V2025

පුවත්

21 නිසා ස්වාධීන කොමිෂන් සභා අහෝසියි !

දැනට ක්‍රියාත්මක ස්වාධීන කොමිෂන් සභාවල නිල කාලය විසිඑක්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමත් සමග අවසන් වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි .

ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් ඉදිරි සති දෙක ඇතුළත පත්කර ගැනීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා ව්‍යවස්ථාදායක සභාව පත්කර ගැනීමෙන් පසු ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් සති දෙක දෙකක කාලයකදී පත් කරගැනීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කර සිටියි.

ජාතික මැතිවරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිසම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, ප්‍රසම්පාදන කොමිසම ජාතික විගණන කොමිසම රාජ්‍ය සේවා කොමිසම ඇතුළු කොමිෂන් සභා විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමග යළි බලගැන්වෙන ආයතන වේ.

හිත හදාගන්න : තිළිණිට දුන්න කළු සල්ලි වතුරේ !

තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය වන තිලිනි ප්‍රියමාලි නැමැත්තිය ට රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දුන් අයට එම මුදල් නැවත ලබා ගැනීමට නොහැකිවීමේ අවදානමක් මතුව ඇතැයි විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සැකකාරිය වංචා කරන ලදැයි කියන රුපියල් කෝටි දාහකට අධික මුදලක් සම්බන්ධයෙන් අදහස් දක්වන විමර්ශන අංශ සඳහන් කරන්නේ මේ වන විටත් එම මුදල් වලින් බොහෝ ප්‍රමාණයක් සැකකාරිය සතුව නොමැති බවට පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවය.

තැන්පත්කරුවන් තැන්පත් කළ බොහෝ මුදල් සැකකාරිය වියදම් කර ඇති බවත් මේ වසරේ මුල සිට ජුනි මාසය දක්වා වූ කාලය තුළ ඇගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි තුන්සියයකට අධික මුදලක් තැන්පත් වී තිබු නමුත් මේ වන විට එම ගිණුම්වල කිසිදු මුදලක් ඉතිරි වී නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත .

තිළිණි ප්‍රියමාලි ට මෙරට දේශපාලනඥයන් පිරිසක් , මෙන්ම මාධ්‍ය නාලිකා හිමිකරුවන් සහ තවත් ප්‍රසිද්ධ පාර්ශ්ව රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දී ඇතත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට මෙතෙක් ඔවුන් ඉදිරිපත් වී නොමැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩි දුරටත් කරුණු ඉදිරිපත් කර තිබු

බැසිල්ගේ බලය ඉවරයි : JC කියයි !

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ තවදුරටත් යමක් කළ නොහැකි බව විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීමේදී හොඳින් පැහැදිලි වුණු බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල පැවසීය.

බැසිල් රාජපක්ෂගේ කීමට පිටින් ගොස් මන්ත්‍රීවරුන් එම සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව පැවසූ මන්ත්‍රීවරයා අද බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බලයක් නැති බවද සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ කොළඹදී අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එහිදී මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ ජනතාවට අද ජීවත්වීමට නොහැකි අන්ත දරිද්‍ර වාතාවරණයක් රටේ ගොඩ නැගී ඇති බවත් දරුවන්ට කන්න දීමට සියලු දේ උකස්කර තවදුරටත් උකස් කිරීමට ඔවුනට දෙයක් ඉතිරිව නොමැතිව හූල්ලමින් සිටින බවය.

කෙසේ වුවත් මන්ත්‍රීවරයා ආණ්ඩුව විසින් මේ වන විට පාසල් දරුවන් ප්‍රමුඛ රටේම ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අදහස් නොදැක්වීමට ප්‍රවේසම් විය.

LTTE 08 කට ජනාධිපති සමාව !

එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම් හේතුවෙන් බන්ධනාගාර ගතව සිටි එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් අටදෙනකුට ජනාධිපති සමාව හිමිව ඇතැයි අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, චන්දන ඒකනායක පවසයි.

මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි එල්.ටී.ටී.ඊ. රැඳවියන් හතර දෙනකු සහ තවත් එල්.ටී.ටී.ඊ. රැදවියන් දෙදෙනකු සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ පවතින නඩු එම රැඳවියන් ඉල්ලා අස්කර ගැනීමෙන් පසු නිදහස් කිරීමට නියමිත බවත් ඔහු පැවසීය .

එල්.ටී.ටී.ඊ. රැදවියන් දෙදෙනෙක් පුනරුත්ථාපන කටයුතු අවසන් වීමෙන් අනතුරුව නිදහස් කිරීමට අවශ්‍ය උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් එම උපදෙස් හා නියෝග අනුව ඉදිරියේ කටයුතු කරන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය .

නම්බු පිට එළියට යන්න : පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 කට පාඨලී කියයි !

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමග ද්විත්ව පුරවැසිභාවය සහිත කිසිවකුටත් පාර්ලිමේන්තු මන්ත්‍රීධුර දැරිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසීය.

