පුවත්

ආත්මාර්ථකාමීත්වය රජ කරන නිසා පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙලිදරව් කර ගැනීමට නොහැකි වෙලා - කාදිනල් හිමි
පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙලිදරව් කර ගැනීමට හා වින්දිතයන්ට යුක්තිය ඉටුකර ගැනීමට නොහැකි වී තිබන්නේ ආත්මාර්ථකාමීත්වය රජ කරන නිසා බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි පවසති.
කාදිනල්වරයා මේ බව සඳහන් කළේ නත්තල් දින ප්‍රධාන දේව මෙහෙයට සහභාගිවෙමිනි.
මෙවර නත්තල් දින ප්‍රධාන දේව මෙහෙය තේවත්ත ලංකා අප ස්වාමිදූගේ ජාතික බැසිලිකාවේදී පැවැත්විණි.
රට දියුණු කිරීමට නම් සමාජ පරිවර්තනයක් හා විප්ලවීය වෙනසක් සිදුවිය යුතු බවත් පවතින ගමන් මාර්ගය වෙනස් කිරීම අනිවාර්ය බවත් කොළඹ අගරදගුරුවරයා සඳහන් කරයි.
සැබෑ නත්තල යනු කා-බී ජොලි කිරීම නොව ගව මඩුවේ සහ කුරුසියේ පණිවුඩය තේරුම් ගෙන එකිනෙකාට උපකාර කරගනිමින් කටයුතු කිරීම බවද කාදිනල් හිමි පෙන්වා දෙයි.

ජනාධිපති ඇන්දූ හතර දෙනෙක් ගැන හිටපු ලේකම් කියන කතාව
සමස්ත ශ්‍රී ලංකාවම මහත් අර්බුදයකට ඇද දමා මෙරට ගොවිතැන එකරැයින් කාබනික ගොවිතැනකට හැරවීමේ තීන්දුව මෝඩ තීන්දුවක් බව පසුගියදා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් තනතුරින් ඉවත් කරනු ලැබූ මහාචාර්ය උදිත ජයසිංහ පවසයි.
ජනාධිපතිවරයාට මෙම තීන්දුව ගැනීමට පොළඹවනු ලැබුවේ පුද්ගලයින් හතර දෙනෙකු විසින් බවයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, සබරගමු විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය ප්‍රියන්ත යාපා, පසු අස්වනු කළමනාකරණ ආයතනයේ සභාපති පාලිත වීරක්කොඩි යන අය ඊට වගකිව යුතු බවයි. ඉදිරියේදී අනිවාර්යයෙන්ම රට තුළ සාගතයක් ඇති වන බවත් එහි වගකීම මෙම උපදේශකයින් හතර දෙනා විසින් භාරගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඔහු අදහස් දක්වමින් කවුරු කුමක් කීවද අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු බවත් ජනාධිපතිට වුවද යමක් පැවසීමේ සීමාවක් ඇතැයි පවසයි. චීනය සමග සිදු කළ පොහොර ගනුදෙනුව අතිශයින්ම සැකසහිත බව පවසන හිටපු ලේකම්වරයා චීනය ගැන සිතා පොහොර ගැන සානුකම්පිතව බලන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලීම් කළත් තමන් ඊට අකමැති වූ බව ඔහු පවසයි.
කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් තනතුරින් පසුගියදා ඉවත් කරනු ලැබූ මහාචාර්ය උදිත ජයසිංහ මේ අදහස් පළකර සිටියේ අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.

ජවිපෙ ශ්‍රීලනිපයට කොකා පෙන්නයි !
දේශපාලන පක්ෂ සමග සන්ධානගතවීමකට ජනතා විමුක්ති පෙරමුණේ සූදානමක් නැතැයි එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පවසයි.
ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානගතවීමට සුදානම් බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පෙරේදා සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා ඊයේ මේ බව අවධාරණය කළේය.
නිදහස් පක්ෂ මහලේකම්වරයාගේ යෝජනාවට ස්තූතිය පුදන බවත්, එහෙත් වෙනත් දේශපාලන පක්ෂ සමග සන්ධානගත වීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් මේ දක්වා ගෙන නොමැති බවත් පවසන ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා, එහෙත් වෙනත් පක්ෂවල දුෂිතයින් නොවන පුද්ගලයින් ඒකරාශිකර ගැනීමට සුදානම් බවද කියා සිටියේය.

