පුවත්

බලශක්ති ස්වෛරීභාවය පාවාදීලා : දේශද්‍රෝහී ප්‍රයත්නය පරාජය කරමු !
රටේ බලශක්ති ස්වෛරීභාවය එක්සත් ජනපදයට පාවාදීමේ දේශද්‍රෝහී ප්‍රයත්නය පරාජය කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
කෙරවලපිටියේ පැවති රජයට අයත් යුගදනවි බලාගාරය හා ලංකාවේ ගෑස් සැපයුම අමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධව අද ( 23) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් රණවක මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඒ අනුව යුගදනවි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු 2006 දී ආරම්භ කොට 2010 දී මෙගාවොට් 300 ක් පමණ වන විදුලි සැපයුමක් ප්‍රධාන විදුලි බල ජාලයට ලබා දුන් අතර, එතැන් සිට අද දක්වාම මේ මෙගාවොට් තුන්සීයකින් යුතු මේ බලාගාරයේ සැපයුම ලංකාවේ අඛණ්ඩ විදුලිබල සැපයුමට අතිශය වැදගත් වේ.
ආරම්භයේදී මේ බලාගාරය තැනුවේ, ද්‍රව වායු වලින් විදුලිය නිපදවීම සඳහාය. හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ දැනට අවුරුදු 10 ක කාලයක් මේ බලාගාරය ක්‍රියාත්මක වී ඇති නමුත් තවමත් ඒ ද්‍රව වායු අවස්ථාව උදා වී නැත.
“මේ බලාගාරයට අල්ලපු ඉඩමේ තවත් මීට සමාන්තර බලාගාරයක් ඇති කර ගැනීම සඳහා යෝජනාවක් තිබුණා. තවත් මෙගාවොට් 300 ක බලාගාරයක්. ඉතින් අවුරුදු ගාණක්, දශක ගාණක් ගෙවුනත්, ඒ සම්බන්ධයෙන් වෙච්ච පියවර ගැනීමක් සිද්ධ වෙලා නෑ. මේ වසරේ මුල් භාගයේදී තමයි බලාගාරයක් තනනවාය කියලා ඒ සඳහා මුල්ගල තැබුවේ එහි නම ස්වභාදනවි නමින් වෙනවා.”
රහසිගත ගිවිසුමක් !
යුගදනවි බලාගාරයේ මහා භාණ්ඩාගාරයට අයත් කොටස් වලින් 40% ක් රහසිගත ගිවිසුමක් මගින් මුදල් අමාත්‍යාංශය විසින් එක්සත් ජනපද සමාගමකට විකුණා ඇති බව හෙළිදරවි වී තිබේ. ඒ සඳහා ඩොලර් මිලියන 250 ක මුදලක් මුදල් අමාත්‍යාංශයට ලැබෙන බව ප්‍රකාශ වී තිබේ.
මේ බලාගාරය තැනුවේ ලංකාවේ තිබෙන ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනයටත් මෙහි කොටස් හිමි ඊ. පී. එෆ්, ඊ. ටී. එෆ්. බැංකු මුදල් අමාත්‍යාංශය යනාදී විවිධ ආයතන ගණනාවක් එකතු වීමෙනි. මින් කොටස් වලින් 40% ක් මේ ආකාරයෙන් විකුණා දමා තිබේ. ඩොලර් මිලියන 250 කට මෙම ගනුදෙනුව සිදුව ඇති බව ද රණවක මන්ත්‍රීවරයා හෙළිදරව් කළේය.
“ දැන් මේ බලාගාර ස්භාවයක් තියෙනවා. අපූරු ස්වභාවයක්. ඒක තමයි දැනට මේ බලාගාරය ක්‍රියාත්මක වෙලා අවුරුදු එකොළහයි. අපි දන්නවා බලාගාරයක තියෙනවා එයට ගෙවීම් කටයුතු කරන ලංකා විදුලිබල මණ්ඩලය කොටස් දෙකකින් ගෙවීම් කළ යුතුයි. එකක් තමයි ධාරිතා ගාස්තු. ඒක විදුලි බලය ගත්තත්, නොගත්තත් ගෙවිය යුතු ගාස්තුවක්. ඊළඟට තියෙනවා, නඩත්තු හා ඒ කියන්නේ මේක කළමනාකරණය කිරීමේ ගාස්තු. එතකොට විදුලි ඒ සඳහා ගෙවන්න ඕනේ. ඒ වගේම ඇතැම් කොටස් තියෙනවා මේකේ. නඩත්තු ගාස්තුවල. ඒකත් විදුලිබල මණ්ඩලය දැරිය යුතු වෙනවා. සහ අදාළ සමාගමේ ලාභාංශයත්. එහි තමා තියෙන්නේ. එතකොට මේ සමාගමට මේ ඉදිරි වසර දොළහ තමයි මේ බලාගාරයේ වැදගත් වසර දොළහක්. ඒ ඇයි? මුලදී මේ බලාගාරයේ මේ ධාරිතා ගාස්තු, එහෙම නැත්නම් එක අඩුවෙන් තිබුණේ. එන්න එන්න එක එහෙම නැත්නම් ධාරිතා ගාස්තුව වැඩි වෙනවා. අවසාන වසර දහය දොළහේදී අතිශය විශාල ගාණක්. රුපියල් බිලියන වලිනුත් බිලියන දොළහක් පමණ වර්ෂයකට. ඉතින් මේ මේක ලොකු ප්‍රශ්නයක් හැටියට මුලදී තිබුණා. මේක බලාගාරයට ගිවිසුම් අත්සන් කරද්දිම මහින්ද රාජපක්ෂ යුගයේදී දැන් මෙන්න මේ විශාල ගෙවීම් තියෙන්නේ අවසාන භාගයට. ඒ අවසාන බාගෙදී තමයි මේ විදේශ සමාගම එන්නේ.”
ඩොලර් මිලියන 250ක් ගත්තට 320ක් ගෙවන්න වෙනවා !
“විදේශ ණය සම්පූර්ණයෙන්ම ගෙවී අවසන් වෙනවා ලබන වසරේදී. දැනට ගෙවන්න තියෙන්නේ ඉතා සුළු මුදලක් ඩොලර් මිලියන 14 ක් වගේ. ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට සම්පූර්ණ විදේශ ගෙවීම් කටයුතු අවසන් වෙලා විදේශ ණය වලින් නිදහස් වෙනවා. ඒ අනුව මේ බලාගාරයේ ප්‍රශ්නයක් තිබුනා නම් හම්බන්තොට වරාය වගේ විදේශ ණය ගෙවන්න වෙනවා රටෙන් පිටට ඩොලර් ගලා යනවා කියලා ප්‍රශ්නයක් තිබුනා නම් ඒ ප්‍රශ්නය මේ ඉදිරි මාස කිහිපයේදී විසඳී යනවා. එහෙනම් එහෙම ප්‍රශ්නයක් තිබිලා නෑ. ඒක පළවෙනි එක. දෙවෙනි එක තමයි. මේ සමාගමට අපි විදුලිය ගත්තත්, නොගත්තත් මේ ඉදිරි අවුරුදු දොළහ ඇතුළත මේ ඩොලර් මිලියන 250 ට අපිට ගෙවන්න වෙනවා ඩොලර් මිලියන 320 ක්. සෘජුව, ඊට අමතරව, අර නඩත්තු ගාස්තු හා කළමනාකරණ ගාස්තු හැටියට තවත් විශාල මුදලක් ගෙවන්න නියමිතයි. ඒ ගැන පැහැදිලි කිරීමක් රජය කරන්න කොපමණ මුදලක් රජය ගෙවන්න යනවද කියලා මේ ඉදිරි අවුරුදු 12 තුළ ඩොලර් පිටට යවනවා. ඒ කියන්නේ ඩොලර් ගෙවිම නතර කරලා තිබිච්ච බලාගාරයක්, නැවත පිටරටට ඩොලර් ගෙවීම ආරම්භ කරන ස්වභාවයක් තියෙන්නේ. අපට ලැබෙන මුදලට වඩා වැඩි මුදලක් මේ හරහා පිටරටට ඇදී යනවා. මොන තරම් මෝඩ තීන්දුවක්ද ඒ පැත්තෙන් ගත්තහම.”
මින් තවදුරටත් ඔබ්බට ගොස් මෙහි නිවුන් සහෝදරයා හැටියට කලින් සැලසුම් කළ සොබාදනවි බලාගාරයේ ද කොටසෙන් 49% ක ප්‍රමාණයක් අදාළ සමාගමට ලබාදෙන බව ද වාර්තා වී තිබේ. ඒ සඳහා ඩොලර් මිලියන 35 ක් ලබා ගැනීමට නියමිතය. ලබාගන්න නියමිතය.
මේක ඇස්බැන්දුමක් !
“ඇත්තටම මේ බලාගාරයට අරමුදල් සපයන්න පොරොන්දු වෙලා ඉන්නේ ආසියානු සංවර්ධන බැංකුව. නමුත් අද මේ ආණ්ඩුව පත් කරලා තියෙන මේ මූල්‍ය අගාධය නිසා රට ණය බරින් පහළට වට්ටලා තියෙන මේ අවස්ථාව නිසා ආසියානු සංවර්ධන බැංකුවේ ණය මුදල් ලබන වසරේ ලැබෙනවයි කියනවා. අපි දන්නෑ. ඊට කලින් රට බංකොලොත් භාවයට පත් වුනොත් ඒ ණය මුදල නොලැබී යෑමේ ඉඩකඩකුත් තියෙනවා. ලැබුණත් ඉතාම අධික පොලියට තමයි ඒ ණය මුදල මේ බංකොලොත් රටට ලබා දෙන්න යන්නේ. කෙසේ වුනත් මේ හරහා අර දෙවෙනියට එන බලාගාරයෙනුත් 49% ක් අත්පත් කර ගැනීමේ හැකියාව මේ විදේශීය සමාගමට ලැබෙනවා. ඉනුත් ඔබ්බට ගිහිල්ලා ආණ්ඩුව කියනවා වසර 5 ක් සඳහා ගෑස් සැපයුම මේ සඳහා වෙන ස්වභාවික ගෑස් සැපයුම මේ අදාළ සමාගමට පවරනවා කියලා. මේක තනිකර ඇස් බැන්දුමක්.
මේ ගෑස් සැපයුම කියන එක ලංකාවට තෙල් ගෙන්නනවා වගේ ලංකාවට ගල් අඟුරු ගෙන්නනවා වගේ මේ වසරකට මාස හයකට එහෙම නැත්නම් වසර පහකට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ගෑස් සැපයුම කිරීම සඳහා අනිවාර්යයෙන්ම එක්කෝ වරායේ ගෑස් සැපයුම් ස්ථානයක්, එහෙම නැත්නම් ගෑස් එකක් පිහිටුවිය යුතුයි. එහෙමත් නැත්නම් පාවෙන ගෑස් පද්ධතියක් ගෙන ආ යුතුයි. අපි කියනවා එෆ්. එස්. ආර්. යූ. කියලා. මේ සඳහා අතිවිශාල මූල ධනයක් වැය වෙනවා. මේ මූල ධනය වැය කරලා ගේන මේ, ගෑස් සැපයුමෙන් කිසිසේත්ම අවුරුදු පහක් සෑහෙන්නේ නෑ. ඒ මූල ධනය පියවා ගන්න. ඒ අනුව මේක ඇස් බැන්දුමක්.”
ලංකාවේ ගෑස් සැපයුම අපගේ ජීවිත කාලය ඇතුලතම අමෙරිකානු සමාගමකට සින්නක්කරව විකුණා දැමීමක් !
මේ ගිවිසුම ලබා දුනහොත් ලංකාවේ ගෑස් සැපයුම අපගේ ජීවිත කාලය ඇතුලතම අමෙරිකානු සමාගමකට සින්නක්කරව විකුණා දැමීමක් , සිදුවනු ඇතැයි රණවක මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
මෙය සිදුකරන්නේ ලංකා විදුලිබල මණ්ඩලයත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් ගෑස් සැපයීම සඳහා පාවෙන ගෑස් සැපයුම් බලාගාරයක්, එෆ්. එස්. ආර්. ඕ. එකක් සඳහා ටෙන්ඩර් කැඳවලා තියෙන තත්ත්වය තුළ ය.එමෙන්ම ගෑස් සැපයීම සඳහා වන නළ පද්ධතිය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් කර තිබෙන තත්ත්වය තුළ ය. ගෑස් සැපයුම්කාරයෙක් සඳහා ටෙන්ඩර් කැඳවීමක් කර තිබෙන තත්ත්වය තුළ ය.
දේශමාමකයෝ දැන් මොකෝ කියන්නේ ?
“ඒ සඳහා ගෑස් සපයන ඒ ආයතන යම් ප්‍රමාණයක තාක්ෂණික වශයෙන් තෝරාගෙන තියෙන පදනමක් තුළ ටෙන්ඩර් පටිපාටියක් ප්‍රසම්පාදන පටිපාටියක් තිබියදී විනිවිද නොපෙනෙන ඇමරිකන් පුරවැසියෙක් මුදල් අමාත්‍යවරයා හැටියට ඒ රටේ සමාගමක් එක්ක හොර ගිවිසුමකින් මේක ලබා දෙනවා මේ සමාගමට. මොකක්ද මේ රටේ ස්වෛරීත්වය? මොකෝ දැන් කියන්නේ දේශමාමකයෝ? මොකද එදා ඇමරිකාවට එරෙහිව පෙළපාලි ගිය අය දැන් කියන්නේ? රටේ ගෑස්, භාවිතය, ප්‍රධාන බලාගාර දෙකක් ඇතුළුව.”
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් කැළණිතිස්ස තුළ බලාගාර ගණනාවක් තිබේ. දැවිතෙල් වලින් දුවන එම බලාගාර බොහොමයක් ලාභදායී ලෙස ගෑස්වලින් ක්‍රියාකිරීමේ හැකියාවක් පවතින බව ද පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේය. මේ ගිවිසුම් මගින් එම බලාගාරවල මෙගාවොට් 800 ක පමණ අයිති අදාළ අමෙරිකානු සමාගමට නතුවන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ,
“මතක තියාගන්න බලශක්ති, ස්වෛරීත්වය අපි අත්හැරියොත් ඒක තමයි මේ රටේ ස්වාධිනත්වය, ස්වෛරීත්වයේ අවසානය. මේ සමාගම් වැඩ කරලා තියෙන, ඉතාමත්ම සාපරාධී ආකාරයන් දිහා බැලුවම, ඇමරිකා එක්සත් ජනපදය ඉතිහාසයෙත්, ලෝකයේ අනෙක් රටවල් වල ඉතිහාසයෙත් අපේ රට, මේ ඇමරිකානු පුරවැසියන් විසින් උකස් කරලා තියෙනවා, විකුණලා තියෙනවා, හිටපු පුරවැසියයි, දැන් පුරවැසියයි කියන, මේ පුරවැසියෝ දෙන්නා විසින්ම ජනාධිපතිත්, මුදල් ඇමතිත් විකුණලා තියෙන බව ඉතාම වගකීමෙන් අපි ප්‍රකාශ කරනවා.”
එක්සත් ජනපදයේ විනිවිද භාවය කෝ ?
ඇමරිකා එක්සත් ජනපදය ලෝකය පුරාම ප්‍රකාශ කරන ඒ විනිවිදභාවය මේ ගනුදෙනුව තුළ දක්නට නොමැත. මේ සම්බන්ධයෙන් අනුගමනය කළ නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලිය තිබෙන්නේ කොහිදැයි රණවක මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.
“කොහෙද තියෙන්නේ පාර්ලිමේන්තුව මේ පිළිබඳව දැනුවත් කිරීම අපේ ව්‍යවස්ථාවට විරුද්ධයි මේක. “
ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියෙන් මෙවැනි මූල්‍ය කටයුතු පිළිබඳ බලය පවරා තිබෙන්නේ අදාළ ඇමැතිවරයාට නොවේ. පාර්ලිමේන්තුවට ය. එමෙන්ම ව්‍යවස්ථාවේ 157 වෙනි වගන්තියේ මෙවැනි ගිවිසුමක් අත්සන් කරනවා නම් විදේශයක් සමග ඒ පිළිබඳ අනුමැතිය පාර්ලිමේන්තුවෙන් ගත යුතු බව සඳහන් වේ.
ව්‍යවස්ථාවට, ප්‍රසම්පාදන ක්‍රියාවලියට විරුද්ධ, කිසිම විනිවිදභාවයකින් තොරව සිදු කළ මේ ගනුදෙනුව එක්සත් ජනපදයේ ප්‍රකාශිත අරමුණු වලට සපුරා පටහැනිය. මේ ගිවිසුම තවමත් රහසිගත ය. මේ කරුණු පවා දැනගත්තේ අදාළ සමාගම විසින් නිකුත් කරන ලද නිවේදනය හරහා බවත්, මින් අප රටේ බලශක්ති ස්වෛරීභාවය අමෙරිකා එක්සත් ජනපදයට පාවාදිමක් සිදුවන බවත්, හිටපු අමාත්‍ය රණවක මහතා අවධාරණය කළේය.
“මේ දේශද්‍රෝහී ප්‍රයත්නය පරාජය කිරීම සඳහා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයින්ට මේ රටේ ඉන්න ඉංජිනේරු ප්‍රජාවට, ඒ වගේම මේ මුළු රටේම ඉන්න දේශමාමක සියලු දෙනාටම පෙළ ගැහෙන හැටියට අපි ආරාධනා කරනවා.”

