පුවත්

අන්තිම මොහොතේ ඩලාට ගැස්සිලා රනිල් උඩින් දිනපු හැටි !
දැන් ජනාධිපති කවුද කියලා රටම දන්නවා. ප්‍රකාශිත ජන්ද 223 යි. ප්‍රතික්ෂේපිත ජන්ද 4 යි. වලංගු ජන්ද සංඛ්‍යාව 219 යි. අනුප්‍රාප්තික ජනාධිපති ජන්දය ජයග්‍රහණය කරන රනිල් වික්‍රමසිංහ ජන්ද 134ක් ලබා ගන්නවා. ඩලස් අලහප්පෙරුම ජන්ද 82ක් ලබා ගන්නවා. අනුර දිසානායක ජන්ද 3යි.
පේන විදිහට සජිත්ගේ කට්ටියත් රනිල්ට ජන්දය දීලා වගේ කියලත් සෝෂල් මීඩියා වල කතා යනවා. ඒ කතා කොහොම වෙතත් , මේ කියන්න යන්නේ වෙන්න ජනාධිපති ගේම ඇතුලේ කවුරුත් නොදැකපු, නොඅහපු ටික.
තීරණාත්මක ජූලි 20 !
ගෝඨාභයගේ පළායාම එක්ක අගමැති රනිල් වැඩබලන ජනාධිපති වෙනවා. ජූලි 20 තමයි ඉතුරු ධූර කාලය වෙනුවෙන් ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවෙන් තෝරාගන්න දිනය හැටියට නම් වෙන්නේ. කවුරුත් බලාගෙන හිටියේ ආණ්ඩුව පාර්ශවයෙන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂයෙන් සජබ නායක සජිත් ප්‍රේමදාස හරි සරත් ෆොන්සේකා හරි. ජාතික ජනබලවේගයෙන් අනුර ඉදිරිපත් වෙයි කියලා.
ඒත් ,මතකනේ වුන දේ. එක පාරටම ඩලස් අලහප්පෙරුමත් ජනාධිපති අපේක්ෂක විදිහට ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ ජනාධිපති සටන ටිකක් සංකීර්ණ වෙන්න ගන්නවා. අපේක්ෂකයන් වැඩි වෙනකොට කට්ටිය කිව්වේ, රනිල්ට වාසිය යයි කියලා. හැබැයි කට්ටියට හීන් දාඩිය දාන්න ගත්තේ විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙක් කියලා යෝජනාව ආපු එකත් එක්ක.
ඩඩලස් ද ? සජිත් ද ?
මොකද ඒ වෙනකොටත් ඩලස් සහ එයාගේ ටීම් එක ආණ්ඩුවෙන් එළියට ඇවිත් විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් හැටියට හිටියේ. ඔතන ඉඳලා තමයි ජනාධිපති සටන උණුසුම් වගේම කාගේ කාගේත් ඇඟ හිරිවැටෙන තැනට පත්වෙන්නේ. වැඩේ පටන් ගන්නේ සජිත් සහ ඩලස් දෙන්නගෙන් එක්කෙනෙක් ජනාධිපති අපේක්ෂක වෙන්න ආපු යෝජනාව එක්ක. දෙපැත්තම සාකච්ඡා මේසෙට එනවා. හැබැයි ඒ එන්නේ ජනාධිපති අපේක්ෂක වෙන්න අනිත් කෙනාගේ සහය ගන්න මිසක්, අනිත් කෙනාට සහය දෙන්න එහෙම නෙවෙයි.
නාලක ගොඩහේවා ගේ දත්ත !
වියත්මගේ කැඳවුම්කරු නාලක ගොඩහේවා තමයි සංඛ්‍යා දත්ත එක්ක ඩලස් පාර්ශවයෙන් සාකච්ඡා පටන් ගන්නේ. නාලකගේ ගණන් හැදිල්ල අනුව එතකොටත් මන්ත්‍රීවරුන් 60 ක් 70ක් ගොඩදාන මට්ටමක් ඩලස්ට තියෙනවා. මෙතැනදී ඩලස් පාර්ශවයේ අදහස වුණේ රනිල් පරද්දන්න නම් පුළුවන් තරම් පොහොට්ටු ජන්ද කඩන්න ඕන. ඒකට පොහොට්ටුවේ හිටපු අපේක්ෂකයෙක් විදිහට ඩලස් තමයි සුදුසු කියලා. ඒ හැර සජිත් ගැන එයාලට පෞද්ගලික අවුලක් නෑ කියලත් ඩලස් පාර්ශ්වය කියලා.
හැබැයි සජබ හිටියේ වෙනත් මතයක. සජිත් ප්‍රමුඛ සජබ හිටියේ විපක්ෂයේ අපේක්ෂකයා සජිත් විතරමයි කියලා. සජිත්ලත් කිහිප වතාවක් පක්ෂය ඇතුලේ සජිත්ගේ නම යෝජනා ස්ථිර කළා. පෙරේදා වෙනකොටත් ඒකයි සජිත් - ඩලස් සාකච්ඡා තීරණයක් නැතුව තිබුනේ.
අරගලයේ පිරිසක් සජිත් හමුවෙලා !
කොහොම නමුත් ඔය අතරේ අරගලයේ පිරිසක් පොහොට්ටුව සහ රනිල් හැර අනිත් දේශපාලන පක්ෂ හම්බෙන්න ගන්නවා. ඒ හමුවේදී සජිත්ට ලොකු බලපෑමක් ආවලු මේ අර්බුදය විසඳන්න ඉදිරිපත් වෙන්න කියලා. එතැනදී සජිත් පොරොන්දු වුනාලු අරගලය වෙනුවෙන් තමන්ගේ පැත්තෙන් ඕන කැපකිරීමක් කරන්න සූදානම් කියලා.
අවසන් සාකච්ඡාව !
හැබැයි එහෙම කියලත් පෙරේදා රෑ 10 ට විතර සජිත් - ඩලස් අතර සාකච්ඡා සාර්ථක වෙලා තිබුණේ නෑ . දේශපාලන ආරංචිමාර්ග කියන විදිහට පෙරේදා මධ්‍යම රාත්‍රියේත් තීරණාත්මක සාකච්ඡාවක් පැවත්විලා. ඒ සාකච්ඡාවට සජිත්ගේ පැත්ත ලීඩ් කරලා තියෙන්නේ, සජිත්ගේ අතිජාත මිතුරා ලක්ෂ්මන් ෆොන්සේකා. ඒ වගේම ඉරාන් වික්‍රමරත්න ඇතුළු කිහිපදෙනෙක්. ඩලස් පාර්ශවයෙන් නාලක ගොඩහේවා ඇතුළු කිහිපදෙනෙක්.
එතැනදී නාලක ගොඩහේවා ගණන් හදලා පෙන්නුවාලු ඩලස් ඇවිත් ජන්ද 130කට වඩා ගන්න හැටි. ඊට පස්සේ තමයි අන්තිම තීන්දුව ගත්තා කියන්නේ, සජිත් ඉල්ලා අස්වෙලා ඩලස්ට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න. හැබැයි ඒක එළියට දුන්නේ ඊයේ දවල්.
ශ්‍රීලනිප තීන්දුව වෙනස් වුණ හැටි !
ඔය වෙනකොට අරගලකරුවන් පිරිසක් ශ්‍රී ලංකා එකත් හම්බෙලා තිබුනේ. ශ්‍රීලනිප සභාපති මෛත්‍රීටත් බලපෑම් කරලලු රනිල් යවන්න උදව් කරන්න කියලා. ඒ වෙනකොට මෛත්‍රී පක්ෂය දෙකඩ වෙන එක නවත්ත ගන්න කිසිම අපේක්ෂකයෙකුට ජන්දය නොදෙන්න තීරණය කරලා තිබුනේ. හැබැයි බදුල්ලේ ශ්‍රීලනිප මන්ත්‍රී චාමර සම්පත් නම් ප්‍රසිද්ධියේ කිව්වා , තමන්ගේ මනාපය රනිල්ට කියලා. ඒ අස්සේ රනිලුත් පාස්කු කතාවක් කියලා මෛත්‍රීට හීනියට ඇන්නා වගේ වැඩක් කළා. එතකොට ශ්‍රීලනිපය මොකද කරේ ජන්දය අක්‍රීය කරනවා වෙනුවට ඊයේ දවල් වෙනකොට ඩලස්ට සහය දෙන තීන්දුවක් ගත්තා.
මේ සේරම අස්සේ පොදිජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට පොඩි තගක් දාගෙන වගේ, රනිල් පන්නමු, රනිල්ට දීලා ගමට එන්න එපා. රනිල් දිනවල එන අයව ගමේ කට්ටිය බලාගන්න වගේ පොස්ට් ඇතුලත් තද කැම්පේන් එකක් ගියා. ඒ වගේම සමහරු ඩලස්ට අපේක්ෂකත්වය දුන්නට සජිත්ට ස්තුතිය පුද කරා. තවත් සමහරු ඩලස් - සජිත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් අනුමත කළා.
