V2025

පුවත්

ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමෙන් අගමැතිට ඔක්සිජන් ?

මේ වන විට ආණ්ඩුවේ සිට ස්වාධීන වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ අගමැති මහින්ද රාජපක්ෂ ට එරෙහිව ගෙනෙන විශ්වාසභංග සඳහා සහය නොදීමේ තීරණයක් ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

වාර්තා වන ආකාරයට මෙම ස්වාධින කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරුන් 40 දෙනාගේ සාකච්ජාවක් පැවැත්වී ඇති අතර එහිදී මෙම තීන්දුවට එළඹ ඇත.

මේ වනවිට ජනාධිපතිවරයා සමග යළිත් වතාවක් අන්තර්වාර ආණ්ඩුවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් සාකච්ජා වටයක් ආරම්භ වී ඇති බැවින් ඊට හානිකර කිසිවක් නොකිරීම මෙම තීන්දුව ගැනීමට හේතුව බවත් වාර්තා වෙයි .

එසේම ඊයේ (03) බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායමේ ප්‍රධානීන් අතර සාකච්ජාවක් පැවැති අතර එයද මෙම තීන්දුව ගැනීම සදහා බලපා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ඊයේ දින වන විටත් අද (04) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කර අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමට සූදානමක් පැවති නමුත් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ මේ තීන්දුව හේතුවෙන් ඉල්ලා අස්වීම සඳහා වෙනත් පාර්ශ්වයක් බහුතරය පෙන්විය යුතු බවට තර්කයක් ඉදිරිපත් කර තවදුරටත් අගමැති ධූරය දැරීමට තීරණය කර ඇත්තේ ද ඒ අනුව ය.

මේ අතර දේශපාලන විචාරකයන් පවසන්නේ මේ වන විට පාර්ලිමේන්තුව දේශපාලන ඩීල් ආකරයක් බවට පත්ව ඇති බවයි.

සම්ප්‍රදායික දේශපාලන නායකයන් පොදුජන අරගලයේ ජයග්‍රහණ සම්බන්ධයෙන් බියක් දක්වන බවත් පෙන්නුම් කරන බවත් ඔවුන් පවසයි .

කෙසේ වුවත් ගෝල්ෆේස් අරගල බිම ප්‍රමුඛ දිවයින පුරා රාජපක්ෂ විරෝධී උද්ඝෝෂණ අඛණ්ඩව සිදුවෙමින් පවතී.

මුදල් ඇමතිගෙන් පාපෝච්චාරණයක් !

වත්මන් ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පාපෝච්චාරණයක් මුදල් ඇමති අලිසබ්‍රි විසින් අද (04) පාර්ලිමේන්තුවේදී සිදුකරනු ලැබීය.

පසුගිය කාලයේදී සිදුවූ බදු කපා හැරීම හේතුවෙන් බරපතළ වැරැද්දක් සිදුවූ බවත් එමෙන්ම නියමිත අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයෑමද වැරැද්දක් බවත් එහිදී ඔහු පිළිගත්තේ ය.

මහතා රුපියල නියමිත අවස්ථාවේදී පා නොකර ඩොලරය අල්ලාගෙන සිටීමද සිදුකළ වැරැද්දක් බවත් මුදල් ඇමති අලිසබ්‍රි පැවසීය .

ආර්ථික අර්බුදයේ බරපතලකම ගැන එළියේ සිටින අයට හරි අවබෝධයක් තිබේ යැයි තමා නොසිතන බව කී මුදල් අමාත්‍යවරයා පක්ෂ පාට වලට බෙදී සටන් කරනවා වෙනුවට කඩා වැටෙමින් තිබෙන ආර්ථිකය නගා සිටුවීම සඳහා යම් ප්‍රමාණයකින් හෝ දායකත්වය දැක්වීමට සියලු පක්ෂවලට ජාතික වගකීමක් තිබෙන බවද කීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා වල ප්‍රගතිය පිළිබඳ වාර්තාව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බෙදා දීමට කටයුතු කර තිබෙන බවද නිදහසින් පසු බරපතළම ආර්ථික අර්බුදයට රට මුහුණ දෙමින් සිටින බවද එහිදී ඔහු පැවසීය .

අද වන විට රට සතු භාවිතයට ගත හැකි විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන පනහක් බවක මුදල් ඇමති අලි සබ්රි පැවසූ අතර ඩොලර් මිලියන පනහක් යනු එක් දිනක සදහා අවශ්‍ය ආනයන වියදමට සමාන මුදලකි.

 

ඉන්දියාවෙන් නැව් පිටින් තෙල් : ණයට ගනියි !

ඉන්දියාව විසින් තවත් ඩොලර් මිලියන දෙසීයක ඉන්ධන සදහා ණය මුදලක් ලබාදීමට එකඟතාව පළ කර තිබේ.

ඊට අමතරව ඉන්ධන ගෙන්වීම සදහා තවත් ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව බලශක්ති සහ විදුලි බල ඇමති කංචන විජේසේකර සඳහන් කළේය.

