 13 දා මොනරාගල මහාධිකරණ විනිසුරු විසින් ලබා දුන් එම සුවිශේෂි තීන්දුවට අනුව මොනරාගල ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාගේ මන්ත්‍රී ධුරය අහෝසි කර ඇත. තවද එකී ජයග්‍රහණය තොරතුරු දැන ගැනීමේ පනත භාවිතා කරමින් මැතිවරණ දූෂණ සම්බන්ධයෙන් ලැබූ ප්‍රථම ජයග්‍රහණය බව ද ඔහු පැවසුවේය.

“පුරවැසි සමාජයට පාඩම් උගත හැක්කේ කෙසේද” යන තේමාව යටතේ අදහස් දැක්වූ ආචාර්ය එම්.ටී.එම් මහීශ් මහතා ප්‍රකාශ කළේ, සාමාන්‍ය පුරවැසියාට තම එදිනෙදා ජීවිතයේ සිදුවන සිද්ධීන් පිළිබදව තොරතුරු දැනගැනීමේ අයිතියක් ඇති නමුත් යම් යම් මාධ්‍ය ආයතන මගින් තොරතුරු විකෘති කරමින් පුරවැසියා වෙත ඒවා මුදාහරින නිසා පුරවැසියාට නිවැරදි තොරතුරු ලබා ගැනීමට නම් තොරතුරු පනත භාවිතා කරමින් තොරතුරු ලබා ගත හැකි බවයි.

තොරතුරු පනත භාවිත කිරීමේදී කඳුකර ජනතාව මුහුණ දෙන අභියෝග සහ ජයග්‍රහණ ගැන යෝගේෂ්වරී ක්‍රිෂ්ණන් අදහස් දැක්වූ අතර ග්‍රාමීය ජනතාවගේ ගැටළු සම්බන්ධව පැනනගින ගැටළු වලට තෝරතුරු දැනගැනීමේ පනත භාවිතා කරන විට උද්ගත වන අභියෝග සම්බන්ධව සුරංග රූපසිංහ මහතා අදහස් දක්වන ලදී.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය-

තව ඩිංගෙන් ඩලස් දඩ බඩස් !

ඉතිහාසයේ කිසිදු දිනක සිදුව නැති ආකාරයට පුවතක් පළකිරීම හේතුවෙන් , ඊට අදාළ මෙරට ජාතික පුවත්පත් සියල්ලේම කතුවරුන් ඇතුළු, මාධ්‍යවේදීන්, සැප්තැම්බර් 28, එනම් අද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණ.

මෙම පුවතට අදාළ සිදුවීම වන්නේ කුප්‍රකට සතොස සුදුලූණු වංචාවයි.

සතොස සුදුළුණු වංචාව සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා පැමිණිල්ලක් සිදුකර ඇත. ඊට අදාළව, ඔහු ගෙන් පැය 4ක 5ක පමණ ප්‍රකාශයක්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා ගෙන තිබු බවත් දැනගන්නට ඇත.

වෙළඳ අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයේ දී පුවත්පත්වල මෙම වංචාව සම්බන්ධයෙන් පළවූ පුවත් පිළිබඳ පවසා ඇති බවත් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

ඒ අනුව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ , මෙම සුදුලූණු වංචාව සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පළකළ, මෙරට ජාතික පුවත්පත් සියල්ලේම කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන්ය.

දේශපාලන විචාරකයන් පවසන්නේ පුවතක් නිසා මේ ආකාරයට , සියලුම පුවත්පත් කතුවරුන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණයට කැඳවූ පළමු අවස්ථාව මෙය බවය.

එසේම එය මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක් බවත් ඔවුන් අවධාරණය කරයි

මේ අනුව ඉදිරියට ආණ්ඩුවේ වංචා දූෂණ අනාවරණය කිරීම පමණක් නොව, සරල වාර්තාකරණයේ යෙදීමත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යාමට සිදුවන්නක් බවට සංඥාවක් නිකුත්ව ඇති බව විචාරක අදහසයි.

එසේම මෙය මෙරට ජනමාධ්‍ය සහ මාධ්‍යවේදීන් ගේ වෘත්තීය නිදහස බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවත් ඔවුන් පෙන්වා දෙයි.

වඩාත් අවාසනාවන්ත තත්ත්වයක් වන්නේ දේශපාලනඥයකු වීමට පෙර මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ ඩලස් අලහප්පෙරුම ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස සිටින පසුබිමේ මෙවැන්නක් සිදුවීමයි.

දැනගන්නට ඇති ආකාරයට , සියලු පුවත්පත් කතෘවරුන්, මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැනුවත් වූ මොහොතේ ඊට සි‍ය කණගාටුව පළකර ඇත.

එසේම මෙකී කැඳවීම සිදුකර ඇත්තේ , විෂය භාර අමාත්‍යවරයා නොදැනුවත්ව බවත් ආරංචි මාර්ග පවසයි.

කෙසේ වුවත් කැබිනට් තීන්දු දැනුම්දෙන ප්‍රවෘත්ති සාකච්ඡාව අවස්ථාවේ ඩලස් අමාත්‍යවරයා පවසා සිටියේ කිසිසේත් අනුමත කළ නොහැකි දෙයක් සිදුව ඇති බවයි. වහාම එය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කර අවලංගු කරවූ බවත් එහිදී සඳහන් විය.

අද අදාළ කැඳවීමට නොයන ලෙස ජනමාධ්‍ය අමාත්‍යංශය මාධ්‍ය ආයතන වෙත දන්වනු ලැබුවේ ඒ අනුවය.

එහෙත් දේශපාලන විචාරකයන් මෙන්ම ජනමාධ්‍ය ක්‍රියාකාරීන් පවසන්නේ , ජනමාධ්‍ය අමාත්‍යවරයා නොදැනුවත්ව, සියලු පුවත්පත් කතුවරුන් සහ මාධ්‍යවේදීන් කැඳවීමට ගනුලැබූ තීන්දුව බරපතළ බවයි.

මේ ආකාරයට වැඩකටයුතු සිදුවෙනවා නම්, එහිදී දෙයාකාරයක අවධානමක් ඇති බව ඔවුන් පෙන්වා දෙනවා

එයින් පළමු වැන්න ආරක්ෂක අංශ ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ දැනුවත් භාවයෙන් තොරව මාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන, බවට වන සංඥාවයි.

දෙවැනි කරුණ වන්නේ , ජනමාධ්‍ය විෂය පථයට අදාළව, ආරක්ෂක අංශ ගනුලබන තීන්දු තීරණ සම්බන්ධයෙන්, ජනමාධ්‍ය අමාත්‍යවරයා නොදැනුවත් වීමයි.

කොහොම නමුත් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා ඉතිහාසයේ අපකීර්තිමත්ම සිදුවීමක් මේ ආකාරයට නවත්වා ගැනීමට කටයුතු කිරීම වැදගත් වෙයි. මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් නරක සේයාවක් අස්සෙන් වුවත් සිදුකළ මැදිහත්වීම අගය කළ යුතුයි.

තව ඩිංගෙන් ඩලස් දඩ බඩස් !

ලොහාන්ගේ වැඩේ සොයා අනුරාධපුර බන්ධනාගාරයට ගිය මන්ත්‍රීලා !

පුද්ගලයකු නීතිය විසින් සිරගත කරනු ලබන්නේ එම පුද්ගලයා යම් වරදකට වැරැදිකරුවකු වීම හෝ සැකකරුවකු වීම මතය. කුමන වරදක් සඳහා සිරගත වුවද, සිරකරුවන් බන්ධනාගාරය තුළ කල්ගත කළ යුත්තේ එහි නීති රීතිවලට යටත්වය. ඒ ආකාරයෙන් නීති සම්පාදනය කර ඇත්තේ සිරකරුවන් සතු මානුෂීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහාය. බන්ධනාගාරගත සිරකරුවකුට සාමාන්‍ය පුද්ගලයකුට හිමි සියලු අයිතිවාසිකම් හිමි නොවන නමුත් මානුෂීය වශයෙන් ඔහු සතුවිය යුතු අයිතිවාසිකම් රැසක් නීතිය විසින් සුරක්ෂිත කර ඇත.

හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට බීමතින් ඇතුළුවී එහි සිටි රැඳවූවන් කිහිප දෙනකුට තර්ජනය කළ බවට වූ පුවත බොහෝ දෙනාගේ අවධානයට යොමු වූයේ එය නීතියට පමණක් නොව සමස්ත මනුෂ්‍ය සංහතියටම නිගා දෙන සිද්ධියක් වීම නිසාය. මේ පිළිබඳ සිදු කෙරෙන පරීක්ෂණ තවමත් අවසන්ව නැති නමුත් එම සිද්ධියෙන් පසුව බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට රත්වත්තේ මහතා තීරණය කළේය.

එම සිද්ධියෙන් පසුව ඒ පිළිබඳ විවිධාකාරයේ මතවාද සමාජය තුළ පැතිරෙන්නට විය. බන්ධනාගාර කොමසාරිස්වරයා මෙන්ම ලොහාන් රත්වත්තේ මහතාද මාධ්‍යයට ප්‍රකාශ කළේ එවැනි ආකාරයේ සිදුවීමක් කිසිසේත්ම සිදු නොවූ බවය. කෙසේ නමුත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව අධිකරණ අමාත්‍ය අලි සබි්‍ර මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමද කැපීපෙනෙන සිදුවීමකි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, කාවින්ද ජයවර්ධන සහ රෝහණ බණ්ඩාර යන මහත්වරුන් පසුගිය දිනෙක අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රැඳවූවන් හමුවීමට තීරණය කළේ මෙවැනි පසුබිමකය. ඒ වන විට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද එහි ගොස් අදාළ රැඳවූවන් මුණගැසී තිබිණි. බන්ධනාගාරය වෙත ගමන් කිරීම සඳහා දින නියම කරගත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු තිදෙන ඒ පිළිබඳ නියමාකාරයෙන් බන්ධනාගාර උසස් නිලධාරීන්ගෙන් අවසර ගැනීමටද කටයුතු කර තිබිණි. කෙසේ නමුත් අනුරාධපුරයට ගිය මන්ත්‍රීවරු තිදෙනාට දැනගැනීමට ලැබුණේ තමන්ගේ පැමිණීම පිළිබඳ බන්ධනාගාර උසස් නිලධාරීන් අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන්ව දැනුවත් කර නැති බවය. ඒ හේතුවෙන් මන්ත්‍රීවරුන්ට බන්ධනාගාරය වෙතට ඇතුළු වීමට ඉඩ ලබාදිය නොහැකි බව එහි සිටි නිලධාරීන්ගේ මතය විය.