රනිල් තුරුම්පු අදියි !
ආණ්ඩුව පැත්තට හීන් දාඩිය දාන ගානට ඩලස් -සජිත් සන්ධානයට හැඩයක් හැදිලා තිබුණේ. පොහොට්ටු මන්ත්‍රීවරුන් අතරත් කැම්පේන් එකක් ගියා , ජාමේ බේරගන්න ඩලස්ට දෙන්න කියලා.
හැබැයි ආණ්ඩුවත් නිකං හිටියේ නෑ. සජිත් පාර්ලිමේන්තුවේ ඩලස් ගේ නම යෝජනා කරනකොට, ඒ පාර්ශවයේ පලවෙනි පිපිරවිල්ල සිද්ධවුණා. සජිත් - ඩලස් සන්ධානයට විරෝධය පළකරලා කළුතර පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පැස්කුවෙල් ඩලස් පාර්ශවයෙන් අයින් වෙලා රනිල්ට සහය දෙන බව කිව්වා. දේශපාලන ආරංචිමාර්ග කියන විදිහට ඒක ඩලස්ලට ලොකු හානියක් වුනා. එන්න හිටපු අය පස්කුවෙල්ගේ තීරණය එක්ක නෑවිත් ඉන්න තීරණය කළා කියලයි කියන්නේ.
ඩලස්ට අතේ තිබුන එක කටේ දාගන්න බැරි වුණේ ඇයි ?
ඒ වගේම තමයි රාජපක්ෂ පාලනය යටතේ හිටපු ජාතිවාදී කියලා හංවඩු ගැහුන පාර්ශව ටික. ඒ කියන්නේ, විමල්, ගම්මන්පිල, රතන හිමි, චන්න ජයසුමන වගේ කට්ටිය ඊයේ ප්‍රෙස් එකක් තියලා ඩලස්ට සහය පළකලා. මේ වෙනකල් සද්ද නැතුව හිටපු නඩේ එළියට ආවා විතරයි වටෙන්ම වැදෙන්න ගත්තා. දේශපාලන ආරංචිමාර්ග කියන විදිහට මේ පිරිස එලියට ආපු එක ගැන මුස්ලීම් සහ දෙමළ ජනකොටස් අතර ලොකු කැම්පේන් එකක් ගිහින් තියනවා. ඔය සේරම ඉතින් ඩලස් ගේ එකවුන්ට් එකට ගියේ.
ඒ වගේම තමයි සජබ මන්ත්‍රී අරවින්ද කුමාර් , එයත් එළියට ඇවිත් ප්‍රසිද්ධියේ කිව්වා තමන් සහය දෙන්නේ රනිල්ට කියලා. ඒ එක්කම කවුරුත් බැලුවේ,ලංකා කම්කරු කොන්ග්‍රසය දිහා. ඒ වෙනකොට ජීවන් තොන්ඩමාන් ඩලස්ට සහය දෙන්න තීරණය කරලා හිටියේ. ඒ වැඩේ හදලා තියෙන්නේ වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම. හැබැයි පස්සේ කොන්ග්‍රසයේ සභාපති සෙන්දිල් තොන්ඩමාන් ඇතුළු පිරිසක් දැඩිව බලපෑම් කරාලු , ඩලස්ට නෙවෙයි, අපේ ජන්දය දෙන්න ඕන රනිල්ට කියලා. ආරංචිමාර්ග කියන විදිහට සුපුරුදු විදිහට ඉන්දියාව මේ තීන්දුවට බලපෑවලු.
පොහොට්ටු එජාප ප්‍රබලයන් රනිල් වෙනුවෙන් සටනට !
ඔය විදිහට රනිල්ගේ පැත්ත උඩට එනකොට ඩලස් - සජිත් පාර්ශ්වය තවත් කැම්පේන් එකක් පටන් ගත්තා. ඒ තමයි පොහොට්ටුව ඇතුලේ බැසිල් විරෝධයක් මතු කරන්න. දේශපාලන ආරංචිමාර්ග කියන විදිහට , ඒ වෙනකොටත් බැසිල් හිටියේ දිස්ත්‍රික්ක මට්ටමින් තමන්ගේ මන්ත්‍රීවරුන් රනිල්ගේ සහයට සම්බන්ධීකරණය කරමින්ලු. ඒ වැඩේට සහයට ප්‍රසන්න රණතුංග නිමල් ලන්සා මන්ත්‍රීවරුන් වගේම එජාප සභාපති වජිර අබේවර්ධනත් මැදිහත් වෙලා හිටියලු. ඒ වගේම තානාපති කාර්යාල දැනුවත් කිරීමට, සුළු පක්ෂ නියෝජිතයන්ට කතා කරන්න සමගි ජනබලවේගය පැත්තේ ජන්ද රනිල්ට අරගෙන දෙන්න එජාප ජේෂ්ඨයෙකුත් මැදිහත් වෙලා හිටියලු. සජබ කට්ටියට කතා කරන වැඩේට හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාරත් බැහැලාම හිටියා කියලයි කියන්නේ. ඒ විතරක් නෙවෙයි, හිටපු මන්ත්‍රී මලික් සමරවික්‍රමත් සහයට ඇවිත් හිටියලු.
ඩලස්ගේ පැත්තෙන් මේ වැඩේට බැහැලා තියෙන්නේ, චරිත හේරත්, චන්න ජයසුමන , නාලක ගොඩහේවා , එරාන් වික්‍රමරත්න , හර්ෂ ද සිල්වා සහ රන්ජිත් මද්දුම බණ්ඩාර කියලයි කියන්නේ. ඒ එක්කම සජිත්ගේ යාළුවො කිහිප දෙනෙකුත් වැඩේට එකතු වෙලා හිටියලු. හැබැයි ඉතින් ඕගනයිසින් නම් නිල් කියලයි කියන්නේ. ටෝක් වල තරමට වැඩේ ගියෙ නෑ කියලත් ඒ පැත්තේ හාහොවක් යන්න අරගෙන.
අර්බුදය දේශසීමා පනියි !
ඔය අතරේ කතා ගියා අරගලයට සහ විමල්ලා ඇතුළු පිරිස් වලට චීනයෙන් සල්ලි ලැබුනා කියලා. ඒ වගේම ආණ්ඩුව පැත්තට ඇමරිකාව සහ ඉන්දියාව සහයදීලා කියලත් කතා ගියා. මේවයේ ඇත්ත නැත්ත අපි දන්නේ නෑ. හැබැයි එක දෙයක් පැහැදිළියි. මේ රටේ අර්බුදය මේ වෙනකොට ලංකාවේ දේශසීමා ඇතුලේ කළමනාකරණය කරගන්න පුළුවන් තත්ත්වයක් නෑ වගේ. දැන් වැඩේට ජාත්‍යන්තරය ගැට ගැහිලා.
මං පොර හැසිරීම ඇති !
මේ අනුප්‍රාප්ත ජනාධිපති තෝරන ජන්ද විමසීම ඇතුලේ අපි දැකපු දෙයක් තමයි ගොඩක් අය රට ජනතාව වෙනුවට පර්සනල් අජෙන්ඩා වල හිටියේ. සේරටම වඩා මමත් පොරක් කියලා පෙන්නන්න මහින්සි වුනා මිස අර්බුදය විසඳන්න මැදිහත්වීම් දැක්කේ හරිම අඩුවෙන්. මිනිස්සුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිත්ත වෙලා ඉන්නේ. ඒ නිසා දැන්වත් මන්පොර ගාය, මාන්නය පැත්තකින් තියලා වැඩ කරන්න.
සුබ පැතුම් රනිල් : දැන් කියපුවා කරලා පෙන්නන්න !
දැන් ඉතින් ජන්දය ඉවරයි. අනුප්‍රාප්ත ජනාධිපති ලෙස තේරී පත්වුණු වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට අපි සුබ පතනවා. ඒ වගේම මතක් කරනවා, ජනතාව පළමු වරට පාරට බැහැලා අරගල කරනවා. ඉතිහාසයේ පෙර නොවූ විරූ අර්බුදයක අපි හිරවෙලා. සහනයක් පේනතෙක් මානයක නෑ. අන්න ඒ අර්බුදයෙන් ගලවන වැඩේ අංක එක කරගන්න කියලා. නැත්නම් මේ රට වැටෙන තැන ගැන හිතන්නවත් බෑ. .
මීටරෙන් ඉන්න !