දැනට ඉන්දියාව ලබා දී ඇති ඉන්ධන ණය වන මේ වන විට අවසන් වෙමින් ඇත.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලබා ගැනීමට නියමිත බලාපොරොත්තු වන ඉන්ධන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 1200කි.

ලබා දෙන බවට එකග වූ ඩොලර් මිලියන දෙසියක ඉන්ධන නැව් හතරක් මේ මාසය තුළ මෙරටට ළඟාවීමට නියමිතව තිබේ.

මැයි 06 හර්තාලයෙන් රාජපක්ෂලා නොගියොත් : අඛණ්ඩ හර්තාලයක් සූදානම් - වසන්ත

මැයි 06 වනදා රට පුරා සියලූ අංශ එක්ව හර්තාල ව්‍යාපාරයක් පවත්වන බව වෘත්තීය සමිති සංවිධාන හා දේශපාලන පක්ෂ ඇතුළු කණ්ඩායම් කියා සිටියි.

ඒ සඳහා සියලු වෘත්තීය සමිති, සංවිධාන, පක්ෂවල සහයෝගය දෙන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසයි .

දූෂිත රාජපක්ෂ පාලනය මෙරට පාලනය අතහැරීම සඳහා කටයුතු කල යුතු බවත් එසේ නොකරන්නේ නම් මැයි 11 සිට අඛණ්ඩ හර්තාලයක් රාජපක්ෂ පාලනය ගෙදර යනතුරු ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවසීය .

06 වැනිදා පැවැත්වෙන මෙම හර්තාලය සදහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සියලු සේවාවන් එක්වන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

එහෙම සමාගමක් දන්නෙත් නෑ : ABC අනාවරණය ගැන නාමල්ගේ ප්‍රතිචාරය !

හම්බන්තොට මහ රෝහල ඉදිකිරීමේ දී සිදුව තිබෙන දැවැන්ත මූල්‍ය වංචාවක් පිළිබදව, ඕස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ජාලය විසින් පසුගිය දා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කර තිබු අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රතිචාර දක්වා ඇත .

ABC මාධ්‍ය ජාලයේ අනාවරණය මෙරට තුළ ආන්දෝලනයක් ඇති කළ අතර, නාමල් රාජපක්ෂ, ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි.

තමන් නොදන්නා සමාගමක් පිළිබදව සදහන් කරමින් නැවත වරක් තමාටත් තම පවුලටත් එරෙහිව චෝදනා කරමින් වාර්තා චිත්‍රපටයක් නිකුත් වී ඇති බව පවසන නාමල් රාජපක්ෂ, යහපාලන රජය සමයේ දී මෙවැනි චෝදනා තමන්ට එරෙහිව එල්ල වී ඇති බවත්, ඒ නඩු සදහා තමත් තවමත් මුහුණ දෙමින් සිටින බවත් පවසයි.

ABC මාධ්‍ය ජාලයේ හෙළිදරව්වට අනුව, රෝහලට සැපයුම් කොන්තරාත්තුවක් ලබාගෙන ඇති ඕස්ටේ්‍රලියානු සමාගමක්, ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.1 මුදලක් බි්‍රතාන්‍යයේ ස්ථාපිත කර තිබෙන වෙනත් සමාගමකට ලබා දී තිබේ.

අදාල සමාගමේ අයිතිකරු නිමල් පෙරේරා නමැත්තා බවත්, ඔහු, නාමල් රාජපක්ෂ වෙනුවෙන් මුදල් එකතුකිරීමේ කාර්යයෙහි නිරතව සිටි බව පිළිගෙන ඇති බවත් ඕස්ටේ්‍රලියානු ගවේෂණාත්මක මාධ්‍යවේදින් පවසයි .

abc 670

සජිත් සහ අනුර සර්ව පාක්ෂික ආණ්ඩුවට බෑ කිව්වා - වාසුදේව

දැනට යෝජනා වී ඇති සර්ව පාක්ෂික ආණ්ඩුව සඳහා සම්බන්ධවීමට නොහැකි බව සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ පවසා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සඳහන් කරයි.

ඔවුන් ඉල්ලා සිටින්නේ මැතිවරණයක් වුවද මේ මොහොතේ මැතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරයාට බලයක් නැති බව ද මන්ත්‍රීවරයා පවසයි .

තවත් මාස හයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ඇති බවත් එසේ නැතිනම් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කිරීමෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බවත් ඔහු පැවසීය.

නමුත් ඒ සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව කිසිවෙකුට නැති බවද ඔහු සදහන් කරයි.

ජනතාව මේ මොහොතේ මැතිවරණයක් ඉල්ලා නොසිටින බවත් ඔවුන්ගේ ජීවන බර සැහැල්ලු කිරීම සඳහා සජිත්ට හෝ අනුරට උවමනාවක් නැති බවත් මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

හම්බන්තොට රෝහලෙනුත් ගසා කාලා : ඕස්ට්‍රේලියානු මාධ්‍ය අනාවරණයක් !

ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය සමාගමක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණයට අදාළව සිදුකරන විමර්ශනයක් තුළදී ශ්‍රී ලංකාවේ හම්බන්තොට මහ රෝහල ඉදිකිරීමේදී සිදුවූ බව කියන දූෂිත ගණුදෙනු පිළිබඳවද තොරතුරු හෙළි වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ජාලය මේ පිළිබඳව දිර්ඝ විස්තරයක් ඉදිරිපත් කර තිබේ.

එස්ට්‍රේලි ඇස්පෙන් මෙඩිකල් සමාගම සම්බන්ධයේ පෞද්ගලික ආරක්ෂක උපකරණ කොන්ත්‍රාත්තුවක් සම්බන්ධයෙන් වූ දූෂණයක් සම්බන්ධයෙන් මෙම විමර්ශන සිදුකර තිබේ.

මෙම සමාගම ශ්‍රී ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල ඉදිකිරිමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණට අදාළව විමර්ශනයකට භාජනය වී තිබේ.

මෙම සමාගම විසින් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල සඳහා අවශ්‍ය උපකරණ, යටිතල පහසුකම් ඇතුළු සේවා වෙනුවෙන් ඩොලර් මිලියන 18.8ක ව්‍යාපෘතියක් වෙනුවෙන් ඔස්ට්‍රේලියානු රජයේ අනුමැතිය ලාබගෙන තිබේ.

මේ පිළිබඳව විමර්ශන ගවේෂනයක යෙදුණ මාධ්‍යවේදින් සමාගමෙන් අදාළ වෛද්‍ය සැපයීම් රෝහල වෙනුවෙන් සිදුකළාද යන්න විමසා ඇති විට එයට පිළිතුරු ලබාදිම ඔවුන් ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේ වෙතත් එම කොන්ත්‍රාත් උප කොන්ත්‍රාත් සමාගමක් වෙත ලබාදුන් බව ඔවුන් නිවේදනයකින් සඳහන් කර තිබේ.

ඇස්පෙන් සමාගම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකළ පළමු මුදල් ගණුදෙනුව වන ඩොලර් මිලියන 2.1ක් බ්‍රිටිස් වර්ජින් දූපත්වල ලියාපදිංචි සබ්රේ විෂන් හෝල්ඩිංග්ස් වෙත සිදුකර තිබේ. මෙම ගනුදෙනුව ශ්‍රී ලංකා පොලීසියේ අවධානයට ලක්ව තිබේ.

මෙම සමාගම ශ්‍රී ලංකාවේ නිමල් පෙරේරා නම් පුද්ගලයෙකුට අයිති බවත් ඔහු ශ්‍රි ලංකාවේ රාජපක්ෂ පවුල හා සමීප සබඳතාවක් ඇති බවත් ඒ.බී.සී. මාධ්‍ය හෙළිකර තිබේ.

2016දි ඔහු නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් මුදල් එකතු කර ඇති බවට පාපොච්ඡාරණය කර ඇති අතරම ඒ හේතුවෙන් නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවටද පත්විය.

හම්බන්තොට රෝහල ඉදිකිරීමේදී සිදුවූ බව කියන දූෂිත ගණුදෙනු පිළිබඳව විමර්ශන වලට අදාළව නිමල් පෙරේරාගෙන් ඔහුගේ ගිණුම්වලට පැහැදිලිකළ නොහැකි මාර්ගවලින් මුදල් ලැබීම පිළිබඳව කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ එම මුදල් ලබාදුන්නේ ඉතාලි ව්‍යාපාරිකයෙක් බවයි.

එම ඉතාලි ව්‍යාපාරිකයාගේ ලිපිනය හෝ දුරකතන අංක සහිතව අනන්‍යතාව තහවුරු කළ නොහැකි බවත් සඳහන් කර තිබේ.

මෙහිදී සබ්රේ විෂන් හොල්ඩිංග්ස් සමාගම පිළිබඳව විමසා ඇති විට නිමල් පෙරේරා ප්‍රකාශ කර ඇත්තේ තමන් එම සමාගම පිළිබඳව නොදන්නා බවත් ඇතැම්විට එම සමාගම තම ඉතාලි මිතුරාට අයිති එකක් විය හැකි බවත් ඔහු සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මෙම සමාගම නිමල් පෙරේරාට අයිති බවට පොලීසිය විසින් තහවුරු කර තිබේ.

එසේම මෙම සමාගම දූෂිත එයා බස් ගණුදෙනුවට අදාළව ඩොලර් දස දහස් ගණනක් ලැබී ඇති බවට තහවුරු වී තිබේ.

මහින්ද ගෞරවාන්විත සමුගැනීමකට සූදානම් : බදාදා ප්‍රකාශයක් !

මැයි (04) බදාදා දිනයේ අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙයි .

අනතුරුව මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර ඇති බවත් වාර්තා වෙයි .

අද (02) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග පැවති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ දැක්වූ අදහස් අනුව මේ තොරතුරු හෙළිදරව් වී ඇත.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට අන්තර්වාර පාලන ආණ්ඩුවල හෝ වෙනත් කිසිදු නමකින් පිහිටුවන ආණ්ඩුවල ඇමැතිකම් නොගැනීමටද පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම තීන්දු කර ඇත.