මේ හේතුවෙන් මන්ත්‍රීවරු තිදෙනා සහ එම අවස්ථාවේ එහි රාජකාරි කළ බන්ධනාගාර නිලධාරියා අතර මත ගැටුමක් ඇති වන ආකාරයද දක්නට හැකි විය. එහිදී මන්ත්‍රීවරු ප්‍රශ්න කළේ රජයේ ඇමැතිවරුන්ට බීමතින් රාත්‍රී කාලයේදී බන්ධනාගාරයට ඇතුළු විය හැකි නම් පෙර අවසරයද ලබාගෙන පැමිණි තමන්ට ඒ සඳහා අවස්ථාව හිමි නොවන්නේ මන්දැයි කියාය. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස ජනතාව මුහුණ දෙන අසාධාරණයන් වෙනුවෙන් මැදිහත් වීමට තමන්ට අයිතියක් ඇති බවද මන්ත්‍රීවරු අවධාරණය කළහ.

එසේ වුවද, එහි සිටි නිලධාරියා ප්‍රකාශ කළේ තමන්ට එම අනුමැතිය ලබාදිය නොහැකි බවය. මන්ත්‍රීවරුන් තිදෙනා ඒ පිළිබඳ විමසීම සඳහා බන්ධානාගාරයේ උසස් නිලධාරීන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ නමුත් එම උත්සාහය සාර්ථක නොවීය. එබැවින් එහි සිටි බන්ධනාගාර නිලධාරියා හරහා අදාළ උසස් නිලධාරීන් සම්බන්ධ කරගැනීමටද මන්ත්‍රීවරු උත්සාහ කළහ. නමුත් එම උත්සාහයද අසාර්ථක වූයේ ඒ අවස්ථාවේ රැස්වීමකට සම්බන්ධ වී සිටින බැවින් මන්ත්‍රීවරු සමග දුරකතනයෙන් සාකච්ඡා කළ නොහැකි බව බන්ධනාගාර නිලධාරීන් දැනුම් දීමත් සමගිනි.

ඒ සමගම වහාම ක්‍රියාත්මක වූ හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් කතානායකවරයා දැනුවත් කිරීමට පියවර ගත්තේය. ඉන් පසුව කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයාද කතානායකවරයාට සිද්ධිය දැනුම් දුන්නේය. මන්ත්‍රීවරුන්ට බන්ධනාගාරය තුළට ඇතුළු වීමට අවස්ථාව ලැබුණේ ඉන් අනතුරුවය. කතානායකවරයා බන්ධනාගාර නිලධාරීන්ට සිද්ධිය පිළිබඳ දැනුම් දීමෙන් පසුව අනුරාධපුර බන්ධනාගාරයේ උසස් නිලධාරියකු එම ස්ථානයට පැමිණි අතර ඒ වන විට විනාඩි හතළිස් පහකට අධික කාලයක් මන්ත්‍රීවරු එහි ගතකර තිබිණි.

මන්ත්‍රීවරු තිදෙන බන්ධනාගාරය වෙතට ගමන් කළේ එම උසස් නිලධාරියාද සමගය. එහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති සිරකරුවන් 06 දෙනකු මුණගැසීමට මන්ත්‍රීවරුන්ට අවස්ථාව හිමි විය. පසුගියදා ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධ සිදුවීමට මුහුණදී තිබුණේ එම සිරුකරුවන් හය දෙනාය.

ඒ අතරින් දෙදෙනකු අධිකරණය විසින් වැරැදිකරුවන් ලෙස නම්කර තිබුණු අතර අනෙක් සිරකරුවන් සිවු දෙනාම තවමත් බන්ධනාගාරගතව ඇත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙසටය.

එම රැඳවූවන් සමග සාකච්ඡා කිරීමේදී මන්ත්‍රීවරුන්ට වැටහුණේ අදාළ සිදුවීම පිළිබඳ මාධ්‍ය ඔස්සේ වාර්තා වූ තොරතුරු 100%ක් නිවැරැදි බවය. ඇමැතිවරයා බන්ධනාගාරය තුළට පැමිණි ආකාරය සහ එහිදී සිදුවූ සිදුවීම් පෙළ සිරකරුවන්ගේ මුවින්ම දැන ගැනීමට මන්ත්‍රවරු තිදෙනාට හැකි විය. කෙසේ නමුත් රාජ්‍ය අමාත්‍යවරයා ඒ ආකාරයෙන් හදිසියේ බන්ධනාගාරය තුළට පැමිණියේ කුමන හේතුවකටදැයි යන්න ඒ කිසිවකු නොදැන සිටීමද කැපී පෙනෙන කරුණකි. සිරකරුවන් සියලු දෙනාම ප්‍රකාශ කළේ එයට හේතුව කුමක්දැයි යන්න තමන්ටද සිතාගත නොහැකි බවය. නමුත් එම සිද්ධියෙන් පසුව තම ජීවිත පිළිබඳ දැඩි අවිනිශ්චිතභාවයක් දැනෙන බවද රැඳවූවන්ගේ අදහස විය.

විශේෂත්වය වන්නේ එම රැඳවූවන් හය දෙනාගෙන් සිවු දෙනකුටම සිංහල භාෂාව ඉතා හොඳින් හැසිරවිය හැකි වීමය. දෙදෙනකුට සිංහල භාෂාව කතා කළ නොහැකි වුවත්, ඔවුන්ටද හොඳින් සිංහල තේරුම් ගැනීමේ හැකියාව ඇත. ඒ අතර සිටි එක් තරුණයකු වෙත මන්ත්‍රීවරුන්ගේ වැඩි අවධානය යොමු වූයේ ඔහු ඉතා හොඳින් සිංහල භාෂාව කතා කිරීම හේතුවෙනි. වසර දහතුනක් පුරා බන්ධනාගාරගතව සිටින එම තරුණයා මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කළේ තමන්ට බන්ධනාගාරගත වෙද්දී, සිංහල පිළිබඳ කිසිදු දැනුමක් නොතිබූ බවත්, තමන් සිංහල ඉගෙන ගත්තේ බන්ධනාගාරය තුළදී බවත්ය.

“සිරගත වුණු එක හොඳයි නේද. හොඳට සිංහල ඉගෙන ගත්තනේ?” යනුවෙන් එහිදී එම තරුණයාට විහිළුවක්ද කිරීමට මනෝ ගනේෂන් මහතා පියවර ගත් අතර, කාවින්ද ජයවර්ධන මහතා ඔහුට ප්‍රකාශ කළේ නිදහස් වීමෙන් අනතුරුව ඔහු සතු සිංහල දැනුම යොදාගෙන දේශපාලනයට පැමිණීමේ හැකියාවද ඇති බවය.

එම සාකච්ඡාව අතරතුරේදී තමන් මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් දිගින් දිගටම කරුණු ඉදිරිපත් කිරීමට එම රැඳවූවන් පියවර ගෙන ඇත. එමෙන්ම තමන් කළ ඉල්ලීමකට අනුව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තමන් හමුවීමට පැමිණි බවද, එහිදී තම ජීවිතවලට එල්ල වී ඇති තර්ජන පිළිබඳ දැනුවත් කිරීමට මෙන්ම තමන්ව තමන් උපන් භූමි ප්‍රදේශවලට ආසන්න බන්ධනාගාරයක් වෙත මාරුකර හරින මෙන් ඉල්ලා සිටි බවද රැඳවූවන් ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේ එම රැඳවූවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් දිගින් දිගටම පෙනී සිටීමට තමන් ඇතුළු සියලු මන්ත්‍රීවරුන් සූදානම් බවය. එමෙන්ම අදාළ සිදුවීමට සම්බන්ධ වූ අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම පිළිබඳවද තමන් අවධානයෙන් සිටින බව ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ජාති, ආගම් ලෙස මිනිසුන් වර්ග කිරීමට යෑමේ ඵල විපාක දශක ගණනාවක් පුරා අප අත්විඳිමින් සිටිමු. එබැවින් ජාතිය කුමක් වුවත්, අප මේ මොහොතේ එම සිරකරුවන් වෙනුවෙන් පෙනීසිටිය යුත්තේ ඔවුන්ද අපේ රටේ පුරවැසියන්ය යන හැඟීමෙනි. ඉහත ආකාරයේ දෙයක් සිදුව ඇත්නම් එය ඉතා බරපතළ කරුණක් වන බව අමුතුවෙන් කිව යුතු නැත. සිදු වූයේ කුමක්දැයි යන්න නිසියාකාරයෙන් විමර්ශනය කොට, වැරැදිකරුවන්ට නිසි දඬුවම් ලබාදෙන මෙන් අප ඉල්ලා සිටින්නේ ඒ නිසාය.

චන්දන පොන්නම්පෙරුම

(මව්රට )

මාධ්‍යවේදීන් රහස් පොලීසියට කැඳවීම ශීලාචාර සමාජයක නොවිය යුත්තක් - ජනමාධ්‍ය අමාත්‍ය ඩලස්

මාධ්‍යවේදීන් රහස් පොලීසියට කැඳවීම ශීලාචාර සමාජයක නොවිය යුත්තක් බවත්, එවැන්නත් සිදුව තිබීම ගැන ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස තමාත්, රජයත් කණගාටුව පළ කරන බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම  පැවසීය.

