හැඳින්වීම
පසු ගිය සියවසේ සියවසේ අවසාන අග භාගය ලෝක සමාජවාදී ව්‍යාපාරය තුළ සටන්කාමිත්වය, අව්‍යාජභාවය සහ දිලින්දන් ගේ විමුක්තිය උදෙසා එක රටකට පමණක් සිමා නොවී සැබෑ ජාත්‍යන්තරවාදී භාවිතාවක් අනුගමනය කළ එකම විප්ලවාදී නායකයා වූයේ චේ ගුවේරා ය.
චේ උපත ලැබුවේ (14/6/1928) අර්ජෙන්ටිනාවේ රොසාරියෝ හි දී මෙයට අවුරුදු 98 කට පෙර අද වැනි දිනක ය. ජයග්‍රාහක කියුබානු විප්ලවයේ මුල් පෙළෙහි නායකයකු වූ චේ බොලිවියානු විප්ලවයේ ගිනි දලු අවුළමින් සිටි අතර ඔහු සහාසික ලෙස ඝාතනය කළේ බොලිවියානු සතුරු හමුදාවන් විසින් මෙයට වසර 61 ට පෙර (09/10/1967) දී බොලිවියාවේ ලා හිගුරරා හිදී ය. ඔහු ඝාතනය කරන විට 39 වැනි වියේ පසු වූ දැඩි ලෙස අධිෂ්ටානයක් පෙන්වූ ගරිල්ලා සටන් කරුවෙකි. ඇමරිකානු රහස් ඔත්තු සංවිධානයේ ද (CIA ) ඍජු සහහෝගය ඇතිව ඔහු ඝාතනය කරනු ලැබිණ.
මේ කෙටි සටහන එබඳු සටන් කාමියෙකු විසින් ලෝක විප්ලවය සඳහා ඉතිරි කළ න්‍යායික, දේශපාලන සහ දෘෂ්ටිමය දායාදය ගැන කරන සිහි ගැන්වීමකි. අද කියුබානු විප්ලවය එහි ඉතිහාසයේ පෙනෙන ආකාරයට ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අතිශය කෝපයට සහ ඉන් එල්ලවන අනතුරට මුහුණ පැමිණ සිටින අවස්ථාවක එහි ප්‍රමුඛ නායකයෙකු වූ චේ ගුවේරා ගේ උපන්දින සැමරුම කියුබානු ජනතාව ගේ ජයග්‍රහණ සමග බද්ධ කිරීම අතිශයින්ම තීරණාත්මක කාරණයක් වෙයි. කියුබාව පිළිබඳව ඇමරිකානු ආණ්ඩුවේ කෝපය තවමත් පවතින්නේ 1959 කියුබානු විප්ලවය ජයග්‍රහණය කිරීමෙන් පසුව ඇමරිකානු දේපළ ජනසතු කිරීම සහ එයටත් වඩා කියුබාව තම යටත් විජිතයක් සේ පවත්වා ගැනීම අහිමි වීම නිසා ය. චේ කියුබානු විප්ලවයට සම්බන්ධ වන්නේ මෙක්සිකෝවේ දී එකල කියුබානු සංක්‍රමණිකයන් සමග පැවැත්වූ සම්බන්ධකමවල දී එවකට කස්ත්‍රෝ ජුලි 26 ව්‍යාපාරය පන ගැන්වීම සඳහා තරුණ කොටස් බඳවා ගනිමින් සිටින අවස්ථාවේ ය.