මේ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරා අගමැති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ අතර දීර්ඝ වශයෙන් සාකච්ජා පැවැත්වී තිබේ.

ඊට එක්ව ඇති ඇතැම් මන්ත්‍රීවරුන් මෙම තීරණයට විරෝධය පළ කර තිබුණද බොහෝ මන්ත්‍රීවරුන් එහිදී අගමැතිවරයාට පෙන්වා දී ඇත්තේ මේ අවස්ථාවේදී කළ යුතු හොදම දෙය විපක්ෂයේ අසුන් ගැනීමට කටයුතු කිරීම යැයි කියාය.

ඒ අනුව බදාදා දින ආණ්ඩු පක්ෂය විපක්ෂයේ අසුන් ගනු ඇති බවද දැනගන්නට ඇත.

සජබ කාණ්ඩයම් රැස්විම් ගලගෝට්ටියක් !

අද (02) පෙරවරුවේ පැවති සමගි ජනබලවේගය මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම කාලගෝට්ටියකින් අවසන් කර ඇත.

පක්ෂයේ සියළුම ක්‍රියාකාරකම් සහ වැඩසටහන් තීරණය කරනු ලබන්නේ ‘ලක්ෂමන් ෆොන්සේකා සහ ජලනි ප්‍රේමදාස’ ඇතුළු කණ්ඩායමක් විසින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පයින් යන්නත්, ඡන්ද රැස්කරන්නට ඉන්න රූකඩ පමණක් බවට පත්ව ඇතැයි පවසමින් රැස්වීම අතරතුර මන්ත්‍රීවරුන් කණ්ඩායමක් නැගිට ගොස් ඇත.

රැස්වීම් ආරම්භයේ දීම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් රැස්වීම පැමිණ නොසිටි සරත් ෆොන්සේකා දැඩි විවේචනයකට ලක් කළේය.

‘මම අද ඒයාගේ මූනටම කියන්න හිටියේ. එයා ඊයේ හැසිරුණු හැටි වැරදියි. එයා නිසයි මේ ඔක්කොම ප්‍රශ්න යැයි පවසා ඇත.

නුවරඑළිය මන්ත්‍රී දිගම්බරම් විසින් රැස්වීම ආරම්භයේ දී ම, හරීන් ප්‍රනාන්දු සහ සරත් ෆොන්සේකා අතර ඊයේ ඇති වූ ගැටුම පිළිබඳ ප්‍රශ්න කර සිටියේය.

ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාට විරුද්ධව දැඩි ප්‍රහාරයක් සජිත් විසින් එල්ල කළේ ඒ අනුවය .

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පැවසූවේ ඉස්සර එජාපයේ කල්ලි තිබුණා කියලා නායකතුමාලා එකතුවෙලා මේ පක්ෂය හැදුවා. දැන් මේ පක්ෂය අපි පැත්තකට දාලා කල්ලියක් හදාගෙන ඉන්නවා.

තරුණ සංවිධානයේ කථිකයෙක් නෑ. කතා කරන්න කවුරුවත්ම නැතිනම් ඦන්දය ඉල්ලන්න බලාගෙන ඉන්න මහලේකම් තුමාගේ දුවට හරි ඒම අවස්ථාව දෙන්න තිබුණා යැයි කිව්වේ සැමගේ සිනා හඩ මැද්දේ ය.

පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙන්නෙක් ඉන්නවා.

එක්කෙනෙකුට කතාවක් දෙන්න බැරිවුණා.

මොනාද අපි කියන ප්‍රජාතන්ත්‍රවාදය. මන්ත්‍රීවරියෝ ඉදිද්දී කාන්තා සංවිධානය මෙහෙයවන්නේ ‘මැඩම්ගේ ක්ලබ් ඒකේ සෙට් ඒකක්’

දැන් පක්ෂයේ තරුණ සංවිධානය නාකි සෙට් එකේ දරුවන්ගේ බූදලයක් කරලා. යැයි බදුල්ල මන්ත්‍රී චමින්ද විජේසිරි පවසා ඇත.

මාතලේ මන්ත්‍රී රෝහණී කවිරත්න පැවසූවේ මම විශ්වාස භංගයට අත්සන් කළේ නැති විදිහට ඩිජිටල් තිරයේ නම දැම්මා.

මිනිස්සු වටවෙලා මගෙන් අහනවා ඇයි මැඩම් අත්සන් කළේ නැත්තේ කියලා.

මේවා මොන විලිලැජ්ජා නැති වැඩද? මම විශ්වාස භංගය පෙන්නන්න කිව්වා. තවම ඒ්ක ලියාගන්න බැරිවෙලා තියෙනවා. අදටත් ඒකේ මොනවා තියෙනවාද කියලා දන්නේ නෑ.

මමයි -චමින්ද විජේසිරි යි දෙන්නා අකුරක් ලියපු නැති විශ්වාස භංග කොළයට අත්සන් කළේ.