ඒ අනුව පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් දස දෙනකුගේ මන්ත්‍රී ධුරයන් අහෝසි වන හෙයින් නම්බුකාර ලෙස ඉල්ලා අස්වන්නැයි ද මන්ත්‍රීවරයා  ඉල්ලීමක් කළේය.

එමෙන්ම රජයේ ඉහළ තනතුරු දරණ ඇතැම් ද්විත්ව පුරවැසියන්ටද මෙය තීරණයක් ගැනීම සඳහා අවස්ථාවක් බවත් ඔහු  පැවසීය .

ද්විත්ව පුරවැසිභාවය සහිතව ශ්‍රී ලංකාවේ ජොලියට වැඩ කරන පුද්ගලයන් දැන් තීරණයක් ගතයුතු බවත් මන්ත්‍රීවරයා  වැඩිදුරටත් සඳහන් කළේය.

22 මග හැරියාට : ජනාධිපතිගෙන් ප්‍රසන්නට දොස් !

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ විවාදය සහ ජන්ද විමසීමේ අවස්ථාව මග හැරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග වෙත ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පළකර ඇති බව වාර්තා වෙයි .

ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රධානියකු උපුටා දක්වමින් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටියේ , ව්‍යවස්ථා සංශෝධනය වැනි තීරණාත්මක අවස්ථාවල රාජකාරී සංචාරයක් වෙනුවට මෙවැනි පෞද්ගලික සංචාර සිදු කිරීම ගැන අමාත්‍යවරයා ඇමතූ ජනාධිපතිවරයා කණස්සල්ල පලකර ඇති බවය.

එහිදී ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස මීට වඩා වැඩි වගකීමකින් කටයුතු කල යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත .

එසේම මෙරටට පැමිණි වහාම ජනාධිපතිවරයා හමුවන ලෙස අමාත්‍යවරයාට දැනුම්දී ඇති බවත් වාර්තා වෙයි .

මේ අතර දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මෙම දුරකථන සංවාදයෙන් පසුව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් "ප්‍රසන්න රනිල් සමග ඉදිරි දේශපාලනය කරනැවාදයි තීරණය කිරීමට හදිසියේම ගම්පහ ප්‍රාදේශීය දේශපාලකයින් මුණ ගැසේ" යනුවෙන් පුවතක්ද මාධ්‍ය වෙත නිකුත් කර ඇති බවය.

ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර ඊයේ (22) උදෑසන 8.30 සිට අද (23) අලුයම 5.30 දක්වා කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගාල්ල, හෑගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය.

එම අගය මිලිමීටර් 191 කි.

ගාල්ල, ඇත්කඳුර ප්‍රදේශයට එම කාල සීමාව තුළ මිලිමීටර් 113.5ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ සිදු වූ අනතුරුවලින් දින 3 ක් තුළ පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පැවසීය.

මේ දිනවල ගංගා සහ දියඇලි භාවිතයේදී විමසිලිමත් විය යුතු බවත්, අධික වැසි හමුවේ ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා නාය යෑමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවත් වාර්තා වේ.

බැසිල්ගේ ළඟම ගෝලයගේ පට්ටමත් ගලවා දොට්ට දාලා !  

ජනාධිපති රනිල් 22 විරුද්ධයි කියල, විපක්ෂයේ සමහරු කිව්වට මොකද , මේ 22 ව්‍යවස්ථා සංශෝධනයේ නියමුවා වෙච්ච, අධිකරණ ඇමති විජේදාස නම්, අහන අහන හැමෝටම කියල තිබුනේ, ඒ කතාව කොහොමටවත් පිළිගන්න බෑ කියල.. බැසිල්ලගේ බලපෑම් නිසා වැඩේ ඇනිලා තියෙද්දී , තමන්ට මොරාල් එක දුන්නේ ,රනිල් කියල විජේදාස විපක්ෂයේ කට්ටියටත් කියල තිබුනා..

ඒ විතරක් නෙමෙයි, ආණ්ඩු පක්ෂයේ , ප්‍රධාන සංවිධායක, චන්දෙ කර ඇරලා රටගියපු වෙලාවේ, රනිල් ගේම බාරදීල තියන්නේ මහින්දනන්දටයි , ලන්සටයි , වජිර ටයි ලු.. චමල් - ශෂින්ද්‍ර තාත්තයි පුතයි දෙන්නත් රනිල්ට සැහෙන සප් එකක දුන්න ලු.. වැඩේ ගොඩ දාගන්න..

ලන්සලටත් පුදුම ලු රනිල් මොකද මේ තමන්ට ලැබුන බලතල, මේ විදියට කොමිෂන් සභාවලට පවරන්න යන්නේ කියල. උත්තරේ දුන්නයි කියන්නේ සබ්රි තුමා.

'' ආර්ථික ප්‍රතිසංස්කරණ වගේම දේශපාලන ප්‍රතිසංස්කරණ වහාම කරන්න කියල ලොක්කට ලොකු ඉන්ටර්නැෂනල් ප්‍රෙෂර් එකක් ඇවිත් තියෙන්නේ . ඉතින් මෙහෙමවත් දෙයක් නොකර අපිට ගොඩයන්න බෑ '' සබ්රි කට්ටියට පැහැදිලි කරලා දීලා තියෙන්නේ එහෙම ලු..

