පි.බී.- බැසිල් ආර්ථික මූලෝපායය ගැන සුමනසිරිගේ අලුත් විග්‍රහය !

පි.බී.- බැසිල් ආර්ථික මූලෝපායය ගැන සුමනසිරිගේ අලුත් විග්‍රහය !

2010- 2015 ජයසුන්දර-බැසිල් ආර්ථික මූලෝපාය වඩා සංකීර්ණ දේශපාලන වැඩපිළිවෙලක් බව ආචාර්ය සුමනසිරි ලියනගේ මහතා පවසයි.

ඔහු විසින් පුවත් පතකට සපයා ඇති තීරු ලිපියක එබව සඳහන් වේ

එම සටහන පහත පළවේ.

 ''පහුගිය බදාදා දෙරණ අලුත් පාර්ලිමේනතුවට සහභාගි වීමෙන් පසු මට පසක් වූයේ මහින්ද රාජපක්ෂ තන්ත්‍රය යටතේ ක්‍රියාත්මක වූ ආර්ථික පිලිවෙත (විශේෂයෙන් 2010- 2015 සමය) ගැන මා එවකට කළ විග්‍රහය ගැන ප්‍රත්‍යේක්ෂණයක් කිරීම අවශ්‍ය බව ය.

මගේ විග්‍රහය ගැන නැවත මතක් කිරීමක් වැදගත් වේ. එයින් කියවුන දේ මෙවැන්නකි.

එම ආර්ථික පිලිවෙත ප්‍රධාන ප්‍රතිපත්ති දෙකක සම්මිශ්‍රණයකි.

එක් ප්‍රතිපත්තියක නිර්මාතෘවරයා වූයේ මුදල් අමාත්‍යංශයේ ලේකම්ව සිටි ආචාර්ය පී බී ජයසුන්දර ය. ඔහු කළේ 1977 හදුන්වා දුන් නව ලිබරල් ප්‍රතිපත්ති සුසමාදර්ශය තුළ සිටිමින් සහ ඒ හරහා ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල වුවමනාවන්ටද ගැලපෙන සේ ආර්ථිකය හැසිරවීම ය.

එහිදී ආර්ථික වෘද්ධි වේගය සාපේක්ෂව ඉහල මට්ටමක පවත්වා ගැනිම සදහා රාජ්‍ය පාද ව්‍යුහ ආයෝජන ඉහල මට්ටමක පවත්වා ගත්තේ ය.

මා මෙම ක්‍රියාකාරිත්වය හැදින්වුයේ නවලිබරල් ප්‍රතිපත්ති සහ සංවර්ධන රාජ්‍ය ප්‍රතිපත්ති (developmental state) අතර සම්මිශ්‍රණයක් හැටියට ය.

එම තේරුමෙන් එම ක්‍රියා පිලිවෙත 2015 ට පසු අනුගමනය කරන මූලධර්මවාදී නවලිබරල් ප්‍රතිපත්තියෙන් (neoliberal fundamentalism) වෙනස් විය.

ආචාර්ය ජයසුන්දර මෙහිලා බෙහෙවින් නිර්මානත්මක වූයේ ය.

 දෙවන ප්‍රතිපත්තිය මා හැදින්වූයේ දේශපාලන ව්‍යපෘතියක් ලෙස ය. එහි නිර්මාපකයා ලෙස මා හදුනාගත්තේ ආර්ථික කටයුතු අමාත්‍යව සිටි බැසිල් රාජපක්ෂ ය.

දිවිනැගුම වැනි වැඩ සටහන් ආවේ මෙම දේශපාලන ව්‍යපෘතිය යටතේ ය. සමාජ පහත තීරුවේ ඡන්ද පදනම ආරක්ෂා කිරීමේ ප්‍රයත්නයක් සහ උපායයක් ලෙසයි මා එකළ මෙය හැදින් වූයේ.

