Language Switcher

V2025

ජන්දය කල්දාන එක භයානකයි : බැසිලුත් කියයි !

පොහොට්ටුවේ ලොක්කා, ඒ කියන්නේ බැසිල් , ලංකාවට ඇවිත් වැඩි දවසක් නෑ.

හැබැයි ඉතින් ආපු දවසේ දවසෙ ඉඳල වැඩ. එයාට පොඩ්ඩක්වත් විවේකයකුත් නෑ...

ආපු දවසේ ඉඳලා රෑට රෑට හිතවතුන්ගේ ගෙවල් වල විශේෂ හමුවීම් වලට සහභාගි වෙමින් පුංචි පුංචි සාකච්ඡා පවත්වමින් හිටපු බැසිල් එකපාරටම පොහොට්ටුවේ ලොකු රැස්වීමක් කැදෙව්වා.

සෑම දිස්ත්‍රික්කයකම ඉන්න පොහොට්ටුවේ ඉහළම නායකාරකාදීන් මේ රැස්වීමට පැමිණිය යුතු බව දන්වලා තිබුණා.

සාකච්ඡාව තිබුණෙ පහුගිය සෙනසුරාදා උදේ...

හුඟ දවසකින් නෙළුම් මාවත පැත්තේ ලොකු traffic එකක් මොකද කියලා කවුරුත් බැලුවා...

"බැසිල්ගේ රැස්වීමක්. ආයෙත් නෙළුම් මාවත ඔෆිස් එකේ වැඩ පටන් අරන්. බැසිල් ඇවිල්ල නේ..." පාර්ලිමේන්තුව කිට්ටුව ඩියුටි කරන පොලිස් නිලධාරීන් එක එක්කෙනා කුටු කුටු ගෑවා.

ඇත්තම කියනවා නම් බැසිල් ලංකාවට ආවට පස්සේ මේක තමයි පලමුවෙන්ම ලොකුවට කළ නියෝජිත හමුව.

එදා පාර්ලිමේන්තුව පැවැති දවසක් වුණත් පොහොට්ටුවේ ප්‍රධාන පෙළේ චරිත වැඩි දෙනෙක් පාර්ලිමේන්තු නොගිහින් ආවේ නෙළුම් මාවතට.

ඒත් සෙනසුරාදා පාර්ලිමේන්තුවේත් බර විවාදයක්. අමාත්‍යාංශ දෙකක් නේ. එකක් නාගරික සංවර්ධන හා නිවාස. අනෙක කම්කරු හා විදේශ රැකියා. මේ නිසා අමාත්‍යාංශ වලට අදාල සමහර ඇමතිවරු ඇවිත් හිටියේ නෑ....

කට්ටියක්... ප්‍රසන්න ඇවිත් නෑ කියමින් ලොකු ගාලගෝට්ටියක් ගෙනිච්චා. ඒක බැසිල්ටත් කිව්වා... බැසිල් සිනාවුනා මිසක් මොනවත් කිව්වේ නෑ... අද ප්‍රසන්නට අදාල වැය ශීර්ෂය කියලා බැසිල් දැනුවත්. කල්තියාම ඔහු ඒක බැසිල්ට දන්වලා තිබුණා.

"අද හැමෝටම වැඩ දවසක්. ඒක හින්ද අපි මේක ඉක්මනට ඉවර කරනවා..." කියමින් කතාව පටන් ගත් බැසිල් රාජපක්ෂ පහුගිය දිනවල දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි පුහුණුවෙන් නියැදියක් තෝරා ගෙන කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල ඉදිරිපත් කළා...

"චන්ද්‍රිකා මැතිනියගේ කාලේ ඉඳලම අපි මාස කීපයකට වරක් තත්කාලීන දේශපාලන තත්ත්වය ගැන විනිශ්චයක් ගන්න රිසර්ච් එකක් කරනවා. අපිත් ඒක හැම කාලෙම කළා. අපි නිතරම අපේ ජන බලය මැනල බැලුවා.

මේ රිසර්ච් එකේ රිසල්ට් එක මාස එකාමරකට විතර ඉස්සෙල්ල මට එවල තිබුනේ ඇමරිකාවේ ඉන්න කාලේ. ඔය රිසච් එකට 10,000ක ගේ මතය අරගෙන තියනවා.. මේකෙන් හෙළිදරව් වෙන්නේ රටේ වර්තමාන දේශපාලන හැසිරීම...."

එසේ කියමින් බැසිල් සමීක්ෂණයේ දත්ත හෙළිදරව් කිරීම පටන් ගත්තා.

ඒ අනුව රටේ ප්‍රධාන පක්ෂ තුනකට වර්තමාන ජනමතය බෙදී ගොස් ඇති ආකාරය ඔහු විග්‍රහ කළා. පොහොට්ටුව සජබය හා ජවිපය එම පක්ෂ තුන බව ඔහු පැහැදිලි කලා.

සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජාතික පවුර, උත්තර ලංකා සභාගය ආදී අනෙකුත් සියළුම පක්ෂ ස්ථානගත වී තිබුණේ ප්‍රධාන පක්ෂ තුනට බොහෝ පහලින් බව බැසිල් කිව්වා.

"පොහොට්ටුව අද ඉවරයි, හෙට ඉවරයි, දැන් කැඩිලා බිඳිලා විසිරිලා, මන්ත්‍රීවරු විසිරිලා ගිහින් කියලා හැමදාම මේ රටේ ගොසිප් කාරයෝ කිව්වට ඇත්ත ඊට වඩා බොහෝ වෙනස්..."

