Image

දීපචෙල්වන් ප්‍රදීපන් ගේ පොත් පහ සහ බය නැති ආණ්ඩුව

දීපචෙල්වන් ප්‍රදීපන් ගේ පොත් පහ සහ බය නැති ආණ්ඩුව

ලියන කියවන, සමාජ මාධ්‍ය ඇසුරු කරන බොහෝ දෙනෙකු දන්නා දමිළ ලේඛකයකු වන දීපචෙල්වම්ගේ පොත් පහක පිටපත් තුන්සිය හැටක් රේගුව විසින් රඳවාගෙන ඇත.

රඳවාගෙන ඇති මේ පොත් ගැන මාර්තු මස දහඅටවන දා රේගුව විසින් දැනුම් දී ඇත්තේ, ඒ පොත් ඒකීය ශ්‍රී ලංකාවක් සඳහා හානිදායක විය හැකි බැවින් ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා යවා ඇති බව ය.

අඳ, ගොළු, බිහිරි න්‍යාය

අද අප්‍රේල් එකොළොස්වෙනි දා ය. මේ දක්වා රජයේ කලා මණ්ඩලය හා සාහිත්‍ය අනුමණ්ඩලය මේ ගැන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ගේ ආදරණීය බවත් ඔහු ගැන ඇති විශ්වාසයත් සඳහන් කරමින් පොත් නිදහස් කරනු ඇතැයි යන විශ්වාසය ඇතිව ඒ සඳහා මැදිහත් වන්නැයි ඉල්ලමින් ලිපි ලියා ඇත. මේ තරම් කෙනෙහිලිකම් තමා දෙමළෙක් නිසා නේ දැයි කියමින් දීප චෙල්වම් සටහන් දෙකක් ලියා ප්‍රසිද්ධ කර ඇත. සමාජ මාධ්‍ය පුරා ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් ද, සංස්කෘතික ඇමති වැඩිහිටි කලාකරුවන් බලන්නට යෑමට එරෙහිව ද සටහන් වැඩි වෙමින් පවතී. දන්නා තරමින් තවමත් කිසිදු මාධ්‍යවේදියකු (?) මේ ගැන රජයේ මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කර නැත. හැම සමාජ මාධ්‍ය සටහනක ම පාහේ දීපචෙල්වම් ගේ රඳවාගත් පොත් පහෙන් හතරක කවරය ඇතුළත් වී ඇත. දේශප්‍රේමී දෑ හිතකාමී ප්‍රතිරූපකයන් තවමත් මීක් හඬක් නොනඟයි. රටේ පොදු අවකාශයක් හිමි හඬක් හිමි දෙමළ කලාකරුවන් ද මේ ගැන මුනිවත රකියි.

මේ ආණ්ඩුව බය කළ හැකි ද...?

තවමත් මේ ගැන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙන් ම ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතියක් හෝ නිර්දේශයක් ගැන ආරංචියක් නැත. ඇතැමුන් කියන්නේ මෙම පොත් නිදහස් කළහොත් ජාතිවාදී බලවේගවල විරෝධයට මුහුණ දීමට සිදුවනු ඇතැයි ආණ්ඩුව බිය වී ඇති බවත් ඒ නිසා මෙම සිද්ධිය ඉබේ යට යන තුරු බලා සිටින බවත් ය. ඒ ගැන නම් මා එකඟ වන්නේ නැත. මේ ආණ්ඩුව එහෙම බය කළ හැකි ආණ්ඩුවක් නොවේ. මේ ආණ්ඩුවේ ඇමති ලාල් කාන්ත සහෝදරයා තමන්ට අවශ්‍ය නම් කප්පම් හෝ අල්ලස් ලබාගත හැකි බවත් නමුත් තමා එසේ නොකරන බවත් වෙනත් වචනවලින් බිය නැතිව කියන්නේ තමන් නිවැරදි නිසා ය. අධිකරණය විසින් අධි චෝදනා භාර දුන් කුමාර ජයකොඩි සහෝදරයා තවමත් ඇමතිකම දරන්නේත්, පාර්ලිමේන්තුවේ දන්නා ජවිපෙ මන්ත්‍රීවරුන් කිහිපදෙනා සහ රැල්ලට තල්ලු වී ආ 159න් ඉතිරි පිරිසත් ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේත් ඒ සහෝදරයා වංචා කර ඇතැයි කියා අධි චෝදනාවට ලක් වී ඇත්තේ වෙනත් විෂය පථයකට අදාළව නිසා යන තාක්ෂණික හේතුව නිවැරදි නිසා ය. ඉතින් මෙවන් නාගැනීම්වලටත් බිය නැති ආණ්ඩුව පොත් ටිකක් නිසා ජාතිවාදීන් ගෙන් මතුව එන විරෝධයට බියේ මේ පොත් නවත්වා ගත්තා යැයි යන්න විශ්වාස කළ නොහැකි ය. එහෙයින් මේ පොත් ගැන යම් විමර්ශනයක් වන්නේ නම් ඒ කඩිනම් කර පොත් නිදහස් කිරීමටත් ඒ සඳහා තවත් කල් ඕනෑ නම් ඒ ගැන දැනුවත් කිරීමටත් ආණ්ඩුව කටයුතු කළ යුතු ය. අඩු තරමින් ආගමික හා 'සංස්කෘතික' කටයුතු අමාත්‍යාංශය නිල ප්‍රකාශයක් නිකුත් කළ යුතු ය.