මෙක්සිකෝවේ සිට කියුබාවට කළ අනතුරුවලින් පිරි ගමන
කස්ත්‍රෝ, චේ සහ රාවුල් ඇතුළු සටන්කාමීන් 82ක් 1956 නොවැම්බර් 25 දින ආයුධ සහිතව 12කට පමණක් ගමන් කළ හැකි, 1943 දී සැදු කුඩා නැවක මෙක්සිකෝවේ ටුක්ස්පන් වරායෙන් කියුබාව බලා ගමන් ඇරඹි ය. මේ කුඩා නැවේ දිග මීටර් 18 ක් පමණි. මේ නව සැදු තැනැත්තා විසින් තම මිත්තනිය සිහි වීම පිණිස එයට ග්‍රන්මා (Granma) යන නම තබා ඇත. කිසිදා නොසිතු පරිදි එය කියුබානු විප්ලවය සමග බැඳුණු සුප්‍රසිද්ධ නම බවට පත් වුයේ එසේ ය. දෙසැම්බර් මස් 3 දින ඔවුන් කියුබානු වෙරළ තීරය අසලට ළංවෙමින් සිටින විට බැටිස්ටා හමුදාවේ හෙලිකොප්ටර් යානයකින් ඔවුන් හඳුනා ගත්තේ ය. ඔවුන් ප්ලායා ලෙස් කොලාරදෙස් වෙත ගොඩ බැස ගත් නමුත් සටන්කාමීන්ට එල්ල කළ හමුදා ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්තේ 12 කු පමණි. මේ 12 නා අතරට කස්ත්‍රෝ, චේ සහ රාවුල් අයිති විය. අවසානයේ මේ 12දෙනා සියරා මහේස්ත්රා කඳු වැටියට ළගා වී සන්නද්ධ අරගලය ආරම්භ කළහ. මෙය ඔවුන්ගේ අධිෂ්ඨානය සැබෑ ලෙස ම පරික්ෂාවට ලක් වූ අවස්ථාවක් විය. චේ මුලින් ගරිල්ලා කණ්ඩායමේ වෛද්‍ය වරයා ලෙස පත් වුවත් පසුව ෆිදෙල් විසින් ඔහු යුද්ධ සේනාවක කොමාන්ඩර් වරයෙක් ලෙස පත් කරනු ලැබිය.
කියුබානු විප්ලවය ජයග්‍රහණය
කියුබානු විප්ලවය 1956 ජනවර් 1 දා කියුබානු ආඥාදායකයා වූ බැටිස්ටා කියුබාවෙන් පලා යාමෙන් පසුව ජයග්‍රහණය කළ අතර චේ ඇතුළු මුල්පෙළේ නායකයින් වූ: කස්ත්‍රෝ, රවුල් සහ කැමිලෝ සෙන්ෆුගොස් ජයග්‍රහණය දැක ගැනීමට සුරක්ෂිත වුහ. කෙසේ නමුත් කැමිලෝ සෙන්ෆුගොස් හදිසි අනතුරකින් ජීවිතය අහිමි කර ගත්බව වාර්තා විය. චේ කියුබානු ජාතික බැංකුවේ සභාපති විය. රටේ මුල්‍ය තත්ත්වය පාලනය කිරීම සඳහා වගකීම චේ ට පැවරුණි. 1961 කර්මාන්ත ඇමතිවරයා වෙමින් රාජ්‍ය සැලසුම් ආර්ථිකයක් දක්වා කියුබාව පර්වර්තනය කිරීමේ කාර්ය චේට පැවරුණි. ජාත්‍යන්තරව රාජ්‍යතාන්ත්‍රික කටයුතු ගොඩනැගීමේ වගකීම ද පැවරුණේ ඔහුටයි. ආසියාව, අප්‍රිකාව සහ යුරෝපය සමග වෙළඳ සම්මුති ඇතිකර ගැනීමත් ආර්ථික ආධාර ලබා ගැනීමත් ඔහුට පැවරුණ විප්ලවයේ වගකීම් විය. ඔහු ලංකාවේ සංචාරය කළේ ද මේ ඔහුට පැවරුණ වගකීම්වල කොටසක් වශයෙනි. සෝවියට් සංගමය සමග සම්බන්ධකම් ගොඩනැගුවේ ද චේ ය.
චේ ගේ ගරිල්ලා යුද්ධ සංග්‍රාමය
කියුබානු විප්ලවය මුලධර්ම තුනක් අමරිකාවේ විප්ලවාදී ව්‍යාපාරය ඉදිරියට ගෙන යෑම සඳහා එකතු කළ බව චේ ඔහුගේ 'Guerilla Warfare' (p. 7 1961)කෘතියේ පෙන්වා දෙයි. එනම්:
(1)හමුදාවට එරෙහිව ජනතා බලවේගවලට යුද්ධයක් කොට ජයග්‍රහණය කළ හැකි ය.
(2)විප්ලවයක් කිරීම සඳහා පවතින සියලුම තත්ත්ව සම්පුර්ණ වනතුරු බලා සිටීම අවශ්‍ය නොවේ, කැරැල්ල මගින් ඒවා නිර්මාණය කළ හැකිය.
(3) ඌන සංවර්ධිත ඇමරිකාවෙහි පිටිසර බද ග්‍රාමීය ප්‍රදේශ සන්නද්ධ සටන් සඳහා මුලික ප්‍රදේශය වෙයි.