කොරෝනා මරණ 14,852 ක් දක්වා ඉහළට
තවත් කොවිඩ් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (23) තහවුරු කර ඇති බවය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,852කි.

කොවිඩ් නිසා පිරිමි වඳ වෙයිද?
කොවිඩ් වසංගත තත්ත්වය ඇරඹී වසර දෙකකුත් සම්පූර්ණ වන විට, කොවිඩ් රෝගයෙන් පුරුෂයින්ගේ සරුභාවයට ඇතිවිය හැකි බලපෑමක් අනාවරණය වී තිබේ.
කොවිඩ්-19ට එරෙහි එන්නත මඟින් සරුභාවය අඩුවනු ඇතැ යි හෝ නැතිව යනු ඇතැ යි බියෙන් එන්නත ලබා නොගත් පිරිසක් ද සිටියත්, මෑතක දී ප්‍රකාශයට පත්කෙරුණු නවතම අධ්‍යයනයකින් පෙනී යන්නේ කොවිඩ් රෝගය වැළඳුණු පුරුෂයින්ගේ සරුභාවය විශාල වශයෙන් අඩුවනබව යි.
කොවිඩ් ආසාදනය වී සුවවූ බෙල්ජියම් ජාතික පුරුෂයින් 120 දෙනෙකු සහභාගීකර ගෙන සිදුකළ පර්යේෂණයෙන් පෙනීගොස් ඇත්තේ, කොවිඩ් ආසාදනයෙන් මසකට අඩු කාලයකින් පරීක්‍ෂා කළ විට පර්යේෂණයට සහභාගී වූවන්ගෙන් 60%කගේ ශුක්‍රාණුවල මධ්‍යන්‍ය චාලක හැකියාව අඩු වී තිබූබව යි.
කොවිඩ් ආසාදනය වීමෙන් මාස එකේ සිට දෙක දක්වා කාලයක් තුළ පරීක්‍ෂා කළ විට ශුක්‍රාණුවල චාලක හැකියාව අඩු පිරිමින්ගේ ප්‍රතිශතය 37%ක් වූ අතර, මාස දෙකකට පමණ පසු මෙම අගය 28%ක් විය.
මෙම අධ්‍යයනය මඟින් අනාවරණයකර ගත් තවත් කරුණක් නම් කොවිඩ් ආසාදනයෙන් පසු පුරුෂයින්ගේ ශුක්‍ර තරලයේ අඩංගු ශුක්‍රාණු ගණත්වය ද පහළ බසින වග යි.
කොවිඩ් ආසාදනය වී මසක් තුළ පරීක්‍ෂා කළ විට, පර්යේෂණයට සහභාගී වූ පිරිමින්ගෙන් 37%කගේ මධ්‍ය ශුක්‍රාණු ප්‍රමාණය ද පහළ බැස ඇතිබව නිරීක්ෂණය කෙරිණි.
රෝගය ආසාදනයෙන් මාස එකේ සිට දෙක දක්වා කාලයක් තුළ පරීක්‍ෂා කළ විට පිරිමින්ගෙන් 29%ක් දෙනාගේ ශුක්‍රාණු ගණත්වය අඩුවී තිබූබව ද, මාස දෙකකට පසුව ද පිරිමින්ගෙන් 6%කගේ ශුක්‍රාණු ගණත්වය අඩුවූබව ද පර්යේෂකයින් විසින් අනාවරණය කෙරිණි.