රනිල් රාජපක්ෂද...? ඩලස් රාජපක්ෂද.....?
පළමුවෙන්ම කියන්න ඕනෙ රනිල් රාජපක්ෂ ආරක්ෂා කරන්නේ රාජපක්ෂ කියන පුද්ගලයන්ව. නමුත් ඩලස් රාජපක්ෂ ආරක්ෂා කරන්නේ 'රාජපක්ෂ' කියන මනෝභාවය සහ මතවාදය. දෙන්නගෙ එකම වෙනස ඕක,
මේ දෙකෙන් රනිල් රාජපක්ෂ ආවොත් ඉතිරි අවුරුදු දෙකහමාරට එන්නෙ කිසිම ජනමතයක් නැති, හමුදාව ලොකුවට රෙස්පෙක්ට් කරන්නෙ නැති, වෘත්තිය නිසා රෙපෙක්ට් කළත් කිසිම හමුදා ලව් එකක් නැති, පක්ෂයක් කියලා හරියටම එකකුත් නැති, ඒ නිසාම පක්ෂ වෙනුවෙන් දේවල් එකතුකරන්නත් නැති, ඔය කිව්වට තලේබාන් බෞද්ධයෝ කැමතිත් නැති, කාදිනනලුත් තරහ, දැන්නං ගේකුත් නැති කුජීතම ජනාධිපති කෙනෙක්. එතකොට විධායක සීන් අල්ලගෙන කොච්චර දැඟලුවත් ජනතාව බලවත් රනිල් රාජපක්ෂට වඩා. නමුත් රාජපක්ෂ පවුල ආරක්ෂිතයි.
ඩලස් රාජපක්ෂ ගත්තොත්, රනිල් රාජපක්ෂට වඩා ඩලස් රාජපක්ෂ ඉඳලා තියෙන්නේ රාජපක්ෂ ඇසුරේ. මෙතනදී 'රාජපක්ෂ' කියන්නේ මතවාදයක් මිසක් පුද්ගලයෙක් නෙවෙයි. එතනදී ඩලස් රාජපක්ෂට ප්‍රැක්ටිස් කරන්න වෙන්නෙම ආපහු රාජපක්ෂ ට්‍රික්ස්. ඒකියන්නේ දිනපු ගමම මල් වට්ටියකරං පන්සක් ගිහිල්ලා, ඔසරියක් ඇඳපු වයිෆ් සහ ළමයි පිටිපස්සේ තියාගෙන පිරිත් හඬ මැද්දේ කොලේ අස්සන් කරලා, ඕන්නං පෑන වහල පෙට්ටියටත් දාල තමයි එතුමා පටන්ගන්නෙ මැච් එක. අනික ඩලස් රාජපක්ෂට පක්ෂයක් තියෙනවා ඒ නිසාම අනාගතයක් පේනවා..., සජිත් නිසා SF සෙට් උණොත් හමුදා ලව් එකත් එනවා, තලේබාන් බෞද්ධ කණ්ඩායම කැමතිවෙනවා ෂුවර් එකටම (සරම අඳින, මාතර හාදයනෙ), කාදිනල් කොහොමත් යාළුයි, ගෙවල් දොරවල් තියෙන පුත්තු දෙන්නෙක් එහෙමත් ඉන්න ආපහු MINI රාජපක්ෂ complex එකක්. ඒ කියන්නේ මතවාදය ආරක්ෂිතයි. නමුත් පුද්ගලිකව රාජපක්ෂලා අනාරක්ෂිතයි ටිකක්.....
ඔය යු#ලිවර් වගේ මල්ටි නැසනල් කොම්පැණි වලින් දානවා තමංගෙම product දෙකක් එකම කැටගරි එකට. රින් සහ සර්ප් එස්කෙල් හිතපං. එකම කැටගරි එකේ, එකම කොම්පැණියෙන්, එකම ලොරියෙන් ඇවිත් එකම කඩේ විකිණෙන වෙන brands දෙකක්. එකක් ටිකක් පොෂ්, අනික ටිකක් ගොඩේ. Flower road එකයි මාතර දික්වැල්ලයි වගේ. හැබැයි කෝක විකිණුනත් සල්ලි යන්නෙ එකම කොම්පැණියට.... කොහොමද ටිකිරි මොළ.....
හරි හරි මම දන්නවා ඩලස් හොඳ මනුස්සයෙක්. හිටපු මාධ්‍යවේදියෙක්, ආතල් පොරක්..... මම මේ කියන්නේ කයියක් ගහලා මළගෙදරක නිදිමැරිල්ලක් වගේ එකක් ගැන නෙවෙයිනෙ....... කෙලවිලාම ගිය රටක ගිලෙන මොහොතේ එල්ලෙන්න තියෙන අන්තිම පිදුරුගස් කීපය ගැනනෙ.
මම නාමල් පුතානං මගේ සපෝට් එක ඩලස් රාජපක්ෂට. හේතුව පුතා දැනගන්න ඕනෙ පුතාගෙ අනාගතේ තියෙන්නේ වන්දිභට්ටයෝ ජාතික රජෙක් ඉල්ලන 'රාජපක්ෂ' මතවාදේ ආරක්ෂා වීමෙන් මිසක් තාත්තලා, මාමලා, බාප්පලා වගේ පුද්ගලයෝ ආරක්ෂා වීමෙන් නෙවෙයි කියලා. ඒකනිසා පවුලට කෙලවෙන්න ඇරලා පුතා ගන්න ඕං තමන්ගේ අනාගතයේ පැත්ත.
මම අනුරයියනං මම ගන්නෙ රනිල් රාජපක්ෂගෙ පැත්ත. හේතුව පුද්ගලයො රැකුණට අනාගතයේ ඒ වගේ අය බිහිවෙන මතවාදය ඉස්සරහට ගෙනියන්න රනිල්ට බෑ. ජේ.ආර් මාම හදලා දීපු අපූරු පක්ෂයකටම අමන්නපු රනිල්ට අනුන්ගේ පක්ස කජ්ජක්ද කියලා පේන නිසා. එතකොට අවුරුදු දෙකහමාර ඉවරවෙනකොට රනිලත් ඉවරයි, රාජපක්ෂලගෙත් සෑහෙන කෑල්ලක් ඉවරයි.
මම සජිත්නං මම ගන්නේ හොඳ වහලෙ කපපු ජිප් එකකුයි, බයිනකියුලර් එකකුයි. අලියො ළඟටම බලන්න.... ඩලස්ගේ සහය තමන්ට අරං තමන් ඉදිරිපත් වෙන්නෙ නැතුව දූවල ගිහින් ඩලස්ලා පිටිප්ස්සේ හැංඟෙනවට වඩා අලිබැලිල්ල හොඳයි.
මම එකපාරකුත් කිව්ව නේද....? ජනාධිපතිවරණයක් කියන්නෙම බහුවරණ ප්‍රශ්ණයක්........දුන්න උත්තර තුනෙන් එකක් යටින් ඉරක් අඳින්න තමයි කොහොමහරි වෙන්නෙ......
ප.ලි
මට රාජපක්ෂ මහත්තයල 'රාවණා' promote කරන්නේ ඇයි කියලා හරියටම තේරුණේ අද...... මූණු අත් හෙණ ගොඩක් තිබ්බට ඒව පාලනේ කරනනේ එක ඇඟයි, එක හදවතයි.....
පොඩි සහසක් කියන්නද...? ඔළු දොළහක් තිබ්බට ඒකෙ මොළ දොළහක් නෑ මට හිතෙන්නෙ. තියෙන්නේ එක මොළයයි main ඔළුවේ, අනික් ඔළු ඔක්කොම Empty cans.....
ප.ප.ලි
මේ රටේ මල් පුප්පනවට වඩා ලේසියෙන් සහරාකාන්තාරේ මැද රෝස හිටවලා තනියෙන් හුජ්ජ කරලා මල් පිප්පුවෑකි..... අම්මපල්......?????
Laka Darmarathna ගේ ෆේස්බුක් ගිනුමෙනි

