පුවත්

කැළණි පුස්වෙඩිල්ල රිමාන්ඩ්
කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු විරෝධතාවට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී දුමින්ද පෙරේරා ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ, ඔහු අද මහර වැඩබලන මහේස්ත්‍රාත් රමණී සෙනෙවිරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් නීතිඥවරුන් රැසක් මුදල් අය කිරීමකින් තොරව පෙනී සිටියහ.
කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මූලිකත්වයෙන් සිසුන් පිරිසක් ඊයේ කිරිබත්ගොඩ නගරයේදී අට්ටාලයක් ඉදිකර විරෝධතාවක් ආරම්භ කර තිබිණ.
පසුව එම ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි දුමින්ද පෙරේරා මහතා එම අට්ටාලය කඩා දැමී ය.
එහිදී සිසුන් කිහිපදෙනෙකුට ද මන්ත්‍රීවරයා පහරදී ඇති අතර පසුව කිරිබත්ගොඩ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගනු ලැබිණි.
සබැදි පුවත්

අරගලයේ විචිත්‍රත්වයෙන් මන්මත් විය යුතු නැත!
ගාලු මුවදොර අරගලය මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියල්ලන්ගේ මහත් පිබිදීමකට තුඩු දී තිබේ. ඒ පිළිබඳ දිනපතා බොහෝ තොරතුරු අසන්නට දකින්නට ලැබේ. එම අරගලය අනිවාර්යයෙන් ජයගත යුත්තකි. නමුත් අරගලයේ විචිත්‍රත්වය සහ රොමෑන්තිකකරණය හමුවේ අප බොහෝ දෙනෙකු සිතා මතා හෝ අවිඥානිකව අමතක කර ඇති කාරණා කීපයක් කෙරෙහි අවධානය යොමු කිරීම මෙම ලිපියෙහි අරමුණයි.
ගාලු මුවදොර වෙත යාමට පෙර මෙම අරගලයේ අක්මුල් රැඳී තිබුණේ, දිවයිනේ විවිධ ස්ථානවල පැන නැගුණු ආණ්ඩුවට එරෙහි මහජන විරෝධතා මතය. පොහොර හිඟය හේතුවෙන් වීදි බට ගොවීන් සහ නොනවතින සටනක යෙදෙමින් හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය වහා ස්ථාපිත කරන ලෙස ඉල්ලූ ගොවීන් ද, ගුරු වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා අඛණ්ඩ අරගලයක නිරත වූ ගුරුවරු ද, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසා දැමූ විශ්වවිද්‍යාල යළි විවෘත කරන ලෙස ඉල්ලා වීදි බට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ද මෙහිදී කැපී පෙනුණි. මීට අමතරව ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය ඇතිව සිදු කරන පරිසර සංහාරවලට එරෙහිව විරෝධය පෑ පරිසරවේදීහු ද දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි අරගලවල නිරත වූහ.
නමුත් තැනින් තැන පැන නැගුණු මෙම විරෝධතා එක් කේන්ද්‍රයකට ගොනු වූයේ නැත. එම විරෝධතා එසේ එක් කේන්ද්‍රයකට ගොනු කිරීමට කිසිදු දේශපාලන පක්ෂයක් හෝ නායකයෙකු මැදිහත් වූයේ ද නැත. බොහෝ දේශපාලන පක්ෂ සහ නායකයන් විසින් කළේ, තම පක්ෂ සාමාජිකයන් ගෙන්වාගෙන තනි තනි රැස්වීම් පැවැත්වීමයි.
මේ පසුබිම තුළ, ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් බලයට පත් වූ දා සිට කරමින් සිටි අටෝ රාශියක් වැරදි ගැන බහුතර ජනතාව සිටියේ මුනිවත රකිමිනි. අපරාධකරුවන්ට ජනාධිපති සමාව දීම, තම ඥාතීන් සහ හිතවතුන් සියලු නඩුවලින් නිදොස්කොට නිදහස් කිරීම, සිවිල් පරිපාලනය හමුදාකරණය කිරීම, ඩොලර් සහ රන් සංචිත අවභාවිත කිරීම, බදු ප්‍රතිපත්තිය විකෘති කිරීම සහ අසීමිත ලෙස මුදල් අච්චු ගැසීම මේ වැරදි අතරින් කීපයක් පමණි.
සමාජයේ ඉතා සුළු පිරිසක් මේ කාරණාවලට විරුද්ධව හඬ නඟද්දී, බහුතර ජනතාව සිටියේ ඉතා අක්‍රිය සහ නිද්‍රාශීලී ස්වරූපයෙනි. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයට පත් කිරීමට සිය ඡන්දය ලබා දුන් ගොවීන් සහ ගුරුවරුන් සුළු පිරිසක් හැර, 69 ලක්ෂයක ඡන්ද දායකයන්ගෙන් බහුතරයක් සිටියේ, තමා විසින් බලයට පත් කරන ලද ජනතා නියෝජිතයන් කෙරෙහි මහත් භක්තියෙන් සහ විශ්වාසයෙන් ඔවුන්ගේ සියලු ආණ්ඩුකරණ දෝෂ නුදුටුවා සේය.
මෙම ජනතාවගේ අක්‍රියභාවයට සහ නිද්‍රාශීලීභාවයට බාධා පැමිණෙන්නේ, දෛනික විදුලි කප්පාදුව, ගෑස් සහ ඉන්ධන හිඟය, කිරිපිටි සහ බෙහෙත් හිඟය, අහස උසට යන භාණ්ඩ මිල ආදියෙන් තම කාර්යයන්ට බාධා වී, තම එදිනෙදා ජීවිතය තවදුරටත් සුපුරුදු පහසුවෙන් පවත්වාගෙන යාමට නොහැකි වීම හේතුවෙනි. මෙය දැඩි හිරවීමක් (deadlock) ලෙස හැඳින්විය හැකිය.
