පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ එකාබද්ධ බලබණ්ඩලයේ සභාපති රවි කුමුදේශ්, ඉන්ධන සීමාකරණ තත්ත්වය තුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අදාළ පහසුකම් හා සහන කඩිනමින් සැලසීම පිළිබඳව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ සෞඛ්‍ය ලේකම්වරයාට ලිපියක් යොමු කර ඇත.
මතු පළ වන්නේ එම ලිපිය යි.
සෞඛ්‍ය අමාත්‍ය
වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා
සෞඛ්‍ය අමාත්‍යාංශය
කොළඹ
සෞඛ්‍ය ලේකම්
වෛද්‍ය අනිල් ජාසිංහ මැතිතුමා
සෞඛ්‍ය අමාත්‍යාංශය
කොළඹ
ඉන්ධන සීමාකරණ තත්ත්වය තුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අදාළ පහසුකම් හා සහන කඩිනමින් සැලසීම පිළිබඳව
ශ්‍රී ලංකාවේ පවතින ඉන්ධන සීමාකරණ තත්ත්වය හමුවේ හඳුන්වා දී ඇති කේත පදනම් කරගත් ඉන්ධන බෙදාහැරීමේ ක්‍රමය (QR ක්‍රමය) යටතේ, සෞඛ්‍ය සේවාවට අදාළව මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කරවීමට මෙම ලිපිය මගින් කටයුතු කරමු.
සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් වන අතර, එය කිසිදු අවස්ථාවක නතර කළ නොහැකි සේවාවක් බව ඔබ විසින්ද පිළිගෙන ඇත. එහෙත්, එම සේවාව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන මූලික පහසුකම් සපයන ආකාරය තුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් සුවිශේෂී සැලකිල්ලක් ලබා දී නොමැති බව කණගාටුවෙන් සඳහන් කරමු.
දැනට ක්‍රියාත්මක වන ඉන්ධන බෙදාහැරීමේ ක්‍රමවේදය යටතේ, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ද අනෙකුත් සාමාන්‍ය පුරවැසියන්ට ලබාදෙන ප්‍රමාණයට සමාන ඉන්ධන ප්‍රමාණයක් ලබාදීම, ඔවුන්ගේ රාජකාරිමය අවශ්‍යතා සැලකිල්ලට නොගත් ප්‍රතිපත්තිමය ක්‍රියාවක් ලෙස පෙනී යයි. රෝහල් වෙත දිගු දුර ගමන් කිරීමට, හදිසි කැඳවීම් සඳහා සූදානම්ව සිටීමට සහ දිවා-රාත්‍රී සේවාවන් ඉටු කිරීමට බඳවා ඇති සෞඛ්‍ය වෘත්තිකයන්ට, එම සීමා යටතේ රාජකාරි ඉටු කිරීම බරපතල අපහසුතාවයක් බවට පත්ව ඇත.
එමෙන්ම, රට පුරා පවතින දිගු ඉන්ධන පෝලිම් හේතුවෙන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තම සේවා කාලය වෙනුවට ඉන්ධන ලබා ගැනීම සඳහා කාලය වැය කිරීමට සිදුවීම, සෞඛ්‍ය සේවා සැපයීමේ අඛණ්ඩතාවයට සෘජුව බලපාන තත්ත්වයක් බවද අවධාරණය කරමු.
ඉන් අමතරව, සියලු රාජ්‍ය සේවකයන්ට බදාදා දිනය නිවාඩු දිනයක් ලෙස නියම කර ඇති අතර, එම නිවාඩුව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අදාළ නොවන බව අපි අවධාරණය කරමු. එම නිසා, අනෙකුත් රාජ්‍ය සේවකයන් නිවාඩුව භුක්ති විඳින අවස්ථාවකදී, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අනිවාර්යයෙන් සේවයට වාර්තා කිරීමට සිදුවීමෙන් ඔවුන් සුවිශේෂිත රාජකාරිමය පීඩාවකට ලක්වී ඇති බව පැහැදිලිය. එවන් තත්ත්වයක් තුළ ඔවුන්ගේ අවශ්‍යතා සාමාන්‍යකරණය කිරීම අසාධාරණය බව අපි තරයේ අවධාරණය කරමු.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, පහත කරුණු සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔබතුමාලාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
1. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ රාජකාරිමය අවශ්‍යතා අනුව අමතර ඉන්ධන කෝටාවක් ලබාදීමට කටයුතු කිරීම
2. ප්‍රමුඛතාවය ලබා දී ඉන්ධන ලබා ගැනීමට හැකි විශේෂ ක්‍රමවේදයක් හඳුන්වා දීමද අත්‍යවශ්‍ය වේ.
3. අනෙකුත් රාජ්‍ය සේවකයන්ට නිවාඩු දිනයක් ලෙස නියම කර ඇති දිනවලදී සේවයට පැමිණීම අනිවාර්ය කර ඇති සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා, නිවාඩුදින දීමනා අනුමත කිරීම.
එසේම, උක්ත කරුණු සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු නිල සාකච්ඡාවක් පවත්වා නොමැතිවීම බරපතල නොසලකා හැරීමක් බව පෙනෙවා දෙන අතර, සේවාව පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය පහසුකම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් අවස්ථාවක් ලබා දෙන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමු.
ඔබගේ කඩිනම් අවධානය සහ සුදුසු ක්‍රියාමාර්ග අපේක්ෂා කරමු.
ස්තුතියි...!
රවි කුමුදේශ්
සභාපති
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ එකාබද්ධ බලබණ්ඩලය