මේ ප්‍රස්තුත තුනෙන් පළමු දෙක අක්‍රියව සිටින සහ වෘත්තිමය හමුදාවකට එරෙහිව කිසි දෙයක් කළ නොහැකි යැයි කියන ව්‍යාජයේ සරණ යන සියලු ම විෂය මුලික සහ මනෝමුලික තත්ත්ව වේගවත් කරන්නේ නොමැතිව යම්කිසි යාන්ත්‍රික මගකින් එය සිදුවන තෙක් වාඩි ලා ගෙන සිටින විප්ලවවාදීන් ගේ සහ බොරු විප්ලවාදින් ගේ පරාජිත ආකල්ප ප්‍රතිවිරෝධයට ලක් කරන බව චේ ප්‍රකශ කරයි.
චේ ගුවේරා විසින් ඉදිරිපත් කරන ලද 'ෆෝකෝ න්‍යාය'(Foco theory නැත්නම් Foquismo) මගින් ඉදිරිපත් කරන ලද්දේ කුඩා ඉතාමත් ජංමශීලි මෙන්ම කැපවීමක් සහිත සහිත පෙරටු බළ ඇණියකට පුළුල් විප්ලවයක ගිනිසිළු දැල්විය හැකි බවයි. බහුජන නැගිටීමක් හෝ නැත්නම් පුර්ණ ආර්ථික තත්ත්ව ඇති වන තෙක් බලා සිටිනුවා වෙනුවට සන්නද්ධ කණ්ඩායමකට පීඩක රජයකට එරෙහිව ග්‍රාමීය ජනතාව උත්ප්‍රේරකයක් ලෙස ඇවිළවීමට හැකිවනු ඇතැයි චේ ගුවේරා විශ්වාස කළේ ය.
ඒ අතරම චේ මේ අනතුරු හැඟ වීම ද කරයි. ව්‍යාජ ලෙස හෝ එසේ නොමැතිව යම්කිසි මහජන ඡන්දයකින් බලයට පත්ව ඇති ආණ්ඩුවකට එරෙහිව එසේත් නැත්නම් අඩුම වශයෙන් ව්‍යවස්ථාපිත නීත්‍යනුකුලත්වය තබා ගන්න ආණ්ඩුවකට එරෙහිව ගරිල්ලා යුද්ධයක් කළ නොහැකිවන්නේ සාමකාමී අරගලයක හැකියාව තවමත් අවසාන වී තවමත් පවතින බැවිනි.(p.8)එමනිසා සන්නද්ධ අරගලයක සුජාත භාවය අවලංගු කිරීමේ හැකියාව චේ ඉදිරිපත් කළ බව අප සිහි තබා ගත යුතු කරුණකි.
චේ ගුවේරා සිය ළමයින්ට ලියු ලිපිය
1966 දී බොලිවියාව බලා පිටත් වීමට කලින් චේ ගුවේරා සිය ළමයින්ට ලියු ලිපිය වැදගත්වන්නේ විප්ල්වාදීන් සිය විප්ලවීය යුතුකම පවුල් සම්බන්ධකම්වලට වඩා ඉහළින් තැබූ බව පෙන්විමටයි.
ආදරණීය හිල්දිටා අලේයිදිටා, කැමිලෝ සීලියා සහ අර්නෙස්ටෝ...,
ඔබ කවදා හෝ මේ ලිපිය කියවන්නේ නම් එයට හේතුව වන්නේ මා තව දුරටත් ඔබලා සමග නැති නිසා ය. ඔබලා ට ප්‍රයෝගිකව මා මතක නැතිවෙනවා ඇති. කුඩා අයට මාව කොහොමටවත් මතක නැති වනවා ඇති. ඔබ ගේ පියා ඔහු ගේ විශ්වාසවලට අනුව ක්‍රියාකරන කෙනෙක් වගේම නිශ්චිත ලෙස ම දැඩි විශ්වාසවලට පක්ෂපාතිත්වය ඇති අයෙක්. ඔබලා හොඳ විප්ලවාදීන් වශයෙන් හැදී වැඩෙන්න. මහන්සියෙන් ඉගෙන ගැනීමෙන් ලබාගන්න තාක්ෂණික නිපුණතාව අපට ස්වභාවධර්මය ගැන නිපුණතාවය ලබා ගැනීමට හැකියාව ලබා දෙයි.
වැදගත් වන්නේ විප්ලවය බවත් අප සැම කෙනෙක්ම තනි තනිවම නොවටිනා බව මතක තබා ගන්න. සියල්ලට ම වඩා සැමවිට ම ලෝකයේ ඕනෑම තැනක, ඕනෑම කෙනෙකුට සිදුවන කුමන හෝ අසාධාරණයන් ගැන ගැඹුරු ලෙස දැනීමට හැකියාවක් ලබා ගන්න. මෙය විප්ලවදියකුගේ ඉතාමත් ලස්සන ගුණාංගයකි.