නගර ගම් දනවු සිසාරා ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් එරෙහි විරෝධතා මතු වන්නේ ඒ සමඟය. තැන තැන පැවති මෙම විරෝධතා උත්සන්න වන්නේ පසුගිය මාර්තු 31 වැනිදා මිරිහාන, පැඟිරිවත්තේ පිහිටි ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස ඉදිරිපිටට පැමිණි එම ප්‍රදේශයේ ජනතාව සෘජුවම ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බල කිරීමත් සමඟයි.
එහිදී මතු වූ ප්‍රධානතම සටන් පාඨය වූයේ, "ගෝඨා, ගෙදර යන්න" (Go Home Gota) යන්නයි. මෙය එතෙක් තැන තැන පැන නැඟුණු විවිධ සටන් පාඨවලට වඩා වෙනස්ය. එය සියලු මහජන විරෝධය එකට ගොනු වූ කේන්ද්‍රීය පොදු සටන් පාඨයක් විය.
මේ පසුපසින් ආ අනෙකුත් සටන් පාඨ දෙසට ද අවධානය යොමු කරන විට පෙනී යන්නේ, ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බල කිරීම පමණක් නොව, රාජපක්ෂලාගේ පවුලම හොරු බවත්, ඔවුන් ජනතා මුදල් කොල්ල කෑ බවත්, එම මුදල් ආපසු දෙන ලෙසත්, එසේ නොකර පැන යා නොහැකි බවත්, කළ වැරදිවලට දඬුවම් ලැබිය යුතු බවත් ජනතාව විසින්ම හඬගා කී බවයි. මෙහිදී ඉස්මතු වූ අනෙක් කාරණා වූයේ, ජනාධිපති ගෝඨාභය පිස්සෙකු බව සහ රාජපක්ෂ පවුලේ කිසිවකු රාජ්‍ය පාලනය සඳහා නුසුදුසු බවයි. මිරිහානෙන් ඇරඹුණු මෙම සටන් පාඨ තව තවත් දෙගුණ තෙගුණ වී ප්‍රබල ලෙස ව්‍යාප්ත වූයේ රට පුරාම ජනාධිපතිවරයාට, රාජපක්ෂ පවුලට සහ ආණ්ඩුවට එරෙහිව මතු වූ විරෝධතා රැල්ලත් සමඟය.
මේවායේදී රාජපක්ෂලා, හොරුන් පමණක් නොව අපරාධකරුවන් සහ දූෂිතයන් රැකි පවුලක් ලෙස ජනතාව විසින්ම නාමකරණය කරනු දැකගත හැකි විය.
දැන් සමස්ත ලංකාවම නියෝජනය කරමින් ගාලු මුවදොරට රැස්වී ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බල කරන්නන් ද මෙම සටන් පාඨ ඉදිරියට රැගෙන යන්නේ ඒවාට තව තවත් කොටස් එකතු කරමිනි. මෙහිදී අප ප්‍රශ්න කළ යුත්තේ, ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පවුල අපරාධකරුවන්, සොරුන් සහ අන්තවාදී තක්කඩින් බව පසුගිය ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ සමයේ විපක්ෂ බලවේග මෙන්ම මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි පිරිස් දිගින් දිගටම පෙන්වා දෙද්දී, එම කරුණු සම්පූර්ණයෙන්ම නොසලකා හැර රාජපක්ෂලා බලයට ගෙන ආ පිරිස්වලට රාජපක්ෂලාගේ අපරාධ, සොරකම් සහ තක්කඩිකම් මතක් වූයේ තමන්ට කෑම බීම, බෙහෙත්, විදුලි බලය, ගෑස් සහ ඉන්ධන හිඟ වූ පසුව ද යන්නයි.
දැන් පාරට බැස රාජපක්ෂලා අපරාධකරුවන්, සොරුන් සහ තක්කඩින් බව කියා මොරදෙන පිරිස්, එදා ඡන්දය දුන්නේ ජාතික ආරක්ෂාව වෙනුවෙන්ලු! අද හිටිගමන් පහළ වී ඇති රාජපක්ෂලා පිළිබඳ ඔවුන්ගේ දැනුම සහ අවබෝධය එදා තිබුණේ කොහි ද? එසේ නම් රාජපක්ෂලාට වඩා තක්කඩින් වන්නේ, මේ 69 ලක්ෂයක ඡන්ද දායකයන් නොවේ ද? ඔවුන් ඡන්දය දී ඇත්තේ, රාජපක්ෂලාගේ සියලු අපරාධ, සොරකම් සහ තක්කඩිකම් පිළිබඳව දැන දැනය.
අද පාරට බැස සිටින බහුතරයක් එදා ගෝඨාභය වීරයෙක්, ගැලවුම්කරුවෙක් ලෙස නාමකරණය කළහ; කිසිදා සක්‍රිය දේශපාලනයේ නිරත නොවූ මිලිටරිකාරයෙක් කෙරෙහි කිසිදු තර්ක බුද්ධියකින් තොරව හැඟීම්වලට වහල් වී පූර්ණ විශ්වාසය තැබීය. එහි අයුතු ප්‍රතිඵල දැන් භුක්ති විඳින්නේ ගෝඨාභයට සහ රාජපක්ෂලාට ඡන්දය දුන් 69 ලක්ෂය පමණක් නොව ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවයි.
මෙම හැඟීම්බර අතාර්කිකභාවය දැන් අරගල භූමියේ ද දක්නට ලැබෙන බව මෙහි සටහන් කර තැබිය යුතුය. දැන් අරගලයට අවතීර්ණ වී සිටින බහුතරය එදා ඔය පෙන්වන ගැම්මෙන්ම ගෝඨාභය බලයට ගෙන ඒමටත්, බලයට පත් වූ පසුව ඔහුගේ ප්‍රතිරූපය වර්ධනය කිරීම පිණිස බිත්තියක්, තාප්පයක්, බෝක්කුවක්, පාලමක් ගානේ චිත්‍ර ඇඳීමටත් උත්සුක වූහ. ඔවුන්ට නොවැටහුණේ රාජපක්ෂ පවුලත්, ඔවුන්ගේ හිතවතුනුත් මඟහැර ගෝඨාභයට තනිව ආණ්ඩු කළ නොහැකි බවයි.
තරුණ අරගලකරුවන් තරයේ සිහි තබා ගත යුත්තේ සිය ස්මාර්ට් දුරකථනයේ එක් බොත්තමක් ඔබන වේගයෙන් දේශපාලන පෙරළි සිදු නොවන බවයි. ඔවුන් විශ්වාස කරන්නේ, ගෝඨාභය පත් කළේ ඔවුන් විසින් බැවින් ඔවුන් කියන විට ඔහු ගෙදර යාමට සූදානම් යයි කියා නම් එය බිහිසුණු මුලාවකි.