උණ රෝගයන් හේතුවෙන් ශරීරයේ ඇතිවන උෂ්ණත්ව වෙනස්වීම් නිසා ඉන්ෆ්ලුවෙන්සා වැනි වෛරස් ආසාදන තත්ත්වයන්ගෙන් පසුව ද මෙසේ ශුක්‍රාණුවල ගුණාත්මකභාවයේ අඩුවීම් නිරීක්ෂණය කළ හැකිවුවත්, කොවිඩ් ආසාදනය සම්බන්ධයෙන් ගත්කල උණ හේතුවෙන් සිරුරේ උෂ්ණත්වය ඉහළ යාමට වඩා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇතැම් ක්‍රියාකාරීත්වයන් නිසා මෙසේ සිදුවනු විය හැකිබවට පර්යේෂකයින් මත පළකරයි.
පර්යේෂකයින් ඇස්තමේන්තුගත කරන්නේ මෙම ගැටලුව මාස තුනක් වැනි කාලයක් තුළ සාමාන්‍ය අතට හැරෙනු ඇතිබව යි.
කෙසේ නමුත්, මෙය තහවුරුකර ගැනීමටත්, පිරිමින්ගෙන් සුළුතරයකට හෝ ස්ථිර හානියක් සිදුව ඇත්ද යන්න නිශ්චය කිරීමටත් වැඩිදුර අධ්‍යයනයන් සිදුවෙමින් පවතියි.
පසුගිය මැයි මාසයේ ද කොවිඩ් සහ පුරුෂයින්ගේ සරුභාවය සම්බන්ධ පර්යේෂණ පත්‍රිකාවක් 'ඒෂියන් ජර්නල් ඔෆ් ඇන්ඩ්‍රොලොජි' සඟරාවේ පළවිය.
කොවිඩ් වැළඳී සුවවූ පුරුෂයින් 41 දෙනෙකු යොදාගෙන සිදුකළ එම පරීක්ෂණයෙන් ද හෙළිවූයේ, කොවිඩ්-19 වැළඳී නැති පාලක කණ්ඩායම සමග සසඳන විට කොවිඩ් වැළඳී ඇති පුද්ගලයින්ගේ මුළු ශුක්‍රාණු සංඛ්‍යාව, ශුක්‍රාණු සාන්ද්‍රණය, සහ ක්‍රමානුකූලව චලනය වන ශුක්‍රාණුවල ප්‍රතිශතය සැලකිය යුතු ලෙස අඩුව තිබූබව යි.
මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ කොවිඩ් සුවවී රෝහලෙන් පිටවීමෙන් දින 56ක පමණ කාලයකින් පසු ය.
ඉන් දින 29කට පසු දෙවන වර පරීක්ෂා කළ විට මෙම අගයන් සාපේක්ෂ වශයෙන් ඉහළගොස් තිබූබව ද පර්යේෂකයින් සඳහන් කරයි.
පිරිමින්ගේ සරුභාවය ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන අන්දමට පුරුෂයින්ගේ නිසරුභාවයට බහුලවම බලපානා හේතූන් වන්නේ ශුක්‍රාණු පිටකිරීමේ ගැටලු, ශුක්‍ර තරලයේ ශුක්‍රාණු අඩංගු නොවීම හෝ ඉතා අඩු ප්‍රමාණයකින් අඩංගු වීම, සහ ශුක්‍රාණුවේ අසාමාන්‍ය හැඩය හෝ චලිතය යි.
ජනවාරියේ දී ලැන්සට් වෛද්‍ය සඟරාවේ පළවූ ලිපියකට අනුව, ලොව පුරා නිසරුභාවයෙන් පීඩා විඳින යුවල සංඛ්‍යාවෙන් 50%කම පාහේ නිසරුභාවයට පුරුෂයාගේ නිසරුබව හේතු වී හෝ දායක වී ඇත.
BBC

