V2025

පුවත්

උපයෝගීතා කොමිසමේ ලොක්කා කොක්කටම එයි !

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණ හොත් අධිකරණයට යෑමේ අවශ්‍යතාවක් නොමැති බවත් මහජන උපයෝගිතා කොමිසම සතු නිෂේධබලය පාවිච්චි කර ප්‍රතික්ෂේප කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනත රත්නායක පවසයි .


කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව විදුලිබල අමාත්‍යංශයේ ලේකම්, විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයා සහ ඉංජිනේරුවරියක් එකතුව සකස් කළ යෝජනාවක් බවත් වැරදි දත්ත මත පදනම්ව සකස් කළ එම යෝජනාවලියේ ගණන ක්‍රමවේදයේ, විදුලි ඉල්ලුම සහ සැපයුම ආදි කරුණුවල පරපස්පරතා ඇති බවත් ඔහු පවසයි .

කෙසේ වුවත් දේශපාලන විචාරකයන් පවසන්නේ මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මේ මොහොතේ ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමට කටයුතු කරන බවක් නිරීක්ෂණය වන බවය.

ඔහුගේ පත්වීම පවා අතිශය දේශපාලනික බව අනාවරණය වී ඇති බවත් ඒ බව පාර්ලිමේන්තුවේදී පවා අනාවරණය වූ බවත් විචාරකයන් පවසයි .

පුංචි ජන්දයෙන් මන්ත්‍රීවරුන් 8000ක් පත්වූවත් වැටුප් 4000 කට පමණයි !

පළාත් පාලන ආයතන සඳහා පත් වන සභිකයන් හාරදහසකට පමණක් වැටුප් සහ දීමනා වෙනුවෙන් මුදල් වෙන් කර තිබෙන බවත් ඉතිරි පිරිස වැටුප් සහ දීමනා රහිතව නොමිලේ සේවය කරන්නේදැයි දැනුම් දිය යුතුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇතැයි වාර්තා වෙයි .

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් සමග පැවති හමුවකදීය.

පළාත් පාලන මැතිවරණයේ කිසිඳු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී නොවන බවත් ජනාධිපතිවරයා නිල වශයෙන් එක්සත් ජාතික පක්ෂයට දැනුම්දී ඇති බවත් වාර්තා වෙයි.

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන්ට වරමක් දී ඇත්තේ ඡන්ද කිරීමට නොව වසරක් ඇතුළත රට වැටී තිබෙන ආගාධයෙන් ගොඩ ගැනීමට බවත් ඒ වරමින් පිට ක්‍රියා කිරීමට කිසි විටෙකත් සූදානම් නැති බවත් ය.

එක්සත් ජාතික පක්ෂයට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විය යුතුව තිබේනම් ඒ සඳහා වන තීරණය ගැනෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ මුලසුන සාම්ප්‍රදායානුකූලව පමණක් ගැනීමට තමන් ඉදිරිපත් වන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් එජාප නායකයන්ට දැනුම්දී ඇත .

ඊට අමතරව පළාත් පාලන මැතිවරණයට අදාළව කිසිදු ඡන්ද වැඩකට තමන් සහභාගී නොවන බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.

එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ඡන්දයට සහභාගී වන්නේ නම් අපේක්ෂක ලැයිස්තුවෙන් 40%ක් අලුත් මුහුණු දැමීම සුදුසු බව තම මතය යැයිද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි .

මැතිවරණ කොමිසමේ බෙදීමක් !

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැදවීමේ ගැසෙට්ටුව නිකුත් කළද මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අභ්‍යන්තර බෙදීමක් ඇතිව තිබෙන බව එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණය පැවැත්විය යුතු බවට කොටසක් ප්‍රකාශ කරද්දී තවත් පිරිසක් මුදල් නොමැතිකම නිසා මැතිවරණය නොපවැත්විය යුතු බවට ප්‍රකාශ කිරීම බරපතල අභ්‍යන්තර බෙදීමක් ඇතිවීමට මූලික හේතුව බව දැනගන්නට තිබේ.

මැතිවරණ කොමිසම තුළ පැහැදිලිව කණ්ඩායම් දෙකක් පැවැතීම තුළ නාම යෝජනා කැදවූවත් මැතිවරණය පැවැත්වීමේ ගැටළු රාශියක් මතුවිය හැකි බව මැතිවරණ නිරික්ෂණ සංවිධානවල අදහසවේ.

මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් බිලියන 12 ට වැඩි මුදලක් අවශ්‍ය වුවත් අය වැයෙන් මුදල් වෙන් කර ඇත්තේ බිලියන 10 ක් නිසා සම්පූර්ණ මුදල නොගෙන මැතිවරණ වියදම් කළමනාකරණය කළ නොහැකි බව බහුතරයකගේ අදහස වී තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ රාජකාරි වෙනුවෙන් පැමිණෙන රජයේ සේවක ගෙවීම් මෙන්ම ඉන්ධන වෙනුවෙන් ගෙවීම් සහ අහාර වෙනුවෙන් ගෙවීම් මහා භාණ්ඩාගාරයෙන් මුදල් නොලද හොත් රාජකාරි ගැටළු රාශියක් උද්ගතවනු ඇති බවය. එම නිසා මෙම ගැටළු ගැන මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කොට මුදල් ලැබෙන බවට සහතිකයක් නොගෙන මැතිවරණ දිනය ප්‍රකාශයට පත් නොකරන ලෙස මැතිවරණ කොමිසමේ බහුතර සමාජිකයන්ගේ ඉල්ලීම වී තිබේ.

එහෙත් සභාපති හා ඔහු සමඟ සිටින සුළුතර කණ්ඩායම මැතිවරණය පවත්වද්දී අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කරනු ඇතැයි යන අන්ධ විශ්වාසයෙන් සිටින බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කළේය.

නාමයෝජනා කැදවීමේ ගැසට් නිවේදනය ඊයේ (03) පළ කරන බවට මුලින් ප්‍රචාරය වූ අතර දැන් එය අද (04) නිකුත් කරනු ලැබීය . නාම යෝජනා කැදවීමේ ගැසට් නිවදෙනය පළ කලත් පවතින අභ්‍යන්තර බෙදීම හේතු කොට ගෙන මැතිවරණ රාජකාරීන් හි ගැටළු මතු වනු ඇතැයි මැතිවරණ කාර්යාල නිලධාරීන්ගේ අදහසවේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්වරිය ජනපති හමුවෙයි !

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා (Kanni Wignaraja) ඇතුළු නියෝජිත පිරිස අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූහ.

රටේ පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මෙහිදී ඇගයීමට ලක්කළ සහකාර මහලේකම්වරිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය අඛණ්ඩව ලබාදෙන බවට ද සහතික වූවාය.

ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් කෙරුණු අතර ශ්‍රී ලංකාවට දීර්ඝකාලීනව නැඟීසිටීමට සහ රටේ ඉදිරි ගමන තහවුරු කිරීම උදෙසා දුෂ්කර තීරණ ගැනීමට සිදුවන බව සහකාර මහලේකම්වරිය ඇතුළු නියෝජිත පිරිසෙහි පිළිගැනීම විය.

පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවීම ඇතුළු මෙරට දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙන්ම ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ සිදුකෙරෙන සාකච්ඡා පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝජිත පිරිස දැනුවත් කළ අතර එම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රශංසාව පළ කෙරිණි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

16 වන ‍බෙනඩික්ට් හිටපු පාප් වහන්සේ වෙනුවෙන් ශෝකය පළ කිරිමට ජනපති යයි !

16 වන ‍බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථවීම වෙනුවෙන් ශෝකය පළ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (04) පෙරවරුවේ කොළඹ පිහිටි අපෝස්තලික තානාපති කාර්යාලය වෙත ගියේය.

ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති බ්‍රයන් උඩේග්වේ හිමිපාණන් බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේ සමග කෙටි කථා බහක නිරත විය.

16 වන ‍බෙනඩික්ට් පාප් වහන්සේ වෙනුවෙන් සිය ශෝකය සනිටුහන් කරමින් එහි තැන්පත් කර ඇති විශේෂ ග්‍රන්ථයේ සටහනක් තැබූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ උන්වහන්සේගේ ඡායාරූපයට ද ගෞරව දැක්වීය.

View the embedded image gallery online at:
https://www.newstube.lk/news?start=4212#sigProId43f1fda614

ආදර්ශා වේලාසනින් ඇප ඉල්ලයි !

කරදන ගමරාලලාගේ වගීෂා ආදර්ශා නැමැත්තිය ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම අදාළව කරුණු ඉදිරිපත් කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට සහ එහි විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට එළැඹෙන 10 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (03) සිතාසි නිකුත් කළේය.