චෝදනා වැලක් සමග හිටපු ජනාධිපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක් !
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අල්ලස් වරදක් කර ඇති බව දක්වමින් ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් සිදුකර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වෙත මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විවිධායක සභිකයකු ද වන මොන්ටේගු සරච්චන්ද්‍ර යන අය විසිනි.
මෙකී පැමිණිල්ලට අදාළ සිදුවීම වන්නේ කුප්‍රකට රෝයල් පාක් ඝාතනයට වරදකරුව මරණ දඬුවම නියමව සිටි තැනැත්තා හට ජනාධිපති සමාව ලබාදීම ආශ්‍රිත ක්‍රියාවලිය සහ ඒ සම්බන්ධයෙන් පසුගිය දිනක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විද්‍යුත් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකදී දැක්වූ කරුණු ප්‍රමාණයක් ය.
අදාළ පැමිණිල්ලේ මෙසේ සඳහන් වෙයි.
මෙම සිරකරු නිදහස් කිරීමට අදාළව වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් දැඩි ලෙස උනන්දු වූ බව පැවසු ඔහු එකී වැඩසටහන ඉදිරිපත් කරන්නා විසින් ඔහුට යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වැඩිදුරටත් පැවසුවේ එසේ උනන්දු වූ අයවළුන් විසින් එකී අල්ලස් මුදල ලබාගත්තා විය හැකි බවය.
මෙම තොරතුරු පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට තමන් දැනුම් දුන් බවත් ඔවුන්ද ඒ පිළිබඳව සොයා බලා ඇති බවත් ඔහු පැවසීය.එහිදී අදාළ සිරකරුගේ පවුලේ අය විසින් ඒ වෙනුවෙන් කාට හෝ විශාල මුදලක් ලබා දී ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිදරවු කරගෙන ඇති බව ද ඔහු තව දුරටත් පැවසීය.
කිසිවකු විසින් අල්ලස් ලබාගැනීමක් හෝ අල්ලස් දීමක් පිළිබඳව දැනගත් විට එය ඊට අදාළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කළයුතු බව වසර 25 කටත් වැඩි කාලයක් රටේ වයවස්ථාදායකය නියෝජනය කළ අයෙකු ලෙසත් වසර 05ක් රටේ විධායක ජනාධිපතිවරයා ලෙසත් කටයුතු කළ ඔහු නොදැන සිටියේ යැයි නොසිතමී. එවැනි අල්ලසක් පිළිබඳ තහවුරු වූ තොරතුරක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට හෝ පොලිසියට දැනුම් දීමට වඩා නීතයානුකූල වන්නේ එකී තොරතුරු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත දැනුම් දීම බවත් අල්ලස් සම්බන්ධ තමන් දන්නා තොරතුරු වසං කිරීම බරපතල වරදක් බවත් ඔහු අනිවාර්යයෙන්ම දැන සිටින්නට ඇත.
මේ ඇතුළු කරුණු 15ක් යටතේ පෙළගස්වා යොමුකර ඇති අදාළ පැමිණිල්ල පහත දැක්වෙයි ..