වෛද්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
දින 04 ක් පුරා පැවති දීප ව්‍යාප්ත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද සඳහන් කළේ, අද (24) පස්වරුවේ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් පසු එම තීරණයට එළැඹී බවයි.
වෛද්‍ය පත්වීම්වලට දේශපාලන මැදිහත්වීම් සිදුකරණ බව පවසමින් ඊට විරෝධය පළකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය අඟහරුවාදා දිනයේ සිට එම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරිණි.
වෛද්‍ය වර්ජනය හේතුවෙන් අද දිනයේද රෝගීන් දුෂ්කරතාවට පත්වුණි.

අභියාචනාධිකරණයට නව විනිසුරුවරයෙක්
අභියාචනාධිකරණ නව විනිසුරුවරයෙකු ලෙස විකුම් අතුල කළුආරච්චි අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී ඇත.
අද (24) පෙරවරුවේ කළුආරච්චිගේ දිවුරුම් දීම සිදුව ඇත්තේ, ජනාධිපති කාර්යාලයේදී ය.
අභියාචනාධිකරණ විනිසුරු, දේවිකා අබේරත්න විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා මෙම පත් කිරීම සිදු කර තිබේ.
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන විකුම් අතුල කළුආරච්චි කොළඹ නීති විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා නීතිඥ වෘත්තියට පිවිසියේ ය.
විකුම් අතුල කළුආරච්චිගේ වසර 33ක සේවා කාලයෙන් වසර 27ක් මහේස්ත්‍රාත්වරයෙකු, දිසා විනිසුරුවරයෙකු, අපරාධ මහාධිකරණයේ සහ සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබේ. ඒ මහතා මහාධිකරණයේ හිටපු ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරාය ද වේ.
ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මේ අවස්ථාවට එක්ව සිට ඇත.

අගමැති තිරුපති වැඳපුදා ගනී
අගමැති මහින්ද රාජපක්ෂ අද උදෑසන තිරුපති දේවස්ථානයේ ආගමික වතාවත්වල නිරත විය.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ තිරුපති දේවස්ථානයට ගොස් සිටි අවස්ථාවේදී දැඩි ආරක්ෂාවක් ද ලබා දී තිබූ බවයි.
අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස ඊයේ (23) ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත්තේ, දෙදින සංචාරයක් සඳහායි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස ඊයේ පෙරවරුවේ තිරුපති ගුවන්න්තොටුපොළට ළඟාවිය.
අග්‍රාමාත්‍යවරයා සමග මෙම සංචාරය සඳහා අග්‍රාමාත්‍ය බිරිඳ ශිරන්ති රාජපක්ෂ ය ඇතුළු පවුලේ සාමාජිකයින් කිහිපදෙනක් ද සහභාගී වී සිටිති.

ලිඛිත විසඳුමක් ලැබෙන තුරු දීපව්‍යාප්ත වැඩ වර්ජනය ක්‍රියාත්මකයි
පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම මාරු මණ්ඩලය හරහා සිදු නොකිරීමට විරෝධය පළකිරීම ඇතුළු ඉල්ලීම් 07 ක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අද (22) දෙවන දිනටත් ක්‍රියාත්මක විය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව පැවසුවේ, සිය ඉල්ලීම්වලට අදාළව මේ අදක්වා සිය සංගමයට රජයෙන් ප්‍රධාන සාකච්ඡාවක් ලැබී නොමැති බවයි.
කෙසේ වෙතත් ඊයේ දිනයේ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මූලිකත්වයෙන් සාකච්ඡාවක් පැවති බවත් එහිදී මූලික කාරණා 05ක් පිළිඳව දීර්ඝව සාකච්ඡා වූ බව ත් වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා සඳහන් කළේය.
වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, එම මූලික සාකච්ඡාවකට අදාළව නිශ්චිත පිළිතුරක් ලැබෙන තෙක් බලා සිටින බවයි.
මේ අතර වර්ජනය ක්‍රියාත්මක වුව ද හදිසි ප්‍රතිකාර සේවා අඛණ්ඩව ක්‍රියාත්මක් බව වෛද්‍ය චන්දික එපිටකඩුව වැඩිදුරටත් සඳහන් කළේ ය.
කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ මෙම දීප ව්‍යාප්ත වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල රෝගීහු දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.
තවද, සිය ඉල්ලීම් සඳහා ලිඛිත විසඳුමක් ලැබෙන තුරු දීපව්‍යාප්ත වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සඳහන් කළේය.
කෙසේවෙතත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම සෞඛ්‍ය අමාත්‍යාංශය නිවැරදිව සිදුකර ඇති බවය.

කොරෝනා මරණ 14,832 ක් දක්වා ඉහළට
ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 21ක් වාර්තා වී තිබේ.
එම මරණ අතර පිරිමි පුද්ගලයින් 14දෙනෙකු සහ කාන්තාවත් 07දෙනෙකු සිටී.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 14,832ක් දක්වා ඉහළගොස් ඇත.