මෙම සිදුවීම ආණ්ඩුවක් ලෙස ප්‍රතික්‍ෂේප කරන බව කී අමාත්‍යවරයා එය නොවිය යුත්තක් බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව ද සඳහන් කළේය.

මාධ්‍යවේදීන් කිසිසේත් පොලීසියට, රහස් පොලීසියට කැඳවා ප්‍රශ්න කිරීම නොකළ යුතු බව අග්‍රාමාත්‍යවරයාද තමාට පැවසූ බව කී ඇමතිවරයා මාධ්‍ය ආයතන වෙත කිසි විටෙකත් රහස් පොලිස් නිලධාරීන් එවන්නේ නැති බව විෂය භාර ඇමති සරත් වීරසේකරත් ඉතා වගකීමෙන් පැවසූ බව කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද(28) පැවති කැබිනට් ප්‍රකාශ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

සුදුලූණු වංචාව සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයාට හා රාජ්‍ය අමාත්‍යවරයාට චෝදනා එල්ල කරමින් පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයකට අදාළව ප්‍රශ්න කිරීම සඳහා එය වාර්තා කළ මාධ්‍යවේදීන් සහ එම පුවත්පත්වල කර්තෘවරුන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබීම සම්බන්ධයෙන් මෙහිදී එම මාධ්‍යවේදියා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේය.

එයට පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙසේ ද පැවසීය.

“පුවත්පත් කර්තෘවරුන් සහ මාධ්‍යවේදීන් රහස් පොලීසිය වෙත කැඳවා තිබූ නිවේදන අයිලන්ඩ් හා ලංකාදීප පුවත්පත් ආයතනවලින් මටත් යොමුකර තිබුණා. මේ ගැන අප බරපතල ලෙස කණගාටු වෙනවා. ආණ්ඩුවක් ලෙස මෙය ප්‍රතික්‍ෂේප කරනවා. මෙය නොවිය යුතු දෙයක් බව ඉතා වගකීමෙන් කියනවා. මේ සම්බන්ධයෙන් මා අගමැතිතුමාගෙන් විමසූ විට එතුමා ඉතා පැහැදිලිව පැවසුවේ මාධ්‍යවේදීන් කිසිසේත් පොලීසියට, රහස් පොලීසියට කැඳවා ප්‍රශ්න කිරීම නොකළයුතු බවයි. රහස් පොලිස් නිලධාරීන් කිසි ලෙසකත් මාධ්‍ය ආයතන වෙත එවන්නේ නැති බව විෂය භාර ඇමති සරත් වීරසේකරත් ඉතා වගකීමෙන් පැවසුවා.

ලංකාදීප පුවත්පතේ පළවූ කතුවැකියක් සම්බන්ධයෙන් එහි කතුවරයාට පවා ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා. ද අයිලන්ඩ් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයා ඇතුළු හයදෙනෙක් පමණ මේ කැඳවූ අය අතර සිටියා.

හිටපු නිලධාරියෙක් සුදුලූණු වංචාව සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනට සහ රාජ්‍ය ඇමතිවරයාට ඇඟිල්ල දිගු කළ විට බන්දුල ඇමතිවරයා ඒ පිළිබඳ පැමිණිල්ලක් කළා. එතුමා මේ සම්බන්ධයෙන් ආයතන වශයෙන් කිසිවෙක් නම් කර තිබුණේත් නැහැ. බන්දුල ගුණවර්ධන වංචනික තක්කඩි දේශපාලනඥයකු නොවන බව අපි කවුරුත් දන්නවා. ඒ නිසා එතුමා ගොස් පැමිණිල්ලක් කිරීම යුක්ති සහගතයි. මෙහි වෙත තැනක පැටලිල්ලක් වී තිබෙනවා.

මේ සිදුවී තිබෙන්නේ ශිලාචාර සමාජයක නොවිය යුතු දෙයක්. ආණ්ඩුවක ගොරෝසු දරදඬු ඒකාධිපති නීතිවලට එරෙහිව පෑන අතට ගත් මාධ්‍යවේදියකු වී සිට ඩලස් අලහප්පෙරුම ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස සිටින මොහොතක මා කිසිසේත්ම මෙයට එකඟ නැහැ. මෙය බැහැර කිරීම ගැන අගමැතිතුමාට හා මහජන ආරක්‍ෂක අමාත්‍යවරයාට ස්තුතිය පළ කරනවා. ලංකාදීප කර්තෘවරයා ඇතුළු මාධ්‍යවේදීන්ට මා කණගාටුව පළ කරනවා.” යැයි ද අමාත්‍යවරයා පැවසීය.

පැහැදිලවම කිසිම ඉන්ධන හිඟයක් නෑ - අමාත්‍ය රමේෂ්

ඉදිරියේදී කිසිදු ඉන්ධන හිඟයක් රට තුළ ඇති නොවන බව අමාත්‍ය  වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඩොලර් සංචිත අඩුවෙලා නිසා ඉන්ධන ආනයනයේ අර්බුදයක් තියෙනවා. ඒ නිසා ඔක්තෝබර් මස 01 වන දා දක්වා පැනවු නිරෝධායන ඇඳිරිනීතිය ඉවත්කිරීම සිදුනොවනවාදැයි එහිදි මාධ්‍යෙව්දින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දක්වමින් ඔහු පවසා සිටියේ,

"ඉතාම පැහැදිලවම කිසිම ඉන්ධන හිඟයක් නෑ. ආනයනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජය සතුව තිබෙනවා. ඒ නිසා ඉන්ධන හිඟයක් පිළිබඳ කිසිදු සැකයක් හෝ අනියත බියක් ලංකාවේ ජනතාව ඇති කරගත යුතු නෑ." යන්නයි.

සහල් මිල පාලන ගැසට්ටුවත් රිවස්

අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා බව කියමින් හදිසි නීතිය පැනවූ ජනාධිපති, ඊයේ (27) මධයම රාත්‍රියේ සිට සහල් මිල පාලනය කිරීමේ ගැසට් නිවේදන අහෝසි කර ඇත.

සූම් තාක්ෂණය ඔස්සේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව සැප්තැම්බර් 02 දා උපරිම සහල් මිල නියම කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය දින 25කට පසුව අහෝසි කර ඇත. මෙම තත්වය මත සහල් මිල පාලනය කිරීම සම්බන්ධයෙන් මින් ඉදිරියට ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව කිසිදු මැදිහත්වීමක් සිදු නොකරන තත්වයක් උදාවී තිබේ.

එසේ වුවත් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා බව කියමින් පණවන ලද හදිසි නීතිය සහ ඒ යටතේ පත්කළ අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ධුරය දිගටම වලංගුව පවතී. මෙම කොමසාරිස් වශයෙන් පත් කර සිටින්නේ ජනාධිපතිගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන සෙනරත් නිවුන්හැල්ල ය.

කොරෝනා මරණවලට ප්‍රමුඛ හේතුව මෙන්න !

කොරෝනා මරණවලට ප්‍රමුඛ හේතුව වී ඇත්තේ දියවැඩියාව හා අධික රුධිර පීඩනය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩි 19 පිළිබඳ සම්බන්ධීකාරක, වෛද්‍ය තාක්ෂණ සේවා අධ්‍යක්ෂක වෛද්‍ය අන්වර් හම්දානි පවසන්නේ , කොරෝනා වෛරසය ආසාදිතව මියයන පුද්ගලයින්ගෙන් 80% ක්ම අදාළ රෝගවලින් පෙලෙන රෝගීන් බවය.

නිවෙස් නිරෝධායනය වූ කොරෝනා රෝගීන් 75,000කට අධික පිරිසක් මේ වනවිට පූර්ණ සුවය ලබා ඇතැයි ද ඔහු පැවසීය.

ඔට්ටමාවඩි ජාතික කොවිඩ් භුමදාන මධ්‍යස්ථානයේ මේ වනවිට 3000 ඉක්මවා කොවිඩ් මරණ භුමදානය සිදු කර ඇතැයි ද වෛද්‍ය අන්වර් හම්දානි වැඩිදුරටත් සඳහන් කළේය.

විමල්ලා වාසුලා ගම්මන්පිලලා නිහඬ වෙයිද ?

විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකාවට දීමට එරෙහි විරෝධය අත්හරියි ද ? අද(27) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවේදී මේ ගැන ප්‍රශ්න කෙරිණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා,

සිංගප්පූරුව, මැලේෂියාව වගේ රටවල්වල ගම්බද ප්‍රදේශවල ඇවිදින මංතීරු හදනකොට ඒ රටවල්වල මිනිස්සුවත් ආගමික නායකයෝවත් පාරවල්වලට බැහැලා කිව්වේ නෑ මේවා දියුණු කරන්න එපා කියලා. ඒ රටවල් ඒ වගේ දෙවල්වලට සහයෝගය දුන්නා. මේ රටට අපිට ආයෝජන ගෙන්න ඕනේ නම් ආයෝජකයින් දිරිමත් කරන්න ඕනේ නම් විදුලිබල ලබාදීම කියන එක ඉතාම අත්‍යවශ්‍ය කාර්යක්. වසර 10 ක් තිස්සේ කෙරවලපිටිය බලාගාරය එල්. එන්. ජී බලාගාරයක් බවට පත්කිරීම රටක් හැටියට අපි අසමත් වෙලා තියෙනවා.

ප්‍රශ්නය,

රෑ 12 යි ගානකට අත්සන් කරලා රෑ 2 යි ගානකට ෆ්ලයිට් එකේ ගියා කියන කතාව එහෙම වලො තියෙනවා ද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා,

මේතුමා ඒ දවස්වල ලංකාවේ හිටියේ නෑති නිසා අසාධාරණයි එතුමාගෙන් ඒක අහන අහන එක ඒ ගිවිසුම ලංකාවට වඩාත් සුභදායි විදිහට දිගින් දිගටම සාකච්ජා කළා. ඉතින් ඒ අකාරයට මේය කරන්න රෑ වෙනකම් කාලයගත වුණා.

