පාර්ලිමේන්තු මන්ත්‍රි ලාල් ප්‍රේමනාත්ට අධිකරණ අමාත්‍යවරයා පිළිතුරු සපයයි

පාර්ලිමේන්තු මන්ත්‍රි ලාල් ප්‍රේමනාත්ට අධිකරණ අමාත්‍යවරයා පිළිතුරු සපයයි

පාර්ලිමේන්තු මන්ත්‍රි ලාල් ප්‍රේමනාත් විසින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර ගෙන් අද (17) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයට සහ අතුරු ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දී ඇත.

මතු පළ වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි ලාල් ප්‍රේමනාත් විසින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර ගෙන් විමසන ලද ප්‍රශ්න සහ ඒ සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර ලබා දුන් පිළිතුර ය.

(අ) (i) නායයෑමේ තර්ජනයක් හේතුවෙන් මොරවක මහෙස්ත්‍රාත් අධිකරණය 2021 වර්ෂයේ සිට ගැටබරු රජමහා විහාරයේ ශාලාවක තාවකාලිකව පවත්වා ගෙන යන බවත් ;

අධිකරණ ගොඩනැගිල්ලට ඉහළින් ඇති රැඳවුම් බැම්මේ කොටසක් ඉරිතැලීමට ලක්ව ඉදිරියට නෙරා ඒම සහ ඉහළින් ඇති කඳු බෑවුම අස්ථාවර වීම හේතුවෙන් ගොඩනැගිල්ලට හා එය භාවිතයට ගන්නන්ට ඇතිවූ අවදානම් තත්ත්වය සලකා බලා අධිකරණය 2021.01.18 දින සිට කොටපොල ගැටබරුව රජමහා විහාරස්ථානයේ කුලී පදනමකට ලබා ගත් ගොඩනැගිල්ලක පිහිටුවා ඇත.

(ii) ඒ සඳහා විශාල මුදලක් මාසික කුලිය ලෙස වැය වෙන බවත්;

එම ගොඩනැගිල්ල සඳහා රු 440,000.00ක මුදලක් මාසික කුලිය ලෙස ගෙවීම් කරනු ලැබේ.

(iii) තාවකාලික ගොඩනැගිල්ලේ ඉඩ ප්‍රමාණය, භෞතික සම්පත් සහ තාක්ෂණික පහසුකම් ප්‍රමාණවත් නොවීමෙන් අධිකරණ කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාමට නොහැකි වී ඇති බවත් ;

අධිකරණය පවත්වාගෙන යන්නේ තාවකාලීකව කුලියට ගත් ගොඩනැගිල්ලක බැවින්, හෞතික සම්පත් සහ තාක්ෂණික පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සේවාලාභීන් හා අධිකරණ නිලධාරීන් අවම පහසුකම් යටතේ අධිකරණ කටයුතු පවත්වාගෙන යනු ලබයි. එසේම, නඩු භාණ්ඩ ගබඩා කිරීම සඳහා දැනටමත් භාවිතා කරන්නේ මොරවක අධිකරණ ගොඩනැගිල්ල වේ.

එතුමා දන්නෙහිද?

(ආ) (i) මෙම මූල්‍ය පාඩුව වළක්වා ගැනීමට ගෙන ඇති පියවර කවරේද ;

අධිකරණයට ඉහලින් ඇති රැඳවුම් බැම්ම හා කඳු බෑවුම ස්ථාවර කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් 2021 වසරේ දී නිර්දේශ හා ඇස්තමේන්තු ලබා දී ඇත. එහෙත්, රට තුළ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වී ඇත.

(ii) මහෙස්ත්‍රාත් අධිකරණය පෙර පැවති භූමිය පිළිබඳව භූ විද්‍යාත්මක තත්ත්ව වාර්තාවක් මේ වනවිට ලැබී තිබේද ;

නැවතත් අධිකරණය මෙම ගොඩනැගිල්ල තුළ ස්‍ථාපනය කිරීමේ අරමුණෙන් 2025 වසරේ දී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නිර්දේශ, සැලසුම් හා ඇස්තමේන්තු ලබා ගෙන ඇත.

(iii) එම වාර්තාව මඟින් ලබා දී ඇති නිර්දේශ කවරේද;

එමගින් රැඳවුම් බැම්මේ උස යම්තාක් දුරකට අඩුකර, රැඳවුම් බැම්මට ඉහළින් ඇති කඳු බෑවුම පස් සවිවර ගැන්වීමේ ක්‍රමය (soil nailing) ඔස්සේ ස්ථාවර කිරීම සඳහා නිර්දේශ ලබා දී ඇත.

(iv) මොරවක මහෙස්ත්‍රාත් අධිකරණය ස්ථිරව ස්ථානගත කිරීම සඳහා ගතවන කාලවකවානුව කවරේද;

•එම ව්‍යාපෘතිය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදේශක සේවා ලබා ගනිමින් ක්‍රියාත්මක කිරීම සඳහා /25/1299/818/082 හා 2025.08.04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් අනුමැතිය ලබා දී ඇත.