රාජපක්ෂලා එසේ බලය අත නොහරින බවට මෑත ඉතිහාසයේ බොහෝ උදාහරණ ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 18 වැනි සංශෝධනය මඟින් ජනාධිපතිවරයාට පනවා තිබූ වාර දෙකේ සීමාව ඉවත් කරගෙන මැරෙන තුරු ජනාධිපතිකම රැක ගන්නට තැතනීම සහ යහපාලන ආණ්ඩුව අභිභවා ව්‍යවස්ථා විරෝධීව දින 52ක් බලහත්කාරයෙන් අගමැති ධුරයේ එල්ලී සිටීම ඉන් සමහරකි.
අරගලය නිර්පාක්ෂික වීම හෝ ඊට දේශපාලන පක්ෂ හෝ නායකයන් ගාවා නොගැනීම වෙනම කාරණයකි. නමුත් ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පවුලට ගෙදර යාමට කොතෙක් බල කළත් නොයන්නේ නම්, ඊට තිබෙන ව්‍යවස්ථානුකූල මාර්ග කෙරෙහි අවධානය යොමු කළ යුතුය. අරගලයේ දිශානතිය ඒ දෙසට ද යොමු කළ යුතුය.
මහජන ඡන්දයෙන් තේරී පත් වූ ජනතා නියෝජිතයන් කට වචනයෙන් කීවාට ඉල්ලා අස්වන්නේ නැත්නම් ඊට ව්‍යවස්ථානුකූල විකල්ප සෙවිය යුතුය. ඒ, ගෝඨාගෝගමේ සිටින තරුණ පිරිසට රට පාලනය කිරීමට ව්‍යවස්ථානුකූල බලයක් ලැබී නොමැති හෙයිනි;
ව්‍යවස්ථාවෙන් පිටට ගොස් රාජ්‍ය පාලනය කිරීමට තැත් කළහොත් ජාත්‍යන්තරය එය නොපිළිගන්නා හෙයින් ජාත්‍යන්තර සහයෝගය අහිමි වන බැවිනි. එබැවින් ඔවුන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර යැවූ මහජන නියෝජිතයන් 225ම එපා යයි කීවාට වැඩක් නැත. එය අතිශයින් බොළඳය; අතාර්කිකය; අභව්‍යය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එපා යයි කියමින් ඔවුන් අපේක්ෂා කරන්නේ විප්ලවයක් ද? නැතහොත් මිලිටරිමය පාලනයක් ද? එය තවත් දරුණු ඒකාධිපතිවාදයක් වෙතට අපව ඇද දමනු ඇත. එබැවින් අප සෙවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයන්ය. ජනතා නියෝජිතයන් ඔබ විසින් පත් කරන තාක් ඔවුන් ඕපපාතික නැත.
කළ යුත්තේ, මේ කුරිරු රෙජීමයට එරෙහිව ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග ගැනීමට තමා විසින් පත් කර යැවූ ජනතා නියෝජිතයන්ට බල කිරීමයි. ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පවුල ප්‍රතික්ෂේප කර එලවා දැමීමට පාර්ලිමේන්තුව වෙතටම පීඩනය එල්ල කිරීමයි. ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමටත්, එය අත්සන් කිරීමටත් එම ජනතා නියෝජිතයන්ට බල කිරීමයි.
ගාලු මුවදොර අරගලය ශ්‍රී ලංකා රාජ්‍යයේ අනාගත දිශානතිය තීරණය කරන බලවේගයක් වන්නේ ඒ හරහා මුවහත් කරන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවලියක් තිබුණහොත් පමණි.
අප විසින් අපගේ ඡන්දයෙන් පත් කරන ජනතා නියෝජිතයන් කොතරම් එපා වුවත් ඔවුන් නියමිත නිල කාලයට පෙර නැවත කැඳවිය හැකි බලයක් (power to recall) අපට නැත. එම බලය ලබා දෙන ලෙස ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා හරහා අප ඉල්ලා සිටිය යුතුය.
අරගල පරණ වන විට යන්නේ ඉබාගාතේය.
එය හැඟීම්වලට යට වූ කානිවල් එකක් බවට පත් නොවිය යුතුය. තාප්පවල චිත්‍ර ඇඳ ගෝඨාභය පොර කළ ආකාරයේ ලේසියකින් ඔහු එලවා දැමිය නොහැකි බව අරගලකරුවන් අවබෝධ කරගත යුතුය.
ඔබ කොතෙක් අකමැති වුවත්, තිබෙන ආයතනික ව්‍යුහයන් හරහා මිස ඉන් පිට පැන ආණ්ඩුකරණයේ වෙනසක් කළ නොහැකිය. ඔබට පමණක් මෙය කළ හැකි යයි සිතන්නේ නම් සහ සියලු පවතින යාන්ත්‍රණ ප්‍රතික්ෂේප කරමින් වෙනසක් ගෙන ආ හැකි යයි සිතනවා නම් එය ගෝඨාභය වැන්නෙකු වීරයෙකු කරමින් බලයට ගෙනැවිත් කරන ලද ව්‍යසනයට වැඩි අකරතැබ්බයක් සිදුකරනු ඇත.
අපට විශාල කාලයක් නැත. ගෙවෙන සෑම මොහොතකම රට බංකොලොත් වෙමින්, නොපෙනෙන අගාධයකට ඇද වැටෙමින් තිබේ. එබැවින් නොපමාව ව්‍යවස්ථානුකූල විසඳුමකට යාම පිණිස අරගලයේ දිශානතිය වෙනස් කළ යුතුය. අරගලයේ විචිත්‍රත්වයෙන් මත් නොවන්න; හැඟීම්වලට වහල් නොවන්න; යථාර්ථය දකින්න. සිහින මත සිට තීරණ ගතහොත් නැවත ගොඩ ඒමක් නැත. අප සිහි බුද්ධියෙන් අරගලය මෙහෙයවිය යුත්තේ පාර්ලිමේන්තුව හරහාම ගැටලු විසඳා ගැනීම කෙරෙහිය.
ගෝඨාභයට අස් වීමට බල කරන ගමන්ම පාර්ලිමේන්තුවට ද එම කාර්යය සඳහා හවුල් වීමට බල කළ යුතුය. රාජ්‍යයේ නිල ආයතනික ව්‍යුහ අභිභවා යාම නොව ජනතා බදු මුදලින් යැපෙන එම ආයතන තුළින්ම විසඳුම් සොයා ගැනීමට යොමුවිය යුතුය. එසේ නොකළොත් පෙරදී ඇඳි චිත්‍රවල දියසෙවෙල් බැඳී මැකී ගියා සේ ගෝඨාගෝගම ද ජන මනසේ වල් වැදී යනු ඇත.
ආචාර්ය ඉන්දි අකුරුගොඩ