මේ research එකට අනුව ජන මනස ක්‍රියා කරන ආකාරය ගැන අපට හොඳ ෆිගර් එකක් ගන්න පුළුවන්.

තාමත් මුළු වයඹ ම ඉන්නේ පොහොට්ටුවත් එක්ක. මධ්‍යම පළාත ගත්තම එහි යම් බලයක් සජබය තහවුරු කරගෙන. ගාල්ල මාතර හම්බන්තොට ගත්තාම ඒවායේ යම් යම් සාධනීය ස්ථාන වල බලය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන බලවේගය ට අයත් බව පේනවා.

අවසාන වශයෙන් පේන වැදගත්ම දේ තමයි මේ කිසිදු පක්ෂයකට 40% ප්‍රතිශතය උඩට එන්න බැරි වීම.." බැසිල් අවධාරණේ කලේ එහෙම..

මේ වගේ සමීක්ෂණයක් කරන්න ට බලපෑ කාරණාව කුමක්ද කියලාත් බැසිල් කිව්වා. රට අභ්‍යන්තරයේ පවතින ජනමතය තුළත් ඉදිරි මැතිවරණයක් සදහා අපේක්ෂාවක් තියෙන බව ඔහු පෙන්වා දුන්නා. ඒ වගේම ලංකාවත් එක්ක ආර්ථිකමය වශයෙන් ගණුදෙනු කරන ජාත්‍යන්තර සංවිධානවලත් දේශපාලන එළඹුමකට යම් ආශිර්වාදයක් පවතින බව බැසිල් කිව්වා...

"ලබන වසරේ මාර්තු වලින් පස්සේ අපට කුමන හෝ මැතිවරණයකට මුහුණ පාන්න සිදු වෙන බව පේනවා. මට අවශ්‍ය වුණේ මේ වෙලාවේ අපි ජනමතය තුළ කොතැනද ඉන්නේ කියන එක හොයාගන්න . මේ සමීක්ෂණයෙන් ඒක හොඳට පිළිබිඹු වෙනවා. එහෙම නම් මීට වඩා සූදානමකින් අපි ඉදිරි දේශපාලන කටයුතු වලට අවතීර්න විය යුතුයි" බැසිල් කිව්වා.

ඉන් පසුව සභාවෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා...

" ජොන්ස්ටන් මැතිතුමාලා වගේ පොහොට්ටුවේ ඉන්න අයගේ ඇමතිකම් තාම ලැබුණේ නැත්තේ ඇයි.."කියලත් සමහරු ඇහුවා.

"මහින්ද ජනාධිපතිපති තුමාගේ කාලෙ නම් මම ඔය රජයේ පරිපාලන වැඩවලට මැදිහත් වුණා... හැබැයි ගෝඨාභය ජනාධිපති තුමාගේ කලේ මම ඕවට අතගහන්න ගියේ නැ .. රනිල් ජනාධිපති තුමාගේ වැඩවලට මම කොහෙත්ම මැදිහත් වෙන්නේ නෑ.."

හුඟ දෙනෙකුට අහන්න ප්‍රශ්න කප්පරක් තිබුණා. හැම මුහුණ කම තිබුණේ අවිනිශ්චිත බවක්... බැසිල් ඒ අවිනිශ්චිත බව නැති කිරීම වෙනුවෙන් කතාකලා...

"එහෙමනම් ඡන්දයක් ආවොත් අපි මොකද කරන්නේ..?

"ඕනෑම වර්ගයේ මැතිවරණයකට අපි සූදානම්. එතනින් එහා තවත් මොනවද..."

කිසිදු මැතිවරණයක් කල් දැමිය යුතු නැතැයි කියා බැසිල් කිව්වා. මැතිවරණ තියෙන්නෙ ජනතාවගේ කැමැත්ත විමසන්න . එළැඹෙන ඕනෑම මොහොතක. පැමිණෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් පක්ෂය සූදානම්ව සිටිය යුතු බව බැසිල් පෙන්වා දුන්නා.

"ඔය ගොල්ල දැනගන්න. ඉතිහාසයේ අවස්ථා ගණනාවකදී පාලකයෝ ඡන්ද කල් දාලා තියෙනවා. හැම අවස්ථාවෙම ඡන්දය කල් දාපු පක්ෂය කුජීත වෙන්න පැරදුනා. 75 දී සිරිමාවෝ මැතිනිය අවුරුදු දෙකකට චන්දේ කල්දාපු නිසා ශ්‍රීලංකා එක 77දී ආසන 08කට වැටුනා. ජනමතය වලක්වන්න හොඳ නෑ. ඒකට ඉඩ දීම තමයි හොඳ. මං කියන්නේ ලබන මාර්තු වලින් පස්සේ එළැඹෙන ඕනෑම මැතිවරණයකට අපි සූදානම් කියන එක විතරයි.

මේ රැස්වීම පැයකට වැඩි කාලයක් පැවතුනා. බැසිල් හිටියේ ඉතාම සැහැල්ලුවෙන්. ඔහු ඒ සැහැල්ලුවෙන් යුතුවම කතා කළා. පොහොට්ටුව අයෙත් ගොඩ දාන්න තමයි මේ දවස්වල දවාලක් රැයක් නැතුව දුවන්නේ..

දේශපාලන වාර්තාකරු