ඔන්න ඔය අස්සේ, පහුගිය දවස් දෙකේ, ආයෙත් , බැසිල්ගේ කණ්ඩායම ඔලුව උස්සගෙන එනවා , මහින්දානන්දලට මීටර් වෙලා. මොකක් හරි නොකලොත් වැඩේ හබක් කියල මහී , වජිරට කිව්ව ලු..

වැඩිය දැඟලුවොත් බලාගෙනයි කියල, බැසිල්ගේ සෙට් එකට සිග්නල් එකක් දෙන්න ඕන කියල, කට්ටිය කතා වෙලා.

බැසිල්ගේ විස්වාසවන්තම ගෝලයට ගේමක් දීල තියන්නේ , ඔන්න ඕකට ලු.. ඒ කියන්නේ බැසිල්ගේ ග්‍රවුන්ඩ් එකේ, වැඩ බාරව ඉන්න සිරිපාල අමරසිංහ , වහාම ක්‍රියාත්මක වන පරිදි, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති කමෙන් පන්නන්න තීන්දු කරලා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මධ්‍යම පරිසර අධිකාරියට නව සභාපතිවරයෙක් පත්කරල කියල, ප්‍රසිඩන්ට් මිඩියා එකෙන් නිව්ස් ප්ලාන්ට් වුනේ ඊයේ උදේවරුවේ.. සුපුන් එස්. පතිරගේ මධ්‍යම පරිසර අධිකාරියේ, නව සභාපතිවරයා ලෙස පත්කලා කියල තමයි, ප්‍රසිඩන්ට් මිඩියා එක කියල තිබුනේ..

බැසිල්ගේ කට්ටියම හොල්මන් වුණාලු .. වැඩේ කියන්නේ තමන් වෙනුවට වෙන කෙනෙක් සභාපති කරලා කියල, අමරසිංහත් දැනගෙන තියෙන්නේ , එක දිගට call එන්න පටන් ගත්තම ලු.. ඒ වෙලාවේ, සභාපති අනුරාධපුයේ විසිට් එකකට යන ගමන් ලු ..

වැඩේ කියන්නේ අස්කරන්න හේතුවක් කියලත් නෑ ..අස්වෙන්න කියලත් නෑ .. බැසිල්ගේ කනට ගැහුවා වගේ වැඩක් ..

අමරසිංහ සභාපතිතුමා ගේ පුතා රජයේ ඉඩමක ගෙයක් හදල කියල නන් පහුගිය දවස්වල නිව්ස් ගියා. පොහොට්ටු මන්ත්‍රී කෙනෙක් කිව්වේ, බැසිලුත් call එක්ක දීල අමරේගෙන් මොකක්ද මේ යන නිව්ස් කියල ඇහුව ලු.. ඊට පස්සේ තමයි අමරසිංහ සභාපති ප්‍රෙස් එක්ක තියල ඒ නිව්ස් එක පට්ටපල් බොරුවක් කියල කිව්වේ..

එහෙම නිව්ස් ගියාට මොකද ඒගැන ජනාධිපති කර්යලෙන් අහලවත් නැතිලු.. පැමිණිල්ලක් නැති නිසා පොලිස් විමර්ශනත් නැති ලු.. ඒත් හිටි හැටියෙම දොට්ට දාලා.

ඔහොම එලෙව්වට මොකද, සිරිපාල අමරසිංහ කියන්නේ , 88-89 භීෂණ කාලේ, ජවිපෙන් දේශපාලනේ පටන් ගත්ත කෙනෙක්.. දන්න විදියට, ඒ නිසාම වදකාගරවලත් හිටපු කෙනෙක්.. අවුරුදු කීපයක් ගම්පහ දිස්ත්‍රික්කයේ , ජවිපෙ මන්ත්‍රී කෙනෙක් වෙලත් හිටියා. පස්සේ තමයි බැසිල් එක්ක සෙට් වෙන්නේ.

දැනට දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාර විලි ගමගේයි - සිරිපාල අමරසිංහයි කියන්නේ, බැසිල්ගේ අතිජාත ගෝලයෝ දෙන්න. බැසිල්ගේ ඕනෑම රහස් මෙහෙයුමක් බාර දෙන්නේ මේ දෙන්නට..

හැබැයි ඔය දවසින් දෙකෙන් යාලු වෙච්ච කට්ටිය, නැෂනල් ලිස්ට්වලින් පාර්ලිමේන්තු යැව්වට මොකද , බැසිල් මේ දෙන්නට ඒ චාන්ස් එක දුන්නේ නෑ. වැඩ ගත්ත විතරයි ..අර අනිල් කොස්වත්ත ගෙන් වැඩ ගත්ත වගේ. අන්තිමට අරගල කට්ටිය ගෙන් බේරෙන්න හැංගිලා ඉන්න වුනෙත් අනිල්ගේ ගෙදර..