මාස දෙකට රනිල් ගහපු ගේම !
අග්‍රාමාත්‍ය ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ පත්වීමත් සමග පාලනය කරගැනීමට නොහැකිව සෑම ක්ශේත්‍රයක්ම තුළ පෙන්නුම් කළ බිඳ වැටීම මාස දෙකක කාලයක් තුළ පාලනය කරගන්නට සමත්වූ බව දේශපාලන - ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
එහිදී විශේෂයෙන් සමාජ ආර්ථික ස්ථාවරභාවය තහවුරු කිරීම පිණිස කෙටි කාලීන වශයෙන් ගනුලැබූ සඳහන් ප්‍රධාන පියවරයන් දෙකක් සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානය යොමුව ඇත.
ඊට අදාළ පැහැදිලි කිරීම මෙසේය .
රටේ සමාජ ආර්ථික ස්ථාවර භාවයට මෙන්ම ජාතික ආරක්ෂාවට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිව තිබූ මහජනතාවගේ ආහාර සුරක්ෂිත භාවය පිළිබඳව කටයුතු කිරීම.
2021/22 මහකන්නය 50% කින් පමණ අසාර්ථක වී ඇති අතර, දැනට ඇස්තමේන්තු කර ඇති ආකාරයට 2022 යල කන්නයේ වී නිෂ්පාදනය 50% කට වඩා නොවැඩි තත්ත්වය පෙන්නුම් කරයි. මෙම අසාර්ථක භාවයට මූලික හේතුව වූයේ ගොවියන්ට රසායනික පොහොර ලබාගැනීමට අවස්ථාවක් නොමැති වීමය. ඒ අනුව, 2022 වර්ෂය සඳහා රටේ වී නිෂ්පාදනය ප්‍රමාණවත් වනුයේ වසරේ මාස හතක පරිභෝජනය සඳහා පමණි. (එබැවින් සහල් ආනයනය කිරීමට ද වැඩපිළිවෙළක් දැනට ක්‍රියාත්මක ය) මේ පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කොට 2022 යල කන්නයේ ප්‍රමාද වී ගොවිතැන් කටයුතු කරන ගොවීන් සඳහා ද පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලදී.
ඒ යටතේ
ඉන්දියාවෙන් මෙට්ට්‍රික් ටොන් 65000ක් ලබා ගැනීමට දැනටමත් කටයුතු කොට ඇත.
ලෝක බැංකුව වෙතින් ඇමරිකන් ඩොලර් මිලියන 110ක් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක් සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ජාත්‍යන්තර අරමුදල වෙතින් ( international fund for ඇති agricultural development IFAD) ඩොලර් මිලියන 10ක් වශයෙන් 2022/23 මහ කන්නය සඳහා පොහොර ආනයනයට අවශ්‍ය මුදල් ප්‍රමාණයක් තහවුරු කර ගැනීමට දැනටමත් කටයුතු කර ඇත.
ඉතිරි මහකන්නය සාර්ථක කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන සම්පූර්ණ පොහොර ප්‍රමාණය තහවුරු කරගැනීම පිණිස විවිධ
මට්ටමේ සාකච්ඡා තවදුරටත් සිදු කරමින් පවතී. ඉතිරි මහකන්නය කෙසේ හෝ මුළුමනින්ම සාර්ථක කර ගත යුතුව ඇත. මහ කන්නයේ යම් අසාර්ථක භාවයක් සිදුවුවහොත් දැනටමත් විදේශ විනිමය අර්බුදයක් තිබෙන තත්වය තුළ ශ්‍රී ලංකාවේ සමස්ථ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳව විශාල අභියෝගයකට මුහුණදීමට සිදුවේ. විවිධ ජාත්‍යන්තර වාර්තාවල සඳහන් වන ආකාරයට දැනටමත් ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් දෛනිකව ආහාර ලබා ගැනීමේ විශාල ගැටලුවකට මුහුණපා ඇත. සමස්ත පොහොර ප්‍රමාණය ලබා ගැනීම ඔස්සේ.
2022/23 මහ කන්නයේ වී සහ අතිරේක ආහාර බෝග නිෂ්පාදනය තහවුරු කරගැනීමටත්.
ප්‍රධානතම අපනයන භෝගය වන තේ නිෂ්පාදනය යථා තත්ත්වයට පත්කර ගැනීමටත්.
සත්ව නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය බඩ ඉරිඟු නිෂ්පාදනය තහවුරු කර ගැනීමටත්.
යන පදනම යටතේ රටේ ආහාර
සුරක්ෂිතතාවය තහවුරු කරගැනීමට හැකි වනු ඇත. එම සාධකය මත ජනගහනයෙන් විශාලතම කණ්ඩායමක ආර්ථික ගැටලු නිරවුල් කිරීමට ද ඒ ඔස්සේ සමාජ ආර්ථික ස්ථායිකරණය සඳහා කෙටි කාලීන වශයෙන් නිශ්චිත ප්‍රතිඵල ලබා දෙන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට පසුගිය මාස දෙකක කාලය තුළ කටයුතු කර ඇත.
2. ඛනිජ තෙල් බලශක්ති හා LP ගෑස් සම්පාදනය තහවුරු කර ගැනීමේ වැඩපිළිවෙළ.
පැය 2-3 අතර විදුලි කප්පාදුවකට සීමා කර ගැනීමට දැනට හැකි වී ඇත.
ඉදිරි මාස තුන හතර සඳහා LP ගෑස් අඛණ්ඩව සැපයීමට අවශ්‍ය පියවර ගෙන ඇත. පැවති LP ගෑස් හිඟය මේ සතිය අග වන විට මුළුමනින්ම නිමවනු ඇත.
ඛනිජ තෙල්වල ජාත්‍යන්තර මිල ගණන් මාස ගණනාවක් තිස්සේ බැරල් එකකට ඩොලර් 50 කින් පමණ ඉහළ යාමත් සමගම අවශ්‍ය ඛනිජ තෙල් සම්පාදනය කරගැනීමට මාසිකව ඩොලර් මිලියන 550 ක අවශ්‍යතාවයක් පැවතුණි. විදේශ විනිමය සපයාගැනීමේ ගැඹුරු අර්බුදයකට රට මුහුණ දී ඇති බැවින් නිතිපතා අවශ්‍ය ප්‍රමාණයට ඩීසල් සහ පෙට්‍රල්, ප්‍රමාණයට එහා ගොස් අඩුම තරමින් දිරි මාස තුන සදහා අවශ්‍ය ඛනිජ තෙල් ආනයනය කිරීමේ සැලැස්මක් සකස් කරන ලෙසට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට දැනටමත් දන්වා ඇත. ඒ අනුව ඔවුන් ඉදිරි සති දෙක තුළ එම සැලසුම් ඉදිරිපත් කිරීමට නියමිතය.
ආනයනය කරන ඛනිජ තෙල් විධිමත් ක්‍රමවේදයක් යටතේ බෙදා හැරීමට අවශ්‍ය වැඩපිළිවෙළ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය දැනටමත් සකස් කර ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ආර්ථික - දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ විරෝධතා මධ්‍යයේ වුවත් ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් ජනජීවිතය විශාල පරිමාණයේ කඩා වැටීමකින් ගලවා ගන්නට හැකිවී තිබෙන බවයි.
කෙසේ වුවත් ඉදිරියේ කිසියම් ආකාරයක දේශපාලන වෙනස්වීමක් සිදුවුවත් , අත්වෙන ප්‍රතිඵලය ඊට මැදිහත් වන සියලු පාර්ශ්ව භාරගත යුතු බවත් ඔවුන් පවසයි .