මුදල් අමාත්‍යංශයේ මෙන්ම ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම්ව සිටි ආචාර්ය පී බී ජයසුන්දර මෙම එකිනෙකට පරස්පර ලෙස පෙනුන ප්‍රතිපත්ති යුගලය මනාලෙස සම්මිශ්‍රණය කොට වසර පහක කාලය තුළ ගෙන ගියේ ය.

හේ ඒ සදහා විවිධ ණය ක්‍රම යොදා ගත්තේ ය.

ෆිස්කල් හිගය කිසියම් සහේතුක මට්ටමක තබා ගනිමින් එම මූලෝපාය ක්‍රියාවට නැගීමට එනයින් ඔහුට හැකිවිය. (මෙම මූලෝපායට අප එවකට කළ විවේචනය යොමු කෙරුනේ නිශ්පාදනය කෙරෙහි එය දැක් වූ යොමුවේ අඩුකම ය.)

ඉහතින් මා දැක්වූයේ මා එවකට කළ විග්‍රහයේ සාරාංශයකි.

පහුගිය බදාදා දෙරණ අලුත් පාර්ලිමේනතුවට සහභාගි වීමෙන් පසු මට පසක් වූයේ මහින්ද රාජපක්ෂ තන්ත්‍රය යටතේ ක්‍රියාත්මක වූ ආර්ථික පිලිවෙත (විශේෂයෙන් 2010- 2015 සමය) ගැන මා එවකට කළ විග්‍රහය මූලික වශයෙන් එහි අංග ලක්ෂණ හදුනා ගැන්මට සමත් වුව ද, එය එහි සංකීර්ණත්වය තේරුම් ගැන්මට ප්‍රමාණවත් නොවන බව ය.

මා දේශපාලන ව්‍යපෘතියක් ලෙස දුටු දෙය හුදු දේශපාලන ව්‍යපෘතියක් ලෙස හැදින්වීම වැරදි ය. එය සමාජ පහත තීරුවට සහන ලබා දෙමින් ඡන්ද පදනම ආරක්ෂා කිරීමේ උපායයක් පමණ ද? මා මෙයට දැන් දෙන පිළිතුර එයට වෙනස් ය.

එමගින් ජයසුන්දර-බැසිල් ආර්ථික මූලෝපාය වඩා සංකීර්ණ එකක් ලෙස මම තර්ක කරමි.

මෑතක දී කල්යාන් සන්යාල් නැමැති බෙංගාල ජාතික ආර්ථික විද්‍යාඥයා පශ්චාත් විජිත රටවල ආර්ථිකය ගැන කරන සාකච්ඡාව මෙහිදී අදාල වේ යැ යි සිතමි.

ඔහුට අනුව පශ්චාත් විජිත රටවල නියාමයන් දෙකක් ක්‍රියාත්මක වේ.

(1) මාක්ස් විසින් පෙන්වූ ප්‍රාථමික ප්‍රාග්ධන සමුච්චන ක්‍රියාවලිය
(2) ප්‍රතිපත්ති කතිකාව මගින් පණගන්වන ප්‍රාථමික ප්‍රාග්ධන සමුච්චන ක්‍රියාවලිය ආපහු හැරවීමේ ක්‍රියාවලිය (reversal of primitive capital accumulation) එම නියාමයන් දෙකයි.

දෙවැන්න හරහා ආමන්ත්‍රණය කරන්නේ අවශ්‍යතා ආර්ථිකය (need economy) ටය.

ඒ හරහා ප්‍රාථමික ප්‍රාග්ධන සමුච්චන ක්‍රියාවලිය මගින් විසිකරන ශ්‍රමිකයා ඔවුනගේ අවශ්‍යතා සපුරා ගැන්මේ කාර්යයනට යොමු කෙරේ.

රජය මගින් ඔවුනට අහිමි වූ නිශ්පාදන මාර්ග සැපයේ. මෙම ක්‍රියාවලිය මෙරටට මුලින්ම හදුන්වා දුන්නේ ආර් ප්‍රේමදාස යැ යි මම සිතමි.

එහෙත් එය සංකිර්ණ ආර්ථික මූලෝපායයක් බවට හැරවුනේ 2010- 15 කාලයේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න