මේ රටේ කම්කරුවන් ගේ ශ්‍රමය සූරාගෙන කමින් මඩිය තරකරගන්නා, ධනපතියන් ගේ ඔඩොක්කුවේ ලගින:
පොහොට්ටුව, යූ එන් පී එක, සමගි ජන බලවේගය යනා දි ධනවාදී පක්ෂවලට කම්කරු දිනය සැමරීමට කිසිම අයිතියක් නැති බවත්, ඔවුන් ඉතිහාසයක් තිස්සේ කම්කරුවන්ගේ සටන් පාට වෙනුවෙන්, කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටි අතර එම පක්ෂ සියල්ලක් ම එදා සිට පෙනී හිටියේ ධම්මික පෙරේරලා ගේ පෙළැන්තිය වෙනුවෙන් යැයි Youth For Chenge සංවිධායක ලේකම් ළහිරු වීරසේකර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ "අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට නැටවෙන ආණ්ඩුවට එරෙහිව වැඩකරන ජනතා බලයක් !" මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ ඊයේ (01) පැවති කම්කරු දින රැළිය අමතමිනි.
එම රැලියේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ළහිරු වීරසේකර...
1889දී දෙවැනි කොමියුනිස්ට් ජාත්‍යන්තරය තීරණය
"ලංකාවේ සමහර ප්‍රසිද්ධ ඇඟලුම් ආයතන අදත් තමන්ගේ ආයතනයේ වැඩකරන සේවකයින්ට නිවාඩුවක්වත් නොදී මරව මරවා වැඩ ගනිමින් ඉන්නවා. අන්න එහෙම මොහොතක තමයි අපි මේ විදිහට ජාත්‍යන්තර කම්කරු දිනට සමරන්නේ. අපි දන්නවා එදා ඇමරිකාවේ හේමාකට් චතුරස්‍රයට රැස්වුණු දහස් ගණන් කම්කරු ජනතාව දිනාගත් පැය අටේ වැඩමුරයේ ඉඳලා, අදත් ලෝකයේ සියලු වැඩකරන ජනතාව භුක්ති විඳින සියලු අයිතිවාසිකම් දිනාගෙන තියෙන්නේ සටන් කරලා. ඒ සටන් ඇතුළෙ ලක්ෂ ගාණක් කම්කරුවෝ ඝාතනය වුණා. ලක්ෂ ගාණක් කම්කරුවන්ට හිරබත් කන්න වුණා. රැකියා අහිමි වුණා. මේ අරගලය ගොඩනැගුණේ එවැනි දහසක් කැපකිරීම් මතින්. අන්න ඒ ඓතිහාසික කාර්‍යභාරය සිහිපත් කරමින් තමයි 1889දී දෙවැනි කොමියුනිස්ට් ජාත්‍යන්තරය තීරණය කළේ ජාත්‍යන්තර කම්කරු දිනයක් ප්‍රකාශයට පත් කරන්න. ඒ නිසා අපි කියනවා ධනවාදී පක්ෂවලට කිසිම අයිතියක් නෑ කම්කරු දිනය සමරන්න. පොහොට්ටුවට, යූ එන් පී එකට, සමගි ජන බලවේගයට අපි අද මතක් කරනවා මේ රටේ කම්කරුවන්ගේ ශ්‍රමය හූරං කාලා මඩිය තරකරගන්න ධනපතියන්ගේ ඔඩොක්කුවේ ලැගලා ඉන්න උඹලට අයිතියක් නෑ කම්කරු දිනය සමරන්න. උඹලා ඉතිහාසයක් තිස්සේ කම්කරුවන්ගේ සටන් පාට වෙනුවෙන්, කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉඳලා නෑ. මේ පක්ෂ හැම එකක්ම එදා ඉඳන් පෙනී හිටියේ ධම්මික පෙරේරලාගේ පෙළැන්තිය වෙනුවෙන්.