මොනවා වුනත්, රනිල් ලොක්කා, සිරිපාල අමරසිංහට ඊයේ උදේ දුන්න ගේම, බැසිල්ගේ කට්ටියට කණ හරහා වැදිලයි තියන්නේ.. බැසිල්ල ගේ කට්ටිය ඊයේ හවස් වෙනකොට, රිවස් වෙන්න ගත්තු තින්දුවටත් අමරේ අස්කරපු සීන් එක ලොකුවට බලපෑවා ලු..

''රනිල් දැන් වැඩ පටන් ගත්ත විතරයි .. බැසිල් මොන කතා කිව්වත් ජෝනිලට , රෝහිතලට , පවිත්‍රලට ඇමතිකන් දෙන්නෙම නෑ .. වැඩිය දඟලන්න අවොත් මාර්තුවෙන් පස්සේ මහ චන්දෙකට යන්න ලොක්කා ප්ලෑන් කරලා තියෙන්නේ ..'' කියලා ලන්සා හැම තැනකම කියව කියව යනවා ලු..

ඇත්ත බොරු මොනවා වුනත් බැසිල්ට ඇනේ ගහපු එක ගැන, නාමලුත් ඉන්නේ සන්තෝසෙන් ලු.. ලු හොඳේ

ඇත්ත නැත්ත අද හෙටම බලාගන්න පුළුවන්නේ..

- දේශපාලන වාර්තාකරු

ප්‍රසන්න කොළ පාට වෙයි !

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඉදිරියේ දී දේශපාලන තීන්දුවක් ගැනීමේ සූදානමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙයි .

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට තමන් ගත යුතු දේශපාලන ස්ථාවරය පිළිබඳව මිනුවන්ගොඩ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ රහසිගත මත විමසුමක් අමාත්‍යවරයා විසින් සිදු කර ඇත.

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ දේශපාලන මණ්ඩලය මිනුවන්ගොඩ ප්‍රදේශීය සභාවේ හා නගර සභාවේ සභාපතිවරුන් මන්ත්‍රීවරුන් ඇතුළු ඔහුගේ ප්‍රධානතම ආධාරකරුවන් 50 දෙනෙකුගෙන් සමන්විත බවත් දැනගන්නට ඇත .

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා දේශපාලන තීන්දුවක් ගැනීමට පෙර මෙම කණ්ඩායමේ අදහස් විමසීමක් සිදු කරනු ලබන බවත්, මේ ආකාරයට 2015 දී “මහින්ද සුළඟ” වේදිකාවට නැඟීමට පෙර ද මෙම දේශපාලන මණ්ඩලයේ මතය මෙලෙස විමසා ඇති බවය.

වාර්තා වන අන්දමට මෙම රහස් ඡන්ද විමසීම සිදුව ඇත්තේ පෙරේදා (20) රාත්‍රියේ මිනුවන්ගොඩ මාබොදල ප්‍රදේශයේ පිහිටි අමාත්‍යවරයා ගේ හිතවතකුට අයත් උත්සව ශාලාවකදීය.

එහිදී පැමිණි සියලුම දේශපාලන මණ්ඩල සාමාජිකයන්ට ඡන්ද පත්‍රිකාවක් ලබා දී ඇති අතර එහි ප්‍රශ්න දෙකක් විමසා තිබී ඇත. රටේ ආර්ථික අර්බුද විසදීමේ අභියෝගය බාරගත් නායකයා සමඟ ඉදිරියට යාම සුදුසු ද, නැතහොත් මෙතෙක් සිටි දේශපාලන ස්ථාවරයේ කටයුතු කිරීම සුදුසු ද යන්න එම ප්‍රශ්න දෙකයි. සාකච්ඡාවට සහභාගී වූ දේශපාලන මණ්ඩල සභිකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු එහි ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර නැත. දේශපාලන මණ්ඩලයට දැනුම් දී ඇත්තේ එහි ප්‍රතිඵලය දැනට විදේශ ගතව සිටින ඇමතිවරයාට දැනුම් දෙන බවය.

වත්මන් රජයේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ද වේ. ඔහු මේ දිනවල සිටින්නේ ප්‍රංශයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමිනි. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඡන්දය සංවිධානය කිරීම සාගර කාරියවසම් නියෝජ්‍ය සංවිධායකවරයාට පවරා රණතුංග මහතා විදේශ ගත වූ බව වාර්තා විය.

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් : ආගමික ස්ථාන කේන්ද්‍ර කරගෙන අලුත් වැඩක් !

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය වර්ධනය කිරීමට ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ආහාර බැංකු හා ආහාර හුවමාරු මධ්‍යස්ථාන පිහිටුවීමට තීරණය කර ඇත .

ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සහතික කිරීමේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වුණු අතර එහිදී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

ඒ අනුව ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ප්‍රමුඛව දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් දිවයිනේ ග්‍රාම සේවා වසම් 14,022ම ආවරණය වන පරිදි වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ආහාර හුවමාරු මධ්‍යස්ථාන මඟින් ප්‍රදේශවාසීන්ගේ අතිරික්ත ආහාර, ප්‍රදේශයේ පිහිටුවා ඇති ආහාර බැංකුවලට ලබාගෙන එම ආහාර ප්‍රදේශයේ ආහාර ඌනතාවක් ඇති පවුල්වලට බෙදා දීම සිදු කෙරෙයි. එමෙන්ම මෙම ආහාර හුවමාරු මධ්‍යස්ථාන හරහා තම අතිරික්ත ආහාර තවත් ප්‍රදේශවාසීන්ගේ අතිරික්ත ආහාර සමග හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසෙන අතර එමගින් ආහාර අපතේ යාම ද වළක්වා ගත හැකිය.

තම ප්‍රදේශවල සිටින ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබඳ මනා අවබෝධයක් විහාරස්ථානවල භික්ෂුන් වහන්සේලාට සහ සෙසු ආගමික නායකයින්ට ඇති බැවින් මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා ගෞරවනීය මහා සංඝරත්නයේ සහ සෙසු පූජක ප්‍රසාදීන් වහන්සේලාගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡා විය.

දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් හා සැලසුම් අධ්‍යක්ෂවරු මෙම සාකච්ඡාවට එක් වූ අතර දැනට නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස් සහ විධිවිධානවලට අමතරව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති නව චක්‍රලේඛය අනුව ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සහ ඒවායේ සංවර්ධන සැලැස්ම සකස් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මුල් පුටුව සාගලට !

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක පත්කිරීමට පක්ෂ කළමනාකරණ මණ්ඩලය තීන්දු කර ඇත .

පසුගිය 18 වනදා එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ මෙම තීන්දුව ගෙන ඇත.

මීට පෙර එම වගකීම දරුණු ලැබුවේ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වුවත් ඔහු මේ වන විට දේශපාලන කටයුතු සඳහා බදුල්ල දිස්ත්‍රික්කය වෙනුවට ගම්පහ තෝරාගෙන ඇත.

ඒ සමග වතු ක්ශේත්‍රයට මැදිහත්වීම ප්‍රායෝගික නොවන නිසා ඒ සදහා සුදුසු ක්ශේත්‍රය පිළිබඳව අත්දැකීම් සහිත අයෙකුට මෙම තනතුර ලබා දීම එජාප කළමනාකරණ මණ්ඩලයේ තීරණය වී තිබේ.

දිවංගත අමාත්‍ය ගාමිණී දිසානායක ගෙන් පසු මෙම වගකීම වතු ක්ශේත්‍රයේ අත්දැකීම් ඇති අයෙකු වෙත හිමිවීම සම්බන්ධයෙන් මේ වන විට බොහෝදෙනෙකුගේ පැසසුමට ලක්ව තිබේ.

ලංකා ජාතික වතු කම්කරු සංගමය එජාපයේ පැරණිතම වෘත්තීය සමිතියක් වෙයි.

තිළිණිගේ අලුත්ම ටික !

ඔය දේශපාලකයෝ මොන කතා කිව්වත් , හැමෝගෙම අවධානෙ තියෙන්නේ , ක්‍රිකට් ගැනයි , තිලිණි ගැනයි.. ඒක තමයි සහසුන්දෙන් ම ඇත්ත.. .

2022 පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තයට එරෙහි,, තීරණාත්මක සුදුසුකම් ලැබීමේ තරගය ජයගනිමින්, ශ්‍රී ලංකාව සුපිරි දොළොස්දෙනාගේ වටයට ඊයේ, (ඔක්තෝබර් 20 වැනිදා) සුදුසුකම් ලබාගත්තා.

ඔන්න ඒ අස්සේ තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය වන, තිළිණී ප්‍රියමාලිට රුපියල් කෝටි ගණනින් සල්ලිදීපු, හැමෝගෙම වගේ පැටිකිරිය CID එකෙන් හොයාගෙන ලු..

තිලිනිට රුපියල් කෝටි ගණනින් මුදල් දීපු, දේශපාලනයෝ, රජයේ නිලධාරීන්, සමහර ඩීලස්ලා , තමන්ට මෙච්චර බරපතල අලාභයක් වෙලත්, ඒ හුඟ දෙනෙක් තිලිනිට විරුද්ධව මේ වෙනතුරුත්, පොලිසියට කිසිම පැමිණිල්ලක් ඉදිරිපත් කරලා නෑ ...CID එක බදාදා (19) අධිරකරණය හමුවේ අනාවරණය කරන කොට තමයි, ඔය කතාව එලියට ආවේ..

CID ආරංචිමාර්ග කියන විදියට, කෝටි ප්‍රකෝටි ගණනින් පාඩු වෙලත්, පොලිසියට පැමිණිල්ලක්වත් දාලා නැත්තේ , තමන් සාධාරණ විදියට සල්ලි හම්බකරපු හැටි, පෙන්නන්න බැරි කට්ටිය ලු.. දැනට පැමිණිලි කරලා තියන කීප දෙනාම, තමන් තිලිනිට දීපු සල්ලි උපයාගත්ත හැටි, සාක්ෂි සහිතව ඉදිරිපත් කළා ලු..