සදහටම මගේ දරුවනි . මම ඔබලා දැක බල ගැනීමට තවමත් අපේක්ෂා කරමි.
විශාල හාද්දක් සහ සිප වැළඳ ගැනීමක්.
මේ තාත්තා.
චේ ගුවේරා බොලිවියාවට රහසිගතව අතුල්වුයේ 1966 නොවෙම්බර් මස ය. ඔහු ගේ දරුවන්ට යළිත් කිසිදා චේ දැක ගත නොහැකි විය.
කියුබානු විප්ලවය මුහුණ දෙන අනතුර
කියුබානු විප්ලවය ජයග්‍රහණය කළ දින සිට ම වාගේ ඇමරිකානු අධිරාජ්‍යවාදීන් එය පරාජය කිරීම සඳහා රහසි ගත මෙන්ම එළි පිට කළ නොයෙක් ආකාරයේ සතුරු ක්‍රියාවලින් පශ්චාත් විප්ලවීය ඉතිහාසය පිරී පවතී. මෑතක සිට වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපදය කියුබානු විප්ලවය පරාජය කිරීමේ උත්සාහ උත්සන්න කර ඇත. ඇමරිකාව ඉතිහාස කාලපරිච්ඡේදයක් මුළුල්ලේ පානවා ඇති සම්භාධක නිසා කියුබානු ආර්ථිකය වැඩීමට අවශ්‍ය දේශීය සහ ජාත්‍යන්තර ආර්ථික තත්ත්ව ඉමහත් නිශේධාත්මක බල පෑමක් කොට ඇත. 'මව්බිම නැත්නම් මරණය' යන සටන් පාටය එදාට මෙන්ම අදටත් වලංගු වන්නේ එබැවිනි. කියුබානු විප්ලවය ආරක්ෂා කළ යුත්තේ ලතින් ඇමරිකානු විප්ලවාදී ව්‍යාපාරය ඇතුළු ජාත්‍යන්තර විප්ලවාදී ව්‍යාපාරය විසිනි.නැතනම් ඇමරිකා එක්සත් ජනපද කම්කරු පන්තිය විසිනි.කම්කරු පන්තිය තුළ ධනේශ්වර මතවාදය ජයගෙන ඇති නිසා එබඳු වාසිසහගත තත්ත්වයක් දිකින්නට නොමැතිය. කියුබානු විප්ලවයෙන් පසුව ලතින් ඇමරිකාවේ ජයගත් නිකරගුවානු විප්ලවය ට කියුබාව ආරක්ෂා කිරීම බඳු භාරදුර කාර්යයකට අත ගැසිය නොහැකි ය. මෑත දී වෙනිසියුලාවේ ඇමරිකානු අත පෙවීම් කියුබානු විප්ලවයට අවාසිසහගත ලෙස බලපවත්වයි. මේ තත්ත්වය හරියට ම 1917 ඔක්තෝබර් විප්ල්වයෙන් පසුව ලෙනින් බලාපොරොත්තු වුයේ යුරෝපිය විප්ලවයේ ජයග්‍රහණ තම රටේ සමාජවාදී ආණ්ඩුවේ ආධාරයට පැමිණෙනු ඇති බවය. නමුත් එය එසේ සිදු නොවිණි. එක රටක විප්ලවය තනි වීම ලෝක ධනේශ්වර ආධිපත්‍යයේ ආක්‍රමණශීලීභාවය වැඩි කරන්නක් වන නිසා එම තත්ත්වය බෙහෙවින් අනතුරුදායක ය. කෙසේ නමුදු චේ ගුවේරා, කස්ත්‍රෝ, සහ කමිලෝ සේෆුගොස් යනාදි විප්ලවීය නායකයින් ගේ අධිෂ්ඨානය සහ සතුරාට යටත් නොවී පැවැත්මේ දී ඔවුන් බිහිකළ පුරාවෘත්තමය අභිමානය කියුබානු විප්ලවයේ ආරක්ෂාව සහතික කරනු ඇතැයි අපි උදක්ම බලා පොරොත්තු වෙමු.
අර්නෙස්ටෝ චේ ගුවෙරාට උපන්දින ශුභාශිංසන...!

සටහන - දයාපාල තිරාණගම(Dayapala Thiranagama)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