මගේ ජන්දය රනිල්ට : සජබ මන්ත්‍රී ප්‍රසිද්ධියේ කියයි !
ජනාධිපතිවරයා තෝරන පාර්ලිමේන්තු ඡන්දයේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට තම ඡන්දය ලබා දෙන බව සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී අරවින්ද කුමාර් පවසයි.
ප්‍රසිද්ධියේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු අද (19) මේ බව පැවසීය .
තමාගේ මෙම තීරණය පිළිබඳ තමා නියෝජනය කරන පක්ෂයේ මධ්‍යම කාරක සභාව ද දැනුවත් කළ බව අරවින්ද කුමාර් වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

සජිත් අගමැති : පොහොට්ටු සභාපතිගෙන් සහතිකයක් !
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අගමැතිවරයා කිරීමට කැපවෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් පවසා ඇත .
බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා ඇති අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමට අදාළ නාමයෝජනා අද (ජූලි 19) පාර්ලිමේන්තුවේදී කැඳවූ අවස්ථාවේදී ඒ සඳහා ඩලස් අලහපෙරුම මන්ත්‍රීවරයාගේ නම යෝජනා කරන ලද්දේ සජිත් ප්‍රේමදාස විසිනි. මහාචාර්ය ජී.එල් පීරිස් එම යෝජනාව ස්ථිර කළේය.
ඩලස් අලහපෙරුම ජනාධිපති කර සජිත් ප්‍රේමදාස අගමැති කිරීමේ සැලැස්මක් මේ වනවිට ක්‍රියාත්මක වේ දැයි යන්න බොහෝ දෙනාගේ ද කුකුසයි.
එමෙන්ම මහාචාර්ය ජී.එල් පීරිස් සභාපතීත්වය දරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් ඇතුළු කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කිරීම සඳහාද ක්‍රියා කරමින් සිටී.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් පළ කිරීමෙන් බොහෝ මන්ත්‍රීවරු වැළකී සිටියහ.

විදුලි බිල ඉහළට !
එළැඹෙන අගෝස්තු මාසයේ සිට විදුලි බිල 69% කින් පමණ ඉහළ යාමේ ප්‍රවණතාවයක් ඇතැයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි නිෂ්පාදන පිරිවැය ආවරණය කිරීම මෙමගින් බලාපොරොත්තු වන බවය.
130%ක පමණ විදුලි බිල වැඩි කිරීමක් මුලින් ඉල්ලුම් කර තිබුණද 69%ක පමණ විදුලි බිල වැඩි කිරීමට අනුමැතිය දී ඇතැයි ද ඔහු වැඩිදුරටත් පවසා ඇත .

පාසල් ආරම්භ වීම කල් යයි
රජයේ සහ රජයේ අනුමත සියලුම පාසල් ආරම්භ කිරීම නැවත කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව එළඹෙන 25 වනදා නැවත පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
රට තුළ පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ඇති වී ඇති අර්බුදකාරී තත්ත්වය සලකා මෙම තීරණය ගත් බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
අනිද්දා (21) දිනේ සිට රජයේ සහ රජයේ අනුමත සියලුම පාසල් ආරම්භ කරන බව රජය මෙයට පෙර නිවේදනය කරනු ලැබීය.

අවම බස් ගාස්තුව රු. 38යි
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තුව 2.23%කින් අඩු වන බව ජාතික ගමනා ගමන කොමිසම පවසයි.
ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 38ක් වේ.
සම්පූර්ණ සංශෝධිත බස් ගාස්තු ලේඛනය පහත සදහන් වේ.

සජිත්ගේ සහය ඩලස්ට.....
ජනාධිපතිවරයා ලෙස ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවට පැවසීය.
එහිදී ජනාධිපති ධුරය සඳහා ඩලස් අලහප්පෙරුම ගේ නම ස්ථිර කරනු ලැබුවේ මහාචාර්ය ජී. එල් පීරිස් විසිනි.
ජනාධිපති ධුරය සඳහා රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා කරන බව සභා නායක දිනේෂ් ගුණවර්ධන පැවසීය.
අමාත්‍ය මනුෂ නානායක්කාර රනිල් වික්‍රමසිංහගේ නම ස්ථිර කළේය.
ජාතික ජන බලවේග නියෝජනය කරමින් අනුර දිසානායකගේ නම ජනාධිපති ධුරයට යෝජනා කරන බව විජිත හේරත් මහතා පැවසීය. හරිනි අමරසූරිය එම යෝජනාව ස්ථිර කළේය.
අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සම්බන්ධයෙන් පොදු එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අතර ඊයේ (18) රාත්‍රී පැවති සකච්ජාවද බිඳවැටී තිබුන නමුත් අද අලුයම ඒ සම්බන්ධයෙන් එකඟත්වයක් ඇතිකර ගැනීමට දෙපාර්ශවය සමත්ව තිබිණ.

අන්තරේ අනතුරු අඟවයි : පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව දැඩි කෙරෙයි !
හෙට සහ අනිද්දා (19-20) ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට අදාළ තීරණාත්මක ජන්ද විමසීමක් පාර්ලිමේන්තුව තුළ පැවැත්වීමට නියමිත අතර ඊට සමගාමිව පාර්ලිමේන්තු සංකීර්ණය අවට ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වෙයි .
ඊට අනුව පාර්ලිමේන්තුවට පිවිසෙන සියලුම පිවිසුම් මාර්ග මාර්ග බාධක යොදා වසා දමා ඇත.
පාර්ලිමේන්තුව හෙට (19) පෙරවරු 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත අතර රට තුළ පවතින දේශපාලන අර්බුදය හේතුවෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් කිරීම සඳහා නාමයෝජනා කැඳවීම හෙට සිදුකිරීමට නියමිතය.
ඊට අදාළ ඡන්ද විමසීම අනිද්දා (20) පාර්ලිමේන්තුවේදී රහස් ඡන්දයක් ලෙස පැවැත්වීමටද නියමිතය.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කිරීම සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මැතිවරණයට ඉදිරිපත් වන බව දැනටමත් ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව හෙට ඔවුන්ගේ නාමයෝජනා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට නියමිත අතර ඉන් අනතුරුව ඔහු එය පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කිරීමට නියමිතය.
ඡන්ද විමසීම පැවැත්වෙන දිනයේ ඡන්දය ප්‍රකාශ කරන මන්ත්‍රීවරුන්ගේ ඡන්දවලින් සියයට 50කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා අපේක්ෂකයා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්කර ගැනීමට නියමිත ය.
පාර්ලිමේන්තුවේ සෑම දේශපාලන පක්‍ෂයක්ම තමන් සහය දෙන අපේක්ෂකයා මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති අතර ශ්‍රීලනිපය ඡන්දය දීමෙන් වැළකී සිටින බව පවසා ඇත.
පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය නව ජනාධිපතිවරයා තෝරා ගැනීමට ප්‍රබල සාධකයක් බව පැවසේ.
වත්මන් පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තු ආසන 145ක් ඇති අතර සමගි ජන බලවේගයට (SJඹ්) පාර්ලිමේන්තු ආසන 54ක් ඇත.
ඉලංකෙයි තමිල් අරසු කච්චි (ඓඨැඛ්) ආසන 10, ජාතික ජනතා බලය (ණ්ඵ්ඵ්) ආසන 3, ඊළාම් ජනතා පක්ෂය සහ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසයට ආසන 2 බැගින් හිමිව තිබේ.
මෙයට අමතරව තමිල් මක්කල් විදුදලෙප් පුලිකල් (ටීඑම්වීපී), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප), මුස්ලිම් ජාතික සන්ධානය, තමිල් මක්කල් තේසියා කුට්ටනි, අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය, ජාතික කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජනබල පක්ෂය එක් ආසනය බැගින් හිමිකර ගෙන තිබේ.
අන්තරේ අනතුරු අඟවයි !
කෙසේ වුවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින් ඉදිරි දින දෙක තුල බරපතළ ක්‍රියාමාර්ග ගන්නා බවයි.
ඒ අනුව ජූලි 19 වන දින විරෝධතා දිනයක් බවට ප්‍රකාශයට පත් කරන බවද එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ අවධාරණය කර ඇත .
“අද දිනයේ සිට තමනට ආසන්න නගරවලට පැමිණ විරෝධතා පවත්වන්නැයි ජනතාවගෙන් ඉල්ලනවා.හිටපු ජනාධිපතිවරයාද ධුරයෙන් ඉවත් කළ හැකි වූයේ රටම විරෝධතා භූමියක් බවට පත් වීම නිසායි.වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීම සඳහා වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන දැවැන්ත ක්‍රියාමාර්ග ගන්නවා.මෙම අරගලයද ජයග්‍රහණයෙන් අවසන් කිරීමට හැකියි.”