ඒ කොච්චර වහන් වෙලා හිටියත්, ඔය තිලිණිට සල්ලි දීපු හැමෝගෙම තොරතුරු, CID එක මේ වෙනකොට හොයාගෙන ඉවර ලු..

සැකකාරියගේ මොබයිල් ෆෝන් එකත්, මේවෙනකොට තියන්නේ CID එකේ..

ඒ ෆෝන් එකේ වොයිස් රේකොඩින්, SMS , ඊමේල් සහ වට්ස්ඇප් පණිවිඩ හැම එකක්ම විමර්ශනේ කරලා. එතකොට තමයි ඔය පොලිටිකල් කට්ටියත් මාට්ටු වෙලා තියනවයි කියන්නේ..

අදාළ දේශපාලනඥයන් සැකකාරියට මුදල් ලබා දී, නැවත ඒවා ඉල්ලීමේ දී,, ඈ ඔවුන් අපහසුතාවට පත්වන ආකාරයෙන් වැඩ කරමින්, මුදල් දීම මග හරිමින් සිටින බවට , එම හඬපටවලින් සහ කෙටි පණිවිඩ මගින් තහවුරු වෙලා ලු..

මේ අවුරුද්දේ , ජනවාරි ජුනි දක්වා , මාස හයක කාලයක දී , සැකකාරියගේ බැංකු ගිණුමේ රුපියල් කෝටි 300ක මුදලක් තැන්පත් වී ඇති බවත්, මේ වන විට එම ගිණුමේ කිසිදු මුදලක් ඉතිරිව නොමැති බවත්, CID එක අධිකරණයට දැනුම් දීල තිබුනා.

ඒ අනුව අදාළ මුදල් ලැබුණ හැටි ? ඒවාට සිදුවූයේ කුමක්ද? එම මුදල් කළු මුදල් ද යන කාරණා සම්බන්ධයෙන් මේ වෙනකොටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කරලා. සැකකාරිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයට අදාළව සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවටත් , CID එක අධිකරණයට දැනුම් දීල තිබුනා.

පොලිස් ආරංචිමාර්ග කියන විදියට, තිලිනි මෑත කාලේ කරලා තියෙන්නේ , ඇමරිකන් ඩොලර් බිස්නස් එකක්. ලංකාවේ ඩොලර් එක රුපියල් 220කට විතර යද්දී , තිලිණි ඩොලර් එක රුපියල් 200ට විකුනලා. ඒ කියන්නේ රුපියල් අරන් ඩොලර් දීලා.

ඒ කියන්නේ තිලිණි ලඟ ඇමරිකන් ඩොලර් ලක්ෂ දස දහස් ගණනක් තිබිලා. තිලිනිට රුපියල් කෝටි ගණනින් දීලා මේ විදියට ඩොලර් අරගෙන තියෙන්නේ , පිටරටින් මොබයිල් ෆෝන්, කම්පියුටර්, කෑම බීම ඉම්පෝට් කරන උදවිය ලු.. එක ඩොලර් එකකින් රුපියල් 20කට වැඩිය,, ගෙඩිපිටින් ලාබයක් තියන නිසා,, ඩොලර් ලක්ෂ ගණනින් අරන් තියෙන්නේ , දේශපාලනඥයෝ කිපදෙනෙකුයි, රජයේ හිටපු නිලධාරීන් කීපදෙනෙකුයි ලු..

පොලිසියට විතරක් නෙමෙයි, ඔය නඩුවට ඉන්න නීතිඥ මහත්තුරුන්ටත් තියන ප්‍රශ්නේ , මහ බැංකුවේ වත් ඩොලර් නැති කාලෙක, තිලිනිට මෙච්චර ඩොලර් නෝට්ටු කන්දරාවක්, ලැබුනේ කොහොමද කියන එකලු..

තිලිනිට තිබුන සම්බන්ධකන් දීහා බලනකොට, ඔය ඩොලර් කන්දරාව, රාජපක්ෂ කෙනෙකුගේ වෙන්න ඇති කියල තමයි, හැමෝම වගේ සැකකරන්නේ..

ඒ කියන්නේ, කොමිස් විදියට ලැබිලා, රටින් පන්නන්න බැරිවෙච්ච, ඩොලර් නෝට්ටු කන්දරාවක්, තිලිනිලා - ජනකීලා හරහා විකුනලා, රුපියල් කරගත්ත කියන එකද ? ඒ කියන්නේ කළු සල්ලි සුදු කරන්න, ජානකී , තිලිනිව බළල් අතක් කරගත්ත කියන එකද ?

ලෝයස්ලා පවා හොල්මන් වෙලා තියෙද්දී , CID විමර්ශන ඉවර වෙනතුරු, අපට නම් ඒ ගැන, මොකුත් කියන්න අමාරුයි.. සැකේ වාසිය විත්තියට දීල බලාගෙන ඉන්න එක තමයි කරන්න වෙන්නේ..

මෝටර් රථ අමතර කොටස් - රූපලාවණ්‍ය උපකරණ ආනයන සීමා ඉවතට !

මෝටර් රථ අමතර කොටස් සහ රූපලාවන්‍ය උපකරණවලට පනවා තිබෙන ආනයන සීමා ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි .

කටුනායක ගුවන්තොටුපළේ ශ්‍රී ලාංකා රේගුව‌ට අයත් අංගාවල අද (21) නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් රජ්‍ය ඇමතිවරයා එම අදහස් පළ කළේය.

අදාළ ක්ෂේත්‍රවල නිරතවන්නන්ගේ ඉල්ලීම් සලකා බලා මෙස් ආනයන සීමා ඉවත් කරන බවද රාජ්‍ය ඇමතිවරයා පැවසීය .

විනිමය අර්බුදය හේතුවෙන් ඉකුත් අගෝස්තු මස 23 වැනිදා භාණ්ඩ වර්ග1465ට ආනයන සීමා පැනවූ අතර විටින් විට ඉන් භාණ්ඩ 708ක ආනයන සීමා මේ වන විට ඉවත්කර ඇත .

 

මහණ වෙන්න හිතිලා තියෙන්නේ : හිමි රතන ලාල්ට කියලා !

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි , තමන් අමතා ඉතා ම කලකිරීමෙන් කතා කළ බව, ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

“ලාල්, මට නම් දැන් මහණ වෙන්න හිතිලා තියෙන්නේ” යැයි රතන හිමි ප්‍රකාශ කළ බවයි, ලාල්කාන්ත හෙළි කළේ.

රතන හිමියන් මෙතෙක් කල් මහණ වී නොසිටි බව, එහිමියන් දන්නා බවත් ලාල් සඳහන් කළා.

හාමුදුරු කෙනෙක් සිවුරක් දා ගෙන සියල්ල කරගෙන, දැන් මහණ වෙන්න හිතන්නේ නම්, එය මාර කතාවක් බවත් ලාල්කාන්ත පෙන්වා දෙනවා.

ලාල් මෙහෙම කිව්වේ දුම්රිය වෘත්තීය සමිති නියෝජිත පිරිසක් අමතමින්.

දේශපාලන වාර්තාකරු

 

පිටකොටුවේ පරිප්පු සීනි මිල පහළට : උද්ධමනය ඉහළට !

පිටකොටුව තොග වෙළෙඳපොලේ පරිප්පු සහ සුදු සීනි මිල අඩු කළ බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව පරිප්පු කිලෝවක් රුපියල් 25 කින් සහ සුදු සීනි කිලෝවක් රුපියල් 15 කින් අඩු කළ බවත් මෙම අඩු කිරීමත් සමඟ පරිප්පු කිලෝවක් රුපියල් 375 කට ද, සුදු සීනි කිලෝවක් රුපියල් 235 මිලදී ගතහැකි බවත් ආනයනකරුවන් පවසයි .

උද්ධමනය ඉහළට !

කෙසේ වුවත් ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය සැප්තැම්බර් මාසයේදී සියයට 73.7 දක්වා ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි .

ඒ අනුව අගෝස්තු මස සියයට 70.2 ක් ලෙස සටහන් වූ උද්ධමනය සැප්තැම්බර් මාසයේ මෙලෙස සියයට 73.7 දක්වා ඉහළ ගොස් ඇත.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඉකුත් අගෝස්තු මස ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 84.6 ක් ලෙස වාර්තා වූ අතර එය සැප්තැම්බර් මාසයේ සියයට 85.8 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු දත්ත වාර්තා පෙන්වා දෙයි.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ඉකුත් අගෝස්තු මස සියයට 57.1 ලෙස වාර්තා වූ අතර එය සැප්තැම්බර් මාසයේ සියයට 62.8 ක් දක්වා ඉහළ ගොස් ඇත.

සියයට 73.7 ක් වූ උද්ධමනයට ආහාර කාණ්ඩයෙන් සියයට 40.9 ක් සහ ආහාර නොවන කාණ්ඩයෙන් සියයට 32.9 දායකත්වයක් ලබා දී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි .

මෙවර උද්ධමනය ඉහළ යාම සඳහා ආහාර නොවන කාණ්ඩයේ අයිතම වල මිල වැඩිවීම ප්‍රධාන වශයෙන් බලපා ඇත.

ද්විත්ව පුරවැසි භාවය නිසා : මන්ත්‍රීවරුන් 5ක් එළියට ?

වත්මන් පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසි භාවය සහිත මන්ත්‍රීවරුන් 5ක් සිටින අතර 22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම සමග ඔවුන්ගේ මන්ත්‍රී ධූර අවධානමේ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා 22 වන ව්‍යවස්ථා සංශෝධනයට දැඩි විරෝධයක් දක්වා ඇත්තේ ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධ කාරණයක් නිසා බවත් සඳහන් වෙයි.

සුමන්තිරන් මන්ත්‍රීවරයා ඇතුළු පස් දෙනෙකු ද්විත්ව පුරවැසියන් බව දැනගන්නට ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.

දෙමළ ජාතික සන්ධානය 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම වැළැක්වීමට විපක්ෂය ඇතුළු මන්ත්‍රීවරුන් සමඟ දිගින් දිගටම සාකච්ඡා කර ඇති බවත් පසුව එකඟතාවක් ඇතිකර ගැනීමට නොහැකි වීම හේතුවෙන් අවසානයේදී ජන්ද විමසීම වර්ජනය කළ බවත් වැඩිදුරටත් වාර්තා වේ.

