ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දිගුකාලීන මිත්‍ර සබඳතා නව මාධ්‍ය සහ සංස්කෘතික සහයෝගීතා ඔස්සේ තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් චීන-ශ්‍රී ලංකා ජනතා සබඳතා හා මාධ්‍ය හුවමාරු වැඩසටහන’ ඊයේ (27) කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්විණි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙයි හුවාෂියැං (Wei Huaxiang) ද එක්ව සිටියහ.
“සේද මාවතේ බැඳීම අගයමින් නව ක්ෂිතිජයන් කරා එක්ව යාත්‍රා කිරීම” යන තේමාවෙන් පැවැති මෙම වැඩසටහන චීන මාධ්‍ය සමූහය (China Media Group – CMG) සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC) එක්ව, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ සහයෝගය ඇතිව සංවිධානය කර තිබිණි.
දෙරටේ මාධ්‍ය ආයතන අතර අත්දැකීම් හුවමාරුවට අවස්ථා සැලසීමත්, සංස්කෘතික සබඳතා සහ ජනතා අවබෝධය වර්ධනය කිරීමත් මෙහි අපේක්ෂාව විය.
නව සහයෝගීතා වැඩසටහන් රැසක් ඇරඹේ
ඒ අනුව, දෙරටේ මාධ්‍ය හා සංස්කෘතික ක්ෂේත්රයන්හි නව සහයෝගීතා වැඩසටහන් රැසක් මෙහිදී ආරම්භ කෙරිණි. චීන මාධ්‍ය සමූහය නිෂ්පාදනය කළ 'The Heritage Guardian' වාර්තා වැඩසටහන එළිදැක්වීම, 'China's Governance and Worldwide Development Global Dialogue' වැඩසටහන ශ්‍රී ලංකාවේදී ආරම්භ කිරීම සහ දෙරටේ මාධ්‍ය ආයතන අතර සහයෝගීතා ලේඛන හුවමාරු කරගැනීම ඒ අතර ප්‍රධාන විය.
එමෙන්ම, 'CMG Premium Program Showcase' වැඩසටහන හඳුන්වාදීම, 'The Maritime Silk Road: Sailing into the Future' විශේෂ වැඩසටහන දියත් කිරීම සහ 'Rediscovering Sri Lanka' ඒකාබද්ධ වාර්තා චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම ද සිදු විය.
චීනය පිළිබඳ ශ්‍රී ලාංකික තරුණ පරපුරේ අවබෝධය පුළුල් කිරීමේ අරමුණින් 'Discovering China: Through Young Sri Lankan Eyes' මාධ්‍ය සංචාරය ආරම්භ කිරීම, 2026 චීන චිත්‍රපට උළෙල ශ්‍රී ලංකාවේදී දියත් කිරීම සහ දෙරටේ සංස්කෘතික අනන්‍යතාවන් විදහා දැක්වෙන සංස්කෘතික ප්‍රසංගයක් පැවැත්වීම ද වැඩසටහනට ඇතුළත් විය.
ඩිජිටල් තාක්ෂණය සහ AI හමුවේ මාධ්‍ය වගකීම
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ඓතිහාසික මිත්‍රත්වය නව මාධ්‍ය තාක්ෂණය, සංස්කෘතික හුවමාරුව සහ වෘත්තීය සහයෝගීතාව ඔස්සේ අනාගතයට රැගෙන යාමේදී දෙරටේ මාධ්‍ය ආයතනවලට සුවිශේෂී වගකීමක් පැවරෙන බව පැවසීය.
ඩිජිටල් තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය හමුවේ ගෝලීය මාධ්‍ය ක්ෂේත්රය ශීඝ්‍ර පරිවර්තනයකට ලක්වෙමින් පවතින බැවින්, මහජන යහපත ප්රමුඛ කරගත්, වෘත්තීයභාවයෙන් හා වගකීමෙන් යුත් මාධ්‍ය කර්මාන්තයක් ගොඩනැඟීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.
වෘත්තීය පුහුණුව සහ ඒකාබද්ධ නිෂ්පාදන සඳහා අවස්ථා
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ චීන මාධ්‍ය සමූහය අතර පවතින සබඳතාව තවදුරටත් වර්ධනය කිරීම තුළින් මාධ්‍ය දැනුම හා අත්දැකීම් හුවමාරු කරගැනීමට, වෘත්තීය පුහුණුව සහ තාක්ෂණික දැනුම ලබාගැනීමට මෙන්ම උසස් තත්ත්වයේ ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ බිහිකිරීමට ද අවස්ථාව සැලසෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වය
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙයි හුවාෂියැං, චීන මාධ්‍ය සමූහයේ සභාපති සහ ප්‍රධාන කර්තෘ ෂෙන් හයිෂියොං (Shen Haixiong) සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ගිහාන් ද සිල්වා යන අය මෙහිදී අදහස් පළකර සිටියහ.
මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සහ ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල යන මහත්ම මහත්මීන් ඇතුළු දෙරටේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන්, සම්භාවනීය අමුත්තන් සහ මාධ්‍ය වෘත්තිකයන් රැසක් එක්ව සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