සජිත් ඩලස්ට බූට් එක තියලා : කිරිඇල්ල ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක !
ජනාධිපති ධූරය සඳහා එකිනෙකාට සහය ගැනීම වෙනුවෙන් සජිත් - ඩලස් පාර්ශ්ව අතර සාකච්ඡා බිඳ වැටෙන තත්ත්වයක් උද්ගතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .
ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනිවාර්යයෙන් ජනාධිපති ධූරය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනාධිපති නිලවරණය සඳහා තරග වදින බව නිවේදනය වී ඇති නිසා බවත් සඳහන් වෙයි.
ඒ බව තහවුරු කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසන්නේ නියත ලෙස ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස තරග කරන බවය.
ඔහු අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව තහවුරු කර සිටියේ ය.
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශාල පිරිසක් සහය දීමට සූදානමින් සිටින බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල එහිදී සඳහන් කළේය.
මේ වන විට සජිත් - ඩලස් පාර්ශ්ව සාකච්ඡාව තුළ ඩලස් පාර්ශ්වය යෝජනා කර ඇත්තේ ජනාධිපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සජබ පාර්ශ්වයේ සහය ඔවුන්ට ලැබිය යුතු බවය. ඒ වෙනුවෙන් පිහිටුවීමට නියමිත සර්ව පාක්ෂික ආණ්ඩුවේ අගමැති ධූරය ලබාදීමට සජිත් ප්‍රේමදාස වෙත සහය දීමට ඔවුන් සූදානම් බව ය.
මේ අතර ගෝල්ෆේස් අරගලකරුවන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද පවත්වා ඇත .
එහිදී තමන් අරගලකරුවන්ගෙ වැඩපිළිවෙළ අනුමත කරන බවත් ඒ බව ක්‍රියාවෙන් මේ වන විට ඔප්පු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසූ බවත් වාර්තා වෙයි .
එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ අග්‍රාමාත්‍ය ධූරය ලබාගන්නට සූදානම් බව සඳහන් කර යොමුකළ ලියුම් සම්බන්ධයෙන් කිසිවෙක් ප්‍රශ්න නොකළ බවත් සජබ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි .

ජරමර පිට බර කරත්ත : කොවිඩ් ආසාදිතයින් ඉහළට !
ආර්ථික අර්බුදයට සමගාමීව මෙරට පැණනැගුණු දේශපාලන අර්බුදය පසුබිමේ කොවිඩ් වසංගත තත්ත්වයත් යළි හිස ඔසවමින් ඇති බව වාර්තා වෙයි .
මේ බව අනාවරණය කරන නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කර ඇත .
ඒ අනුව අද දිනයේදී පමණක් කොවිඩ් ආසාදිතයින් 62ක් හඳුනාගෙන ඇත.
අදාළ නිවේදනය පහත දැක්වෙයි .

හදිසි තත්ත්වය ගැසට් එක රිවර්ස් කරන්න : නීතිඥ සංගමයෙන් නිවේදනයක් !
මෙරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර අද (18) ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් ගේ අත්සනින් නිකුත්කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විරෝධය පළකර ඇත.
නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩබලන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ හදිසි තත්ත්වය වහාම ඉවත් කර ගන්නා ලෙසය.
ශ්‍රී ලංකාවේ නව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේ ක්‍රියාවලිය සිදුවන පසුබිමක් තුළ හදිසි නීතිය භාවිත කරමින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති නීත්‍යනුකූල අයිතියට බලපෑම් නොකරන ලෙසත් ශ්‍රී ලංකා නිතිඥ සංගමය සිය නිවේදනය හරහා අවධාරණය කර ඇත .
අදාළ නිවේදනය පහත දැක්වෙයි .

බස් ගාස්තු අඩු කරන්න : බස් සංගම් කොළ එලි දල්වයි !
අඩු කළ ඉන්ධන මිල සහනය මගී ජනතාව වෙත ලබාදීමට කොන්දේසි සහිතව බස් සංගම් එකඟතාව පළකර ඇත.
මේ බව සඳහන් කරමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ බස් ගාස්තු අඩු කිරීමට පෙර විධිමත් ක්‍රමවේදයක් යටතේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ හරහා සිය බස්රථකවලට ඉන්ධන ලබාදීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි .
එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ නම් හෙට දිනයේ සිට වුවද බස් ගාස්තු අඩු කිරීමට සිට සංගමය සූදානම් බවත් ඔහු පවසයි .
මේ අතර අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර පවසන්නේ ඉන්ධන මිල පහල යාම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනය කිරීමට රජය ගනු ලබන සාධනීය කරුණුවලට සිය සංගමය එකඟ වන බවය.
ඒ අනුව මේ මොහොතේ ජීවන වියදම ඉහළ යාමත් ඒ හමුවේ ජනතාව මුහුණදී සිටින ආර්ථික දුෂ්කරතා තේරුම් ගෙන මගී ජනතාව වෙත ඉන්ධන මිල පහල යාමේ වාසිය ලබාදීමට සහ පොදු ප්‍රවාහනය අඛණ්ඩ කිරීමට විධිමත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට ප්‍රවාහන බලධාරීන් ක්‍රියාත්මක විය යුතුව ඇත.
ඒ බව පොදු ප්‍රවාහන මගී සංගම් ද අවධාරණය කර සිටියි.