පක්ෂය ඇතුලේ කල්ලි හදාගෙන ඊලඟ ඡන්ද කරන්න හදනවා.
රැස්වීමේ දි කතා ලබාදීමේදී රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, දිගම්බරම්, ඇතුළු පක්ෂ නායකයින් කිසිවෙකුට කතා කිරීමට අවස්ථාවක් ලබා නොදීම පිළිබඳ දිගින් දිගටම පක්ෂ නායක්වයට චෝදනා එල්ල විය.

ගාලුමුවදොර රැස්වීමේ දී ත් පක්ෂ නායකයින්ට කතා දුන්නේ නෑ.

මන්ත්‍රීවරු ජයප්‍රිය වෙනවට බයේ දේශපාලනය කරන්න පුලුන්ද? පක්ෂ හදන්න පුලුවන්ද? චමින්ද විජේසිරි ප්‍රශ්ණ කර ඇත.

ඉතා කළකරීමෙන් කතාකල පුත්තලම මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පැවසූවේ ‘මම දවස් පහම පෙළපාලියේ ගියා. මම මේ පක්ෂයේ වැඩ කෙරෙන හැටි හොඳට අවබෝධ කර ගත්තා. තේරුම් ගත්තා. බොහොම ස්තුතියි! අපිට වැරදුණා. කියාය.

43 සේනාංකයේ නායක චම්පික රණවක, පක්ෂයේ වැඩපිළිවෙල විවේචනය කරමින් පාගමනට මෙන්ම අද රැස්වීමට ද සහභාගි වී නැත.

අද පක්ෂය මෙහෙයවන්නේ කණ්ඩායමක්. ඒ අය ආණ්ඩුව රකින්න කටයුතු කරනවා. මේවා ලැජ්ජා නැති වැඩ. යැයි කියමින් පක්ෂයේ මන්ත්‍රීවරුන් රැස්වීමෙන් පිටව ගොස් ඇත.
තත්වය පාලනය කිරීමට ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් උත්සහ දැරූ නමුත් එය ව්‍යර්ත විය.

ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කණ්ඩායමට එළිපිට චෝදනා කරමින් ඔවුන් විරසක කර ගත් බවත්, ආණ්ඩුව ගෙදර යවා අලුත් ආණ්ඩුවක් පත් කර රටේ ප්‍රශ්න විසඳීම වෙනුවට රාජපක්ෂවරුන් රැකීමට සජබ නායකයාත් ඔහුගේ හොඳම යාලුවා සහ මැඩම් උත්සහ කරන බවත් ඉවත්ව ගිය කණ්ඩායම පවසා ඇත.

පාර්ලිමේන්තුවේ කථික ලැයිස්තුව සකස් කිරීම සඳහා දැරූ උත්සාහයේ දී මන්ත්‍රීවරුන් පෙන්වා දි ඇත්තේ අපි කරන දේ ඉස්සර වෙලා තීරණය කරන්න ඔ්නී.

-Nextv

ආණ්ඩුවෙන් තවත් ගැසට් එකක් !

අද (02) සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත .

ඊට අනුව අදාළ මිල ගණන් මෙසේය .

?සුදු /රතු නාඩු රුපියල් 220/=
?සුදු / රතු සම්බා රුපියල් 230/=
?කීරි සම්බා රුපියල් 260/=

නව ගැසට් නිවේදනයට අනුව එම දේශිය සහල් වර්ග උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් වෙළදාම් කිරීම , සැපයීම , වෙළදාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළදාම් සඳහා ප්‍රදර්ශනය කිරීම තහනම් වනු ඇති.

අදාළ ගැසට් නිවේදනය පහත දැක්වෙයි .

FB IMG 1651509448189

ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ අලුත් පක්ෂයක් : පොහොට්ටුව දන ගහන්න සූදානම් !

පොදුජන පෙරමුණ ආණ්ඩුව වෙතින් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම විසින් නව දේශපාලන පක්ෂයක් සහ සන්ධානයක් බිහිකිරීමට තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වෙයි .

නව පක්ෂය වෙනුවෙන් පොදුජන පෙරමුණේ හිටපු ජ්‍යෙෂ්ඨයකු නායකත්වය දීමට සූදානමක් ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එසේම ආණ්ඩුවෙන් ඉවත්වූ පක්ෂ මේ යෝජිත නව සන්ධානයේ සාමාජිකත්වය ලැබීමේ සූදානමක් ගැනත් තොරතුරු වාර්තා වෙයි .

පොහොට්ටු ස්වාධීන එකඟතාවක් !

මේ අතර ජාතික එකගතා ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර අද(02) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ප්‍රතිපත්ති ම ය එකඟතාවක් ඇති ව තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි .

ඒ අනුව ජාතික එකගතාආණ්ඩුවක් පිහිටුවීමේ කටයුතු ඉදිරියට ගෙන යාම සදහා ජනාධිපතිවරයාට අවශ්‍ය සහයෝගය ලබාදීමට ද එහිදී එකඟතාවකට පැමිණි බව වාර්තා වේ අඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට මීට පෙර ඉදිරිපත් කළ කරුණු 11ක යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව වාර්තා වේ .