ලෝකය පුරා මිලියන 65ක තරුණ පරම්පරාවකට රැකියා නැහැ
අද මුළු ලෝකය පුරාම අධිරාජ්‍යවාදී යුද්ධයක පැටලිලා. ඇමරිකාව තමන්ට අහිමිවෙන ආර්ථික බලය රැකගන්න පිස්සුවෙන් වගේ මහාපරිමාණ මිනිස් සංහාරයක් කරමින් යනවා. පසුගිය දවසේ ඉතාම මෙලෙච්ඡ විදිහට ඉරානය ආක්‍රමණය කළා. ඔළුවට බෝම්බ ගහලා පාසල් දැරියෝ එකසිය හතළිහක් විතර ඉතාම අමානුෂික විදිහට මරලා දැම්මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලෝකෙට පම්පෝරි ගහන ඇමරිකාව. ගාසාතීරයේ කුඩා දරුවෝ 17,000ක් විතර යුද්ධය නිසා ඝාතනය වෙලා ඉවරයි. මේ අධිරාජ්‍යවාදී යුද්ධය නිසා වැඩ කරන ජනතාවගේ දෛනික ජීවිතය කඩා වැටුණා. ලක්ෂ ගණනාවක් මිනිස්සුන්ගේ ජීවිත අහිමි වුණා. අන්න ඒ නිසයි අපි කියන්නේ මේ යුද්ධය එක පන්තියකට පක්ෂපාතීයි. මේ යුද්ධය සේවය කරන්නේ ධනපතියන්ගේ ලාභ තර කරන්න විතරයි. ආගම්වාදය ජාතිවාදය ඉස්සරහට දාගෙන මොන මොන අර්ථකතන දුන්නත් මේ දිගහැරෙන්නේ අධිරාජ්‍යවාදීන්ගේ ආර්ථික බලය රැකගන්න කරන යුද්ධයක් කියන එක හොඳටම පැහැදිලියි. ආදරණීය සහෝදරවරුනි. අපි මේ හයිඩ් පිටියට රැස්වෙලා ඉන්න මේ වෙලාවෙත් මේ ලෝකේ රැකියා අහිමි වුණු මිලියන 65ක තරුණ පරම්පරාවක් ඉන්නවා. මුළු ලෝකයේම උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා. අප්‍රිකාව වගේ රටවල ලක්ෂ ගාණක් දරුවෝ මන්දපෝෂණය නිසා මිය යනවා. මෙන්න මේවා තමයි මේ ධනවාදය අපිට දිනා දීලා තියෙන්නේ. අන්න ඒ නිසයි අපි කියන්නේ මේ මෙලෙච්ඡ ක්‍රමය අනිවාරෙන් බිඳදාන්න ඕන කියලා.
වර්තමාන ආණ්ඩුවත් කම්කරුවන්ට පස්ස පැත්ත හරවනවා
අද අපේ රටේ තියෙන්නේ කම්කරුවන්ගේ කර උඩින් බලයට ආපු ආණ්ඩුවක්. හැබැයි අද ඒ ආණ්ඩුව කම්කරුවන්ට පස්ස පැත්ත හරවනවා කිසිම හිරිකිතයක් නැතුව. අපි දැක්කා මේ ආණ්ඩුව අදානිලාට අම්බානිලාට මේ රටේ ඉඩම් ටික කොල්ල කන්න ඉඩ දෙමින් මන්නාරමේ, ත්‍රීකුණාමලේ ධීවරයන්ට පහර දීපු විදිහ. ජනතා දේපළක් විදිහට ඉතිහාසයක් පුරා තිබුණු විදුලිබල මණ්ඩල අද කෑලි කරලා වෙළඳපොලේ විකුණන්න ලෑස් කරලා ඉවරයි. දහස් ගණන් ජීවිත පරිත්‍යාග කරලා දිනාගත්ත කමකරු අයිතිවාසිකම් කප්පාදු කරලා තනි කම්කරු නීතියක් ගෙන එන්න දැන් මේ ආණ්ඩුව පිඹුරුපත් සකසමින් ඉන්නේ. ඒ නිසා දැන් මේ ආණ්ඩුව ජනතා ද්‍රෝහි ආණ්ඩුවක් වෙලා ඉවරයි. අන්න ඒ නිසයි අපි කියන්නේ පක්ෂ බලයට ගෙනල්ලා බලාගෙන හිටපු කාලය හොඳටම ඇති. දැන් වෙලාව ඇවිල්ලා තියෙන්නේ වැඩකරන ජනතාව අතට බලය ගන්න. ඒ බලය ගැනීම සඳහා තමයි අපි මහජන ව්‍යාපාරයක් ගොඩනගමින් ඉන්නේ. ඔය දියදවන්නාවේ ගුබ්බෑයම ඇතුළේ පාලකයෝ ගන්න ජනතාද්‍රෝහී වැඩපිළිවෙළවල් පරාජය කරන්න පුලුවන් ජනතා බලයක් අපි එළියේ ගොඩනගමින් ඉන්නවා. අන්න ඒ වටා එකතුවෙමු කියලා අපි මේ රටේ සියලු වැඩ කරන ජනතාවට ආරාධනා කරනවා."
නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සංවිධායක ලේකම් හේමමාලි අබේරත්න
ලෝකයේ කාන්තාවෝ තවමත් ඉන්නේ දෙවැනි පෙළ පුරවැසියෝ විදිහට
" අද අපි සමරන්නේ 137වෙනි ජාත්‍යන්තර කම්කරු දිනය. ලෝකයේ වැඩ කරන කාන්තාවන්ගෙන් 25%ක් තවමත් ඉන්නේ පැය 48ක වැඩ සතියක. මේ අපි ඉන්නේ 21වෙනි සියවසේ වෙලත් ලෝකයේ කාන්තාවෝ තවමත් ඉන්නේ දෙවැනි පෙළ පුරවැසියෝ විදිහට. අධ්‍යාපනයට සමාජ ජීවිතයට තවමත් ඇයට ලෝකය ඇතුළේ සමාන අවස්ථාවක් නෑ. මාලිමා ආණ්ඩුව බලයට අවේ මේ රටේ බහුතරයක් කාන්තාවකගේ කැපකිරීම් මතින් කියන එක අතිශෝක්තියක් නෙවෙයි. එදා මේ ආණ්ඩුව මේ රටේ කාන්තාවන්ට පොරොන්දු වුණා ක්ෂ්ද්‍ර මූල්‍ය ණය අහෝසි කරනවා කියලා. එදා මේ ආණ්ඩුව කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනා දෙනවා කියලා ශපථ කළා. හැබැයි අද සියල්ලම අමතක කරල මේ ආණ්ඩුවත් කාන්තාවන්ගේ ප්‍රශ්නය ගැන කිසිඳු තැකීමක් නොකර තමයි දේශපානලනය කරමින් ඉන්නේ. ක්ෂ්ද්‍ර මූල්‍ය ණය අහෝසි කරනවා වෙනුවට ක්ෂ්ද්‍ර මූල්‍ය ණය උගුලේ කාන්තාවන්ව තව තවත් හිර කරන්න මේ ආණ්ඩුව නීති සකසමින් ඉන්නවා. වතුකරයේ දුක් විඳින කාන්තාවන් වෙනුවන්ට පොරොන්දු මල්ලක් දීලා බලය ආව ආණ්ඩුව දැන් වතුකරය දිහා ඇහැක් ඇරලා බලන්නේ නැහැ. අපි දැන් ඉන්නේ ලෝක යුද්ධයක් අබිමුව. අපි දන්නවා මේ රටට ඩොලර් ටික හොයලා දෙන්න ලක්ෂ ගණනක් කාන්තාවෝ අදත් මැදපෙරදිග ලේ දහදිය හෙලනවා. ඔවුන්ගේ ජීවිතය මොන වෙලාවෙද කියලා සුවර් නෑ. හැබැයි ආණ්ඩුව අදටත් ඒ කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කිසිඳු පියවරක් අරගෙන නැහැ.
කාන්තාවෝ: දියසෙන් කුමාරයන්ට, විමුක්ති දායකන්ට රැවටුණු කාලය දැන් හොඳටම ඇති
මේ ආණ්ඩුව බලයට ආවට පස්සෙ අමත කරපු ඇත්තක් තියනවා. ඒ ඇත්ත තමයි ඕනෑම සමාජයක දේශපානලන බලය තීරණය කිරීමේදී වැඩි දායකත්වයක් දරන්නේ කාන්තාවෝ කියන එක. අදටත් ලංකාවේ ජනගහනයෙන් 51.8%ක් ඉන්නේ කාන්තාවෝ. ඒ නිසා අපි හොඳටම දන්නවා ඉස්සරහටත් මේ රටේ දේශපානලන ක්‍රියාකාරීත්වය තුළ කාන්තාවගේ මැදිහත්වීම ඉතාම වැදගත් එකක්. මේ රටේ කාන්තාවෝ දියසෙන් කුමාරයන්ට, විමුක්ති දායකන්ට රැවටුණු කාලය දැන් හොඳටම ඇති. අපිට පුළුවන් සටන් කිරීම ඇතුළේ අපේ අයිතිවාසිකම් දිනාගන්න. මොකද ගැහැනිය කියන්නේ ඉතාම ශක්තිමත් කෙනෙක්. ලෝකයේ කාන්තා පීඩනය අහෝසි කිරීමේ අරගලය වෙනුවෙන් තමයි අපි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විදිහට මැදිහත් වෙමින් ඉන්නේ. හැබැයි ඒ අරගලය හුදකලා කරන්න අපි සූදානම් නැහැ. මොකද නිර්ධන පන්තියේ විමුක්තිය දිනාගැනීමේ අරගලයේම එක කොටසක් විදිහට තමයි කාන්තා විමුක්තිය දිනාගැනීමේ සටනත් තියෙන්නේ. ඒ නිසා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපි ඒ සියලු අරගලය ජීවය දෙන්න සූදානම්.''