ප්‍රශ්නය,

අපි දැක්කා විමල් වීරවංශ මහත්තයා ගම්මන්පිල මහත්තයා යම් යම් ගිනිපුපුරු මතු වුණානේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා,

විමල් වීරවංශ මැතිතුමාට ඒ වගේම වාසුදේව නානයක්කාර මැතිතුමා ඒ වගේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මේ සම්බන්ධයෙන් කිසියම් වූ දෙවල් තිබුණා නිරවුල් කරගන්න. ඉතින් ඔවුන් ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙන් විමසුවා ඒ සියලු දේට මං හිතන්නේ ඔවුන් තෘප්තිමත්වන අකාරයේ පිළිතුරු ලැබුණා. එතකොට ඒ සියලුම පිළිතුරුවලින් පස්සේ ඔවුන් එතනින් එහාට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කලේ නෑ

ප්‍රශ්නය,

වාසුදේව මන්ත්‍රීවරයා මේක අපි දන්නේ නෑ දැනුවත්ව වෙච්ච දෙයක් නෙවේ වාගේ කතා කියනවා ඒ වගේ පොඩි පොඩි තැන්වලින් එළියට එනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා,

පක්ෂ නායක රැස්වීමක් කැඳවලා ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කලා මං හිතන්නේ තවදුරටත් කිසිම පක්ෂ නායකයකුට මේක කියන්නත් බෑ මේක ගැන දැනුවත් නෑ කියලා. විවිධ පුද්ගලයින්ගේ පුද්ගලික මතිමතාන්තර නෙවෙයි රටට හොඳ දේද නැද්ද කියන පමණයි අපි විශේෂයෙන් සලකා බලන්නේ.

(News 1st)

තවත් කොරෝනා මරණ 51 ක් !

තවත් කොරෝනා මරණ 51ක් ඊයේ (26) දිනට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර ඇති අතර ඊට අදාළ නිවේදනය අද (27) රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත්කර ඇත.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 12731 ක් දක්වා ඉහළ ගොස් ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු නිවේදනය අනුව ඊයේ දිනට අදාළ මරණ 51 අතර පිරිමි පුද්ගලයින් 29 දෙනෙකු සහ කාන්තාවන් 22 දෙනෙකු සිටියි.

මියගිය පිරිසෙන් 10 දෙනෙකු අවුරුදු 30ත් 59 ත් අතර පුද්ගලයින් වන අතර , ඉතිරි 21 දෙනාම අවුරුදු 60 සහ ඊට වැඩි වයසේ වැඩිහිටියන්ය.

සෞභාග්‍යයේ දැක්ම : ජාවාරම්කාරයන්ට සැනසීම - ජනතාවට පීඩනය !

සෞභාග්‍යයේ දැක්ම අනුව රට ගොඩ නගන බව ප්‍රකාශ කරමින් බලයට පැමිණි ආණ්ඩුව මේවන විට රාජපක්ෂ පවුල සහ සමීපතම ජාවාරම්කරුවන් පිරිසක් විසින් මෙහෙයවන තත්වයකට පත්ව ඇති බවත් ඒ තුළ ජනතාව විශාල පීඩනයකට පත් කරමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

මේ නිසා ජාවාරම්කාරයින් සැනසීම පැත්තක දමා ජනතාවට සහන දීම සඳහා වහා මැදිහත් වන්න යැයි එම පක්ෂය ආණ්ඩුවට බලකරමින් කියා සිටී.

අද (27) ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා මේ බව අවධාරණය කළේය. එහිදි පක්ෂ ලේකම්වරයා දැක්වූ සම්පූර්ණ අදහස් පහත පළවේ.

“දිගින් දිගටම රට තුළ බඩුමිල වැඩිවීමක් සහ භාණ්ඩ හිඟයක් තිබෙනවා. ආණ්ඩුවට මේ ප්‍රශ්න විසඳීමට කිසිම වැඩපිළිවෙළක් නැහැ. කොරෝනා වසංගතයට මුහුණ දීලා ඉන්න පොදු ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඉටු කරන්න ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැහැ. මේ නිසා දිගින් දිගටම භාණ්ඩ මිල වැඩිවීමක් සහ භාණ්ඩ හිඟයක් ඇතිවී තිබෙනවා. මේ නිසා පෝලිම් යුගය ගැන අලුතින් බයක් ඇතිවී තිබෙනවා. ගෑස් හිඟය නිසා, කිරිපිටි හිඟය නිසා, පෝලිම් ඇතිවීම මේ දවස්වල දකින උදාහරණයි. නමුත් ජනතාවගේ මූලික අවශ්‍යතා විසඳන්න ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. සෞභාග්‍යයේ දැක්මට අනුව රට ගොඩනගන්න ආපු ආණ්ඩුවක් ජනතාවට තුන්වේල කන්න දෙන්න බැරි මට්ටමකට පල්ලම් බැස තිබෙනවා. මේ කිසිදු දෙයක් ආණ්ඩුවේ ලොක්කන්ට දැනෙන්නේ නැහැ. ජනාධිපතිවරයා ඇතුළු ප්‍රධානීන්ට රට ගෙනියන්නේ කොහෙටද කියලා දැක්මක් නැහැ. ඡන්ද කාලයේ ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ඉලක්කම් වචන සහ කොල කෑලි විතරයි. දැන් පරිපාලන යාන්ත්‍රණය බිඳවැටිලා නිලධාරීන් කෙළවරක් නැතිව ඉල්ලා අස්වෙමින් තිබෙනවා. හැම තැනම අරාජිකත්වයක් තියෙන්නේ. රට ඉබාගාතයේ ගමන් කරමින් තිබෙනවා.

පවුලක් සහ කොල්ල කල්ලියක්…

මේ තුළ ආණ්ඩුවේ ප්‍රධානීන් තමන් හම්බකරගන්න ගමන් හිතවතුන්ට, ජාවාරම්කාරයින්ට හම්බ කරගන්න ඉඩ දී තිබෙනවා. ජනතාව මහා ව්‍යසනයක් කරා ගමන් කරමින් සිටිනවා. ජනාධිපතිගේ සිට ආණ්ඩුවේ කිසිවෙකුත් කිසිවකට වගකියන්නේ නැහැ. ඔවුන් ජනතාවට, ජනවරමට වගකියන්නේ නැහැ. දැන් තියෙන්නේ ව්‍යවස්ථාවකට, නීතිරීතිවලට අනුව රට පාලනය කරන ආණ්ඩුවක් නෙවෙයි. පවුලක් වටා මුදල් එකතු කිරීම අරමුණු කරගත් කොල්ල කල්ලියක් සිදුකරන කාර්යයක් තිබෙන්නේ. මේ නිසා රටේ ජනතාව පීඩාවට පත් වී රට වේගයෙන් විනාශය කරා ගමන් කරමින් තිබෙනවා. නමුත් ආණ්ඩුව කරන්නේ සංදර්ශන පාන එක විතරයි. පාරිභෝගික අධිකාරියට හමුදාවේ ප්‍රධානියෙක් පත්කරලා භාණ්ඩ මිල අඩු කරන බව කීවා. මේ අය සමහර වෙලඳසැල්වලට ගිහින් කන් කුඩුවෙන්න ගහන බව කීවා. වී මිලදී ගැනීමට හමුදා බ්‍රිගේඩියර්වරයා මැදිහත් කළා. දැන් ‘වී’ත් නැහැ, ඒ හමුදා ප්‍රධානියාත් නැහැ. දැන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක් පත්කර ඉන්නවා. ඒ කොමසාරිස්ට අත්‍යවශ්‍ය ගෑස් ටික ලබාදෙන්න බැරි වෙලා තියෙන්නේ. ඒ වගේම හාල් මෝල් වටලනවා කියලා සද්දයක් දැම්මා. නමුත් වෙළඳපොළේ හාල් මිල හැමදාමත් වැඩිවෙනවා. මේ හැම දෙයක්ම ජනතාව රවටන්න මාධ්‍යවලින් පෙන්වන සංදර්ශන විතරයි. ඇත්ත ප්‍රශ්නය භාණ්ඩ මිල අඩු කිරීමට ආණ්ඩුවට ඕනෑකමක් නැහැ; සැලැස්මක් නැහැ; වැඩපිළිවෙළකුත් නැහැ. සංදර්ශන කරනවා පමණයි.

හාල් මිල වැඩිවෙනවා – පෝලිම් යුගයක් එනවා

ඉදිරියේදී හාල් මිල තවත් වැඩි වෙනවා කියන එක ඉතාම පැහැදිලියි. මහ කන්නයේ වගා කරන්න ගොවීන්ට අවශ්‍ය පොහොර නැහැ. කෘෂි රසායන නැහැ. මේ නිසා අස්වැන්න අඩු වෙනවා. ඒ නිසා හාල් හිඟයක් ඇතිවෙනවා. ආණ්ඩුවට ඒකට උත්තර නැහැ. පහුගිය දවස්වල පිට රටින් හාල් ගේන බවට සමහර ඇමතිවරු කයිවාරු ගැහුවා. නමුත් තෙල් ටික ගේන්න, වරායට ආපු බඩු ටික නිදහස් කරගන්න ඩොලර් නැතිව හිඟා කමින් ඉන්නේ. ඒ අතරේ රටින් හාල් ගේනවා කියන එක විහිළුවක්. අපේ රටේ කෘෂිකර්මාන්තය කඩා වැටී ආහාර සුරක්‍ෂිතතාවය අහිමි වෙනවා. අපි ඒ බව පෙන්වා දෙද්දිත් උද්දච්චකමකට කයිවාරු ගහනවා මිස වෙන කිසි දෙයක් කරන්නේ නැහැ. ණය අරගෙන හොරකම් කරලා දැන් ණය ගෙවන කාලය. මේ නිසා විශාල වශයෙන් ඩොලර් හිඟයක් තිබෙනවා. ඩොලර් හොයන්න කිසිම ක්‍රමයක් නැහැ. මේ වෙනකොට අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වන්න පවා පිටරටින් ණය ගන්න සිදු වෙලා. ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක් තෙල් ගේන්න ඉල්ලා තියෙනවා. ඩොලර් හිඟය නිසා භාණ්ඩ ගෙන්වන්න බැරි බව ව්‍යාපාරිකයෝ කීවාම අගමැතිවරයා මැදිහත් වෙලා විසඳන බව කීවා. දැන් විසඳලාද තියෙන්නේ? සැලැස්මක් නැති ආණ්ඩුවක් නිසා වෙළඳපොළේ හිඟයක් ඇතිවී නැවතත් මිල වැඩිවෙනවා. පෝලිම් ඇතිවෙනවා.