නිව්යෝර්ක් කතාව සහ රට ඇතුලේ දාන සමහරුන්ගේ කතා පරස්පරයි - විජිත
නිව්යෝර්ක්වල කථාව සහ සමහර අයව පාවිච්චි කර රට තුළ කරන ප්‍රකාශවල සම්පූර්ණ පරස්පරයක් තිබෙන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ දුන් සහතිකවීම් යථාර්ථයක් බවට පත්කරන්න රට තුළ ක්‍රියාමාර්ග ගත යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.
ජවිපෙ මූලස්ථානයේ අද (23) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් පලකළ අදහස් පහත දැක්වෙයි.
ප්‍රහාරයට අවුරුදු දෙකයි මාස 5 යි : වින්දිතයන්ට යුක්තිය ඉටුවී නෑ !
පාස්කු ප්‍රහාරය සිද්ධ කර දැනට අවුරුදු දෙකයි, මාස පහක් ගෙවී තිබෙනවා. ප්‍රහාරයෙන් පීඩාවට පත්වුණු වින්දිතයන්ට යුක්තිය ඉටුකර නැහැ. චූදිතයන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග අරගෙන නැහැ. විශේෂ ජනාධිපති කොමිසමක් පත්කළා. වෙනත් පරීක්‍ෂණ සිදුකළා.
මේ ආණ්ඩුව බලයට පත්වීමට බලපෑ ප්‍රධානම සිදුවීම පාස්කු ප්‍රහාරයයි. තමන් බලයට පත්වුණූ පසු මේ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට නිසි දඬුවම් දෙන බවට සහ එය වළක්වා නොගත් අයට විරුද්ධව නිසි ක්‍රියාමාර්ග ගන්නා බව එදා පොරොන්දු දුන්නා. ජනතාව ඒ පිළිබඳව විශාල බලාපොරොත්තුවක් තැබුවා. අවුරුදු දෙකයි, මාස පහක් තුළ ඒ බලාපොරොත්තු බිඳ වැටී තිබෙනවා.
ප්‍රහාරය අවස්ථාවේ කාදිනල්ගේ මැදිහත්වීම !
ප්‍රහාරය සිදුකළ අවස්ථාවේ කාදිනල්තුමා කටුවාපිටිය දේවස්ථානයට පැමිණ පීඩාවට පත්ව සිටි සියලු දෙනා සන්සුන් කරන්න මැදිහත් වුණා. ප්‍රහාරයත් එක්ක ප්‍රදේශයේ ජනතාව ප්‍රකෝප වෙලා ප්‍රතික්‍රියා දක්වන්න සූදානම්ව සිටියා. කාදිනල්තුමා පෞද්ගලිකව මැදිහත් වී පිරිස සන්සුන් කර ප්‍රහාරකයන්ට දඬුවම් ලබාදෙන්නත් වින්දිතයන්ට යුක්තිය ඉටු කරන්නත් පොරොන්දු වුණා.
මුළුමහත් රටවැසියා හමුවේ කාදිනල්තුමා බැරෑරුම් ඉල්ලීමක් කර කතෝලික ප්‍රජාව ප්‍රතික්‍රියා දැක්වීමෙන් වළක්වා ගත්තා. ප්‍රහාරයේ වාසි විවිධ කණ්ඩායම් ලබාගත්තත් කාදිනල්තුමා සද් චේතනාවෙන් මැදිහත් වී ඇතිවෙන්න ගිය ගැටුම්කාරී තත්වය වළක්වා ගත්තා.
ජනතාව වෙනුවෙන් උන්වහන්සේ පෞද්ගලිකව වගකීම ගත්තේ යුක්තිය ඉටුකරන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන්. කතෝලික සභාවත් කෙටි කාලයක් තුළ මේ පිළිබඳව නිසි ක්‍රියාමාර්ග ගනීවි යැයි බලාපොරොත්තු වුණා. ජනාධිපති කොමිෂන් වාර්තාවේ සහ අනෙකුත් පරීක්‍ෂණවලින් බොහෝ කරුණු හෙළිදරව් වුණා. පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව දින කිහිපයක විවාද පැවැත්වූවා. බොහෝ සැකමුසු තැන් මේ විවාදයේදීත් හෙළිදරව් වුණා. වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය, සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම, ඇමරිකානු එෆ්.බී.අයි. ආයතනය පැමිණ කළ පරීක්‍ෂණ, ඒ පරීක්‍ෂණවලින් හෙළිවූ කරුණු සහ වාර්තා අනුව සිදුකළ යුතුව තිබුණු පරීක්‍ෂණ ගැන පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වුණා.
පොලිසිය භාර ඇමතිවරයා හදිසියේම නවුෆර් මව්ලවි තෝරා ගත් බව කීවා !
නමුත් එවැනි සංවේදී බැරෑරුම් කරුණු පිළිබඳව පරීක්‍ෂණ කටයුතු විධිමත්ව සිදුවුණු බවක් තවමත් මේ රටේ ජනතාවට පේන්නේ නැහැ. මේ සිදුවීම වළක්වා නොගැනීම පිළිබඳව තහවුරු වී තිබියෙදීත් එක්සත් ජාතික පක්‍ෂයේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව පිළිබඳව ක්‍රියාමාර්ග තවම අරගෙන නැහැ.
මේ ප්‍රහාරය මොන දේශපාලන අරමුණකින්, කාගේ වුවමනාව මත සිදුකරන ලද්දක්ද යන්න එළිකරගන්න අසමත් වී තිබෙනවා. මහ මොළකරුවා කවුද කියන ප්‍රශ්නය බරපතළව නැගෙන විට පොලිසිය භාර ඇමතිවරයා හදිසියේම නවුෆර් මව්ලවි තෝරා ගත් බව කීවා. මෙයින් වාසිය ගත්තේ කවුද යන්න තේරුම් ගතහොත් ප්‍රහාරය ගැන වගකිව යුත්තන් නිශ්චිතව හඳුනා ගත හැකියි. ඕනෑම පොඩි දරුවෙකුට වුණත් මේ බව පැහැදිලියි.
විවිධ කණ්ඩායම් යොදවා නැවත ජාතිවාදය, ආගමික අන්තවාදය ඇවිස්සීම !
කොමිෂන් වාර්තාවේ සහ පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව කරුණු හෙළිවී තිබෙනවා. ජනතාව බලාපොරොත්තු වෙන්නේ වින්දිතයන්ට සාධාරණය, යුක්තිය ඉටු කිරීමය. මේක කතෝලික ජනතාවගේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. මේක මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාවගේම ප්‍රශ්නයක්.
අපේ රටේ ජාතික ආරක්‍ෂාව, බියෙන් සැකයෙන් තොරව ජීවත් වීම පිළිබඳව ප්‍රශ්නයක් නිසා අනාගතයේ එවැනි දෙයක් ඇතිවීම වැළැක්වීමට ක්‍රියා කිරීම අත්‍යවශ්‍යයි. ඒ සියල්ල පසෙකලා මේ ප්‍රශ්නය වෙනත් දිශාවකට තොරොම්බල් කරමින් තිබෙන බව අපිට පෙනෙනවා. ආණ්ඩුව විවිධ කණ්ඩායම් යොදවාගෙන නැවත ජාතිවාදය, ආගමික අන්තවාදය ඇවිස්සීම සිදුකරමින් සිටිනවා.
කාදිනල්තුමා ඉලක්ක කර කරගෙන ප්‍රබල ප්‍රහාරයක් !
ආණ්ඩුවේ සමහර පාර්ශ්වයන් විශේෂයෙන්ම කාදිනල්තුමා ඉලක්ක කර කරගෙන ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරමින් සිටිනවා. එය ජාතික සංහිඳියාවට තවත් තර්ජනයක්. පරීක්‍ෂණ නිවැරදි දිශාවට යොමු කරන්න සිදුකරන බාධාවක්. ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටිමින් අතරමැදි කොටස් පරීක්‍ෂණවලට බාධා කරමින් සිටිනවා. පෞද්ගලිකව එදා මැදිහත් වුණු කාදිනල්තුමාගෙන් ජනතාව දැන් ප්‍රශ්න කරනවා. උන්වහන්සේ අසරණ වෙලා ඉන්නේ. ජනතාව ඉදිරියේ නිරුත්තර වෙලා ඉන්නේ. ඒ නිසා කාදිනල්තුමා නැවත වටයකින් මැදිහත් වීමක් සිදුකළා.
මේ නිසා අතරමැදි කොටස් උපයෝගී කරගෙන ප්‍රහාරයක් එල්ල කරමින් සිටිනවා. එදා කාදිනල්තුමාගේ මැදිහත්වීම වාසියක් කරගත් අය අද උන්වහන්සේගේ මැදිහත්වීම ගැන ප්‍රහාර එල්ල කරනවා. මෙය ඉතාම ඛේදනීය කරුණක්.
ජනාධිපතිට ස්තූතියි !
නැවත මෙවැන්නක් ඇති නොවීමට වග බලාගැනීම ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිවාරයේදී ‘ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය නැවත සිද්ධ වෙන්න දෙන්නේ නැහැ’ කියන සහතිකය ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයාම ලබාදීම සම්බන්ධයනේ අපි සතුටු වෙනවා. ශ්‍රී ලංකාවේ ජනතාවට බියෙන් සැකෙන් තොරව ජිවත් වීමට හැකි තත්වයක් පිළිබඳ බලාපොරොත්තුව ඔහු විසින්ම ලබාදීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. නමුත් නිවැරදිව පරීක්‍ෂණ කරලා වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමෙන් පමණයි නැවත මෙවැනි දෙයක් ඇතිවීම වළක්වා ගත හැක්කේ.
ඒ නිසා තමන්ගේ බැරිකම වහගන්න වැහි කාලෙදී අකුණු වදින අවස්ථාවේ යකඩ කෑලි එළියට දානවා වගේ කාදිනල්තුමාට හෝ වෙනත් අයට විවේචන එල්ල කරලා වැඩක් නැහැ. ජාතිවාදය අවුස්සන කොටස් එළියට දානවා වෙනුවට මීට අදාළ පරීක්‍ෂණය නිවැරදිව කරන්න අපි බල කරනවා.
ලෝකය ඉදිරියේ ජනාධිපතිතුමා ඒ සහතිකය දෙනවා නම් රට තුළ එය භාවිතාවෙන් ඔප්පු කළ යුතුයි. ආගමික සංහිඳියාව, ජාතික සංහිඳියාව තුළින් ඉස්සරහට යන්න ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී කියන අතරතුර ආණ්ඩුව වෙනුවෙන් පරණ යකඩ කෑලි එළියට දාලා තියෙනවා. ඔවුන් ජාතික සහ ආගමික සංහිඳියාවට බාධාකාරී ප්‍රකාශ කරනවා.
නිව්යෝර්ක් කතාවේ සහ රට ඇතුලේ පරස්පරයක් !
නිව්යෝර්ක්වල කථාව සහ සමහර අයව පාවිච්චි කරලා රට තුළ කරන ප්‍රකාශවල සම්පූර්ණ පරස්පරයක් තියෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ දුන් සහතිකවීම් යථාර්ථයක් බවට පත්කරන්න රට තුළ ක්‍රියාමාර්ග ගත යුතුයි. රට තුළ ජාතිවාදී කණ්ඩායම් අවුස්සා ප්‍රශ්නය වෙන පැත්තකට තල්ලු කරනවා වෙනුවට සැබෑවටම මෙය මෙහෙයවූ අය කවුද, ඔවුන්ගේ අරමුණ මොකක්ද කියන පරීක්‍ෂණ පවත්වා චූදිතයන්ට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගත යුතුයි. මෙයට සාධාරණය ඉටු කළ හැක්කේ ඒ තුළින් පමණයි. පාස්කු ප්‍රහාරයට වසර දෙකයි මාස පහක් සම්පූර්ණ වන අවස්ථාවේ නැවත මෙවැනි දෙයක් ඇති නොවී ජාතික සංහිඳියාව ඇති කිරීමට ඉඩ නොතබන ලෙස අපි ආණ්ඩුවට බල කරනවා.
කතෝලික ජනතාවගේ බලාපොරොත්තු බිඳ දමා ප්‍රකෝපකාරී ප්‍රකාශ සිදුකර ගැටුම් ඇති නොකරන ලෙසටත් අපි ආණ්ඩුවට බල කරනවා. වින්දිතයන්ට යුක්තිය ඉටුකර සාධාරණත්වය ලබාදෙන ලෙසට අපි ආණ්ඩුවට බලපෑම් කරනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්....
රට අභ්‍යන්තරයේ යුක්තිය, සාධාරණත්වය, ඉටු නොවන අවස්ථාවල ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයෝ මේ ප්‍රශ්නය ජාත්‍යන්තරය හමුවට ගෙනයනවා. ඉතාලියේදී, නිව්යෝක්වලදී අපි දැක්කේ ඒක. රට තුළ ආණ්ඩුවේ වගකීම් ඉටුකරනවා නම් මේ ප්‍රශ්න ජාත්‍යන්තරයට යන්නේ නැහැ. නිව්යෝක් සමුළුව ඉදිරියේත් මේ ප්‍රශ්නය සාකච්ඡා වෙනවා. ඒ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන් විරෝධය දක්වන්නේ යුක්තිය ඉටු නොවීම නිසා. ඒ නිසයි අපි කියන්නේ මේ සම්බන්ධ ක්‍රියාමාර්ග වහාම අරගන්න කියලා. ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා ඉතා පැහැදිළිව සහතික වී තිබෙන්නේ එවැනි ත්‍රස්තවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලංකාව තුළ ඇති නොවන බවයි.
ඒ ප්‍රකාශයම ඇති එවැනි තත්වයක් ඇති නොවෙනවා කියලා අපිට ඒතතු ගන්න.
කෙරවලපිටිය බලාගාරය කුප්‍රකට රහස් ගිවිසුමක් හරහා මධ්‍යම රාත්‍රී 12.06ට ඇමරිකානු නිව් පෝට්‍රස් එනර්ජි සමාගමට පවරා දී තිබෙනවා. ඩොලර් මිලියන 250ක් වැය කර නළ පද්ධතිය ඉදි කිරීමට වඩා මේ ගිවිසුමට අනුව ස්වභාවික ගෑස් සැපයුම ඇමරිකානු පෝට්‍රස් සමාගම වෙත පැවරීම භයානකයි. අපේ රටේ බලශක්තිය ස්වාධීනත්වය මුළුමනින්ම නැති වෙනවා. ඒ නිසා ජාතික ආරක්‍ෂාවටත් තර්ජනයක් එල්ල වෙනවා. ඕනෑම අවස්ථාවක ඇමරිකා එක්සත් ජනපදයට අපේ රටේ බලශක්ති සැපයුම මුළුමනින්ම අඩපණ කරන්න හැකි වෙනවා. බලශක්තිය ඇමරිකානු අධිරාජ්‍යවාදයට පැවරීමෙන් ජාතික ආරක්‍ෂාවත් මේ රටේ ජනතාවගේ ස්වෛරීත්වය සහ ස්වාධීනත්වයට එරෙහිව යාමක් සිදුවෙනවා. ඒ නිසා මේ ගිවිසුම හකුළා දමා බලශක්තියේ අයිතිය රටේ ජනතාවගේ ශුද්ධ වූ අයිතියක් හැටියට පවත්වාගෙන යාමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු බව අපි අවධාරණය කරනවා.
මාධ්‍ය ඒකකය
ජනතා විමුක්ති පෙරමුණ
බත්තරමුල්ල.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී
2021.09.23