මහාචාර්ය ආශු මාරසිංහ විසින් ඉකුත් නොවැම්බර් මස 24 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ පැමිණීල්ලකට අදාළව එම දොර්තමේන්තුව තමන් අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අපේක්ෂිත ඇපයක් ඉල්ලා පැමිණීලිකාර කරදගමරාලාගේ වගීෂා ආදර්ශා නැමැත්තිය ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලිම අදාළව කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සහ එහි විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් ඉදිරිපත් කර තිබූ මෙම අපෙක්ෂිත ඇප ඉල්ලීම, කරදන ගමරාලලාගේ වගීෂා ආදර්ශා නැමැත්තිය වෙනුවෙන් නිතීඥ සුදත් වික්‍රමරත්න විසින් අධිකරණය හමුවේ ගොනුකරනු ලැබ තිබිණී.

ජනාධිපති අරමුදල : නව වසර ඇරඹූ හැටි !

07787ජනාධිපති අරමුදලේ කාර්ය මණ්ඩලය 2023 නව වසරේ රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට ආශිර්වාද පළ කරමින් පිරිත් සජ්ජායනයක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සහභාගීත්වයෙන් අද (03) එම කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ පිරිස පංච ශීලයේ පිහිටුවා සිදු කළ කෙටි අනුශාසනාවෙන් අනතුරුව පිරිත් සජ්ජායනය ආරම්භ වූහ.

ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහැර සඳහා ජනාධිපති අරමුදලින් පිරිනමන මූල්‍ය පරිත්‍යාගයට අදාළ චෙක්පත මෙහිදී සාගල රත්නායක මහතා විසින් පිළිගන්වනු ලැබීය.

ජනාධිපති අරමුදලේ කාර්ය මණ්ඩලය සිදු කරන ලද කැපවීම අගය කරමින් එම අංශයේ සියලුම නිලධාරීන් වෙත ප්‍රශංසා ලිපි ලබා දීම ද මෙහිදී සිදු කෙරිණ.

2023 වසරේ ජනාධිපති අරමුදලෙන් සැපයෙන සේවාවන් වඩා විධිමත් සහ පුළුල් කිරීමට මෙන්ම කාර්යක්ෂම සේවාවක් මහජනතාව වෙනුවෙන් සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මගපෙන්වීම අනුව පියවර ගෙන තිබේ.

පූජ්‍ය පල්ලේගම රතනසාර ස්වාමීන් වහන්සේ ද, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර සහ ජනාධිපති කාර්යාලයේ හා මුදල් අමාත්‍යාංශ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දුම්වැටි මිලත් ඉහළට !

මත්පැන් මිල ඉහළ දැමීම සමග දුම්වැටි මිලත් ඉහළ දැමීමට නියමිතව ඇත.

ඒ අනුව දුම්වැටි සඳහා වන බද්ද ද 20%කින් වැඩි කෙරුණු අතර එය ජනවාරි 01 වැනි දා සිට ක්‍රියාත්මක බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .

20230102 211133

ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත රාජ්‍ය ආයතන වල : කොටස් හිමිකාරීත්වයේ වෙනසක් !

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන කඩිනම් කිරීමට හැකි වන පරිදි අදාළ ආයතන වල 100%ක කොටස් හිමිකාරිත්වය භාණ්ඩාගාරයේ ලේකම් සතු වන අයුරින් මහා භාණ්ඩාගාරයට අනුබද්ධිත මව්සමාගමක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වෙන්නේ ප්‍රතිව්‍යූහගතකරණය සඳහා හඳුනාගනු ලබන රාජ්‍ය සමාගම් එම මව් සමාගමට අනුබද්ධිත සමාගම් ලෙස ලියාපදිංචි කිරීමටත් අවශ්‍ය කටයුතු සැලසීම ය.

ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සඳහා අපේක්ෂිත ආයතන අතුරින් ඇතැම් ආයතන රජය සතු සමාගම් වන අතර එවැනි ඇතැම් සමාගම්වල බහුතර කොටස් රජය සතුව පවතී.

එසේම, සමහර රාජ්‍ය ව්‍යවසායයන් සංස්ථා වශයෙන් ක්‍රියාත්මක වේ.

2022 අතුරු අයවැය මෙන්ම 2023 වර්ෂය සඳහා වන අයවැය ඉදිරිපත් කිරීමේදී ද රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා වන යෝජනාව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව, දැනටමත් රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය ස්ථාපිත කර ඇත.