ජල, විදුලි ගාස්තුත් වැඩිවන ලකුණු!
ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ ජල සහ විදුලි බිල් වැඩි කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බවත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ සකච්ඡා පවත්වා ඇති බවත් වාර්තා වේ.
ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග විදුලි නිෂ්පාදනයට සහ පානිය ජල පිරිපහදු කිරීමට එය බලපාන බැවින් එම සැපයුම්වල ගාස්තු ඉහළ දැමීය යුතු බවට අණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡා සිදුව ඇති බව පැවසේ. මෙම තත්වයට සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු අඩාල වී දැවිතෙල් අවම වීමත් බලපා ඇතැයි එහිදී සාකච්ඡා වී ඇතැයි පැවසේ.
කොවිඩ් වසංගතයෙන්, ආණ්ඩුවේ පාලනයක් නොමැතිව අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැමීමෙන්, ඉන්ධන මිල දරාගත නොහැකි ලෙස ඉහළ දැමීමෙන් මෙන්ම ගෑස් වංචාවෙන්ද ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින අතර ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ජනතා විරෝධයක් එල්ල වෙමින් පවතී.
එවන් තත්වයක් තුළදීත් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසන්නේ විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදුකළ හොත් ජල ගාස්තු ඉහල දැමීමට අවධානය යොමු කළ යුතුව ඇති බවයි. තවද අඩු පරිභෝජනය සිදු කරන පාරිභෝගිකයන්ගේ ගාස්තු වැඩි නොකර ඉහළ පරිභෝජනය සිදු කරන අයගේ ගාස්තු ඉහල දැමීමට එහිදී අවධානයක් යොමුකරන බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

ග්‍රෙගරි වැව හිස් වුණේ ඇයි?
ඇවිදින මංතීරුවක් ඉදිකිරීම සඳහා නුවරඑළිය ග්‍රෙගරි වැව මේ දිනවල හිස් කර තිබෙන බව වාර්තා වෙයි.
මේ නිසා තමන් දැඩි පීඩාවට පත්ව සිටින බව ග්‍රෙගරි වැව සංචාරක බෝට්ටුකරුවන්ගේ සංගමය පවසයි.=
උත්සව සමයේදී දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයෙහි නිරත වන අතර එවැනි කාල සමයක මෙවැනි පියවරක් ගැනීම බලවත් අසාධාරණයක් බව බෝට්ටුකරුවන් පෙන්වා දෙයි.
නුවරඑළිය මහ නගර සභාව යටතේ පාලනය වන ග්‍රෙගරි වැව හිස්කර තිබෙන්නේ ඊයේ දිනයේදීයි.
කොවිඩ් අවදානම හේතුවෙන් ග්‍රෙගරි වැව ආශ්‍රිතව රැකියාවල නිරතව සිටි පුද්ගලයන්ට වසරකට වැඩි කාලයක් තිස්සේ කිසිදු ආදායමක් ලබා ගැනීමට නොහැකි වූ අතර වසංගත තත්වය ක්‍රමයෙන් පහව යාමත් සමග මේ වනවිට යළිත් නුවරඑළිය සංචාරකයන් බහුල ප්‍රදේශයක් වී තිබේ. එසේ තිබියදී හදිසියේ මහ නගර සභාව ග්‍රෙගරි වැව ආශ්‍රිතව සංවර්ධන කටයුතු ආරම්භ කිරීම නිසා රැකියාවල නිරත වූ පුද්ගලයන්ට තවදුරටත් කිසිදු ආදායමක් නොමැතිව සිටීමට සිදුව තිබේ.