ප්‍රකාශනයේ නිදහස යන උත්තරීතර මානව හිමිකම අහෝසි ද...?

අනෙක් ප්‍රශ්නය රේගුවෙන් පොත් රඳවා ගැනීම ය. රේගුවට ඒ සඳහා අයිතියක් ඇත් ද යන්න ය. ඒ ගැන සුසමාදර්ශ දෙකක් මත පිහිටා කතා කරන්නට වන්නේ ය. පළමුවැන්න ප්‍රකාශනයේ නිදහස යන උත්තරීතර මානව හිමිකමට අදාළව ය. දෙවැන්න රාජ්‍ය ආරක්ෂාව යන ව්‍යවස්ථාපිත රෙගුලාසි යටතේ ය. ඒ රෙගුලාසි අනුව රේගුවට ජාතික ආරක්ෂාවට හෝ සංහිඳියාවට හානි වේ යැයි සැක කරන ප්‍රකාශනයක්, අශ්ලීල යැයි සැක කරන ප්‍රකාශනයක් රඳවාගෙන විමර්ශනය කරන්නට අයිතිය ඇත්තේ ය. ඒ ඔවුන්ගේ රාජකාරියේ කොටසකි. මෙතැනදී ආණ්ඩුව ව්‍යවස්ථාව රැකීමට බැඳී සිටියි. ඒ උල්ලංඝනය කර යම් කෘතියක් නිදහස් කළහොත් ආණ්ඩුව ආණ්ඩු කිරීමට නුසුදුසු වන්නේ ය. ඒ කලාකරුවන් මූලික වී තනාගත් ආණ්ඩුවකට ද පොදු ය. මෙතැනදී ප්‍රකාශනයේ නිදහස යන උත්තරීතර මානව හිමිකම අහෝසි වී යයි. ඉතින් අපට ඒ උත්තරීතර මානව හිමිකම රැක ගැනීමට අවශ්‍ය නම් අප සටන් කළ යුත්තේ සුනිල් සෙනෙවි සමග නොව ව්‍යවස්ථාව සමග ය. අවශ්‍ය නම් ඒ ව්‍යවස්ථාව වෙනස් කරන්නට කටයුතු කරන්නැයි ඔහුට බල කළ හැකි ය. මේ සියල්ල මෙසේ වුවද පොතක් ගැන ප්‍රශ්නයක් නිසා මේ සිද්ධිය ගැන පැහැදිලි කිරීමක් කරන්නට ආගමික හා 'සංස්කෘතික' කටයුතු අමාත්‍යාංශයට ඇති වගකීම පැහැර හැරිය නොහැක්කකි.

වෙන ම සංවාදයක් විය යුත්තේ ඇයි...?

ප්‍රකාශනයේ නිදහස යන උත්තරීතර මානව හිමිකම පැත්තෙන් සලකා බැලුවහොත් අප විසින් ප්‍රකාශනයේ නිදහස භාර ගත යුත්තේ කෙසේද? එහි සීමාවන් මොනවාද යන ගැටලුව ද මතු ව එයි. ඒ ද වෙනම සංවාදයකි. මන්ද ප්‍රකාශනයේ නිදහස අනන්තය දක්වා විහිද යන්නේ නම්, අප කැමැති අකැමැති සියලු ප්‍රකාශන සඳහා ඉඩහසර තිබීම සහ ඒවායේ බලපෑම දරා ගැනීමට හැකි සමාජ සංස්කෘතික පරිසරයක් තිබීම අනිවාර්ය සාධකයක් විය යුතු හෙයිනි. අසීමිත වූ ප්‍රකාශනයේ නිදහසක් තුළ දිල්කාගේ ආප්පත් සුදාගේ පඩිපෙළුත් වීරවංශගේ ගර්භාශ යුද්ධත් සහරාන්ගේ අත්පත්‍රිකාත් සම සිතින් දරා ගැනීමටත් ඒවායින් එන සමාජ බලපෑම් අවම කිරීමටත් අප සමත් විය යුතු ය. ඒ නිසාය මා මේ වෙනම සංවාදයක් ලෙස හැඳින්වීමට කැමති වන්නේ.