පාස්කු විමර්ශන: කතෝලික සභාවෙන් ප්‍රශ්න 20 ක් ?
පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් වන ප්‍රශ්න 20 ක් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ට යොමු කළ බව කතෝලික සභාව පවසයි.
පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය ගැන සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් කතෝලික සභාවට මතුව ඇති ප්‍රශ්න මාලාවක් මෙසේ යොමුකළ බව එහි මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා පැවසූහ.
එම ප්‍රශ්න 20 පහත දැක්වේ.

IMF යන සබ්‍රිගේ උත්සාහය මෙන්න !
ලංකා ආර්ථිකයට ඩොලර් බිලියන 4 ක් පමණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ලබාගන්නට අප්‍රේල් 18 සිට සාකච්ඡා කිරීම සිදුවන බව මුදල් අමාත්‍ය අලිසබ්‍රි පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
”අපිට බොහෝ දුරට බිලියන 3 ත් 4 ත් අතර අලුතින් මුදල් අවශ්‍යයි.ගෙවිය යුතු වුවත් ණය යලි ගෙවීමේ බර දැන් අපි පැත්තකින් තියලා තියෙන්නේ.අපි අපෙක්ෂා කරනවා සැපයුම පවත්වාගෙන යමින් මෙරට කර්මාන්තවලට බලපෑමක් වන විදුලි කප්පාදුව අඩු කරන්න” යනුවෙන් ද ඔහු පවසා ඇත.
මෙහිදී මාධ්‍ය විසින් චීනයෙන් තවත් ඩොලර් බිලියන 2.5 ක මූල්‍ය ආධාරයක් ලබා ගැනීමට ආරම්භ කර තිබෙන සාකච්ඡා වල අලුත් තත්ත්වය ද විමසා ඇත.
ඊට ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍යවරයා පවසා ඇත්තේ , " අපි ඔවුන් සමග දීර්ඝ කාලීනව සාකච්ඡා කරමිනුයි ඉන්නේ…අපිට විශ්වාසයි චීනය අප දෙස ධනාත්මකව බලයි කියලා. චීනයට සමග අපට දිගු කාලීන සම්බන්ධතාවක් තිබෙනවා. මම ඒ ගැන වැඩිදුරටත් තොරතුරු හෙළි කරන්නෙ නැහැ. ඔවුන් තවමත් ඉන්නේ සාකච්ඡා මට්ටමේ, එවගේම ඉන්දියාවත් අපිට නිරත්නරයෙන් උදව් කරනවා. එම රටවල් දෙකම අපගේ අසල්වැසියන් හා මිතුරන්. ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. අපි විසින්ම නැගී සිටින තෙක් අපට අවශ්‍ය සහාය ලබාදන බවට…අප මේ වන විටත් චීනය, ඉන්දියාව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව සමග මූලික සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඒ සියලු දේ සමග අපි විශ්වාස කරනවා අපිට ඉදිරියට යා හැකි කියලා, ඉදිරි අවුරුද්ද අපිට අසීරු විය හැකි බව මම දන්නවා. අපි තේරුම් අරන් තිබෙනවා. මේ කාලය තවදුරටත් අසීරු විය හැකි බව"

රජගෙදර අවුරුදු : සජීව විකාශය නෑ !
ජනාධිපති සහ අගමැති නිවෙස්වල සිංහල දමිළ අලුත් අවුරුද්ද සැමරිම වෙනදා සජීව ලෙස විකාශය කරන නමුත් මෙවර එවැන්නක් සිදුවූයේ නැත.
විශේෂයෙන් රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය මෙය සිදුකරයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසා තිබුණේ "කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව ජනාධිපති කාර්‍යාලය සහ ඒ අවට ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් දියත්කර ඇති අරගලය ඊට හේතුව වී ඇති බවයි.