ගොවි අරගල ව්‍යාපාරයේ සංවිධායක ලේකම් විමල් වත්තුහේවා
බහුජාතික සමාගම් බූවල්ලෝ වගේ අපේ ජීවිත කොල්ලකමින් ඉන්නවා
"අපි මේ ඉන්නේ මුළු ලෝකයම මෙලෙච්ඡත්වයට නතු වෙමින් යන යුගයක. ඇමරිකාව, චීනය, රුසියාව වගේ ආර්ථික බලවතුන් තමන්ගේ ආර්ථික බලය රැකගන්න මේ වෙද්දිත් මුළු ලෝකය පුරාම ප්‍රචන්ඩත්වය වපුරමින් ඉන්නේ ඉතාම අමානුෂික විදිහට. අපි දන්නවා දැන් ඒ යුද්ධයේ ඉත්තෙක් වෙන්න ලංකාවටත් සිදුවෙලා තියනවා. දශක හතක් තිස්සේ මේ රට පාලනය කරපු පාලකයෝ තමන්ගේ මඩිය තර කරගන්න අධිරාජ්‍යවාදීන්ගේ ඔඩොක්කුවල ලැග්ගා. දැන් ඒකෙ ප්‍රතිඵල විදිහට අපිට වෙලා තියෙන්නේ උන්ගේ ආදරණීය සහෝදරවරුනි අධිරාජ්‍යවාදී යුද්ධය එක් පැත්තකින් අපේ ජීවිත අඩපණ කරද්දි අනික් පැත්තෙන් බහුජාතික සමාගම් බූවල්ලෝ වගේ අපේ ජීවිත කොල්ලකමින් ඉන්නවා. මේ වෙද්දි ගොවියන්ගේ ඉඩම් ටික කොල්ලකන්න ඔවුන්ගේ බීජ අයිතිය අස්වනු අයිතිය කොල්ලකන්න CIC ඩෝල් ලංකා වගේ බහුජාතික සමාගම් දැවැන්ත මැදිහත්වීමක් කරමින් ඉන්නවා. අනික් පැත්තෙන් ලංකාවෙ ඩඩ්ලි සිරිසේනලා, අරලියා සහල් වගේ ධනපතියෝ අපේ ගොවියන්ගේ අස්වැන්න ටික කොල්ලකමින් ඉන්නවා.
මාලිමා ආණ්ඩුව ගොවියන් වෙනුවෙන් කිසිඳු ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන නැහැ
මේ ආණ්ඩුව බලයට එනකොට ගොවියන්ට පොරොන්දු ගොඩක් දුන්නා. හැබැයි ඒ ආණ්ඩුවත් අන්තිමේදි ඩඩ්ලිගේ ඔඩොක්කුවේ ලැගලා ගොවියන්ට කොකා පෙන්නුවා. සහල් මිල සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණ ගත්තේ ඩඩ්ලිලට වාසි වෙන විදිහට විතරයි. ඒ වෙලාවේ ආණ්ඩුවට ගොවියා ගැනවත් පාරිභෝගිකයා ගැනවත් තැකීමක් තිබුණේ නැහැ. දැන් අර වික්ටෝරියා ජලාශයේ වතුර අරින්න ආණ්ඩුව ගත්ත මුග්ධ තීරණය නිසා ඉදිරි කන්නවල වගා කරන්න ගොවියන්ට වතුර නැතිවෙන්න නියමිතයි. අපි දැක්කා පැලවත්තේ උක්ගස් ගොවියෝ තමන්ගේ අස්වැන්න ටික විකුණගන්න බැරුව මහපාරෙ වේළෙද්දි ආණ්ඩුව කලේ පිටරටින් සීනි ගෙන්නන්න ජාවරම්කරුවන්ට ඉඩ හදලා දීපු එක. නිෂ්පාදන ආර්ථිකයක් හදනවා කියලා ආපු ආණ්ඩුව පහුගිය කාලෙම ගත්තේ අපේ රටේ නිශ්පාදන ආර්ථිකය කඩාවැටෙන විදිහේ තීන්දු තීරණ විතරයි. දිට්වා ආපදාව නිසා වගා හානි වුනු නිවාස අහිමි වුණු ගොවියෝ අදත් ඉන්නේ මහපාරේ ඒ ගොවියන් වෙනුවෙන් කිසිඳු ප්‍රතිපත්තිමය තීරණයක් ආණ්ඩුව අරගෙන නැහැ. මේ ආණ්ඩුව හැමවෙලාවෙම හිටගන්නේ ධනපතියන්ගේ පැත්තේ. සාමාන්‍යෙ ජනතාවට, ගොවියන්ට, කම්කරුවන්ට විතරක් නෙවෙයි ශිෂ්‍ය ව්‍යාපාරයට පවා මේගොල්ලො ද්‍රෝහී වෙලා ඉවරයි. ඒක නිසා මේගොල්ලන්ට සදාචාරාත්මක අයිතියක් නෑ කම්කරු දිනය සමරන්නවත්.