තවත් කොරෝනා මරණ 72ක් : සෞඛ්‍ය බලධාරීන්ගෙන් අනතුරු ඇඟවීමක් !
තවත් කොරෝනා මරණ 72ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ඊයේ (22) දිනට අදාළව තහවුරු කර ඇති අතර ඊට අදාළ නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (23) නිකුත්කර ඇත.
ඒ සමග මෙරට කොරෝනා මරණ ගණන 12448 දක්වා ඉහල යයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 42 ක් පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 30, කාන්තාවන් ය.
මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ 12 ක් සිටින අතර, ඉතිරි ආසාදිතයින් 60 දෙනා වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
එකපාර විවෘත කරන්න එපා - සෞඛ්‍ය බලධාරීන්
මේ අතර පවතින නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට තීරණය කරන විට රට සම්පූර්ණයෙන් විවෘත නොකරන ලෙස සෞඛ්‍ය බලධාරීන් රජයට අවධාරණය කර සිටියි.
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ රට එකවර විවෘත කළ යුතු යැයි නිර්දේශ නොකරන බවයි.
රට සම්පුර්ණයෙන්ම විවෘත කිරීමට යන්නේ නම්, තත්වය වඩාත් නරක අතට හැරවිය හැකි සිදුරු තිබිය හැකිය යනුවෙන් එහිදී ඔහු අනතුරු ඇඟවීය.
“එබැවින්, කොවිඩ් රෝගීන් ඇතිවීමට හේතු විය හැකි අවදානම් සාධක තිබේ දැයි බැලීමට සෙමෙන් රට විවෘත කිරීම ඉතාමත් යෝග්‍ය සහ ඉහළින්ම නිර්දේශ කරන” බව වෛද්‍ය හේරත් පැවසීය.

බන්දුල දැඩි තීන්දුවක් අරගෙන : නැවත බඩුමිල ගැන කතා නෑ !
තමන් මින්පසු කිසිදිනක බඩුමිල හෝ උපරිම සිල්ලර මිල සම්බන්ධ කිසිදු නිල ප්‍රකාශයක් මාධ්‍යයට නොපැවසීමට තීරණය කළ බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.
එය තමන්ට අයත් කාර්යයක් නොවන බවත් එය පාරිභෝගික රාජ්‍ය අමාත්‍යවරයාට අයත් කාර්යයක් බවත් අමාත්‍යවරයා පවසයි.
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කර සිටියේ පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන පසුගියදා ඇමති බන්දුල ගුණවර්ධන සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දීම සඳහා අද (23) පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී ඇමති බන්දුල ගුණවර්ධන සඳහන් කර සිටියේ තමන් මෙම සුදුළූණු වංචාවට සම්බන්ධ නැති බවත් එය තමන් දැනුවත්ව සිදනොවූ දෙයක් බවත්ය.
මේ සම්බන්ධ පුවතේ, Lanka truth වෙබ් අඩවිය වාර්තා කරන්නේ , පසුගියදා පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන සිදු කළ, ජාත්‍යන්තර පාරිභෝගික දිනය වෙනුවෙන් පවත්වන වැඩ සටහනකට අධිකාරියේ මුදල්වලින් ලක්ෂ හතරක් ලබා ගැනීමට අනුමැතිය ලබා ගැනීමට සූදානම් වූ අවස්ථාවේ, රජයේ මුදල් පාරිභෝගිකයන්ට සෙතක් වන වැඩකට මිස දේශපාලන ප්‍රචාර සඳහා නොයොදන ලෙස තමන් දැමූ සටහන හේතුවෙන් බන්දුල ගුණවර්ධන සහ ලසන්ත අලගියවන්න අමාත්‍යවරුන් අමනාප වු බවට වන චෝදනාව සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැති බවය.

ගෝඨාභයගේ අලියා ඉන්න තැන රාජ්‍ය ඇමති කියයි !
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2015 වසරේ දී බාර දෙන ලද අලියා නැවත වරක් උසාවියෙන් එතුමාට්ස් ලබාදී ඇතැයි වනජීවි රාජය ඇමති විමලවිර දිසානායක පැවසීය.
මෙම නියෝගය ලබා දී ඇත්තේ අධිකරණයෙන් බවත් නම් කළ පුද්ගලයන්ට අලි ලබා දෙන්නැයි කිසිවිට ඉල්ලීමක් නොකළ බවත් ඇමැතිවරයා කියයි.
කෙසේ වෙතත් ‘චරක’ නම් එම හස්තියා ජනාධිපතිවරයාගේ මිරිහාන ගෙදරට ගෙන නොගිය බවත් දෙනියායේ පන්සලකට එම හස්තියා රැගෙන ගොස් ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මැදියම් රැයේ සිදුකළ මහා පාවාදීමට : සජිත්ගේ විරෝධය !
මැදියම් රැයේ සිදුකළ මහා පාවාදීම හකුළාගනු යැයි පවසමින් කෙරවලපිටිය යුගදනවී බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පවරමින් අත්සන් කළ ගිවිසුමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විරෝධය පලකර ඇත.
නිවේදනයක් නිකුත්කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කරන අතර අදාළ නිවේදනය පහත දැක්වෙයි.
බලය ලබා ගැනීම උදෙසා මේ රටේ මහජනතාවට මැතිවරණයට පෙරාතුව ඉදිරිපත් කරන ලද දේශප්‍රේමී, දේශහිතෛෂී, ජනතාවාදී සියලුම පොරොන්දු සහ ප්‍රතිපත්ති අලුයම ලූ කෙළ පිඩක් සේ කුණු කූඩයට විසි කොට ඇති වර්තමාන ආණ්ඩුව ඊට සහමුලින්ම ප්‍රතිපක්ෂ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් මුළු රටම මහත් ව්‍යසනයක් කරා තල්ලු කරගෙන යමින් සිටි.
බිහිවූ දා සිටම මේ දක්වා සැලකිල්ලට ගත හැකි ජනතාවාදී කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් වත්මන් ආණ්ඩුව ඒ වෙනුවට ජන ජීවිත අවදානමට ලක් කොට ඇති අතර, රටේ සම්පත් සියල්ල මැදියම් රැයේදි පවා කුණු කොල්ලයට විකුණමින්, බලය ලබා ගැනීමට පෙර මවා පෙන්වූ සිය ඊනියා දේශහිතෛෂී භාවයේ අවසාන සළුපිළි ද ඉවත් කරමින් සිටී.
පසුගියදා, zoom තාක්ෂණය හරහා මැදියම් රැයේ පවත්වන්නට යෙදුණු කැබිනට් රැස්වීමේ දී, අතිශය හිතුවක්කාරී ලෙසත්, හිතු මනාපයටත් කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය මේ රටට අහිමි කිරීමේ අන්තනෝමතික තීරණය ආණ්ඩුව විසින් ගෙන තිබේ.
• යුගදනවි යනු ඉදිරි දශකය තුළ මෙරට පිහිටි විශාලතම බලාගාරය වන අතර විදුලිබල මණ්ඩලය සමග ඇති ගිවිසුම් අනුව 2035 වර්ෂය වනවිට රාජ්‍ය සමගාම්වලට අයිතිව තිබෙන සියලු කොටස් එනම් යුගදනවි බලාගාරය පූර්ණ වශයෙන්ම විදුලිබල මණ්ඩලයට හිමිවන්නට නියමිතය. එහෙත් සිදුවෙමින් පවතින්නේ එතරම් විශාල බලාගාරයක් විදේශීය සමාගමකට පත් කිරීමට පිඹුරුපත් සැකසෙමින් තිබීමය.
ඒ අනුව යුගදනවි බලාගාරයේ වෙස්ට් කෝස්ට් පවර් සමාගමේ 40%ක කොටස් හිමිකරගැනීම සඳහා අදාළ නීතිමය ගිවිසුම අත්සන් කළ බව අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි (New Fortress Energy) සමාගම තහවුරු කොට තිබේ.
• එපමණක් නොව, කෙරවලපිටිය ඉදිකිරීම් ලබාදෙන අදාල සමාගමටම ගෑස් සැපයීමේ ව්‍යාපෘතිය ද ලබාදී තිබේ. මාසිකව හෝ වාර්ෂිකව අදාළ ගෑස් ටෙන්ඩර් මගින් ලබාගැනීමට හැකියාව තිබියදී එම ගෑස් සැපයීමේ අයිතිය වසර 05කට එම සමාගම වෙතට ම ලබා දී ඇත්තේ ටෙන්ඩර් කැඳවීමකින් තොරවය. ඒ අනුව, ටෙන්ඩර් කැඳවා තිබෙන පාවෙන ගෑස් ගබඩා සංකීර්ණය ඉදිකිරීම ද, නළ පද්ධතිය ඉදිකිරීම ද එම සමාගමට ම පවරා තිබේ. ඒ යුගදනවි බලාගාරයේ 40%ක කොටස් පැවරීමේ ගිවිසුම ද සමගය.
• ඉංජිනේරු සංගමය ඇතුලු සබුද්ධික පිරිස්වල අදහස් අනුව මෙහි 40% අයිතිය ලබා දීමටත් වඩා වැඩි බලපෑමක් එල්ලවන්නේ LNG සැපයුම ඔවුන් අතට පත්වීම හරහා ය. රටේ මර්මස්ථානයක පාලනය විදෙස් සමාගමකට දීමෙන් රටේ බලශක්ති සුරක්‍ෂිතතාවය අනතුරකට ලක්වෙන අතර අනාගතයේ එම LNG සැපයුම අඩාල කිරීම තුළ රටේ බලශක්ති නිපදවීමට බලපෑම් කිරීමට මේ හරහා විදේශීය සමාගමකට හැකිවීම විශාල අවධානම් සහගත තත්ත්වය කි.
• ලොව කිසිම රටක්, ස්වාභාවික වායු සැපයීමේ ටෙන්ඩර සහ එයට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ටෙන්ඩර ඒකාබද්ධව සිදු නොකරන අතර, එවැන්නක් සිදුවුවහොත් රටේ ජාතික ආරක්ෂාව බලශක්ති ආරක්ෂාව තහවුරු නොවන බව එම රටවල් දනී.
• මේ අවදානම නොතකා හැර මෙරට ආණ්ඩුව ගත් මෙම අන්තනෝමතික ක්‍රියාවලිය හේතුකොටගෙන මෙරට බලශක්ති ආරක්ෂාව පමණක් නොව මුළු රටම සිය ග්‍රහණයට නතුකර ගැනීමේ හැකියාව ද ඔවුන්ට හිමි වනු ඇත. කෙසේ වෙතත් ආණ්ඩුව මේ බරපතල අනතුරද නොතකා හැර, මෙරට බලශක්ති ප්‍රතිපත්තියටද අනනුකූල ලෙස මෙම ගිවිසුම් අත්සන් කොට තිබේ.
• අනෙක් අතට, අදාළ යෝජනාව ප්‍රකාරව රටට අවශ්‍ය විදුලියෙන් සියයට 50ක් නිපදවීමේ ඒකාධිකාරය විදේශිය පුද්ගලික සමාගමකට ලැබේ. මීට පෙර ටෙන්ඩර් කැඳවා ඇගයීම් අවසන් කර තිබියදී එය අහෝසි කර මෙම සමාගමට දීමට හේතු මොනවාද යන්නත් මීට පෙර ටෙන්ඩර් ඉදිරිපත් කර තිබුණේද විදේශ රටවල් නිසා මේ හරහා රාජ්‍ය තාන්ත්‍රික ගැටලු ද මතුවුවහොත් ඇතිවන තත්ත්වය පිලිබදවත් අපි ආණ්ඩුවෙන් පිලිතුරු බලාපොරොත්තු වෙමු.
හෙජින් ගිවිසුම තරම් මහා පාවාදීමක් මෙම ගිවිසුම හරහා සිදුවන අතර මෙවැනි පාවාදීමක් ශ්‍රී ලාංකික පුරවැසියෙකුට කිසිසේත්ම සිදුකළ නොහැකිය.
මෙවන් බරපතල ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු කරත්දීත් කැබිනට් මණ්ඩලය හුදෙක් සිග්නල් කනු බවට පත්ව සිටින අතර කිසිවෙක් මීට එරෙහිව වගකීම් සහගත මැදිහත්වීමක් නොකිරීම තුලින් ගම්‍ය වන්නේ ඔවුන් පත්ව සිටින තත්වය යි. එහෙත් ඒ කිසිවෙකුට මේ බරපතල පාවාදීමෙහි කොටස්කරුවන් වීමෙහි වරදෙන් මිදිය නොහැකිය.
භූමියෙන් කුඩා රටක බලශක්තියේ පාලනය සහ හිමිකම ලබාගන්නා පිටස්තර කවරෙකුට වුව රටේ පාලනය හැසිරවීමට බලයක් ලැබෙන බව වටහා ගැනීමට තරම්වත් ප්‍රබුද්ධ සිහියක් නැතිව සිහිමූර්ඡා වී සිටින ආණ්ඩුවට නොතේරෙන නමුත්, සමගි ජන බලවේගය ඇතුළු මෙරට සමස්ත ජනතාව ආණ්ඩුවේ මේ අන්තනෝමතික ක්‍රියාවලියට එරෙහිව කඳවුරු බඳින බව අවධාරණය කළ යුතුය.
සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉල්ලන : විරෝධතා රැල්ල ඇමරිකාවටත් !
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් නීතිය හමුවට ගෙනෙන ලෙසත්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා ඊයේ (22) අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් නිව්යෝක් නුවර විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වූහ.
පෙරවරු 9.30ට මැන්හැටන්හි ඩැග් හැමර්ස්කොල් ප්ලාසාහි මෙම උද්ඝෝෂණය ආරම්භ වී ඇති අතර ඊට කළු ඇදුමින් සැරසුණු ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එක්රැස් වී සිටි බවත් වාර්තා වෙයි.
විදෙස් රටවල මෙවැනි විරෝධතා සිදු කිරීම ආරම්භ වූයේ අගමැති මහින්ද රාජපක්ෂගේ ඉතාලි සංචාරය අතරතුරදීය.
එහිදී ඉතාලියේ බොලොඤ්ඤා නුවර අගමැතිවරයා සමුලුව අමතමින් සිටියදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා විරෝධතාවක නිරත විය. එසේම විරුද්ධවාදීන් මර්දනය නවත්වන ලෙසත් එහිදී බලකෙරින.
ඉන් අනතුරුව ප්‍රංශයේ පැරිස් නුවරද මේ ආකාරයේම විරෝධතාවක් ශ්‍රී ලාංකිකයන් විසින් පවත්වනු ලැබ තිබිණ. දැන් ඇමරිකාවේ පැවැත්වුණ අතර තවත් උද්ඝෝෂණයක් එංගලන්තයේ සංවිධානය වෙමින් ඇති බව සමාජ මාධ්‍ය වාර්තා වල සඳහන් වෙයි.