අප කළ යුත්තේ කුමක් ද?

ඒ සංවාදය ඇති වන තුරුත් එවන් සංවාදයක ප්‍රතිඵල භාර ගැනීමට හැකි සමාජයක් ඇති වන තුරුත් අපට ව්‍යාතිරේකයක් ලෙස 'යම් ප්‍රකාශනයක් නිසා පුද්ගලයකු දඬුවමට ලක් කිරීම' නොකළ යුතුය යන්නට එකඟ විය හැක්කේ ය. (මෙතැනදී ද අධිකරණයට අපහාස කිරීම වැනි නීති අවි අමෝරා අපට හරස් වෙයි). එවන් එකඟතාවයකින් අපට මෙලෝ රහක් නැති කෙටිකතාවක් ලියූ ශක්තික සිරගත කිරීමට එරෙහිව පෙනී සිටිය හැකි ය. එල්ටීටීඊයට කවි ලියූ නිසා අඩන්තේට්ටම්වලට ලක් වූ චේරන් හෝ ජෙයපාලන් වෙනුවෙන් පෙනී සිටිය හැකි ය. ඒ නිසාම දීපචෙල්වම් වෙනුවෙන් පෙනී සිටියත් දීපචෙල්වම්ගේ  කෘතිවල අන්තර්ගතය ගැන නොදැන ඒ කෘති වෙනුවෙන් පෙනී සිටීමට නොහැක්කේ ය. ඒ නිසා තම කෘති දෙමළ නිසා නවත්වා ගත්තා කියනවා වෙනුවට තම කෘති මගින් සමාජයට හානියක් නොවන්නේ ය යන පණිවිඩය දීප චෙල්වම් සහ ඔහු වෙනුවෙන් පෙනී සිටින අප විසින් ජනගත කළ යුතු ය. නතාෂා එදිරිසූරියට වූ අකටයුත්තේදී ඇය වෙනුවෙන් පමණක් නොව ඇගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් ද අප පෙනී සිටියේ ඒ අර්ථයෙනි.

හබන් කුකුළන්ට ඉඩ දෙමු ද...?

ඒ නිසා ආණ්ඩුවත්, දීප චෙල්වමුත්, ආණ්ඩුවෙන් ගේම ඉල්ලන කලාකාරී කලහකාරීකාරිනියනුත්, ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින කලාකාරී මුනිවත් මුනිවර මුනිවරියනුත් ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කිරීම සහ භාර ගැනීම ජාතීන් දෙක අතර මේ ඇති වෙමින් පවතින සංහිඳියාව වඩා තිරසාර එකක් කර ගැනීමට හේතු වනු ඇතැයි මම සිතමි.

කොටින්ම ආණ්ඩුව රඳවා ගත් පොත් ගැන විමර්ශනයේ ප්‍රගතිය ප්‍රකාශ කළ යුතු අතර, දීපචෙල්වම් තම කෘතීන් සංහිඳියාවට බාධාවක් නොවන බවට තර්කය ගොඩ නැංවිය යුතුය. ඒ සඳහා පස්වැනි පොතේ කවරය ප්‍රසිද්ධ කිරීම සිදු කළ හැකි නම් අප සියල්ලන්ට ම මේ කොළ වසා ගසන ගේම ලස්සන තැනකට ගෙන යා හැකිවාක් මෙන්ම, හබන් කුකුළු කිකිළියන්ගේ ආතල් කැඩීමේ ආතල් එක ගැනීමට ද ඉඩහසර පෑදෙනු ඇත.

අනිල් හේරත් 1

 

අනිල් හේරත්

 

 

සබැඳි පුවත්

ලේඛක දීපචෙල්වන් ගේ කෘති රේගුව විසින් රඳවාගනු ලැබීම පිළිබඳ නවත ම පුවත

දීපචෙල්වන්ට ලිවීමේ අයිතිය අහිමි ද?; සංස්කෘතික අමාත්‍යවරයා ගේ අවධානයට

දීපචෙල්වන් ගේ කෘති රේගුවෙන් නිදහස් කිරීම බාලගිරි දෝෂයට ලක් වෙලා ද...?

ජාජබ ආණ්ඩුවේ විස්මිත සමත්කම්

මා ජන නියමු කලාකරුවෙකි

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න