අත්‍යාවශ්‍ය සේවා ගැසට් නිවේදනයක් !

අත්‍යවශ්‍ය සේවා කිහිපයක් නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත .

ඒ අනුව විදුලි, ඛනිජ තෙල් සහ රෝහල් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කර ඇත.

ජනාධිපතිවරයා වෙත පැවරුණු බලතල ප්‍රකාරව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මත්පැන් මිල ඉහළට !

මත්පැන් මිල අද (03) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පිරිදි ඉහළ නංවා තිබේ.

අරක්කු බෝතලයකට මෙතෙක් අය කළ බදු මුදුල සියයට 20කින් ඉහළ නැංවීමෙන් මෙම මිල ඉහළ ගොස් ඇත .

අරක්කු බෝතලයකට මෙතෙක් අය කළ රුපියල් 1050.00 ක බද්ද රුපියල් 1256.00 දක්වාත්, රුපියල් 1121.00 බද්ද රුපියල් 1344 .00 දක්වාත් රුපියල් 1309.00 ක බද්ද රුපියල් 1576.00 දක්වාත් ඉහළ නංවා තිබේ.

බියර් බෝතලයකට අය කළ රුපියල් 103.00ක බද්ද රුපියල් 124.00 දක්වාත් 194.00ක් වූ බද්ද රුපියල් 233.00 දක්වාත් ආදී වශයෙන් ඉහළ නංවා ඇත.

Fli5xMYaYAM89Ie large

භූමිතෙල් සහ සුදු ඩීසල් මිල පහළට !

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා සුදු ඩීසල් සහ ලංකා භූමිතෙල් මිල පහල දමා ඇත .

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15.00 කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10.00 කින් අඩු කර ඇත.

මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .

20230102 211133

සජබ නැට්ටේ එල්ලී සිටි පක්ෂ 3ක් අලුත් සන්ධානයක් හදලා !

සමගි ජනබලවේගය පක්ෂය සමග මෙතෙක් සමීපව කටයුතු කළ විපක්ෂයේ පක්ෂ කිහිපයක් පළාත් පාලන මැතිවරණයක් අවස්ථාවේ වෙනම තරග කිරීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය යන පක්ෂ මෙසේ වෙනම සන්ධානයක් පිහිටුවීමට නියමිත ය.

එම පක්ෂ එක්ව පිහිටුවන නව සන්ධානය එක් නායකයකු යටතේ නොව, නායකත්ව මණ්ඩලයක් යටතේ පිහිටුවීමට යෝජනා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි

මේ අතර, එම නව සන්ධානය නිදහස් ජනතා සන්ධානය ලෙස නම් කිරීමට ද යෝජනා වී ඇතැයි ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අලුතින් පිහිටුවන නිදහස් ජනතා සන්ධානය ප්‍රධාන කණ්ඩායම් තුන නියෝජනය වන නායකයන් තිදෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් යටතේ පිහිටුවීමට යෝජනා වී ඇති බවද පැවසේ.

කෙසේවෙතත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි එම සන්ධානය පිහිටුවීමට මූලික වී සිටින දේශපාලන පක්ෂ නායකයෙක් සදහන් කළේය.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ සමගි ජනබලවේගය පක්ෂයේ අපේක්ෂක ලැයිස්තු කෝටාවේ ප්‍රමාණය සම්බන්ධයෙන් මතුවූ ප්‍රශ්න හේතුවෙන් මෙකී පක්ෂ වෙනම සන්ධානයක් පිහිටුවීමට තීරණය කර ඇති බවය.

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව : කැබිනට් තීන්දුව මෙන්න !

විදුලිය ගාස්තු ඉහළ දැමීම සම්බන්ධ යෝජනාව සලකා බැලීම කැබිනට් මණ්ඩලය විසින් ලබන සතිය දක්වා කල් දමා ඇති බව වාර්තා වෙයි .

ඒ අදාළ යෝජනාව අද (02) පස්වරුවේ කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විසින් ඉදිරිපත් කළ අවස්ථාවේ ය.

මේ අතර විදුලි බල මණ්ඩලය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් තර්ජනය කර සිටියේ විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධ යෝජනාව අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළහොත් හෙට සිට නැවත දැනුම්දීමකින් තොරව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බවය.