රජය බෝට්ටු කෘෂි රසායන ජාවාරමක : හිටපු ආණ්ඩුකාර චෝදනා කරයි !
කාබනික වගාව සාර්ථකයි කියා රට-ලෝකය රවට්ටන්න, රජය බෝට්ටු කෘෂි රසායන ජාවාරමකට අනුග්‍රහය ලබා දෙනවා. ලියාපදිංචි කඩවල්වල කෘෂි රසායනය නෑ. හැබැයි, මහ ගස් පවා මරණ, පසට ඇසිඩ් ගැහුවා වගේ පිච්චෙන ‘බෝට්ටු බඩු වල් බෙහෙත්‘ ඕනී තරම් තියෙනවා යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
නිවේදනයක් නිකුත්කරමින් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.
කාබනික වගාව සාර්ථක යැයි ඔප්පු කිරීමට කිසිදු ප්‍රමිතියක් නැති නීති විරෝධී කෘෂි රසායනය බෝට්ටු මගින් රට තුලට රැගෙන ඒමට රජය ඉඩ දී ඇත. කාබනික වගාව යැයි රටත්-ජාතියත්-ලෝකයත් අන්දමින් අධි විෂ කෘෂි රසායන මහපොළොව-පරිසරයට නිදහස් කිරීමට රජය ඉඩ හැර ඇත.
කෘෂි රසායනය හෝ පොහොර ගෙන්වීම සඳහා රජයේ ඩොලර් සංචිත ප්‍රමාණවත් නොවන නිසා ලෝකයේ කිසිදු රටක නැති 100% කාබනික සිහින සංකල්පයක් මෙරට පැල කිරීමට රජය උත්සහ දරයි. ලංකාවේ දුප්පත් ගොවියන්ගේ කණ-කර රත්තරං බඩු ටික බෝට්ටු මගින් ඉන්දියාවට යවා සිදු කරන නීති විරෝධී කෘෂි රසායන ජාවාරම නැවැත්වීමට රජය ක්‍රියා කළ යුතුය.
අද කෘෂිකර්ම අමාත්‍යාංශයයි, කෘෂිකර්ම ඇමතිලයි, නිලධාරි මණ්ඩලයයි, ගොවියාට හිතකර කෘෂිකර්මය හැර අනිත් හැමදේම කරන්වා. නීති විරෝධී වල්, දිලීර හා කෘමිනාශක රට පුරා ජාවාරම්කරුවෝ බෙදා හරිනවා. කෘෂි රසායන පාලනය සඳහා වගකීම් පැවරී ඇති පළිබෝධක නාශක පාලන අධිකාරිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ප්‍රමිති ආයතනය ඇතුළු කිසිදු ආයතනයක් නීති විරෝධී බෝට්ටු කෘෂි රසායන අලෙවිය, ප්‍රවාහනය හෝ ගබඩා කිරීම් පිළිබඳ සොයන්නේ නෑ. මෙහෙයුම් කරන්නේ නෑ.
පලිබෝධ නාශක පනත ක්‍රියාත්මක වෙන්නේ රුපියල් පනහක් වැඩි මිලට විකුණ වෙළෙන්දාට විතරයි. මහා පරිමාන නීති විරෝධී කෘෂි රසායන ජාවාරමක් රටේ සිද්ධ වෙනවා. මන්නාරම, කාත්තන්කුඩි, ත්‍රිකුණාමය, වැලිගම ආශ්‍රිතව ධීවර බෝට්ටුවලින් රට තුලට රැගෙන එනවා.
ඉන්දියාවෙන්, චීනයෙන් ගෙන් සමහර කෘෂිරසායන අපේ රටේ තහනම් කළේ දැන් අවුරුදු 15- 20 කට කලින්. මේ කාබනික උන්මාදය හැදෙන්න ඉස්සර අපේ රටේ හොඳ පළිබෝධක නාශක පාලනයක් තිබුණා. දැන් පළිබෝධන නාශක පාලනයක් තියා ප්‍රමිතියක් තියෙන බෙහෙතක් හොයා ගන්න බෑ. හැබැයි රට පුරා ජාවාරම්කාරයෝ රොත්තක් කළු කඩ ව්‍යාපාරයක් පටන් අරගෙන තියෙනවා.
රජය නීති විරෝධී බෝට්ටු කෘෂි රසායන හොර පාරවල් වහන්නට වහා පියවර ගත යුතුයි.

ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයක් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදුනොවේ - ජනාධිපති ගෝඨාභය !
ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයක් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදු නොවන බවත් ගෝලීය ත්‍රස්තවාදය ජය ගැනීමට බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමේ ජාත්‍යන්තර සහයෝගීතාවක් අවශ්‍ය බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරය අමතමින් ඊයේ (22) රාත්‍රියේ ප්‍රකාශ කළේය .
ජනවාර්ගික ආගම් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා සමෘද්ධිමත් සුරක්ෂිත අනාගතයක් ගොඩ නැගීම තම රජයේ ප්‍රමුඛ අරමුණ බව කී ජනාධිපතිවරයා ඒ සඳහා පියවර රැසක් ගෙන ඇති බවද පැවසීය.
මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදුකළ අදහස් දැක්වීම පහත දැක්වෙයි.
සභාපතිතුමනි,
මහලේකම්තුමනි,
රාජ්‍ය නායකවරුනි,
ගෞරවනීය නියෝජිතයිනි,
නෝනාවරුනි, මහත්වරුනි,
ආයුබෝවන්
අද පැවැත්වෙන මෙම උත්කෘෂ්ට රැස්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ලැබීම මට ගෞරවයකි. 76 වන මහා මණ්ඩල සැසිවාරයේ සභාපතිවරයා ලෙස තේරී පත්වූ අතිගරු අබ්දුල්ලා ෂහීඩ් (Abdulla Shahid) මැතිතුමන්ට මම පළමුවෙන් සුභපතමි.
සභාපතිතුමනි, ඔබ ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මිතුරෙකි. ඉදිරි වසරේ දී ඔබ සමග සමීපව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.
මීට පෙර පැවති මහා සභා සැසිවාරයේ දී අතිගරු Volkan Bozkir (වොල්කන් බොස්කීර්) මැතිතුමන් දරන ලද භාරකාරත්වය අගය කිරීමට සහ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මැතිතුමන් මෙම දුෂ්කර අවස්ථාවේදී ලබාදෙන නායකත්වය අගය කොට සැලකීම සඳහා මෙය අවස්ථාවක් කර ගනිමි. සභාපතිතුමනි, කොවිඩ් - 19 වසංගතය මනුෂ්‍ය වර්ගයාට විනාශකාරී බලපෑමක් ඇතිකර තිබේ. වසංගත තත්ත්වය හමුවේ තම සමීපතමයන් අහිමි වූ සියලු දෙනා වෙත මාගේ සාතිශය සංවේගය පිරිනමමි.
ලොව පුරා සිටින ඉදිරි පෙළ සෞඛ්‍ය හා අත්‍යාවශ්‍ය සේවකයින්ගේ කැපවීම ගැන මම ස්තූති කරන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අර්බුදයට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳ ප්‍රශංසා කරමි. කොවිඩ් - 19 වසංගත තත්ත්වයෙන් උගත් පාඩම් හුවමාරු කර ගැනීමට සහ වඩා ප්‍රශස්ත ලෙස නැවත රටවල් යථා තත්ත්වයට ගොඩනැගීමට සහාය වීම සඳහා ශ්‍රී ලංකාව, ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව, කලාපීය දැනුම් කේන්ද්‍රයක් ගොඩනැගීමට අපේක්ෂා කරයි.
වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා එන්නත් සහ ප්‍රතිකාර ක්‍රම හඳුන්වා දීමේදී විද්‍යාත්මක පර්යේෂකයින් හා වෛද්‍ය ප්‍රජාවන් විසින් සිදුකරන ලද වේගවත් නිර්මාණාත්මක කාර්යභාරය මම ඉතා ඉහළින් අගය කරමි.
ඒ අතරම, භයානක නව වෛරස් ප්‍රභේද පැතිරවීම වැළැක්වීම සඳහා එන්නත් නිෂ්පාදනය, බෙදාහැරීම, ලබාදීම සහ පිළිගැනීම සම්බන්ධයෙන් වන අභියෝග වහාම ජයගත යුතු බව හඳුනා ගත යුතුව ඇත.
සෑම තැනකම සෑම කෙනෙකුටම එන්නත ලබාදී ඇති බවට සහතික වීම වසංගතයෙන් මිදීමේ හොඳම ක්‍රමවේදයයි.
තවමත් සංවර්ධනය වෙමින් පවතින ජාතියක් වුවද, ශ්‍රී ලංකාව සිය එන්නත් කිරීමේ වැඩසටහන තුළ ඉතා සාර්ථක වී ඇත.
වයස අවුරුදු 30ට වැඩි සියලුම පුද්ගලයින් සියලු දෙනාටම පාහේ මේ වන විටත් පූර්ණ වශයෙන් එන්නත් ලබාදීමට අපි කටයුතු කර ඇත්තෙමු.
ඔක්තෝම්බර් මස අවසානය වන විට වයස අවුරුදු 20ට වැඩි සෑම දෙනාටම පූර්ණ වශයෙන් එන්නත ලබාදෙනු ඇත. නුදුරු අනාගතයේදීම අපි අවුරුදු 15ට වැඩි දරුවන්ට එන්නත් ලබාදීම ආරම්භ කරන්නෙමු.
එන්නත්කරණ ක්‍රියාවලියේ වේගවත්භාවයට පාදක වූයේ සෞඛ්‍ය සේවකයින්, හමුදාව සහ පොලිස් නිලධාරීන්, රජයේ සේවකයින් සහ තෝරා පත් වූ ජනතා නියෝජිතයින් අතර වූ සම්බන්ධීකරණයයි.
වසංගත තත්ත්වය කළමනාකරණය සඳහා ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික පරිත්‍යාගශීලීන් විසින් සපයන ලද මූල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර වලින් ද ශ්‍රී ලංකාව විශාල ප්‍රතිලාභයක් ලැබීය. මෙම ජාතීන්ට සහ ආයතනවලට ඔවුන්ගේ ත්‍යාගශීලීභාවය පිළීබඳ මම ස්තූතිවන්ත වෙමි. මෙම පවතින අර්බුදකාරී කාලය තුළ ගෝලීය වශයෙන් දක්නට ලැබෙන ඉමහත් සහයෝගීතාවය බෙහෙවින් දිරිගන්වන සුළුයි. කෙසේ වෙතත්, කළ යුතු තවත් බොහෝ දේ ඇත.
සභාපතිතුමනි, වසංගතයේ ආර්ථික බලපෑම විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩි ලෙස බලපා ඇත.
මෙය 2030 තිරසර සංවර්ධන ඉලක්ක සඳහා වන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම අවධානමකට ලක්කර ඇත. සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට මෙම අවිනිශ්චිත තත්ත්වයෙන් මිදීමට සහාය වීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණය තුළින් සංවර්ධන මූල්‍යකරණය සහ ණය සහන ඇතුළු තවත් බොහෝ ක්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි.
වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව ද දැඩි අසීරුතාවයකට පත්ව ඇත. ඛේදජනක ජීවිත හානි වලට අමතරව අපේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. අගුලු දැමීම් සහ සාමාන්‍ය සංචරණ සීමා පැනවීම්, ජාත්‍යන්තර සංචාරකයින් පැමිණීම පහළ වැටීම සහ මන්දගාමී ගෝලීය වර්ධනය අප ආර්ථිකයේ සෑම අංශයකටම බලපා ඇත.
ශ්‍රී ලංකාවේ ඉහළම විදේශ විනිමය උපයන මාර්ගයක් වන හා ජනගහණයෙන් 14%කට ආසන්න ප්‍රමාණයක් යැපෙන සංචාරක ක්ෂේත්‍රය දැඩි ලෙස කඩා වැටී ඇත.
මෙම කර්මාන්තය සහ අනෙක් බොහෝ අංශවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා, පොලී සහන සහ වෙනත් මූල්‍ය ආධාර ලබාදීම වැනි රජයේ ආධාර ක්‍රම මගින් සහන ලබාදුනි.
දෛනික වැටුප් ලබන්නන් සහ අඩු ආදායම්ලාභී කණ්ඩායම් සඳහා මුදල් ප්‍රදානයන් සහ වියළි සලාක ලබාදීම, අගුලු දැමීම කරන කාලසීමාවේදී ක්‍රියාත්මක කරලීම තුළින් රාජ්‍ය වියදම් සැලකිය යුතු ලෙස වැඩිවිය.
වසංගතයේ ක්ෂණික බලපෑම්වලට අමතරව මෙම වසංගතයේ ආර්ථික ප්‍රතිවිපාකයන් අපගේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා තිබූ මූල්‍ය අවකාශය සීමා කර ඇත.
සභාපතිතුමනි,වසංගතයේ ප්‍රතිවිපාකයන් මනුෂ්‍යත්වයට බෙහෙවින් විනාශකාරී වූ අතර, ඉදිරි දශක කිහිපය තුළ දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ඊටත් වඩා විශාල අභියෝගයන්ට ලෝකයට මුහුණ දීමට සිදුවේ.
දේශගුණික විපර්යාසයන් පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ මෑතකාලීන වාර්තාවේ අවධාරණය කර ඇති පරිදි පෘථිවියේ සෞඛ්‍යයට මානව ක්‍රියාකාරකම්වල පෙර නොවූ විරූ බලපෑම් දැඩි කනස්සල්ලට කරුණකි.
දේශගුණික විපර්යාසයන්ගෙන් හා ජෛව විවිධත්වය නැතිවීමෙන් සිදුවන බරපතළ තර්ජනයන්ට පිළියම් යෙදීම සඳහා තීරණාත්මක හා ක්ෂණික බහුපාර්ශ්වික ක්‍රියාමාර්ග අවශ්‍ය වේ. දේශගුණික විපර්යාසයන්ට ගොදුරු විය හැකි රටක් වශයෙන් ශ්‍රී ලංකාව මෙහි අනතුරුදායක බව මනාව වටහාගෙන ඇත.
බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් මත ශ්‍රී ලංකාවේ දාර්ශනික උරුමයන් මුල් බැස ඇති අතර පාරිසරික අගය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරයි.
ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩල නීල ප්‍රඥප්තියේ පතාක යෝධයෙකු වන අතර මෙරට කඩොලාන ප්‍රතිසංස්කරණය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ මෙම සන්දර්භය තුළය.
වසර 2030 වන විට නයිට්‍රජන් අපද්‍රව්‍ය ප්‍රමාණය අඩකින් අඩු කිරීමට බලාපොරොත්තු වන, 'තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රඥාප්තිය' සම්මත කර ගැනීමෙන් පරිසර දූෂණය අවම කිරීමේ ගෝලීය ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාව ද දායක වී තිබේ.
අප්‍රේල් මාසයේදී පැවති පූර්ව-සමුළුවට මාර්ගගත ක්‍රමයට (virtually) සහභාගී වීම තුළින්, මෙම මස අගදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආහාර සමුළුව ගෝලීය වශයෙන් සෞඛ්‍යය සම්පන්න, තිරසර හා සාධාරණතාත්මකතාවයකින් යුතු ආහාර පද්ධති ප්‍රවර්ධනය සඳහා ක්‍රියාකාරී ප්‍රතිඵල ලබා දෙනු ඇතැයි මම විශ්වාස කරමි.
එවැනි ප්‍රතිඵල මානව සෞඛ්‍යයට මෙන්ම අපගේ පෘථිවියේ සෞඛ්‍යයට ද ඉතා වැදගත් වනු ඇත.
තිරසරභාවය යනු ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති රාමුවේ ප්‍රධාන අංගයකි. පාංශු සාරවත් බව, ජෛව විවිධත්වය, ජල මාර්ග සහ සෞඛ්‍ය කෙරෙහි එහි පවතින හානිකර බලපෑම හේතුවෙන් මගේ රජය විසින් මේ වසර මුලදී රසායනික පොහොර, පළිබෝධනාශක සහ වල් නාශක භාවිතය තහනම් කළේය.
කාබනික පොහොර නිෂ්පාදනය හා යොදා ගැනීම මෙන්ම කාබනික කෘෂිකර්මාන්තය සඳහා කරන ආයෝඡන දිරි ගැන්වමින් පවතී.
ශ්‍රී ලංකාවේ වඩාත් තිරසර කෘෂිකර්මාන්තයක් ඇති කිරීමට ගත් උත්සාහය වෙනුවෙන් ගෝලීය ආයතන සහ රාජ්‍යයන් බොහෝමයකගෙන් ලැබුණු දිරිගැන්වීම මම අගය කරමි. අපේ පරිසරය සුරැකීම අපේ ප්‍රධාන ජාතික ප්‍රමුඛතාවයකි. ඉදිරි දශක කිහිපය තුළ දී වනාන්තර ආවරණය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම අපගේ අරමුණයි.
රට පුරා පිහිටි ගංගා 100 කට අධික ප්‍රමාණයක් පිරිසිදු කර ප්‍රකෘතිමත් කිරීමට සහ ගංගා හා සමුද්‍ර දූෂණයට එරෙහිව සටන් කිරීමට ද අපි කටයුතු කරමින් සිටිමු.
පාරිසරික සංරක්‍ෂණයට සහාය දීමක් වශයෙන් තනි භාවිතය සඳහා වූ ප්ලාස්ටික් ද අපි තහනම් කර ඇත්තෙමු. පොසිල ඉන්ධන භාවිතය අවම කිරීම සහ කාබන්හරණයට සහාය වීමේ හදිසි අවශ්‍යතාවය ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇත.
අපගේ බලශක්ති ප්‍රතිපත්තිය මඟින් වසර 2030 වනවිට අපගේ ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 70% ක් දක්වා සූර්‍යබල, සුළං සහ ජල විදුලිය වැනි පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබාදෙන දායකත්වය ඉහළ නැංවීමට බලාපොරොත්තු වේ.
සභාපතිතුමනි, සිය ආර්ථිකය නැවත පණ ගැන්වීමේ හා ජාතික සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගනී.
ආයෝඡන ආකර්ෂණය කර ගැනීමට සහ වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීමට, අප රටේ භූ උපායමාර්ගික පිහිටීම සහ අපගේ සවිමත් ආයතන, ශක්තිමත් සමාජ යටිතල පහසුකම් සහ පුහුණු ශ්‍රම බලකාය උපරිම ප්‍රයෝජනයට ගැනීමට අපි අදහස් කරන්නෙමු.
මේ සඳහා පහසුකම් සැලසීමට මෙන්ම අපගේ සියලුම ජනතාව සමෘද්ධිමත් කිරීම සඳහා නීතී, නියාමන, පරිපාලන හා අධ්‍යාපන යන ක්ෂේත්‍රයන් හි පුළුල් වූ ප්‍රතිසංස්කරණ ඇතිකිරීම කෙරෙහි මගේ රජය අවධානය යොමු කර ඇත. නිදහස ලැබීමට පෙර සිටම ශ්‍රී ලංකාව සර්ව ජන ඡන්ද බලය භුක්ති විඳ ඇත. ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අපේ ජීවන රටාවේ ඉතා වැදගත් අංගයකි.
වසර 2019 දී මාව තෝරා පත්කරගැනීම සහ 2020 දී පැවති පාර්ලිමේන්තු මැතිවරණය තුළින් පිළිබිඹු වුයේ සමෘද්ධිමත් සහ ස්ථාවර රටක් ගොඩනැගීම සඳහා සහ ජාතික ආරක්‍ෂාව සහ ස්වෛරීභාවය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයින් විසින් මාගේ රජයට ලබාදුන් ප්‍රබල ජනවරමයි.
වසර 2019 දී සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයේදී, අන්තවාදී ආගමික ත්‍රස්තවාදීන් විසින් සිදු කරන ලද විනාශය ශ්‍රී ලංකාව අත්වින්දේය. එයට පෙර, වසර 2009 වන තෙක් ශ්‍රී ලංකාව වසර 30 ක බෙදුම්වාදී ත්‍රස්තවාදී යුද්ධයකින් පීඩා වින්දේය.
ත්‍රස්තවාදය යනු ගෝලීය අභියෝගයක් වන අතර එය ජය ගැනීමට නම්, විශේෂයෙන්ම බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම වැනි කාරණා සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගිතාව අවශ්‍ය වේ. පසුගිය අඩ සියවසේදී ප්‍රචණ්ඩත්වය විසින් ශ්‍රී ලංකාවේ දහස් ගණනකගේ ජීවිත සහ දශක ගණනාවක සමෘද්ධිය අහිමිකර ඇත.
මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදු නොවන බවට සහතික වීම සඳහා මගේ රජය කැපවී සිටී. එම නිසා, ඒ පිටුපස ඇති මූලික ගැටලු විසඳීමට අපි කටයුතු කරමින් සිටින්නෙමු.
කල් පවත්නා සාමය සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීය ආයතන තුළින් වැඩි වගවීමක්, ප්‍රතිස්ථාපන යුක්තියක් සහ අර්ථවත් සංහිඳියාවක් ඇති කිරීම අත්‍යාවශ්‍ය වේ.
ආර්ථික සංවර්ධනයේ ප්‍රතිඵල සඳහා සාධාරණත්වයෙන් යුතු සහභාගීත්වය සහතික කිරීම ද එසේම විය යුතුය. ජනවාර්ගික, ආගම් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා සමෘද්ධිමත්, ස්ථාවර හා සුරක්‍ෂිත අනාගතයක් ගොඩනැගීම මාගේ රජයේ දැඩි අරමුණයි.
මෙම ක්‍රියාවලිය සඳහා සියලුම දේශීය පාර්ශවකරුවන් සමඟ සම්බන්ධ වීමට සහ අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහ එක්සත් ජාතීන්ගේ සහයෝගය ලබා ගැනීමට අප සූදානම්.
කෙසේ වෙතත්, ස්ථිරසාර ප්‍රතිඵල ලබා ගත හැක්කේ ජනතාවගේ අභිලාෂයන් පිළිබිඹු කරන දේශීය ආයතන තුළින් පමණක් බව ඉතිහාසය පෙන්වා දී ඇත.ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව, අධිකරණය සහ එහි ඇති ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතන වලට තම කාර්යයන් හා වගකීම් ඉටු කිරීම සඳහා සීමා රහිත අවකාශයක් තිබිය යුතුය.
ගරු සභාපතිතුමනි, ගරු නියෝජිතවරුනි,අද අපගේ මහා සමුළු විවාදයේ තේමාවට අනුකූලව අප බලාපොරොත්තුසහගත බව තුළින් සැබැවින්ම ඔරොත්තු දීමේ ශක්තිය ගොඩනඟා ගැනීමට නම්, අප සැම දෙනාම පොදු යහපත සඳහා කටයුතු කළ යුතුයි.
සියළුම ස්වෛරී රාජ්‍යයන්හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස සැලකීමෙන් සහ ඔවුන්ගේ යාන්ත්‍රණයන් හා උරුමයන් කෙරෙහි නිසි ගෞරවයෙන් සැලකීමෙන් මේ සඳහා පහසුකම් සැලසීම එක්සත් ජාතීන්ගේ කාර්යභාරයයි.
ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීම දිරිමත් කරන ලෙස මම එක්සත් ජාතීන්ගෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිමි.
සියලු මනුෂ්‍ය වර්ගයාට යහපත් හා තිරසර අනාගතයක් ඇති කිරීම සඳහා සැබෑ සහයෝගීතාවයෙන්, ත්‍යාගගශීලීව හොඳ හිත පෙරදැරිව සහ අන්‍යෝන්‍ය ගෞරවයෙන් එකට වැඩ කරන ලෙස මෙම උත්තරීතර සභාවේ සාමාජික රටවලින් මම ඉල්ලා සිටිමි.
ඔබට ස්තුතියි !