දේශීය නිෂ්පාදන වැඩිකරන බව දැන් ආණ්ඩුව කියනවා. කිරිපිටි අගුණ බව කියනවා. නමුත් අපේ රටේ ජනතාවට වසවිස නැති දියර කිරි ලබාදීමේ වැඩපිළිවෙළක් නැහැ. අපේ පක්‍ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා කෘෂිකර්ම ඇමති වෙලා හිටිය කාලයේ කිරි කර්මාන්තය දියුණු කරන්න වැඩපිළිවෙළක් හැදුවා. කිරි ගොවි ගම්මාන පිහිටවූවා. නිෂ්පාදනය වැඩිකර මිල්කෝ සමාගම ඉතිහාසයේ පළවැනි වතාවට ලාභ ලැබුවා. නමුත් කොම්පැනිකාරයින්ගේ අල්ලස්වලට යටවී සියල්ල කඩා බිඳ දැම්මා. කිරි විසයි කියන ආණ්ඩුව බාර් අරිනවා. බාර් හිමකාර මැති ඇමතිවරුන්, ආණ්ඩුවේ ආදායම් වෙනුවෙන් ඇඳිරි නීතිය තියෙද්දී බාර් ඇරලා පෝලිම් හැදුවා. මේ අතරේ සුදුළුෑණු වංචාවක් පිළිබඳ හෙළිවී තිබෙනවා. රුපියල් 150ට විතර වෙළඳපොළේ විකුණන්න තිබුණු සුදුළුෑණු රු. 250ත් ඉක්මවලා මිල වැඩිවෙලා. මේක ආණ්ඩුවක් නෙවෙයි, කොල්ල කල්ලියක් කියන්නේ ඒකයි. ඒ නිසා ආණ්ඩුවේ අය කියන බොරු විශ්වාස කරන්න එපා කියලා අපි ජනතාවට කියනවා. ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර සපයන්න මේ අය අසමත් කියන එක දැන් ඇතිවෙන්න සහතික කරලා තියෙන්නේ. බලයට එන්න ඉස්සෙල්ලා “අපි දන්නවා සල්ලි හොයන ක්‍රමය” කියපු අය දැන් කරමින් ඉන්නේ මොනවාද? දැන් ජනතාව භුක්ති විඳින්නේ මේ ආණ්ඩුවත් ඇතුලුව පහුගිය කාලය පුරාම අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයි.

ජනතාවට විහිළු සපයන්න එපා

පසුගිය කාලයක් තිස්සේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගනවා වෙනුවට කොමිස්වලට ණය ගත්තා. ගත්ත ණය නාස්ති කළා. ඒ නිසා රටේ නිෂ්පාදනයක් ඇතිවුණේ නැහැ. ණය ගෙවාගන්නත් බැහැ. මේ නිසා විදෙස් මුදල් සංචිතය අඩුවෙනවා. ඒ නිසා රුපියල කඩා වැටෙනවා. අනෙක් පැත්තෙන් සල්ලි අච්චු ගහනවා. මේ දෙක නිසාම බඩුමිල වැඩිවෙනවා. ව්‍යාපාර කඩාවැටෙන්නෙත්, ආනයනය සීමා කරන්නෙත් භාණ්ඩ හිඟ වෙන්නෙත් නිෂ්පාදනයක් නැති වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසයි. මේ ආර්ථික ප්‍රතිපත්තිය සහ ඒ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය පවත්වාගෙන යන දේශපාලනය වෙනස් නොකර මේ ප්‍රශ්නයට උත්තර හොයන්න බැහැ. මේ වෙනුවෙන් ස්ථිර ආර්ථික, දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන තෙක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුකරපල්ලා කියලා ආණ්ඩුවට බල කරන්න සිදුවී තිබෙනවා. පීඩනය දරාගෙන මිනිස්සු ඉන්නේ කොරෝනා තත්වය නිසයි. ජනතාවට විහිළු සපයන්නේ නැතිව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව සපයන්න ආණ්ඩුව මැදිහත් විය යුතු බව අපි අවධාරණය කරනවා.

අර්බුද වහ ගන්න ජාතිවාදය අවුස්සනවා

ඒ වගේම ආණ්ඩුවට එරෙහිව ජනමතයක් ගොඩනැගෙනකොට ඒ අයගේ පරණ සෙල්ලමම ජාතිවාදය මතුකිරීම ආයෙත් පටන්ගෙන තිබෙනවා. එක එක සේනා බැහැලා මුස්ලිම් ජනයාට එරෙහිව විශේෂයෙන් දැවැන්ත ජාතිවාදයක් ඇවිස්සුවා. බලයට පත්වුණාට පස්සේ ඒ ජාතිවාදී නඩ ඔක්කොම ඔළුව හංගා ගත්තා. ආණ්ඩුවේ අවශ්‍යතාවයට මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඡන්ද ගන්නකොට මේ නඩ හිටියේ ඔළුව හංගාගෙනයි. 20වැනි සංශෝධනය සම්මත කරගෙන හදිසි නීතිය සම්මත කරගන්න මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඡන්ද අරගෙන දැන් ජාතිවාදී නඩ එළියට බැහැලා ඉන්නවා. ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමතීම සහ ලංකාව තුළ ක්‍රියාත්මක වීම තුළ අපි පැහැදිලි වෙනසක් දකිනවා. කතෝලික ජනතාවට, කාදිනල්තුමාට එරෙහිව නැවත වෛරය ඇතිකරමින් ඉන්නවා. පාස්කු ප්‍රහාරය වෙලාවේ මුස්ලිම් විරෝධයක් ඇතිවී ගැටුමක් දක්වා යාම වළක්වන්න කාදිනල්තුමා විශාල වශයෙන් මැදිහත් වුණා. යුක්තිය ඉටුකරගන්න ක්‍රමයක් හොයාගමු කියලා කතෝලික ජනතාව තුළ තිබුණ පීඩනය නතර කළා. ඒ සම්බන්ධයෙන් එතුමාට අපේ ගෞරවයක් තියෙනවා. නමුත් දැන් ජනාධිපති පත්වෙලා අවුරුදු දෙකකට කිට්ටු වුණත් පරීක්‍ෂණ අයාලේ යමින් තියෙනවා. වින්දිතයන්ට යුක්තිය ඉටුවුණේ නැහැ. මේ නිසා කාදිනල්තුමා ආණ්ඩුවට බලකරමින් ඉන්නවා. ඒ නිසා ආණ්ඩුව තමන් ළඟ හිටපු බලවේග එළියට දාලා කාදිනල්තුමාට පහර දෙනවා.

බලය වෙනුවෙන් ජාතිවාදය අවුළුවලා දෙමළ ජනතාව අමනාප කරගත්තා. මුස්ලිම් ජනතාව අමනාප කරගත්තා. දැන් කතෝලික ප්‍රජාවත් අමනාප කරගන්න යන්නේ. සෞභාග්‍යය කරා යනවා නම් සමගිය තියෙන්න ඕනෑ. නමුත් ආණ්ඩුව කරන්නේ මේ මොහොතේ තිබෙන ආර්ථික අර්බුදය සහ ආණ්ඩුවේ අසමගිකම වහගන්න ජාතිවාදය අවුස්සන එකයි. කාදිනල්තුමා පාස්කු ප්‍රහාරයේ පරීක්‍ෂණ ගැන ප්‍රශ්න කරනකොට උත්තර දෙන්න බැරිව ආණ්ඩුව ජාතිවාදය, ආගම්වාදය අවුස්සනවා. මේ නිසා අපි ජනතාවට අවධාරණය කරන්නේ ජාතිවාදය අවුස්සන්න කලඑළි බහින කණ්ඩායම් පිළිබඳව අවබෝධයෙන් ඉන්න කියලා. මේ අය රටට ආදරය ඇති අය නෙවෙයි. ජනතාවට ආදරය ඇති අය නෙවෙයි. පාලකයින්ගේ කොන්ත්‍රාත් ඉටුකරමින් ජනතාව භේද කරන අයයි. රට අගාධයට අරගෙන යාමට දායක වන අය බව අවබෝධ කරගෙන කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේ නිසා අපි අවධාරණය කරන්නේ රට ඉතා අනතුරුදායක තත්වයක තිබෙන බව අවබෝධ කරගෙන කටයුතු කරන්න කියලා. මේ තත්වය වෙනස් කිරීමට අපේ රටේ දේශපාලනය වෙනස් කළ යුතුයි. ඒ වෙනුවෙන් පෙළගැහෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…

