Language Switcher

V2025

සංගමයේ සභාපති ධූරය කෞෂල්‍ය නවරත්නට යන ලකුණු !

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2023/2024 නිලවරණයට නාමයෝජනා භාරදීම අද (11) අවසන් වූ අතර එහිදී සභාපති ධුරය සඳහා නීතිඥ කෞශල්‍ය නවරත්න මහතාත් ලේකම් ධූරය සඳහා ඉසුරු බාලපටබැඳිත් නාම යෝජනා බාරදී ඇත.

අද දහවල් 12 .00 දක්වා නාමයෝජනා භාරදීමට අවස්ථාව ලැබුණු අතර වෙනත් කිසිදු අපේක්ෂකයෙකු නාමයෝජනා භාරදීම සිදු නොකළහොත් නාමයෝජනා බාරදුන් ඔවුන් දෙදෙනා නිතරගයෙන් එම තනතුරු සඳහා පත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධූරය සඳහා නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන නීතිඥ කෞශල්‍ය නවරත්න ඉදිරිපත් කෙරුණේ , ආචාර්ය කේ. කනග් ඊශ්වරන්, ආචාර්ය ෆයිස් මුස්තෆා, ආචාර්ය රොමේෂ් ද සිල්වා, ඉක්‍රම් මොහොමඩ්, කුෂාන් ද අල්විස්, කාලිංග ඉන්දතිස්ස, සංජීව ජයවර්ධන, යූ. ආර් ද සිල්වා, නලින්ද ඉන්දතිස්ස, චන්දක ජයසුන්දර, ජගත් වික්‍රමනායක සහ ශිරන්ති ගුණවර්ධන යන ජනාධිපති නීතිඥවරුන් ගේ යෝජනා ස්ථිරත්වයෙනි.

පසුගිය වසර කිහිපය තුළ ප්‍රමුඛ පෙලේ ජනාධිපති නීතීඥවරුන් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් ඇසුරේ පෝෂණය වූ කෞෂල්‍ය නවරත්න  නීති ක්ෂේත්‍රයේ වසර 26 කට අධික කාලයක වෘත්තිය අත්දැකීම් ඇති ප්‍රවීනයෙකි .

එසේම ඔහු සාර්ථක නීති වෘත්තිකයන් බවට පත් වූ කනිෂ්ඨයන් විශාල සංඛ්‍යාවක් බිහිකිරීමට දායකත්වය සැපයූ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු ද වෙයි.

වෘත්තීය ජීවිතයේ මූල් පියවර තබමින් නීතිඥ කෞෂල්‍ය නවරත්න  නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය සාර්ථකව නිමා කිරීමෙන් පසු සීමාවාසික පුහුණුව සහ ආධුනිකත්ව පුහුණුව සඳහා යොමු වූයේ “ Messers Sivanantham & Associates ” හි නිර්මාතෘ ජ්‍යෙෂ්ඨ නීතිඥ කන්දයියා සිවානන්දම් මහතා වෙතය.

අනතුරුව 1997 ජූනි මාසයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙකු වශයෙන් දිවුරුම් දෙන ඔහු කනිෂ්ඨ නීතිඥයකු ලෙස ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතාගේ නීතිඥ කාර්ය මණ්ඩලයට එක්විය.

මේ වන විට නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ප්‍රධාන වශයෙන් බැංකු, රක්ෂණ, බුද්ධිමය දේපල, සමාගම් නීතිය, විදුලි සංදේශ, මුදල් අය කර ගැනීම්, ගිවිසුම්, අපහාස, විවාහ ආරවුල්, ඉඩම් කොටස් කිරීම සහ කුලී සහ නෙරපා හැරීම ඇතුළත් සිවිල් නීතිය සහ වාණිජ නීතිය යන ක්ෂේත්‍ර සම්බන්ධ විශේෂඥ දැනුමැති නීතිඥවරයෙකු ලෙස කීර්තියට පත්ව ඇති අතර, බැංකු සහ සංස්ථාපිත ආයතනවල නීති උපදේශකවරයෙක් ලෙස ද කටයුතු කරයි.