කොවිඩ් වැළඳී සිටි වෛද්‍ය එලියන්ත අභාවප්‍රාප්ත වෙයි
කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රාජකීය වෛද්‍යවරයා වූ ඒලියන්ත වයිට් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මීට සුළු මොහොතකට පෙර දිවියෙන් සමුගෙන ඇති බවයි අපවෙත වාර්තා වෙයි.
නාවික හමුදා කඳවුරක් හරහා කොවිඩ් වෛරසය ව්‍යාප්ත වූ අවස්ථාවේදී කුණ්ඩලිනී ශක්තිය භාවිතයෙන් නාවික හමුදා සාමාජිකයන් රැසක් බේරා ගත් ඒලියන්ත වයිට් වෛද්‍යවරයා ඉන්පසු අවස්ථා කිහිපයකදී වසංගත තත්වය සමනය කිරීමට මැදිහත් වූ අතර ඔහු පෙන්වූ සාර්ථකත්වය හේතුවෙන් ඉන්දියාවේ වසංගතය දැඩි වූ අවස්ථාවේදී ඔහුට ඉන්දියාවටද ආරාධනා කර තිබිණි.
එවකට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇතුලු ඇමතිවරුන් කිහිප දෙනෙකු සමග මෙරට ප්‍රධාන ගංගාවලට පැන් මුට්ටි අතහැරීම හරහා කොවිඩ් මර්දනයට දායකත්වය දැක්වූයේද ඒලියන්ත වයිට් වෛද්‍යවරයායි.
කුණ්ඩලිනී ශක්තිය පිළිබඳව දැඩි විස්වාසයකින් කටයුතු කළ ඒලියන්ත වයිට් කිසිදු කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාගෙන නොතිබූ බවයි පසුගිය දිනවල වාර්තා විය.

කාබනික පොහොර ආනයනයෙන් රට අනතුරේ : පාංශු ක්ෂුද්‍ර ජීවවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ආනන්ද කුලසූරිය
අපි ඉදිරිපත් කරලා තිබුණ විද්‍යාත්මක දතත්, අපි කරලා තියන ප්‍රකාශ ගැන තැකීමක් නැහැ. අපි කියන ඒවා ගණන් ගන්නෙ නැතිව මේ ගනුදෙණු කරගෙන යනවා. මට ලොකු කණගාටුවක් තියනවා. මේ රටේ ජනතාව ලොකු අනතුරකට පත් වේවි.“ යැයි පාංශු ක්ෂුද්‍ර ජීවවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ආනන්ද කුලසූරිය අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කරන්නේ කාබණික පොහොර ආනයනය කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමිණි.
තමන් හරිත වගාවක් සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායේ පළමු රැස්වීමේදී කිසිම කාබනික පොහොරක් හෝ ද්‍රව්‍යවයක් රට තුළට නොගෙන්වන ලෙස කරුණු සහිතව ප්‍රකාශ කරද්දී එවැන්නක් සිදු නොවන බවට ආණ්ඩුව සහතික වූ නමුත් පොහොර ටොන් ගණනින් රට තුළට ගෙන්වීමට කටයුතු කිරීමේ ව්‍යසනය කණගාටුවෙන් බලා සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි…
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන පාංශු ක්ෂුද්‍ර ජීවවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ආනන්ද කුලසූරිය,
“හරි සැලසුමක් තියනවා නම් හරියාකරව රට තුළ කාබනික පොහොර නිශ්පාදනය කිරීමේ හැකියාව තියනවා. ඒ සතියෙන් දෙකෙන් නෙමෙයි. ලබන මහ කන්නය වනවිට බොහෝ දුරට 80%ක් වත් කාබනික පොහොර අවශ්‍යතාවය දේශීයව සපුරාගන්න පුලුවන්.
මා, හරිත ව්‍යාප්තියක් සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායෙ සාමාජිකයෙක් විදිහට පත් කරන් හිටියා. නමුත් එහි එක රැස්වීමකට පමණයි මා සහභාගී වුනේ. ඒ ආරම්භක රැස්වීමේ දී මම පැහැදිලිව කරුණු සහිතව කිව්වා මොනම හේතුවක් යටතේවත් කාබනික පොහොර හෝ කාබනික ද්‍රව්‍ය කිසිම විදේශ රටවලින් ලංකාවට ගෙන්වීම කොහෙත්ම සිදුසු නැහැ කියලා. එහෙම කරන්න එපා කියලා. මම රටක් නම් කළේ නැහැ.
මේක මම කිව්වෙ ක්ෂුද්‍ර ජීව විද්‍යාඥ මහාචාර්යවරයෙක් වශයෙන්. වසර පනහක පමණ පරීක්ෂණ පළපුරුද්දක් තියන විද්‍යාඥයෙක් වශයෙන්. එහෙම ගෙනාවොත් භයානක අවදානමක් රටට තියනවා කියන එක මා පැහැදිලි කළා.
මා ප්‍රසිද්ධියෙ එම අදහස් දැක්වූ අවස්ථාවේදී ඒ අය කිව්වා, නැහැ… කොහොමටත් කාබනික ද්‍රව්‍ය පිටරටින් ගෙන්වන්න අදහසක් නැහැ… කියලා. අන්තිමට වුනේ මොකක් ද?. මෙට්‍රික් ටොන් ගනනින් කාබනික පොහොර පිටරටන් ආනයනයක කරන්න හදනවා. මේ පොහොර සාම්පල් පරීක්ෂණවලදි අපි දැක්කා ශාඛවලට හානිකර ව්‍යාධි ජනක අර්වීනියා ඛාණ්ඩයේ බැක්ටීරියාවක් තියනවා. ඒක පැලෑටි විද්‍යාඥයො හොඳින්ම හඳුනන ව්‍යාධි ජනක බැක්ටීරියාවක්.
අපි ඉදිරිපත් කරලා තිබුණ විද්‍යාත්මක දතත්, අපි කරලා තියන ප්‍රකාශ ගැන තැකීමක් නැහැ. අපි කියන ඒවා ගණන් ගන්නෙ නැතිව මේ ගනුදෙණු කරගෙන යනවා. මට ලොකු කණගාටුවක් තියනවා. මේ රටේ ජනතාව ලොකු අනතුරකට පත් වේවි.“
(Lanka truth )

පක්ෂ 10 ට මහින්ද දුන්න සාකච්ඡාව හදිසියේ කල්දාලා !
කෙරවළපිටියේ යුගදනවි විදුලි බලාගාරයෙන් 40%ක් ඇතුළු යටිතල පහසුකම් ප්‍රමාණයක් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට ලබා දීම සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ විසින් ආණ්ඩුවේ හවුල් කාර පක්ෂ 10ක නායකයින් සඳහා අද (22) ලබාදී තිබූ සාකච්ඡාව හදිසියේ කල්දමා ඇති බව වාර්තා වෙයි.
ඒ අගමැති මහින්ද රාජපක්ෂට අද දින මෙම සාකච්ඡාවට සහභාගී වීම අපහසු බව දන්වමිනි.
ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන , අගමැති කාර්‍යාලය අදාළ පක්ෂ නායකයන් හට දැනුම්දි ඇත්තේ , හෙට (23) දිනයේ ඒ සාකච්ඡාව අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවය.
මෙම සාකච්ඡාවට පෙර ආණ්ඩුවේ පක්ෂ 10 නියෝජිතයන් කොමියුනිස්ට් පක්ෂ කාර්‍යාලයේ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ නිවසේ රැස්ව සාකච්ඡා කර ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබිණ.
අගමැති මහින්ද රාජපක්ෂ අද (22) සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස දැනුම්දී අමාත්‍ය වාසුදේව නානායක්කාර වෙත ඇමතුමක් දී ඇත්තේ ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ නිල නිවසේ පිරිස සාකච්ඡා කරමින් සිටින අවස්ථාවේ බවත් වාර්තා වෙයි.
මේ හමුව සමාජ මාධ්‍ය වෙබ් අඩවි වාර්තා කර තිබුණේ වාසුලා මෛත්‍රීගේ නිවසේ කඩු මැදීමක් ලෙසයි.
කෙරවළපිටියේ යුගදනවි විදුලි බලාගාරයෙන් 40%ක් ඇතුළු යටිතල පහසුකම් ප්‍රමාණයක් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට ලබා දීමේ ගිවිසුම ආණ්ඩුව පසුගිය 17 වනදා රාත්‍රී 12.6ට අත්සන් කළ බව මේ වන විට අනාවරණය වී ඇත.
පළමුව මේ සඳහා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවක පිටපත අමාත්‍යවරුන් වෙත ලබානොදී, කැබිනට් අනුමැතිය ලැබුණු බව සඳහන් කළ නමුත් ඊට ආණ්ඩුවේ අමාත්‍යවරුන් වූ වාසුදේව නානායක්කාර , විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල විරෝධය දක්වා ඇත.
අනතුරුව එය යළිත් ඉදිරිපත් කර සම්මත කිරීමට උත්සාහ කළත් එයත් ඉහත අමාත්‍යවරුන්ගේ විරෝධය හේතුවෙන් සංශෝධනය කිරීමට එකඟව ඇත.
ඊට අදාළ සාකච්ඡාවක් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආටිගල ඇතුළු පිරිසක් වාසු, විමල් , උදය සමග සිදුකර ඇති නමුත් එදින මධ්‍යම රාත්‍රියේ ගිවිසුම අත්සන් කර ඇත්තේ , මේ අමාත්‍යවරුන් ගේ අදහස් නොතකමිනි.