මේ නරුම ආර්ථික ක්‍රමය වෙනස් කළ යුතුයි
අපි මේ රටේ සියලු වැඩකරන ජනතාවට කියනවා තවදුරටත් පාලකයෝ විස්වාස කරමින් ඉන්න එපා. ඔබේ අයිතිවාසිකම් දිනාගැනීමේ පාර තියෙන්නේ අරගලය ඇතුලේ. බහුජාතික සමාගම් මංකොල්ල කන ගොවියන්ගේ ඉඩම් ටික, පොහොර ටික, බීජ ටික නැවත ගොවියන්ගේ අතට දිනාදීමේ අරගලයක් අපිට තියනවා. ඒ වගේම තමයි ලාභය මත මිල තීරණය කරන, වැඩියෙන් ගොඩගහ ගත්ත එකාට ඕනම සෙල්ලමක් දාන්න පුළුවන් මේ නරුම ආර්ථික ක්‍රමය වෙනස් කරන අරගලයක් අපිට තියනවා. අන්න ඒ අරගලය සමාජවාදී අරගලයට සම්බන්ධයි. එතනින් මෙහා ජයග්‍රහණ කියන්නෙම හීන ලෝක විතරයි. "
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පක්ෂයේ ප්‍රචාරක ලේකම් චමීර කොස්වත්ත
ජාතික ජනබලවේගය ගෙන යන්නෙත් ලෝකයේ අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයේ ම වැඩපිළිවෙළ
"අපි ජාත්‍යන්තර කම්කරු දිනය පවත්වන්නෙ ලෝකයම නැවත බෙදා ගැනීමට අධිරාජ්‍යවාදීන් යුද වැදී ඉන්න වෙලාවක. ලෝකයේ වගේ ම ලංකාවෙත් ධනපති පන්තිය තමන් මූණ දෙන සියලු අභියෝගවල දි බිල්ලට දෙන්නෙ වැඩකරන ජනතාව. මේ යුද්දයෙන් බැට කන්නෙත්, මේ විනාශයේ වන්දිය අවසානයෙ දි ගෙවන්නෙත් ලොව පුරා වැඩ කරන ජනතාව. අපේ රටේ ජනතාව මේ පීඩාවේ වන්දි ගෙවලා, තවදුරටත් මෙය ඉවසන්නෙ නෑ කියන තීරණය ගත්තා. ඒත් පාලන බලය ගත්ත ජාතික ජනබලවේගය විසින් ගෙන යන්නෙත් ලෝකයේ අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයේම වැඩපිළිවෙළ බව පැහැදිලියි. අපේ ජනතාව රවටලා ජන්දය අරන් ඔවුන් ගොඩ නගන ව්‍යාජ පාලනය අපි පෙරළා දමන බව මේ කම්කරු දිනඉවේදිකාවේ සිට ඔවුන්ට කියනවා. අපි ලෝකයේ පීඩිත වැඩ කරන ඩනතාව සමග එක්ව සටන් කරමින් නුඹලාගේ පාලනය අවසන් කරනවා. මේ රටේ වැඩකරන ජනතාව සමග අපි මේ කම්කරු දින වේදිකාවෙ දි ඒක සහතික වශයෙන්ම පොරොන්දු වෙනවා.''
සටහන - ජයසිරි අලවත්ත

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
