Language Switcher

V2025

නවකවදය වැළැක්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් නියෝග මෙන්න

රාජ්‍ය විශ්වවිද්‍යාලවල හා අධ්‍යාපන ආයතනවල සිදුවන නවක වධය වැළැක්වීම සඳහා මේ වන විට සියලු විශ්වවිද්‍යාලවල එකඟත්වය ඇතිව සකස් කර ඇති මාර්ගෝපදේශ මාලාව තදින් ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝග කර තිබේ.

එම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය, තාක්ෂණික සහය හා පහසුකම් නොපමාව ලබා දීමට කටයුතු කරන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපනය අමාත්‍යවරයා වෙත තවත් නියෝගයක් නිකුත් කරන ලදී.

ඊට අමතරව, නවක වධය හා සම්බන්ධ සිද්ධීන්ට අදාළව නීතිපතිවරයාගෙන් අවශ්‍ය උපදෙස් ලබාගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස පොලිසියට අවශ්‍ය උපදෙස් ලබා දෙන්නැයි විනිසුරු මඩුල්ල විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝග කරනු ලැබී ය.

පසිඳු හිරුෂාන් ද සිල්වා

2020 වසරේ නවක වදය හේතුවෙන් ශාරීරික මෙන් ම මොළයට සිදුවූ තුවාල හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකු වූ පසිඳු හිරුෂාන් ද සිල්වා විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් ප්‍රියන්ත ප්‍රනාන්දු, සෝභිත රාජකරුණා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය.

මෙම නියෝග ක්‍රියාත්මක වන ආකාරය සහ එහි ප්‍රගතිය විමසීම සඳහා මෙම නඩුකරය ජනවාරි මස 14 වන දා යළි කැඳවන ලෙස ද නියෝග කෙරිණි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, 1998 අංක 20 දරන නවක වධය වැළැක්වීමේ පනත යටතේ ශ්‍රී ලංකාව තුළ නවක වධ ක්‍රියාවන් නීතිවිරෝධී ක්‍රියාවක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බව ය.

මෙම පෙත්සම පවත්වාගෙන යාමේදී රාජ්‍ය විශ්වවිද්‍යාල 16ක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කෙරුණු අතර, එම සියලු විශ්වවද්‍යාලවල එකඟත්වයෙන් නවක වධය වැළැක්වීම සඳහා ක්‍රියාවේ යෙදවිය යුතු මාර්ගෝපදේශ මාලාවක් සකස් කොට අධිකරණයට ඉදිරිපත් කෙරුණු බවත් තීන්දුවේ සඳහන් විය.

මෙම නඩු විභාගයේදී නවක වධය වැළැක්වීම සඳහා විශ්වවිද්‍යාල ගෙන තිබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තා කරන බව පරීක්ෂා කළ අතර එහිදී ගෙන තිබුණු පියවර පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි මට්ටමක පැවති බවත් තීන්දුවේ අවධාරණය කර තිබිණි.

බොහොමයක් විශ්වවිද්‍යාල නවක වදය ඇතුළු සිදුවීම් පිටුදැකීම සඳහා විවිධ අභ්‍යන්තර යාන්ත්‍රණයන් සකස් කර තිබුණ ද ඒවා නිසියාකාරව ක්‍රියාත්මක වී නොමැති බවත් පෙනී ගොස් තිබෙන බව අනාවරණය විය.

විශ්වවිද්‍යාලවල දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන නවක වධය ඉදිරියේ විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය මෙන් ම පරිපාලනය ද නිහඬ පිළිවෙතක් අනුගමනය කර තිබෙන ආකාරය නඩු විභාගයේදී අධිකරණයට නිරීක්ෂණය වූ බවත්, විවිධ හේතු හෝ බලපෑම් මත ඒවා වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ඔවුන් අසමත් වී තිබෙන බවත් තීන්දුවේ සඳහන් විය.

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වන අතර ඊට දිළිඳු හෝ ධනවත් ඕනෑ ම කෙනෙකුට නිදහසේ ප්‍රවේශ වීමට අවස්ථාව තිබෙන බවත්, මෙවැනි නවක වධ සිද්ධීන් නිදහස් අධ්‍යාපනය භුක්ති විඳීම සඳහා තිබෙන පිවිසුම අවහිර කෙරෙන බවත් තීන්දුව තුළින් චෝදනා කර තිබිණි.

එමනිසා, නවක වධය පිටුදැකීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සහ වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාව අධිකරණය විසින් නිරීක්ෂණය කරනු ලැබූ බවත් තීන්දුවෙන් අවධාරණය කර තිබේ.

එම මාර්ග උපදේශ මාලාවට අනුව විශ්වවිද්‍යාලවල නවක වධ සිද්ධීන් වැළැක්වීම සඳහා කමිටු පිහිටුවිය යුතු අතර නවක වධයට ලක්වන සිසුන්ගේ පැමිණිලි භාර ගැනීම, ඒවා විමර්ශනය කිරීම, සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම ආදිය ද සිදු කළ යුතු බව එම මාර්ගෝපදේශවල සඳහන් කර ඇති අතර, ඊට අමතරව එම කමිටුවට අනුයුක්තව නීතිඥ සේවාවක් ද සිසුන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍ය සේවාවක් ද ස්ථාපනය කළ යුතු බවත් සඳහන් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ, 2012 වසරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර එහිදී ඇති වූ නවක වධ සිද්ධියකදී ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් පඩිපෙළක ඉහළ සිට පහළ සිටි තමන් වෙත බැකෝ ටයරයක් පෙරළීම නිසා තම හිසට සහ මොළයට බරපතළ තුවාල සිදුවූ බව ය. මෙම සිද්ධිය නිසා මාස තුනකට ආසන්න කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට සිදුවූ බවත්, මේ දක්වා පූර්ණ සුවය ලැබී නොමැති බවත් පෙත්සම්කරු කියා සිටියේ ය.

මෙම ක්‍රියාව තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් විශ්වවිද්‍යාල තුළ සිදුවන නවක වධ සිද්ධීන් පිටුදැකීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබිණි.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ එහි උපකුලපතිවරයා, කොළඹ, කැලණිය ඇතුළු විශ්වවිශ්වවිද්‍යාල 16ක්, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටියහ.

(මුලාශ්‍රය - බීබීසී සිංහල)