වෘත්තීය සමිතියක් පිහිටුවීම නිසා සේවකයින් 16ක් දොට්ට දාලා !
වෘත්තීය සමිතියක් පිහිටුවීම නිසා අසාධාරණ ලෙස සේවයෙන් පහ කළ සේවකයින් 16 දෙනෙකු නැවත සේවයේ පිහිටුවීම සඳහා හදිසි පියවර ගන්නා ලෙස වෘත්තීය සමිති 22ක් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙතින් ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇත.
වතුපිටිවල ඒටීජී ග්ලවුස් නිටිං ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විසින් මේ ආකාරයට වෘත්තීය සමිතියක් පිහිටුවීම සම්බන්ධයෙන් සේවකයින් සේවයෙන් පහකිරීම සිදුකර ඇත.
මේ සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව නියමිත පරිදි කටයුතු කර නොමැති බවත් අදාළ ලිපිය තුළ සඳහන් කර තිබේ.
නිදහස් වෙළෙඳ කලාපය නියෝජනය කරන වෘත්තීය සමිති එකතුව නිකුත් කළ ලිපිය පහත දැක්වෙයි.
2021 සැප්තැම්බර් 21 දින ගරු කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහෙවර පියස 151 කිරුල පාර කොළඹ 5.
ඇමතිතුමනි
වෘත්තීය සමිතියක් පිහිටුවීම නිසා අසාධාරණ ලෙස සේවයෙන් පහ කළ සේවකයින් 16 දෙනෙකු නැවත සේවයේ පිහිටුවීම සඳහා හදිසි පියවර ගන්නා ලෙස ඉල්ලීම !
එක්සත් කම්කරු සම්මේලනයට අනුබද්ධ වෘත්තීය සමිතියක් වන වාණිජ හා කාර්මික සේවක සංගමය විසින් 2021 අගෝස්තු 20 වන දින වතුපිටිවල ඒටීජී ග්ලවුස් නිටිං ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ වෘත්තීය සමිති ශාඛාවක් පිහිටවූ බව ඔබ දන්නා කාරණයකි. වාණිජ හා කාර්මික සේවක සංගමය, මෙම ශාඛා සංගමය පිහිටුවීම පිළිබඳව සමාගමට දැනුම් දුන් විගස සමාගම විසින් දින 4 ක කාලයක් තුළදී සංගමයේ සාමාජිකයින් 16 දෙනෙකු සේවයෙන් පහ කර ඇත.
2021 අගෝස්තු 24 වන දින පැවති ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමේ දී ඔබතුමා මේ කාරණය මතු කළ විට, නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සහ අන්තර් සමාගම් සේවක සංගමයේ නියෝජිතයින්, ඒටීජී සමාගම වසර ගණනාවක සිට ක්‍රියාත්මක කරන මේ හා සමාන වෘත්තීය සමිති බිඳ දැමීමේ හා අසාධාරණ කම්කරු පරිචයන් පිළිබඳව ඔබගේ අවධානයට යොමු කළහ. ඔබ විසින් කම්කරු දෙපාර්තමේන්තුව හරහා මෙම ගැටළුව විසඳීමට භාර ගන්නා ලදී. වතුපිටිවල ඒටීජී සමාගමේ මෙම වෘත්තීය සමිති බිඳ දැමීමේ සිදුවීම සිදුවී අදට මාසයක් ගත වී ඇත. එම සමාගමට එරෙහිව අසාධාරණ කම්කරු පරිචයන් පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව මේ දක්වා කටයුතු කර නැත.
වතුපිටිවල ඒටීජී සමාගම මෙබඳු බරපතල නීති විරෝධී කටයුත්තක් සිදු කළද කිසිවකුගේ බලපෑමකින් හෝ බාධාවකින් තොරව එහි නිෂ්පාදන කටයුතු අඛණ්ඩව කරගෙන යයි. එසේ වුවද වෘත්තීය සමිතියකට සම්බන්ධ වීම හේතුවෙන් සේවයෙන් පහ කළ සේවකයින් 16 දෙනා සහ ඔවුන්ගේ පවුල්වල අය රැකියාව නොමැති බැවින් අද කොවිඩ් වසංගතය මධ්‍යයේ ආහාර හා ඖෂධ ඇතුළු එදිනෙදා අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවලට අවශ්‍ය වියදම් පියවා ගැනීමට පොරබදමින් සිටිති.
කම්කරු දෙපාර්තමේන්තුව විසින් සොයා බැලීමට ලක්නොවූ වෘත්තීය සමිති බිඳ දැමීමේ පළමු අවස්ථාව මෙය නොවන බව ඔබ නිසැකවම දන්නා කරුණකි. කම්කරු නඩු ක්‍රියා මාර්‍ග දිග්ගැස්සෙන විට ඉවත් කරන ලද සේවකයින් සුළු විසඳුමක් සඳහා එකඟවන බව නිදහස් වෙළඳ කලාප කර්මාන්ත ශාලා හිමියන් හොඳින් දනිති. වසර ගණනාවක් තිස්සේ පැවති දිග්ගැස්සුනු නඩු විභාගවලින් පසුව සේවයෙන් පහ කරන ලද සේවකයින් තම ගැටළුව නිරාකරණය කර ගන්නා විට, නව සේවකයින් වෘත්තීය සමිතියට බැඳීමෙන් තම රැකියා අවදානමට ලක් කර ගැනීමට අකමැති වන නිසා වෘත්තීය සමිතිය කර්මාන්තශාලාව තුළ තවදුරටත් ක්‍රියාත්මක නොවේ. අසාධාරණ කම්කරු පරිචයන්ට එරෙහිව නීති පැනවීම සඳහා 1999 දී කාර්මික ආරවුල් පනත සංශෝධනය කළද නීතිය ක්‍රියාත්මක කිරීම මන්දගාමී හා අකාර්යක්ෂමය. එම නිසා පොත්වල නීති තිබුනත්, තමන් වෘත්තීය සමිති පිහිටුවීමට උත්සාහ කරන විට සේවකයින්ට රැකවරණයක් නොමැති හෙයින් වෘත්තීය සමිති බිඳ දැමීමට හාම්පුතුන්ට හැකි වී තිබේ. පසුගිය අවුරුදු 21 තුළ සිදු වූ අසාධාරණ කම්කරු පරිචයන් සම්බන්ධ වැරදි ගැන මහේස්ත්‍රාත් අධිකරණවල ගොනු කර ඇති නඩු සංඛ්‍යාවෙන් එය සනාථ වේ.
එම නිසා වෘත්තීය සමිති වශයෙන් අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ මෙම කරුණට මැදිහත් වී ඉවත් කළ සේවකයින් නැවත සේවයේ පිහිටුවන බවට සහතික වන ලෙසයි. ශ්‍රී ලංකා රජයේ අවසරය සහ කැමැත්ත නොමැතිව කිසිදු සමාගමකට නිදහස් වෙළඳ කලාප තුළ අඛණ්ඩව කටයුතු කළ නොහැක. අද ලංකාවේ කම්කරු නීති වෘත්තීය සමිති බිඳ දැමීම වැළැක්වීමට තරම් ශක්තිමත් නොවිය හැකි නමුත් අමාත්‍ය කාර්යාලය නීති සංශෝධනය කිරීම් සම්බන්ධව සක්‍රීයව කටයුතු කරමින් සිටින බැවින් සේවකයින්ගේ අයිතිවාසිකම් සහ රැකියාවල ආරක්‍ෂාව සහතික කළ හැකි බව අප සලකමු.
රජය අපනයන අංශයේ සේවකයින් අත්‍යවශ්‍ය සේවකයින් ලෙස කටයුතු කර ඔවුන් කොවිඩ් -19 අර්බුදයේදී ආර්ථිකය සඳහා ඔවුන්ගේ ශ්‍රම දායකත්වය ඇගයීමට ලක් කළේය. මේ තිරසාර වැඩ පරිසරයක් ඇති කිරීම සඳහා අත්‍යවශ්‍ය වන වෘත්තීය අයිතිවාසිකම් සුරැකීම සහ වෘත්තීය සමිති ආරක්ෂා කිරීමට කටයුතු කිරීම, කම්කරුවන්ගේ අඛණ්ඩ සහයෝගීතාව දිගටම ලබා ගැනීමට මග පෙන්වීමක් විය හැකි යැයි අපි විශ්වාස කරමු. මේ සඳහා රජයේ මැදිහත් වීමක් නොමැති විට, ජාත්‍යන්තර ආයතන මත විශ්වාසය තැබීමට කම්කරුවන්ට හා සේවක සංවිධාන වලට සිදු වේ. එම නිසා, කම්කරුවන්ගේ අයිතිවාසිකම් විශේෂයෙන්ම සංවිධානය කිරීමේ අයිතිය ආරක්ෂා කිරීමට රජයට හැකියාව පවතින බවට කම්කරුවන්ගේ හා වෘත්තීය සමිතිවල විශ්වාසය ශක්තිමත් කිරීම ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා මෙම කම්කරු නීති උල්ලංඝනය කිරීමේ ගැටලුවට මැදිහත් වී පියවර ගන්නා ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
පහත සඳහන් අත්සන් කර ඇති වෘත්තීය සමිති රජයෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් මැදිහත් වී වතුපිටිවල ඒටීජී සමාගම එහි සේවකයින් 16 දෙනෙකු සම්බන්ධයෙන් ගත් නීති විරෝධී ක්‍රියා මාර්‍ගය ගැන ප්‍රශ්න කරන ලෙසයි. නුදුරු අනාගතයේ දී වෘත්තීය සමිති සමඟ සම්බන්ධ වීමේ අයිතිය සේවකයින්ට භුක්ති විඳීමට ලැබෙනවාද නැද්ද යන්න ඔබ ගන්නා කඩිනම් හා කාර්‍යක්‍ෂම ක්‍රියාමාර්ග මඟින් තීරණය වනු ඇත.
පහත සඳහන් වෘත්තීය සමිති වෙනුවෙන් අත්සන් කළේ
ඩී ඩබ්ලිව් සුබසිංහ ප්‍රධාන ලේකම් ලංකා වෘත්තීය සමිති සම්මේලනය
-
චන්න දිසානායක – සභාපති, ලංකා බැංකු සේවක සංගමය
-
ඇන්ටන් මාකස් - සම ලේකම්, නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය
-
රොබට් ෆ්‍රැන්සිස් - ප්‍රධාන ලේකම්, ලංකා වතු සේවා සංගමය
-
සිල්වෙස්ටර් ජයකොඩි - ප්‍රධාන ලේකම්, ලංකා වෙළඳ කර්මාන්ත සහ පොදු සේවක සංගමය
-
ලෙස්ලි දේවේන්ද්‍ර - ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය
-
පාලිත අතුකෝරල - සභාපති, ශ්‍රී ලංකා වෙළඳ නාවිකයන්ගේ සංගමය
-
වසන්ත සමරසිංහ - සභාපති, අන්තර් සමාගම් සේවක සංගමය
-
සී ටී ඇටමොරතැන්න - ප්‍රධාන ලේකම්, තැපැල් සහ විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමය
-
ලලිතා දෙද්දූවකුමාර - ප්‍රධාන සංවිධායක, ඇඟළුම් සහ රෙදිපිළි සේවක සංගමය
-
ජෝසප් ස්ටාලින් - ප්‍රධාන ලේකම්, ලංකා ගුරු සංගමය
-
උදේනි දිසානායක - ප්‍රධාන ලේකම්, ජාතික වෘත්තීය සමිති පෙරමුණ
-
සුනිල් ද සිල්වා - උප සභාපති, ජාතික සේවක සංගමය
-
ජගත් ගුරුසිංහ - සම ලේකම්, තොරතුරු සහ විදුලි සංදේශ සියළු සේවක සංගමය
-
හරිප්‍රිය හෙට්ටිආරච්චි - සභාපති, ටෙලිකොම් ඉංජිනේරුමය ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය
-
ලාල් බංගමුව - සභාපති, ස්වාධීන වරාය සේවක සංගමය
-
ඩී ඩබ්ලිව් යූ ආර් දිවාකර - සභාපති, රක්ෂණ සේවක සංගමය
-
ටී එම් ආර් රසඩීන් - ප්‍රධාන ලේකම්, ලංකා කම්කරු සම්මේලනය
-
ධර්මසිරි ලංකාපේලි - ප්‍රධාන ලේකම්, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය
-
කල්ප මධුරංග - ප්‍රධාන ලේකම්, ප්‍රොටෙක්ට් සංගමය
-
චමිලා තුෂාරි - ලේකම්, ඩාබිඳු සාමුහික සංගමය
-
අශිලා දංදෙනිය - ප්‍රධාන ලේකම්, ස්ටෑන්ඩ්අප් සේවක සංගමය
-
ලීනස් ජයතිලක - සභාපති, එක්සත් කම්කරු සම්මේලනය
(සංරක්ෂිත ඡායාරූපයකි)