එම සාකච්ඡාව පැය එක හමාරක් පමණ තිස්සේ පැවැත්විණි .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ඇමති මහාචාර්ය ජී එල් පීරිස්, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ,ඇමති රමේෂ් පතිරණ ,මහලේකම් සාගර කාරියවසම් ,පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න ද,සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා පත්කරන ලද කමිටුවේ සාමාජිකයන් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා විමල් වීරවංශ ,උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

නාමල් පරවෙයි : පොහොට්ටුවේ නායකත්වය ගෝඨාභයට !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායකත්වයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්කර ගැනීමට එම පක්ෂය අභ්‍යන්තරයේ සාකච්ඡාවක් දියත්ව ඇති බව වාර්තා වෙයි .

ඒ පොදුජන පෙරමුණ නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසකගේ මූලිකත්වයෙනි.

මේ යෝජනාව දැනටමත් පොදුජන පෙරමුණේ ඉහළ නායකත්වය වෙත යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම මන්ත්‍රී කණ්ඩායමේ අදහස වී ඇත්තේ බැසිල් රාජපක්ෂ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දේශපාලන කටයුතුවලින් ඉවත්කර තැබීම ආණ්ඩුව තුල අභ්‍යන්තර ගැටුම් ඇතිවීමට ප්‍රධාන හේතුවක් වූ බවයි.

ආණ්ඩුවට සහය දැක්වූ පක්ෂ 11 මෙන්ම පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වූයේද ඒ නිසා බවත් මන්ත්‍රී කණ්ඩායමේ අදහස වී තිබේ.

ඒ අනුව යෝජනාව වී ඇත්තේ ,අගමැති මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත්වීමත් සමග පක්ෂයේ නායකත්වය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙත ලැබිය යුතු බවය.

කෙසේ වුවත් ආණ්ඩුවේ තවත් මන්ත්‍රී කණ්ඩායමක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පොදුජන පෙරමුණේ නායකයා විය යුතු බවට ප්‍රචාරයක් ගෙන යමින් සිටින බවත් වාර්තා වෙයි .

ගෝඨාගෝගම අසලට කැරළි මර්දන ඒකක කැඳවයි !

ගෝඨාගෝගම අසලට අද (02) මේ වන විට පොලිස් කැරළි මර්දන ඒකකය යොදවා එය විසුරවීමේ උත්සාහයක් සම්බන්ධයෙන් වාර්තා වෙයි.

ඒ වෙනුවෙන් පළමුව පොලිස් කැරළි මර්දන නිලධාරීන් රැගත් ට්‍රක් රථයක් යොමුකළ අතර , එය පොදුජන අරගලයේ නිරත විරෝධතාකරුවන් ගේ මැදිහත්වීම හමුවේ ආපසු හැරවිණ.

නමුත් මේ වන විට ජනාධිපති කාර්‍යාලය අසල ගේට් සීරෝ ආසන්නයේ පොලිස් කැරලි මර්දන භට පිරිස් යොදවා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ මේ වන විට ආරක්ෂක අංශ ගෝල්ෆේස් අරගල බිම අධ්‍යයනය කර එය විසුරුවා හැරීමට අවශ්‍ය මිලිටිරි උපාය උපක්‍රම අත්හදා බැලීම් සිදුකිරීම ආරම්භ කර ඇති බවයි.

සති තුනකට අධික ගෝල්ෆේස් අරගල බිම බුද්ධි අංශ අධ්‍යයනය කර ඊට අදාළ බුද්ධි වාර්තා සැලකිල්ලට ගැන මේ මෙහෙයුම් දියත්කර ඇති බවත් දේශපාලන විචාරකයන් තක්සේරු කරයි.

ඊට අදාළ පළමු පියවර ඊයේ (01) හිමිදිරියේ අරලිය ගහ මන්දිරය අසල මයිනාගෝගම අට්ටාල කැඩීම හරහා දියත්වූ බවත් ඔවුන් පෙන්වා දෙයි.

එහිදී ලැබුණු ප්‍රතිචාර මත ඊළඟ ක්‍රියාමාර්ග මෙසේ ආරම්භ කර ඇත බව පුරෝකථනය කළ හැකි බවත් දේශපාලන විචාරකයන් පවසයි .

FB IMG 1651480932730

FB IMG 1651480935030

ගෙට් සීරෝ අසලට විශේෂ පොලිස් ඒකකයක් : අපරාදෙ මහන්සිය ! (වීඩියෝ )

ගෝඨාගෝගම ගෙට් සීරෝ අසලට විශේෂ පොලිස් ඒකකයක් යෙදවීමට අද (02) උත්සාහයක් දියත් විය.

ඒ අවස්ථාවේ පොදුජන අරගලයේ නිරතවූවන් දැඩි විරෝධයක් ඊට පළකෙරිණු අතර , එනිසා අවසානයේදී එම උත්සාහය අත්හැර දැමීමට ආරක්ෂක අංශ වෙත සිදුවිය.

මේ හරහා පෙන්නුම් කරන්නේ විවිධ මිලිටිරි උපාය උපක්‍රම යොදමින් පාලකයන් අරගලය මර්දනය කිරීමට අත්හදා බැලීම් සිදුකරන බවයි.