•එම අමාත්‍ය මණ්ඩල තීරණය ලබා දීමෙන් අනතුරුව, මෙම කාර්යය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් ක්‍රියාත්මක කරනු ලබන, “ස්ථායිකරණ ක්‍රමවේද මගින් නායයෑම් අවදානම අවම කිරීමේ ව්‍යාපෘතිය” හරහා ඉටුකළ හැකි බව දන්වා තිබූ බැවින් එලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශයේ එකඟතාවය දන්වා ඇත. ඒ සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) හා ශ්‍රී ලංකා රජය අතර ඇතිවූ ගිවිසුම්ගත ණය මුදලක් හරහා මූල්‍ය ප්‍රතිපාදන සපයන බව දන්වා ඇත.

•ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රසම්පාදන කටයුතු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් සිදු කරමින් පවතී.

මෙම කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතිය අප්‍රේල් මස තුන්වන සතිය වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරනු ලබන බවත් මාස හයක කාලයක් තුළදී එම ස්ථාවර කිරීමේ කටයුතු අවසන් කිරීමට හැකිවෙතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දන්වා ඇත. එම කාල සීමාව තුළදීම අධිකරණ සංකීර්ණයේ අළුත්වැඩියා කටයුතුද අවසන් කර මෙම වසරේ දෙසැම්බර් මාසයේදී අධිකරණ එහි ස්ථාපනය කිරීමට අපේක්ෂා කෙරේ.

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

පැන නොනගී.

පාර්ලිමේන්තු මන්ත්‍රි ලාල් ප්‍රේමනාත් මහතා විසින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගෙන් අතුරු ප්‍රශ්න සදහාද අමාත්‍යතුමා විසින් පිළිතුරු ලබා දෙන ලදි.

ප්‍රශ්නය - මේ අධිකරණයේ ගැටළුව වසර හතරකට වඩා වැඩි කාලයක් තිබෙනවා. දිගින් දිගටම මේ සම්බන්ධයෙන් නීතිඥ මහත්වරුන් මහජනතාව සහ සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී කථාබහට ලක් වුණා. අපි බලයට පත්වෙලා පළවෙනි සම්බන්ධිකරණ කමිටු රැස්වීමේ සිට මේ සම්බන්ධයෙන් කථා වුණා. නමුත් මෙය හොද පැත්තට යොමු කිරිමේදී නිලධාරීන්ගේ ප්‍රමාදයක් තිබුණා. ඒ ගැන හදුනාගෙන තිබේද. ?

පිළිතුර - ඔව් හදුනාගෙන තිබෙනවා. මේ ප්‍රශ්නය ඇසීම සම්බන්ධයෙන් මන්ත්‍රිතුමනි ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා. අපි බලයට පත් වෙන විට අතරමග නැවතුනු අධිකරණ ව්‍යාපෘති 60 කට වඩා සංඛ්‍යාවක් තිබුණා. මේ අධිකරණයේ තිබෙන තත්වය අපි ඔබතුමා ඇතුළු පාර්ශ්ව හරහා දනුවත් වුණා. ඉන්පසුව අමාත්‍යාංශයේ නිලධාරීන් හා එක්ව කැබ්නට් පත්‍රිකා ඉදිරිපත් කරලා අවශ්‍ය කටයුතු සිදු කළා. මේ තත්වය සම්බන්ධයෙන් ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හා එක්ව කටයුතු කරගෙන ගොස් තිබෙනවා. නමුත් දිට්වා ආපදා තත්වය හේතුවෙන් ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට රාජකාරි කටයුතු බහුල වුණා. නමුත් දැන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කටයුතු කරනවා. කෙසේ වෙතත් මේ වසරේ මෙය අවසන් කරනවා.

ප්‍රශ්නය - මේ නිසා මහජනතාව ඇතුළු අධිකරණයට පැමිණෙන බොහෝ දෙනාට අවම සනිපාරක්ෂක පහසුකම්වත් සපයා ගැනීමට නොහැකිව තිබෙනවා. මේ අධිකරණයේ කටයුතු දැනට සිදු කරගෙන යන ගැටබරු රජමහා විහාරයට බැතිමතුන් විශාල සංඛ්‍යාවක් පැමිණෙනවා. ඔවුනුත් පීඩාවට පත්වෙනවා. මෙහි ඉක්මණින් වැඩ අවසන් කිරීමට කටයුතු කරනවාද ?

පිළිතුර- ඉතා ඉක්මණින් අවසන් කරනවා. ඔය උසාවියේ තිබෙන තත්වය සාධාරණි කරනවා නොවෙයි. වසර ගණනාවක සිට අධිකරණවල යටිතල පහසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙනවා. ඒවාට පිළියම් යොදනවා. කඩිනමින් වැඩ අවසන් කළ යුතුයි. මක් නිසාද ? හොද ගොඩනැගිල්ලක් තියාගෙන තවත් තැනකට කුලී ගෙවමින් ක්‍රියා කිරීම පිළිගත හැකි තත්වයක් නොවේ. ඒ නිසා අධිකරණය ස්ථාපිත කිරීමට සෑම උත්සාහයක්ම ගන්නවා.

මාධ්‍ය ඒකකය

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න