ආහාර හිඟයක් ගැන කියූ කෘෂිකර්ම ලේකම් : ක්ෂණිකව ගෙදර !
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක පත් කර ඇත.
ජනපති ගෝටාභය රාජපක්‍ෂ විසින් මෙම පත් කිරිම සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායක පවසයි.
මහාචාර්ය උදිත් ජයසිංහ මෙතෙක් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ලෙස කටයුතු කරනු ලැබීය.
ඔහු ඊයේ (21) දිනයේ මාධ්‍ය වෙත කියා සිටියේ ඉදිරි ආහාර හිගයකදී අත්‍යවශ්‍යම අයට ආහාර දී අනෙක් අයට සීමා කරන බවයි.
මේ අතර ජනවාරි මස පළමුවැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස අනුෂ පැල්පිට මහතා පත් කර ඇත.
කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම් කිව්වදේ !
ගෙදර යන්න සිදුවූ කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් පවසා තිබුණේ "අද වන විට රට තුළ ඇති අර්බුද හේතුවෙන් ආහාර හිඟයක් ඇතිවීමට ඉඩ තිබෙන බවයි.
කිසියම් ලෙසකින් ආහාර අර්බුදයක් ඇති වුවහොත් ආහාර හුවමාරු ක්‍රමවේදයකට යා යුතු බවත් එනම් අප සතුව බඩඉරිඟු අතිරික්තකයක් ඇති නම් වෙනත් රටකින් ඊට සරිලන වෙනත් ආහාර ප්‍රමාණයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිය හැකි බවත් ඔහු පවසා තිබිණ.
ආහාර අර්බුදයකට රට පත් වුවහොත් ආහාර අත්‍යවශ්‍යම කාණ්ඩ වන ගැබිනියන්, මව්වරුන්, දරුවන්, රෝගීන් සදහා ප්‍රමුඛතාව ලබා දී තරුණයින් වැනි කාණ්ඩ ආහාර අවම කිරීමේ වැඩපිලිවෙලකට යොමු වෙමින් කැප කිරීමක් කල යුතු බවත් ඔහු සදහන් කර ඇත.
අත්‍යවශ්‍ය නොවන ආහාරපාන ආනයනය සීමා කර කිරිපිටි ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍යව පමණක් ආනයනයට අවධානය යොමු කිරීම උචිත බවත් හෙතෙම පෙන්වාදී ඇත.
කෙසේ වෙතත් ජනතාවට ආහාර හිඟයක් ඇති කිරීමට තුන් හිතක හෝ උවමනාවක් නැති බවත ලේකම්වරයා වැඩිදුරටත් පවසා ඇත.