ආරක්ෂක අංශ ගෝඨාගෝගම ගෙට් සීරෝ අසලට විශේෂ පොලිස් ඒකකයක් යෙදවීමට ගනුලැබූ උත්සාහය ගැන සමාජ මාධ්‍යයේ පළවූ වීඩියෝවක් පහත දැක්වෙයි .

FB IMG 1651480488411

FB IMG 1651480491151

 

ඥානක්කා මිසිං !

ජනාධිපති, යුධ හමුදාපති ප්‍රමුඛ දේශපාලන බලවතුන් සහ ඉහළ නිලධාරීන් සරණ පතා යන ඥානක්කා නැමති කාන්තාව, අනුරාධපුරයේ පිහිටි ඇයගේ දේව මන්දිරයෙන් අතුරුදහන් වී ඇති බව වාර්තා වෙයි.

ප්‍රාදේශීය ආරංචි මාර්ග සඳහන් කරන්නේ , මෙයට සති දෙකකට පමණ පෙර සිට ඇය ගැන කිසිදු තොරතුරක් නැති බවයි.

ඇයගේ දේවලය අසළ තිබෙන කුඩා පෙට්ටි කඩවලින් බාරහාර සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට මේ වනවිට කිසිවෙකුත් නොපැමිණෙන බවද වාර්තා වෙයි .

ඇය කොහේ සිටින්නේදැයි ආශිර්වාද ලබාගැනීමට පැමිනෙන්නන් පවස් නොදන්නා බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර පසුගිය සමයේ ඥානක්කාගේ දේව මන්දිරයට අසීමිත හමුදා රැකවරණයක් යොදාතිබිණා. මේ වන විට මේ වනවිට එම ආරක්ෂාවද අඩු කර ඇති බව ප්‍රදේශවාසීන්ගේ තොරතුරුවලින් හෙළිකරයි.

කෙසේ වුවත් ඇතැම් මාධ්‍ය වාර්තා වල දැක්වෙන්නේ ඥානක්කා හමුදාවේ ප්‍රධානියකු ගේ නිවසේ සැඟවී සිටින බවයි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග කොහොමටත් ඥානක්කා සහ හමුදාව අතර සමීප සම්බන්ධයක් ගොඩනැගිණ.

ඒ ඇගේ දේවාලයේ ප්‍රතිසංස්කරණ සහ ඇයට අයත් බව කියන හෝටලක් ඉදිකිරීමේ කටයුතු සඳහා මුළුමනින්ම හමුදා සාමාජිකයන් යෙදවීම නිසාය.

මෙය නීති විරෝධී මෙන්ම, ජනාධිපති සහ හමුදාපති සෘජුව වගකිවයුතු කරුණක් .

එසේම එය හමුදා සාමාජිකයන් ගේ චිත්ත ධෛර්යය බිඳින කටයුත්තක් වුවත්, ඊනියා දේශප්‍රේමීන් මේ සම්බන්ධයෙන් හඬක් නැගුවේ නැත . ඒ අනුව ඔවුන්ගේ රණවිරු ගාය රාජපක්ෂවාදය වෙනුවෙන්ම පමණක් වන නිසා බව පැහැදිලිය.

දේශපාලන විචාරකයන් පවසන්නේ වර්තමානයේ දියත්ව ඇති රාජපක්ෂවරුන් ට එරෙහි අරගලය රාජපක්ෂවාදය පරාජය කිරීම දක්වාම ඉහළට ඔසවා තැබිය යුතු බවයි.

ජනපති ඇතුළු වගකිවයුත්තන් වගකීම් පැහැර ඇරියා - කාදිනල් හිමි

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එහි සියලු තොරතුරු මැතිවරණ ජයග්‍රහණ සඳහා වසන් කළ බව අති උතුම් මැල්කම් කාදිනල් රංජීත් හිමිපාණෝ පවසති.

උන්වහන්සේ මේ අදහස් පල කළේ, ඉතාලියේ පාදුවා නුවර ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේ ඊයේ(01) පැවති විශේෂ දේව මෙහෙයකදී ය.

තවදුරටත් අදහස් දැක්වූ හිමිපාණන් වහන්සේ මෙසේද පැවසූහ.

මැතිවරණය වෙනුවෙන් ‘අපි රට ආරක්ෂා කරනවා, අපි රටට යුක්තිය දෙනවා’ කියලා කියන්න ඕනකම තිබූ නිසා ඔවුන් ඒ දේ කළ බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ.

එවැනි චේතනාවක් නොතිබුණේ නම් මෙවැන්නක් වීමට යන බව හා ඉන් ආරක්ෂා වන ලෙස දැනුම්දීමට තිබූ බව කී කොළඹ අගරදගුරුතුමෝ දේශපාලනඥයන් හා නිලධාරීන් පමණක් තමන් අතර ලියුමක් හුවමාරු කරගෙන ආරක්ෂා වී අහිංසක මිනිසුන්ව බිලි දුන් බව ද කීහ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වසර තුනක් යුක්තිය ඉල්ලූ නමුත් ශ්‍රී ලංකා පාලකයන්ගෙන් කිසිම සාධාරණයක් ඉටුනොවූ නිසා ජාත්‍යන්තරයට ඒමට සිදුවූ බව කී කොළඹ අගරදගුරුතුමෝ අපිට රටේ පවතින දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා උදව් ඉල්ලීමත් මෙහි අරමුණක් බව කීහ. පාස්කු ප්‍රහාරය සම්බන්ධව බොහෝ දෙනෙක් දැන සිට ඇති නමුත් ඡන්දය දිනාගැනීමේ අවශ්‍යතාවය නිසා එය සිදුවීමට ඉඩ හැර ඇතැයි ද කාදිනල්තුමෝ කීහ.