බෙදී වැනසෙන්නද යන්නේ ? රෝසි සජිත්ගෙන් අහයි !
"බෙදී වෙන්වී වැනසෙනවා ද ? එකට එක්වී ජයගන්නවා ද ? අර්බුදය හමුවේ විපක්ෂය හමුවේ ඇති අත්නොහැරිය හැකි වගකීම" විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සිහිපත් කරදෙන ලිපියක් කොළඹ මහනගර සභාවේ පුරපතොනිය රෝසි සේනානායක විසින් යොමුකර ඇත.
අදාළ ලිපිය පහත දැක්වෙයි.
මේ වන විට අප මුහුණදෙමින් සිටින්නේ මෙරට ඉතිහාසය තුළ අන්කවරදාකවත් මුහුණ නොදුන් ආකාරයේ බරපතල ආර්ථික සහ දේශපාලනික අර්බුදයට බව මා අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.
මේ තත්වය හේතුවෙන් නිර්මාණය වූ ආර්ථික සහ දේශපාලනික අස්ථාවරත්වය සමස්තයක් ලෙස රටේ සියලු පුරවැසියන්ගේ ජීවන පැවැත්ම අභියෝගයට ලක් කර තිබේ.
රෝහල් වල ඖෂධ නොමැත, දරුවන්ට කිරිපිටි නැත, ගෑස් , පෙට්‍රල් ඩීසල් , විදුලිය සැපයුම් සියල්ල අක්‍රිය වී ඇත. රට පුරා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයුම් ජාලය බිඳවැටෙමින් තිබේ.
හෙට දවසේ ජනතාවගේ ජීවිතය අවිනිශ්චිතය. රට පුරා ජනතාව පාරට බැස යුක්තිය යදිමින් සිටී. දිනෙන දින දිග්ගැස්සෙන පෝලිම්වල ඔවුන් තෙරපෙමින්, මිරිකෙමින්, දුක් විඳිමින් සිටී.
රටේ ආණ්ඩුව රටටත් ජනතාවටත් මේ වන අත්කර දී ඇති ඉරණම පිළිබද මම අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. නමුත් රටේ විපක්ෂය මේ මොහොතේ මෙම තීරණාත්මක ජාතික ගැටළුව වෙනුවෙන් මැදිහත් වීම පිළිබඳ කතා කිරීමට අපට අයිතියක් තිබේ.
මෙවැනි තීරණාත්මක අවස්ථාවක විපක්ෂය සිදු කලයුත්තේ කුමක්ද?
ගිලිහී යන බලය රැක ගැනීම වෙනුවෙන් රාජපක්ෂ ආණ්ඩුව මේ වන විට සුපුරුදු දේශපාලන දාදු ක්‍රීඩාවේ යෙදෙමින් සිටින බව රහසක් නොවේ.
මෙම තත්වය තුළ පසුගිය කාලයේ පැවති පාර්ලිමේන්තු විවාද වලින් රටේ මතුව ඇති සැබෑ අර්බුදය නිරාකරණය සඳහා ලද ප්‍රයෝජනය කුමක්දැයි යන්න අවංකවම ප්‍රශ්න කිරීමට දැන් කාළය උදා වී ඇත.
අරගලය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී විසඳුම් සෙවිය හැක්කේ ව්‍යවස්ථාදායකය තුළිනි. මේ මොහොතේ එහි භාරධුර වගකීම ඇත්තේ විපක්ෂනායකවරයා ප්‍රමුඛ විපක්ෂයටය.
නමුත් විපක්ෂය එම කාර්යභාරය ඉටුකරනු වෙනුවට අද සිදුකරමින් සිටින්නේ තවදුරටත් තම දේශපාලන කඳවුරු තුළටම සිරවෙමින් කටයුතු කිරීම පමණක් දැයි මට සිතේ.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය පක්ෂය යනු පක්ෂ දෙකක් නොව එකම මහා පවුලකින් වෙන්ව ගිය සොයුර සොයුරියන්ගෙන් සමන්විත තනි දේශපාලන බලවේගයක් බව එම පක්ෂ නියෝජනය කරන නායකකාරකාදීන් සිහිපත් කරදීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි.
ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතාවාදී පිරිස් ප්‍රමුඛව ආණ්ඩුවට එරෙහිව නැගී එන සියලු දේශපාලන පක්ෂ සහ බලවේගයන් සම්බන්ධීකරණය කරමින් රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන්, ඔවුන්ගේ සංවේදී අරගලය වෙනුවෙන් ව්‍යවස්ථාදායකය තුළ සිදුකළ හැකි තීරණාත්මක වෙනස්කම් සිදුකිරීමට විපක්ෂය දැන්වත් එකාමෙන් අත්වැල් බැඳ ගත යුතුය.
එම එක්වීම සඳහා තව දුරටත් කල් මරමින් සිටීමෙන් සිදුවන්නේ ඔබ බලයට පත් කිරීම වෙනුවෙන් කැපවුණු ජනතාව තවදුරටත් පීඩාවට පත්වීම පමණක් බව විපක්ෂය නියෝජනය කරන ඔබ සැමට අමතක වීම කණගාටුදායකය.
මේ වසර අවසානයට පෙර තවත් ඩොලර් බිලියන 7 ක ණය මුදලක් ගෙවා දැමීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ. ණය මුදල් නොගෙවීමට මහබැංකුව තීරණය කළ බව කිය වෙන්නේ ඒ අතරතුරය. එසේ නම් තව දුරටත් ජාත්‍යන්තරයෙන් ණය ලබා ගැනීමට ද ශ්‍රී ලංකාවට අසීරු තත්වයක් නිර්මාණය වනු ඇත.
එවැනි වාතාවරණයක් තුළ එදිනෙදා අවශ්‍යතාවයන් වෙනුවෙන් ඖෂධ ආහාරපාන ඉන්ධන අප ලබා ගන්නේ කෙසේද? ජනතාවට බඩගින්නේ මියැදෙන්නට දෙනවද?
පවතින වාතාවරණය තුළ අප්‍රේල් මාසය අවසන් වන විට නියත වශයෙන්ම රට තවදුරටත් අර්බුදයෙන් අර්බුදයට තල්ලූ වී යනු ඇත.
දූෂිත පාලකයන් ගේ ක්‍රියා කලාපය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර ආයතන සේම රටවල් ද ශ්‍රී ලංකාව දෙස බලන්නේ වපර ඇසිනි.
මේ තත්ත්වය වෙනස් කිරීමට නම් අප වහා රට තුළ විශ්වසනීයත්වය, මූල්‍ය විනය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමවේදයක් තහවුරු කළ යුතුව තිබේ.
ඒ වෙනුවෙන් ප්‍රමුඛ කාර්යභාරය ඉටුකිරීමේ වගකීම පැවරී ඇති විපක්ෂයේ සියළු දේශපාලන පක්ෂ එකට එක් වීමේ අවශ්‍යතාවය යළි යළිත් අවධාරණය කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.
අවස්ථාවාදී සහ අදූරදර්ශි දේශපාලකයින් විසින් රටේ වර්තමානය පමණක් නොව නුපන් පරපුර පවා ඛේදනීය ඉරණමකට ඇද දමා ඇති අවස්ථාවක විපක්ෂයක් ලෙස තමන්ට පැවරී ඇති අත්නොහැරිය හැකි සහ පැහැර හැරිය නොහැකි වගකීම වෙනුවෙන් මේ මොහොතේ කැපවිය යුතුය.
ප්‍රශ්න හමුවේ පොදු සම්මුතික වැඩ පිළිවෙලක් වෙනුවෙන් සියලු දෙනා එකට එක්ව විශ්වාසයෙන් අත්වැල් බැඳ ගනිමින් රටත් ජනතාවත් වෙනුවෙන් ශක්තිමත් ප්‍රවේශයක් සමගින් ඉදිරියට යනවාද? නැතිනම් බියෙන් මුළු ගැන්වී තැන තැන්වලට වී වගකීමෙන් පලා යනවාද? යන්න විපක්ෂයේ සියලු දෙනා දැන්වත් තීරණය කළ යුතුය.
එබැවින් මේ තීරණාත්මක අවස්ථාවේ සියළු භේද පසෙකලා එකාවන්ව පෙළගැසෙමින් මහජන නියෝජිතයින් ලෙස මාතෘ භූමියේත් ආදරණීය ජනතාවගේත් හෙට දවසේ තීරණාත්මක ඉරණම යහපත් කිරීම උදෙසා කැප වන්නට අප සියලු දෙනා අදිටන් ගතයුතු බව මගේ විශ්වාසයයි.
ඒ වෙනුවෙන් මහජන නියෝජිතයින් ලෙස අප දිවි හිමියෙන් කැපවෙමු.
රෝසි සේනනායක – පුරපති
කොළඹ මහනගර සභාව

ජන අරගලයට කැලණියෙන් පුස් වෙඩිල්ලක්
ආණ්ඩුවට විරෝධය පළ කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් විසින් කිරිබත්ගොඩ මංසන්ධියේ සංවිධානය කර තිබූ සත්‍යග්‍රහයකට ප්‍රදේශිය සභා පොහොට්ටු මන්ත්‍රීවරයෙකු පැමිණ පහරදීම සම්බන්ධයෙන් දැඩි මහජන විරෝධයක් එල්ල වී ඇති අතර අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්තඩංගුවට ගෙන තිබේ.
ආණ්ඩු පක්ෂයේ එම ප්‍රාදේශීය සභා මන්ත්‍රී සිසුන්ගේ අට්ටාලය කඩා දමා සිසුන්ට පහර දුන් අවස්ථාවේදී ඒ අසලින් ගමන් කළ කාන්තාවන් පවා මැදිහත් වී අදාළ දේශපාලුවා පන්නා දැමීමට ක්‍රියාකර තිබිණි.
එසේම ශිෂ්‍යයන් කිසිසේත් ප්‍රකෝප නොවී එම තත්වයට මුහුණ දුන් අතර අදාළ මැරයා අත්තඩංගුවට නොගතහොත් නුවර කොළඹ මාර්ගය වසා දමා දැවැන්ත විරෝධයක් ආරම්භ කරන බව පොලිසියට දැන්වීය.
අවසානයේ අදාල චූදිතයා අත්තඩංගුවට ගෙන තිබේ