චෝදනා ඔප්පු කරොත් දේශපාලනයෙන් සමුගන්නවා - බන්දුල
තමාගේ අමාත්‍යාංශයේ යටතේ ඇති ආයතනයකින් ශත පනහක් හොරකම් කර , වංචාකර හෝ කොමිස් මුදලක් ලබාගෙන ඇතැයි කවුරුන් හෝ ඔප්පු කළහොත් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් නොව මුළු දේශපාලනයෙන්ම සදහටම සමු ගන්නා බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ අද (22) පාර්ලිමේන්තුවේදී පැවැවුණු පාරිභෝගික කටයුතු අධිකාරිය(සංශෝධන)පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
“සෙක්කුව යට ඉඳගෙන චොක්ලට් කෑවත් ඒක දකින කෙනා හිතන්නේ පුන්නක්කු කනවා කියලා” යැයි මෙහිදී පැවසූ ඇමැතිවරයා පොලිස්පතිවරයා සුදුළූනු වංචාවේ නියම හොරුන් අල්ලා ගත යුතු බවත් පැවසීය.
පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ජයවර්ධනගේ කතාවක් ඊයේ ජාතික පුවත්පතක පළ වී තිබුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාගේ කාලයේදී අමාත්‍යාංශ බෙදුවේ අලුත් ක්‍රමයකට. ඇමැතිවරුන්ගේ බලතල වගකීම් වෙන වෙනම ගැසට් කළා. අයවැයෙන් මුදල් වෙන් කරල රාජ්‍ය අමාත්‍යාංශයටත් ලේකම්වරයෙකු පත් කරලා තියෙනවා. ඒක තමුන්නාන්සේලාට පුරුදු එකක් නෙවෙයි.මිල නියම කිරීම පිළිබඳ බලතල තියෙන්නේ මගේ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමාට.
ඒ වගේම සමුපකාර දෙපාර්තමේන්තුව පිළිබඳ සියළුම බලතල තියෙන්නෙත් එතුමාට.ඒ සඳහා එතුමාට වෙනම මුදල් ප්‍රමාණයක් වෙන් කෙරෙනවා. කැබිනට් පත්‍රිකාවක් අවශ්‍ය වෙනකොට මා ලවා ඒක කරගන්නවා. ජාතික ප්‍රතිපත්තිය ගැන වග කියන්නේ මම. අනෙක් අමාත්‍යාංශයවලත් ඒ වගෙයි. ඇමැතිවරයායි රාජ්‍ය ඇමැතිවරයායි වෙනස් විදිහට සිතුවොත් එතැනදී ගැටුමක් නිර්මාණය වෙනවා. මෙතන ගැටලුවක් නැහැ. මොකද උසස් අධ්‍යාපනය හදාරන අවධියේ දී මම එතුමාට මේ විෂය ගැන කියලා දීලා තියෙනවා. එතුමා ඒ අනුව ගුරුවරයකු ලෙස සේවය කරලා තියෙනවා. මම ගුරුවරයා ලෙසත් එතුමා ගෝලය ලෙසත් අප පොදු ගැටළුවලට මුහුණ දෙනවා විනා අපි අතර කිසිම ගැටුමක් නැහැ.
පාරිභෝගික කටයුතු අධිකාරියේ කිසිම රැස්වීමකට මම සහභාගි වෙලා නෑ. කිසිම දවසක ගියේ නැහැ. පාරිභෝගික ආරක්ෂණ පනත ගැන සාකච්ඡා කරන්න එන්න කියලා එතුමා මට ආරාධනා කළා. අන්න එදා ඒකට විතරක් ගියා. මේ ප්‍රකාශය කරන ගුණවර්ධන මහත්මයා සසර වසනා තුරු මම මේ ඇස් දෙකට දැකලා නැහැ. මේ සංසාර ගමනේදී. මම කිසිම උපදෙසක් දෙන්න හෝ එතුමාට කතා කරලා නැහැ. ඒ පුද්ගලයා රාජ්‍ය නිලධාරියකු නොවෙයි.
එවිට පුද්ගලයෝ දේශපාලනික වශයෙන් විවිධ තනතුරුවලට පත් වෙනවා. එතුමා මේ පත්වීම ලබාගෙන තියෙන්නෙ චමල් ඇමැතිතුමාගෙන්. සතොස සුදුළූණු ගැන විමර්ශනයක් කරන්න මම ඉඩ දුන්නේ නැතැයි එතුමා කියනවා. පුදුමය නම් ඒක නෙමෙයි. වගකිවයුතු ජාතික පුවත්පතක මේ ගැන කතුවැකියකුත් ලියවෙනවා. මේවා අපි සියලු දෙනාටම හොඳ පාඩම්. සතොස සුදුලූනු විමර්ශන ආරම්භ වූවාට පසු තනතුරුවලින් යන්න කියලා ගුණවර්ධනට තර්ජන එනවා කියලා ඒ කතුවැකියේ තියෙනවා. මෙපමණ විශාල වංචාවක් බලවතකුගේ අනුදැනුමක් නොමැතිව සිදු වන්නේ නැත කියලත් ඒකෙ සඳහන් වෙනවා. එතකොට මෙතැන බලවතකුත් ඉඳලා තියෙනවා.තර්ජනයකුත් වෙලා තියෙනවා. හෘද සාක්ෂියට එකඟව මම මේ සභාවට එක දෙයක් කියන්න කැමතියි.
මේ අමාත්‍යාංශය යටතේ මම හෝ මගේ පවුලේ දරුවකු හෝ සත පහක හෝ වංචාවක්, දූෂණයක්, අක්‍රමිකතාවක් කරල තියෙනවා කොමිස් මුදලක් අරගෙන තියෙනවා කියලා හෙට ඔප්පු කළහොත් අනිද්දට මම පාර්ලිමේන්තුවෙන් අයින් වෙන්නෙ නැහැ. මම සදහටම මේ දේශපාලනයට ආයුබෝවන් කියනවා.

පොත් අලෙවි හල් වෙනුවෙන් පොලිස්පති මැදිහත් වෙයි !
කොවිඩ් 19 සංචරණ සීමා සමයේ පොත් අලෙවිහල් විවෘත කර තැබීමට අවසර දෙන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙතින් ඉල්ලා ඇත.
මේ බව සඳහන් කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.
සංචරණ සීමා සමයේ රජය පනවා ඇති සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් සහ මහජන පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ පොත් අලෙවිහල් විවෘත කර තැබීමට අවසර දෙන මෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්ත මහතා විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ලේකම් සමන්ත ඉන්දීවර සමරසිංහ මහතා පොලිස්පතිවරයාගෙන් කළ ලිඛිත ඉල්ලීමකට අනුව පොලිස්පතිවරයා විසින් මේ නිර්දේශය කර තිබේ.
වසර එක හමාරක් රට වරින් වර වසා තැබීමෙන් පොත්හල් ද වසා තැබීමට සිදුවූ නිසා පොත් ප්‍රකාශන කර්මාන්තයට ඛේදනීය තත්ත්වයකට මුහුණපෑමට සිදුව ඇති බව පෙන්වාදෙන පොත් ප්‍රකාශකයින්ගේ සංගමය දිගින් දිගටම පොත්හල් වසා තැබුව ද සේවක වැටුප්, දීමනා මෙන්ම ගොඩනැගිලි කුලී ගෙවන බව සඳහන් කරයි. පොත්හල් දිගටම වසා තැබීම නිසා පාසැල් දරුවන්ගේ අධ්‍යාපනයට ද අහිතකර බලපෑම් එල්ලවී ඇති බව පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පවසයි.
දරුවන්ට අවශ්‍ය පොත්පත් නැතිව මාර්ගගත අධ්‍යාපනයේ වුවද නියැලීමට නොහැකිවී ඇති බව ද එම ලිපියෙන් පැහැදිලි කර ඇත.
මෙම කරුණු සැලකිල්ලට ගනිමින් පාසැල් දරු දැරියන්ගේ දැනුම වර්ධනයට අවශ්‍ය පොත්පත් මිලදී ගැනීමට පොත්හල් විවෘත කර තැබීම සුදුසු බව නිර්දේශ කරන මෙන් පොලිස්පතිවරයා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබේ.

ජනාධිපතිගේ ආරාධනය දෙමළ ඩයස්පෝරාව සාදරයෙන් පිළිගනියි !
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙමළ ඩයස්පෝරාව සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය වීම නිසැකවම ප්‍රගතිශීලී පියවරක් බව ප්‍රමුඛ පෙළේ දෙමළ ඩයස්පෝරාවේ කණ්ඩායමක් වන ගෝලීය දෙමළ සංසදය (ජීටීඑෆ්) කියා සිටියේය.
මෙම පියවර සාදරයෙන් පිළිගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි ගෝලීය දෙමළ සංසදය ජනාධිපතිවරයා මෙතෙක් දැරූ සිය අදහස හදිසියේ වෙනස් කළේ ඇයි දැයි ප්‍රශ්න කිරීමටද පියවර ගෙන ඇත.
එහි සඳහන් වන්නේ ජනාධිපතිවරයා හමුවීමට ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් (ටීඑන්ඒ) විසින් ඉල්ලීම් කරන විට එය ප්‍රමාද කොට සහ සුළු හේතු සහිතව කල් දමා ඇති පසුබිමෙක නිව්යෝර්ක්හි සිට ජනාධිපතිවරයා දෙමළ ඩයස්පෝරාව වන අප සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය වී ඇත යන්නයි.
ගෝලීය දෙමළ සංසදය (ජීටීඑෆ්) වැනි සංවිධාන සහ මා වැනි අය ත්‍රස්තවාදීන් ලෙස තහනම් කිරීමට ඔහුගේ රජය ගැසට් කළේ මාස 6 කට පෙර, එනම් 2021 මාර්තු මාසයේදී බවත්, හදිසියේම මෙම වෙනස සිදවූයේ කෙසේද යන්න ගැටලුවක් බවත් ගෝලීය දෙමළ සංසදය පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාට කෙසේ හෝ ඔහුගේ ක්‍රියාවන් සාධාරණීකරණය කිරීමට සිදුව තිබීම සහ ඔහුගේ ඡන්ද කොට්ඨාශය දෙසට හැරීමට සිදුව තිබීම මීට ඇති බාධාවන් ලෙස පෙනෙන්නට ඇති බවයි.
කෙසේ වෙතත් ලංකාව විසින් අප තහනම් කළද ගෝලීය දෙමළ සංසදය ලංකාවේ ජනතාව සමග කටයුතු කිරීම නැවැත්වූයේ නැත.
මෑතකදී වුවද, කොවිඩ් -19 වසංගතයට එරෙහි සටනේදී රටේ උතුරු නැගෙනහිර පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාව තුළම ආධාර කිරීම සඳහා අපි ඩොලර් මිලියන ගණනක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ ලබා දුන්නෙමු.
මෙම තහනම හරහා වාර්ෂිකව ඩොලර් මිලියන 300ක පමණ විදේශ විනිමය ආදායමක් ශ්‍රී ලංකාවට අහිමි විය හැකි බවට අපි මෑතකදී ගණනය කිරීමක් කළෙමු.
මෙය බොහෝ සංවිධාන සහ පුද්ගලයින් විසින් කරන ලද වෘත්තීයමය සහායට අමතරව ය.
ගෝලීය දෙමළ සංසදය ලන්ඩන්හිදී (2015/2018) දෙවරක් සහ බර්ලිනයේදී (2016) එක් වරක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. අපේ ජනතාවගේ දුක්ගැනවිල්ල, ඇත්ත වශයෙන්ම ලංකාවේ සියලුම ජනතාවගේ දුක්ගැනවිලිවලට විසඳුම් ලබා දිය හැකි නම් ඕනෑම අයෙකු සමඟ සාකච්ඡා කිරීමට අප සූදානම්ය.
ජනාධිපතිවරයාට අප සමඟ කථා කිරීමට අවශ්‍ය නම් දේශීය යාන්ත්‍රණ සම්බන්ධයෙන් ගත් කල, සංක්‍රාන්ති යුක්තිය තුළ අධිකරණ හා අධිකරණ නොවන ක්‍රියාවලීන් සහ යාන්ත්‍රණ තිබේ.
සිදු විය යුතු දේ හරියටම විස්තර කෙරෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 30/1 යෝජනාවෙහිදී, අධිකරණ යාන්ත්‍රණයන් සඳහා කලින් සඳහන් කළ දේ ගැන සාකච්ඡා කිරීමට අපි ඉතා සතුටු වන්නෙමු.
ජනාධිපතිවරයා කැමති නම්, ඔහුට මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (OHCHR) හා අදාළ එක්සත් ජාතීන්ගේ ආයතන සහ විශේෂ බලතල හිමි (විශේෂ වාර්තාකරුවන්) සම්බන්ධ කර ගත හැකි අතර දැනටමත් සම්මත කරගත් යෝජනාවල විස්තර කර ඇති පරිදි මේවා වැඩිදියුණු කළහොත් ඔවුන් ඊට කැමති වනු ඇත. , “