රාජ්‍ය ඒකාධිකාරී ක්‍රමය වෙනස් කරලයි විවෘත ආර්ථිකයට ආවේ. ඒ නිසා ඒ අතීතයට යා යුතුයි කියලා අපි කිසිසේත්ම කියන්නේ නැහැ. දැන් ඕනෑ, පෝලිම් යුගයට යන්න නෙවෙයි. රාජ්‍ය ඒකාධිකාරයට යන්න නෙවෙයි. ජනතාවගේ අවශ්‍යතා ඉටුකරගන්න, ධනවාදී අරමුණු වෙනස් කරන දේශපාලන ක්‍රමයක් බලයට ගේන්න ඕනෑ. දේශපාලනය මහජන ක්‍රියාවලියක් බවට පත්කරගන්න ඕනෑ. ඒ යටතේ කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕනෑ. ව්‍යාපාරික ප්‍රජාව, නිෂ්පාදකයා සහ ජනතාව මේ වෙනුවෙන් පෙළගස්වන්න ඕනෑ. නාස්තිය අවම කරන්න ඕනෑ. නමුත් මේ අය කරන්නේ නිෂ්පාදන ආර්ථිකයක් ගැන කියලා තියෙන දේත් විනාශ කරන එකයි. උදාහරණයක් හැටියට කාබනික පොහොර හඳුන්වාදීම ගන්න පුළුවන්. කාබනික පොහොර කියලා කසල පැකට් කරන අතර පිටරටිනුත් ගේනවා. ජාවාරම්කාර අරමුණු එක්ක රටක් හදන්න බැහැ. තව පැත්තකින් ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී පුනර්ජනනීය බලශක්තිය කතා කරන අතර බැසිල් රාජපක්‍ෂ ඇමරිකන් සමාගමක් එක්ක ගිවිසුම් ගහනවා. මේ ජාවාරම්කාර මානසිකත්වය, එක්සත් ජනපදය වැනි රටවල්වලට යටත් වීමේ මානසිකත්වය තියාගෙන රටක් හදන්න බැහැ.

අපේ රටේ වෙරළට ගොඩගහන ඉල්මනයිට්වලින් ටයිටේනියම් නිෂ්පාදනය කරන්න ආයෝජකයෙක් හොයාගෙන නැහැ. මතුපිට තියෙන ඉල්මනයිට්වලින් ප්‍රයෝජන ගන්නෙවත් නැතිව මේ අය නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කරනවා. නමුත් ඇත්තටම කරන්නේ ණයට කාලා කොමිස් ගහන එකයි. ඒ වෙනුවෙන් ජාවාරම්කාරයෝ ලංකාවට එනවා. කොමිස් ගහන එක නතර කරනවා නම් ආයෝජකයෝ ගෙන්වා ගන්න පුළුවන්. කොමිස් ගහන දේශපාලනය වෙනස් කරලා මහජන සේවාවක් බවට පත් කරගත්තාම අපේ රටට ආයෝජන ගෙන්වා ගන්න පුළුවන්. මේ වෙනවිට ගෑස් ප්‍රශ්නය ඇතිවී තිබෙන්නෙත් ජාවාරම්කාරයන් සතුටු කරන්න යන නිසයි. යුගදනවි බලාගාරය විකුණන්න යන්නෙත් මේ ජාවාරම්කාරයන් සනසන්නයි. අපි විදුලිය නිපදවූවත් නැතත් ඇමරිකානු සමාගමෙන් ගෑස් ගන්න ඕනෑ. ගත්තේ නැතත් ගෙවන්න ඕනෑ. මේකත් හෙජින් ගිවිසුම වගේ අපරාධයක්. ඒ අපරාධය හංගලා 40%ක් දෙන බව, 60%ක් අපි ළඟ තිබෙන බව ජනතාවට කියනවා. මේ ආයෝජනයෙන් ඩොලර් මිලියන 250ක් ලැබෙන බව කියනවා. ඇත්ත හංගලා එක්සත් ජනපදය සතුටු කරන්නයි, ඩොලර් මිලියන 250ක් වගේ පුංචි ගාණකට රට පාවා දෙන්නයි ආණ්ඩුව කටයුතු කරනවා. මේ වැඬේ කරන්නේ එම්.සී.සී. ගිවිසුම මගින් රට පාවා දෙනවා කියපු ආණ්ඩුවක්. ඊට විරුද්ධ බව කියමින් ආණ්ඩුව ඇතුළේම කොටස් බොරු විරෝධයකුත් පළ කරමින් ඉන්නවා. ඒක කපටිම වැඩක්. අපි ජනතාවට කියන්නේ මේ ගිවිසුම අනිවාර්යයෙන්ම පරද්දන්න ඕනෑ. අපි ඒ වෙනුවෙන් අධිකරණයටත් යනවා. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලටත් යනවා. විදුලිය නිපදවීමේ අයිතිය ඇමරිකානු සමාගමක් අතේ තිබෙනකොට ජාතික ආරක්‍ෂාවටත් අනතුරක්. අපි මෙය පරාජය කළ යුතුයි.

සතොසේ කුණු සැමන් විකුණලා

ආහාර පාලන අධිකාරියේ අනුමැතිය හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතියද හිමි ව සතොසට නිකුත් කළ සැමන් ටින් ලක්ෂ ගණනක් මිනිස් පරිභෝජනයට නුසුදුසු බව අනාවරණය වෙයි.

ආනයනකරුවන් විසින් නිදහස් කර නොගැනීම නිසා සතොස ආයතනයට ලබාදුන් සැමන් ටින් දෙලක්ෂ විසිදහසක් සඳහා රුපියල් කෝටි පහක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට මෙතෙක් ගෙවා නැති බව ට ලැබුණු පුවතක් පිළිබඳ සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් ගෙන් විමසූ අවස්තාවේදී මේ තොරතුර අනාවරණය විය.

මෙම වස‌රේ ජුනි මස හත්වැනිදා ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් මෙම සැමන් ටින් සතොස වෙත ලබා දී තිබේ.

පෞද්ගලික ආනයනකරුවනකු කොළඹ ජාත්‍යන්තර බහලුම් පර්යන්ත සමාගම වෙත ආනයනය කර තිබූ සැමන් ටින් තොගය දින විසිඑකක කාලයක් තුළ නිදහස් කරගෙන නැත. එවැනි භාණ්ඩ වෙන්දේසි කිරීමකින් තොරව ලංකා සතොස වෙත ලබාදීමට ඇමැති මණ්ඩල තීරණයක් ලබාගෙන තිබේ.

රුපියල් 325ක් ලෙස මිල සටහන්ව තිබූ සැමන් ටින්එකක් සතොස ආයතනයට අලෙවි කර ඇත්තේ රුපියල් 225කටය. මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය අවස්ථා කිහිපයකදී සතොස දැනුවත් කර ඇතත් මේ වන තෙක් මුදල් ලැබී නැත.

මේ පිළිබඳව සතොස සභාපතිගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ මෙම සැමන් පරිභෝජනයට නුසුදුසු බවට පැමිණිලි ලැබුණු බවයි.

එම නිසා අලෙවිය නතර කළ අතර අලෙවි කළ සැමන්වලට පමණක් අදාළ මුදල වරාය අධිකාරියට ගෙවීමට කැමැත්ත පළ කරමින් වෙළෙඳ අමාත්‍යාංශය දැනුවත් කළ බවද ඔහු කියා සිටියේය.

අරුණ

විමල් දන ගහයි ?

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් විදේශ සමාගමකට පැවරීමෙන් බලාගාරයේ කළමනාකරණ බලය එම සමාගමට නොලැබෙන්නේ නම් අදාළ ගිවිසුම පිළිබඳ සලකා බැලිය හැකි බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

මාධ්‍ය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ අදහස් දක්වා ඇත.

එහිදී මාධ්‍ය විමසා සිටියේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසා ඇති , යුගදනවි බලාගාරය පිළිබඳව කැබිනට් මණ්ඩලයට දැනුම් දී අනුමැතිය ලබාගත් බවට වන ප්‍රකාශය ගැනය.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ඊට සෘජු පිළිතුරක් ලබා දීමෙන් වැළකී සිටි අතර, ඒ වෙනුවට ,“ප්‍රසන්න රණතුංග ඇමතිතුමා එහෙම කියනවානම් ඒක කැබිනට් සාමූහික වගකීමත් එක්ක ගැටෙනවා. මොකද අමාත්‍ය මණ්ඩලයේ සිදුවෙච්ච දෙයක් සිදුවෙච්ච ආකාරය පිළිබඳව අපි කතා කළ යුතු වන්නේ නැහැ” යැයි පවසයි

එසේම එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.

“LNG සැපයුම තනි අමෙරිකානු සමාගමක් අතර දීර්ඝ කාලීනව නතු වෙනවා වගේ පෙනෙනවා නම් ඒ කරුණු ගැන අපි සංවේදියි. ඒ ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ, ජනාධිපතිතුමාත් එක්ක. දැන් අත්සන් කරලා ඉවර වෙලා තියෙන්නේ යුගදනවි බලාගාරයේ මහා භාණ්ඩාගාරය සතුව තිබිච්ච කොටස් සීයට හතෙන් සීයට හතළිහක් එම සමාගමට දීලා තියෙනවා. ඒ ඩොලර් මිලියන 250ක ට.

ඒ ගිවිසුම තමයි මේ අත්සන් කරලා තියෙන්නේ. මේ ගැන අපි මුදල් ඇමතිතුමා ඇතුළු නිලධාරීන් සමඟ පැවතිච්ච සාකච්ඡාවකදී ඇහැව්වා මේ කොටස් සීයට හතලිහ ගැනීම සමඟ යුගදනවි බලාගාරයේ පාලන බලය මේ සමාගමට යනවද කියලා. එතෙන්දි විදුලි බල මණ්ඩලයේ වත්මන් සභාපතිතුමා පැහැදිලිව කිව්වා සීයට හතළිහේ කොටස් ගියාට පාලන බලය තියෙන්නේ ආණ්ඩුව අතේ කියලා.

කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩලයට ඒ ගිවිසුම ඉදිරිපත් කළ යුතුව තිබෙනවා ඉදිරිපත් කරපු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව. විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා කියන විදිහට මේ සමාගමට ඒ යුගදනවි බලාගාරයේ මැනේජ්මන්ට් පවර් එකක් යන්නේ නැත්නම් ඒක අපිට සලකා බැලිය හැකි තත්වයක්. මොකද යුගදනවි එක අවුරුදු පහළොවකින් කොහොමත් විදුලි බල මණ්ඩලයට අයිති වෙනවා”

ප්‍රසන්නගේ ප්‍රහාරය !

කෙසේ වුවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසා සිටියේ ආණ්ඩු පක්ෂයේ ඇතැමුන් පවසන පරිදි කෙරවලපිටිය යුගදනවි LNG බලාගාරය පිළිබඳව කැබිනට් මණ්ඩලයට නොදැන්වූ බව කියන ප්‍රකාශයන් බොරු බවයි.

අදාළ ගිවිසුම පිළිබඳව තොරතුරු කැබිනට් මණ්ඩලයට ගෙනවිත් පසුව ඊට අත්සන් තැබූ බවත් අමාත්‍යවරයා පවසයි .

එසේම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ "LNG එක ගෙනාපු එක දීපු ගැන පැහැදිලිව කැබිනට එකට කැබිනට් පත්‍රිකාවක් ගෙනාවා. කැබිනට් එකට ගෙනාපු ඒ පත්‍රිකාවට සියලු දෙනාම එකඟ වුණා. ජනාධිපතිතුමා මේකේ තියන ආර්ථික වටිනාකමත් රටේ අවශ්‍යතාවයත් පැහැදිලි කරලා දුන්නා. ඒ වෙලාවේ කව්රුවත් කතා කළේ නැහැ. ඒ නිසා දැන් ඒක ක්‍රියාත්මක වෙනවා" කියාය.

ශ්‍රීලනිප බලවේගය අලුත් ගමනකට: නායකත්වය වෙල්ගමට !

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ඒකරාශී කර තමාගේ නායකත්වයෙන් නව දේශපාලන ගමනක් ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ නායකයකුව සිටි වෙල්ගම මන්ත්‍රීවරයා මෙසේ අදහස් දක්වා සිටියේ ඊයේ (26) හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී පැවැත්වූ දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායකගේ 62 වැනි ගුණ සමරුව අවස්ථාවට එක්වෙමිනි.

මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන කුමාර වෙල්ගම නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙසත් කටයුතු කරයි.

නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම තවදුරටත් මෙසේද සඳහන් කළේය.

"හිටපු මහ ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, හිටපු මන්ත්‍රීවරු ආදී ගොඩාක් දෙනෙක් අපිත් එක්ක මේ ගමනට එකතු වෙන්න යන්නේ. නායකත්වය දෙන්නේ මම තමයි. වෙන කවුරුත් නෑ."

අනුශාසක චන්ද්‍රිකා - පේෂල

මේ අතර හිටපු උතුරු මැද පළාත් මහ ඇමති පේෂල ජයරත්න සඳහන් කළේ නව දේශපාලන ගමනට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අනුශාසකත්වය ලබාදෙන බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

"කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් චන්ද්‍රිකා මැතිනියගේ අනුශාසකත්වයෙන් දැවැන්ත ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා ප්‍රතිඥා දුන්නා සමාධිය අසලදී. නිදහස් පක්ෂයේ නායකයින්ට අපිට එකතු වෙන්න පුළුවන්, අපේ ප්‍රතිපත්ති සමග එකඟ වෙනවා නම්. අපි එයාලගේ ප්‍රතිපත්තිවලට යන්නේ නැහැ. එයාලා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති පැත්තකට දාලා තමන්ගේ වාසියට කටයුතු කරනවා."

සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය එක්සේසත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ හා මෙරට හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩි.බණ්ඩාරනායක මැතිතුමාට ගෞරව දැක්වීමට මුලින්ම පැමිණියේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා බණ්ඩාරනායක පවුලේ සාමාජිකයින් ය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් ඊට පැමිණියේ ඉන් පසුවය.

CBK 2021.09.26 1 1

චන්ද්‍රිකාගෙන් දෝස්මුරයක් !

62 වන ගුණ සමරුව වෙනුවෙන් පක්ෂයෙන් සංවිධානය නොකරන්නේ දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු හිටපු ජනාධිපතිනියගෙන් විමසා සිටියේ ය.

ඊට පිළිතුරු දෙමින් ඇය ප්‍රකාශ කළේ, පක්ෂය කිසි දිනක සංවිධානය නොකළ බවත් පක්ෂය බණ්ඩාරනායක නම විකුණාගෙන කෑවා මිස කිසි දෙයක් සංවිධානය නොකළ බවත් ය.

”පක්ෂයෙන් කවදාවත් සංවිධානය කළේ නැහැ ඒවා කළේ, බණ්ඩාරනායක පවුලෙන් පක්ෂේ බණ්ඩාරනායක නම විකුණාගෙන කෑවා මිසක් කිසි දෙයක් සංවිධානය කළේ, නැහැ . මෙතන. ඔක්කොම කළේ අපි. මැතිණිය ඒවා කරන්නත් ඉඩ සලස්වලා දිලා ගියේ. ඒවා කරනවා. පක්ෂයේ සභාපති ජනාධිපතිවෙලා හිටියා නේ අවුරුදු 5 ක් මෙතනට ආවේ එක සැරයයි”

ලිට්‍රෝ ගෑස් සඟවිලාද?

ගෑස් මිල අද (27) පස්වරුවේ ඉහළ යනු ඇතැයි විශ්වාසය තුළ දිවයින පුරා ලිට්‍රෝ අළෙවි නියෝජිතයන් ගෑස් අළෙවිසල්වලට ලබාදී ඇති ගෘහස්ථ ගෑස් සිලින්ඩර එකතු කරමින් සිටින බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.

පානදුර ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස් අළෙවි නියෝජිතයන් අද පෙරවරුවේ සිට ගෑස් නැවත ඔවුන්ගේ ප්‍රධාන ගබඩාවලට ගෙන එමින් සිටින බවත් බොහෝ ගෑස් අළෙවිසල් වසා දමා ඇති බවත් පාරිභෝගිකයෝ පවසති.

ගෑස් මිල ඉහළ යන බවට ආරංචිය හේතුවෙන් පාරිභෝගිතයෝ ද ගෑස් අළෙවිසල් අසළ පෝලීම් ගැසී සිටිති.

lankadeepa

යුගදනව් ගිවිසුම මධ්‍යම රාත්‍රීයේ අත්සන් කිරීම ගැටළුවක් නොවේ - ඇමති නාමල්

කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුම මධ්‍යම රාත්‍රීයේ අත්සන් කිරීම ගැටළුවක් නොවන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

ලෝකයේ රටවල් සමග ගනුදෙනු කිරීමේදී ඒ රටවල වෙලාව අනුව කටයුතු කිරීමට සිදුවන බවත් පැය 24ම වැඩ කරන තමන් වැනි ආණ්ඩුවකට එය ගැටලුවක් නොවන බවත් ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටී.

“ඒකට විදුලිබල ඇමතිවරයා පිළිතුරක් දුන්නා. එතුමා කිව්වා අත්සන් කරේ නැකතක් බලලා නොවේ, දෙපාර්ශවයට පහසු වෙලාවක කියලා. ඉතින් එතුමා ඒක පහසු වෙලාවක අස්සන් කරලා තියෙනවා. පැය 24ම වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවකට රෑ දොලහට අස්සන් කරන එක හොඳයි. ඒකෙ කිසි ප්‍රශ්නයක් නැහැ. අනෙක විදේශ රටවල් එක්ක ගනුදෙනු කරන කොට ඒ රටවල්වල වෙලාවත් එක්ක කටයුතු කරන්න ඕනේ. අපේ රටේ රෑ 12 කියන්නේ ඇමරිකාවේ දවල් එක විතර කාලය. ඒ නිසා දෙපාර්ශවය එකඟවෙන වෙලාවක එක අස්සන් කරන්න පුළුවන්”

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් 40%ක් ඇමරිකාවේ New Fortress Energy සමාගමට පැවරීමේ ගිවිසුම අත්සන් කළ ඇමෙරිකානු සමාගමේ නියෝජිතයා එදින අලුයම දෙකට ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබිණි.

ආණ්ඩුවේ මිල සූත්‍රය : භාණ්ඩ සැගවීම+ භාණ්ඩ සෙවීම = භාණ්ඩ මිල වැඩි කිරීම !

වත්මන් රජයේ මිල සූත්‍රය , ‘’ භාණ්ඩ සැගවීම+ භාණ්ඩ සෙවීම = භාණ්ඩ මිල වැඩි කිරීම.’’ ලෙස වන අමුතුම ආකාරයේ මිල සූත්‍රයක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් එහි සභාපති රංජිත් විතානගේ පවසන්නේ , කහ ,සීනි ගෑස් තිරිගු පිටි පරිප්පු සහල් සහ වෙනත් ආහාර ද්‍රව්‍ය සදහා මෙම අඅමුතුම මිල සූත්‍රය හොදින් ක්‍රියාත්මක වන අකාරය දැකගන්නට ලැබුණු බවය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු ඇතුලත් සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය.

පාරිභෝගික කටයුතු අධිකාරී පනත සංශෝධනය කිරීම හා භාණ්ඩ මිල ඉහළ යාම. !

2021/09/22 දින සිට 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතට නව සංශෝධනයක් එකතු කර ඇත. එමගින් නීති කඩකරන වෙළදුන් සදහා වන දඩ මුදල් වැඩි කර ඇත. 2003 අංක 9 දරණ පාරිභෝගික කටයතු අධිකාරී පනත අනුව පළමුවරට වරදක් කරනු ලබන වෙළෙන්දෙකු සදහා පනවන අවම දඩ මුදල රුපියල් පන්දාහක් ක් වන අතර උපරිම දඩ මුදල රුපියල් පනස් දහසකි. එම වරද කරනුයේ සංස්ථාවක් වන විටදී එම සංස්ථාව පළමුවරට වරදක් කරනු ලබයි නම් අවම දඩ මුදල රුපියල් පනස්දහසක් වන අතර උපරිම දඩමුදල වන්නේ රුපියල් දස ලක්ෂයකි.

