මෙරට වංචනික ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය නිරුවත් කළේ 1971අප්‍රේල් පස්වෙනි දා ය.
1971 අප්‍රෙල් 5වන දා සන්නද්ධ නැගිටීමට වසර හය හමාර පෙර 1964 ඔක්තෝබරයේ පැවැති "ලංකා කොමියුනිස්ට් සහ සෙසු ප්‍රගතිශීලී තරුණ සමිති සම්මේලනය" තුළ අල්බේනියානු සහෝදරවරුන් ගේ රුසියානු භාෂා කතා සිංහලට පරිවර්තනය කළ මගේ සම වයසේ සිටි නන්දසිරි විජේවීර සහෝදරයා මට හමුවිය. 1966 වන විට ලංකා කොමියුනිස්ට් පක්ෂයේ පූර්ණකාලීන සාමාජිකයන් වූ අප දෙදෙනා ද, ටී. බී. සී. ප්‍රනාන්දු, කොලින් සිල්වා සහ චන්ද්‍රසිරි මායාදුන්නේ ද ඉතා සමීප සහෝදරයින් වශයෙන් පක්ෂය නිවැරැදි විප්ලවවාදී සංවිධානයක් බවට පත් කරන අයුරු ගැඹූරු ලෙස සාකච්ඡ කරමින් සිටියෙමු.
අබ්දුල් කාසිම් හංගා ගෙන් ලද උත්තේජනය
විජේවීර ට සමකාලීනව ලුමුම්බා සරසවියේ උගත් අබ්දුල් කාසිම් හංගා, තම මවුබිම වූ සැන්සිබාර් දූපතේ රාජ්‍ය බලය සුළු කණ්ඩායමක් දියත් කළ ක්ෂණික ප්‍රහාරයකින් අල්ලා ගැනීම තුළින් උපන් උද්වේගය අනුව, ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය ද විප්ලවවාදී සංවිධානයක ක්ෂණික සන්නද්ධ ප්‍රහාරයක් මගින් හිමි කර ගත හැකිය යන අදහස ඔහු ද දැරුවේය. විජේවීර සහෝදරයා හැර මා ඇතුළු අන් සහෝදරවරුන් කීවේ, බහුජන සහභාගීත්වය නොමැතිව කරන එවැනි ක්ෂණික ප්‍රහාරයක් හුදු සන්නද්ධ කුමන්ත්‍රණයක් මිස විප්ලවයක් නොවන බවය.
අරගල ස්වරූපය පිළිබඳ මේ මතභේදය හේතු කොට ගෙන, ලංකා කොමියුනිස්ට් පක්ෂය තුළ කණ්ඩායම් ගැසී තිබුණු අනෙක් සංවිධාන සියල්ල, විජේවීර සහෝදරයා නායකත්වය දෙමින් ගොඩ නැගු, (පසුව) ජනතා විමුක්ති පෙරමුණ වූ ව්‍යාපාරයට වෙනස් ව සංවිධානය වූහ. 1965 මැයි 14 දින හුදෙක් සහෝදරවරුන් 10 දෙනෙකු සහිතව රෝහණ විජේවීර සහෝදරයා ගොඩ නැගු ජ. වි. පෙ., ඉන් වසර හයකට පසුව දිවයින පුරා පොලිස් ස්ථාන 94 කට පහර දී, තම ප්‍රථම නැගිටීම දියත් කර, පරාජය වූවද, ලංකා ඉතිහාසයේ සදාකාලික හැරවුම් ලක්ෂය වූ 1971 අප්‍රෙල් කැරැල්ල නම් ඓතිහාසික ලාංජනය මේ දිවයින මත මෙන් ම ලෝක විප්ලවවාදී භාවිතය තුළ ද කොටා තැබූහ.