විමල් තවම වැල මැස්සට ඇවිත් නැද්ද?
" ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය,මේ මව් පොලොව බේරාගැනීමට ඇති අන්තිම අවස්ථාවටයි අද අපී පැමිණිලා සිටින්නේ " " අපි කවදාවත් වැල යන අතට මැස්ස ගහන්නේ නෑ.අපිට ඕනි තැන මැස්ස ගහලා වැල මැස්සට ගෙන්න ගන්නවා "
ඒ විමල් 2019 ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා කියපු රසවත් හුරතල් කතා දෙකක්.ඊට ඉස්සෙල්ලා විමල් - බැසිල් හවුල එක්සත් ජනතා නිදහස් සන්ධානය කුඩුපට්ටම් කලා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩලා පොදුජන පෙරමුණ හැදුවා.පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කෙරෙව්වා.දැන් ඊට අවුරුදු දෙකකට පස්සේ ඒ පොදුජන පෙරමුණු ආණ්ඩුව ඇතුළේම විමල්ලා තවත් සන්ධානයක් හදලා.විමල්ට සන්ධාන එකක් නෙවෙයි දහයක් හදන්න අයිතිය තියෙනවා.ඒ අයිතියට රටේ රාළ කවදාවත් අභියෝග කරන්නේ නෑ.හැබැයි පවතින හා පැවති දේශපාලන යථාර්ථය ප්‍රතික්ෂේප කරලා කාටවත් මොකුත් කරන්න බෑ.ඒක නිසා ආණ්ඩුව ඇතුළේ විමල්ලා හදලා තියෙන ඔය සන්ධානය සුජාත එකක්ද?එහෙමත් නැත්නම් ඕකත් කඩේ යන ගමන් මහින්ද හම්බ වෙලා හැදුවා වගේ තවත් අවජාතක සන්ධානයක්ද?
ඒ ප්‍රශ්නයට උත්තර හොයාගන්න නම් විමල් මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනි.දැන් තවම තියෙන්නේ විමල් කියපු මව්බිමේ අවසන් අවස්ථාවද?අවසන් අවස්ථාවට පස්සේ තව අවස්ථාවක් තියනවාද?එහෙනම් ඒ මොකද්ද?තව අවස්ථාවක් තියනවා නම් විමල් අවසන් අවස්ථාව කියලා එදා කිව්වේ බොරුවක්ද?අද මව්බිම බේරාගන්න තියෙන්නේ කාගෙන්ද?විමල්ලා අවසන් අවස්ථාව කියලා රට බාරදුන්න රාජපක්ෂලාගෙන් නෙවෙයිද?වැල තවම මැස්සට ඇවිත් නැද්ද?විමල් තවමත් මැස්ස යටද?
විමල් එදා කියපු කතාව ඇත්ත නං විමල් ආයෙත් සන්ධාන අටව අටව ඉන්න එකේ තේරුමක් නෑ.එහෙම නං කෙලින්ම විමල්ට තියෙන්නේ ගෝඨාභය හම්බවෙලා මව්බිම බේරාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ගය ගන්න. මොකද අවසන් අවස්ථාව මඟහැර ගන්න එපා.හැබැයි විමල් පිලිගන්නවා නම් ඒ කතාව බොරු කියලා.විමල්ලා කිසිම වැඩපිලිවෙලක් නැතිව වහල්ලු වගේ රාජපක්ෂලව දිනෙව්වා කියලා.විමල් පිලිගන්නවා නම් දැන හෝ නොදැන විමල්ටත් වැරදුණා කියලා.එහෙම නං රටේ රාළට ඔය උත්සාහය ගැන සළකා බලන්න පුළුවන්.අනික තමයි විමල් හරියට ඔප්පු කරලා පෙන්නන්න ඕනි ඔය සන්ධානය හදන්නේ රට රාජපක්ෂලාගෙන් බේරගන්නද?නැත්නම් විමල්ලාට රාජපක්ෂලාගෙන් බේරෙන්නද කියලා?මොකද විමල්ලාගේ බේරුම වෙනුවෙන් ඉස්සර වගේ තවත් මාධ්‍ය සංදර්ශනවලට දැන් ඉඩ නෑ.ඒවට ඉඩ දෙන්නත් බෑ.
රටේ රාළට මතකයි 20 වන සංශෝධනයේදී විමල් ඇතුළු ඔය නඩේ හැසිරුණ විදිහ.ඒ වගේ ෂෝ නං ආය පෙන්නන්න එන්න එපා.මේ පාපකර්මයට ප්‍රධාන හේතුව විමල්ලා වෘෂභයෝ රැලක් වගේ බන්දේසියක තියලා ගෝඨාභයට 20 දීම නෙවෙයිද?එදා 20 ට විරුද්ධ මතුවුණු ජනතා විරෝධය විමල්ලා මංකොල්ල කෑවා.විමල්,වාසු,ගම්මන්පිල ඇතුළු ඔය කණ්ඩායම ඊට වගකියන්න ඕනි. අර මැදගොඩ අබේතිස්ස හාමුදුරුවොත් අද වනගත වෙලා හිටියට ඒ පව්කාර වැඩේට සම්බන්ධ වුණා.රටේ රාළට උන් වහන්සේට කියන්න තියෙන්නේ ඒක ආනන්තරිය පාප කර්මයක් කියලා.එදා විමල්ලා,ගම්මන්පිලලා ඇවිත් කිව්වේ අපි ජනාධිපතිතුමා හම්බ උනා.එතුමා හරියට සංවේදී වුණා.අපිත් හරියට සංවේදී වුණා.මේ අවස්ථාවේ 20 සම්මත කරලා දෙන්න කියලා අපෙන් ඉල්ලීමක් කළා.2021 දී ගේන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපි කියන ඔක්කොම දෙන්නං.දිත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට වගේම රටේ තීරණාත්මක තැන්වලට එන්න බැරි විදිහට ඔක්කොම කරන්නම් කිව්වා කියලා.
රටේ රාළ අහන්නේ විමල් කෝ ඒ ව්‍යවස්ථාව. අඩුම ගානේ ඒකේ ආකෘතියක්වත් ඔයාලා දැක්කද?අඩුම ගානේ ඔයාලා ඒ ගැන වචනයක් කථා කළාද?රට විකුණගෙන කන්න අණ පනත් ගේන්න පුළුවන්.ඔයාලටත් ඒවට අත උස්සන්න පුළුවන්.හැබැයි ඔය කියන ව්‍යවස්ථාව ගේන්න බෑ.ඒ ගැන කටක් අරින්න බෑ.ආයෙත් ඒ තත්වයම දැන් උදාවෙලා.විමල් ආයෙත් දහදෙනාගේ කණ්ඩායමත් පිරිවරාගෙන ජනාධිපති හම්බ වෙන්න යන්න ලෑස්ති වෙනවා.හැබැයි විමල් මතක තියාගන්න දැන් එතන සංවේදී වෙන්න ගෝඨාභය කෙනෙක් නෑ.දැන් එතන ඉන්නේ ඔයාලා අන්ධයෝ වගේ දුන්න 20 වෙනි සංශෝධනය කියන දෙපැත්ත කැපෙන කඩුව අතට අරන් ඉන්න වියරු මිනිහෙක්.ඒ ගෝඨාභයගේ පෞද්ගලික වැරැද්දම නෙවෙයි. ඔයාලා ගොන්තඩි වගේ දුන්න 20 වෙනි සංශෝධනයෙන් හදපු මිනිහා තමයි ඒ ඉන්නේ.ඔයාලට තියෙන්නේ උත්තර දෙකයි. එක්කෝ සුපුරුදු විදිහට යටත් වෙන්න. නැත්නම් සටන් කරන්න.
රටේ රාළට විමල් ගැන තියෙන අද්දැකීමට අනුව නං වෙන්න පුළුවන් එකම දේ විමල් සටන පාවාදී යටත්වීම විතරයි.කමක් නෑ.රටේ රාළ මෙහෙම හිතන්නම්.විමල්ටත් සාධාරණයක් වෙන්නත් එක්ක.ඊළඟට මිනිස්සුන්ට වෙනස් වෙන්නත් අයිතිය තියනවානේ.මොකද ඔය කවුරුත් ගැන ගල් ගැහුණු පූර්ව නිගමනවල රටේ රාළ නෑ.හැබැයි එතනදී ආයෙත් මෙහෙම ප්‍රශ්නයක් එනවා.ඒ සටන කරන්නත් විමල් අතේ සදාචාර බලයක් තියනවද කියන ප්‍රශ්නය.ඒක නම් විමල්ට නෑ.රාජපක්ෂලා ඒ ෆයිල් ටික තියාගෙන ඉන්නේ විමල්ට ගහන්න.ෆයිල් තිබ්බට බය වෙන්න ඕනි නෑ.තමන් වැරදි නැත්නම්.ඔය පහුගිය දවස්වල විමලුත් කිය කියා ගියේ රටේ රාළ කියන්නේ බැසිල්ගේ ගෝලයෙක් කියලා. විමල් ඒවයින් නං රටේ රාළ හොල්ලන්න බෑ. රටේ රාළ විජේවීරගේ ගෝලයෙක්.විජේවීරගේ නියම ගෝලයෝ දේශපාලන කපටින්ට රැවටෙන්නේ නෑ.හැබැයි විමල්ට ඒ සහතිකය දෙන්න බෑ.ඒක විමලුයි,රටේ රාළයි හොදට දන්නවා.ඒක නිසා සර්ගේ කඩුව ඉස්සරහා විමල්ලාට සංවේදීවීම නෙවෙයි යටත්වීමටයි මේ පාර සිද්ධ වෙන්නේ.
විමල් ඔය ලොකු කතා ඕනි නෑ.පුළුවන් නම් ගෝඨාභයගෙන් අර අනුර කුමාර කියපු කතාවවත් අහගෙන එන්න.රෑ 12 ට ගිවිසුම් අත්සන් කරන්න ඔයාලා බකමූනොද කියලා. රටේ රාළත් ඇහුවා කියන්න ඒ ආපු ඇමරිකන් සුද්දා බකමූණෙක්ද කියලා.විමල් එළියට ඇවිත් නැගෙනහිර ජැටිය නොදී බටහිර ජැටිය ඉන්දියාවට නෙවෙයි බටහිර ඉන්දියාවට දුන්නත් අපට කමක් නෑ කිව්වා වගේ මුග්ධ කතාවක් කියන්න බැරි නෑ.ඇයි බටහිර ජැටිය තියෙන්නේ ලංකාවේ නෙවෙයිද?නැත්තං මාවරමණ්ඩියේද?නැත්තං තූත්තු කුඩියේද?මේ වෙනකම් ආණ්ඩුවේ දුෂ්ඨ අරමුණු සාධාරණීකරය කරපු විමල් මෙහෙම කියන්නත් බැරි නෑ.යුගදනව් නැවත පවරා ගන්න කරන්න පුළුවන් හැමදේම කරන්න එතුමා අපට පොරොන්දු වුණා.අලුතෙන් හදන LNG බලාගාරය හා මන්නාරම් ද්‍රෝණියේ තෙල් සම්පත කිසිදු විදේශීය සමාගමකට දෙන්නේ නෑ කියලත් එතුමා අපට සහතික වුණා.රටේ සම්පත් රැකගැනීමට අවශ්‍ය ව්‍යවස්ථාමය බලය ඇතුලත් පනතක් එතුමා ගේන අලුත් ව්‍යවස්ථාවට ඇතුල් කරනවා කියලත් කිව්වා කියලා.
බොහෝ දුරට වෙන්න පුළුවන් ඕක.හැබැයි ඒක වෙනවා නම් විමල්ලා මොනවා කිව්වත් රටේ රාළට ඇත්ත රටට කියන්න වෙනවා.ඔය ඇමති කට්ටේ තියෙන සැප විදින්න.විමල් ගතකරන අසීමාන්තික සුඛෝපභෝගී ජීවිත රැකගන්න,තවදුරටත් හම්බ කරන්න එතන නැවතුනා කියලා.හරි එක එදාට බලාගමු.
එහෙනම් ගිහින් එන්නම්. බුදු සරණයි.ජයවේවා.
මිට රටේ රාළ.
(ප්‍රියංජිත් විතාරණ ගේ ෆේස්බුක් ගිනුමෙනි )

ආණ්ඩුවේ මාධ්‍යවල ජාතිවාදී මඩ ගැන : පාඨලී ඩලස්ට ලියයි !
රාජ්‍ය මාධ්‍ය , මාධ්‍ය සදාචාරය කෙළෙසීම සම්බන්ධයෙන් බව කරුණු දක්වමින් , පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් , ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වෙත ලිපියක් යොමුකර ඇත.
"ඔබේ මෙහෙයවීම යටතේ පවතින ජනමාධ්‍ය ආයතන ඉතා සාහසික ලෙස චරිතඝාතනය කරමින්, සත්‍ය කරුණු විකෘති කරමින් අලුත් ආගමික ගැටුමක් ඇවිලවීමට මං පාදමින් කරගෙන යන්නාවූ ලැජ්ජා සහගත මාධ්‍ය භාවිතය ඔබේ අවධානයට ලක් නොවී තිබීම අපගේ පුදුමයටත් කණගාටුවටත් හේතු වී ඇත." යනුවෙන් එහි සඳහන් කර ඇත.
ඊයේ (21) යොමුකර ඇති එම ලිපියේ,
"තම දේශපාලන ප්‍රතිවාදියාට පවා 'මඩෙන් නැතිව ගොඩෙන් එන්න' යනුවෙන් අභියෝග කළ පුද්ගලයකු ඇමතිවරයකු වූ අමාත්‍යංශයකින් මෙහෙයවන ජනමාධ්‍ය ආයතන මෙබඳු අශීලාචාර මට්ටමක ඇද වැටී තිබියදී ඒ පිළිබඳව කිසිවක් නොකර නොදුටුවා සේ බලා සිටින ඔබගේ හෘද සාක්ෂියට නැවතත් කන්දෙන ලෙස ඔබගේ පැරණි මිතරකු ලෙස මම ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි." යනුවෙන්ද සඳහන් අතර සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.
2021 - 09 - 21
163, ඇසිදිසි මැදුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05.
මා හිතවත් අමාත්‍යතුමනි,
රාජ්‍ය මාධ්‍ය විසින් මාධ්‍ය සදාචාරය කෙලෙසීම
ආණ්ඩුවේ ජනමාධ්‍ය අමාත්‍ය ධුරය මෑතකදී භාරගත් ඔබ රාජ්‍ය මාධ්‍ය ඇතුලු ජනමාධ්‍ය ක්ෂෙත්‍රයේ යහපත් වෙනස්කම් හඳුන්වාදීමට පුරෝගාමී වනු ඇතැයි රටේ ජනතාව අතර විශ්වාසයක් ගොඩ නැගී තිබිණි. ඔබේ පත්වීම මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වැඩි දෙනෙක් ඉතා සුහදව පිළිගත් ආකාරයද අපි දුටුවෙමු. අප වෙනස් දේශපාලන මත දැරුවද ඔබ එම අමාත්‍ය ධුරයට පත්වීම පිළිබඳ සුපහන් හැඟීමක් අප අතරද මතු වී තිබිණි. එයට හේතුවී තිබුනේ ජනමාධ්‍ය වෘත්තිකයකු ලෙසත් එම වෘත්තියේ අචාර ධර්ම වෙනුවෙන් දිගින් දිගටමපෙනී සිටීමත්, වාර්ගික හා ආගමික ගැටුම්වලට තුඩුදෙන දේශපාලන මෙහෙයුම්වලට එරෙහිව අඛණ්ඩව පෙනී සිටිීමත් යන කරුණු නිසා ඔබ කෙරෙහි කිසියම් කීර්තියක් ගොඩනැගී තිබීම නිසාය.
එහෙත් ඔබ මාධය පිළිබද දක්වන එම යහපත් ආකල්පවලට සපුරා පටහැනි වන ලෙස ඔබේ මෙහෙයවීම යටතේ පවතින ජනමාධ්‍ය ආයතන ඉතා සාහසික ලෙස චරිතඝාතනය කරමින්, සත්‍ය කරුණු විකෘති කරමින් අලුත් ආගමික ගැටුමක් ඇවිලවීමට මං පාදමින් කරගෙන යන්නාවූ ලැජ්ජා සහගත මාධ්‍ය භාවිතය ඔබේ අවධානයට ලක් නොවී තිබීම අපගේ පුදුමයටත් කණගාටුවටත් හේතු වී ඇත.
පසුගිය සැප්තැම්බර් 17, 18, දිනවල ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය යන රාජ්‍ය මාධ්‍ය ආයතන දෙක මා ඉලක්ක කරගනිමින් සිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුළ ඉතා ඉහල ප්‍රමුඛතාවකින් යුතුව මුදාහල විසකුරු මඩ ප්‍රහාරය ආසන්නම උදාහරණයක් ලෙස පෙන්වා දීමට සිදුවේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ දැන් මතුවී තිබෙන අර්බුදය ප්‍රයෝජනයට ගනිමින් මා කතෝලික පල්ලිය සමග එක්ව කුමන්ත්‍රණය කරමින් ආගමික ගැටුමක් නිර්මාණය කරමන් සිටිනා බව කියවෙන පදනම් විරහිත අසත්‍ය ප්‍රබන්ධයක් මාධ්‍ය ආචාර ධර්ම කිසිදු විලි ලැජ්ජාවකින් තොරව බිඳ දමමින් මුදාහැරීමට එම මාධ්‍ය ආයතන කටයුතු කර තිබිණි. පාස්කු ප්‍රහාරය පිළිබඳ අප දැරු මතය අප ඉතා ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය ඉදිරියේත් විවිධ විමර්ශන කමිටු ඉදිරියේත් ආගමික නායකයන් ඉදිරියේත් පැවසූ බව ඔබද දන්නා කරුණකි. රටේ සෙසු අයට පැවසීමට එක් මතයක් සහ කතෝලික පියතුමන්ලාට පැවසීමට තව මතයක් අපට නැත. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට ඔබ සම්බන්ධ වී සිටින රජයට අවංක වුවමනාවක් තිබේ නම් කළ යුත්තේ අප පෙන්වා දුන් කරුණු විමර්ශන කටයුතු සඳහා යොදාගැනීම මිස අප ඉලක්ක කර ගෙන මඩ ප්‍රහාර මුදා මැරීම නොවේ. එසේම ඉහත කී මාධ්‍ය ප්‍රබන්ධය ඇතුලෙහි කතෝලික පල්ලියට සම්බන්ධ පියතුමන්ලා එකිනෙකා කෙරෙහි බිඳවීමත්, කතෝලික ජනයා සහ බෞද්ධ ජනයා අතර විරෝධතා හැගීම් මතුකරීමේ දුෂ්ට වෑයමකුත් බැලූ බැල්මට පෙනෙන්නට තිබිණි.
තවද මේ පදනම් විරහිත මාධ්‍ය ප්‍රබන්ධය ප්‍රතික්ෂේප කරමින් අප පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවට සාධාරණ ඉඩක් ලබා නොදෙමින් පුරවැසියකු සතු පිළිතුරු දීමේ අයිතියටද එම මාධ්‍ය ආයතන නිගරු කොට තිබිණි.
අප මේ කරුණු මතු කරන්නේ අපට පුද්ගලිකව සිදුවූ හානියක් පිරිමසා ගැනීමේ අභිප්‍රායකින් නොව මෙබඳු මාධ්‍ය සැහැසිකම් නිසා සිදුවන දිගුකාලීන සමාජ හානිය පිළිබඳ අප සංවේදී වන බැවිනි. ලෝකයේ බොහෝ ලේ ගලා ගිය වාර්ගික ආගමික ගැටුම් ව්‍යාප්ත වීමට හා නිර්මාණය වීමට ජනමාධ්‍ය ක්‍රියාකර තිබෙන ආකාරය පිළිබඳ ඔබට මනා අවබෝධයක් තිබෙන බව අපි දනිමු. මෙබඳු සාහසික මාධ්‍ය මෙහෙයුම් නිසා අනාගතයේදී වාර්ගික ආගමික ගැටුමක් නිර්මාණය වුවහොත් එහි වගකීම මේ මාධ්‍ය අයතන මෙහෙයවන ඔබ පිටද පැටවෙන බව කණගාටුවෙන්වුව සඳහන් කරමි. තම දේශපාලන ප්‍රතිවාදියාට පවා 'මඩෙන් නැතිව ගොඩෙන් එන්න' යනුවෙන් අභියෝග කළ පුද්ගලයකු ඇමතිවරයකු වූ අමාත්‍යංශයකින් මෙහෙයවන ජනමාධ්‍ය ආයතන මෙබඳු අශීලාචාර මට්ටමක ඇද වැටී තිබියදී ඒ පිළිබඳව කිසිවක් නොකර නොදුටුවා සේ බලා සිටින ඔබගේ හෘද සාක්ෂියට නැවතත් කන්දෙන ලෙස ඔබගේ පැරණි මිතරකු ලෙස මම ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
මෙයට,
පාඨලී චම්පික රණවක (පා.ම.)
Page 423 of 462