වෙළෙන්දෙකු විසින් ඉන් පසුව කරනු ලබන වරදක් සදහා පනවන අවම දඩ මුදල රුපියල් දසදහසක් වන අතර උපරිම දඩමුදල රුපියල් ලක්ෂයකි. සංස්ථාවක් ඉන්පසුව කරනු ලබන වරදක් සදහා පනවනු ලබන අවම දඩ මුදල රුපියල් ලක්ෂයක් වන අතර උපරිම දඩ මුදල රුපියල් දසලක්ෂකි. 2021 අංක 20 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී(සංශෝධන ) පනත අනුව පළමු වරට වරදක් කරන ලබන කඩහිමියෙකු සදහා අයකරන ලබන අවම දඩමුදල රුපියල් ලක්ෂයක් වන අතර උපරිම දඩමුදල ලක්ෂ පහකි.

සංස්ථාවක් පළමුවරට සිදු කරනු ලබන වරදක් සදහා පනවන දඩමුදල රුපියල් ලක්ෂ පහක් වන අතර උපරිම දඩමුදල රුපියල් ලක්ෂ පනහකි. වෙළෙන්දකු විසින් ඉන්පසුව කරන ලබන වරදක් සදහා පනවන අවම දඩ මුදල රුපියල් ලක්ෂ දෙකක් වන අතර උපරිම දඩමුදල ලක්ෂ දහයකි. එම තැනැත්තා සංස්ථාවක් වන විටදී පනවන දඩමුදල රුපියල් ලක්ෂ දහයක් වන අතර උපරිම දඩමුදල රුපියල් ලක්ෂ සියයකි.

මෙසේ දඩ මුදල් වැඩි කිරීම මගින් පාරිභෝගිකයාට සහනයක් ලැබෙනවා නම් නම් අප ඉතාමක් කැමැති අතර මෙතෙක් ක්‍රියාත්මක් වූ අඩු දඩමුදල් පවා වැරදි කරනු ලබන වෙළෙදුන්ගෙන් අය කර ගැනීමට නැතිනම් ඔවුන් නීතය හමුවට පැමිණවීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශණ නිළධාරීන් කටයුතු කළේ නැත. එසේ තිබියදී දඩ මුදල් වැඩි කිරීමෙන් සිදුවනුයේ පාරිභෝගික අධිකාරියේ නිළධාරීන්ගේ මඩිය තරවීම පමණක් වන බව අප සංවිධානයේ අදහසයි.

කෙසේ වෙතත් මේ වන විටත් අත්‍යාවශ්‍යභාණ්ඩ සදහා වන පාලන මිල ක්‍රියාත්මක වන්නේ නැති අතර එය ක්‍රියාත්මක කරන බවක්ද පෙනෙන්නට නැත.

ජනතාව පෙන්වා දෙන අකාරයට මේ රජයේ මිල සූත්‍රය අමුතුම ආකාරයේ එකකි එනම් එය ‘’ භාණ්ඩ සැගවීම+ භාණ්ඩ සෙවීම = භාණ්ඩ මිල වැඩි කිරීම.’’ එය අමුතුම ආකාරයේ මිල සූත්‍රයකි. කහ ,සීනි ගෑස් තිරිගු පිටි පරිප්පු සහල් සහ වෙනත් ආහාර ද්‍රව්‍ය සදහා එම මිල සූත්‍රය හොදින් ක්‍රියාත්මක වන අකාරය අපට දැක ගතහැකි විය.

පාරිභෝගික අධිකාරිය වැටලීම් කර ගබඩාවලට සීල් තබා පසුව හොර රහසේ එම සීල්තැබූ ගබඩාවේ යතුර අදාල ව්‍යාපාරිකයාට දෙනු ලබයි. ඔහු කඩිමුඩියේ ගබඩාවේ ඇති භාණ්ඩ ඉවත් කරනු ලබයි.

පාරිභෝගිකයාට මාධ්‍ය සංදර්ශණ නොදමා භාණ්ඩ මිල අඩු කර සහනයක් ලබාදෙන අපි රජයෙන් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ සභාපති

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

නඩු දාන්නේ පළිබෝධ නාශක 9කට පමණයි : මේක හොර කාබනික වගාවක් !

ලංකාවේ කරන්නේ ඩොලර් වෙනුවට රත්තරං වලින් ගෙවලා, හොරට ගෙන්නලා, හොරට බෙදන, හොරට විකුණන, හොර කාබනික වගාවක්‘ බවට හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් චෝදනා කරයි.

නිවේදනයක් නිකුත්කරමින් ඔහු මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ ,දිවයින පුරා හොරට විකුණන පළිබෝධක නාශක 30 කට ආසන්න ප්‍රමාණයක් අතුරින් 9 ක් පමණක් අල්ලා නඩු පැවරීමට ක්‍රියාකාර න ලෙස පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් නියෝග කර ඇති බවය.

දිගු කලක් ඇස් කන් වසාගෙන සිටි රජය 2021 සැප්. 23 තමන් විසින් සිදු කළ හෙළිදරව් කිරීමෙන් පසුව සැප්. 24 මෙම නියෝගය කර ඇති බවත් පළිබෝධනාශක පනත යටතේ නීති විරෝධී කෘෂි රසායන අත්අඩංගුවට ගැනීම හා නඩු පැවරීම ඇරඹීම සතුටට කරුණක් නමුත් නීති විරෝධී පළිබෝධකනාශක 9 ක් පමණක් අත්අඩංගුවට ගැනීමෙන් උග්‍ර විශ සහිත රසායන නිදහසේ විකීණිම සඳහා ආණ්ඩුව පරිසරය නිර්මාණ්‍ය කර ඇති බවත් අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

කලකට පෙර ලංකාවේ තහනම් කළ අධි විෂ සහිත මොනක්‍රොටපස්, මැලතියන් හා කාබෝෆියුරාන් පවා අසිමිත ලෙස රටට ගෙන්වීම මේ වන විට සිදුවේ. ඒවා විවිධ නම්වලින් ඇසුරුම් කර මේ වන විට අලෙවි කෙරේ. රටට-ලෝකයට කාබනික කෘෂිකර්මාන්තය පෙන්වමින් බෝට්ටු කෘෂි රසායන මගින් මහ කන්නයේ වගාව සිදු කිරීම රජයේ සැලසුම වී ඇත.

රජයේ නිල ඩොලර් ගිණුමට බරක් නැති, රත්තරං වෙනුවට කෘෂි රසායන හොරෙන් ගෙන්වන ව්‍යාපෘතිය කෘෂිකර්ම අමාත්‍යාංශයට ආශිර්වාදයක් ලෙස සලකමින් කෘෂිකර්ම ලේකම් උදය ජයසිංහ, මහාචාර්ය ප්‍රියන්ත යාපා, තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ ඇතුළු පිරිස කටයුතු කරති.

රේගුවට හොරෙන් බෝට්ටුවෙන් ගෙන්වා, හොරට රට පුරා බෙදා, හොරට අලෙවි කරන කෘෂි රසායන යොදා ගනිමින් නමට පමණක් කාබනික ගොවිතැනක් දැන් රටේ නිර්මාණය වී තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ අමන-තකතීරු ප්‍රතිපත්තිය මෙරට කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම කළු කඩය මත යැපෙන තැනකට තල්ලු කර ඇත. මේ කළු කඩ ප්‍රතිප්තිය රු. 6000 ට තිබූ කෘෂි රසායන දැන් රු. 12,000 දක්වා මිල ඉහල නැංවීමට හේතු වී ඇත.

පළිබෝධක නාශක රෙජිස්ට්‍රාර් 1980 අංක 33 දරණ පිළිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ සියළුම බලයලත් නලධාරීවරුන්, සියලුම නඩු පැවරීමේ නිලධාරි හා නඩු කටයුතු මෙහෙයවීමේ නිලධාරීන් ට නියෝග කර ඇත්තේ කෘෂි රසායන 9 ක් පමණක් සොයා මෙහෙයුම් කර නඩු පවරණ ලෙසය. (එම නිවේදනය මේ සමඟ අමුණා ඇත) එමගින්, අනෙකුත් සියලු නීති විරෝධී කෘෂි රසායන අලෙවියට විවෘත නිල නොවන බලපත්‍රයක් ලැබී ඇත.

වහා ක්‍රියාත්මක වන පරිදි මෙරට අලෙවි වන සියළුම නීති විරෝධී කෘෂි රසායන අල්ලා ගැනීමට මෙහෙයුම් දියත් කරන ලෙසත්, ජාවාරම්කරුවන්ට නඩු පවරණ ලෙසත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් සිය නිවේදනයෙන් ඉල්ලා සිටී.

(අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇති ලියාපදිංචි නොකළ හා තහනම් කෘෂි රසායන වර්ග ඡායාරූපවල දැක්වේ.)

රජිත් කීර්ති තෙන්නකෝන්

දකුණ හා මධ්‍ය පළාත් හිටපු ආණ්ඩුකාර

fghfghyt

KT 2021.09.26 1

කොරෝනා මරණ 12680 ක් දක්වා ඉහළට !

තවත් කොරෝනා මරණ 71ක් ඊයේ දිනට (25) අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර ඇති අතර ඊට අදාළ නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (26) නිකුත්කර ඇත.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 12680ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 39 ක් කාන්තාවන් වන අතර ඉතිරි 32 පිරිමි ය.

වයස අවුරුදු 30 ට අඩු එක් කාන්තා ආසාදිතයෙකු ද ජීවිතක්ෂයට පත්වූවන් අතර සිටින අතර , අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ගණන 14 කි.

ඉතිරි ආසාදිතයින් 56 ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

3a701f48 index 725x1024

Page 421 of 462