සන්නද්ධ අරගල කළ යුතු ම ය
රෝහණ විජේවීර සහෝදරයා සමග දේශපාලන හා සංවිධාන මතභේද ඇති ව සිටි මා, යළිත් විඡේවීර සහෝදරයා සමග සමගි කොට බද්ධ කරන ලද්දේ 1986 දී නීතිඥ විජේදාස ලියනආරච්චි විප්ලවවාදීි විරුවා විසිනි. 1971 සිට 1986 දක්වා මා පසක් කර ගත් න්‍යායික, දේශපාලනික, සංවිධාන සහ අරගල ස්වරූප (forms of struggle) සත්‍යය වූයේ විප්ලවීය සංවිධානයක් නිශ්චිත කාල වකවානුවක කරන සන්නද්ධ නැගිටීම් අත්‍යවශ්‍ය බව ය. ධනේශ්වර රාජ්‍යය යනු ආයුධ සන්නද්ධ මර්දනය යන්ත්‍රයකි. ඔවුහු අධිරාජ්‍යවාදය ද, ඒකාබද්ධ ලෝක ධනේශ්වර ක්‍රමය ද, ඒ ඒ රටවල සමස්ත ප්‍රතිගාමී මර්දනය ද නියෝජනය කරමින් ඕනෑ ම රටක ජනතාව ද ජනතා අයිතිවාසිකම් ද නිදහස් මහජන මතවාද හා සංවිධානද නොකඩවා මර්දනය කරමින් සිටී. එහෙයින් විප්ලවවාදීන් සන්නද්ධ ධනේශ්වරයට එරෙහිව, උන් ට හොරා, රහසින් සංවිධානය ව, නිශ්චිත කාල සීමාවල දී සන්නද්ධ අරගල කළ යුතු ම ය.

නින්දා සහගත සතුරු සමූහය
1971 අප්‍රෙල් 5වන දා සන්නද්ධ අරගලය එවැනි වූවකි. 1971 කරා යන ගමනේ දී ප්‍රථම කොට පහර දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමසමාජ පක්‍ෂ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ඊනියා ප්‍රගතිශීලී ආණ්ඩුව මිස ජනතා විමුක්ති පෙරමුණ නොවේ. සාමකාමී සාකච්ඡා, සම්මන්ත්‍රණ, රැස්වීම්, ප්‍රකාශන කරමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් හිරභාරයට ගත්තේ මර්දනය කළේ අඬු කැඩුවේ ශ්‍රී ල නි ප, සමසමාජ, කොමියුනිස්ට් ආණ්ඩුව විසිනි. 1917 රුසියානු පෙබරවාරි නැගිටීම මෙන්, 1927 අගෝස්තු පළ වෙනිදා චීනයේ නාන්චාන් නැගිටීම් මෙන්, 1953 කියුබාවේ මොන්කාඩෝ ප්‍රහාරය මෙන් 1971 අප්‍රෙල් කැරැල්ල ද අත්‍යවශ්‍ය වූයේය.
එයින් පසු, වසර 55ක් ගතවන මොහොතේ, එදා ධනපති රාජ්‍යයට එරෙහිව අවි අතට ගත් ජනතා විමුක්ති පෙරමුණ (ජ.වි.පෙ) මධ්‍ය න්‍යස්ටිය වන, ජාතික ජන බලවේගය (ජා.ජ. බ) නම් පුළුල් බහු පන්තික සංවිධානය, 42.31%ක බහුතර ජන්දයක් ලබා 2024 සැප්තැම්බර් 21දා ආණ්ඩු බලය දිනා ගෙන ඇත; මේ සංවිධාන දෙකේම ජනප්‍රිය නායක අනුර කුමාර දිසානායක සහෝදරයා රටේ විධායක ජනාධිපති වී ඇත; 61.56%ක ජන්ද ලබා ව්‍යවස්ථා දායකයේ ආසන 225න් 159ක් ම දිනා ජ වි පෙ /ජා ජ බ විසින් ආධිපත්‍යය පිහිටුවා ඇත. එක ම සාධනීය වාමාංශික වි පක්ෂය වන ජ. වි. පෙ. න් කැඩි ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂය හෑර අන් සියලු ධනපති දේශපාලන සංවිධාන නින්දා සහගත සතුරු සමූහයක්ව ඇත.

(මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ, ජන ඝාතක රණසිංහ ප්‍රේමදාස ගේ නිල අලුගෝසුවන් තමා ව අනීතික ලෙස ඝාතනය කරන බව දැන සිටිය දී ඉන්ද්‍රානන්ද සිල්වා සහෝදරයා අත රැඳි හමුදා කැමරා කාචයට හමුදා අත්අඩංගුවේ සිටි නිරායුධ රෝහණ විජේවීර සහෝදරයා දෙතොල මත රැඳී මද සිනහවක් සහිතව 1989 ඉල් මස 12 දින රාත්‍රියේ මුහුණ දුන් අභීත විලාශය යි)
Ananda Goonatilleke
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
