පාලිතගේ ප්‍රකාශය එජාපයේ ස්ථාවරය නොවේ - රවී කරුණානායක

පාලිතගේ ප්‍රකාශය එජාපයේ ස්ථාවරය නොවේ - රවී කරුණානායක

ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ ධූර කාලය තවත් වසර දෙකකට දික් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් සිදුකර ඇති

ප්‍රකාශය පක්ෂයේ මතය නොවනබව එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

ව්‍යවස්ථානුකුලව නියමිත කල වකවානුවේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන අතර නිර්දේශපාලනික අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ එම මැතිවරණයට ඉදිරිපත් වන බව රවී කරුණානායක සඳහන් කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ ඊයේ පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී එජාප මහ ලේකම් රංගේ බණ්ඩාර විසින් “ජාතිය බේරා ගැනීම සඳහා” ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂය යෝජනා කළේ යැයි කළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.

එහිදී රංගේ බණ්ඩාර තවදුරටත් පැවසුවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ අනෙකුත් පරිත්‍යාගශීලීන් සමඟ රජය ගිවිසුම්වලට එළඹ ඇති බවත්, මෙම අභ්‍යාසය සාර්ථක කර ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලසීමාව දීර්ඝ කිරීම අත්‍යවශ්‍ය බවත්ය.

ආර්ථිකය ස්ථාවර කිරීම හැමදේටම වඩා වැදගත් යැයි රංගේ බණ්ඩාර අවධාරණය කළේය.

“ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලසීමාව දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් අපි යෝජනා කරනවා, එය කළ හැකි වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය එයයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම ප්‍රකාශය නිකුත් වීමත් සමඟම සියලු දේශපාලන පක්ෂ තුළ අවුල් සහගත තත්ත්වයක් ඇති වී තිබිණි.

මෙම ප්‍රකාශය තම මහලේකම්වරයා හරහා ඉදිරියට දමා මහජනතාවගේ ප්‍රතිචාරය පරීක්ෂා කිරීමට රනිල් වික්‍රමසිංහ උත්සාහ කළේ දැයි දේශපාලන පක්ෂ තුළ බරපතල සැකයක් මතුව ඇත.

එහෙත් කොළඹ දිස්ත්‍රික් එජාප නායක රවී කරුණානායක මාධ්‍ය ඔස්සේ අවධාරණය කර තිබුණේ එය රංගේ බණ්ඩාරගේ පුද්ගලික ප්‍රකාශයක් මිස වෙන දෙයක් නොවන බවය.

“මේක ජනාධිපතිතුමාගේ තීරණයක් නෙවෙයි” රවී කරුණානායක කීවේය.

ජනතා විශ්වාසය රැකගෙන කටයුතු කිරීම මිස වෙනත් ක්‍රමවලට වැඩකර පලක් නැති බව ද රවී කරුණානායක අවධාරණය කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න