පාස්කු ප්‍රහාරයේ ගැටලුව විසඳීමට බ්‍රිතාන්‍ය පොලිසියේ සහය - වැ.බ. ජනාධිපති
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ ගැටලුව විසඳාලීම තම බලාපොරොත්තුව බවත්, ඒ සඳහා සියලු දෙනා එකඟ වන්නේ නම් බ්‍රිතාන්‍යය පොලිසියේ සහය ලබා ගැනීමට තමන් බලාපොරොත්තු වන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි .
වැඩබලන ජනාධිපතිවරයා අද (18) විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළ අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ෂණ කොමිසමේ වාර්තාවන් මෙන්ම ඊට අදාළ වෙනත් වාර්තාවන් ඇති බවත් ඒ සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් පැවසීය .
විදේශ විමර්ශකයින්ගේ සහය මෙන්ම මෙම ප්‍රහාරය ගැන විමර්ෂණය කළ මෙරට විමර්ශකයින්ගේ සහයද එයට ලබා ගනිමින් තවත් කල් නොයවා මෙම ගැටලුව විසඳාලීය යුතු බවද වැඩබලන ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ ය.
එමෙන්ම අද වන විට රටේ නීතිය කැඩීමේ ව්‍යාපාරයක් පවතින බවත්, අපට ඇත්තේ එයට විරුද්ධව රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම බවත් ඔහු පැවසීය .
පැසිස්ට් ක්‍රමවේදයෙන් රටක නීතිය හා සාමය නැතිකරන්න ඉඩ නොදෙන බවත් සාමකාමී අරගලයට තමන් සැමවිටම පිළිගන්නා බවද වැඩබලන ජනාධිපතිවරයා සඳහන් කළේය .
මේ රටේ දේශපාලන ගැටලුවක් කියා පවතින්නේ විධායක ජනාධිපති ධුරය බවත්, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යලි බලාත්මක කිරීමෙන් පසු නැවත ඒ ගැන සාකච්ජා කිරිමට අවස්ථාව ලැබෙන බව ද ඔහු ප්‍රකාශ කළේය .
මැයි 13 වැනිදා තමන් අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාර ගන්නා විට දිනකට පැය 5ක විදුලිය විසන්ධි කරමින් ආර්ථිකය කඩා වැටී තිබූ බවත් මෙහිදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිහිපත් කර සිටියේ ය.
විශේෂ ප්‍රකාශය කරමින් වැඩබලන ජනාධිපතිවරයා කියා සිටියේ තමන් අගමැති ධුරයට පත්වී මාස දෙකක කාලය තුළ විදුලිය කප්පාදුව දිනකට පැය 3 දක්වා අඩුකරලීමට හැකි වූ බවයි.
එමෙන්ම යල කන්නයේ වගාවන් සඳහා ගොවි ජනතාවට පොහොර ලබාදීමට හැකිවූ බවත් මේවන විට මහ කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවත් ඔහු පැවසීය .
රටේ පැවති ගෑස් හිඟයට විසඳුම් ලබාදුන් බවත් මේ වන විට අඛණ්ඩව ගෑස් සැපයීමට හැකියාව ලබාදී ඇති බව වැඩබලන ජනාධිපතිවරයා පැහැදිලි කර සිටියේ ය.
ජූලි මාසය ඉන්ධන සැපයීමේ දුෂ්කර කාල පරිච්ඡේදයක් වනු ඇති බව අවසන් මොහොතේ තමා පැහැදිලි කළ බවත් ඔහු සිහිපත් කර සිටියේ ය..
කෙසේ වෙතත්, ඩීසල් තොග සුරක්ෂිත කර බෙදාහරින අතර ජූලි 21 වනදා සිට පෙට්‍රල් ද බෙදා හැරීමට නියමිත බවයි වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය .
විශේෂ ප්‍රකාශය කරමින් වැඩිදුරටත් වැඩබලන ජනාධිපතිවරයා පවසා සිටියේ ලෝක වෙළෙදපලේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය ද මෙරට ජනතාවට ලබාදීමට පියවර ගත් බවය.

රනිල්ට එරෙහි නාගාගේ පෙත්සම ගැන හෙට තීන්දුවක් !
එක්සත් ජාතික පක්ෂ නායක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කිරීම මගින් රටේ ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් එම පත්කිරීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නිතීඥ නාගානන්ද කොඩිතුවක්කු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගන්නවාද? නැද්ද? යන්න සම්බන්ධ තීරණය හෙට (19) ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) දැනුම් දුන්නේය.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගාමිණී අමරසේකර, ජනක් ද සිල්වා සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ අද සලකා බැලිණ.
මැතිවරණ කොමිසම, එහි සභාපති ඇතුළු සෙසෙු සාමාජිකයන් සහ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු 11 දෙනකු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර තිබේ.
මෙහිදී නිතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණීෂ්කා ද සිල්වා සදහන් කර සිටියේ තමන් මෙම පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා දෙකක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට අනුව මූලික අයිතිවාසිකම් කඩවී දින 30ක් ඇතුළත් මුලික අතිවාසිකම් පෙත්සමක් ගොනුකළ යුතුව ඇති බවත්, එහෙත් මෙම පෙත්සම ගොනුකරනු ලැබ ඇත්තේ වසරක කාලයක් ඉකුත් වීමෙන් අනතුරුව බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නාය.
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ රෝලන්ඩ් පෙරේරා කියා සිටියේ තමන් නිතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු සමග එකඟවන බවත් ඒ අනුව පෙත්සම විභාගයට නොගෙන ඉවත දමන ලෙසත්ය.
දෙපාර්ශ්වයේ ඉදිරිපත් කෙරුණු කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න සම්බන්ධ තීන්දුව හෙට (19) ලබා දෙන බවට දැනුම් දෙමින් නඩුව කල් තැබීය.

සජිත් - ඩලස් සාකච්ඡා අසාර්ථකයි !
ජනාධිපති ධූර අපේක්ෂකත්වය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ සමීපතමයන් අතර අද (18) පැවති සාකච්ඡාව අසාර්ථක බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊට අනුව මෙම සාකච්ඡාව අවස්ථාවේ කිසිදු තීන්දුවක් ගැනීමට නොහැකිව ඇත.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා වෙත ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට සජිත් පාර්ශ්වය එකඟ වුවහොත් ජන්ද 135ක් ලබාගන්නට හැකි බව ඩලස් පාර්ශ්වය පෙන්වා දී තිබේ.
එහෙත් සජිත් ප්‍රේමදාස දැඩි ස්ථාවරයක සිට කියා ඇත්තේ තමන් ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන බවත් ඊට ඩලස් පාර්ශ්වය සහය අපේක්ෂා කරන බවය.
එහිදී ඩලස් පාර්ශ්වය පවසා ඇත්තේ පොදුජන පෙරමුණේ ජන්ද ලැබීමට නම් ඩලස් ජනාධිපති අපේක්ෂක විය යුතු බවත් , පිහිටුවීමට නියමිත සර්ව පාක්ෂික ආණ්ඩුවේ අගමැති ධූරය සජිත් ප්‍රේමදාස ට සූදානම් බවය.
එසේම මේ වන විට ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලුම් කිරීමට නියමිත රනිල් වික්‍රමසිංහ , ඩලස් අලහප්පෙරුම ,සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන කිසිවෙකුට 50%ක් ලබන්නට නොහැකි බවත් ඔවුන්ගේ ස්ථාවරය වී ඇත.
සජිත් හිරවෙලා !
මේ අතර ඩලස් පාර්ශ්වය යෝජනා කර ඇති ආකාරයට සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකත්වය ඉවත් කරගතහොත් සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහය දැක්වීමට තීන්දුවක් ගෙන ඇති බවත් වාර්තා වෙයි .
ඒ බව මේ වන විටත් පක්ෂ නායකත්වය දැනුවත් කර ඇති බවත් වාර්තා වෙයි . කෙසේ වුවත් සජිත් ප්‍රේමදාස ගේ පෞද්ගලික හිතවතුන් පිරිස ඉන්නේ සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය ලෙස හෝ ඉදිරියට යා යුතුයි යන මතයේ බවත් වාර්තා වෙයි .
මේ අතර සජිත් ප්‍රේමදාස ගේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් තවත් බරපතළ පීඩනයක් සජබ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙතින්ද එල්ල වෙමින් ඇති බවත් වාර්තා වෙයි .
ඒ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ඉදිරිපත් නොවන්නේ නම් තමන් ඊට අයදුම් කරන බව පවසමිනි .
කෙසේ වුවත් සජිත් ඩලස් පාර්ශ්ව අතර තවත් රහස් සාකච්ඡාවක් අද රාත්‍රියේ යළිත් පැවැත්වීමට නියමිත බවත් වාර්තා වෙයි .
Page 348 of 509