ණය ගෙවීමට නොහැකිවීම : එජාපය තේරීම් කාරක සභාවක් ඉල්ලයි !
සියලුම විදේශ ණය ආපසු ගෙවීම පැහැර හරින බවට රජය විසින් කරන ලද නිවේදනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ.
මේ බව සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂය විසින් විශේෂ නිවේදනයක් නිකුත්කර ඇති අතර නිදහසින් පසු ශ්‍රී ලංකාව අපගේ ණය ආපසු ගෙවීමට ගරු කිරීම සම්බන්ධයෙන් නොකැළැල් වාර්තාවක් තබා ඇති බව සිහිපත් කරයි
දුෂ්කර අවස්ථාවලදිත් අපි ජාතියක් විදියට පටි තද කරගෙන ගෙවීම් කරලා තියෙන බව සඳහන් කරන එම නිවේදනය කෙසේ වෙතත් වත්මන් ආර්ථික අර්බුදයට ආණ්ඩුවේ වැරදි කළමනාකරණයේ ප්‍රතිඵලය හේතුවී තිබෙන බවත් අවධාරණය කර ඇත.
අදාළ නිවේදනය වැඩිදුරටත් මෙසේද පවසයි.
සියලුම බාහිර සේවා අත්හිටුවීම ණයවර ලිපි සඳහා පහසුකම් සැලසීම සඳහා විදේශ ණය ලබාගෙන ඇති බැංකුවලට මෙන්ම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (ISBs) දරන බැංකුවලට ද අනවශ්‍ය පීඩනයක් ගෙන එනු ඇත.
2020 වසරේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අපගේ මූල්‍ය බැඳීම් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගත යුතු බවට නිර්දේශ කර ඇත.
මෙම උපදෙස් අනුව ක්‍රියා කිරීමට බලධාරීන් ප්‍රමාද වීම මේ වන විට දිගහැරෙන අර්බුදයට හේතු වී ඇත.
එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු පිරිස කළ ප්‍රකාශ වලට අවනත වූයේ නම් මෙම අනතුර වළක්වා ගත හැකිව තිබුණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය යටතේ පාර්ලිමේන්තුවට රාජ්‍ය මූල්‍ය පාලනය ඇත.
අප්‍රේල් 19 වැනි දින පාර්ලිමේන්තුව රැස්වන විට මෙම තත්ත්වය ඇතිවීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව රජය සම්පූර්ණ පැහැදිලි කිරීමක් සභාවට ඉදිරිපත් කළ යුතුය.
එක්සත් ජාතික පක්ෂය ද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවන ලෙස ඉල්ලා සිටිනු ඇත.
IMF අරමුදල් සුරක්ෂිත කිරීමට පෙර මුදල් අවප්‍රමාණය කිරීමේ තීරණය මෙන්ම මෙම පැහැර හැරීමට තුඩු දී ඇති රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාද කිරීමට රජය ගත් තීරණය පිළිබඳව සොයා බැලීම ඔවුන්ට පැවරෙනු ඇත.
මධ්‍යම මාධ්‍ය ඒකකය
එක්සත් ජාතික පක්ෂය .

අර්බුදය විසඳීමට පුළුවන් : රනිල්ගෙන් සුබ පණිවිඩයක් ! (වීඩියෝ )
මතුව ඇති අර්බුදය විසඳීමට හැකි බවත් ඒ සඳහා ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
සියලුම විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීමට රජය ගත් තීරණය රට බංකොලොත් බව රජය විසින් නිවේදනය කිරීමක් යැයි ද ඔහු කියා සිටියි.
හිටපු අග්‍රාමාත්‍යවරයා එබව සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමිනි. එහි මෙසේ සඳහන් වේ.
රට බංකොලොත් !
“ශ්‍රී ලංකාවට ලබන සතියේ ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණයක් ගෙවීමට නොහැකි වී ඇති අතර, සියලුම විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීමට රජය තීරණය කර ඇත.
මෙය රටේ බැංකු ක්ෂේත්‍රයට තවදුරටත් පීඩනයක් එල්ල කරනු ඇත. මෙම තීරණය රට බංකොලොත් බව රජය විසින් නිවේදනය කිරීමකි.
වොෂින්ටනයට ගොස් පවතින තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමේ වගකීම දැන් නව මුදල් අමාත්‍යවරයා වෙත පැවරී ඇත.
මැයි මැද වන විට ඉන්දියානු ණය අවසන් වනු ඇත.
විදේශ විනිමය නොමැතිකම හේතුවෙන් ජුනි මාසය වන විට පෞද්ගලික ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි වනු ඇත.
රට බංකොලොත් වීමේ සම්පූර්ණ වගකීම මේ රජය භාරගත යුතුයි.
ඔවුන් දැන් කිසිදු කොන්දේසියකින් තොරව අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ සම්බන්ධ කර ගත යුතුය. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී විපක්ෂය ලෙස අපි ජනතාවගෙන් සමාව අයැද සිටියා අසාර්ථක වීම ගැන.
''කෙසේ වෙතත් මේ මොහොතේ මැතිවරණ හෝ ව්‍යවස්ථා සංශෝධන මගින් රටේ අර්බුදය විසඳෙන්නේ නැත. ''
රජය සමඟ සාකච්ඡා කර සැලැස්මක් සකස් කළ පසු කොන්දේසි සකස් කළ හැකියි.
සෑම කෙනෙකුටම සමාන ලෙස ඇහුම්කන් දීම අපගේ වගකීමකි.
ලෙබනනයේ IMF ගිවිසුම ඔවුන්ගේ අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මත රඳා පැවතුනි.
මෙය ශ්‍රී ලංකාවේද සිදුවිය යුතුය.
අපි ඉන්නේ ඉතාම අසීරු තත්ත්වයක.
අපි බංකොලොත් රටක් ලෙස පරණ අවුරුද්ද අවසන් කරනවා.
කොහොම වුණත් අපිට මේ අර්බුදය විසඳන්න පුළුවන්. ඒ සඳහා ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය වේ.
අපට දුෂ්කර කාල පරිච්ඡේදයකට මුහුණ දීමට සිදුවනු ඇත, නමුත් අප එයට මුහුණ දිය යුතුය. මේ අර්බුදය ජයගෙන අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපට පුළුවන්. නමුත් මෙය කළ හැක්කේ අප එක්ව සහ සැලැස්මකට අනුව වැඩ කළහොත් පමණි.
අපි බංකොලොත් ජාතියක් ලෙස මේ වසර අවසන් කරනවා, නමුත් අලුත් ගමනක් නව වසර ආරම්භ කරනවා.
හැමෝම එකතු වුණොත් මේක කරන්න පුළුවන්. ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් සුභ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා"