ලෝක තෙල් මිල පහලට යනවිට : ලංකාව වැඩිකරේ ඇයි ? පාඨලී
"ආණ්ඩුව තෙල් මිල වැඩිකර ඇත. ඒ මේ දිනවල ලෝක වෙළෙඳ පොලේ තෙල් මිල අඩුවෙමින් පවතිද්දී ය. තෙල් මිල අඩු වීමට බටහිර ලෝකයේ කොවිඩ් වසංගතයත්, එක්සත් ජනපදය, චීනය හා ඉන්දියාව තම තෙල් සංචිත වලින් කොටසක් වෙළෙඳ පොලට දැමීමත් හේතු විය." යයි සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
ඒ විශේෂ නිවේදනයක් නිකුත්කරමින් ය.
එහි මෙසේද සඳහන් කර ඇත.
2021 දෙසැම්බර් මස පෙට්‍රල් 92 හා 95 සාමාන්‍යයෙන් ගෙනවිත් ඇත්තේ තෙල් බැරලය ඩොලර් 85 කටය. (දෙසැම්බර් 15 දා 92 පෙට්‍රල් ඩොලර් 84.81 කටත් 95 පෙට්‍රල් ඩොලර් 87.260 කටත් ලෙසය). එනම් බැරලය සාමාන්‍යයෙන් රුපියල් 17,255/= කටය. (නිල ඩොලරයක අගය රු. 203 ලෙස ගෙන). ඒ අනුව සාමාන්‍යයෙන් පෙට්‍රල් ලීටරයක් මිල රු. 108/= කි. ඒ අනුව 92 පෙට්‍රල් ලීටරයකින් ලැබෙන ලාභය රුපියල් 69/= ක් හා 95 පෙට්‍රල් ලීටයකින් ලැබෙන ලාභය රුපියල් 99/= කි.
ප්‍රවාහන වියදම්, සංස්ථාවේ වියදම්, අලෙවිකරුවන්ගේ වියදම් සියල්ල ලීටරයකට රු. 10/= ලෙස ගතහොත් පෙට්‍රල් ලීටරයකින් (92) රුපියල් 59/= ක් හා පෙට්‍රල් (95) ලීටරයකින් රුපියල් 89/= ක් ලාභ ඇත. මේ මුදල් කාර් රේස් පැදීමට බේබිලාට යන වියදම් ආදිය සඳහා ජනතාව ගෙවනු ඇත.
ඩීසල් වර්ග දෙක ද දෙසැම්බර් මස ගෙන්වා ඇත්තේ සාමාන්‍යයෙන් ඩොලර් 85 කට ය.
එනම් ඩීසල් වර්ග දෙකෙන් ද පිළිවෙලින් රු. 26/= ක් හා රු. 41/= ක් බැගින් ශුද්ධ ලාභයක් ඇත. එයින් ද රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ගේ සුපිරි ජීවිත සදහා ගෙවීමට ජනතාවට සිදුවනු ඇත.
ඉන්ධන මිල වැඩිකළ හැක්කේ විෂයභාර අමාත්‍යවරයාට මුදල් ඇමතිගේ අනුමැතිය ඇතිව ය.මිල වැඩිකිරීම ඉල්ලුවේ මහා බැංකුවේ අධිපති ය.මිල වැඩි කිරීම සංස්ථාව විසින් සිදු කර ඇත.
බලශක්ති අමාත්‍යංශය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, තෙල් සංස්ථාව ඇතුළු ආයතන වල චෝදනා, ප්‍රතිචෝදනා සහිත මාධ්‍ය සංග්‍රාමයක් මගින් මිල වැඩි වීම යටපත් කරන මාධ්‍ය සංග්‍රාමයක් ද ඉදිරියේ දියත් වනු ඇත.
ශ්‍රී ලංකාවේ විශාලතම ආයෝජනය ලෙස (බිලියන 600 ක) නව තෙල් පිරිපහදුවක් ගැන ද මන්නාරම් ද්‍රෝණියේ තෙල් ගවේශණයෙන් රුපියල් බිලියන 47 ක් (ඩොලර්) ණය ගෙවීම් ගැන ද වූ සුරංගනා කතා කීව ද තෙල් ඉතුරුකර ගැනීමට ජනතාවට දඩුවමක් ලෙස තෙල් මිල ඉහල දමා ඇත්තේ ඉතිහාසයේ පළමු වරට ය.
– Media unit

මහ කන්නයට රසායනික පොහොර නෑ - මහින්දානන්දගෙන් සහතිකයක් !
මෙවර මහ කන්නය සඳහා රසායනික පොහොර ලබාදීමට හැකියාවක් නැතැයි ද සහනාධාරය දෙනු ලබන්නේ කාබනික පොහොර වගාවන්ට නැඹුරු වූ ගොවීන්ට පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
හරිත කෘෂිකර්මාන්තය ආරම්භ කරන්නේ වී ගොවිතැන සඳහා යැයි ද පොහොර සහනාධාර දෙනු ලබන්නේ කාබනික කෘෂිකර්මාන්තය සදහා බවත් අමාත්‍යවරයා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ මහනුවර ගන්නෝරුවේ පැවැති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික පර්යේෂණ සැසිය අමතමින්ය.
හරිත කෘෂිකර්මාන්තයට නැඹුරු වන ගොවීන්ට ඊට අවශ්‍ය පහසුකම් දෙනවා.
රසායනික පොහොර මිලදී ගෙන අනෙක් ගෙවීන්ට වගා කටයුතු කළ හැකියි.
සාමාන්‍යයෙන් පොහොර ආනයනය කරන්න මාස 02 ක් වත් කල් යනවා. ඒ නිසා මෙවර මහ කන්නයට රසායනික පොහොර ගෙන්වන්න විදිහක් නෑ. ඊළඟ යල කන්නයට තමයි පොහොර ගෙවන්න වෙන්නේ එළවළුවලට අවශ්‍ය පළිබෝධනාශක තිබෙනවා.
අපි කරන වැඩ සටහනේ හොඳ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ .
මාධ්‍ය මෙහි හොඳ පැත්ත කතා කළේ නැහැ. ඒ ගැන කණගාටු වෙනවා.
රසායනික පොහොර භාවිතය නිසා සිදුවන සෞඛ්‍ය ගැටලු සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිවක් සොයා බලා නැහැ.
වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා හා කළ සාකච්ඡාවකින් පසු ඒ පිළිබඳ නිසි විමර්ශනයක් කිරීම සඳහා කාර්ය සාධක බලකායක් පත් කිරීමට හැකි වුණා . එම කාර්ය සාධක බලකාය මගින් රසායනික පොහොර භාවිතය නිසා ජනතාවගේ සෞඛ්‍යයට සිදුවන හානිය සම්බන්ධව සොයා බැලීමට නියමිතයි .