කෞෂල්‍ය නවරත්න මහතා බේරුම්කරණය සහ සමථකරණය වැනි විකල්ප ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයන් හි ද සම්බන්ධ වන අතර වාණිජ ආරවුල් සම්බන්ධයෙන් බේරුම්කරුවකු ලෙසද ක්‍රියා කරනු ලබයි. සංශෝධිත (1950) අංක (43) දරන කාර්මික ආරවුල් පනතට අනුව ඔහු කාර්මික අධිකරණයේ ද බේරුම් කරුවෙකු ලෙසද කටයුතු කරයි.

නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2019 වසරේ ලේකම්වරයා ලෙස බහුතර ඡන්දයෙන් තේරී පත් වූ අතර ඊට අමතරව නීතිඥ සංගමයේ කලාප උප සභාපති (කොළඹ) , විධායක කමිටු සාමාජික සහ නීතිඥ මණ්ඩල සභික ලෙසද කටයුතු කර ඇත.

එසේම ඔහු කොළඹ නීතිඥ සංගමයේ ලේකම් (2014 – 2016), කොළඹ නීති සංගමයේ සභාපති (2016 -2017) වශයෙන් තනතුරු දරමින් එහි සාමාජිකයන්ගේ උන්නතිය වෙනුවෙන් මනා කැපවීමකින් කටයුතු කරනු ලැබූවෙකි.

සංශෝධිත අධිකරණ පනත යටතේ අගවිනිසුරු තුමන් විසින් පත් කරන ලද විනය කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන කෞෂල්‍ය නවරත්න මහතා ශ්‍රී ලංකාවේ නීති වාර්තා ප්‍රකාශනය සඳහා වූ කර්තෘ මණ්ඩලයේ අතිරේක ප්‍රධාන කර්තෘවරයකු ලෙස ද කටයුතු කරයි.

නීති අධ්‍යාපන සංස්ථාපිත කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස ද , 2019 -2020 වසර සඳහා “Law Asia” විධායක කමිටු සාමාජිකයකු ලෙස ද නවරත්න මහතා කටයුතු කර ඇත. තවද අධිකරණ අමාත්‍යාංශයේ වාණිජ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ අනු කමිටුවේ ප්‍රධාන නීති උපදේශක ලෙස නවරත්න මහතා වාණිජ නීති ප්‍රතිසංස්කරණ වලට අදාල යෝජනා රැසක් ඉදිරිපත් කරමින් ක්‍රියාකාරී මැදිහත් වීමක් සිදු කළේය.

එමෙන්ම ඔහු සිවිල් නීති ප්‍රතිසංස්කරණ අනුකමිටුවේ සහ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධති ඩිජිටල්කරණය කිරීම පිළිබඳ කමිටුවේ ද සාමාජිකයෙකු ලෙසද කටයුතු කර තිබේ.

නීති ප්‍රජාව සහ අධිකරණ පද්ධතිය හා සම්බන්ධ වූ සාමාජිකයින් ඇතුළු සමස්ත නීති ක්ෂේත්‍රයේ සාමාජිකයින් සමඟ වූ දිගුකාලීන ඇසුර තුළින් ලබා ගත් අත්දැකීම්, දැනුම සහ ප්‍රවීණත්වයෙන් අනූන, කෞෂල්‍ය නවරත්න මහතාට නීතිඥ වෘත්තියේ ඉහළම සම්ප්‍රදායයන්, ගරුත්වය, වෘත්තීය ආචාර ධර්ම, සම්මතයන් සහ නීතිඥ සංගමයේ නොසැලෙන ස්වාධීනත්වය රැක ගනිමින් සේවය කිරීමට හැකියාවක් ඇති බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ මතය වී තිබේ.