ඩොලරුත් නෑ - ගෑසුත් නෑ : දින 05 ට ලිට්‍රෝ වැහෙයි !
ලිට්රෝ සමාගම සතු ගෑස් තොග අවසන්වීම හේතුවෙන් මෙරට වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නැවතී ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට ඊයේ (12) වනදා සිට ගෑස් සැපයුම නැවතී ඇති ඊට හේතුව ලෙස සඳහන් වන්නේ ගෑස් ආනයනය කිරීම සඳහා මුදල් නොමැති වීමය.
ලිට්‍රෝ සමාගමේ ආරංචි සඳහන් කරන්නේ ගෑස් මිල වැඩි කිරීමට අවස්ථා ගණනාවකදී අවසර ඉල්ලුවද දිගින් දිගටම ගෑස් මිල වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය අවසර ලබා නොදීම හේතුවෙන් මේ වන විට සමාගම දැඩි අසීරුතාවට පත්ව ඇති බවය.
ඒ අනුව මේ වන විට මෙරටට ගෑස් ආනයනය කරන සමාගම වෙත ලබා දීමට ඇති ඩොලර් මිලියන 10ක ණය මුදල ගෙවා දැමීමෙන් පසුව පමණක් යළි ගෑස් ලබාදීමට එම සමාගම එකඟත්වය පළ කර ඇති බව පැවසේ.
මේ වන විට මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව එක්ව දේශීය බැංකුවකින් 16%ක පොලියකට ඩොලර් මිලියන 10ක ණයක් ඒ සඳහා ලබාගැනීමට කටයුතු සූදානම් කරමින් ඇති බවද වාර්තා වේ.
එම ණය මුදල කඩිනමින් ලබා ගැනීමට හැකි වුවහොත් බොහෝ විට එළඹෙන 18 වන සදුදා දින සිට යළි මෙරට වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමට හැකියාවක් පවතින බව ලිට්රෝ සමාගමේ ආරංචි මාර්ග පවසයි.

ශාන්ත දොට්ට : නිමල් උද්දික ඇතුළට !
ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග යළිත් සාකච්ඡා කිරීමට නම් පසුගියදා හදිසියේ රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් ලබාදුන් ශාන්ත බණ්ඩාර එම ධූරයෙන් ඉවත් කළ යුතු බවට කොන්දේසි පනවා ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් මේ වන විට පක්ෂ තීන්දුවට පිටින්ගොස් පස්සෙ දොරෙන් රාජ්‍ය අමාත්‍ය ධූරය ගැනීම හේතුවෙන් මේ වන විට ශාන්ත බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කර ඇති බවත් වාර්තා වෙයි.
නිමල්ට සෞඛ්‍ය : උද්දිකට සංස්කෘතික ?
මේ අතර ශ්‍රී නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල සිල්වාට සෞඛ්‍ය අමාත්‍ය ධුරයත් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට සංස්කෘතික අමාත්‍ය ධුරයත් ආණ්ඩුවේ පාර්ශවයෙන් යෝජනා කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පවසයි.
ඒ ආකාරයේ විවිධ වරදාන තනතුරු ලබාදීමට පොරොන්දු වෙමින් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම පිරිස් ආණ්ඩුවට එක් කර ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවටත් මන්ත්‍රීවරයා චෝදනා කරයි.
මන්ත්‍රීවරයා මේ අදහස් දක්වා සිටියේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.
බැසිල් රාජපක්ෂ ගේ උවමනාව මත සිදුකරන මෙම සඳහා සාකච්ඡා කිරීමට පැමිණෙන්නේ ජයන්ත කැටගොඩ, රේණුක පෙරේරා, සංජීව එදිරිමාන්න යන පිරිස් බවද ඔහු පවසන අතර රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ යන අයද ම මෙහෙයුමේ ක්‍රියාකාරීව සිටින බවද ඔහු කියා සිටියේය.

අගමැති ඇතුළු ආණ්ඩුව වහා ඉවත්විය යුතුයි - විමල්
අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව වහා ඉවත්විය යුතු බව ජතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.
පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ 11 මන්ත්‍රිවරුන් පිරිසක් අද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් වීරවංශ මේ බව සඳහන් කළේ ය.
”අපිට අග්‍රාමාත්‍යතුමා ගැන පෞද්ගලික විරුද්ධත්වයක් නෑ. එතුමා පැරදිච්ච වෙලාවෙත් එතුමා එක්ක හිටියෙ අපි. සහෝදරයා හිටියෙ නෑ.. මහින්ද රාජපක්ෂ එක්ක පුද්ගලික කෝන්තර නෑ. හැබැයි රටේ මහජනයා ඉදිරිපත් කරන අදහස අපි තේරුම් ගන්න ඕන”
වීරවංශ වැඩිදුරටත් සඳහන් කළේ, මේ වනවිට රටේ ආර්ථිකය ඉතා අසීරුතම අඩියට වැටී ඇති බවත් එවැනි තත්ත්වයක් උද්ගත වීමට පෙර රටේ ආර්ථිකය බේරා ගැනීමට ඉදිරිපත්වුව ද හිටපු මුදල් අමාත්‍යවරයා ඇතුළු පිරිස එය සැලකිල්ලට නොගත් බවයි.
ශාන්ත බණ්ඩාරට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා දීම සම්බන්ධයෙන් ද මෙහිදී වීරවංශ විවේචනාත්මකව අදහස් පළ කළ අතර දයාසිරි ජයසේකර ද මෙහිදී අදහස් පළ කළහ.

ගාලු මුවදොර පිරිස සමග සාකච්ඡා කිරීමට සූදානම් - අගමැති
ගාලු මුවදොර විරෝධතාවේ නිරත පිරිස සමග සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.
අග්‍රාමත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සමාජ,ආර්ථික හා දේශපාලන හේතු මත ගාලු මුවදොරට රැස්වී දැනට විරෝධතාවයේ නිරතවන පිරිස සමග සාකච්ඡාවකට අග්‍රාමාත්‍යවරයා සූදානම් බවයි.
ඒ අනුව රට හමුවේ මේ මොහොතේ පවතින අභියෝගය ජයගැනීම වෙනුවෙන් විරෝධතාවයේ නිරත පිරිස දක්වන වටිනා අදහස් සාකච්ඡාවට ලක්කිරීමට අපේක්ෂිත බව ද එහි සඳහන් ය.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, විරෝධතාවයේ නිරත පිරිස සාකච්ඡාව සඳහා සූදානම් නම්, අග්‍රාමාත්‍යවරයා එම පිරිසේ නියෝජිතයන්ට ඒ සඳහා ආරාධනා කරන බවයි.