22 වැඩි ඡන්දයෙන් සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

මේ අනුව එය 21 වන සංශෝධනය ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්වනු ඇති.

තුන්වනවර කියවීමේ ඡන්ද විමසීමේදී ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 174 ක් ලැබුණු අතර විපක්ෂව කිසිවෙකු ඡන්දය ප්‍රකාශ කළේ නැත.

දෙවන වර කියවීමේ ඡන්දය අවස්ථාවේ පක්ෂව ඡන්ද 179 ක් ලැබී තිබූ අතර එම අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර පමණක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ ය.

දෙවනවර කියවීමේදී ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු තෙවන වර ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ සභාවේ සිටියේ නැත.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සහ ජාතික ජනබලවේගය ද පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ ය.

මන්ත්‍රීවරුන් 40 කට අධික සංඛ්‍යාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටීම විශේෂත්වයකි.

ජනාධිපතිවරයාගේ පත්කිරීමේ තනි බලය ඉවත්කර ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාව ඊට සම්බන්ධ කිරීම, ස්වාධීන කොමිෂන් සභා බලාත්මක කිරීම ඇතුළු කරුණු මේ ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් ය.

දිවිත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනක් දැරීමට තිබූ අවස්ථාව මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් අහිමිවන අතර දැනට මන්ත්‍රීධුර දරණ ද්විත්ව පුරවැසියන්ට ද අසුන අහිමි වේ.

ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති බලය අවුරුදු දෙක හමාරකට පසුව ලැබෙන පරිදි මේ සංශෝධනයෙන් නව නීති ඇතිකර ඇත.

ව්‍යවස්ථා සභාවට කරන සිවිල් නියෝජිතයින්ගේ පත්කිරීම්වලදී විපක්ෂ නායකවරයා ද විමසා සිදු කිරීමට අද සංශෝධනවලදී අනුමැතිය ලැබුණේ ය.

සංචාරක කර්මාන්තයේ ගැටලු කඩිනමින් නිරාකරණයට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් !

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරමින් 2023 අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට කඩිනම් වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ සංචාරක ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සහ එහි ප්‍රවර්ධනයට ගත යුතු පියවර පිළිබඳ සොයා බැලීමට ඊයේ (20) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.

2023 වසර වන විට සංචාරකයන් අටලක්ෂ පනස්දහසක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත්, එම සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීම තුළින් ඉදිරියේ දී මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ නංවා ගත හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

විදේශීය ප්‍රවර්ධන කටයුතු සඳහා අරමුදල් ප්‍රේෂණය කිරීම, ශ්‍රී ලංකාව පිළිබඳ පවතින සෘණාත්මක ආකල්ප තුරන් කිරීම සඳහා ගත යුතු පියවර සහ සංචාරක කර්මාන්තයට එල්ල වී ඇති බලපෑම් පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

විදේශීය ගුවන් යානා ගොඩබැස්වීමේ දී අය කෙරෙන ඉහළ ගාස්තු හේතුවෙන් සංචාරක කර්මාන්තයට අයහපත් බලපැමක් එල්ල වී ඇති බව මෙහිදී නිලධාරීන් පෙන්වා දුන් අතර ඒ පිළිබඳ සොයා බලා එම ගැටලුව විසඳීමට කඩිනම් ක්‍රමවේදයක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකට උපදෙස් දුන්නේය.

මෙහිදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කර සිටියේ මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ඔවුන්ගේ සමස්ත සංචාරය ආවරණ කෙරෙන ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) 2023 ජනවාරි මාසයේ සිට හඳුන්වාදීමට සංචාරක අමාත්‍යාංශය පියවර ගන්නා බවයි.

බොහෝ සංචාරක හෝටල් රාත්‍රී 10.00 වන විට වසා දැමීම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට බාධාවක් වන බැවින් ගැසට් නිවේදනයක් මගින් සංචාරක කලාප නම් කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් තවදුරටත් ඉල්ලා සිටියේය.

ඉන්දියානු සිනමා පට මෙරටදී රූගත කිරීම සඳහා පහසුකම් සලසාදීම තුළින් සංචාරක කර්මාන්තයට ලබාගත හැකි ප්‍රතිලාභ පිළිබඳව ද අවධානය යොමු විය.

කීර්තිනාමයක් දිනාගත් පාපැදි ශූරයන්ගේ සහභාගීත්වයෙන් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා පාපැදි සවාරියක් සංවිධානය කිරීම, Visit Sri Lanka වැඩසටහන ඇතුළු සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් අමාත්‍යාංශය ක්‍රියාවට නංවා ඇති වැඩසටහන් රැසක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා යන සහ සංචාරක ක්ෂේත්‍රයට අදාළ රේඛීය ආයතනවල ප්‍රධානීහු ද, සංචාරක සන්නාම තානාපති සනත් ජයසූරිය ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

Page 265 of 465