විදුලි ගාස්තු වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කළ හොත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති මේ වන විට සාකච්ඡා කර ඇති බවත් ඔහු මාධ්‍ය වෙත සඳහන් කළේය.

බිත්තර මිල පහත දාන්න : කැබිනට්ටුව ගත්ත තීන්දුව !

බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

ඒ අද (02) පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ය.

වාර්තා වන ආකාරයට බිත්තර මිල සීග්‍රයෙන් ඉහළ යාම හමුවේ එම මිල පාලනය උදෙසා වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී ඇත.

පුංචි ජන්දයට අලිත් සූදානම් !

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් තෝරා ගැනීමත් ආසන සංවිධායකවරුන් පත් කර ගැනීමත් සඳහා අයදුම්පත්‍ර බාර ගැනීමෙි සම්මුඛ පරීක්ෂණ පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ දී හෙට (4) සිදු කෙරෙන බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.

සම්මුඛ පරීක්ෂණ මණ්ඩල හයක් ඉදිරියේ මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට සූදානම් කර තිබෙන බවද එජාප මහලේකම්වරයා පැවසීය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.

එහිදී මාධ්‍යවේදියකු පළාත් පාලන මැතිවරණයේ දී පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය සන්ධාන ගත වීමක් සිදු වෙනවාදැයි විමසු අතර ඊට ප්‍රතිචාර දක්වමින් මහ ලේකම්වරයා පවසා සිටියේ, දැනට එවැනි කිසිදු තීන්දුවක් ගෙන නැති නමුත් පොහොට්ටුවේ උදවියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවියත් වෙනත් දේශපාලන පක්ෂ වල උදවියත් එජාපය සමග කතා කොට නාමයෝජනා සැකසීම සම්බන්ධයෙන් අදහස් විමසා ඇති බවය.

බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් : ජනපති හමුවෙයි !

පෞද්ගලික සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු විය.

ජනාධිපතිවරයා සමඟ සුහද සාකච්ඡාවකට එක් වූ හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කැමරන් නව වසර සඳහා ජනාධිපතිවරයාට සිය සුබ පැතුම් එක් කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව වසරේ පවුල් 2500කට සෙත සලසන : දින 40 ක ප්‍රජා මුළුතැන්ගෙයක් !

ඵෛතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහනක් ආරම්භ කිරීම ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) සිදු විය.

ආහාර සපයා ගැනීමට ඇති අපහසුතාවෙන් පීඩාවට පත් කොම්පඤ්ඤවීදිය පොලිස් බල ප්‍රදේශයේ හුණුපිටිය, කොම්පඤ්ඤවීදිය, ගාලු මුවදොර, ඉබ්බන්වල සහ වෑකන්ද යන ග්‍රාම නිලධාරි වසම් වල පවුල් 2500ක් ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මකය.

දෛනිකව ක්‍රියාත්මක වන මෙම ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහන ජනවාරි 01දා සිට දින 40ක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. එම කාලසීමාව තුල ප්‍රතිලාභ ලබන පවුල් වල පුද්ගලයන් ඉලක්ක කරගනිමින් ස්වයං රැකියා අවස්ථා නිර්මාණය, වෘත්තිය පුහුණුව ලබාදීම, සාමාජීය දියුණුව සැලසීම වැනි සුබසාධන වැඩසටහන් මගින් ඔවුන්ගේ ආර්ථික තත්වයන් ඉහල නංවාලීමට පියවර ගැනීම ද විශේෂත්වයකි.

ජනාධිපති කාර්යාලය මූලික කරගනිමින් ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ රජයේ ආයතන මෙන්ම, ජාත්‍යන්තර සිංහ සමාජය, රොටරි සමාජය සහ පෞද්ගලික ආයතන රැසක සහයෝගයෙන් ගංගාරාම විහාරස්ථ දායක කාරකාදීන්ගේ දායකත්වයෙන් මෙම ප්‍රජා මුළුතැන්ගෙය ක්‍රියාත්මක වේ.

මෙහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, හිටපු අමාත්‍ය දයා ගමගේ, ආරක්ෂක අමාත්‍යාංශ‍යේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගූණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ත්‍රිවිධ හමුදාපතිවරු , පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් රාජිත අබේගුණසේකර, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.කේ. විජයබණ්ඩාර ඇතුළු පිරිසක් සහභාගි වූහ.

View the embedded image gallery online at:
https://www.newstube.lk/news?start=4212#sigProId69cc4ac7ef

Page 235 of 463