ඉතිහාසයේ තවත් අඳුරුතම දවසක් ගැන හර්ෂ කියයි !
"ලංකාවට විදේශ ණය සේවාකරණය කරන්න හැකියාවක් නොමැති බවත් එය අත්හිටුවන බවත් මුදල් අමාත්‍යංශය ඊයේ (12) නිළ වශයෙන් කිව්වා. අපිට දැන් කරන්නම දෙයක් නැති නිසා තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ." යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරන අතර එහිදී වැඩිදුරටත් මෙසේද පවසා ඇත.
මේ නිසා, ඉදිරියේදී අපේ රටේ ජනතාවට, ව්‍යාපාරිකයන්ට ලොකු ගැටලු වලට මුහුණ දෙන්නට සිදුවේවි. ලැබෙන ඩොලර් ටික ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් යෙදවීමට ගත්ත තීරණය හොඳ එකක්. අපි ඉස්සෙල්ලම මේක කිව්වා. මුලින්ම අපි කිව්වේ ලංකාවට මෙහෙම යන්න බෑ කියලා. ඒක නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් සාකච්ඡා කරන්න කියල කිව්වා. එහෙම කිව්වේ මූල්‍ය අරමුදලෙන් ලබාගන්න පුලුවන් ඩොලර් බිලියන 03 ගැන හිතලම නෙවෙයි. මූල්‍ය අරමුදලට ගියවිට අපිට ජාත්‍යන්තරයේ ලැබෙන විශ්වාසය ගැන හිතලා. එහෙම විශ්වාසය ගොඩනගා ගත්තා නම් අපිට මූල්‍ය වෙළෙඳපොළින් ණය ගන්න තිබුණා.
මුලින්ම ඒ පියවර ගත්තා නම් මේ විදිහට ණය අත්හිටුවන්න වෙන්නෙ නෑ. ප්‍රශ්නෙ ඔඩු දුවාගෙන එනකොට අපි කිව්වා, දැන් ණය ගෙවන්න බෑ, ජනතාව පෝලිම්වල නොතියා ජනතා ප්‍රශ්න විසඳන්න කියලා. ඒකත් ඇහුවෙ නෑ. ණය ගෙවලා ජනතාව පෝලිම්වල තිබ්බා. අන්තිමට මොකද වුණේ? ණය අත්හිටුවන්න වුණා. එතකොට විදේශ සංචිත ඩොලර් බිලියන 5.5 ක් විතර විනාශ කරගත්තා.
මේ විදිහට කොච්චර ප්‍රශ්න ඇතිවුණාද? දැන් ඉතින් කරන්න තියෙන්නෙ මේක තමයි. මේ කඩා වැටීම ගැන මම හදවතින්ම දුක් වෙනවා. මම මේ අර්බුදයෙන් රට ගලවා ගැනීමට කරපු උත්සාහය ගඟට කපපු ඉණි වගේ අපතේ යෑම ගැන දුක් වෙනවා. හැබැයි, මම අවධාරණය කරල කියන්නේ මේ විනාශයට ලංකාව ඇදල දාපු අයට නිසි දඬුවම් දිය යුතුයි.

ශ්‍රී ලංකා රග්බි ආසියාවෙන් හැලෙයි
ශ්‍රී ලංකා රග්බි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට ආසියානු රග්බි විධායක කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජාතික ඔලිම්පික් කමිටුව කළ දැනුම් දීමකින් අනතුරුව ඔවුන් එම තීරණය ගත් බව ආසියානු රග්බි විධායක කමිටුව ට්ව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත.

දේශපාලනඥයින්ගේ වැඩ ගැන : මහනාහිමිවරුන් කනස්සල්ලෙන් !
රටේ වගකිවයුතු දේශපාලනඥයින් සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් බරපතළ කනස්සල්ල පළකර ඇත.
ඒ බව සඳහන් කර ඇත්තේ ත්‍රෛනිකායික මහා නායක හිමිරු ප්‍රමුඛ මහා සංඝරත්නය මහනුවර මල්වතු මහා විහාරයට රැස්ව පවත්නා අර්බුදය ගැන දීර්ඝ ලෙස සාකාච්ඡා කිරීමෙන් අනතුරුව නිකුත්කළ විශේෂ ප්‍රකාශයේය.
පාර්ලිමේන්තුව තුළ දින තුනක විවාදයක් පවත්වා වගකිව යුතු මහජන නියෝජිතයන් පවත්නා සමාජ,ආර්ථික, දේශපාලනික අර්බුදයනට පැහැදිලි විසැදුම් ඉදිරිපත් කරනු ඇති බවට අපෙක්ෂා කළ ද ජනතා අභිලාෂයන් නොසලකා වගකීම් විරහිතව කටයුතු කළ ආකාරය ගැන ත්‍රෛනිකායික මහ සංඝරත්නය දැඩි කණගාටුව පළ කරන බව එහි සඳහන් ය.
අදාළ විශේෂ ප්‍රකාශය පහත දැක්වෙයි.

අලුත් මහ බැංකු අධිපති හරි : හර්ෂ ප්‍රසිද්ධියේ කියයි !
නව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ නිවැරදි බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර එහිදී මෙසේද පැවසීය.
‘රුපියල බේරාගැනීමට නම් අළුත් මහ බැංකු අධිපතිවරයා විසින් මුලින්ම කළ යුත්තේ ප්‍රතිපත්ති පොලී අනුපාතය වැඩිකිරීම යැයි මා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා. මා මෙසේ ප්‍රකාශ කළේ ආර්ථික විද්‍යාත්මකව මෙම අර්බුදය කළමනාකරණය කළ යුත්තේ කෙසේදැයි තාක්ෂණිකව අදහස් දක්වමින්.
මා කළ කතාවෙන් පැය කිහිපයකට පසුව අළුත් මහ බැංකු අධිපතිවරයා සහ මුදල් මණ්ඩලය විසින් තැන්පතු පොලී අනුපාතය 13.5% ක් දක්වාත් ණය දෙන පොලී අනුපාතය 14.5% ක් දක්වාත් වැඩිකර තිබෙනවා.
මහ බැංකු අධිපතිවරයාගේ දැක්ම වඩාත් නිවැරදි එකක්වීම සුබ ලකුණක් යැයි මා සඳහන් කරන්නට කැමතියි. මීට පෙර සිටි අධිපතිවරයාට අපි කොතෙක් දෑ කිව්වද එය බීරි අලින්ට වීණා වාදනය කිරීමක් වුණා’

පක්ෂයට ද්‍රෝහිවූ ශාන්ත : ශ්‍රීලනිපයෙන් දොට්ට !
කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ලෙස දිවුරුම් දුන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට දමා ඇත.
එසේම ඔහු දැරූ සියලු තනතුරුවලින් වහාම ඉවත් කිරිමටත් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන තීරණය කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගියදා තීන්දුවක් ගෙන තිබුණේ ආණ්ඩුවට සහය දීමෙන් ඉවත්ව ස්වාධීන වීමටය. ඒ සමග පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද ස්වාධීන වූ අතර එහිදී ආණ්ඩුවේ සරල බහුතරයත් අහිමිවන තත්ත්වයක් නිර්මාණය විය.
එයින් ආණ්ඩුව බේරාගැනීමට මේ වන විට මුදල් සහ විවිධ වරදාන දෙමින් මන්ත්‍රීවරුන් ට ලංසු තැබීමක්ද ආරම්භවී ඇති බවට විවිධ ආරංචි දේශපාලන ක්ශේත්‍රයේ පළවෙමින් තිබේ.
Page 345 of 464