කොළඹ සරසවි සිසු විරෝධය : චන්ද්‍රිකා අගයයි !
කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී එහි ශිෂ්‍ය ශිෂ්‍යයාවන් හැසිරුණ ආකාරය ඉතාමත් ශිෂ්ඨ සම්පන්න බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සඳහන් කරයි.
කොළඹ සරසවියේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අතින් එහි සිසු කණ්ඩායමක් උපාධි සහතික ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ වීඩියෝ නිකුත් කරමින් ඇය මෙම අදහස් පල කර ඇත.
උපාධි ප්‍රධානෝත්සවයේ දී අදාළ සිසු දරුවන් විරෝධය පළ කරන ලද ආකාරය ඉතාමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී බවද ඇය කියා සිටියි.

විදුලි කප්පාදුවකුත් ඇවිත් !
ඇතැම් ප්‍රදේශවල විදුලි කප්පාදු කිරීමට සිදුවන බව විදුලිය බල අමාත්‍යංශය කියා සිටියි.
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ජනන හැකියාව සම්පූර්ණ නොවීම හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබෙන බව අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කරයි.
ඒ අනුව අවශ්‍යතාව පරිදි ඇතැම් ප්‍රදේශවල පැය භාගයක් විනාඩි 40ක කාලයක් විදුලි සැපයුමට විසන්ධි වනු ඇතැයිද ඔහු පැවසීය.
බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුතු තවදුරටත් සිදු වීමෙන් ඇති නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද පැවසූ ඒ මහතා සඳහන් රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම ඉහළ යන අවස්ථාවල පද්ධතිය කළමනාකරණය කර ගැනීම සඳහා මෙම සීමා කිරීම් කිරීමට සිදුවන බවත් කියා සිටියේය.
ජනන යන්ත්‍ර අලුත්වැඩියා කටයුතු අවසන් වූ වහාම නැවතත් පද්ධතිය සම්බන්ධ කිරීමෙන් පසුව තත්වය පහව යනු ඇති බවට ඔහු තවදුරටත් විශ්වාසය පළ කළේය.

ගහලා බැන්දත් එකයි බැඳලා ගැහුවත් එකයි - පාඩුව ජනතාවටයි (Video)
=සමස්ත ලෝකයම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් සහන නොඉල්ලා ඉවසාගෙන සිටීමට ජනතාව කටයුතු කළයුතු බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
රට වෙනුවෙන් සියලු දුෂ්කරතා විඳීමට ජනතාව ඉදිරිපත් වියයුතු බව ඇමතිවරයා පවසයි.
පසුගිය කාලයේදී ඉන්ධන මිල ස්ථාවර පවත්වාගෙන ගියේ විශාල පාඩුවක් විඳිමින් බවත්, එම පාඩුව තවදුරටත් විඳීමට ඛනිජ තෙල් සංස්ථාවට නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.
තවදුරටත් පාඩු පිට තෙල් ලබාදීමට සිදු වුවහොත් එහි පාඩුව විඳීමට සිදුවන්නේද ජනතාවට බව පෙන්වා දෙන ජොන්ස්ටන් ඇමතිවරයා, 'ගහලා බැන්දත් එකයි - බැඳලා ගැහුවත් එකයි' යනුවෙන් පවසයි.
කුමන තත්වයක් මත වුවද ජනතාව බඩගින්නේ තැබීමට ආණ්ඩුව සූදානම් නොමැති බවත්, යහපාලන රජය මෙන් ජනතාවට ක්‍රෝටන් කොළ කැවීමට උත්සාහ නොකරන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
=
Page 262 of 336