‘මාධ්‍යවේදීන්ට හිමි වරප්‍රසාද රාජ්‍ය නිලධාරීන් කොල්ලකාලා’- රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

‘මාධ්‍යවේදීන්ට හිමි වරප්‍රසාද රාජ්‍ය නිලධාරීන් කොල්ලකාලා’- රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

ජනමාධ්‍යවේදීන්ට ලැබිය යුතු ශිෂ්‍යත්ව, විදේශ සංචාර හා රක්ෂණාවරණ පසුගිය කාලයේදී වැඩි වශයෙන් ලබාගත්තේ රජයේ නිලධාරීන් හා ජනමාධ්‍ය හැඳුනුම්පත හොර පාරෙන් ලබාගත් පිරිසක් යැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර පැවසීය.

රජයේ මාධ්‍ය හැඳුනුම්පත ලබා දීම සඳහා ප්‍රමිතිගත නිර්ණායක ඉදිරිපත් කළ පසු ගිය වසරට සාපේක්ෂව අයැදුම්පත් සංඛ්‍යාව 3,500කින් පමණ අඩු වීමෙන් මේ කරුණ පැහැදිලි වන්නේ යැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

රජයේ මාධ්‍ය හැඳුනුම්පත කලක් තිස්සේ ශිෂ්‍යත්ව හා රක්ෂණාවරණ ආදී වරප්‍රසාද ලබා ගැනීම සඳහා අවභාවිත වී ඇතැයිද එසේ සුදුසුකම් නොමැතිව කලක් තිස්සේ හැඳුනුම්පත් ලබා ගත් පිරිස මෙම නිර්ණායක හඳුන්වා දීමෙන් පසු අඩුවන්නට ඇති බවට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කරන්නේ යැයි ද ඔහු අවධාරණය කළේ ය.

2025 වසරට ද වලංගු වන සේ ලබාදුන් මාධ්‍ය හැඳුනුම්පත් 685ක් හැරුණු විට 2024 වසරේ දෙසැම්බර් 31 වන දායින් අවලංගු වූ මාධ්‍ය හැඳුනුම්පත් සංඛ්‍යාව 7,300ක් වන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

නව නිර්ණායක අනුව අමාත්‍යාංශවල පෞද්ගලික කාර්ය මණ්ඩලවලට හා රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලවලටද මාධ්‍ය හැඳුනුම්පත් ලබා දුන්නේ නැතැයි කී හෙතෙම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ට හා අමාත්‍යාංශවල මාධ්‍ය ලේකම්වරුන්ට මෙතෙක් කලක් මාධ්‍ය පරිපාලක වශයෙන් දුන් හැඳුනුම්පතද මේ වසරේ නිකුත් නොකළේ යැයි කීවේ ය.

මෙසේ ප්‍රමිතිගත නිර්ණායක හඳුන්වා දුන්නේ ද මාධ්‍යවේදීන් සමග කළ සාකච්ඡාවලින් පසුව බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

තොරතුරු එකතු කිරීමේ හා දැනුම් දීමේ කාර්යයේ නිරත පිරිස්වලට මාධ්‍ය හැඳුනුම්පත ලබා දීම සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇතැයි ද එම තත්ත්වයන්ට අදාළව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මානව හිමිකම් කොමිෂන් සභාවට කළ පැමිණිල්ලක් දැනට විභාග වෙමින් ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

මානව හිමිකම් කොමිෂන් සභාව ඊට අදාළව දෙන නිර්දේශ අනුව දැනට පවතින නිර්ණායක සරල කිරීමට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සූදානම් බව ත් එසේ අලුතින් නිකුත් කරන මාධ්‍ය හැඳුනුම්පත්ද එකතු වූ විට උපරිමය 5000ක් පමණ වීමට ඉඩ ඇති බව ත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරට ත් පැවසීය.

( mawbima | Bingun Menaka Gamage)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න