දේශපාලනඥයන් සමාජය පිරිහීමට හැර දූෂණය රජ කරවීම මෙන්ම නීතිය වල් වදින්න සැලැස්වූ බව කී කොළඹ අගරදගුරුතුමෝ නීතියේ ඉහළම නිලධාරියා ජනාධිපතිධූරයෙන් පත්කරන අයෙක් නිසා ඔහුට අවශ්‍ය පරිදි කටයුතු කරන්නට ලැබී ඇතැයි ද පැවසූහ.

වර්තමානයේදී ජනතාවගේ ඡන්දයෙන් බලයට එන පාලකයෝ පොහොසත් වී පිටරටවල මුදල් එකතු කිරීම හා ව්‍යාපාර ආරම්භ කිරීම සිදුකරන බවත්, මෙම දූෂිත ක්‍රමයේ වරද පෙනෙන්නට ගත්තේ පාස්කු ප්‍රහාරය යට ගැසීමට දැරූ උත්සාහය තුලින් බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ප්‍රකාශ කළහ.

එහිදී දෙදෙනකුට විරුද්ධව නඩු දමා නඩුව දියාරු කර ඔවුන් නිදහස් කරන්නට ඉඩ සැලසූ බවත්, ශ්‍රී ලංකාව නව ගමනක් වෙත යොමු කරන්නට අවශ්‍ය ශක්තිය රටේ මිනිස්සුන්ට දෙන්නැයි යාඥා කරන බවත් කාදිනල්තුමෝ පැවසූහ.

ජනාධිපතිගේ වෙනසක් නෑ : සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා !

සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දරන ප්‍රයත්නය ඉවත් කරගෙන නොමැති බව දේශපාලන විචාරකයන් පවසයි.

ඔවුන් ඒ බව සඳහන් කරන්නේ ලෝක කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති නිකුත්කළ පණිවුඩය පදනම් කරගෙන ය.

එහිදී වැඩ කරන ජනතාව වෙනුවෙන් දේශපාලනය පසෙක තබා, ජනහිතකාමී විප්ලවීය පරිවර්තනයක් සහිත සුබ දිශානතියකට අරගලය යොමු කිරීමට එක්වන්නැයි ජනාධිපතිවරයා කම්කරු ජනතාවගෙන් ඉල්ලා සිටී.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, පැන නැගුණ අයහපත් තත්ත්වය කවුරුන් විසින් සිදු කළේ ද යන්න පිළිබඳ පසු විපරම් කරනු වෙනුවට මේ මොහොතේ අප කළ යුතු වනුයේ ජනතාවට කඩිනමින් සහන සැලසිය හැකි වැඩපිළිවෙළ කුමක්ද යන්න පිළිබද අවධානය යොමු කිරීම බවයි.

සෑම තත්ත්පරයකම ජනතාවගේ පීඩාව අවම කිරීම සදහා විසඳුම් දිය හැකි ක්‍රමවේදනයක්ට පිවිස, පවතින අර්බුදවලට විසඳුම් සෙවීම අපගේ ඉලක්කය බව ජනාධිපතුමා නිකුත් කළ මැයි දින පණිවුඩයේ සඳහන් ය.

 

අන්තර්කාලීන ආණ්ඩුවේ නම වෙනස් වෙයි : අලුත් එක මෙන්න !

ඉදිරියේදී බිහිකරන ආණ්ඩුව ‘ජාතික එකඟතා ආණ්ඩුව’ ලෙස නම් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පවසයි .

මාධ්‍යය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටි ආකාරයට සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුව යන නම ගැලවී ඉවත් වනු ඇත.

මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ජාතික එකඟතා ආණ්ඩුව ඉක්මනින්ම පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට අදාළ කමිටුව නම් කර මේ වන විට ජනාධිපතිවරයාට යොමු කිරීමෙන් පසු අනුමැතිය ලැබී ඇති බවත් අනාවරණය කළේය.

එසේ දේශපාලන පක්ෂ සමග අන්තර්කාලීන ආණ්ඩුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නම් කර ඇත්තේ නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා ටිරාන් අලස් යන මන්ත්‍රීවරුන් පිරිසය.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුව වෙනුවට ජාතික එකඟතා ආණ්ඩුව එන්නේ , ඉදිරි මහ මැතිවරණයක් එන තෙක් ආණ්ඩුව පවත්වා ගෙන යාමට බවයි.

ඒ අනුව නියමිත කාලයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා සූදානමක් නැත.

Page 261 of 389